ත්‍රීරෝද රථ සේවයට ‛ආචාරධර්ම’ පද්ධතියක්.
August 20, 2010 by Karapoththa
Filed under Democracy, Economic issues, Life quips, Matale, Transport, සිංහල
ශ්‍රි ලංකාවේ යහපත් ප්‍රවාහන සංස්කෘතියක් බිහිකිරීම සඳහා තම දායකත්වය සැපයිමේ අරමුණින් පන්නම්පිටිය ත්‍රිරෝද රථ සංගමය තම සාමාජිකයන් සඳහා අචාරධර්ම පද්ධතියක් කෙටුම්පත් කර ඇත.
මාස 6කට ආසන්න කාලයක් තිස්සේ එම සංගමය, මෙයට මූලිකව දායකත්වය සපයන මාතලේ තරුණ සම්පත් සංවර්ධන සංසදය හා එක්ව, විවිධ සංවිධාන සහ වෘත්තිකයන්ගේ ද දායකත්වය ලබා ගනිමින් මෙම ආචාර ධර්ම පද්ධතිය කෙටුම්පත් කර ඇති අතර, එය රටේ විවිධ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ප්‍රජා නායකයන් වෙත පිළිගන්වමින් පෞද්ගලිකව අදහස් ලබා ගැනීමට නියමිතය. එසේම මෙම ආචාරධර්ම පද්ධතිය අගෝස්තු මස අවසානයේ දි දඹුල්ලේ දී එළිදැක්විමට ද සියලු කටයුතු මේ වන විට සුදානම් කර තිබේ.
ලංකාවේ දැනට ත්‍රීවිල් රථ 450000 කට අධික සංඛ්‍යාවක් ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසන අතර, එම ත්‍රිරෝද රථ භාවිතය හා රියදුරන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සමාජයෙන් බොහෝ විට නොයෙකුත් විවේචන එල්ල වෙමින් තිබේ. ඊට විසඳුමක් වශයෙන් එම වෘත්තියේ නියැලි සිටින අයගේම මූලිකත්වය හා එකඟත්වය මත මෙවැනි ආචාර ධර්ම පද්ධතියක් සකස්කර ගැනීම මගින් ආදර්ශමත් ත්‍රිරෝද රථ සංස්කෘතියක් මේ රටේ ඇති කර ගැනීමට හැකි වනු ඇතැයි පන්නම්පිටිය ත්‍රිරෝද රථ සංගමයත්, මාතලේ තරුණ සම්පත් සංවර්ධන සංසදයත් ප්‍රකාශ කරයි.
එහි ආරම්භක පියවර වශයෙන් පන්නමිපිටිය ත්‍රීරෝද රථ සංගමයට මුල්වරට මෙම ආචාරධර්ම පද්ධතිය සකස් කිරීමෙන් පසු ඉදිරියේදී මෙය දිවයින පුරා ව්‍යාප්ත කිරීමටත්, එමඟින්, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සංස්කෘතියේ විශාල ප්‍රවර්ධනයක් සිදු සිදුකිරීමට හැකිවනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.
එසේම ත්‍රීරෝද රථ සේවය සඳහා මෙවැනි විධිමත් ආචාර ධර්ම පද්ධතියක් සැකසෙන්නේ ලොව ප්‍රථමවරට බව එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ෙකටුම්පත් කරන ලද එම අාචාරධර්ම පද්ධතිෙය් ෙතාරත=රැ සදහා – http://lanka3wheel.wordpress.com/2010/08/20/cord-of-ethics/
පහත දැක්ෙවන්ෙන් දඹුල්ෙල් දී පැවති අාචාරධර්ම සකසා ගැනීම පිළිබද වැඩමුලුෙව් ඡායාරෑප කිහිපයකි.

Pic by – YRDGLanka – Matale
‛නකල්ස්’ විනාශය අත ලඟ ද..? පරිසරවේදීන් බිය පළකරයි.
