පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – නව මාධ්‍ය ඇමතිතුමා වෙත සාදරයෙනි
May 14, 2010 by Vikalpa_R
Filed under Colombo, Democracy, Featured Articles, Governance, Media, සිංහල
සුනන්ද දේශප්‍රිය
අලුත් ඇමති මංඩලයක් පත් වූ කළ විවෘත ලිපියක් ලිවීමට මා මෙයට පෙර හැමදාම තෝරා ගත්තේ ප්‍රවාහණ ඇමැතිවරයා ය. මන්ද යත් ලංගමය සහ සී.ජී.ආර්. එක පාසැල් කාලයේ සිටම 71 කැරැල්ල හරහා ශ්‍රී ලංකාවේ සිටි අවසාන දවස් දක්වාම මගේ ජීවිතය හා බැදී තිබූ නිසා ය. එමෙන්ම එය මහජන ජීවිතයට යහපතක් වන පරිදි යම් සාධනීය වර්ධනයක් පෙන්විය හැකි අමාත්‍යාංශයක් යැයි මා කල්පනා කළ නිසා ය. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් කරන ලද පුද්ගලිකකරණ අපරාධ අතර මහත්ම හෙණයක් වූයේ විධිමත් පොදු ප්‍රවාහණ සැළැස්මකින් තොරව ලංගමය විනාශ කිරීම ය. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග ලංගමය යළි පිහිටුවන බවට පොරොන්දු විය. ඉන් ඇතිවූ එකම ප්‍රයෝජනය නම් යළි යළි වෙනත් දේශපාලන නායකයින්ට ද ඒ ගායනාව ම මගින් තවත් ජන්ද ටිකක් ගරා ගැනීමට ලැබීම පමණය. අද ශ්‍රී ලංකාවෙහි පුද්ගලික මගී බස් සේවාව යනු දමනය කළ නොහැකි මාෆියාවකි. සේවාවක් නොවේ. යහපත් මගී ප්‍රවාහණ සේවාවක් අප රටෙහි ඇතිවනු ඇතැයි මහා ජනයා කල්පනා කරන්නේ ද නැත. ලංගමය තිබූ යුගයේ පැවැති බස්මගී සංගම් සිවිල් සංවිධාන ජාලය අද ඇත්තේ ද නැත. පුරවැසි මහා ජනයා කෑලි ලෙස සළකමින් ලාභය එකම පරමාර්ථය කරගත් පුද්ගලික බස් රථ ජාවාරම සමඟ ජීවත් වීම දැන් අප හැම දෙනොගේම දෛනික ජීවිතය අවසානයක් නැති වේදනාවක් බවට පත් කරන පිළිකාවකි. මෙම පිළිකාව ඉවත් කිරීමට අමාත්‍ය වෙල්ගම සමත් වනු ඇතැයි විශ්වාස කිරීමට හේතුවක් නැත.
මා මේ ලිපිය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ලිවීමට අදහස් කළේ මැයි 09 වන ඉරිදා සන්ඩේ ඔබ්සෝවර් පුවත්පත පළකර ඇති සම්මුඛ සාකච්ඡාව කියැවීමෙන් පසු ය. එම සාකච්ඡාවෙහි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල දක්වා ඇති අදහස් අපේ අවධානයට යොමු කිරීම වැදගත් ය. මා වැදගත් ලෙස දකින අමාත්‍යවරයා එහි දක්වා ඇති අදහස් මෙසේ ගොනු කළ හැකි ය:
පශ්චාත් යුද්ධ සමයේ සමාජය හිතන්නේ අලුත් විදියකට යි. මා සම්පූර්නයෙන්ම නව ප්‍රවිශ්ඨයක් අනුගමනය කරනවා. මාධ්‍ය නිදහස සම්බන්දයෙන් දියුණූ විය යුතු අංශ තියෙනවා. අප ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය සමඟ ඉදිරියට යා යුතු යි. පසුගිය දේවල් ගැන කතාකරමින් සිටිනවාට වඩා විවෘත මනසකින් යුතුව වැඩ ආරම්භ කරනවා.
පුද්ගලික සහ අන්තර් ජාතික ජනමාධ්‍ය දශක ගනන් පැවැතී තිබෙනවා. වගකීම් මෙන්ම සමාජය අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ඔවුන් විසින් හරියාකාරව තේරුම් ගත යුතුයැයි මා කල්පනා කරනවා.
පුද්ගලික මාධ්‍ය සහ ආණ්ඩුව අතර සබඳතාවය සම්බන්ධයෙන් එකට වාඩි වී කතාකර කලින් කලට පැන නගින ප්‍රශ්ණ විසඳාගැනීමට අපට පුළුවන් විය යුතුයි. මාධ්‍ය එකතැන තියෙන්නේ නැහැ. අලුත් ප්‍රශ්ණ පැන නගිනවා. ඒ නිසයි විවෘත මනසක් අවශ්‍ය. පූර්ව නිගමනයන් මත වැඩ කරන්න බැහැ.”
ජනමාධ්‍ය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අමාත්‍යවරයා දක්වා ඇති මේ අදහස් අලුත් ආරම්භයක් සඳහා ඇත්ත අවස්ථාවක් ලබා දෙනු ඇතැයි අප අපේක්ෂා කළ යුතුය. එනමුත් ඒ අපේක්ෂාවන් ඉටුවනු ඇත් ද යන්න තීරණය කරනු ඇත්තේ කාලය විසිනි. අලුත් අමාත්‍ය මංඩලය මෙන්ම මාධ්‍ය ඇමැතිවරයා ද සම්බන්ධයෙන් දින සියයේ ස්වර්ණමය නීතිය අදාළ වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එනම් සාධනීය වෙනසක් වෙන්නට යන්නේ නම් එම වෙනසෙහි පදනම ප්‍රථම දින සියය තුළ දැක්ක හැකි වීමය.
අද අවශ්‍ය කරන හදිසි සහ වැදගත්ම වෙනස නම් ජනමාධ්‍යට සහ ජනමාධ්‍යවේදීන්ට තමන් කැමැති පරිදි තහංචි පැණවීමට හැකි යැයි රජයේ විවිධ පාර්ශවයන් පෙන්වන ආකල්පය වෙනස් කිරීමයි. එනම් ජනමාධ්‍ය පාලනයේ සංස්කෘතිය වෙනස් කිරීම යි. පසුගිය සතිය තුළ දී පමණක් එවැනි සිදුවීම් තුනක් වාර්තා විය. ඩේලි මිරර් ජනමාධ්‍යවේදී සදුන් ජයසේකරට ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් මහරගම දී පහර දීම, කොම්පඤ්ඤ වීදිය අනවසර ඉදිකිරීම් කඩාබිඳ දැමීමට එරෙහි මහජන විරෝධතා රූ ගත කළ ජනමාධ්‍යවේදීන්ගේ ජායාරූප යුද හමුදා පිරිස් විසින් බලයෙන් මකා දැමීම සහ යාපනයේ ජනමාධ්‍ය පුහුණු වැඩ මුළුවක් සඳහා යාමට සිටි ඉන්ටර් නිව්ස් පුහුණුකරුට අවසර නොදීම ඒවා ය. මෙවැනි සිදුවීම් දිගින් දිගට සිදුවීම වැළැක්වීමට හොදම ක්‍රමය නම් ඒවා සිදුවන අවස්ථාවේදී ම ප්‍රතිකර්ම යෙදීම ය. ජනමාධ්‍යවේදීන් සතුරු පිරිසක් ලෙස සැළකීමේ ප්‍රවණතාවයට තිතක් තැබීම නව ජනමාධ්‍ය ඇමැතිවරයාගේ මූලිකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කරමු.
එමෙන්ම ජනමාධ්‍යවේදී ඝාතනයන් සහ පහරදීම් අරභයා දැන් කෙරීගෙන යන පරීක්ෂණ ඉක්මන් කිරීමත් වරදකරුන්ට දඩුවම් දීමේ සම්ප්‍රදායක් ඇති කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාම සහ විශ්වාසය ගොඩ නැගීම පිණිස අවශ්‍ය ය.
ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් 1990 දශකයේ ආරම්භයේ සිටම අප බොහෝ දෙනෙකු කටයුතු කර ඇත්තෙමු. චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ සිට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හරහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දක්වා අප දිගටම ඉදිරිපත් කර ඇත්තේ එකම ඉල්ලීම් සමූහයකි. ඒ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීම පිණිස අවශ්‍ය කරන මූලික ප්‍රතිසංස්කරණයන් ය.
නීති කෙටුම්පත් දෙපාර්ථමේන්තුවේ පුස්කමින් පවතින තොරතුරු නිදහසේ පණත නීතියක් බවට පත් කිරීම, 1994 සිට සෑම ආණ්ඩුවක්ම විසින් පොරොන්දු වී ඇති පරිදි රාජ්‍ය මාධ්‍ය ප්‍රජාත්‍රන්ත්‍රීයකරණය මේ අතර ප්‍රධානය. ජනමාධ්‍ය ස්වයං පාලනය පිණිස මාධ්‍ය ප්‍රජාව විසින් පිහිටුවා ඇති පුවත්පත් පැමිණිළි කොමිසම පිළිගනිමින් ආණ්ඩුවේ පුවත්පත් මංඩලය ඉවත්කර ගැනීම වැදගත් සංකේතාත්මක පියවරක් විය හැකි ය. ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීම පිණිස අවශ්‍ය නීතිමය රාමුව 1995 ආර්.කේ.ඩබ්. ගුණසේකර වාර්තාවේ ද මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිලිබඳ කොළඹ ප්‍රකාශණයේ ද ඉතා පැහැදිලිව සඳහන් වී තිබේ. මෙම වාර්තා මත පදනම් වූ නව සංවාදයක් ගොඩ නැගීම මාධ්‍ය ප්‍රජාව විසින් සතුටින් පිළිගනු නොඅනුමානය.
ඇත්ත වශයෙන්ම නම් මහා ජනයාගේ තොරතුරු දැන ගැනීමේ නිදහස මත පදනම් වූ ජනමාධ්‍ය නිදහස තහවුරුවීම පිණිස නිදහස සහ වගකීම යන්නට තවත් එක් ගුණයක් එක් විය යුතු ය. එනම් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ය. අද ශ්‍රී ලංකාවේ වෘත්තීය අයිතිවාසිකම් නැති එක් වැඩකරන ජන කොට්ඨාශයක් වන්නේ ජනමාධ්‍යවේදීන් ය. බොහෝ ජනමාධ්‍ය ආයතනයන්හි ජනමාධ්‍යවේදීන්ට රටෙහි පිළිගත් වෘත්තීය අයිතිවාසිකම් ලැබෙන්නේ නැත. දකුණු ආසියාවේ මාලදිවයින හැර අන් සියළුම රටවල වෘත්තීය ජනමාධ්‍යවේදී පනත් තිබේ. ජනමාධ්‍යවේදීන්ගේ වැටුප් සහ සේවා කොන්දේසි තීරණය වන්නේ ඒ අනුව ය. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වැටුප් සහ සේවා කොන්දේසි තීරණය වන්නේ ආයතනය, භාෂා මාධ්‍යය සහ කීකරුකම අනුව ය. රාජ්‍ය ජනමාධ්‍ය ආයතනවල හැර අන් කිසිදු මාධ්‍ය ආයතනයක ජනමාධ්‍යවේදීන්ට සිය වෘත්තීය අයිතීන් සඳහා වෘත්තීය සංගම් නැත. භාෂා මාධ්‍ය අනුව හොදම වැටුප් ඉංග්‍රිසි මාධ්‍යටද අඩුම වැටුප් දෙමළ මාධ්‍යට ද හිමි ය. මෙම තත්ත්වය වෙනස් කිරීම පිණිස ශ්‍රී ලංකාවට බල සහිත වෘත්තීය ජනමාධ්‍ය පනතක් ද අවශ්‍ය ය. එය ජනමාධ්‍ය හිමිකරුවනට තර්ජනයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී අංගයක් ලෙස ඉදිරියට ගැනීමට ද නව මාධ්‍ය ඇමැතිවරයා ලෙස ඔබට වගකීමක් තිබේ.
ජනමාධ්‍යවේදීන් සිය වගකීම් ඉටු කළ යුතු ය. ඉන් එක් වැදගත්ම වගකීමක් වන්නේ රාජ්‍ය පාලනයේ පාරදෘශ්‍යබව සහ වගවීම සම්බන්ධයෙන් නිත්‍ය සෙවිල්ලක් පවත්වා ගැනීමත් එම කරුනු මහජන සංවාදයට යොමු කිරීමත් ය. මා මේ සටහන ලීවේ ඒ අරමුණිනි. දින සියය – මා හිත්නනේ ඉතාම වැදගත් කඩඉම එය කියා ය.
අලුත් මංත්‍රීතුමාගේ පොලිස් විසිට් එක…
ඉලෙක්ෂන් එක ඉවර වුනේ අප්‍රේල් 9 වෙනිදාය. ඒත් ආණ්ඩුවේ කට්ටියගේ ඉලෙක්ෂන් ප්‍රීතිය එහෙම දවසකින් දෙකකින් ඉවර වෙන එකක් නොවිය. තමන්ගේ අපේක්ෂකයා ජිල්මාට් ගුල්මාට් කකුල්මාට් ඕනෑම එකක් දමා දියවන්නාවේ කවුන්සිලේට තේරීපත්වූ ප්‍රීතිය නිමිත්තෙන් සමහර සපෝටර්ලා ඉනේ සරම නැතිවෙන තරමට නැත්නම් මූණ සාක්කුවේ වැටෙන ගානට ප්‍රීති වූහ. ඉන් සමහර දෙනාට ඉලෙක්ෂන් කාලේ විරුද්ධ පක්ෂෙට වැඩකරපු අයට ආණ්ඩු පක්ෂෙ වටිනාකම කියාදෙන්නට මතක් වුනේ ගානකට රත්වේගෙන එද්දීය.
අලුතෙන් පත්වුන මංත්‍රීවරයෙකුගේ මේ ජාතියේ සපෝටර්ලා පිරිසක් කඩු කිනිසි පොලු මුගුරු ආදිය රැගෙන ගමේ විරුද්ධ පක්ෂේ සපෝටර් කෙනෙකුගේ ගෙදරට ගොඩවැදුනේ උන්නැහේගෙත් උන්නැහේගේ දරු පවුලෙත් දුක සැප බලා යන්නටය.එසේ දුක සැප විමසමින් ඉන්නා අතරතුර අහල පහල කෙනෙකු වන් වන් නයින් එක ඔස්සේ පොලිසියට දුන් දැනුම් දීමක් අනුව පලාතේ සිටි නාහෙට නාහන පොලිස්කාරයෙක් ජීප් එකෙන් පැමිණ අමුත්තන්ගේ කන් අතගා කුදලාගෙන ගොස් පොලිසියේ විශේෂ ආරක්ෂාව යටතේ තබාගත්තේය.
