හැම දා ‛‛බංගේ’’ පරක්කුයි – හැමදාම එහෙම නෑ.., දුම්රිය බලධාරීන්
May 5, 2010 by Karapoththa
Filed under Economic issues, Human Security, Life quips, Puttalam, සිංහල
‛‛බංගේ’’ යනු පුත්තලමේ සිට ගල්කිස්ස දක්වා දෛනිකව ධාවනය වන කාර්යාලීය දුම්රියයි. මෙම දුම්රියෙන් කෙළඹ රාජකාරි සඳහා ගමන්කරන මගීන් සංඛ්‍යාව අති විශාලය. රජයේ සහ පෞදිගලික රැකියා සඳහා පමණක් නොව අධ්‍යාපන කටයුතු සඳහා ද දිනපතා ගමන් කරණ මගීන්ගෙන් මෙම දුම්රිය සෑම උදෑසනකම පිරී ඉතිරී යයි.
මෙම දුම්රිය පෙ. ව. 8. 18 ට කොළඹ කොටුවට ලඟා විය යුතු අතර කොල්ලුපිටියට 8. 28ට ගඟා විය යුතුය. මීට මාස දෙක තුනකට පෙර මෙම කාල වේලාවන්ට හෝ ඊට ආසන්න වේලාවන්ට දුම්රිය ධාවනය කිරීම සඳහා දුම්රිය රියැදුරන් කටයුතු කරණු ලැබුහ. නමුත්, අප දන්නා පරිදි මීට පෙර සිටි රියැදුරන් වෙනත් මාර්ග වෙත මාරුවීම් ලබා ඇත (එම රියැදුරන්ගේ නම් පවා අප දන්නා මුත් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා එම නම් සඳහන් නොකරමි). මෙම රියැදුරන් දුම්රිය ධාවනය කරණ විට ‛‛බංගේ’’ මගීන් වේලාවටම නැතැත් බැනුම් නොඅසා කාර්යාලය වෙත පැමිණියහ. සිසු සිසුවියන් වේලාවටම හෝ තම තමන්ගේ අධ්‍යාපනික ආයතන වෙත ලඟා වූහ. නමුත් දැන් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ව ගොස්ය. ඒ වත්මන් රියැදුරු මහතුන්ගේ ආනුබාවයෙනි.
දැන් ‛‛බංගේ’’ සෑම දිනකම පරක්කුය. මාසයකට දවස් දෙක තුනක් පරක්කුවීමට ඉඩ ඇති බව අප ප්‍රායෝගිකව දන්නා කරුණකි. ඒ ඉඳ හිට හරකුන් හෝ මිනිසුන් කෝච්චියට අඩ තබන නිසාවෙන් හෝ මාර්ග අලුත් වැඩියාවකදී ය. සමහරක් දිනවල දුම්රිය කැඩෙනු ලැබේ. නමුත් සෑම දිනකම මෙම අහඹු සිදුවීම් සිදුවන්නේ නැත. නිශ්චිත වේලාවන් මෙම මාර්ගයේ දුම්රිය ගමන් සඳහා ලබා දී ඇත්තේ එම වේලාවන්ට ගමන් කළ හැකි නිසා බව අප අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවේ. එසේ නොහැකි නම් අදාල වේලාවන් සංශෝධනය කළ යුතු වෙයි. නමුත් එවැන්නක්ද සිදු වී නොමැත. එනම්, අදාල වේලාවන්ට දුම්රිය ධාවනය කිරීමට හැකි විය යුතුය. සමහර රියැදුරන්ට මෙම වේලාවන්ට දුම්රිය ධාවනය කිරීමට හැකි අතර සමහර රියැදුරන්ට එසේ සිදු කිරීමට නොහැකිය. එසේ සිදුවන්නේ කෙසේද? දවසින් දවස දුම්රිය බලවේග කට්ටල වෙනස් කරන්නේ ද? නැතහොත් මාර්ගය දික් වන්නේ ද? බර වැඩි වන්නේ ද? මෙම කිසිවක් සිදු වන්නේ ද නැත. එසේ නම් සෑම දිනකම ‛‛බංගේ’’ පරක්කුවීමේ රහස කුමක්ද? යන්න පිළිබඳව නවක ප්‍රවාහන ඇමතිවයා මෙන්ම දුම්රිය බලධාරීන් විසින් ද සොයා ගත යුතුය.
