තවමත් ඒදණ්ඩේ යන දන්වැල්මන්කඩ ගමේ අපි ….

Danawalmankada
පොළොන්නරු දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්අමුණ 147 ග්‍රාම සේවා කොට්ඨාශයේ දනවැල්මන්කඩ ගම හරහා ගලා බසින මල ඔය හරහා පාලමක් නොමැති නිසා එහි වැසියන් දුෂ්කරතාවන්ට පත්වී ඇති බව වාර්ථාවේ. වසර තිහක් පමණ කාලයක් තිස්සේ බලයට පත්වූ සෑම රජයක්ම දැනුවත් කළත් ලැබුණු ඵලයක් නොමැති බව දන්වැල්මන්කඩ ගම් වැසියන් පෙන්වාදෙති. දනවැල්මන්කඩ හා මුණිසිරි ගම මැදින් ගලා බසින ඇල මාර්ගය හරහා පාලමක් නොමැති නිසා ඒ හරහා ගමන් කරන ජනයා දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පවසන ගැමියෝ පාලමක් ලබාදෙන්නේ නම් දරුවන් වැඩිහිටියන් ඇතුලු විශාල පිරිසකට එයින් සෙත සැලසුන බව පෙන්වා දෙති.

මේ පිළිබදව විකල්ප සමගින් අදහස් දැක්වු දනවැල්මන්කඩ ගම්මානයේ රන්ජිත් අලුත්ගමගේ ගොවි මහතා පැවසුවේ මෙවැනි අදහසක්. ‛‛අපි ඉතා අමාරුවෙන් තමයි යකඩ රීප්ප දෙකක් යොදාගෙන එක් තැනකිනුත්, පොල් කොටන් යොදාගෙන අනෙක් තැනනුත් ‛‛මල’’ ඔයෙන් එගොඩ වෙන්නේ. මේ දෙකෙන් එහා මෙහා යන්න ගිහින් ගම්වැසියන් අනතුරට පත්වුණු අවස්ථා අප්‍රමාණයි. මල ඔයේ වතුර වැඩිවුණු දවස් වලට විඳින දුක කියල නිමකරන්න බැහැ. අපේ දරුවෝ පාසල් යන්නෙ රෙදි ටිකයි, පොතුයි, සපත්තු දෙකයි කිහිලි ගහගෙන. ඒදන්ඩෙන් පැනල හැතැප්මක් විතර ගිහින් අඳුරන ගෙදරකට ගිහින් තමයි ඇදුම් ඇඳගන්නෙ. මල ඔයේ වතුර වැඩි වුණාම එහේම වත් යන්න විදිහක් නැහැ. අපි වඳින දුක පාලකයන්ට දැනෙන්නෙ නෑ. ඒ අයට ඕනේ කොහොම හරි අපේ ඡන්දය ලබාගන්න විතරයි.’’
එච්.ඒ. අබේරත්න ගොවි මහතා අදහස් දක්වමින් කියා සිටියේ ‛‛මල ඔය දෙපස ඉන්න
අනවසර පදිංචිකාරයෝ කියල තමයි රජයේ නිලධාරීන් අපව හඳුන් වන්නේ ඒ නිසාම රජයෙන් ලැබෙන කිසිම සහනාධාරයක්වත් පොහොර සහනාධාරයවත් අපට ලැබෙන්නේ නෑ. අපි ඉල්ලන්නේ අපේ ඉඩම් වලට ඔප්පු දීල අපිට පාලමක් හදල දෙන්න කියල එහෙම නැතිනම් වතුරෙන් යටවෙන්නේ නැති තැනකින් ඉඩම් දෙන්න කියල. මේ දුක අවුරුදු විසිපහක් තිහක් තිස්සේ විඳිනව. අපිට මැරෙනකම් ඉන්න කියලද බළධාරීන් කියන්නේ. අපිත් මේ රටේ මිනිස්සු, නිදහසේ ඉන්න පුලුවන් බිම්කඩක් අපට අයිති නැද්ද. එහෙම නැත්නම් ගමට එන්න පාලමක් හදල දෙන්න. මල ඔයට උඩින් පාලමක් හදන්නේ නැතිව දන්වැල්මන්කඩ මිනිසුන්ට දන්වැල් යොදා සිටින බළධරයිණි මේ මිනිසුන්ගේ මළගමවත් මළ ඔයට උඩින් නිදහසේ ගෙනයන්නට පාලමක් හදාදෙන්න . කියායි.

මැදිරිගිරිය-මෝහන් කුලතුංග.

ත්‍රීවිල් එකේ ලයිට් එළියට එකපාරටම මම දැක්කා ‛කලු ගුලියක්’

madirigiriya

මින්නේරිය, කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ අලි වැට ඉදි කිරීම නිසියාකාරව සිදු නොවු නිසා ඒ ආශ්‍රිත ජනතාව මහත් අපහසුතාවයට පත් ව සිටී. මෙම වනෝද්‍යානය තුළට ගෙනවිත් දමන දරුණු අලි නැවත ඒ ආශ්‍රිත ගම්මානවලට පිවිසීම නිසා මෙම අලි ගැටලුව උග්‍ර අතට හැරෙමින් තිබෙන බව මැදිරිගිරය ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙයි.

විහාර මාවත, දේවාලකොලනිය, දීවරගම්මානය, ට්‍රුක් 8, මිරිස්හේන, කවුඩුලු වැවැ 2වනපියවර, තිස්සපුර, ඇටඹ ඔය, ගොඩපොත්ත, පතෝලකොටුව, නිකහේන යන ගම්මානවල මෙම තත්වය දැඩිව බලපා තිබේ.

2009 අප්‍රේල් මස සිට ඔක්තෝබර් මස දක්වා අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට වර්ෂාව ලැබුණේ නැත. මෙම ත්ත්වය මැදිරිගිරිය ප්‍රදේශයටද දැඩිව බලපා තිබුනි. කැළෑවල සිටි අලින්ට ද මේ තත්වය දැඩිව බලපා තිබූ නිසා අලින් ගම් වදින්නට විය. ඒ ගම්වැදුනු අලි බොහෝ විට මැදිරගිරිය නගරයේ කලගෙඩි පාලම අසලටම පැමිණෙන්ට විය.