July 22, 2010 by Karapoththa
Filed under Colombo, Featured Articles, Features, Kandy, Matale
නකල්ස් පරිසර පද්ධතියට මේ වනවිට සිදුකරමින් තිබෙන විනාශය පිළිබද දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ඊයේ[21] කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී පැවැතිවිය. එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ ශ්‍රි ලංකා සොබා සංසදය යි. එහිදී අදහස් දැක්වීම සඳහා නීතිඥ ජගත් ගුණවර්ධන, සජීව චාමිකර, තිලක් කාරියවසම් සහ ගාමිණි ජයතිස්ස යන අය සහභාගී විය. එහිදී ඔවුන් දැක්වූ අදහස් සහ නිකුත් කර තිබූ ප්‍රවෘත්ති වාර්තාවේ කරුණු මෙසේ දක්වා සිටිමු.
ශ්‍රී ලංකාවේ ජෛව කලාප අතුරින් එකක් වන දුම්බර කඳු වැටිය හෙවත් නකල්ස් කඳු වැටිය අප රටේ සුවිශේෂී ජෛව උරුමය මුළු ලොවටම කියාපාන මහා සම්පතකි. හෙක්ටයාර 21000 පුරා ව්‍යාප්ත වී ඇති දුම්බර කඳුකරයෙන් ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.32% ක් පමණ අවර්ණය වී ඇත. මීටර් 760 සිට මීටර් 19000 දක්වා උච්චත්ව පරාසය තුල පිහිටි කඳුවැටි වලින් සමන්විත නකල්ස් කඳුකරයේ විවිධ වූ ස්වාභාවික පරිසර පද්ධති වල අධික විවිධත්වයක් දැකගත හැකිවේ. ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ ගනයේ ශාක විශේෂ, සත්ව විශේෂ සහ පක්‍ෂි විශේෂ රැසක් නකල්ස් අඩවියෙන් ජීවය ලබයි. තව ද සමස්ථ නකල්ස් කඳුකරයම ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟේ ප්‍රධානතම ජල පෝෂක ප්‍රදේශයයි.
මෙවන් සුවිශේෂී ජෛව ප්‍රජාවකට උරුමකම් කියන නකල්ස් සංරක්‍ෂිත වනාන්තරයේ තැනින් තැන ආකාර කිහිපයක ඉඩම් හිමිකම් සහිත වනාන්තර පැවතීම මෙම වනපෙතේ පැවැත්මට ප්‍රභල තර්ජනයක් වී තිබේ. මේ ආකාරයේ විවිධ ඉඩම් හිමිකාරිත්වයක් සහිත වගා බිම් නකල්ස් කදුකරය තුල පිහිටා තිබීම හේතුවෙන් ඒවායෙහි සිදුවන සංවර්ධන කටයුතු එහි පැවැත්මට බලපෑ ආකාරය පිළබද බොහෝ තොරතුරු අපට ලැබී ඇත. ඒ අතුරෙන් ප්‍රධාන කරුනු වනුයේ නකල්ස් සංරක්‍ෂිතය තුල සංචාරක හොටෙල් ව්‍යාප්ත කිරීම හා වනාන්තර ඉඩම් අනවසරයෙන් අත්පත්කර ගැනීමයි.
මෙම කඳුකරය රැකවරණය තව දුරටත් තහවුරු කිරීම සදහා නීති සම්පාදනය වියතු අවධියක මීට වසර තුනහමාරකට පමණ ඉහත එහි ජෛව ප්‍රජාවගේ රැකවරණයට බලපෑම් ඇති විය හැකි ආකාරයේ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්විය. මෙය සිදු කෙරුනේ ජාතික පාරිසරික පනත යටතේ 2007 ජූලි 23 වන දින අංක 1507/9 දරණ ගැසට් නිවේදනය මඟින් ‛‛නකල්ස් පාරිසරික ආරක්‍ෂිත ප්‍රදේශයක්’’ ලෙස ප්‍රකාශයට පත් කිරීමෙනි. බැලූ බැල්මට නකල්ස් කදුකරයේ පැවැත්ම තහවුරු කිරීමට මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කල බව පෙනුන ද එමඟින් සිදුකර ඇත්තේ, ඇති විය හැකි අහිතකර බලපෑම විධිමත් කිරීමකි.