මේ හුටපටය අලුත් මංත්‍රීතුමාගේ කණට යන්නට විනාඩියක් වත් ගතවුනේ නැත. තවම දිවුරුම් දී නැති නමුත් මම පළාතේ මංත්‍රී නොවෙම්දැයි සිතූ අලුත් මංත්‍රීතුමා පොලිසිය වෙත ආවේ සපෝටර්ලා පෙළපාලියක්ද සමගය. දැන් ඉතිං මංත්‍රීතුමා නමෝ විත්තියෙන් වැඩ අල්ලන වේලාවයි. පොලිසියේ ඕ.අයි.සී මහත්තයා තම පුටුවට වී බර වැඩකි. මංත්‍රීතුමාගේ සපෝටර්ලා පොලිසිය වටලා සිටිති. මංත්‍රීතුමා කෙළින්ම ගියේ ඕ.අයි.සී මහත්තයා වෙතය. දැන් දැන් ගිනි කෙළියක් සිදුවන්නට යන බව හැමදෙනාටම ප්‍රත්‍යක්ෂ වුයේ මංත්‍රීතුමා අපේක්ෂකතුමා කාලේ පළාතේ දැමූ වැඩ කිඩ දන්නා නිසාය. ඒ කාලේ ඒ ප්‍රදේශයට කවුරුත් කීවේ ‛‛මුදවා නොගත්’’ ප්‍රදේශය කියායි. මංත්‍රීතුමා කල්පනා කළේ තමන්ගේ වැඩ කිඩ පොලිස්කාරයාට පෙන්වීමට මෙතරම් අනගි අවස්ථාවක් තවත් නොලැබෙන බවය. කන්දෙක රත්වෙන ගානට දෙක තුනකින් සප්පායම් වී සිටි මංත්‍රීතුමා තමන් ඉදිරියේ සිටගෙන සිටියත් ඕ.අයි.සී මහත්තයා පුටුවෙන් නැගිට්ටේවත් හිස ඔසවා බැලුවේ වත් නැත. මංත්‍රීතුමාට මේකට මාරජුවල්ය. අචාරශීලීත්වය නොදන්නා මේ පොලිස්කාරයාට මතක හිටින පාඩමක් ඉගැන්විය යුතුයැයි මංත්‍රීතුමා හිතාගත්තේය. ඒ සඳහා පොලිස්කාරයාට ඉංග්‍රීසියෙන් බැනවැදිය යුතුයැයි මංත්‍රීතුමා තීරණය කලේය. ඔහු සද්දෙට උගුරේ රැල්බුරුල් හැරියේය. ඕ.අයි.සී මහත්තයා ඔලුව ඉස්සුවේය. මංත්‍රීතුමා බනින්නට පටන් ගත්තේය.
යු නෝ හූ මී ආ?…..නෝ පීපල් නෝ…..ඩෝන්ට් පීපල් ඩෝන්ට් නෝ…..යූ හයි ඕ, අයි හයි ඕ.
යූ අයි.පී.. අයි ඇම්.පී..ගෙටවුට් මයි පීපල්
ඉෆ් දේ නොටවුට්….ටුමාරෝ යු ගෝ ජැෆ්නා…
මේක ඇසුන ගමන් අයි.පී මහත්තයා ඉබේටම නැගිටුනේය. ඔහු වික්ෂිප්තභාවයෙන් බලා සිටියේ මේකට බය වෙන්නද? හිනාවෙන්නද? අඬන්නදැයි නිනව්වක් නැතිවය.
උතුරේ ඡන්ද ප්‍රකාශ කිරීම පහත වැටුනේ මෙහෙමයි
April 23, 2010 by Vikalpa_R
Filed under Democracy, Election, Featured Articles, Jaffna, Peace and reconciliation, සිංහල
වසර තිහක කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුද ගැටුම් වලින් වැඩිම පීඩාවක් විදි උතුරු පළාතේ ජනතාව මෙවර මහ මැතිවරණයේදී නිදහසේ සිය පාර්ලිමේන්තු නියෝජිතයා තෝරාගැනිමට සූදානමින් සිටියේය. යුද ගැටුම් නොමැතිව පවත්වන පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ගේ ඡන්දය නිදහසේ භාවිතා කිරීමට උතුරු පළාතේ ජනතාව බලාපොරොත්තුවෙන් සිටි නමුත් ඔවුන්ට ඒ ආකාරයට නිදහසේ තමන්ගේ ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලැබුනේ නැත. තමන් කැමති නියෝජිතයා පාර්ලිමේන්තුවට යැවීමේ බලාපොරොත්තුවෙන් සිය ඡන්දය භාවිතා කිරීමට කිළිනොච්චියේ පොකුරු ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණි කිළිනොච්චි වැසියන් බොහෝ දෙනෙකුට නැවත හැරීයාමට සිදුවූයේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබීම නිසාය.
පසුගිය ජනාධිපතිවරණයේදී කිළිනොච්චියේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් නොපැමිණි නමුත් මෙවර තත්ත්වය ඊට වඩා වෙනස්ව තිබුනේය. පොකුරු ඡන්ද මධ්‍යස්ථාන වෙත බොහෝ දෙනා පැමිණ සිටියේ තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ සූදානම ඇතිවය. මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් පැමිණි බොහෝ දෙනාට පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ඡන්ද මධ්‍යස්ථානය වී තිබුනේ මේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයයි. මෙම පොකුරු මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් පැමිණි බොහෝ දෙනා වව්නියාවේ පිහිටි අවතැන් කදවුරුවල කාලය ගතකර පසුව කිළිනොච්චියේ පදිංචිකරන ලද පුද්ගලයෝය. මොවුන් ඡන්දය භාවිතා කිරීමට ගිය අවස්ථාවේදී ඡන්ද නාම ලේඛනයේ ඔවුන්ගේ නම් සදහන්ව තිබුනේ නැත. මීට පෙර සිටි අවතැන් කදවුරට ගොස් ඡන්දය ප්‍රකාශ කරන්නැයි අදාල බලධාරීන් මොවුන්ට පැවසුවේය.
’‛මම දැන් පදිංචිව ඉන්නේ අක්කරායකුලම් ආනවිලන්දායි ප්‍රදේශයේ. එතැනට එන්න කලින් සෙට්ටිකුලම් අරුණාචලම් කදවුරේ හිටියා. මේ පාර ඡන්දය දාන්න කිළිනොච්චියේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයට ආවා. ඒත් දැන් මෙතැන අපිට ඡන්ද නැහැ කියලා කියනවා. අපේ ඡන්දය තියෙන්නේ කලින් පදිංචිවෙලා සිටි අවතැන් කදවුරේ කියලා කියනවා. ඡන්දය දාන්න ඕනනම් අවතැන් කදවුරට ගිහිල්ලා ඡන්දය දාන්න කියලා කියනවා.’’ කිළිනොච්චි මධ්‍යමහා විද්‍යාලයේ තිබූ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අදහසින් පැමිණ සිටි කේ. චන්ද්‍රකුමාර් කීවේය.
කිළිනොච්චියේ පිහිටි පොකුරු ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙණ තුරු තමාට ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ඡන්ද මධ්‍යස්ථානය පිළිබද කිසිදු තොරතුරක් නොලැබුණ බවද ඔහු පැවසුවේය. ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍යනම් සෙට්ටිකුලම අවතැන් කදවුරට ගොස් ඡන්දය ප්‍රකාශ කරනැන්නැයි මැතිවරණ බලධාරීන් ඔහුට පවසා තිබේ. එහෙත් කිළිනොච්චියේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයේ සිට වව්නියාවේ පිහිටි අවතැන් කදවුරු වෙත යාමට වාහන ලබාදී තිබුනේ නැත . මේ නිසා ඔහුට මෙවර මැතිවරණයේදී තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබුනේ නැත .
’‛මාත් එක්ක අපේ ගමේ පනස් දෙනෙක් විතර ඡන්දය දාන්න කිළිනොච්චියට ආවා. ඒ අයටත් ඡන්දය දාන්න ඕනනම් වව්නියාවට යන්න කියලා තිබුනා. ඒ කිසිම කෙනෙක්ට ඡන්දය දාන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. ඡන්දය දාන්න අවස්ථාවක් ලැබුනේ නැති අපි සියලුදෙනාම නැවත ගමට යනවා’’ චන්ද්‍රකුමාර පැවසුවේය.
නැවත පදිංචි කළ පුද්ගලයින්ට අවතැන් කදවුරු වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කළ යුතුව තිබුනත් අවතැන් කදවුරුවල සිටින ඇතමුන්ට ඡන්දය ප්‍රකාශකිරීමේ මධ්‍යස්ථානය වශයෙන් සදහන්ව තිබුනේ කිළිනොච්චිය පොකුරු ඡන්ද මධ්‍යස්ථානයයි. ඒ නිසා තවමත් වව්නියාවේ පිහිටි අවතැන් කදවුරුවල සිටින පුද්ගලයින් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා කිළිනොච්චිය පොකුරු ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියේය. එහෙත් පොකරු ඡන්ද මධ්‍යස්ථානයේදී ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබුනේ නැත . ඒ එහි ඡන්ද නාම ලේඛනයේ ඔවුන්ගේ නම් සදහන් නොවූ නිසාය.
’‛කිළිනොච්චියේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයට ඇවිත් ඡන්දය දාන්න පුලුවන් කියලා කියපු නිසා අපි මෙතැනට ආවා. අන්තිමේදී අපිට කදවුරේදී ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබුනේත් නැහැ. මෙතැනට ඇවිත් ඡන්දය දාන්න අවස්ථාවක් ලැබුනේත් නැහැ.’’ කිළිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් පැමිණ එම අවස්ථාව අහිමිවී ගිය සුබ්‍රමනියම් ආරුමුන්දන් කීවේය.
මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීමට කිළිනොච්චියට පැමිණ සිටි ඇතැම් අය පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර තිබුනේ කිළිනොච්චියේදීය. එහෙත් ඔවුන් මෙවර කිළිනොච්චියේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද නාම ලේඛනයේ ඔවුන්ගේ නම් සදහන්ව තිබුනේ නැත .
’‛ජනාධිපතිවරණයේදී මම ඡන්දය දැම්මේ කිළිනොච්චියේදී. මේ පාර ඡන්දය දාන්න කිළිනොච්චියට ආවාම මෙතැන මගේ නම නැහැ. මට ඡන්දය තියෙන්නේ කොහේද කියලා දන්නේ නැහැ’’ සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචි කනකතිපිල්ලේ ත්‍යාගරාජා කිවේය.
මැතිවරණ නීති අනුව මැතිවරණය පැවත්වෙන දිනයේදී ඡන්ද ප්‍රචාරක කටයුතු තහනම් වෙයි. එමෙන්ම කිසියම් පක්ෂයකට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටීමද තහනම් වෙයි. එහෙත් කිළිනොච්චියේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයට මෙම නීතිය අදාල නොවූ ආකාරයක් දිස්විය. එම පොකුරු ඡන්ද මධ්‍යස්ථානය තුළ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් සිය පක්ෂයට ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා තිබුනේය. එලෙස ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා තිබුනේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ ලාංඡනය සදහන් පත්‍රිකා ලබාදෙමිනි.
’‛මේ අයට ඡන්දය දෙන්න කියලා පක්ෂ ලාංඡන තියෙන පත්‍රිකා දෙන්නේ ඡන්ද මධ්‍යස්ථාන තුළ සිටිමින්මයි.’’ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටි විතානවසම් ජයසිංහ කීවේය.
එක් නිවසක පදිංචිව සිටින සැමියාට හා බිරිදට ස්ථාන දෙකක ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවන්නේ නැත .එහෙත් මෙවර එවැනි සිදුවීමක් කිළිනොච්චියෙන් වාර්තාවිය.
’‛මගේ මහත්තයාට ඡන්දය තියෙන්නේ කිළිනොච්චියේ පොකරු ඡන්ද මධ්‍යස්ථානයේයි. ඒත් මම ඡන්දය දාන්න ගියාම අවතැන් කදවුරට ගිහින් ඡන්දය දෙන්න කියලා කියනවා.’’ සතාසිවම් පාර්වතී කීවාය.
මේ නිසාම කිළිනොච්චියේ ඡන්ද ප්‍රකාශ කිරීම ඉතා පහත් තත්වයක පැවතියේය. කිළිනොච්චිය මධ්‍යමහා විද්‍යලයේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද 7504 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත තිබූ අතර එයින් ඡන්දය ප්‍රකාශ කර තිබුනේ 362 ක් පමණ.ි
යාපනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පැවතිවයේ අඩු තත්වයකය. මැතිවරණ දිනයේදි යාපනය නගරය සාමාන්‍ය තත්වයෙන් පැවති අතර ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩි උනන්දුවක් දක්වා තිබුනේ නැත. . යාපනය නගරයේ ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවලට ඡන්ද දායකයින් දෙදෙනෙක් පැමිණ ඡන්දය ප්‍රකාශ කළ නමුත් ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩි උනන්දුවක් දක්වා තිබුනේ නැත . යාපනය නගරයේ ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන පාලුවට ගොස් තිබුණි.
යාපනය නගරයේ මෙන්ම නගරයෙන් පිටත දූපත්වලද ඡන්දය ප්‍රකාශ කිරීමේ තත්ත්වයද මේ ආකාරයේ විය. ඡන්දය ප්‍රකාශ කිරීමට ඔවුන් වැඩි උනන්දුවක් දැක්වූයේ නැත .
යාපනයේ තිබෙන දූපත්වල පදිංචි ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩි උනන්දුවක් දැක්වූයේ නැතත් දේශපාලඥයින් උනන්දුවෙන් යුතුව එහි මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකර තිබුනේය. මැතිවරණ දිනය වන විටත් මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම ඔවුන් අවසන් කර තිබුනේ නැත . මැතිවරණයට පෙර ඇලවූ පෝස්ටර් හා කටවුට් එහි ඒ ආකාරයෙන්ම විය.
‛‛ඡන්දෙට කලින් දවසේ ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා ඇවිත් මෙහේ රැස්වීමකුත් පැවැත්වුවා. ඒ වගේම යාපනයේ තියෙන කේබල් ටී.වී. චැනල් එකකින් ඔහුට ඡන්දය දෙන්න කියලා ඉල්ලා ප්‍රචාරක වැඩසටහනක්ද පැවැත්වුවා’’ නම සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි මන්ඩතිව් දූපතේ අයෙක් කීවේය. ඔහුගේ බලාපොරොත්තුව වී තිබුනේ ආයුධ සන්නද්ධ කල්ලිවල බලපෑමට යටත් නොවී ජීවත්විය හැකි පරිසරයක් ඇතිකරගැනීමය.
මෙරව මහ මැතිරවණයේදී සමස්තයක් වශයෙන් ලංකාව පුරාම ඡන්දය ප්‍රකාශ කිරීම අඩු තත්වයක තිබුනේය එහෙත් උතුරු පළාතේ ඡන්දය ප්‍රකාශ කිරීම සැලකිය යුතු අන්දමින් පහළ ප්‍රතිශතයක් ගෙන තිබුනේය.
පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය යනු කුමක්ද?
April 20, 2010 by Vikalpa_R
Filed under Colombo, Featured Articles, Health, Life quips, සිංහල
වෛද්‍ය රුවන් එම්. ජයතුංග
මානසික වශයෙන් දැඩි පීඩනයකට ලක් විය හැකි සිදුවීමකින් පසුව නැගෙන මනෝවිද්‍යානුකූල රෝගී ලක්‍ෂණ, පෙන්නුම් කරන දූරාවලියක් ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post Traumatic Stress Disorder) යනුවෙන් හැඳින්වෙයි.(PSTD) යන කෙටි නාමයෙන් හැඳින්වෙන මෙම මානසික තත්ත්වය ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ක්‍ෂණිකව හෝ කාලයක් ගතවීමෙන් පසුව හෝ ඇතිවිය හැකිය. කෙසේ වෙතත් එය භීතිය ගෙනෙන පීඩාකාරී හැඟීම් මුසු භයංකර අත්දැකීමකට පසුව ඇතිවන්නකි.
කොළොම්බියා විශ්වවිද්‍යාල විශ්ව කෝෂය පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය හෙවත් ඡඔීෘ නිර්වචනය කර ඇත්තේ මෙසේය. “එය අතිශය පීඩාකාරී මානසික අත්දැකීමක් මත උපදින්නකි. යුද්ධය, භීෂණය, ළමා කල අපහරණයට ලක් වීම, ලිංගික අතවරයකට බඳුන්වීම, දරුණු අනතුරකට මුහුණ දීම ආදියට පසු මේ මානසික තත්ත්වයට පත් විය හැකිය. එය ප්‍රතිඵලයක් ලෙස සංවේදිතාවයෙන් විනිර්මුක්ත අසංවේදී, පරිසරයට ප්‍රතිචාර නොදක්වන පුද්ගලයෙකු උපදියි. එම තත්ත්වය මාස කිහිපයක සිට වසර ගණනාවක් තෙක් වුවත් දීර්ඝ වීමට පුළුවන. මෙම කාලයෙන් පසු සිහිනයෙන් බියවීම, පාලනය කළ නොහැකි අතීතාවර්ජන දැකීම, කෙටිකාලීන මතකයේ දුර්වලතා, ඉන්සොමේනියාව, හදිසි ශබ්දවලට දක්වන අධිසංවේදිතාව සේම විටෙක ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම ද උක්ත අක්‍රමතාවයෙහි ප්‍රතිඵල වේ.