වර්ෂාව ලැබීමත් සමග එම අලින්ගේ පැමිණීම අඩු වුවත් මෙම අලි වගාවන්ගේ අස්වැන්න ලැබිමත් සමග නැවතත් ගම්වැදීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ගොවීන් පවසයි. ගොවීන් පවසන්නේ අලින් ගම්වැදීමට මූලික හේතුව වී ඇත්තේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ මින්නේරිය, ගොම හංදිය, රත්මලේ උඩ කොටස, ආවරණය වන පරිදි අලිවැට ඉදි කිරීමත්, කවුඩුලු වැව, දොරදොළහ, මිරිස්හේන ප්‍රදේශයන් හරහා මැදිරිගිරිය නගරය දක්වා අලි පිවිසුම් මාර්ගයක් නිර්මාණය වීම නිසා බව ගොවීන් පෙන්වා දෙයි.

මේ පිළිබදව අදහස් දැක්වූ මැදිරිගිරියේ, නුවන් කුලතුංග මහතා,

‛ඇත්තෙන්ම අපි හිතුවේ නෑ කලගෙඩිපාලම අසලටම අලි එයි කියලා. ලගදී දවසක අපි මළගෙදරක ගියා. ට්‍රක් 8 ගමේ. අපි එනකොට රාත්‍රි 11ට විතර ඇති. ත්‍රීවිල් එකේ ලයිටි එළියට එකපාරටම මම දැක්කා කලු ගුලියක්. මම හිතුවේ නෑ අලියෙක් කියලා. තව ටිකක් බලනකොට අලි තුන් දෙනෙක් මහ පාරේ. එතනදී ඇතිවෙච්ච බයට ත්‍රීවීල් එක නතර උනා. දැන්නම් වැස්සත් එක්ක මේ කරදරේ ටිකක් අඩු වෙලා. ඒත් වැස්ස නැවත වැස්ස නැවතුන ගමන් ආපහු අලි එයි කියලා හිතනවා. මේ ගැන ඉක්මනට පියවරක් ගන්න වෙනවා. නැත්නම් ජීවිත උනත් නැති වෙන්න පුලුවන්.’

මේ පිළිබඳ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ භාරකරු ඒ. සුරවීර මහතාගෙන් විමසීමක් කළෙමු.

‛දැනට විහාරගම ආසන්නයට අලි වැට ඉදිකර තිබෙනවා. විහාරගම, පලුවද්දන, මිරිස්හේන, පාලු වැව, දක්වා කිලෝමීටර 8ක ප්‍රදේශයක් ආවරණය වන පරිදි අලි වැටක් ඉදිකරන්න ඇස්තමේන්තු සකස් කර ‛‛ගජමිතුරෝ’’ වැඩසටහන හරහා මුදල් වෙන් කරලා තියනවා. 2010 මැදහරියක් වෙනකොට වැට ගසා අවසන් කරන්න පුලුවන්. එවිට මේ තත්වය මගහැරිලා යාවි.’
කෙසේ වෙතත් මේ තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස මැදිරිගිරිය ආශ්‍රිත ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මෝහන් කුලතුංග – මැදිරිගිරිය

වෙළදපලේ හාල් හිඟයක් ඇතිවන ලකුණු

මේ වන විට විවෘත වෙළද පොළේ හාල් හිඟයක් ඇතිවෙමින් පවතින බව මැදිරිගිරිය ප්‍රදේශයේ වෙළද සල් හිමියන් පවසති. රජය විසින් රුපියල් 60 බැගින් නාඩු සහල් කිලෝවක් විකිණිය යුතු බවට නියෝග කර තිබුනද මේ වන විට මෝල්හිමියන් විසින් වෙළද සැල්හිමියන් වෙත සහල් නිකුත් කරන්නේ රුපියල් 61 ක මිළකටය. එසේ වූ විට සහල් මිටියක් රුපියල් 3050 ක් වන අතර රුපියල් 60 ගණනේ කිලෝ එකක් අලෙවිකළ විට ලැබෙනුයේ රුපියල් 3000 මුදලකි. එම නිසා අතින් පාඩුවට තමන්ට සහල් විකිනිමට නොහැකි බව පෙන්වාදෙන වෙළඳ සැල් හිමියන් කියා සිටින්නේ සම්බා සහල් වල තත්ත්වයද මෙයම බවයි.

දැනට තමන් ලඟ ඇති සම්බා සහල් රුපියල් 69 ගානේ මිලදී ගත් ඒවා බවත් රුපියලක් තබාගෙන රුපියල් 70 ට සහල් කිලෝවක් විකිනීමට රජය තමන්ට පවසා ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.

සතියකට සැරයක් මිල පාලන ඒකකය මඟින් අවුත් තමන්ව නිතියේ වරදකරුවන් බවට පත්කිරීමට උත්සාහකරමින් සිටින හේතුවෙන් තමන් සහල් විකිණීම නතර කරන තත්ත්වයකට පත්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙති.

මහා ජල කඳන් දෙපා මුලින් ගලා යද්දි, වතුර ඉල්ලා හඬා වැටෙන මහවැලියේ කඳුඑ….


මහා ජල කඳන් දෙපා මුලින් ගලා යද්දි,
වතුර ඉල්ලා හඬා වැටෙන
මහවැලියේ කඳුඑ….

සම්පත් සමරකෝන්(වැලිකන්ද, කුරුඑබැද්ද චාරිකාවකින් පසුව)

“අපට ඒ දවස්වල මෙහෙට එන්න අඬගහනකොට කිසිම අඩුපාඩුවක් කිව්වේ නෑ….ඇයි මහත්තයෝ ටීවි එකේ පෙන්නුවනේ, මෑ කරලක් මෙච්චර දිගයි. පතොල කරලක් මෙච්චර දිගයි. වැටකොලු මෙන්න. ටීවී එකේ ඕවා දැක්කහම කවුද නොඑන්නේ. කූලී වැඩ කර කර හිටිය මිනිස්සුත් ආවා. දැන් බලන්නකො මේ එක ඉඩමක මොනවද හරියන්නේ කියලා.”