කැලෑ ආඥා පනත යටතේ 2005.05.05 වන දින අංක 1130/22 දරණ ගැසට් නිවේදනය මඟින් නකල්ස් සංරක්‍ෂිත වනාන්තරයන් ලෙස ප්‍රකාශයට පත් කරමින්, නකල්ස් අඩවිය තුල පිහිටි පෞද්ගලික හා වෙනත් රජයේ ඉඩම් වල සිදුවන සංවර්ධන ක්‍රියාවලීන් පාලනය කිරීම සඳහා ඉහත ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට තිබුණි. නමුත් එම ගැසට් නිවේදනයේ ඇති අඩුපාඩුකම් හේතුවෙන් නකල්ස් කදුකරයේ ජෛව ප්‍රජාවගේ පැවැත්මට සිදුවී ඇති අහිතකර ප්‍රතිඵල අද වන විට දැක ගන්නට හැකිව තිබේ.
අදවන විට මහනුවර දිස්ත්‍රික්කයට අයත් නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ ගීරිස්වත්ත, කොස්ගොල්ලවත්ත, කුඹුක්ගොල්ලවත්ත, ලූල්වත්ත හා අට්ටලවෙට්ටුව සිට තංගප්පුව මාර්ගයේ හෝටල් ඉදිකර හා ඉදිකරමින් පවතී. මාතලේ දිස්ත්‍රික්කයට අයත් නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ රිවස්ටන් ප්‍රදේශයේ ගෝනමඩවත්තේ හෝටල් තුනක් ඉදිකර ඇත. හස්නිම් මුසාජි හා මනතුංග යන අයට මෙම හෝටල් ත්‍රිත්වයෙන් දෙකක් අයත් ය. පතන ප්‍රදේශයේ කෝට්ටේගොඩ බතික් ආයතනයේ හිමිකරුට අයත් හෝටලය ඉදිකර තිබේ. රත්තොට – ඉලුක්කුඹුර මාර්ගයේ 27 හා 28 කිලෝමීටර කණු අතරින් සුදුගල ප්‍රදේශය දක්වා විහිදී ඇති මාර්ගයේ කිලෝමීටර 8 ක් දුරින් මාර්ගය අවසානයේ රෝයි සිල්වා යන අයට අයත්ව තිබූ ඉඩම ගුවන් හමුදාවේ ඉහළ නිලධාරියෙකු විසින් මිල දී ගෙන විශාල හෝටලයක් ඉදිකරමින් තිබේ. දුම්බර අඩවිය පුරා තැනින් තැන ඉදිවන මෙම හෝටල් හේතුවෙන් අනාගතයේ දී බොහෝ බලපෑම් මෙම වනාන්තර පද්ධතියට සිදු විය හැකිය. විශේෂයෙන් රක්ෂිත වනාන්තරය තුළ අනවසර ක්‍රියාකාරකම් සිදු කිරීම, දඩමස් ජාවාරම, හෝටල්වලින් බැහැරලන රසායනික ද්‍රව්‍ය සංවේදී පරිසර පද්ධතිවලට එක්වීම ආදී හානිකර ක්‍රියා රැසක් සිදුවිය හැකි අතරම සමහර ක්‍රියා මේ වන විට ද සිදුවෙමින් පවතී. කැලෑ ආඥා පනතේ විශය පථයෙන් පරිබාහිරව සිදුවන මෙම ක්‍රියාවක් නතර කිරීමට නීතිමය බලතල හිමි මධ්‍යම පරිසර අධිකාරිය කිසිදු ආකාරයක ක්‍රියාමාර්ගයක් නොගැනීම ද කණගාටුවට කරුණකි.