‛‛බංගෙන්’’ වැඩට එන බොහෝ දෙනෙකුගේ අවුරුද්දටම හිමි කෙටි නිවාඩු සංඛ්‍යව ඉතාමත් කෙටි කාලයකදී අවසන් වන බව මගින් බොහෝ සංඛ්‍යාවක් ප්‍රකාශකර ඇත. පෞද්ගලික ආයතනයන්හී වැඩ කරන බොහෝ දෙනෙකුටම තම රැකියාව අහිමි වීමේ දැඩි අවධානමක් පවතී. අධ්‍යාපනය හදාරන සිසු සිදුවියන්ට කිසි දිනක දවසේ මුල් පාඩම සඳහා සහභාගී වීමට හැකි නොවීම ඔවුන්ගේ වරදක් නිසා සිදු වන්නක් නොවේ. මේ දිනවල නම් මෙම දුම්රිය විනාඩි 30ක් පමණ පරක්කු වී ගානක්වත් නැතිව ඔහේ ගමන් කරයි. මගීන්ද මේ සියල්ල සතුටින් භුක්ති විඳිමින් නිසොල්මන්ව සිටිනු දක්නට ලැබේ. වෙනත් මාර්ගයක (නුවර මාර්ගය වැනි) මෙවැනි අකටයුත්තක් සිදු වූයේ නම්, දුම්රිය මගී නැගිටීමක් නොවරදවාම රටවැසියාට මාධ්‍ය තුළින් දැක ගැනීමේ භාග්‍ය උදා වන්නේ ය. නමුත් පුත්තලම් මාර්ගයේ ගමන් කරන මගීන්ගේ දැඩි උදාසීන හා ඔතෑනි ගතිය නිසා මෙවැනි මගි නැගීටීමක් පෙනෙන තෙක් මානයක හෝ නොමැති බව අකමැත්තෙන් වුව සඳහන් කළ යුතු ය.
නමුත්, මෙම සියල්ල ඔහේ සිදුවෙච්චාවේ යනුවෙන් බලා සිට අත පිහදා ගැනීම අපට තවදුරටත් සිදුකළ හැකි නොවේ. මේ සඳහා වගකිව යුතු දේශපාලන බලවේග වහා ක්‍රියාත්මක වී ඉස්තිරසාර විසඳුම් යෙදිය යුතුය. ඒ සඳහා අප බලපෑම් සිදු කළ යුතුය. මගීන් වන අප සංවිධානය වී ශක්තිමත් මගී එකමුතුවක් නිර්මාණය කල යුත ය. මෙම ගැටළුවට ඉක්මන් විසඳාුමක් ලබා නොදුන හොත් දැඩි ක්‍රියාමාර්ගයකට
අවතීර්න වීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බව පෙන්නුම් කරනු ලැබේ. මේ සඳහා එකතුවන මෙන් මගීන්ගෙන්ද ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි.
මේ සම්බන්ධයෙන් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ජී.ආර්.පී. චන්ද්‍රතිලක මහතාගෙන් ‛‛විකල්ප’’ සිදු කළ විමසීමකදී ඔහු ප්‍රකාශකර සිටියේ ‛‛මෙවැනි ප්‍රශ්නයක් ඇති මුත් ඒ සඳහා බලපා ඇත්තේ දුම්රිය තාක්ක්‍ෂනික ශිල්පීන්ගේ අකුරට වැඩ කිරීමේ සිදුවීම හා පුත්තලමේ සිට හලාවත දක්වා දුම්රිය මාර්ගයේ පවතින දැඩි අබලන් තත්වය බවයි. මෙම දුම්රිය පමනක් නොව අනෙකුත් දුම්රියන්ද පසුගිය දිනවල පරක්කු වී ධාවනය වූ බව ඒ මහතා ප්‍රකාශ කරන ලදී.’’ නමුත් වැඩිදුර විස්තර දුම්රිය ගමනාගමන අධිකාරී නාලක බණ්ඩාර මහතාගෙන් විමසන ලෙෂ ඔහු ප්‍රකාශ කලේය. ‛‛විකල්ප’’ මේ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමක් කරන ලදී.