මහවැලි බී කාලපයට අයත් වැලිකන්ද, කුරුඑබැද්ද ප්‍රදේශයේ මේ වනවිට ගොවීන්ගේ දුක්මුසු වේදනාවේ එක් ප්‍රකාශණයකි.
කුරුඑබැද්ද පොළොන්නරු දිස්ත්‍රික්කයේ සීමාවේ පිහිටි ගොවි ජනපද අතුරින් දුෂ්කරම ප්‍රදේශයක් ලෙස සැලකිය හැකිය. වැලිකන්ද සිට කි.මී. 22කක දුරින් පිහිටා ඇති කුරුඑබැද්ද මහවැලි ව්‍යාපාරය යටතේ ජනපදකරණය හරහා පදිංචි කරවූ ගොවීන් සිටින ප්‍රදේශයක්. පොළොන්නරු දිස්ත්‍රික් සීමාවේ අවසන් ගම කුරුඑබැද්දයි. පසුගිය කාලයේදී යුද ගැටුම්වලට නිරන්තරයෙන් ගොදුරුවූ ප්‍රදේශයක් ලෙස ද මෙය හැඳින්විය හැකියි. කුරුඑබැද්ද යුද්ධයේ දී දෙපාර්ශවයේම ‛බංකරයක්’ වූ ප්‍රදේශයක්. පසුගිය වසර කිහිපයම මේ ජනයා ගතකලේ ඉතාමත් අමිහිරි, දුක්මුසු ජීවතයක්. අදද මේ ජනයා දිවි ගෙවන්නේ ඉතාමත් අපහසුවෙන්.
මේ ප්‍රදේශයේ බොහෝ දෙනාගේ ජීවන මාර්ගය ගොවිතැනයි. පවුල් 400කට ආසන්න සංඛ්‍යාවක් සිටින මෙම ප්‍රදේශයේ අවම වශයෙන් හෙක්ටයාර 160ක් යල සහ මහ කන්න දෙකම වගා කරමින් තිබූ බව ගොවීන් පවසයි. එසේ නමුත් මේ වනවිට මෙම ගොවීන් ඉතා අසරණ තත්වයකට පත්ව සිටිනු දක්නට ඇත. ඒ තම වී වගාවට අවශ්‍ය ජල ප්‍රමාණය මෙම කන්නයේදී නිසි ලෙස නිකුත් නොකිරිම හේතුවෙන් තම වගා බිම් විනාශවන තත්වයකට පත්ව ඇති නිසාය.

එසේම මෙම ජනපදය, මහවැලි ව්‍යාපාරය යටතේ 1990 සිට ජනයා වෙනත් ස්ථානවලින් ගෙනවිත් පදිංචිකරන ලද ගොවින් සිටින ජනපදයකි. මෙසේ මහවැලි ව්‍යාපාරය යටතේ මොවුන් 1990 සිට පදිංචි කරන විට මෙම මිනිසුන්ට මෙම බිමෙහි කසිදු අඩුපාඩුවක් නැති සශ්‍රීක සහ සාමකාමි ප්‍රදේශයක් බවට විවිධ ප්‍රචාරණ ක්‍රමයන් භාවිතයෙන් එවකට පැවති පාලනයන් පෙන්වා දී තිබේ. නමුත් එම ගොවීන් පවසන පරිදි පැමිණ ටික කලකින් තත්වය ඉතාමත් නරක බව ඔවුන්ට තේරුම් යන්නට විය. එවිට ඔවුන් ප්‍රමාද වැඩි බව බොහො ගොවීන් පවසන්නේ තම මුල් ගම්බිම් සහි කරමින්ය. එසේම වර්තමානය වන විට ඉතාමත් නරක ප්‍රතිඵල අත්විඳින බව ඔවුන් පවසයි.
“මිනිස්සු මේ ජීවත් වෙච්ච හැටියට තෑගි දෙන්න වටිනවා. ගොවිතැන් විතරයි කරන්න තියෙන්නේ. වෙන රැකී රස්සාවක් ඇත්තේම නෑ. අදත් මේ ගමේ ළමයි 3න් දෙනෙක් මට හම්බ උනා කොළඹ යනවා. කොන්ක්‍රිට් අනන්ට. ඇයි රස්සාවක් නෑනේ. හොඳට ඉගෙන ගත්තු ළමයි ඉන්නවා. උසස් පෙළ සාමාන්‍ය පෙළ ලියපු ළමයි ඉන්නවා.” යැයි ඉතාමත් වේදනාවෙන් එම ප්‍රදේශයේ පැරණිම ගොවියකු වන ඩී. එම්. පුංචිරාළ මහතා පවසයි.
වර්තමානය වන විට මෙම කුරුඑබැද්ද ප්‍රාද්ශයේ ප්‍රධානම ගැටලුව ජලහිඟයයි. ඉදිරියේදී ගොවැතැන් කිරීමට තියා අනිකුත් කටයුතුවලටත් ජලය ලබා ගැනීම ඉතාම දුෂ්කර තත්වයකට පත්වේ යැයි ඔවුන්ගේ අදහසයි.

1992 වර්ෂයේ ඇඹිලිපිටියේ සිට මෙහි පැමිණි පී. විජේසිංහ මහතා සිය අත්දැකීම විස්තරකරමින්, “දැන් මේ ගමේ ඉදලා නාන්න යන්න ඕන කිලෝමීටර එක හමාරක් විතර. ගම්මානයේ නෑ නාන්න තැනක්. බොන්න වතුර ටිකක් හරියට නෑ. දැන් පානීය ජලය කියලා ගහලා තියනවා ටැංකියක්. ඒකත් කොටසකට තියනවා. කොටසකට නෑ.”
මෙම ජල ප්‍රශ්ණය නිසා මහවැලි ව්‍යාපාරය විසින් මෙම කන්නයේ දී ගොවීන්ට උපදෙස් දී තිබෙන්නේ හෙක්ටයාර් 1ක් ගොවීන් දෙදෙනෙකුට එක්ව වගා කරන ලෙසයි. නමුත් ගොවීන් පවසන්නේ මහවැලි ව්‍යාපාරය විසින් ඔවුන් මුලාකිරිමකට ලක්කර ඇති බවයි.