දුම්බර වනපෙතේ ආරක්ෂාව කෙසේ වෙතත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇති ව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බවක් පෙනෙන්නට තිබේ. මෙම ගැසට් නිවේදනය මගින් නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ පිහිටි පෞද්ගලික ඉඩම්වල හා වෙනත් රජයේ ඉඩම්වල නීතිමය බලතල ක්‍රියාත්මක කිරීමේ අයිතිය ද මධ්‍යම පරිසර අධිකාරිය සතු කර ගෙන තිබේ. වන සංරක්ෂණ නිලධාරීන් මෙන් දුම්බර වනපෙත පිළිබඳව කිසිත් නොදන්නා මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන් එහි සිදු වන ‛වන’ අපරාද මැඩලීම සඳහා කෙසේ ක්‍රියා කරයි ද යන්න සිතා ගැනීමටත් අපහසු ය. මෙවන් ගැසට් නිවේදනයක් පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කළේ කිනම් අරමුණක් මත ද? කළ යුතු දෑ පවතිද්දී නොකළ යුතු දෑ සිදු කිරීම පිළිබඳව අප කණගාටු වෙමු.
දුම්බර අඩවියේ අනාගත පැවැත්මට ඉතා වැදගත් වන අමාත්‍ය මණ්ඩල තීරණයක් 2004 වසරේ දී ගැනින. නමුත් එය අද වන තෙක් ක්‍රියාත්මක නොවේ. අංක පීඑස්/සිපී/26/2004 හා 2004 ජූලි 22 වන දින අමාත්‍යමණ්ඩල සංදේශයට අනුව නකල්ස් සංරක්ෂිත වනාන්තරයට යාව හෝ ඉන් කිලෝමීටර් බාගයක් ඇතුළත පිහිටි සියළුම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර, 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ නීතියෙහි 22(1)ඊ සහ 44(ඒ) වගන්ති ප්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නිර්දේශ ලැබී තිබේ. නමුත් මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශයෙන් ඉදිරි කටයුතු සැළසුම් කිරීම හෝ ඉඩම් පවරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හෝ මේ වන තුරු සිදුකර නොමැත. මෙම ක්‍රියාමාර්ග වලට එලැබීම පැහැර හරින සෑම දිනයක් පාසාම එම වනාන්තර බිම් වෙනත් සංවර්ධන කටයුතු සදහා ක්‍රමක්‍රමයෙන් යොදා ගනිති. මේ නිසා අවසානයේ ඉතිරි වන්නේ හුදෙකලා වූ නකල්ස් සංරක්ෂිත වනාන්තර කුට්ටි පමණි. එම තත්ත්වය පාලනය කිරීම සඳහා පළමුව සිදු කළ යුතු වන්නේ නකල්ස් සංරක්ෂිත වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කළ භූමි ප්‍රදේශය තුළ පිහිටි පෞද්ගලික වනාන්තර බිම් විධිමත්ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමයි. ඊට අමතරව මෙම ප්‍රදේශය තුළ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හා වැවිලි සංස්ථාවට අයත් වනාන්තර බිම් නකල්ස් සංරක්ෂිත වනාන්තරයට පවරා ගැනීම සිදු කළ යුතුය. ඉන් පසුව ඒ වටා ප්‍රදේශය ජාතික පාරිසරික පනත යටතේ නකල්ස් හෝ දුම්බර පරිසර ආරක්ෂක ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දිය යුතුය. මෙමගින් නකල්ස් කඳුකරයේ ජෛව සුරක්ෂිතතාව තහවුරු කළ හැකිය.
ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් සහ තම පෞද්ගලික සුකවිහරනය උදෙසා අපව ජීවත් කරවන ස්වාභාවධර්මයාට මෙවන් දෑ සිදු කිරීම අපගේම විනාශයට අතවනනවා නොවේද?