PSTD පිළිබඳ පළමු සඳහන පැමිණියේ 1980 වර්ෂයේ පළමු මානසික අක්‍රමතාවය පිළිබඳ රෝග නිශ්චය හා සංඛ්‍යාලේඛන පිළිබඳ (DSM – Diagnostic and Statistical Manual of Mental Disorders) ප්‍රකාශනයෙහිය.DSM ප්‍රකාශනයට අනුව PTSD යනු යම් ව්‍යසනකාරී අත්දැකීමකට පුද්ගලිකව මුහුණ දී ඉන් ජීවිතය නැති වීමට හෝ ශාරීරික වශයෙන් පීඩාවට පත්වීමට හෝ තිබූ අවස්ථාවෙන් හෝ, වෙනත්
උදවියගේ ජීවිත විනාශවනු හෝ එසේ වීමට තර්ජනයන් ඇති බැව් වැටහෙන දරුණු භීතියකට මුහුණ දීමෙන් ඇති වන්නා වූ තත්ත්වයකි. නැතහොත් සමීපතම ඥාතියෙකු හෝ මිතුරකුගේ හදිසි හෝ රුදුරු මරණයක්, ඔවුන්ට එල්ළ වුණු මරණීය තර්ජනයක් හෝ දැවැන්ත අනතුරක් පිළිබඳ ආරංචි ලැබීමෙන් ද මෙම තත්ත්වයට පත් වනු ඇත.
යම් දරුණු ව්‍යසනකාරී අත්දැකීමකට මුහුණ දුන් පුද්ගලයකුට ඒ අවස්ථාව පිළිබඳ ඇත්තේ බියක්, සංත්‍රාසයක් හා අසරණ හැඟීමකි. ළමයකු නම් අවිචාරශීලී හා කලබලකාරී වීමට හැකියි. එකී ව්‍යසන අත්දැකීමේ ප්‍රතිඵලය අසීමිත පීඩනයක් අදාළ පුද්ගලයා මත පිහිටුවන අතර ඒ පිළිබඳ මතකාවර්ජනය යළි යළිත් ඒ සිදුවීමෙහි ඔහුව හෝ ඇයව පීඩාකාරී ලෙස ජීවත් කරවයි. මෙකී පීඩාකාරිත්වය තුළ ගොඩනැගෙන මානසික ව්‍යාකූලත්වය ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ වගකීම් පසෙකට කරයි. මේ තත්ත්වය දීර්ඝ කාලයක් තිස්සේ පැවතීම චිකිත්සාමය කලමථය දක්වා නැත්නම් සමාජීය රැකියාමය හා වෙනත් අවශ්‍ය වගකීම් ඉටු නොකෙරෙන නැත්නම් ඒවායෙන් දුරස්ථ වන තත්ත්වය දක්වා වර්ධනය කෙරෙයි.
ඉහත පැහැදිලි කිරීම් සියල්ලෙන්ම අනාවරණය වන්නා වූ අතිශය පීඩාකාරී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය මානසිකත්වයක් ඇති කළ හැකි සිද්ධි හෝ අවස්ථා මොනවාදැයි විමසා බලමු. යුද්ධය නිසා සොල්දාදුවන්ට හා සිවිල් ජනතාවට, ප්‍රචණ්ඩකාරී පහරදීම් හා ලිංගික අපරාධ, ශාරීරික පීඩා, සොරකම්,
මංකොල්ල, ස්වාභාවික හෝ මිනිස් ව්‍යසන, පැහැරගෙනයාම්, කප්පම් සඳහා රැගෙන යාම්, ප්‍රාණ ඇපයට තබා ගැනීම, ත්‍රස්තවාදී ප්‍රහාර, වදහිංසා, දරුණු රිය අනතුරු, මරණය නියත රෝගයක් ඇති බැව් දැනගැනීම, යුධ සිරකරුවකුවීම හෝ වදකාගාරගත වීම යනාදිය එම හේතූන් අතරින් කිහිපයකි. ළමුන් උදෙසා නම් ලිංගික පීඩා සහිත අවස්ථා, අපයෝජන, පහරදීම් හා තර්ජන, දරුණු රෝගීන් දැකීම, අසාමාන්‍ය හෝ රුදුරු මරණයන් දැකීම, හදිසි අනතුරු, යුද්ධය, ස්වභාවික හෝ මිනිසා විසින් සිදු කරන ව්‍යසන, හදිසියේ මළ සිරුරක් හෝ කොටසක් දකින්නට ලැබීම ආදිය ක්ලමථ තත්ත්වයන් ඇති කරන අවස්ථා සමහරක් පමණක් බැව් සිහිතබා ගත යුතුය. එසේම පුද්ගලිකවම අත්දැකීමක් ඍජුව නොලැබුවද කෙනෙකුගෙන් අසා දැන ගන්නා සමීපතම ඥාතියෙකුගේ මිතුරෙකුගේ හෝ පවුලේ අයකුගේ හදිසි මිය
යාම, දරුවකුට ඇති සුවකළ නොහැකි රෝගයක්, මරණීය තර්ජන, ශාරීරික පීඩා, දරුණු රිය අනතුරු පුද්ගලික අත්දැකීම් තරමටම ප්‍රබල විය හැකි වේ. එසේම යම් අයෙකු මුහුණ දුන් ව්‍යසනය, තමන් දන්නා හඳුනන මනුෂ්‍යයකු විසින් ඔහුට හෝ ඇයට සිදු කරන ලදී නම් ද, නැතහොත් එම ව්‍යසනය කළ
තැනැත්තා තමාට සමීපයේ ජීවත් වන්නේ නම් ද, පශ්චාත් ව්‍යසනයේ පීඩාකාරී තත්ත්වය උග්‍රවීමට බලපෑ හැකිය.
පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය මානසික තත්ත්වයේ වෙනස්වීම් ඇසුරින් සේම පිටතට ප්‍රකට කරවන ශාරීරික හා හැසිරීම් වෙනස් මගින් ද එළි දැක්වෙයි. ඡඔීෘ තත්ත්වයක සිටින අයකුට සාමාන්‍ය පුද්ගලයකු ලෙස සමාජයේ සිය වගකීම් ඉටු කිරීමට ඇති හැකියාව මදය. එය ඔවුනගේ එදිනෙදා කටයුතු
අඩාල කරන අතර රැකියාවේද, විවාහ ජීවිතයේ දීද, දෙමාපියන් ලෙස ද සක්‍රීය වීමට ඇති හැකියාව අඩපණ කර දමයි. PTSD වෙනත් මානසික තත්ත්වයන් වන විශාදය හා මත්පැන් හා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම යන තත්ත්වයන් හා සම්බන්ධවී එළියට එනු නිතර දකින්නට ලැබෙන දෙයකි.
ශ්‍රී ලාංකිකයින් විසින් මුහුණ දුන් ව්‍යසන
1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලද දා පටන් ලාංකිකයෝ තමන් විසින්ම නිර්මාණය කරගත් ව්‍යසන හා ස්වභාවික ව්‍යසන කිහිපයකටම මුහුණ දුන්හ. එබැවින් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමිකතාවය යනු නිශ්චිත ඇගයීමකට ලක් නොවූවත් ලාංකිකයන්ගේ ජීවිතවල ප්‍රබල කොටසක් බවට පත් වූයේ අද ඊයේ
පටන් නොවේ. මෙය හඳුනා ගැනීමට හා එයට පිළියම් යෙදීමට අසමර්ථ වීම නිසා සමහරෙකුට වසර ගණනාවක් ද තවත් කෙනෙකුට සිය ජීවිත කාලයම ද පවා මේ මානසිකත්වයේ ගොදුරක් වන්නට සිදු වූ බැව් පැහැදිලිය.
1971 කැරැල්ල
ජනතා විමුක්ති පෙරමුණ විසින් එවකට බලයේ සිටි රජය පෙරළා දැමීම සඳහා පොලිස් ස්ථානවලට පහර දීමෙන් ඇරඹි 71’ කැරැල්ල, ලෝකයේ මෙම කලාපයේ තරුණයින් විසින් ක්‍රියාත්මක කරන ලද දැවැන්තම අරගලය විය හැකි බව ඉතිහාසඥයකු වන කේ.එම්. ද සිල්වා පවසයි. කෙසේ වෙතත් මෙම
අරගලය අවසන් වූයේ ෆෙඩ් හලිඩේගේ සංඛ්‍යා ලේඛන අනුව 12000 කට මරු කැඳවමිනි. තවත් 18000 ක් සිරභාරයට ගන්නා ලදුව යාපනය හමන්ඩිහිල් බන්ධනාගාරය වැනි ස්ථානවල අතිශය පීඩාකාරී අන්දමින් සිරගත කොට තබන ලදී. මේ සිරකරුවන්ගෙන් බොහොම දෙනෙකු කෲර වධ බන්ධනයන්ටලක් වූ අතර ඔවුන් සේම ඊට සමරූපීව සිවිල් සමාජය ද දරුණු පීඩකාරී අත්දැකීමකට මුහුණ දුන් අවස්ථාවක් ලෙස 71’ කැරැල්ල ඉතිහාසගත විය.
ව්‍යසනයට අනතුරුව වෛද්‍ය ලීල් ගුණසේකරගේ මූලිකත්වයෙන් යුතු විශේෂඥ කණ්ඩායමකට, කැරැල්ලට සහභාගී වූ තරුණ තරුණියන්ගේ පුනරුත්ථාපනය ශ්‍රී ලංකා රජය විසින් බාර කරන ලදුව, ප්‍රශස්ථ කර්තව්‍යයක නියැලීමට ඔවුහු සමර්ථ වූහ. මෙම නිවැරදි කිරීමේ ව්‍යායාමයට සහභාගී වූ බොහෝ දෙනෙක් අද සාමකාමී සාමාන්‍ය ජීවිත ගතකරන අතර ඔවුන්ගෙන් 95% පමණ දෙවැනි කැරැල්ලට (88’- 89’) සහභාගී නොවූහ. කෙසේ වෙතත් අවස්ථානුකූලව, මානසික සහයෝගීතා පසුබිම සකස් කිරීම සිදු වුවත් දීර්ඝ කාලීන මානසික සෞඛ්‍ය යහපැවැත්ම පිළිබඳ, පීඩාවට පත්වූවන් දැනුවත් නොවුණු වග ඊට වසර 38කට පසුව මා හට මුණ ගැසුණු 71’ කැරැල්ලේ සාමාජිකයන් ඇසුරින් මම ප්‍රත්‍යක්‍ෂ කර ගතිමි. මාගේ සමීක්‍ෂණයට සහභාගී වූ පිරිසෙන් වැඩිමනක් තවමත් intrusions, avoidance, සංවේදනයට ඇති අසංවේදීතාව වැනි පශ්චාත් ව්‍යසන ක්ලමථ තත්ත්වයන්ගෙන් පෙළෙන බැව් දක්නට ලැබිණි.
1983 වර්ගවාදී කෝලාහලය.
යාපනයේ තින්නවේලිහිදී ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුලු ශ්‍රී ලංකා යුධහමුදාවේ සෙබන් 13 දෙනෙකු ඝාතනය වීමත් සමග දකුණේ දේශපාලකයින් විසින් මෙහෙයවනු ලැබූ පිරිසක්, ’83 ජූලි මස වර්ගවාදී කෝලාහලයක් ඇති කළහ. දෙමළ වැසියන් ඝාතනයට ලක් කෙරුණ අතර ඔවුන්ගේ දේපළ කොල්ල කන ලදී. එහි ප්‍රතිඵලය වශයෙන් ව්‍යසනයට මුහුණ දුන් පිරිසෙන් වැඩිමනක් පශ්චාත් ව්‍යසනකාරී තත්ත්වයට ගොදුරු වූ අතර, ශ්‍රී ලංකා යුධ හමුදාවට එරෙහි ආයුධ සන්නද්ධ අරගලයට සහය දැක්වීමට එවකට තරුණයින් වූ දෙමළ ජාතිකයින්ට මෙම ව්‍යසනය බෙහෙවින්ම හේතු සාධකයක් විය. මීට
අමතරව දෙමළ ජනයා දහස් ගණනින් වෙනත් රටවලට සංක්‍රමණය වන්නට වූහ. මහාචාර්ය දයා සෝමසුන්දරම්ට අනුව ලංකාවේ උතුරේ වෙසෙන දෙමළ ජනතාවගෙන් 14% ක් PTSD තත්ත්වයෙන් පෙළෙති.
88 -’89 භීෂණය
ලංකා ඉතිහාසයේ අණතුරුම යුගයක් සනිටුහන් කළ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල ක්‍රියාත්මක වුණු ’88 – ’89 දෙවසර තුළ, එය මුල් කොට ගෙන ඝාතනයට ලක් වූ පිරිස 60000 කට අධිකය. එකල මනුෂ්‍යත්වයට එදිරිව ක්‍රියාත්මක වූ යම් කෲර පිළිවෙත් සමහරක් කතා කළ නොහැකි තරම් ජුගුප්සාජනක වූ අතර, සිදු වූ දැවැන්ත මනුෂ්‍ය ඝාතනයෙන් හා පොදු දේපල විනාශයෙන් රටවැසියෝ දැඩි පීඩාවට ලක්වූහ. මනෝවිද්‍යාත්මක පර්යේෂණ උකහා දක්වන අන්දමට මෙම කාලය තුළ භිෂණයට ලක් වූ හා එය ක්‍රියාත්මක කළ අය අතර, උග්‍ර පශ්චාත් ව්‍යසන පීඩාකාරී මානසිකත්වයට ලක්වූවෝ සිටිති.
2004 සුනාමිය
ලිඛිත ලංකා ඉතිහාසයේ දරුණුම ස්වාභාවික ව්‍යසනය වූ 2004 සුනාමිය, දිනක් තුළ මිනිසුන් 30000 කට වැඩි ප්‍රමාණයකට මරු කැඳවමින් ද, තවත් 545775කට උන්හිටි තැන් අහිමි කරමින්ද නිමාවට පත් විය. සුනාමිය තරම් ක්‍ෂණයකින් පශ්චාත් ව්‍යසන ක්ලමථ තත්ත්වයක් ඇති කළ සිද්ධියක් නොමැති තරම්ය. සුනාමියට සති 3-4 කට පසුව ඊට මුහුණ දුන් දරුවන් ඇසුරින් කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ ඔවුන්ගේ 14% -39% දක්වා පිරිසක් PTSD තත්ත්වයෙන් පෙළෙන බවය. මාස කිහිපයකට පසුව යෞවනයන් හා ඔවුන්ගේ මව්වරුන් ඇසුරින් කරන ලද සමීක්‍ෂණයකින්, ඔවුන් 41% හා 20% වශයෙන් PTSD තත්ත්වයෙන් පීඩා විඳින බව හෙළි විය. (2004 සුනාමියේ මානසික බලපෑම – ආචාර්ය මැතිව් ටල් – University of Massachusetts) පහළොස් මසකට පසු සුනාමි ව්‍යසනයෙන් දිවි ගලවාගත් 113 දෙනෙකු ඇසුරෙන් මේරියම් ජේ. ජේ. ලොමෙන්, ඇන්ජලීන් ජේ.එම්.එල්. සොන්ඩර්ස් සහ නිකොලි බුක් (Maastricht University, Netherlands) කරන ලද සමීක්‍ෂණයෙන් හෙළි වූයේ ඒ වන විටත් ඒ පිරිසෙන් 52.2% ක් PTSD යෙන් පෙළෙන බවය. සුනාමි ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට අතිමහත් ආධාර ප්‍රමාණයක් ලැබුණු අතර EMDR HAP මගින් මානසික සෞඛ්‍ය ස්ථාපිත කිරීම සඳහා ලැබුණු සේවය ප්‍රශස්ථ කටයුතුය. මේ අතර වෛද්‍ය නැන්සි අරේවෝ සහ කණ්ඩායම විසින් ව්‍යසනයට මුහුණ පෑ, මානසිකව ව්‍යාකූල තත්ත්වයට පත්වී සිටි පුරවැසියන් සඳහා ලබාදුන් සේවය අතිමහත්ය.