ඒ පිළබඳව කුරුඑබැද්දේ ඒ. ආරියදාස ගොවි මහතා පවසන පරිදි, “දැන් ටික කාලෙක ඉඳලා තමයි මේ වතුර ප්‍රශ්නෙ. හෙක්ටෙයාර් 160ක් විතර තමයි මෙහේ වැඩ කෙරෙන්නේ. මේ පවුල් 400ගණනම. දැන් කියලා තියෙන්නේ මේ හෙක්ටයාර් 160න් භාගයක් වැඩකරන්න කියලා. දැන් වහෙන් ඔරෝ කියනකොට, මෙහෙන් වරෝ කියන්නා වගේ වන්දියක් දෙන්න උනොත් දෙන්න වෙනවානේ. ඒක නිසා මේක වතුර නෑ කියලා මවා පාන දෙයක්. දැන් දවස් 10කට වරක් ව තුර දෙන්නේ. අපේ කුඹුරු මැරෙනවා, ගමත් එපා වෙනවා. ඇයි මොනවද කන්නෙ. මෙහේ ඉන්න කට්ටියත් යන තැනට තමයි දැන් වෙලා තියෙන්නෙ, මේ මුලා කිරීම නිසා.”
මේ වන විට මෙහි මිනිසුන්ට මහවැලි ව්‍යාපාරය, එහි නිළධාරින් කෙරෙහි තිබූ විශ්වාසය බොහෝ දුරට බිඳී ගොස් ඇති බවක් පෙනෙන්ට තිබේ. මේ වන විට ප්‍රදේශයේ ජල ප්‍රශ්නය උග්‍රව තිබියදී අනිකුත් පහසුකම් පිළිබඳවත් කිසිදු සැළකිල්ලක් සිදුකර නොමැති බව පෙනෙන්ට ඇත. වැලිකන්දේ සිට කුරුඑබැද්දට පැමිණෙන ප්‍රධාන මාර්ගය වාහනයකට යා නොහැකි තරම් අබලංව ඇත. වැසි කාලයට මේ මාර්ගයේ වාහනයක තබා පයින්වත් ගමන් කිරිම සිතා ගන්නටත් බැරිය. තවද සෞඛ්‍ය පහසුකම් ද කුරුඑබැද්දේ නැත. ඕනෑම ලෙඩකට කිලෝමීටර් 22කක් දුර ගෙවා වැලිකන්ද රෝහලට, නැතිනම් පොළොන්නරුව රෝහලය මොවුන් යා යුතුය. එසේම කුරුඑබැද්දට තිබූ එකම පාසලත් වැසි ගොස් ඇති බව ප්‍රදේශවාසින් බවසයි. එම නිසා ඔවුන්ගේ දරුවන්ට පාසල් යාමට වැලිකන්ද ප්‍රදේශයට යාමට සිදුවෙයි. එහිදී ද ඔවුන්ට බස් රථ නිසිලෙස නොමැතිවීමෙන් දුෂ්කරත්වයට පත්වන බව පවසයි. ඒ පිළිබදව ඒ. ආරියදාස මහතා පවසන්නේ මෙවැන්නක්, “මෙහෙ ළමයි සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා ඉස්කෝලෙට යන්න. කොයි වෙලාවක හරි අපේ පැටවු ටික ඔය ඇල බන්ට් එකේ. ඇයි නෑනේ පාරක්.”
“මාසෙකට සති 4න් 3ක් විතර තමයි ළමයි ඉස්කෝලෙ යන්නේ. එක බස් එකයි වැඩ කරන්නේ. හුලං බැස්සොත් නෑ. ඩැයිවර් මහත්තයාට අසනීපයක් උනොත් නෑ. අසේලපුර ඉස්කොලෙ ලඟට ආවනම් හිතෙයි අනේ මේ ළමයි මේ බස් එකෙන් කොහොමද ආවේ කියලා. දොර දෙකේ බස් එකක් දාලා තියෙන්නේ. දොර දෙකක් උනාට ඒ බස් එක වෑන් එකක් විතරනේ. ඒක ඉස්කොළෙ ළමයි ටිකටවත් ප්‍රමාණවත් නෑ.” පී. විජේසිංහ මහතා පවසයි.

පසුගිය මාස්කන්නයේ පුනරුත්තාපනය කරනවා යැයි කියා නිළධාරීන් පිරිසක් ගමට පැමිණ විශේෂයෙන් මෙම ජල ප්‍රශ්ණය විසඳිමට සැළසුම් සකස් කර ඇත. ගොවීන් බවසන පරිදි මේ වනවිට එහි ප්‍රතිඵල තියා සැළසුම්වත්, ආවේ කවුරුන්දෑයිවත් ගොවීන් දන්නේ නැත.
ඒ පිළිබඳ අදහස් දක්වන පී. ආරියදාස ගොවි මහතා “පුනරුත්තාපනය කරනාව කියලා අපි එක තැනකට එකතු කරා. ඒකට සමහර අය ආවේ නෑ කියලා අපේ සමහර අයට තර්ජනත් උනා. ඊට පස්සේ අපි ගෙයක්, ගෙයක් ගානේ ගහිල්ලා මිනිස්සු එකතු කරා. මිනිස්සුන්ගෙන් බැනුම් අහා අහා එකතු කරා. මිනිස්සුන්ට රුස්වීම් එපාවෙලා තමා මිනිස්සු එන්නේ නැත්තේ. බොරුනේ කියන්නේ. එක් එක්කෙනාගේ ඇලවල් සුද්දකරා, ලෙවල් ගන්න. ගත්තා ලෙවල්. අපි හිතුවා මාර්තු මාසේ වෙනකොට ඉවරයි කියලා. ඒ කන්නෙත් අපි නවත්තලා හිටියා. අද තව වන තුරුත් ඒ මහත්තුරු මෙහේ නෑ. අපෙන් අත්සන් ගත්තා විතරයි. ගොවියන්ගේ වියදමෙන් තමයි ඒ මහත්තුරුන්ට කන්නත් දුන්නේ. ගිය මාස්කන්නේ, තමා උනේ.”

මේ පිළිබද අප මහවැලි ව්‍යාපාරයේ නිළධාරියෙකුගෙන් විමසීමක් කළෙමු. තම අනන්‍යතාවය හෙළිකිරීමට අකමැති වූ ඔහු අප සමඟ මේසේ පැවසිය,
“අපි කරන්න කිව්වේ ගොවීන්ට හෙක්ටයාර් භාගයයි. සමහරු හෙක්ටයාර් එකම කරා. කන්දකඩුව ප්‍රදේශයේ හෙක්ටයාර් දෙකක් විතර කරලා සමහරු. දැන් වතුර හිගයි. සාමාන්‍යයෙන් යල කන්නයට වතුර හිගයි. වෙනදාට වඩා මේ පාර වතුර අඩුයි. වෙනදා මාදුරුඔයට මධ්‍යම කඳුකරයෙන් වතුර එනවා. මේ පාර වතුර ආවේ නෑ. ඒ නිසා තමයි අපි හෙක්ටයාර් භාගයක් කරන්න කිව්වේ. දැන් ගොඩක් කුඹුරු මැරිලා තියෙන්නේ හෙක්ටයාර් 1ම කරපු හින්දා. වතුර පිරිමහලා ගොවීන් මේක කරනවානම් මේ වතුර ඇති.”
කෙසේ වෙතත් මෙම ජල ගැටලුව පිළිබද වැලිකන්ද ප්‍රදේශයේ ඇතැම් ගොවීන්ගේ ඇත්තේ වෙනත්ම අදහසක්. ඔවුන් පවසන්නේ මෙම ජලය හිතාමතාම මාදුරුඔය ජලාශයෙන් මුදා හැරි බවයි.