සටහන – කැලුම් මධුරංග
සිදුකර ඇති සහ සිදුකරමින් ඇති ඉදිකිරීම්

අලුත් අවුරුද්ද
April 19, 2010 by Karapoththa
Filed under Featured Articles, Life quips, Matale, Poems, සිංහල
අද වැව් ඉස්මත්තේ
අවුරුදු උත්සවේ
උදේ ඉදන් ගමේ උදවිය
කොට්ට පොර අල්ලනවා
කනාමුට්ටි බිඳිනවා
එක රොත්තට ගම හරහා දුවනවා
දෙපිල බෙදිලා කඹ අදිනවා
හවස් අතේ ඉතින් අපේ වාරේ
නැන්දා ගියා තරඟෙට පොල් ගාන්න
අම්මා ගියා තරඟෙට අතු වියන්න
දහදොළොස් දෙනෙකුට
තුන්වේල කන්න දෙන්න
තුන්සිය හැටපස් දොහේම දුක් ගන්නා
අපේ නැන්දට
කලටි පොල් ගෙඩියක්
ගාගන්න එකත් කාරියක් යෑ
වලව්වත්තේ අතු ඇහිඳින
මඩේ බැහැගෙන අතු පොඟවන
අඟිලි තුඩු ගෙවෙනකන් අතු වියනා
අපේ අම්මට
අමු පොල් අග්ගිස්සක්
වියාගන්න එකත් කාරියක් යෑ
‛‛අවුරුද්ද අලුත් උනත්
මේ සෙල්ලම නං බොහෝම පරණයි’’
මට නං හිතුනේ එච්චරයි
අනෝමා රාජකරුණා
‛ගෝත්‍රික ප්‍රේමය’ කවි පොතෙන් ලියා එව්ෙව් ෙම්නකා දර්ශණි
මාතලේ ජනක බණ්ඩාර තෙන්නකෝන් නීතිවිරෝධි එස්එම්එස් ප්‍රචාරයක…
April 8, 2010 by Karapoththa
Filed under Democracy, Governance, Human Rights, Matale, Media, සිංහල
මෙම මැතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු පසුගිය 5වනදා මැදියම් රැයෙන් අවසන් විය. නමුත් අද(8) උදෑසන මෙම මැතිවරණයට මාතලේ දිස්ත්‍රික්කයෙන් තරඟකරන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් තමන්ගේ මනාප අංකය වන අංක 5ට මනාප ලබා දෙන ලෙස ඉල්ලා එස්එම්එස් පණිවිඩ එවා ඇති බවට වාර්තාවේ.
එක් එස්එම්එස් පණිවිඩයක් දුරකථන අංක 0112513444 යෙන් ඊයේ(7) රාත්‍රී 11.42ට එවා ඇති අතර දුරකථන අංක 0727650753 න් අනෙක් එස්එම්එස් පණිවිඩය අද(9) උදෑසන 10.20ට එවා තිබිණි. එහි සඳහන් වන්නේ ‛‛ආයුබෝවන්, මම ජනක බණ්ඩාර තෙන්නකෝන් මාතලේ දිස්ත්‍රික් නායකයා. ඔබේ ඡන්දය බුලත් කොලේට අංක 5ට ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි’’ යනුවෙන් ය.
කෙසේ වෙතත් දුරකථන යොදාගෙන කරනු ලබන මෙවැනි එස්එම්එස් පණිවිඩ නීතිවිරෝධි ඡන්ද ප්‍රචාරනයන් සේම අනෙකෙකුගේ දුරකථන අංකයන් තමන්ගේ පුද්ගලික දේශපාලන අවශ්‍යතා සඳහා භාවිතා කිරීම රටේ මිනිසුන්ගේ හිමිකම් තමන්ගේ බලය භාවිතා කරමින් සිදුකරනු ලබන අදේශපාලනික ක්‍රියාවන්ය.