‛‛අප්‍රේ්ල් මුල සිට අවසානය දක්වා දුම්රිය තාක්ක්‍ෂණික ශිල්පීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන ගියා. මේ නිසා සෑම දුම්රියක්ම පාහේ පරක්කු වී ධාවනය කෙරුනා. අපිට හැකි සෑම පියවරක්ම ගෙන දුම්රිය වේලාවට ධාවනය කිරීමට කටයුතු කරනවා. අදත් (මැයි 5) හුණුපිටිය හරියෙදී මහළු පුද්ගලයෙක් මේ ට්‍රේන් එකට හැප්පුනා. අවට හිටපු අය මේ පුද්ගලයාව බාර ගත් නිසා විනාඩි කිහිපයකින් දුම්රිය ධාවනය කිරිමට හැකි වුණා. නමුත්, දුම්රියේ අවසාන පෙට්ටිවල සිටින මගීන් මේ ගැන දන්නේ නෑ. දුම්රිය පරක්කුවෙනවා කියල විතරක් ඒ අය කියනවා ඒක හරි අසාධාරණයි. මාස ගනනක් තිස්සේ නම් කොහෙත්ම මේ දුම්රිය පරක්කු වෙන්නේ නැහැ’’
සිංහල පුවත්පත් තුළින් මතුවූ බෑන් කී මූන්ගේ කඳවුරු මතවාදය
July 8, 2009 by Karapoththa
Filed under Democracy, Features, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Puttalam, සිංහල

යුද නිමාවට මත්තෙන් කී රජයේ ගණන් හිලව්වලට වඩා වැඩි දෙමළ සිවිල් ජන සංඛ්‍යාවක් මේ වන විට වව්නියාව අවතැන් කඳවුරු තුළට පැමිණ තිබේ. රජයට අභියෝග කරමින් ඒ ගණන ලක්‍ෂ තුනකට(300000) ආසන්න වී ඇත. මේ වන විට කඳවුරුගත අහිංසක සිවිල් ජනතාවට අවශ්‍ය, අත්‍යවශ්‍ය සහනසේවා සැළසීම ප්‍රායෝගික ගැටළුවක් බවට පති වී ඇති බව දේශීය හා විදේශීය මාධ්‍ය නිරීක්‍ෂණයේ දී ප්‍රත්‍යක්‍ෂ වේ.
කෙසේ වෙතත් රජය පවසන පරිදි මේ සියළු කඳවුරු තුළ කිසිදු ගැටළුවක් නොමැත. නමුත් රජය තෝරාගත් පාර්ෂවයනට හැරෙන්නට වෙනත් කිසිදු පාර්ෂවයකට මේ කඳවුරු නිරීක්‍ෂණය කිරීමට අවස්ථාවක් ලබා නොදෙන තත්වයක් ද පවතින බව පැවසේ . මේ සම්බන්ධයෙන් මානව හිමිකම් පෙත්සම් ද මේ වනවිට අධිකරණයේ විභාග වෙමින් පවතී. තත්වය මෙසේ තිබියදි කඳවුරු තුළ ඇති සත්‍ය තත්වය සියැසින් දැක බලා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට විවෘත්ත ආරාධනයක් පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස හෝ වෙනත් හේතුවක් මත එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා වව්නියා අවතැන් කඳවුරු තුළ සංචාරය කරණු අපට දැකගත හැකි වුණි.
බෑන් කී මූන් මහතා මේ වව්නියා සහනගම්මාන නිරීක්‍ෂණයෙන් අනතුරුව කළ කී දෑ සිංහල පුවත්පත් විසින් වාර්තා කරණු ලැබුවේ කෙසේ ද? යන්න පිළිබඳව සොයාබැලීම මේ නිරීක්‍ෂණ වාර්තාවේ මූලික අභිලාසයයි. ඒ සඳහා 2009 මැයි මස 25 වැනි දින සිට මැයි 31 දක්වා වු කාල පරාසය තුළ පල වූ සිංහල පුවත්පත් 31ක් උපයෝගී කරගෙන ඇත. ඒ අනුව ප්‍රධාන ධාරාවේ දෛනික පුවත්පත් 04ක් සහ සති අන්ත පුවත්පත් 07ක් භාවිතයට ගෙන ඇත.