“මාදුරු ඔයෙන් තමා මෙහෙට වතුර දෙන්නේ. දැන් මාදුරුඔයේ වතුර නැතිලු. අපි ඒක විශ්වාස කරන්නේ නෑ. ජල කළමනාකාරිත්වයක් නැතිව ජලාශයේ වතුර වැඩියෙන් ඇරලා තියනවා. කතාවක් තියනවා ජලාශයේ නිධන් හාරන්න තමයි මේ වතුර වැඩියෙන් ඇරියේ කියලා. නැත්නම් මේ තරම් ජලය පිට කරේ ඇයි?. මේක ගොවීන්ට ප්‍රශ්නයක්. තවත් එකක් තියනවා එල්ටීටීඊ එකෙන් මුදාගත් වාකනේරි ප්‍රදේශයට ජලය යැව්වා කියලා.”

කෙසේ නමුත් ඔවුන් පවසන්නේ මහවැලි ව්‍යාපාරය බිහි කළාට පසුව මෙතරම් ජල හිඟයකට මුහුණපා නොමැති බවයි. එසේම ප්‍රධාන වශයෙන් මෙම ප්‍රදේශයට ජලය සැපයෙන්නේ මහවැලි වම් ඉවුරෙන්. මහවැලි දකුණු ඉවුර මේ වනතුරු අවසන් කර නැත. ගොවීන් පවසන පරිදි දකුණු ඉවුරෙන් යෝජනා කර ඇත්තේ තොප්පිගල ආදී ප්‍රදේශවලට ජලය සැපයීමටයි. මෙසේ වුවහොත් වම් ඉවුරෙන් පෝෂණය වන තම කලාපයට දැන් ලැබෙන ජල ප්‍රමාණය තව තවත් අඩුවන බවයි. ඒ පිළිබඳ අදහස් දක්වන වැලිකන්ද ප්‍රදේශයේ ගොවියෙක්,

‛‛මෙහෙම උනොත් ඉදිරියේදී හෙක්ටයාර 1ක් ගොවීන් 4දෙනකුට දෙන්න වෙනවා. ඒ නිසා වි වගාව ඉදිරියට කරන්න බැරි වෙනවා. අනිත් අතට මෙහෙම ජල හිඟයට තව එකක් තමා මේ මහවැලි ව්‍යාපාරය නිසා විශාල කැලෑ ප්‍රමාණයක් නැති උනා. මේකත් එක් හේතුවක්.”
මේ පිළිබදව මහවැලි ව්‍යාපාරයෙන් විමසීමේ දී එහි ප්‍රකාශකයෙකු පැවසූයේ, “නෑ එහෙම කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. වතුර පිරිමහන්න වෙනවා. විශේෂයෙන් ගොවි මහත්තුරු වතුර අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන. ඒකයි කරන්න ඕන. ඒක කරන්න නිළධාරීන් උනන්දු කරන්නත් ඕන. අපේ නිළධාරීන්ට මේ දවස්වල නිවාඩුත් කැන්සල් කරලා තියෙන්නේ.”

ඒ ඔහුගේ අදහසයි.

මෙම සියලු ගැටලු වසර ගණනාවක් නොවිසදී පවතිත්දී අලුත් ගැටලුවක් දැන් උදාවෙමින් තිබෙන බව එම ගොවීන් වැඩිදුරටත් පවසයි. ඒ වෙනත් ප්‍රදේශවලින් නැවතත් ගොවි පවුල් මේ ප්‍රදේශයට ගෙනවිත් පදිංචි කිරිමයි. කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වන ඩී.එම්.පුංචිරාළ මහතා “දැන් අනිත් එක තමා අලුත් ඉඩම්ලාභියොත් එනවා. මේ ඉන්න ටිකටවත් මේ වැවෙන් වතුර දෙන්න බැරිවයි තියෙන්නේ. මේ කුරුඑබැද්දේ වැව හැදුවේ නැතිනම් ඉවරයි. තවත් ඉඩම්දීලා දීලා කොහොමද. මිනී මැරෙන එක තමා වෙන්නේ.”
මේ සියලු ගැටලුවලට පිළිතුරක් නැතිව දිවිගෙවන මෙම අසරණ ගොවීන්, යුද ගැටුම්වලට මැදිව වසර ගණනාවක් දිවි ගෙවු හැටි සිහිපත් කරන්නේ පවතින දුක තුනී කරන්න දැයි වරෙක සිතේ.
යුද ගැටුම් සමයේ ඔවුන් විදි අත්දැකීම් විස්තර කරන ගොවීන්

“නාගස්තැන්න, වැලිකන්ද රැකෙන්නෙ අපි හිංදා. අපිනේ මේක මුර කරේ. ආමි එකෙන් අරෙන් මෙහෙන් ගුටි කකා තමයි අපි රුක්කේ. බංකරේට ගියේ නැත්තං ගහනවා. හැන්දෑ වෙනකොට යන්න ඕන බංකරේට. දරුවො බංකරේ ඇතුළෙ, අපි උදේට එනකං. ඒ කාලෙ ඉඳලම ගම රැක්කේ අපි. ගම විතරක් නෙමේ මේ ප්‍රදේශයම. මේ අවට ගම්මාන වැහුනා. මහවැලිතැන්න, පංසලතැන්න, රංගිරිතැන්න, ගම් වැහුනා. සමහර පංසලතැන්න මිනිස්සු මෙහෙ ඇවිල්ලා පදිංචි උනා.”