30 අවුරුදු යුද්ධය
ගෙවී ගිය සියවස තුළ අඛණ්ඩ ප්‍රචණ්ඩත්වයක් හුවා දැක්වූ දීර්ඝතම යුද්ධයක් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාව හා එල්.ටී.ටී.ඊ සංවිධානය අතර වූ සටන හැඳින්විය හැකිය. ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ වෛරය හා කෲරත්වය කුළු ගැන් වූ මේ යුද්ධය මිනිස් ජීවිත 75000 කට වඩා බිළිගන්නා ලදුවාට අමතරව ඊට ඍජුව සම්බන්ධ වූ හමුදා සෝලදාදුවන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට සේම සිවිල් වැසියන්ටද අතිශය දරුණු ව්‍යසනකාරී ක්ලමථ තත්ත්වයන් ඇති කළ ප්‍රපංචයක් විය. යුද්ධයට ඍජුව සම්බන්ධ වූ හමුදා භටයින් හා එල්.ටී.ටී.ඊ. සොල්දාදුවෝ ශාරීරික මෙන්ම මානසික වශයෙන් ද තුවාල ලදහ. යුද්ධය නිසා ලාංකීය සමාජය තුළ සිදු වූ දෙදරීම සුළුපටු නැත. එබැවින් යුද්ධය නිමාවකට පැමිණියත් එයින් ඇති වූ කැළල තවත් දශක ගණනාවක් යන තුරුම ලාංකීය සමාජය තුළ පැහැදිලිව දෘශ්‍යමාන වනු ඇත.
සොල්දාදුවන් අතර PTSD තත්ත්වයන් පිළිබඳ නිල දත්ත සපයා ගැනීමේ මාර්ගයක් කිසිවෙකු සතුව දැනට නොමැත. එහෙත් යුධ හමුදාවේ විශේෂඥ මානසික සෞඛ්‍ය වෛද්‍යවරයා වූ නීල් ප්‍රනාන්දු හා මෙම ලේඛකයා විසින් 2002-2005 යන තෙවසර තුළ කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ සොල්දාදුවන් අතර PTSD තත්ත්වයන් සීඝ්‍රයෙන් වර්ධනය වන බවය. හමුදා සොල්දාදුවන් 824 යොදාගෙන කළ අධ්‍යයනයකින් ඉන් 56 දෙනෙක් එනම් 6.7% ක් PTSD දර්ශකයක් සහිත පුද්ගලයින් ලෙස හඳුනා ගන්නාලදී. අප විසින් දළ වශයෙන් ගණන් බලන ලද පරිදි සොල්දාදුවන්ගෙන් 8%-12% අතර ප්‍රමාණයක් යුධ ක්ලමථයෙන් (combat stress) පෙළෙන මුත් කිසිදු ඔවුහු ප්‍රතිකර්මයකට භාජනය නොවෙති.
වෛද්‍ය නීල් ප්‍රනාන්දු හා මෙම ලේඛකයා විසින් සිදු කරන ලද උක්ත සමීක්‍ෂයේ දී හෙළි වූ තොරතුරු අනුව යුධ හමුදා සොල්දාදුවන්ගෙන් 6.8% (6.7%?) PTSD යෙන්ද 15.6% විශාදයෙන් ද 3.5% මත් ඇබ්බැහියෙන් ද 7.8% කායරූපි ආබාධවලින් ද තවත් 9.4% ක් භින්නෝන්මාදය ඇතුළු උග්‍ර මානසික ව්‍යාධීන්ගෙන් ද පෙළෙන බව හෙළිවිය. අප මේ දකින්නේ මුහුදු පතුලේ සැඟවුණු අයිස් කන්දක ජලයෙන් උඩට මතු වූ කොටස පමණකි. මෙය කොළඹ යුධ හමුදා රෝහලෙන් ප්‍රතිකාර ලබන, සටන් පෙරමුණට දීර්ඝකාලීනව නිරාවරණය වූ පිරිසක් වන අතර පොදු හමුදාවම නියෝජනය වන සාම්පලයකින් තෝරා නොගත් පිරිසක් වූ නමුදු යුද්ධය තුළ සැඟවී ඇති රුදුරු සත්‍ය මෙය මැයි කෙනෙකුට කිව නොහැකිද? ක්ලමථ තත්ත්වයකට පත් වූ සොල්දාදුවා තම පීඩනය සිය පවුල තුළටත් ඉන් ඔබ්බට සමාජයටත් මුදා හරිනු ඇත. දීර්ඝකාලීනව එය මුළු රටටම බලපානු ඇති අතර එහි අතුරු ප්‍රතිඵල දශක ගණනක් මුළුල්ලේ විඳීමට සිදු නොවනු ඇද්ද?
අමරිකානු මනෝවිද්‍යාඥයින්ගේ සංගමය, පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය සහිත මානසිකත්වයක්, පුද්ගලයකු තුළ ඇති වීමට බලපෑ හැකි හේතු ප්‍රත්‍යයන් පිළිබඳ විමර්ශනයක් කළ අතර එහිදී එකී ව්‍යසනයේ දරුණුකම, එය පැවති කාලය, ව්‍යසනයට ලක් වූ තැනැත්තා එය අත්දුටු කාලය යන හේතු කාරණා අතිශය වැදගත් සාධක වන බැව් ප්‍රකාශ වුණි. එලෙසම සමාජීය බලපෑම, පවුලේ රෝග ඉතිහාසය, ළමා කළ මුහුණ දුන් අත්දැකීම්, පෞරුෂය සහ දැනටමත් අත්විඳින යම් මානසික සෞඛ්‍ය ගැටළුවක් ඇතොත් ඒවාද PTSD තත්ත්වයන් ඇති කිරීම කෙරෙහි බලපෑ හැකි බව ද ඉන් අනාවරණය කෙරුණි. එලෙස උක්ත සාධක කිසිවක් නැතිදු මුත් ව්‍යසනයේ ප්‍රබලතාවය ඔතැම කෙනෙක් මෙම තත්ත්වයට ලක්විය හැකි බැව් ද අමතක කළ යුතු නැත. යුධ හමුදා සෙබන් අතරෙහි මෙලෙස සීඝ්‍රයෙන් ඇති වී යන පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය පිළිබඳ හඳුනා ගැනීමට අදාළ බලධාරීන්ට නොහැකි වීම, ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය විශේෂඥ සහය දුලබ වීම, එමාකාරයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ට ඇති මූල්‍යමය ගැටළු ආදිය මෙම ප්‍රශ්නය තවතවත් උග්‍ර කිරීමට සමත් වනු ඇත. යුධ ක්ලමථය සමග PTSD තත්ත්වයන් සොල්දාදුවන් අතර වැඩිවීම කෙරෙහි, රටෙහි සමාජ ආර්ථික පසුබිමෙහිද බලපෑමක් තිබූ බව අපට මෙහිදී දක්නට ලැබුණු තවත් දෙයකි. පවුලේ දරිද්‍රතා ප්‍රශ්නවලට මැදිවී මව මැදපෙරදිග රැකියාවට යාම නිසා ඒ තුළින් ළමා කලම ක්ලමථ තත්ත්වයන්ට මැදි වූ තරුණයෝ (maternal deprivation) පසු කලෙක යළිත් අගහිඟකම් නිසා යුධ හමුදාවට බැඳුනෝය. ළමා කලම ක්ලමථ තත්ත්වයන්ට මුහුණදුන් මේ තරුණයින් PTSD යට ලක් වීමට වැඩි නැඹුරුතාවයක් දක්වන ලද බව සමීක්‍ෂණය සාක්‍ෂි දරයි. එක් අධ්‍යයනයකට අනුව යුධ ක්ලමථයෙන් පෙළුණු
සොල්දාදුවන් 56 දෙනෙකුගෙන් 30 දෙනෙකුම ළමා කාලයේ දීම ක්ලමථ තත්ත්වයන්ට මුහුණ පෑ බැව් හෙළි විය.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ හිටපු යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජෙරී ඩී සිල්වා පවසන අන්දමට පූර්ණ හමුදා බලයම නැතිනම් සේනාංක සියල්ලම විරුද්ධවාදියා සමඟ මුහුණට මුහුණලා දීර්ඝ කාලයක් සටන් වැදුණු එකම හමුදාව ඇත්තේ ලංකාවේය. මේ හේතුව නිසා සෑම හමුදා සෙබලෙකුටම පාහේ ගැටුම් පවතින ප්‍රදේශවල වසර 10-15 වැනි කාලයක් සේවා කිරීමට සිදුවූයේ අතරින් පතර ලැබුණු සුළු නිවාඩු සමගය. මෙය යුධ හමුදාව තුළ මානසික සෞඛ්‍ය පිරිහීමේ අගය ඉහළ දැමීමට හේතු වී ඇත. යුද්ධය නිමා වුවත් යුද්ධයේ කැළැල් තවමත් අප අතරින් වියැකී නොමැත. ඒවා සමාජයෙන් තුරන් වීමට විටෙක පරම්පරා කිහිපයක කාලයක් ගත වනු ඇත. එයිනිදු යුද්ධය විසින් නිර්මාණය කළ මානසික සෞඛ්‍ය ගැට සඳහා නිසි වැඩ පිළිවෙලක් ඇතිව අවැසි ප්‍රතිකර්ම නොයෙදුවොත් තවත් පරම්පරා ගණනක් ගත වුවත් එහි අනිසි ප්‍රතිඵල වලින් මිදිමට ශ්‍රී ලාංකීය සමාජයට විඳීමට නොහැකි වනු ඇත.
හිස් සාක්කුවකින් යමෙකුට නැගී සිටිය හැකිද?.
April 19, 2010 by Vikalpa_R
Filed under Colombo, Featured Articles, Gender, Governance, Life quips, Puravasi Katha, සිංහල
විදේශ සංක්‍රමණික සේවයේ යෙදුණු ලාංකීය ස්ත්‍රීන්ගෙන් අදහස් විමසුමක්
“මම වැඩ කරපු ගෙදර පළවෙනි මාසෙ පඩිය ඉල්ලුවාම දුන්නෙ නැහැ. මාස පහක් ගිහින් අයෙත් පඩිය ඉල්ලන කොට මට ගැහුවා. කන්න අඳින්න දුන්නෙ නැහැ. කන්න නැතිව සති ගණන් හිටපු නිසා මගේ ගලනාලය තුවාලවෙලා ලේ වමනය කළා. මම ඒ ගෙදරින් දෙවතාවක්ම පැනල ආවත් එහෙ ඒජන්සියෙ නෝනා මාව නැවත අල්ලලා ගෙනිහින් ඒ ගෙදරටම බාර දුන්නා. දවසක් එකදිගට පහරදීලා සිහිනැතිවුනාම මාව ඉස්පිරිතාලෙකට ගෙනිහින් දැම්මා. එහෙදි ගලනාලයේ ශල්‍ය කර්ම දෙකක් කළා, මගේ අමාශයත් දැන් ඉවත් කරලා. මම සවුදි ගියේ හුඟාක් බලාපොරොත්තු තියාගෙන. මගේ තාත්තා අසනීපෙන් නිසා පවුල ගොඩගන්න හිතාගෙනයි මම රට රස්සාවට ගියේ. නමුත් මමත් රෝගියෙක් වෙලයි ලංකාවට ආවේ. දැන් මමත් පවුලට බරක් වෙලා. ජීවිතයත් එපා වෙලයි තියෙන්නේ.”
- රසාංජලී, වයස 28යි, කුරුණෑගල
මේ විදේශ ගතව ලංකාවට පැමිණි කාන්තාවකගේ කතාවක් පමණී. මේ වගේම අනන්ත දුක් විඳින කතා තව බොහෝමයකි. ගෘහ සේවය සඳහා මැදපෙර දිග යන අපේ බහුතරයක් කාන්තාවන්ට මේ ඉරණම අත්වන්නේ ඇයි? ඒ ගැන කතා කළහොත් පැති කිහිපයක් ගැනම අපි කතා කළ යුතු වෙනවා. ඔවුන් නිරපරාදේ වධහිංසනයට ලක්වෙනවා නම්, කුසගින්නේ සිටිනවානම්. රැවටීමකට ලක්වෙනවා නම් ආබාධිත තත්වයෙන් වගේම පණසුන් මළ සිරුරු ලෙස මෙරටට පැමිණෙනවා නම් එතැන යම් ගැටළුවක් තිබෙන බව නම් පැහැදිලියි.
කාන්තාවන් ගෘහ සේවය සඳහා පිටත්වීම පිළිබඳව විවිධ අදහස් සමාජය විසින් දරයි ලබනවා. ඇතැමුන් කාන්තාවන් රට යාම නුසුදුසු බව ද පවසයි. නමුත් මේ විදේශ ගත වන කාන්තාවන්ගේ සැබෑ අවශ්‍යතාවය කුමක් ද, ඔවුන් විදේශ ගත වන්නේ ඇයි යන්න ඔවුන්ගෙන් විමසන්නේ නැත. එසේ නොවන තැන ඒකපාර්ශිකව මත ඉදිරිපත් කිරීම, සමාජය තුළ කොන්කිරීමකට හෝ වෙනස්කමකට ලක්කිරීම මෙම කාන්තාවන්ට කරන අසාධාරණයකි. මේ නිසාම අපි සංක්‍රමණික සේවයේ යෙදුණු කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ කතා බහ කර ඔවුන්ගේ අත්දැකීම් ද මේ ලිපියට එකතු කරගනිමු.
කාන්තාවන් විදේශ රැකියා සඳහා පෙළඹෙන්නේ ඇයි?
විදේශ රැකියා සඳහා පුරුෂයින්ට වඩා වැඩි ප්‍රමාණයක් සංක්‍රමණය වන්නේ කාන්තාවන්ය. අපේ රටේ වාර්ෂිකව විදේශ ගත වන ස්ත්‍රීන්ගේ ප්‍රමාණය ලක්‍ෂය ඉක්මවයි. රටේ පවතින ආර්ථික, සමාජයීය හා සංස්කෘතික මෙන්ම දේශපාලන හේතූන් මත විවිධ ආකාරයෙන් පිරිස් රටින් පිටව ගියද, මැද පෙර දිග ගෘහ සේවය සඳහා ස්ත්‍රීන් පිටව යාමට ප්‍රධානතම හේතූන් වනුයේ ආර්ථික අපහසුතා, මෙරට රැකියා අවස්ථා ප්‍රමාණවත් නොවීම, පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීම සහ ගේදොර සාදාගැනීම වැනි කාරණාය.
මෑත දශක කිහිපය ගත් කළ යුදමය වාතාවරණය/ස්වභාවික ව්‍යසනය අවස්ථාවලදී තම දේපල හානිවීම සහ ඒවා යළි ගොඩනගා ගැනීමේ අධිෂ්ඨානය, තවද සැමියාගෙන් සිදුවන වධ හිංසා, පවුල නඩත්තු කිරීමට ප්‍රමාණවත් අයුරින් මුදල් නොලැබීම, සැමියාගේ බීමත්කම හා දුම්පානයට ඇබ්බැහිවීම තුළින් පැන නගින ආර්ථික හා ප්‍රචණ්ඩකාරී ගැටළු ද දැක්විය හැක. රට තුළ කර්මාන්ත ශාලා බොහෝමයක් වැසීයාම තුළින් විරැකියාව බහුල වීම, ප්‍රමාණවත් වැටුපක් හිමි නොවීම, ආදායම මඳකම විදේශ රැකියා සඳහා පිටත් වීමට කාන්තාවන් පොළඹවයි. කෙතරම් පීඩා හා පෞද්ගලික ප්‍රශ්න ඇති වුවද සංක්‍රමණයේ අවදානම පසෙකලා අරමුණු ඉෂ්ට කරගැනීම පිණිස තම ජීවිතය පරදුවට තබා ගෘහ සේවය සඳහා ද පිටත් වෙති.