මැයි 25 වැනි දින ‛‛ලංකාදීප’’ පුවත්පත මේ හා සම්බන්ධ පුවතක් වාර්තාකර ඇත. එහි සිරස්තලය ‛‛අවතැන් වැසියන් යළි පදිංචිකරවීමේ රජයේ වෑයමට පූර්ණ සහය ලබාදෙනවා : එ.ජා. මහලේකම්වරයා වවුනියාවේ මැණික්ෆාම් අවතැන් කඳවුරුවලදී කියයි (පි. 6)’’ ලෙස දැක්වේ. ඒ වගේම කලාප අංක 4 සහන ගම්මානයේ එල්ටීටීඊ ප්‍රහාරවලින් තුවාල ලබා සිටින සිවිල් වැසියන්ගේ සුවදුක් බැලීමට ද ගොස් ඇති බව වාර්තාකර ඇත. මේ වාර්ථාව කියවන විට පෙනීයන ප්‍රධානතම කාරණය වන්නේ අවතැන් ජනයා වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සිදුකරන කාර්යභාරය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුටුවන බව සහ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියට තමන් උපරිම සහය දක්වනවා යන හැඟවීම ය.
මැයි 26 වැනි දින ‛‛ලංකාදීප’’ පුවත්පතේ කතුවැකිය තුළින් ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සුබදායි ස්ථාවරය පිළිබඳව යළි සාකච්ඡාකර ඇත. මේ කතුවැකියේ දැක්වෙන්නේ ‛‛අවතැන්වූවන් ගැන ඇතැම් රටවලින් දෙබිඩි පිළිවෙතක් ඇයි?’’ යනුවෙනි. ලංකාවේ මානුෂීය කාර්යභාරයට මූන් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහයෝගය ලබාදෙන බව පවසා තිබීම සහ වෙනත් රටවල යුධමය ගැටුම් නිසා අවතැන් වි සිටින ජනතාව පිළිබඳව කතා නොකරමින් ලංකාවේ ජනයා ගැන පමණක් කතාකරන සමහර රටවල් හා සංවිධාන පිළිබඳව උබතෝකෝටියක් ඇති බව මේ කතු වැකිය තුළින් මතුකර පෙන්වා දී ඇත.
මැයි 25 වැනි දින ‛‛ලක්බිම’’ පුවත්පත මේ සම්බන්ධ පුවතක් වාර්තාකරමින් ‛‛ලංකාදීප’’ පුවත්පත වාර්තා නොකළ ඇතැම් කරුණු පෙන්වා දීමට ගෙන ඇති උත්සාහය පැසසුම් සහගතය. එහි සිරස්තලය දැක්වෙන්නේ ‛‛ඉතිහාසයේ සිදු වූ බිහිසුණු සිදුවීම් නැවත නොවීමට සියලු දෙනා එක් වී සුළු ජාතීන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදිය යුතුයි : බෑන් කී මූන් (පි. 1)’’ මේ පුවත මුල්පිටුවේ පල කරමින් හා වැඩි ඉඩක් වෙන්කිරීම තුළින් ප්‍රවෘත්තියට වැඩි වැදගත්කමක් ලබා දී ඇති බව පෙනේ. මහනුවර ක්වීන්ස් හෝටලයේදි 23 දා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බෑන් කී මූන් මහතා පල කළ අදහස් මේ පුවත සඳහා පාදක වී ඇත. මෙයින් වාර්තාකර ඇති කරුණු ඉතාමත් කෙටියෙන් දක්වතොත්,
ස්ථිරසාර සාමයක් හා ජාතික ඒකාබද්ධතාවය ඇති කරිම සඳහා රජය විසින් කඩිනම් දේශපාලන ක්‍රියාදාමයක් ක්‍රියාවට නැංවිය යුතු බව,
කිසිදු බාධාවකින් තොරව සහන සැලසීම සඳහා අවතැන් කඳවුරුවලට යාමට එක්සත් ජාතීන් ඇතුලු සහන සිංවිධානවලට අවස්ථාව ලබාදිය යුතු බව,
මේ ජනතාව සම්බන්ධයෙන් කළයුතු දේ හා රජයට කළ හැකි දේ අතර විශාල පරතරයක් ඇති බව,
වැසියන් වෙනුවෙන් රජය හැකි උපරිමයෙන් ලබාදෙන පහසුකම් වෙනුවෙන් තමා සතුටුවන බව පවසා ඇති බව,මීට අමතරව මෙදිනම ‛‛ලක්බිම’’ කතුවැකිය තුළින් ද මේ සම්බන්ධ ප්‍රවෘත්තිය සාකච්ඡා කිරීමට උත්සහ කර ඇත. ‛‛පිහිට වන්නට එන පිටස්තර සංවිධාන’’ යන හිසෙන් බෑන් කී මූන් මහතා කළ ප්‍රකාශයන් පිළිබඳව ද විමර්ශනය කර ඇත. එය පහත පරිදි කෙටිකර දැක්විය හැකිය.