“උණ හැදිලා හිටියත් උදේට යන්න ඕන බංකර් වල කපන්න. රෑට අනිවාර්යයෙන්ම බංකර වල රකින්න යන්න ඕන. ෂොට් ගන් තුවක්කුව අරගෙන ගහිල්ලා ඉන්න ඕන. උදේට බංකර පොත අරගෙන ආවෙ නැත්තන් තිත්ත කුණුහරපෙන් බැනුම් අහනවා. එහෙමයි අපි ජීවත් වෙලා හිටියේ. මැලේරියාව හැදිලා ගැහි ගැහිත් බංකර තමා අපි රැක්කේ.”
එම ගොවීන් වැඩිදුරටත් පවසන්නේ,
‛’93 පදිංචිවෙලා හිටිය කට්ටයගේ ළමයින්ට අඩුම ගණනනේ අක්කර භාගේ හරි දෙන්න ඕන. ඉල්ලුම්පත්තර දාලා තියනවා. තවත් තේරීම් ඇවිල්ලා නෑ. කසාද බැදලද කියලා අහනවා. කසාද බැදලා නැති උනත් කමක් නෑ අපි මේක රුකගෙන හිටපු මනුස්සයොනේ. බංකර අස්සේ ලමයි තියාගෙන හිටපු කට්ටයට අක්කර කාල කාල හරි දෙන්න ඕන.”
“බංකරේ අස්සට රිංගගෙන, නයා මේ උඩින් පිඹිනවා. ඇයි කොට දාගෙන ඒවා අස්සට රිංගලා ළමයි තියාගෙන හිටියේ. ඒ ළමයින්ට අක්කර කාල කාල හරි දෙන්න ඕන. ඒ ළමයිට දීලා පිටින් ගෙනත් පදිංචිකරන්න ඕන.
මේ සියලු ගැටලු නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අවසන් සීමාවේ සහ මඩකලපුව ආරම්භක සීමාවේ වැලිකන්ද, සිංහපුර, කුරුඑබැද්ද ආදි ප්‍රදේශවල වෙසෙන මෙම ජනයාගේ ජීවන තත්වය සීග්‍රයෙන් පහළ යමින් තිබේ.

ඔවුන්ම පවසන පරිදි මහවැලි ව්‍යාපාරය යටතේ මොවුන් පදිංචිකරන විට මොවුන්ට පෙන්වූයේ සුර පුරයකි. එබැවින් කූලි වැඩ කරමින් සිටි අය පවා මෙහි පැමිණ පදිංචි විය. ටික කලකින් යුද පාර්ශවයන් දෙක අතර ‛බංකරයක්’ වන්නට ඔවුන්ට සිදුවිය. තුවක්කුවක් දැක නැති අයට පවා තුවක්කුවක් අල්ලන්නට යුද්ධය විසින් බලකෙරිනි. කැත්ත, උදැල්ල හුරූ දෑතට තුවක්කුව භාවිතා කරන්නට හුරුවන්නට විය. ගොවිතැන් කරමින් සිටි, මහියංගනය, බදුල්ල අදී ප්‍රදේශවල ජනයාට බංකර් වලවල් කපන්නට විය. එසේම සෑම විටම එල්ටීටීඊ ය තම සීමාව පළල් කිරීමට උත්සහ ගත්විට පළමුව වන්දිගෙවන ලද්දේ මෙම සීමාවේ පදිංචිකරන ලද(අනිකුත් ජනයාගේ ආරක්ෂාව සදහා) ජනයාය. මේ අත්දැකීම්වල කටුකත්වය කරුඑබැද්දේ ගොවීන්ගේ මුහුණුවල මෙන්ම, යුද්ධයෙන් පසු ඉතිරි වී ඇති, විනාශ වුනු ගොඩනැගිලිත් පාලුවට ගොස් ඇති බංකරත් මනාවට කියාපායි.

දැන් යුද්ධය අවසන් වී ඇත. ඒත් මේ ගම්මානවල මිනිසුස්ගේ දුක්, වේදනාවන් තවමත් අවසන් වී නැත. නිදහසේ තම ජීවිතය ගෙවා දැමීමට අවශ්‍ය සියලු පහසුකම් මොවුන්ගෙන් දුරස් වීම ඉතා සීග්‍රයෙන් සිදුවේ. දෙවන පරම්පරාව තම ගම්බිම් හැරදා නගරයට සේන්දුවන්නට පටන් ගෙන තිබේ. වයසක මිනිසුන් කඩපිල්වල තම වේදනාවන් එකිනෙකා සමඟ බෙදාහදාගනිමින් සිටින්නේ කරන්නට කිසිවක් නැති නිසාදැයි වරෙක සිතේ. අලුත් බලාපොරොත්තුවක සේයාවක් ඒ කිසිදු මුහුණක නැත. වරින් වර ඇතැමුන් අහස දෙස බලන්නේ නැවත වරක් ෂෙල් හෝ මෝටාර් තම හිසට කඩා වැටේදැයි කියා නොවේ. වැස්සක සේයාවක්වත් අහසේ තිබේදැයි පිරික්සන්නට ය. වරින් වර හමන වියලි සුළග ඒ කුඩා බලාපොරොත්තුවද ක්ෂණිකයෙන් රුගෙන ඈතට යනු පෙනේන්නේ, තම දෙපා අභියස ඇති මහපොළව වියලීම නිසා ඉරිතලා ගොස් ඇති බව දුටු විටය. නමුත් බීමට හෝ ගොවිතැන් කිරිමට අවශ්‍ය ජලය නැතත් මහවැලි ව්‍යාපාරයේ තරම කියාපාමින් මහා විශාල ඇලවල් වල වතුර කඳන් පිටින් ඒ විඩාබර දෙපා අභියසින් ගලා යමින් තිබේ.