විදේශ සේවයේ දී ස්ත්‍රීන් සේවය කරන ස්ථානයේ නිසි ආරක්‍ෂාව නොලැබීම, හාම්පුතුන් විසින් බලයෙන් හා වැඩියෙන් වැඩ ගැනීම, තමන්ට හිමි වැටුප හිමිනොවීම, ආහාර පාන ලබානොදීම ප්‍රශ්න රාශියකට මුහුණ දෙති. බහුතරයක් කාන්තාවන්ගෙන් ලැබෙන පැමිණිලි වන්නේ ලිංගික අතවරයන් සම්බන්‍ධයෙනි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය 2008 වසරේ දී නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවේ සඳහන් පරිදි වැඩිම පැමිණිලි සංඛ්‍යාව ලැබී ඇත්තේ ද සවුදි අරාබියෙනි.
‛ගෘහ සේවය’ වහල් සේවයක ස්වරූපයක් ගන්නා අතර කිසිදු නෛතික ආරක්‍ෂාවක් නොමැති ඔවුන්ගේ ප්‍රශ්න හමුවේ අයිතිවාසිකම් කියාපෑමට, නීතිය ඉදිරියට ගොස් සහනයක් ලැබීමට ඇති ඉඩ කඩ නොමැති වීම, පැමිණිලි යොමුකිරීමට රජයේ මධ්‍යස්ථානයක් නොතිබීම විශාල අඩුවක් බව අප සමඟ කතා බහ කළ රාගම පදිංචි කාන්ති පැවසුවාය. නිවෙස්වලින් පැනයන ලෙස එරට ඒජන්සිකරුවන්ගෙන් ලැබෙන උපදෙස් මත පැනගියද නැවත අත්අඩංගුවට ගෙන ‛සේෆ් හවුස්’ :ී්ැෙ ්‍යදමිැ* නැමැති රැඳවුම් ස්ථානයක තබන බවත් එම ස්ථාන ද නිසි ප්‍රමිතියකින් සහ ආරක්‍ෂාවකින් තොර බව කාන්ති තවදුරටත් කියා සිටියාය.
“මම හිටපු ගෙදර මට පඩි දුන්නෙ නැහැ. මම ණය වෙලා ආපු නිසා මගෙ පඩිය දෙන්න කියලා මම දිගටම කිවුවා. එතකොට ගෙදර ගැහැනු කෙනා මාව බිමට තල්ලු කරලා පයින් ගැහුවා. එකදිගටම මගේ බඩට ගැහුවා. ඉවසන්න බැරිම තැන මමත් එයාට පහරක් ගැහුවා. පස්සෙ එයා මට වෙඩි තියන්න තුවක්කුව අරගෙන එන්න ගියා. ඒ අතරෙ මම දොරවහලා දාලා දිවුවා. දෙවැනි තට්ටුවෙන් පැනල යන්න මගේ අතට අහුවුනේ බෙඩ්ෂීට් එකක් විතරයි. මම ඒක ජනේලෙ ගැටගහල බිමට බැස්සා. කෙලින්ම දිවුවේ එම්බසියට. මගේ බඩට පයින් ගහපු නිසා මුත්‍රාශය හිරවෙලා මූත්‍රා යන්නෙ නැතුව දවස් ගානක් හිටියා. ඊට පස්සෙ මට ප්‍රතිකාර කරලා සේෆ් හවුස් එකට දැම්මා. එහෙදිත් මම විඳින්න පුළුවන් හැම දුකක්ම වින්ඳා. දැන් මතක් වෙන කොටත් මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා. ගෑනු අපි රට යන්නේ ආසාවට නෙමෙයි. අපිට ඉගෙනුමක් නැතිවුණත් ගෙදරක වැඩ ටික අපි හරියට කරනවා. ඇයි අපිට පොරොන්දු වෙච්ච පඩිය ඉල්ලුවාම නොදෙන්නේ, ගහන්නේ. අපි ගැන හොයන්න බලන්න කෙනෙක් එහෙ නැති නිසානේ අපට මේ තරම් කරදර විඳින්න සිද්ධ වෙන්නේ. මේවා දැන්වත් වෙනස් වෙන්න ඕන. නැත්නම් කොහෙන්ද අපට අදායම් මාර්ගයක් ලැබෙන්නෙ. මගේ මහත්තයා බීමට ඇබ්බැහිවෙලා අසනීප වෙලා. රස්සාවකුත් නැතිව ගෙදර ඉන්නේ.“
කාන්ති, වයස අවු:42යි, රාගම
සංක්‍රමණික කාන්තාවන් සිය දෙනෙකු සමඟ කළ සම්මුඛ සාකච්ඡා පදනම් කරගත් සමීක්‍ෂණයක් හියුමන් රයිට්ස් වොච් නැමැති ආයතනය විසින් 2006 වසරේ දී සිදුකර ඇත. මෙම වාර්තාවේ ලෙබනන්, කුවේට්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් හි සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවන් මුහුණදෙන ප්‍රශ්න පිළිබඳ තොරතුරු සහ නිර්දේශ හෙළිදරව් කොට තිබුණි. නමුත් එම වාර්තාව ශ්‍රී ලංකා රජය සහ සවුදි රජය විසින් පිළිනොගන්නා බවට 2007/11/26 දිනැති ඩේලිනිවුස් පුවත්පතට ප්‍රකාශයක් කොට තිබුණි.
සංක්‍රමණික කාන්තාවන් සම්බන්‍ධයෙන් රජය දැනට ශ්‍රමික සංක්‍රමණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් 2008 වසරේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. සංක්‍රමණික සේවයේ දී මුහුණදෙන ගැටළු අවම කිරීමේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ යහපත උදෙසා සකස් කළ මෙම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ රජයේ වගවීම ද මනාව පෙන්වා දෙයි. මෙම ප්‍රතිපත්තිය මූලිකවම සංක්‍රමණික ක්‍රියාවලියේ යහපාලනය, සංක්‍රමණික සේවයකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල ආරක්‍ෂාව බලසතු කිරීම සහ සංක්‍රමණය හා සංවර්ධන ක්‍රියාවලියට සම්බන්‍ධ වීම යන කොටස් තුනකින් සමන්විතය.
ශ්‍රී ලංකා ශ්‍රමිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් රක්‍ෂණ යෝජනා, සුභසාධන නිලධාරීන්, ණය යෝජනා ක්‍රම ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව යෝජනා ක්‍රම වැනි සුභසාධන පියවරයන් රාශියක් ඉටුකිරීමේ හැකිකම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත බාරදී තිබෙන බව තදුරටත් 2008 ශ්‍රමික සංක්‍රමණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියෙහි සඳහන් වේ. සංක්‍රමණික සේවකයින් ලෙස තමන්ට හිමි අයිතිවාසිකම් ලඟා කරගැනීමට ඇති හැකියාවන් මොනවාදැයි දැනුවත් වීම හා ඒවා ක්‍රමවත්ව ක්‍රියාත්මක වේදැයි යන්න පිළිබඳව මහජනයා අවදියෙන් සිටිය යුතුවේ.
ගෘහ සේවිකාවන් සම්බන්‍ධයෙන් සැලකිය යුතු වෙනස්කම් රාශියකට වහාම පියවර ගත යුතුව ඇත. මන්ද 2007 වසරේ දී සමස්ත සංක්‍රමණික සේවකයින්ගේ මළ සිරුරු 283 ක් ද, 2009 වසරේ දී 330 ක්ද මෙරටට ගෙන ඒම අතිශය ඛේදනීය තත්ත්වයක් වන බැවිනි. මෙයිනුත් 2009 වසරේදී ගෙන එන ලද මළ සිරුරුවලින් බහුතරයක්ම ගෘහ සේවිකාවන් බවත් මිය යාමට හේතු තවමත් සොයාගෙන නැති බවත් ්ර්ඉස්බ ඉමිසබැිගජදප නම් වූ වෙබ් අඩවියේ සඳහන් වේ.
1996 සංක්‍රමණික ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තැබීමෙන්, සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ තත්ත්වය යහපත් කිරීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරන බවට බැඳී සිටී. ලංකාවේ පවතින නීතීන් මගින් සංක්‍රමණික සේවකයින් සඳහා යුක්තිය ඉටුකර ගැනීමට නම් නීති සංශෝධන වීමක් ද ප්‍රමාණවත් අයුරින් සිදු කළ යුතුව ඇත.
දකුණු අප්‍රිකාව පිලිපීනය වැනි රටවල්වලින් තම සංක්‍රමණික සේවකයින් උදෙසා නිසි යාන්ත්‍රණ සකස් කිරීම හේතුවෙන් විශේ්ෂයෙන්ම ද්විපාර්ශ්වික ගිවිසුම් මගින් සංක්‍රමණිකයින් හා ඔවුන්ගේ අයිතීන් ආරක්‍ෂා කිරීමට කටයුතු කර ඇත. ඒවා සංක්‍රමණික සේවකයින් හට සිදුවන ගැටළු අවම ලෙස වාර්තා වන රටවල්ය. තම පුරවැසියන් සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර කේවල් කිරීමෙන් ඒ රාජ්‍යයන් විසින් ලබා දෙන ආරක්‍ෂාවේ සහතිකය අද ඔවුන් සතුව ඇත. ව්‍යාජ ඒජන්සි සහ උප නියෝජිතයින් මාර්ගයෙන් රට රැකියාවට යන, පුහුණුව හෝ රක්‍ෂණාවරණය ලබානොගෙන යන අයට මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. නමුත් අප සමඟ කතා කළ සමහර කාන්තාවන් පැවසුවේ රක්‍ෂණාවරණය ලබාගෙන ගිය ද තමන්ට ඇතැම් අවස්ථාවලදී වන්දියක් පවා නොලැබුණු බවයි. එපමණක් නොව ව්‍යාජ ඒජන්සිකරුවන් ග්‍රහණයට හසු කරගැනීම, ශ්‍රමිකයින් භාරගන්නා රටවලදී ශ්‍රමිකයින් මානව හා ශ්‍රමික හිමිකම් උල්ලංඝණය වීම සම්බන්‍ධ සෑම මට්ටමකම පැමිණිලි ලබාගැනීම. විමර්ශනය කිරීම හා නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කිරීම සඳහා බලතල සහිත යාන්ත්‍රණයක අවශ්‍යතාවය දැඩිව පවතී. 2005 දී සවුදි අරාබියෙහි ගෘහ සේවයට ගිය රිසානා නෆීක් දැරියට දරුවකු මරා දැමූ බවට චෝදනා ලැබීමට සිදුවූයේ ද ව්‍යාජ ඒජන්සිකරුවන් විසින් ඇගේ වයස අවුරුදු 15, 17ක් ලෙස වැඩි කොට ලියකිලවිලි සකස් කිරීම හේතුවෙනි. මරණ දඬුවම ඇයට හිමි වුවද දේශීය මෙන්ම විදේශීය සංවිධාන රැසකගේ බලපෑමෙන් ඇය සිරගතව තව දුරටත් ජීවත් වන්නට වරම් ලැබුවාය.
2008 වසරේදී මැද පෙරදිග ගෘහ සේවය සඳහා පිටත් වූ ස්ත්‍රීන්ගේ ප්‍රමාණය 108,709 කි. ශ්‍රමිකයින් සම්බන්‍ධයෙන් උනන්දුවක් දක්වන රටවල්වල ඉල්ලුමට අනුව ශ්‍රී ලංකාවේ රජය ස්ත්‍රීන් තෝරාගැනීම, පුහුණු කිරීම, සූදානම් කිරීම රක්‍ෂණාවරණය ලබාදී විදේශ ගත කරවීම පිළිබඳ ක්‍රියාවලිය සිදුකරයි. එලෙසම ලැබෙන පැමිණිලිවලට අනුව එරටදී තමන්ට සිදුවන වධ හිංසා අයිතිවාසිකම් උල්ලංඝණය වීම සම්බන්‍ධයෙන් පැමිණිලි කිරීමට නිසි යාන්ත්‍රණයක් නොමැති කම, තානාපති කාර්යාලය හෝ කොන්සල්වරයා යටතේ සොයා බැලීමක් අවශ්‍ය බව බොහෝ කාන්තාවන් අප සමඟ පැවසූහ. වැඩිම පැමිණිලි ප්‍රමාණයක් වාර්තා වන්නේ සවුදි හි සේවය කළ කාන්තාවන්ගෙනි.
2005 සිට 2008 දක්වා ලිංග වෙනස මත ලැබුණු පැමිණිලි
2008 වසර දී කාන්තාවන් ගෘහ සේවය සඳහා පිටත් කිරීම නතර කළ යුතු බවට විවිධ ප්‍රතිපත්තීන් ගෙන ඒමට උත්සාහ කළ වසරකි. අවුරුදු 5ට වඩා අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ ගතවීම වැළැක්වීම සඳහා ගත් උත්සාහය ඊට එක් උදාහරණයකි. තවද, ගෘහ සේවය කාන්තාවන්ට නුසුදුසු බවත් එය අවිධිමත් ක්‍ෂේත්‍රයක් ලෙස සලකන බැවින් නව ඇබෑර්තු සඳහා වැඩියෙන් පිරිමින් දිරිමත් කිරීමක් පසුගිය දිනවල දක්නට ලැබුණි. විශේෂයෙන්ම පුවත්පත් දැන්වීම්වල පවා පිරිමි පක්‍ෂය ඉලක්ක කරගත් කෝකිවරු, රෝහල් සහායක, සාප්පු-බැංකු පිරිසිදුකරන්නන් වැනි තනතුරු රාශියකට ඇබෑර්තු දක්නට ලැබුණි.
‛‛අපටත් ගෘහසේවය නැතිව, පිරිසිදු කරන වැඩ, කෝකිවැඩ දෙනවා නම් අපිත් කරනවා. අපට කියන්නේ ගෘහසේවය තමයි තියෙන්නේ කියලා. නමුත් එහෙට ගියාම තමයි දන්නෙ අපට කරන්න පුළුවන් විදිහේ තව කොච්චර නම් රස්සාවල් තියෙනවද කියලා.”
- නයෝමි වයස 34යි, පුත්තලම
කාන්තාවන්ටත් ගෘහ සේවයට අමතරව වෙනත් රැකියා සඳහා අවස්ථා සලසා දෙන්නේ නම් ඔවුන් ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වනු නොඅනුමානයි. අනෙක් අතට ගෘහසේවය යනු ස්ත්‍රීන්ට නුසුදුසු බව මෙයින් අදහස් නොකරන අතර ඔවුන්ගේ අයිතිවාසිකම් හරිහැටි ආරක්‍ෂාවන විධිමත් යාන්ත්‍රණයක් සැකසෙන්නේ නම් එයට ද අපේ කාන්තාවන්ට ඉතා හොඳ රැකියාවකි.
විදේශ ගතව මෙරට පැමිණි කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ කතා බහ කිරීමේදී ඔවුන් පැවසුවේ බොහෝ දුරට තම පරමාර්ථ සාර්ථක කරගැනීමට නොහැකි වූ බවයි. හාම් පුතුන්ගෙන් වධ බන්ධනයට ලක්වීම, වැටුප් නොලැබීම සහ නිසි ආරක්‍ෂාව නොමැති වීමෙන් ගිවිසුම් කාලය සම්පූර්ණ වීමට පෙර මෙරටට පෙරළා පැමිණීමට සිදුවූ බවයි. මෙයිනුත් ඇතැමුන් රෝගීන් හෝ අබාධිතයින් හැටියත් සමහර කාන්තාවන් වධ බනධනයට ලක්වීමේ කම්පනය හේතුවෙන් මානසික රෝගීන් ලෙස ද පෙළේ.