මෙයට පූර්වාදර්ශය සපයනු ලැබුවේ පසුගිය ජනාධිපතිවරණයේදී ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරණ කටයුතු වලදීය. මෙම එස්එම්එස් ප්‍රචාරණයන්, සදාචාර විරෝධී ලෙස දුරකථන සමාගම් භාවිතා කරමින් සිදුකලේ ය. පණිවිඩය ලබන්නාට පණිවිඩය පැමිණි මූලාශ්‍රය දැනගැනීමට ඇති සදාචාරමය අයිතිය තමන්ගේ බලය යොදාගෙන සිදුකළේ, කිසිදු දවසක මෙම එස්එම්එස් පණිවිඩයන් පැමිණි දුරකථන අංකයන් පිළිබදව කිසිදු තොරතුරක් සොයාගැනීමටත් ඒ පිළිබදව විස්තරයන් ලබා ගැනීමටත් නොහැකිවන අයුරිනි.
මෙම මහමහැතිවරණයේදීද ජනක බණ්ඩාර තෙන්නකෝන් එවන ලද පණිවිඩය එවා ඇති ටෙලිකොම් සමාගමට අයත් දුරකථනයටත් එටිසෙලාට් දුරකථන අංකයටත් ඇමතීම් කිහිපයක් ගනු ලැබුවද ඉන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය.
මෙසේ වෙනත් අයෙකුගේ දුරකථන අංකයන් භාවිතා කරමින් නීතිවිරෝධි සහ සදාචාර විරෝධි ප්‍රචාරන ක්‍රියාවලියේ නිරතවන්නන් පාර්ලිමෙන්තුව නියෝජනය කිරීමෙන් ජනතාවට ලැබෙනුයේ පසුගිය දිනක නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා දැක්වූ අදහසක තිබූ පරිදි
’’යුක්තිය යනු අච්චු අකුරුවලට කියන තවත් නමකි. ඉහළ අධිකරණ තීන්දුවක් යනු රොබෝවරුන්ගේ වචන සමූහයකි. දේශපාලනය යනු 1948 සිට පුරවන ලද ජාතික වැසිකිළිවළකි.’’ යන්න ය.
මාතලේ එකම පක්ෂය තුල ගැටුම්, මැතිවරණය සාමකාමීවේදැයි සැකයි. ශ්‍රීලනිප පාක්ෂිකයන් පිරිසක් කියයි.
April 8, 2010 by Karapoththa
Filed under Democracy, Election, Matale, සිංහල
මාතලේ දිස්ත්‍රික්කය තුළ මෙිවන විට උද්ගතවී ඇති තත්වය නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පිරිසක් පෙන්වා දෙයි. ඒ පිළිබදව ජනිධිපතිවරයාද දැනුවත් කර ඇතිබව පෙන්වා දෙන එම සාමාජිකයින් වැඩිදුරටත් පවසන්නේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නිසා පළමුවරට ඡන්දය ඉල්ලන අපේක්ෂකයෙකුට එම පක්ෂයේම ප්‍රභලයෙකුගෙන් තර්ජන එල්ල වී ඇති බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ ජීප් රථයකට දඹුල්ල, දිගන්පතහ ප්‍රදේශයේ දී පහර දුන් එම පිරිස, ලග්ගල ප්‍රදේශයේ පාසලකට පෙරේරා මහතා විසින් ලබා දුන් බස්රථයකටද අලාභානි කරමින් ඔහුගේ තවත් ඩිෆෙන්ඩර් රථයකටද අලාභානි කර ඇතැයි වාර්තාවේ. මේ සිද්ධින් කිහිපය වූයේ මෙම පසුගිය දින කිහිපය තුල බවත්, එම සාමාජිකයින් පෙන්වා දෙයි. එසේම මහදවල් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල පොස්ටර් අලවමින් සිටි පෙරේරා මහතාගේ ආධරකරුවන් පිරිසකට පසුගිය දා මාරාන්තික තුවාල සිදුකරමින් පහරදි ඇතැයි ද ඔවුන් පවසයි.