එම කිසිදු ඇලක වතුර සතා සිව්පාවට බීමට බැරිය. කිසිදු ගසකට උරාගැනීමට නොහැකිය. ඒ තරමට ඒ වාරි තාක්ෂණය පරිසර හිතකාමීත්වයෙන් තොරය. එබැවින් කොතරම් ජල කඳක් අසලින් ගලා ගියත් ඇල දෙපස ගස්, තණකොල වියලී ගොසින්ය. කිසිවෙකුට එයින් ස්නානය කිරිමට අවශ්‍ය නම් ගසක ලණුවක් ගැට ගසා ඇලට බැසිය යුතුය. එසේ බැස ලනුව අතෑරුනොත් සිදුවන්නේ මිය යන තෙක්ම එම ජල කඳත් සමග පොර බැදීමය. මිනිසෙකුට තියා අලියෙකුටවත් එයින් පහසුවෙන් ජලය ගන්නට බැරිය. මේසේ වතුර බොන්නට ආ අලින් කිහිප දෙනෙකුම මේ වැලිකන්ද ප්‍රදේශයේ මේ ඇලවල්වලට වැටි මිය ගොස් ඇති බව රහසක් නොවේ. මේ වාරි පද්ධතිය එතරම්ම මිනිසුන්ගෙන්, ගහකොළින්, සතා සිව්පාවාගෙන් දුරස් කර ඇත. එසේ කරන ලද නිසා මෙසේ එම ගොවිබිම් වියලීම අරුමයක්ද?. බීමට ජලය නැති වීම අරුමයක්ද? නැත.
එසේ වන්නේ ඇයි? දෙපසම කොන්ක්‍රිට් කරන ලද, පොළව මට්ටමේ සිට අඩි 15කට තරම් ගැඹුරකින් මෙම ඇල මාර්ග තනා තිබීම මෙයට එක් හේතුවකි. මෙසේ කර ඇත්තේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ඉක්මනින් ජලය රැගෙන යාමටයි. ඒ අනුව සැළසුම්කරන ලද ස්ථානයට යන තුරු කිසිවෙකුටත් එම ජලය රිසිසේ පරිභෝජනය කළ නොහැකිය. ඒ නව තාක්ෂණයට අනුව ජලය පිරිමැසීමටයි. ‛මහවැලියට’ ජලය පිරිමැසීම යනු ස්වාභාවික නොවන ආකාරයට වාරි ක්‍රම භාවිතා කරමින් ජලය සීමිත සම්පතක් බව ඔප්පු කිරීමය. ඇත්ත ජලය මේ මහපොළවේ සීමිතය. නමුත් තිබෙන ජලය රැක ගතයුතුය. ජලය රැකගැනීම යනු ස්වාභාවික පරිසරයේ අනිකුත් දේ වලින් ජලය වෙන්කර, ජලය රැක ගැනීම් නොවේ. ස්වාභාවික පරිසරයත් සමග එක්බද්ධව ජලය රැක ගැනීමය. සංරක්ෂණය කිරිමය.
එය මනා ලෙස අත්විඳි හා තේරුම්ගත් පැරණි වාරි තාක්ෂණික ශිල්පීන්, ගොවීන් තම වාරි කර්මාන්තය නිසි ලෙස පවත්වාගෙන ගියහ. පැරණි වාරි කර්මාන්තයට අයත් සියලු වැව්, ඇලදොළ, ගංගා එසේ ස්වාභාවික පරිසරයත් ආරක්ෂා කරගනිමින් රැක ගත්හ.(එම වාරි පද්ධතීන් තවමත් ඉතිරිව තිබෙන්නේ එම නිසාය) එම ඇලවල් තනා තිබෙනුයේ ඇල වෙලි දෙපස පසට ජලය උරාගැනීමට හැකිවන පරිද්දෙනි. වර්තමානයේ ඇල පද්ධතීන් මෙන් ජලය උරා ගැනීමට නොහැකිවන පරිද්දෙන් නොවේ. එවිට එම ඇල දෙපස විශාල ප්‍රදේශයක් ‛වියලීම’ ස්වාභාවිකවම අවම වේ. එම ඇලවල්වලින් සතාසිව්පාවාට තම විඩාව සංසිදවා ගත හැකිය. එයින් ගොවිතැනට අත්‍යවශම කොටස් දෙකක්වන ශාක සහ සතුන් ස්වාභාවිකවම ආරක්ෂාවේ.

එසේම එම අලවල්වල ජලය ගලා ගියේ ඉතාමත් සෙමින්ය. ලතාවකටය. එසේ වූ විට එහි ජලජ ශාකවලට, ජලජ මත්‍යසයන්ට එය නිවහනකි. විශේෂයෙන් ඕලු, කෙකටිය වැනි ශාකත්, අප රටට ආවේණික වූ ඇතැම් මතස්‍ය වර්ගත් එහි හොඳින් වැඩේ. මෙසේ වූ විට ජලයේ තිබෙන ‛බර ලෝහ’, විශේෂයෙන් මේ දිනවල වකුගඩු වසංගත තත්වයකට එක් හේතුවක් වන ‛කැඩ්මියම්’ වැනි රසායනයන් ශාක සහ සත්ව කොටස් විසින් උරාගනු ලබයි. මෙමගින් එම ජලය භාවිතා කරන සියලු සතුන් සහ මිනිසුන් එයින් ආරක්ෂාවේ.
නමුත් සිදුව ඇත්තේ කුමක්ද? සම්ප්‍රදායික පරිසර පද්ධතීන් සම්පුර්ණයෙන්ම විනාශ කර, සීග්‍ර සංවර්ධනයක් අපේක්ෂාවෙන් කරන ලද ජනපදකරණය හා ඒ හා බැදුණු වාරිකර්මාන්තය නිසා එහි ජීවත්වන මිනිසා පමණක් නොව සතා සව්පාවාද, ගහකොලද, මහපොළවද විනාශ කිරීමය.

තත්වය මෙළෙස දිගටම පැවතියහොත් වැලිකන්දේ මෙන්ම කුරුඑබැද්දේ මිනිසුන්ටද වසර ගණනාවක් දුක්ගැහැට විඳ තනා ගත් නිවාස දේපොළ හැරදා නැවත තම මුල් ගම්බිම් බලා යාමටය. මෙය වෙනස් කරවා ගැනීමට නම් විශේෂයෙන් මහවැලියත් ගොවීනුත් අතර මනා සම්බ්න්ධතාවයක් ගොඩනගා ගත යුතුව ඇත. එසේම මහවැලිය ජලය සම්බන්ධයෙන් වන ප්‍රතපත්තීන් නැවත සලකා බැලිය යුතුව ඇත. ස්වාභාවික පරිසරයක් රැකගෙන මෙම ජල සංරක්ෂනය සහ ජල පරිභෝජනය කිරිම පිළිබඳව නැවත සිතිය යුතුය. විශේෂයෙන් ජලය ‛මිනිසාට පමණක් මිනිසා විසින් ස්වාභාවික නොවන ආකාරයට පාලනය කිරීමේ’ ප්‍රතිපත්තීන් අත්හල යුතුය. එසේ නොවුනහොත් විශේෂයෙන් ජනපදකරණය ආශ්‍රිත ජනයාගේ ජලය නිසා වැළදිය හැකියැයි විශ්වාස කරන වකුගඩු රෝගීන් ගණන ප්‍රමාණාතාමක වැඩි වුවහොත් එය යුද්ධයට වඩා බියජනක තත්වයක් විය හැකිය. එසේම සතාසව්පාවට, ගහ කොලවලට, ජලයට ඇති අයිතිය උදුරා දමමින් සිදුකරන සංවර්ධනය නිසා මේ මහපොළව විනාශ වෙනු ඇත. එහි ඇති ජීවි බව විනාශ වනු ඇත. මෙසේ වුවහොත් වියලි කලාපයේ, වැලිකන්ද, කුරුඑබැද්ද ආදී ජීවත්වන මින්සුන්ට වන්නේ කබලෙන් ලිපට වැටීමට ය.
මහා ජල කඳක් තම දෙපාමුලින් ගලා යද්දී, තම කුඹුරු නියඟයෙන් විනාශ වෙනවා බලා සිටීම ය. තම ගස් කොළන් බලා සිටයදීම පිලිස්සී යනවා බලා සටීමය. මහපොළව මිය යනවා බලන් ඉන්න බැරුව අහස දෙස බලා සුසුම් හෙළිමය.