මෙම ස්ත්‍රීන්ට එතෙරදී මුහුණ දීමට සිදුවන ප්‍රශ්නවලට අමතරව මෙරටට පැමිණීමේ දී ඔවුන් තව තවත් පීඩාවට පත්වේ. සියලු දේ අත හැර දමා සිය රටට බලාපොරොත්තු සුන්වූවන් ලෙස හිස් අතින් පෙරළා පැමිණීමට සිදුවීම, මෙරටට පැමිණෙන විට තම පවුලේ ප්‍රශ්න දෙගුණ තෙගුණ වී තිබීම හා සදාකාලික ණයගැතියන් වීම, ඔවුන්ට යළි සමාජගත වීමට ඇති ආර්ථික, සමාජීය හා සංස්කෘතික බාධාවන් සහ පවුල් ප්‍රශ්න වැඩිවී තිබීම වැනි නොයෙකුත් කාරණා දැක්විය හැක.
මෙයින් කාන්තාවකට සංක්‍රමණ සේවය අයහපත් හෝ අසාර්ථක බව අදහස් නොකෙරේ. සාර්ථක අවස්ථාවන් ද බොහෝමයක් ඇත. රඹුක්කන පදිංචි ශීලා අප සමඟ පැවසුවේ ඇය කුවේට් හිදී සේවය කළ නිවසේ අය ඇයට ඉතා හොඳින් සැලකූ බවයි. ඇයට වැටුප් නිසි පරිදි ලැබී ඇත. තුන්වතාවක් විදේශගත වී තම පුතුන් දෙදෙනාට ද විදේශ රැකියා අවස්ථා හිමි කරගනිමින්, ඉඩමක් මිලදී ගෙන නිවසක් ද තනා ඇගේ පරමාර්ථ ඉටුකරගෙන ඇත.
විදේශ රැකියා සඳහා පිටත්වීම 1986 -2008
බොහෝ ලාංකිකයින්ගේ මතයක් වන්නේ කාන්තාවන් විදේශ රැකියාවට ගිය විට පවුල අසාර්ථක වේ, සැමියාට දරුවන් බලාගත නොහැක, දරුවන්ට මව අත්‍යවශ්‍යය වැනි ආකල්පයි. සැබැවින්ම මෙය අප සමාජය තුළ මුල්බැසගත් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ආකල්පයකි. දරුවන්ගේ වගකීම මවට පමණක් නොව පියාට ද ඒ හා සමානව තිබෙන බව අප සමාජය පිළි නොගන්නා නිසාම පවුලේ වැඩි වගකීම කාන්තාව මත පැටවීමට පුරුදුව සිටී. උදාහරණ ලෙස සුනාමි ඛේදවාචකයෙන් පසුව බොහෝ කාන්තාවන් මිය ගිය විට දරුවන් සමඟ පියවරුන් තනිවිය. මෙහිදී දරුවන්ගේ වගකීම දැරීමට සිදුවන්නේ පියවරුන්ට නොවේද?. එසේම මව මිය ගිය විට දරුවන්ගේ සහ ගේදොර ඕනෑඑපාකම් සොයාබැලීමට මව හා සමානව පුරුෂයින් පුරුදු වීම හා පියාගේ වගකීම් කොටස ඉෂ්ට කිරීම පැහැර හැරිය නොහැක. බොහෝ කාන්තාවන් විදේශයන්හි සේවය කරමින් එවන මිල මුදල් නිසි කළමනාකරණය නොකර මත්පැනට හා දුම්වැටියට නාස්ති කරනේනේද බොහෝවිට පිරිමින් බව අප පිළිගත යුතුය. කාන්තාවන්ට ද සමානයින් ලෙස රැකියාවක් කිරීමේ අයිතිය ඇති බව බොහෝවිට අමතක කරති. සමහර විට ඇය පවුල නඩත්තු කරන දරුවන්ගේ මතු දියුණුව ගැන වගකීමෙන් වැඩ කරන ගෙදර එකම ‛ගෘහමූලිකයා’ ද විය හැක. ඒ නිසාම පවුල ගොඩගැනීමේ අවශ්‍යතාවය ස්ත්‍රීන්ට දැඩිව දැනේ.
සියලුම පුරවැසියන් උදෙසා යහපත් ලෙස සේවයේ යෙදීමේ අවස්ථා නිර්මාණය කිරීමේත්, සේවයෙන් යෙදෙන කල්හි මූලික මානව අයිතිවාසිකම් ඉහළම ප්‍රමිතීන්ගෙන් ආරක්‍ෂා වන පරිසරයන්හි සේවා නියුක්තිය සඳහා සරිලන පූර්ණ ස්ත්‍රීන්, පුරුෂයින් සංක්‍රමණය වීම ශ්‍රී ලංකා ජාතික ශ්‍රමික සංක්‍රමණ ප්‍රතිපත්තිය විසින් ආරක්‍ෂා කිරීම හා අභිවර්ධනය කිරීම අරමුණු කොට ඇත. මෙය 2009 අප්‍රේල් මස කැබිනට් මණ්ඩලයෙන් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ද ලබාදී ඇත.
ලංකාවේ පළමු තැනට විදේශ විනිමය හිමිකර දෙන සංක්‍රමණික සේවකයින් අප ආරක්‍ෂා කර ගත යුත්තේ ඔවුන් අප රටේ විදේශ විනිමයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් (2009 වසරේ දී මිලියන 316,118ක්) සොයා දීම නිසා පමණක්ම නොව. මොවුන් අප රටේ පුරවැසියන් වන අතර ඔවුන් අනාරක්‍ෂිතව දිනෙන් දින කරදරයට හා විපතට පත් වන නිසායි. ‛මානව ආරක්‍ෂාව’ යනු සංවර්ධනයේ ප්‍රධාන අංගයකි. මානව සංවර්ධනය නොමැති තැන රටේ සංවර්ධනය සම්පූර්ණ නොවේ. සංක්‍රමණික සේවයෙන් පසු මෙරටට පැමිණෙන ඕනෑම පුද්ගලයෙක් යැපීමේ මානසිකත්වයෙන් තොරව සාර්ථකත්වය අත් කරගත් අයෙකු ලෙස පැමිණෙනවා දැකීම අපගේ ඒකායන ප්‍රාර්ථනයයි. එසේනම් වර්තමානයේ ඉහළ යමින් තිබෙන සංක්‍රමණික කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්නවලට නැවතීමේ තිත සැබැවින්ම තැබීමට කැපවන්නේ කවදාද?
වේලායුදන් ජයචිත්‍රා
1985 ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත ශ්‍රමික සංක්‍රමණයට ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලැබුණු මුල්ම අවස්ථාවයි. විදේශයෙහි සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයෝ ශ්‍රී ලංකාව තුළ ඔවුන්ව පාලනය වන හෝ ආරක්‍ෂා වන ජාතික කම්කරු නීතිවල ආවරණය නොලැබේ. සුභ සාධනය ගත් විට සංක්‍රමණිකයින් විදේශ සේවා නියුක්තිය සඳහා සූදානම් කිරීමත් සංක්‍රමණික සේවකයින්ට රැකවරණය දීම හා ආධාර කිරීමටත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නීතියෙන් අවස්ථාව සපයා ඇත.
- ශ්‍රමික සංක්‍රමණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, 2009
1986-87 දක්වා වූ කාලය තුළ විදේශ ගත වූ කාන්තාවන්ගේ ප්‍රතිශතය 24% ක් වුවද 1988 වන විට 55%ක් සහ 1997 වන විට එය 75% ක් දක්වා වැඩි විය. නමුත් 2008 වසර වන විට එය ස්ත්‍රී සංක්‍රමණයේ පහත වැටීමක් දක්නට ලැබේ.
“නිදහස, සම සාධාරණත්වය, ආරක්‍ෂාව හා මානව අභිමානය යන තත්ත්වයන් යටතේ ස්ත්‍රී පුරුෂයින් සඳහා ඵලදායී සේවා අවස්ථා අභිවර්ධනය කිරීම තුළින් දිළිඳුන් හා අගහිඟවලින් තොර වඩා හොඳ ජීවන තත්ත්වයක් සියලුම ශ්‍රී ලාංකිකයින් විසින් භුක්ති විඳින සාමයෙන් හා සෞභාග්‍යයෙන් යුතු අනාගතයක්” යන්න ශ්‍රමික සංක්‍රමණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්ම වේ.
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – මහා මැතිවරණයට පසු වදනක්
April 11, 2010 by Vikalpa_R
Filed under Colombo, Democracy, Election, Featured Articles, Peace and reconciliation, සිංහල
සුනන්ද දේශප්‍රිය
ශ්‍රී ලංකාවේ මැතිවරණ න්ීති කළ එළියේම කෙළසීමෙන් වාර්තා තැබූවා වූද එනිසාම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තමන්ට හැකියාවක් නැතැයි මැතිවරණ කොමසාරිස්වරයා විසින් පවා පිළිගත්තා වූ ද 2010 අප්‍රේල් මහා මැතිවරණය දැන් ඇත්තේ අපට පිටු පසිනි. මෙම මැතිවරණය මගින් පශ්චාත් යුද්ධ කාල පරිච්ඡේදය පශ්චාත් මැතිවරණ කාල පරිච්ඡේදයක් බවට පත් කරයි. දැන් තව වසර පහක් යන තුරු මහා මැතිවරණ හෝ ජනාධිපතිවරණ නැත.
බලයට පත් වන්නේ කවරකු ද යන්න නොසළකා එළඹෙන පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනය අභියෝග තුනකට මුහුණ දෙයි. ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සැපයීම සහ යුද්ධ කාලයෙහි සිදුවූ මානුෂීය විපත් සම්බන්ධයෙන් වගවීමේ පාර දෘශ්‍ය ක්‍රියාවළියක් ඇති කිරීම, රටෙහි නීතියේ පාලනය සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් (නිදහස් සහ සාධාරණ මැතිවරණ අයිතිය ද ඇතුළුව) තහවුරු කිරීම සහ බස්නාහිරට සීමා නොවන ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම යනු ඒවා ය.
මා මේ සටහන ලියන්නේ 2010 මහා මැතිවරණයට දින දෙකක් තිබිය දී එහි ප්‍රතිපල නොදැන ය. එමෙන් ම මෙම මැතිවරණයෙහි ඡන්දදායකගේ මනෝභාවයන් යම් තරමකට හෝ තේරුම් ගැනීමට අවකාශයක් ද නැතිවය.
2010 අප්‍රේල් මහා මැතිවරණයෙන් පාලක පොදු පෙරමුණ යළි ජයග්‍රහණය කරනු ඇති බවට සැකයක් නැත. එනමුත් මෙම ජයග්‍රහණය එකතු වනු ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා ජනාධිපති රාජපක්ෂ එකතු කර ගනිමින් සිටින දේශපාලන කුසලාන අතරට ය. එනයින් මහා මැතිවරණයේ එක් ප්‍රතිපලයක් වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ රාජපක්ෂ බලය තහවුරුවීම යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක බලකඳවුර වූ ගම්පහ දිස්ත්‍රික්කය ද මෙම මැතිවරණයෙන් රාජපක්ෂවරුන්ගේ දේශපාලන බූදලයට අයිතිවීම එම බලයේ සංකේතය වනු ඇත. සම්ප්‍රදායික ශ්‍රීලනිප නායකත්වය වෙනුවට රාජපක්ෂවරුන් හැරුණ විට, පිට කුරුල්ලන් සහ පැරිෂූට්කාරයින් ලෙස හැදින්වෙන රාජපක්ෂවාදී ජොනීලාද වීරවංශලාද රණවකලාද යනාදී වශයෙන් වන නව ප්‍රභේදයක් මෙම මැතිවරණයෙන් ඉදිරියට එනවා ඇත. පරිණාමවාදයේ පියා වන චාල්ස් ඩාවින් කියා සිටියේ ජිව විද්‍යාත්මක නව ප්‍රභේද බිහිවීම පරිණාමයේ ඉදිරි පියවරක් බව ය. එනමුත් මෙම පිටකුරුල්ලන්ගේ නව ප්‍රභේදය ශ්‍රීලනිපය තුළට ගෙන එනු ඇත්තේ ප්‍රගතියක් නොවේ. මන්ද යත් මෙම ප්‍රභේදයේ බොහෝ දෙනා ඇලුම් කරන්නේ බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට නොව මහජාතිකවාදී මතවාදය පදනම් කරගත් පුද්ගලාභිවාදන අත්තනෝමතික දේශපාලනයකට නිසා ය. ශ්‍රීලනිපය තුළ පදනමක් නැති මෙම පිරිස් සතු එකම පදනම රාජපක්ෂවාදය යි.
රාජපක්ෂවාදී දේශපාලන කෝණයෙන් බැලූ විට මෙම මැතිවරණයේ වැදගත්කම රඳා පැවැතියේ නව පාර්ලිමේන්තුවෙහි තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීම මත ය. වත්මන් මැතිවරණ ක්‍රමය යටතේ ඉතාම ජනප්‍රිය ආණ්ඩුවකට වුව ද තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීම ඉතා දුෂ්කර ය. යුද්ධ කාලීන රාජපක්ෂ ආණ්ඩුවේ දෘඩ සහායකයකු වූ ද ජිනීවාහි හිටපු ශ්‍රී ලංකා තානාපති වූ ද දයාන් ජයතිලක මෑත දිනෙක ලියා පළ කල ලිපියක වු මුලික අදහස වුයේ මෙම මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකාවට ලැබිය හැකි වඩාම හොඳ ප්‍රතිපලය වනු ඇත්තේ රාජපක්ෂ පාලනය ජයග්‍රහණය කරන අතර එයට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් නොලැබීම යාම බව ය. එවැනි තත්ත්වයක් යටතේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සංධානය එනම් ටීඑන්ඒ සමඟ එක්ව දේශපාලන ප්‍රතිසංස්කරනයන් කරා ගමන් කිරීමට රාජපක්ෂ පාලනයට සිදුවනු ඇතැයි ජයතිලක එම ලිපියේ ලා උපකල්පනය කරයි. එමෙන්ම ඔහු කියා සිටින්නේ අන්ත ජාතිකවාදී සිංහල බලවේග හුදකලා කිරීමට ඒ විසින් අවස්ථාවක් සළසනු ඇති බව යි.
ඔහු මෙසේ කිය යි:“අප රටෙහි ඇතිවු ඉතාම අධිපතිවාදී පාලනයන් අප දුටුවේ තුනෙන් දෙකේ බහුතරයක් භුක්ති විඳි ආණ්ඩුවලිනි. අපට ලැබුූණු ව්‍යවස්ථා තුන අතරින් 1972 දී සහ 1978 දී (තුනෙන් දෙකේ බලයෙන්) සම්මත කරන ලද ව්‍යවස්ථාවන් දෙකටම වඩා නිදහස ලැබූ අවස්ථාවේදි ලද සොල්ස්බරි ව්‍යවස්ථාව ඥාණාන්විතය. ප්‍රායෝගික ය”
ජයතිලකගේ ලිපිය උතුරු නැගෙනහිර දෙමළ ජනයා අතර දෙමළ ජාතික සංධානය ලබා ගනු ඇති මූලිකත්වය ව්‍යංගයෙන් පිළිගනී. උතුරු නැගෙනහිර දෙමළ ප්‍රදේශයන්හි ප්‍රධාන දේශපාලන බලවේගය ලෙස මෙම මැතිවරණය විසින් යළි දෙමළ ජාතික සංධානය තහවුරුවීම ද අපට දකින්ට ලැබෙනවා ඇත. මුස්ලිම් දේශපාලනය තුළ ද රවුප් හකීම් නායකත්වය දෙන මුස්ලිම් ක්‍රොන්ග්‍රසය තහවුරු වීමට ද බොහෝ දුරට ම ඉඩ තිබේ. මෙම වර්ධනයන් දෙක ශ්‍රී ලංකාවේ දේශපාලනයට තීරණාත්මක වැදගත්කමකින් යුතු ය. මන්ද යත් ඉදිරි කාලය තුළ එම බලවේග සමඟ සන්ධානයකට නොයා සාර්ථක දේශපාලන විසඳුමක් ඇති කළ නොහැකි නිසා ය.