අවතැන්වුවන්ට සහන සැලසීමේදි රජය උපරිම වශයෙන් කැපවෙන බව පෙනෙන්නට තිබෙනවා.
මේ කඳවුරු තුළ අඩුපාඩු රැසක් තිබෙන බව තේරුම්ගන්නට අපහසු නැති බව,
මේ අඩුපාඩු සියල්ල සපුරා ගැනීමට ශ්‍රී ලංකා රජයට අවශ්‍යතරම් සම්පත් නැති බව,
කළයුතු දේ හා කළහැකි දේ අතර විශාල පරතරයක් ඇති බව,
මේ පරතරය පියවා ගැනීමට දේශපාලන පක්‍ෂ වල හා ජාත්‍යන්තර සංවිධාන වල සහය අවශ්‍ය බව,
මේ නිසා කිසිදු බාධාවකින් තොරව මේ අයට එහි යාමට අවසර දිය යුතු බව,
නමුත්
‛‛පිටස්තර සංවිධාන වලට භාධාවකින් තොරව එහි ගමන්කරීමට අවස්ථාව ලබාදිය යුතුය’’ යන කියමන සම්බන්ධව මේ කතු වැකිය වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙනේ. බෙදුම්වාදයට යටින් උඩගෙඩි දෙන සංවිධාන හා රාජ්‍යයන්ට, එල්ටීටීඊයට සහය ලබාදුන් ඊනියා සහන සංවිධාන පිළිබඳ විමසා බලන විට මේ අයට කිසිදු බාධාවකින් තොරව මේ කඳවුරුතුළ ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදීමට කර ඇති යෝජනාව පිළිබඳව කිහිප වතාවක්ම සිතා බැලිය යුතු බව මේ කතු වැකිය තුළින් පෙන්වා දෙනු ලැබේ.
සත්‍ය තොරතුරු ඇත්ත ඇති සැටියෙන් වාර්තාකිරීමේ හා පක්‍ෂපාත නොවීමේ මාධ්‍ය භාවිතාව ‛‛ලක්බිම’’ පුවත්පත විසින් ප්‍රායෝගිකත්වයට පත් කළ එක් අවස්ථාවක් ලෙස මේ සම්බන්ධ පුවත වාර්තාකරණය පෙන්වාදිය හැකිය.
‛‛දිවයින’’ පුවත්පත ද මේ සම්බන්ධ පුවතක් වාර්තාකර ඇත. එය ‛‛බෑන් කී මුන් ගුවනින් ගොස් අවසන් සටන පැවැති භූමිය බලයි : අවතැන්වූවන් යළි පදිංචි කරවන්න ජගත් මහලේකම්ගේ පුර්ණ සහය (පි. 1)’’ යන සිරස්තලය යටතේ පල වේ. මේ පුවත සඳහා පුවත් මුලාශ්‍රය වී ඇත්තේ මහලේකම්ගේ ඒකාබද්ධ නිවේදනයයි. මේ පුවතින් බොහෝදුරට අවධාරණය කරන්නේ බෑන් කී මූන් මහතා රජයේ වැඩපිළිවලට සහයෝගය ලබාදෙන බව සහ මේ වැඩපිළිවලට කැමැත්ත පළකළ යහපත් ප්‍රතිචාරය පිළිබඳවය. මෙයින් මතුකර ඇති එක් කරුණක් මෙලෙස දැක්විය හැකිය. ‛‛ආරක්‍ෂක අංශ අවසන් සටනේදි බර අවි භාවිතාකර නොමැති බව සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදි මහලේකම්වරයා පවසා ඇති බව’’ මේ වාර්තාවේ දැක්වේ. මේ කාරණය නිරීක්‍ෂිත කිසිදු සිංහල පුවත්පතක වාර්තා නොවුණ එකකි. ඒ වගේම ළමා සොල්දාදුවන් පුනරුත්තාපනය කිරීමට රජය ගන්නා උත්සහයට එ. ජා. සංවිධානය සහයෝගය ලබාදෙන බව ද මේ නිවේදනයේ දැක්වෙන බව වාර්තාකර ඇත. ‛‛ලක්බිම’’ පුවත්පත පෙන්වා දුන් කරුණු කාරණා මේ පුවත්පතේ ද වාර්තා නොවු බව පැහැදිලිවම සඳහන් කළ හැකිය.