කෙසේ වෙතත් අද දිනයේ මෙම තත්වය මැඩ පැවැත්වීම සදහා මාතලේ ප්‍රදේශයට 60දෙනකුගෙන් යුත් විශේෂ පොළිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ද පොළිස් ආරංචිමාර්ග පවසයි. නමුත් මෙම විශේෂ පොළිස් කණ්ඩායමෙහි ඇඳුමට සමාන ඇඳුම් සකසා ඒවා මැර පිරිස්වලට අන්දවා අද දිනයේදී පෙරේරා මහතාගේ මනාප වැලැක්වීම සඳහා මැර සැළසුමක් ක්‍රියාත්මක කිරිමට එම ප්‍රභල දේශපාලකයා සූදානම්වන බව මෙම ලියන මොහොත වන විට වාර්තා විය. නමුත් මෙම තත්වය නිසා පොලීසිය එම විශේෂ ඒකකයේ එම නිළ ඇඳුම පාචිච්චි නොකිරිමට තීරණය කර ඇතැයි ද වාර්ථ වේ.
කෙසේ නමුත් මාතලේ දිස්ත්‍රික්කයේ මෙම තත්වය හමුවේ අද දින පැවැත්වෙන මැතිවරණය නිදහස් හා සධාරණ මැතිවරණයක් බවට පත් නොවිමට එකම පක්ෂයේ අයගේ ක්‍රියාකාරීත්වයන් බලපෑමට ඉඩ ඇතැයි පවසි.
රත්තොට පොලිස් ස්ථානාධිපති සන්ධානයේ මැතිවරණ වේදිකාවල….
April 1, 2010 by Karapoththa
Filed under Democracy, Election, Human Security, Matale, News
රත්තොට පොලිසියේ ස්ථානාධිපති නිහාල් ජයවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රචාරක රුස්වීම් කිහිපයක අමතා ඇතැයි වාර්තාවේ.
ජනක බන්ඩාර තෙන්නකෝන් සහ රෝහණ දිසානායක යන සන්ධාන අපේකෂකයන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වනදා පැවති රුස්වීම්වලදී මෙසේ වේදිකාවේ ජනතාව අමාතා ඇතැයි එම වාර්තා වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී ද රත්තොට පොළිස් ස්ථානාධිපතිවරයාට විවිධ චෝදනා එල්ල විය.
මේ පිළිබද විමසීමට රත්තොට පොළිසිය සම්බන්ධකර ගැනීමට දැරූ උත්සහය ව්‍යර්ත විය.
කෙසේ වෙතත් නීතිය ආරක්ෂාකරන නිළධාරීන් මැතිවරණ සමයේදී එක් පක්ෂයකට සහය දැක්වීම ප්‍රදේශයේ නීතිය සහ සාමයට එල්ලවන බරපතල තර්ජනයක් බව ප්‍රදේශවාසීන් පවසයි.
මාතලේ ‛ඔරලෝසුව’ ජනපතිට ‛බයේ’ යළිත් වැඩ..
March 23, 2010 by Karapoththa
Filed under Governance, Matale, News, සිංහල
මාතලේ නගර මධ්‍යයේ පිහිටා ඇති පරණ ඔරලෝසුව ගලවා ඩයලොග් සමාගමේ අනුග්‍රහයෙන් මීට මාස ගණනාවකට පෙර ඩිජිටල් වර්ගයේ ඔරලෝසුවක් සවි කෙරිණි. නමුත් සවිකරන ලද දිනයේ සිට මාස ගනනක් යනතුරු මෙය වැඩ කළේ නැත. කිහිප විටක්ම මාතලේ නගර සභාවෙන් විමසීමට ගත් උත්සහය වැලකුනේ කිසවෙකුත් ඊට පිළිතුරක් නොදී මග හැරීමයි. කෙසේ වෙතත් පසුගිය සිකුරාදා(මාර්තු 19) රාත්‍රිය වනවිට දක්නට ලැබුනේ ඩිජිටල් වර්ගයේ ඔරලෝසුව ක්‍රියාත්මක වන බවයි.