එසේ නමුත් මහා මැතිවරණ වේදිකාව තුළ රාජපක්ෂ දැක්ම වූයේ සහජිවී දේශපාලන දැක්මක් නොවේ. පෙඩරල්වාදය ගැන කතා කරන දෙමළ ජාතික සංධානය තහනම් කරන බව ගෝඨාභය රාජපක්ෂ කී බව ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් පුවත්පත වාර්තා කළේ ය. බලය බෙදීමක් අවශ්‍ය නැති බවට ප්‍රබල ඇමැතිවරයකු වන රණවක ප්‍රකාශ කළේ ය. 13වන සංසෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකරන බව ජනාධිපතිවරයා අවධාරනය කළේ ය.
එසේ නමුත් ඉන්දියානු පාලන තන්ත්‍රයේ හිතවතකු සහ උතුරු නැගෙනහිර හිටපු මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් සිය පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගි වෙමින් කියා සිටියේ 13වන සංසෝධනය ආරම්භයක් පමණක් බවත් පෙඩරල් ක්‍රමයක් වඩා උචිත බවත් ය. එමෙන්ම දෙමළ දේශපාලන පක්ෂ එක්සත් වුවහොත් දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා ඉන්දියාවේ උදව් ලැබෙනු ඇති බවත් ය. එමෙන්ම නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයාන් ට මැතිවරණය අවසන් වු වහාම ඉන්දියවට පැමිණෙන ලෙස දැනටමත් නිල ආරාධනයක් තිබේ. මහා මැතිවරණයෙන් පසු රාජපක්ෂ පාලනය මුහුණ දෙනු ඇති හදිසි ප්‍රධාන ප්‍රශ්නය වනු ඇත්තේ දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉදිරියට ගෙන එනු ඇති උතුරු නැගෙනහිර ප්‍රශ්නය යි.
දේශපාලන විසදුමක් ඇති කිරීම, ප්‍රජාතන්ත්‍රීයකරණය සහ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය සම්මුතිය, බලය සහ ස්ථාවරබව ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති හොඳම තෝරා ගැනීම විය හැකිය. දයාන් ජයතිලක විසින් දකින සහජිවී සහ එකඟතා දේශපාලනයක් කරා යනු වෙනුවට රාජපක්ෂ පාලනය මර්ධනකාරී මාවතක් ගනු ඇති බවට දිර්ඝ කාලයක් මහින්ද රාජපක්ෂගේ දේශපාලන හිතවතකු සහ නොනිල උපදේශකයකු වූ කුසල් පෙරේරා තර්ක කරයි. රාජපක්ෂ පාලනය බුරුමයේ හමුදා පාලක තාන් ෂේගේ පාලනයට වඩා සමානයැයි තර්ක කරමින් ඔහූ පසුගිය සතියේ දී මෙසේ ලීවේ ය:
‛‛රාජපක්ෂ පාලනය කැමැත්තක් දක්වන්නේ කවර ලක්ෂණ සහිත පාර්ලිමේන්තුවකට ද යන්න තරඟයට ඉදිරිපත් කරන ලද පුද්ගලයින්ගේ හැටියෙන් පෙනීයයි. සැක කටයුතු මත්කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන්ද, පතාල මැරවර කල්ලි නායකයින් ද, දූෂණයට නම් දැරූ දේශපාලන හෙංචයියන් සහ කල් ඉකුත් වු නළු නිළියන්ද දේශප්‍රේමී සහ දානපති සළු පොරවා අපේක්ෂක ලැයිස්තුවලට ඇතුල් කර තිබේ”.
“මීළග පාර්ලිමේන්තුවට 13වන සංසෝධනය හෝ 17වන සංසෝධනය ගැන හෝ සිතීමටවත් සංවර්ධන පිළිවෙත් වාද විවාද කරමින් කල් මැරීමටවත් අවශ්‍ය නොවනු ඇත. ඔවුන් තෝරා පත්කරන ලද ජනතාවගේ නාමයෙන් පාලකයන් සොරාකනු බලා සිටිමේ නිදහස ජනතාවට ලැබෙනු ඇති චෞර තන්ත්‍රයක් බවට රාජපක්ෂ පාලනය පත් වනවා ඇත.”
මැතිවරණ ව්‍යාපාරය කෙරී ගිය අන්දම මගින් කවර හෝ නිගමනයකට එළඹීමට අපට හැකි නම් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් නොලැබෙන රාජපක්ෂ පාලනය එම අඩුව පුරවා ගැනීමට උත්සාහ කරනු ඇත්තේ සාකච්ජාව සහ සම්මුතිය මගින් නොව විපක්ෂය දුර්වල කැරෙන මංත්‍රී මිලදී ගැනීමේ හෝ බිය වැද්දවීමේ සුත්තර මගින් බව පෙනෙන්නට තිබේ. දෙමළ ජනවාර්ගික දේශපාලන පක්ෂ සමඟ ද එකගතාවකට වඩා ගැටුමකට යාමට ඇති ඉඩ වැඩි ය. තාවකාලික ජයග්‍රහණයක් ලෙස පෙනී යා හැකි නමුත් එවැනි ක්‍රියාදාමයක් මගින් දුර්වල කරනු ඇත්තේ අපගේ ප්‍රජාතන්ත්‍රවාදී රටාව පමණක් නොවේ. රාජපක්ෂ පාලනය ද එමගින් යටින් දුබල කැරෙනවා ඇත.
අප රටක් වශයෙන් ඉදිරියට යාමට නම් උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ දේශපාලන අභිමතාර්ථයන් කෙරෙහි යථාර්තවාදී දැක්මක් ඇති කර ගත යුතු ය. මර්ධනය නොව ප්‍රජාතන්ත්‍රවාදී එළඹුමක් අවශ්‍ය ය. ඒ සඳහා රාජපක්ෂ පාලනය සුසුමාදර්ශී වෙනසකට ගමන් කල යුතු ය. අභියෝගය එය යි.
මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ද්‍රෝහියෙක් ද?
April 2, 2010 by Vikalpa_R
Filed under Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, සිංහල
රෝහිණී හෙන්ස්මාන්
කතෘ සටහන – ග්‍රවුන්ඩ් වීවිස් වෙබ් අඩවියෙන් උපුටා ගැනුනි.
‘ද්‍රෝහියෙකු යනු කවුරුන් ද? සාමාන්‍යයෙන් ද්‍රෝහියා යන පදය නිර්වචනය කෙරෙන්නේ සිය රට පාවා දෙන්නා යනුවෙනි. එහෙත් මෙම නිර්වචනය, පාවා දීම නිශ්චිතව ම සමන්විත වන්නේ කුමකින් ද යන ප්‍රශ්නය මග හරී. ශ්‍රී ලංකාව තුළ සිදු වුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ ගැන කතා කරන හෝ ලියන “ විශේෂයෙන් ම ඒවා ජාත්‍යන්තර ප්‍රජාව හමුවට ගෙන ගිය බවට චෝදනාවට ලක් වන “ පුවත්පත් කලාවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සම්බන්ධයෙන් මෑතක දී මෙම පදය යොදා ගෙන ඇත. එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසන් අදියරවල් ගැන ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් හමුවේ සාක්ෂි දීමට ඉදිරිපත් වූ නිසා සරත් ෆොන්සේකා විෂයෙහි ද එය යොදා ගැනිණ.
තර්කය වී ඇත්තේ, රුදුරු ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කිරීමට යත්න දැරීමේ දී ආණ්ඩුවට ක්‍රියාවේ පූර්ණ නිදහස තිබිය යුතු ය යන්න යි. ඒ අනුව, එකී පරමාර්ථය ලුහුබැඳ යාමේ දී ගනු ලබන කුමන හෝ පියවරක් සම්බන්ධයෙන් ආණ්ඩුව විවේචනය කිරීම ද්‍රෝහිකමක් හැටියට සලකනු ලැබේ. මන්ද, රටට එල්ල කරන ප්‍රහාරය පිළිබඳව චෝදනාවට ලක් නො වී පලා යාමට ඔවුන් රුදුරු ත්‍රස්තවාදීන්ට සහාය වන බැවිනි. මෙම තර්කය යොදා ගැනුණේ එල්ටීටීඊයට එරෙහි යුද්ධය අතරතුර දී පමණක් නො වේ. යුද්ධය අවසන් වූ පසුව ද එය යොදා ගැනිණ. අද දින රට මුහුණ දෙන තර්ජනය කුමක් දැයි හරියට ම පැහැදිලි නැත. එහෙත් රාජපක්ෂ පාලන තන්ත්‍රය පිළිබඳව කෙරෙන ඕනෑ ම විවේචනයක් හෝ එම තන්ත්‍රයේ බලයට එරෙහිව එල්ල වන ඕනෑ ම අභියෝගයක් රටට එරෙහිව ඉදිරිපත් වන තර්ජනයක් හැටියට දකිනු ලැබේ. එනයින් ඊට වගකිව යුතු ද්‍රෝහීන්ට එරෙහිව බලගතු පියවර ගැනීමට අවසර ලැබේ.
අඩු ගණනේ අප වසර විස්සක් ආ පස්සට ගිය හොත් අපට දක්නට ලැබෙන්නේ මීට බෙහෙවින් ම සමාන දසුනකි. රාජ්‍යය, එවක රුදුරු ත්‍රස්තවාදී සංවිධානයක්ව පැවති ජවිපෙට එරෙහිව සටන් වදිමින් සිටී. එසේ කිරීමේ දී ආණ්ඩුවට ක්‍රියාවේ පූර්ණ නිදහස වුවමනා විය. ප්‍රතිඵලය වූයේ, වග විභාගයක් නැති අත් අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්, වධබන්ධන පැමිණවීම්, බලාත්කාරී අතුරුදන් කිරීම් සහ අධිකරණ තීන්දුවලින් බැහැරව සිදු වුණු ඝාතන ය. එජාප ආණ්ඩුව ද එවකට බලයේ සිටි ජනාධිපතිවරයා ද විවේචනය කිරීමට ඉදිරිපත් වූ සියල්ලෝ මේ ඉරණමට මුහුණ පෑහ. කිසිදු අධිකරණමය ක්‍රියාවලියකින් තොරව අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් අත් අඩංගුවට ගෙන ඝාතනය කරන ලදහ. මාධ්‍ය නිදහස ද මානව අයිතීන් ද ප්‍රජාතන්ත්‍රවාදය ද මාරක ප්‍රහාරයකට ලක් විය.
මෙම යුද අපරාධ පිළිබඳව තොරතුරු එක්රැස් කළේ යැයි ද ඒවා ජාත්‍යන්තර ප්‍රජාව හමුවට ගෙන ගියේ යැයි ද එම අපරාධවලට වගකිව යුතු ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කළේ යැයි ද චෝදනාවට ලක් වුණු ‛ද්‍රෝහියෝ’ එවක ද සිටියහ. ඒ වන විට විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයෙකුව සිටි, එවැනි සාක්ෂි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට ගෙන ගිය මහින්ද රාජපක්ෂ ද ඔවුන්ගෙන් එක් අයෙක් විය. මානව අයිතීන් ආරක්ෂා කිරීම උදෙසා ඕනෑ ම දුරක් යන්නට තමන් සූදානම් යැයි ඔහු පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ ය. මානව හිමිකම් රැකීම සඳහා ආධාර දෙන්නැයි ඔහු ආධාර දෙන ආයතනවලට ද කැඳවුම් කළේ ය! මෙය ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට එල්ල කළ දරුණු පහරක් ද? ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදිමින් සිටි පාලකයන් පාවා දුන් පිළිකුල් සහගත නීච ක්‍රියාවක් ද?
මහින්ද රාජපක්ෂ ඉතා ම ව්‍යක්ත ලෙස එවැනි චෝදනාවලින් ආරක්ෂා වී ගත්තේ ය. තමන් කළේ තම රටට තිබෙන ආදරය නිසා තමන් කරමින් සිටි දේ ම යැයි ඔහු කියා සිටියේ ය. මෙම ප්‍රකාශය නිසා අපි බොහෝ දෙනෙක් ඔහු කෙරෙහි සානුකම්පික වූයෙමු. සත්‍යය තහවුරු කොට, රාජ්‍ය ත්‍රස්තයට ගොදුරු වූ අහිංසකයන් වෙනුවෙන් සාධාරණත්වය උදෙසා සටන් වැදීම රටට ආදරය කළ අප සියල්ලන්ට ම අත්‍යවශ්‍ය කළ සදාචාරාත්මක පියවරක් බවට අපි ඔහු සමග එකඟ වූයෙමු.
ආපසු වර්තමානයට එමු. මහින්ද රාජපක්ෂට සහාය දෙන අය දැන් ඔහුගේ ඉතිහාසය අප්‍රමාදව ග්‍රහණය කර ගත යුතු ය. සත්‍යය හෙළිදරව් කරන පුවත්පත් කලාවේදීන් සහ රාජ්‍ය ත්‍රස්තයේ ගොදුරු බවට පත් අහිංසකයන් වෙනුවෙන් සාධාරණත්වය දිනා ගැනීමට වැර දරන මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ‛ද්‍රෝහීන්’ වන්නේ නම්, තම අන දෙන නිලධාරියාව සිටි තැනැත්තා යුද අපරාධවලට වගකිව යුතු යැයි ‛සැල කිරීමට’ ඉදිරිපත් වීම නිසා සරත් ෆොන්සේකා ‛ද්‍රෝහියෙකු’ වන්නේ නම් මහින්ද රාජපක්ෂ ද කෘතහස්ත ‛ද්‍රෝහියෙක්’ වන්නේ ය. එබැවින් ඔවුන් ඔහුට සහාය නො දිය යුතු ය. අනෙක් අතට, විසි වසරකට පමණ පෙර ශ්‍රී ලංකාව තුළ ද ජාත්‍යන්තර ප්‍රජාව අතර ද මහින්ද රාජපක්ෂ සටන් වැදුණේ මානව හිමිකම් උදෙසා සහ යුද අපරාධවලට එරෙහිව නම්, අපගේ රට තුළ සත්‍යය, සාධාරණත්වය සහ යහපාලනය වෙනුවෙන් සටන් වදිමින් සිය ජීවිත අවදානමෙහි හෙළා ගත් පුවත්පත් කලාවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂා කරන්නන් රටට ආදරයෙන් යුතුව දැරූ ඊට සමාන පරිශ්‍රමයන් ද ඔවුන්ගේ පිළිගැනීමට ලක් විය යුතු ය.
සරත් ෆොන්සේකා මෙහි ලා සුවිශේෂ උදාහරණයක් වේ. මන්ද, ඔහු ද යුද අපරාධ කරන්නට ඇතැයි විශ්වාස කිරීමට ඇති තරම් හේතු පවතින බැවිනි. එහෙත් ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේත් ඔහුට එරෙහිව නඩු පවරා ඇත්තේත් එම චෝදනාව මත නො වේ. එවැනි නඩු විභාගයකින් ඔහුගේ හිටපු ප්‍රධානීන් කළ යුද අපරාධ පිළිබඳ සාක්ෂි ද එළිමහනට එනු ඇත යන පැහැදිලි හේතුව මත ය. පදනම් විරහිත චෝදනා ඔහුට එරෙහිව දමා ගසනු ලැබුණේ ඔහු අත් අඩංගුවට ගැනුණු විට ය. ඒ චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නොතිබුණු බැවින් ද ඒවායින් වැඩිමනත්ව කරුණු කියැවුණේ ඔහු ගැන නො ව ඔහුට චෝදනා කළවුන් ගැන ම බැවින් ද පසුව ඒවා අත් හැර දමන්නට සිදු විය. (ජනාධිපතිවරයා මෙන් නො ව) එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ සංග්‍රාම භූමියේ දී තම සොල්දාදුවන්ට නායකත්වය දීම සඳහා ඔහු සිය ජීවිතය පරදුවට තබා තිබුණු තතු යටතේ ඔහුට ‛ද්‍රෝහියෙකු’ යැයි චෝදනා කිරීම විශේෂයෙන් ම අරුමයක් සේ පෙනී යයි. විශේෂයෙන් ම ඔහු කළ ‛පාවා දීම’ වනුයේ මහින්ද රාජපක්ෂ අතීතයේ දී කළ දේ කිරීමට ඉදිරිපත් වීම නම් එය එලෙස අරුමයක් සේ පෙනී යයි!