මැයි 25 වැනි දින මේ සම්බන්ධ පුවත් දෙකක් ‛‛දිනමිණ’’ පුවත්පත විසින් පළකර ඇත. ඉන් එකක් ‛‛අවතැන් වු ජනතාවට රජය හොඳින් සළකනවා : එක්සත් ජාතින්ගේ මහලේකම් බැන් කි මූන් (පි. 1)’’ යනුවෙන් පළ වේ. ප්‍රධාන පුවතට ඉහළ කොටසේ මෙම වාර්තාව පළකර ඇත. ‛‛දිවයින’’ මෙන්ම රජයේ වැඩපිළිවල පිළිබඳව එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් ප්‍රශංසාත්මක මුඛයෙන් පවසා ඇති දේ පිළිබඳව පමණක් මේ ලිපියේ ද අන්තර්ගත වේ. ලංකාවේ සියලුම ජනකොටස්වලට කිසිදු බේදයකින් තොරව ජීවත්විමට අවස්ථාව උදාවී ඇති බව මූන් මහතා ප්‍රකාශ කර ඇති බව ද මේ වාර්තාවේ දැක්වේ.
දෙවන වාර්තාව ‛‛කොටි කටෙන් මුදා ගත් ජනතාවට සහන සලසනවා : එ. ජා. මහලේකම් මහනුවරදී කියයි (පි. 4)’’ යන ශීර්ෂ පාඨයෙන් පළ වේ. අවතැන් වැසියන් සඳහා රජය ගතහැකි සෑම පියවරක්ම ගෙන ඇති බව හා ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා රජයට ඇති සම්පත් මදිකම පිළිබඳව මතක්කරමින් ඒ නිසා ලංකාවට සහය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අවධාරණය කර ඇති බව මෙයින් වාරතා කර ඇත.
මේ වාර්ථාවට අදාල නිරීක්‍ෂිත කාලයේ සති අන්ත සිංහල පුවත්පත් 7ක් පිළිබඳව ද නිරීක්‍ෂණ අවධානය යොමුකර ඇත. එහිදි මේ සම්බන්ධ පුවත් වාර්තාකර ඇත්තේ එක් පුවත්පතක් පමණි. ඒ රාවය පුවත්පත තුළ පළ වු විග්‍රාහත්මක ලිපියකි. මැයි 31 වැනි ඉරුදින රාවය පුවත්පත ‛‛අවතැන්වුවන් පිළිබඳ ප්‍රශ්න (පි. 9)’’ යන හිසින් ‛‛වික්ටර් අයිවන්’’ මහතා විසින් ලිපියක් පළකර ඇත.