වකුගඩු ප්‍රශ්ණය නිසා දවස් 15ක් 20ක් අතර 4දෙනෙක් නැති උනා..මේ ප්‍රශ්ණය යුද්ධයට සමානයි.. රෝහල් පහසුකමුත් නෑ- සභාපති, ප්‍රාදේශිය සභාව, මැදිරිගිරිය.

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශය ලංකාවේ වකුගඩු රෝගීන් බහුලව වෙසෙන ප්‍රදේශයක්. මේ පිළිබදව මැදිරිගිරිය ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් ශ්‍රී නිලන්ත මහතා ‛විකල්ප’ සමඟ දක්වන අදහස් ඉහත හඬ පටයෙන් දැක්වේ.

ජීවිතයත්, මරණයත් අතර දිවිගෙවන වකුගඩු රෝගියෙකු සමඟ…..

YouTube Preview Image

පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශය මේවනවිට ලංකාවේ වකුගඩු රෝගීන්ගෙන් බහුල ප්‍රදේශයක්. මෙහි බොහෝ මිනිසුන්ගේ ජීවිකාව ගොවිතැන. මේ වන විට වකුගඩු රෝගය නිසා මේ ප්‍රදේශයේ බොහෝ මිනිසුන් අන්ත අසරණ තත්වයකට පත්ව සිටී. එසේ අදරණ වූ ගොවි මහතෙකු ‛විකල්ප’ සමග තමන් මේ රෝගය නිසා අත්විඳින තත්වයන් පිළිබද දැක්වූ අදහස් ඉහත වීඩියෝ පටයෙන් දිස්වේ.

වැලිකන්දේ වෙඩි තැබීමකින් ගොවීන් 4ක් මරුට

වැලිකන්ද, රිදීතැන්න, ප්‍රදේශයේ ඊයේ රාත්‍රී ආයුධ සන්නද්ධ පිරිසක් ඒල්ලකල වෙඩි ප්‍රහාරයකින් 4දෙනෙක් ජීවිතක්ෂයට පත් වී 4දෙනකු තුවාල ලබා ඇත.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ රිදීතැන්න, මැනික්දෙනිය ප්‍රදේශයේ තම අස්වනු නෙලීම සඳහා කුඹුරුවලට ගොස් ඇති ගොවීන් පිරිසකටය. ප්‍රදේශවාසීන් පවසන්නේ පසුගිය දිනවල මෙම ප්‍රදේශයට කිසියම් ආයුධ සන්නද්ධ පිරිසක් පැමිණ ඇති බවට ලද තොරතුරු මත ආර්ෂක අංශ විසින් කරන ලද සෝදිසි මෙහෙයුමක් සිදු කලමුත් එවැනි පිරිසක් සොයා ගැනීමට නොහැකි වූ බවයි.

වැලිකන්ද පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ, මනන්තලාගේ සෝමදාස, සුගත් චන්ද්‍රසිරි, සරත් කුමාර විජේවර්ධන සහ කන්කානම්ලාගේ ධර්මසේන යන අය බවත් ඒ පිළිබඳ පරීක්ෂන සිදුකරමින් සිටින බවත් ය.

ගොවි සහනාධාරය පිටපාරේ යයි

December 15, 2008 by Vikalpa_R  
Filed under Corruption, Pollonnaruwa, සිංහල

2007 – 2008 මහ කන්නයේ වගා පාළු වූ ගොවීන්ට ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ලබාදුන් සහනාධාර වැලිකන්ද, මුතුවැල්ල, ඩී1, බෙදුම් ඇල ගොවි සංවිධානය විසින් වංචාකර ඇති බවට එහි ගොවීහු පවසති. පසුගිය වසරේ හා මේ වසරේ මහ කන්නයේදී ගංවතුර හේතුවෙන් වගා බිම් රැසක් විනාශ විය. මෙසේ සිය වගා බිම් හානි වූ ගොවින්ට ලබාදුන් සහනාධාර වගා පාළු වූ ගොවීන් වෙනුවට අදාල ගොවි සංගමයේ සභාපති ගේ හා ලේකම් ගේ හිතවතුන්ට බොදා දී ඇති බවට ගොවී හු චෝදනා කරති. සහනාධාර ලෙස අක්කරයකට බිත්තර වී බුසල් 2ක්, සින්ක් සල්ෆේට් කිලේ 1 හා ගොවියෙකුට එක් උදැල්ලක් බැගින්ද ලබා දී තිබේ.
විකල්ප මේ පිළිබඳව වැළිකන්ද ගොවිජන සේවා කාර්යාලයෙන් විමසූවිට එහි සේවිකාවක් කියා සිටියේ තම ආයතනයටද මේ පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවත් මීලඟ ගොවි කමිටු රැස්වීමේ දී මේ පිළිබඳව සොයා බලා තීරණයක් ගන්නා බවයි. මහවැලි ඩී කළාපයේ වගා පාළු වූ ගොවින්ට ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබාදුන් සහනාධාර අදාල ප්‍රදේශයේ ගොවි සංවිධාන මඟින් බෙදාහැරීමට කටයුතු කළ බවත් මෙම වගා හානි වූ ගොවින් පිළිබඳ ලේඛණ සැකසුවේද ගොවි සංවිධාන විසින් බවත් ඇය පෙන්වා දුන්නාය. ඩී1 බෙදුම් ඇල ගොවි සංගමයේ ගොවීහු 300 පමණ සිටින අතර පැමිණිල්ල මගින් ගොවීන් දෙදෙනෙකුට අදාල ද්‍රව්‍ය වෙනත් අය විසින් අත්සන් කර රැගෙන ඇති බවටත්, වගාපාළු වූ ගොවීන් වෙනුවට වෙනත් අය වෙත සහනාධාර ලබා දි ඇති බවටත් දන්වා ඇති බව ප්‍රකාශකර සිටියාය.වැලිකන්ද ගොවිජන සේවා කාර්යාලය විවෘත කරන ලද්දේ මීට මාසයකට පමණ පෙර බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය.
විකල්ප මේ පිළිබඳව වැලිකන්ද පොලිසියෙන් විමසූ විට ඔවුන් පැවසූවේ තමන්ටද මේ පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවය.

Next Page »