තතු මෙසේ නම් ද්‍රෝහීන් කවුරුන් ද? සත්‍යය සහ සාධාරණත්වය උදෙසා සටන් වදින්නන් ද? නැත් නම් වගකීම් සහගත භාවයකින් (වගවීමකින්) තොරව බලය පාවිච්චි කරන්නන් සහ උන්ගේ සපත්තු ලොවමින් ඉච්චා බස් තෙපලන්නන් ද? අපගේ රටට ආදරය කරන මිනිසුන් කවුරුන් ද? මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පාගා මඩින්නන් ද? නැත් නම් අපගේ ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ නිදහස උදෙසා අරගල කරන්නන් ද? ඔබගේ නිර්වචනය කුමක් වුවත් අඩු ගණනේ එය ස්ථිරසාරව පවත්වා ගෙන යන බවට සහතික වන්න!
පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – දේශපාලන විහිළු කතා
April 2, 2010 by Vikalpa_R
Filed under Colombo, Democracy, Featured Articles, සිංහල
සුනන්ද දේශප්‍රිය
සේවියට් රුසියාවේ කතා කිරිමට සහ ලිවීමට නිදහසක් නොතිබූ ස්ටාලින්වාදී පාලන සමයේ පැතිර ගිය දේශපාලන විහිළු කතා මා ඇසූයේ (රෝහණ වීමට පෙර) විජේවීරගෙනි. 1960 ගණන් මැද භාගයේ දී කොමියුනිස්ට පක්ෂයේ (පීකිං පිළ) රත්ගම සංවිධායක වූ සමරසිරි සමඟ සෑම ඉරිදාවකම වාගේ කොළඹ සිට විජේවීර ද පැමිණියේ ය. ඔහු තරුණ අංශයේ සංවිධායක යැයි කතා වූ බව මට මතක ය. ඔවුන් රත්ගමට ගියේ අපේ නිවෙසට පැමිණ තාත්තා ද කාරයට නංවාගෙන ය. ඒ කතා මා අසා දැන ගත්තේ ඒ කාලයේ දී ය.
මාර්තු මාසය පුරා පැවැති ජීනීවා මානව හිමිකම් කොමිසමේ 13වන සැසිවාරයට දිනපතාම වාගේ සහභාගි විමෙන් හෙම්බත් වී සිටි මට විද්‍යුත් තැපෑලෙන් ලැබුණූ ඉංග්‍රිසියෙන් ලියූ ශ්‍රී ලංකා දේශපාලන විහිළු කතා ද ඒකොන් ගැන අන්තර් ජාලයේ සිංහල දිනපොත්කරුවන් විසින් පළ කරන ලද හාස්‍යමය රචනා ද වෙනසක් ගෙන ආවේ ය. වෙනසකටත් එක්ක ඒ කතාවක් දෙකක් ලීවොත් නරක නැත්දැයි ඒ ගැන පිළිසදරකදී මිතුරියක කීවා ය.
1. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරඟාවළිය – විස්තර ප්‍රචාරය
ශ්‍රී ලංකාව කාසියේ වාසිය පැරදුන ද පන්දුවට පහර දීමට තීරණය කරයි.
විස්තර ප්‍රචාරක: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු තරඟය අලංකාර දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භවීමටයි යන්නේ. ශ්‍රී ලංකාව කාසියේ වාසියෙන් පැරදුනා. ඒත් විනිසුරන් සමඟ පැවැති බරපතල සාකච්ජාවකින් පසු සහ ජේ්‍යෂ්ඨ ජනාධිපති උපදේශකයකුගේ උපදෙස් අනුව තමන් පන්දුවට පහර දෙන බව ප්‍රකාශ කළා. ඉන්දියානු කණ්ඩායම ඊට දැක්වූ විරෝධය අක්‍රීය 17වන සංසෝධනය යටතේ විශේෂ කමිටුවකට යොමු කර තිබෙනවා.
මෙන්න ආරම්භක පහර දෙන්නන් උපුල් තරංග සහ ගරු ක්‍රීඩා ඇමති සනත් ජයසූරිය පිටියට.
පළමු පන්දුව එවීමට අශිශ් නේරා සූදානම්. ගරු ඇමැතිතුමා එල්ලය ලබා ගත්තා. ඔහුගේ සුපුරුදු මිත්‍යා විශ්වාස අනුව පිත්ත, බෝල සහ පා ආවරණය සෙළවා බලා දැන් මෙන්න නේරාට මුහුණ දෙනවා.
නේරාගේ වමත් පිතිකරුට එල්ල වූ ප්‍රථම පන්දුව ඇතුළට කා වැදුණා. පන්දුව පිත්ත සහ පා ආවරණය මැදින් ගොස් විකට්ටුව කඩා දැම්මා. අපූරු පන්දුවක්. ඔහු දැවී යනවා සහතික යි.??
පිතිකරු තණ නිල්ලෙන් ඉවත්ව යන්නේ නැහැ. ඔහු මෙහෙම කියනවා “ මං පත්කලේ විධායක බලයෙන්, විනිසුරුට මා දවාලන්න බැහැ ”
විස්තර ප්‍රචාරක රූපවාහිනී මැදිරියෙන් ප්‍රකාශයක්:“ප්‍රෙක්ෂකයිනි, සමාවෙන්න. සම්බන්ධතාවය මඳකට අඩාල වුනා. අපේ විසිතර ප්‍රකාශකයා ස්වයං ආරක්ෂාව සඳහා ප්‍රබල ආරක්ෂ විධිවිධාන යටතේ සුදු වෑන් රථයකින් ස්වෙච්ඡාවෙන් යන්න ගියා.”
දූවිලි අවුස්සාගෙන සුදු වෑන් රථ ගණනාවක්ම ක්‍රිඩාංගනය අසළට පැමිණේ.
විනිසුරුවන් වන බිලි ඩොක්ට්රෝව් සහ කුමාර ධර්මසේන තණනිල්ල මැද කතා බහකි.
විකට්ටුවේ මැද ඇති මයික්‍රපොනයෙන් ඒ කතා බහ නොදැනීම විකාශනය කැරෙයි. “ අම්මට හුඩු, මගේ බැංකු සේප්පුව ඇරලා බලයි ද? මගේ බැංකු ගිනුම්, අනේ මොනව වෙයි ද? ” බිලි ගේ කටහඩ “ මොනවා, යාලුවා මේ තීරණෙයි බැංකු ගිනුමයි අතර සම්බන්දෙ මොකක්ද ?
තීරණය දීම තෙවැනි විනිසුරුට බාර දෙයි.
තෙවැනි විනිසුරුට පටිගත තරඟ අවස්ථා බැලීමට නොහැකි වේ. කොම්පියුටර් ජිල්මාට් එකක් දමා පරිගණකය අවුල් කර ඇත.
ඉන්දියානු නායක දෝනි විනිසුරන් කරා යන්නේ අතින් සංඥා කරමින් තීරණය පමා ඇයිදැයි විමසමිනි. ඉන්දියනු කණ්ඩායම අත් වනමින් විනිසුරන් සමඟ වාද කරති.
ඉන්දියානු ක්‍රීඩාගාරය අසළ කළබළයක් පෙනෙන්ට තිබේ. ජනයා ඉවතට දුවති. ආයුධ ගත් නිලඇඳුම් හැදි පුද්ගලයෝ ඉන්දියානු ක්‍රීඩාගාරය වටළති.
ශබ්ද විකාශණ ක්‍රියාත්මක වේ. “කලබල නොවනු. ඉන්දීය පිළට ආරක්ෂාව සළසා ඇත. කරුණාකර ක්‍රිඩාව පවත්වනු”
එකවරම රූපවාහිනී තිරය ආලෝකමත් වේ. “නොට් අවුට්” යැයි දිස්වේ.
ගරු අමාත්‍ය සනත් ජයසූරිය නොදැවී ළකුනු සියයක් වාර්තා කරයි.
පසුව වාර්තා වූ පුවතකි:
පිටුවාහල් කිරීම සහ අත් අඩංගුවට ගැනීම
ශ්‍රී ලංකාවේ සෛවරීභාවයට තර්ජනයක් වන ත්‍රස්ත්‍රවාදී ක්‍රියා සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශණ අංශය (ටීඅයිඩී) විසින් අත් අඩංඟුවට ගත් ක්‍රීඩක අශිශ් නේරා වහාම පිටුවාහල් කරන ලදී. එල්ටීටීඊ ත්‍රස්ත සැළැස්ම පිළිබද තවදුරටත් පරීක්ෂා කරන ටීඅයිඩී ය නේරා නැවැති සිටි හෝටලයේ කළමනාකරු, කාමර කාර්‍ය මණ්ඩලය සහ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය ප්‍රශ්ණ කිරිමකට ලක් කළේ ය. හෝටලයේ ආහාර කළමනාකරු කුමංත්‍රණයේ සැකකරුවකු ලෙස අත් අඩංගුවට ගන්නා ලදී. නේරාගේ කාරයේ රියදුරු ඇප නැතිව අත් අඩංගුවේ ම පසුවේ. රියැදුරුගේ මව සහ මාමා ද කුමන්ත්‍රණයට සහාය වී යැයි සැක පිට අත් අඩංගුවට ගන්නා ලදී.
දේශප්‍රේමී ආශ්චර්යක්
ප්‍රබල ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩකයින් හතර දෙනෙකු වන සචින් තෙන්දුල්කාර්, මහේන්ද්‍ර සිං දෝනි, විරෙන්ද්‍ර ෂෙවාග් සහ ගෞතම් ගම්බීර් පෝක් සමුද්‍ර සන්ධිය හරහා පැති මාරු කිරීමෙන් පසු සැබෑ දේශප්‍රේමින් ලෙස දැන් ශ්‍රී ලංකා පිලට ක්‍රිඩා කරති. වඩාත් වැදගත් වන්නේ රන්මිණිතැන්න ටෙලි නාට්‍ය ගම්මානයේ ප්‍රථම අන්තර් ජාතික ටෙලි නාටකයට දැනටමත් යෞවනයට අදක් විසින් මෙම දේශප්‍රෙමීන් වෙත අත්තිකාරම් බැද තිබීම බව ජාතික රූපවාහිනිය වාර්තා කළේ ය.
2. මිය ගිය දේශපාලනඥයා
කොළඹ හත මල්පාරේ දී මංත්‍රිවරයකු සුදු වෑන් රියක හැපී හදිසියේ මිය ගියේ ය. මෙම සුදු වෑන් රිය පැමිණියේ මල්පාරේ 28වන පටුමගෙන් අයකු ඉස්සීමට යැයි කියනු ලැබේ. වාහනය සොයා ගැනීමට බැරිවිය.
මංත්‍රී ආත්මය ස්වර්ග දොරටුව අසළදී පිළිගනු ලැබුණේ සාන්ත පීතර විසිනි. “ලංකාවේ උතුමන් ලා මෙහා ආ කාලයක් මතක නැහැ. ඒ නිසා ඔබට කැමැති කොහාටදැයි අපට නිච්චියක් නෑ” පීතර කීය.
අවුලක් නෑ, මට ඇතුලට එන්න දෙන්න, මං ස්වර්ගයට කැමැතියි” මංත්‍රී කීය.
නැහැ, ව්‍යවස්තානූකූලව ඔබ දිනක් ස්වර්ගයෙත් දිනක් අපායෙහිද ගත කර සදාකාලික කැමැත්ත ප්‍රකාශ කළ යුතුයි”
ව්‍යවස්ථා අපට වැඩක් නෑ, මට ස්වර්ගය දෙන්න” මංත්‍රී කීය.
කණගාටුයි අපට එහෙම බැහැ, ව්‍යවස්ථාව අන්ගමකය කරන්න වෙනවා” පීතර කීය.
ඒ සමඟම පීතර බොත්තමක් තද කලෙන් විදුලි සෝපානය යටටම යටටම ගොස් අපාය ඉදිරියේ දොර හැරුනි. සුද මලින් ගැවසුණු සදාහරිත බිමක් ඔහු ඉදිරියේ විය. අසළ සිය ශ්‍රී ලංකාවේ ඉහළම දේශපාලනඥයකු මංත්‍රී හෙංචයින්යන්ද සිය හැත්ත බුරුත්ත ද පිරිවරා දුහුල් සේද ජාතික ඇදුමින් සැරසී සිටියේ උතුරා ගලා යන සතුටිනි. ඔහු කරා දිවවිත් ආලිංගන සමාචාරයෙන් පසු යට ගිය අතීත රස තකා තලු මැරුවේ අතයට කොමිස් කතා තෙපෙරබාමිනි. සැර බීම අඩුවක් නොවී ය. ෂැම්පේන් ද පොකිරිස්සෝ යනාදී ලාංකික කෑම ද එකට කැළතින.
යහපත් මිනිසකු බව පෙනෙුන යක්ෂයා ද මෑත දී රුසියාවෙන් ලද ආචාර්‍ය උපාධි ලෝගුවකින් සැරසී නටමින්ද විහිළු තෙපළමින් ද සිටි අතරවාරයේ මංත්‍රිවරයාට පිටත් වීමට කාලය එළඹ තිබුණි.
විදුලි සෝපානය උඩටම උඩටම ගියේ ය. ස්වර්ගයට දොර හැරුනි. තෘප්තියෙන් යුතුව වළාකුලු මතින් පාවී යමින් මංත්‍රීවරයා ගී ගයමින් පිරිසකට එක්විය. ඒ අතර ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ද සහන සේවකයින් ගණනාවක් ද විය. නමුත් මංත්‍රීවරයාට පිරිස පෑහුනේ නැත.
දවස අවසානයේ දී සාන්ත පීතර මංත්‍රීගෙන් විමසා සිටියේ “දැන් ඔබේ තීරණය කියන්න, කවර දෙසට ද කැමැති” කියා ය. ස්වර්ගය අනර්ඝයි. ඒත මං හිත්තේ අපායෙදි මම සතුටින් ඉදීවි කියළ යි.”
සෝපානය ගැඹුරටම ගොස් අපායේ දොර හැරුනි. මංත්‍රීවරයා වික්ෂිප්ත විය. ඔහු ඉදිරියේ වූයේ දුඟද හමන කැළිකසලින් ද අප ද්‍රව්‍යයෙන් ද පිරි මුඩු බිමකි. ඔහුගේ සගයෝ සියල්ළෝම වැරහැළි හැඳ කලු පොලීතීන් මලුවලට කුණු එකතු කරමින් සිටියේ තව තව අහසින් වැටෙත් දී ය.
යක්ෂයා පැමිණ සීතල අත විමතියට පත් මංත්‍රී උරහිස මත තැබුවේ සිනහසෙමිනි. “මේ මොකද? ඊයේ අපූරුවට තිබුනේ. කෝ ඊයේ තිබුණු චිකන් කොත්ත,ු බුරියානි, විස්කි, බ්‍රුන්ඩි” මංත්‍රි හඩා වැටුණි.
අනුකම්පාවෙන් මංත්‍රී දෙස සිනාසුන යක්ෂයා මෙසේ කීය:
“ඊයේ තිබුණේ ඡන්ද කැම්පේන් එක. අද ඡන්දෙ ඉවරයිෟ,
(කර්තෘ අඥාතය)