ඔරලෝසු කනුව අසල ව්‍යාපාරිකයෙකුගෙන් ‛මේක දැන් වැඩ කරනවා නේ ද?’ යැයි මා විමසීිය. ‛ඔව්.. ඔව්.. ජනාධිපති හෙට එනවානේ වැඩ කරන්නේ නැති ඒවත් දැන් වැඩ කරනවා’ යැයි ඔහු කීය.
ඊට පසු දින(මාර්තු 20) ජනාධිපිතිවරයා මාතලේ රැලියකට සහභාගී වීමට නියමිතව තිබිණී. ඒ නිසා බලධාරීන් විසින් මෙම ක්‍රියාවිරහිතව තිබූ ඔරලොසුව යථා තත්වයට පත් කළ බවත්, ජනාධිපිතිවරයාට බයේ මෙය යළි ක්‍රියාත්මක කිරීමට බලධාරින් ක්‍රියාකළ බවත් ඔරලොසු කනුව අසල ව්‍යාපාරිකයන් පැවසී ය.
කෙසේ වෙතත් ‛බය’ කිරීම තූළ සියලු දේ සිදුවන ලංකාවේ ඔරලොසුව ‛බයට’ වැඩකිරිම ලොකු කජ්ජක් නොවන බව මට සිතිනි.
මනාප පොරය ‛‛කානිවල්’’ එකෙත්…
March 4, 2010 by Karapoththa
Filed under Democracy, Matale, සිංහල
මාතලේ තේරු උත්සවය නිමිත්තෙන් පසුගිය 26, 27 සහ 28 දින තූල මාතලේ විජය විද්‍යාලීය ක්‍රිඩාංගණයේ, දිරිය ලංකා පදනම විසින් සංවිධානය කර තිබූ වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙලි භූමියේ වෙළද දැන්වීම් ප්‍රදර්ශණය කර තිබූ පුවරුවේ එක්සත් ජනතා නිදහස් සංධානයේ නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ප්‍රචාරණ දැන්වීමක් පලවීමෙන් පසු, එම සංධානයේම හිටපු අමාත්‍යය රෝහණ දිසානායක මහතා එහි සංවිධායකවරුන්ට ‛මොකටද නන්දිමිත්‍රගේ ඒවා දාන්නේ මගේ ඒවා විතරක් දාන්න’ යැයි පවසා ඇතැයි වාර්තාවේ.
මේ නිසා දැන්වීම් සඳහා මුදල් ලබාගත් එම සැණකෙලියෙහි සංවිධායකයින් මහත් අපහසුතායකට පත්ව ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් එම සැණකෙලියේ අවසන් දිනයේ දී කිසිදු කෙනෙකුගේ දැන්වීමක් එම භූමිය තුළ ප්‍රචාරය නොකිරීමට එම සංවිධායකයින් තීරණය කර තිබේ. දේශපාලනයට අදාළ නොවන දැන්වීම් ලබා දුන් ඇතැම් ව්‍යාපාරිකයන් තමන්ගේ දැන්වීම ප්‍රචාරය නොකරන්නේ මන්දැයි විමසීමත් සමඟ සංවිධායකයින් මහත් අපහසුවකට පත් වී ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
එකම පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයින් මෙසේ ඇනකොටා ගැනීම රටේ දේශපාලන ඉදිරිය කෙසේ වනු ඇතැයි ද දැනටමත් සිතා ගැනීමට හැකි වනු ඇතැයි මේ පිළිබද අදහස් දැක්වූ මාතලේ ප්‍රදේශයේ ගුරුවරයෙකු විකල්ප සමඟ පැවසී ය.