මේ ලිපියේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සී.එන්.එන්. ප්‍රවාත්ති සේවයට කර ඇති ප්‍රකාශයක් උපුටා දක්වා ඇත. ‛‛තමා ලෝකයේ විවිධ රටවල සරණාගත කඳවුරු දැක ඇතත් ශ්‍රී ලංකාවේ තරම් නරක සරණාගත කඳවුරු මීට පෙර කොහේදීවත් දැක නැති බව පවසා ඇති බව’’ මේ වාර්තාවේ දැක්වේ. මෙය ඉතා නරක තත්වයක් ලෙස පෙන්වා දී ඇත. මූන් මහතා ශ්‍රී ලංකා ආණ්ඩුව සමග සිදුකළ ඒකාබද්ධ නිවේදනය තුළ මෙවැනි අදහස් මතු කර නැති බව ලියුම්කරු පවසයි. ස්වීඩනයේ විපක්‍ෂ නායකවරයා ද මේ කඳවුරු නිරීක්‍ෂණය කළ බවත් ඔහුගේ ප්‍රකාශ මේ තරම් ගොරහැඬි නැති බවත් මෙහි දි දක්වා ඇත. කෙසේවෙතත් මේ ලියුම්කරු දක්වන්නේ මේ කඳවුරුවල තත්වය දිනෙන් දින හොඳ අතට පත්වෙමින් තිබෙන බවයි. මේ කඳවුරුවල සාපේක්‍ෂ වශයෙන් නරක තත්වයක් ඇත්තේ අවසන් මෙහෙයුම පැවති ප්‍රදේශවල සිට ගෙනවිත් පදිංචිකළ කඳවුරු තුළ බව මේ වාර්තාවෙන් පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ අවතැන් කඳවුරු තුළ කළ සංචාරය සහ ඒ ආශ්‍රයෙන් පවසා තිබු ප්‍රකාශයන් පිළිබඳව සිංහල පුවත්පත් වාර්ථාකරණය තම තමන්ගේ රුචි අරුචිකම් මත පදනම්ව තිබු බව ඉහත තොරතුරු මත පිහිටා පැහැදිලි සාක්‍ෂිවලින් යුතුව පෙන්වා දිය හැකිය. තම තමන්ගේ න්‍යායපත්‍රවල පිහිටා කටයුතු කර ඇති බවක් පැහැදිලිවම පෙනේ. විශේෂයෙන්ම ඔහු මේ පිළිබඳව පවසා ඇති තොරතුරු පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට පාඨකයාට විවිධ පුවත්පත් කීපයක් පරිශීලනය කිරීමට සිදුවන බව පෙනේ. එනම් ‛‛දිනමිණ’’ හෝ ‛‛දිවයින’’ පුවත්පත් කියවීමෙන් පමණක් මේ පිළිබඳ නිවැරදි චිත්‍රයක් මවාගත නොහැකි තත්වයක් පවතී. එමෙන්ම ‛‛ලංකාදීප’’ පුවත්පත ද ඇතැම් තොරතුර වසංකරමින් තම වාර්ථාකාරණයේ යෙදී තිබු බවක් පෙනුණි. සති අන්ත බොහෝ පුවත්පත් මේ ප්‍රවෘත්තිය වාර්ථාකිරීමෙන් මිදි සිටි අතර ‛‛රාවය’’ පුවත්පත ද තමතමන්ගේ ස්ථාවරයේ පිහිටා සිට වාර්ථාකර ඇති බව පෙනේ. කෙසේවෙතත් ‛‛රාවය’’ පෙන්වා දුන් කරුණු වෙනත් පුවත්පක් තුළ ආසන්න වශයෙන් හෝ වාර්ථා කිරීමට උත්සාහ ගෙන නොමැත.
මේ පුවත සම්බන්ධයෙන් වැඩි අවධානයකින් හා සත්‍ය ආකාරයෙන්ම වාර්තාකිරීමට උත්සහාගත් එකම පුවත්පත වන්නේ ‛‛ලක්බිම’’ පුවත්පත පමණි. මේ කඳවුරු තුළ අඩු පාඩු පවතින බව, අඩුපාඩු සියල්ල සපුරා ගැනීමට ශ්‍රී ලංකා රජයට අවශ්‍යතරම් සම්පත් නොමැති බව සහ රජය කළ යුතු දේ හා කළ හැකි දේ අතර විශාල පරතරයක් ඇති බව මෙන්ම ස්ථිරසාර සාමයක් හා ජාතික ඒකාබද්ධතාවය ඇති කරිම සඳහා රජය විසින් කඩිනම් දේශපාලන ක්‍රියාදාමයක් ක්‍රියාවට නැංවිය යුතු බව බෑන් කී මූන් මහතා පවසා ඇති බව මේ පුවත්පත නොබියව වාර්ථාකර ඇති බව පෙනේ.
එච්. ජේ. සම්පත්
පුත්තලම කලපු තීරය විනාශයි…….
July 7, 2009 by Karapoththa
Filed under Health, Life quips, Puttalam, සිංහල
පුත්තලම නගරයේ මාළු සහ මස් වෙළඳ සැල් පවත්වාගෙන යනු ලබන්නේ පුත්තලම් කළපුව වෙරළ තීරයට යාබදවය. මේ වෙළඳ සැල් සියල්ලන්ගේම ඉවත ලන අපද්‍රව්‍ය පසුපස ඇති කළපූ වෙරළ තීරයට මුදාහරින බව අප හට පෙනී ගිය කරුණකි. මේ සඳහා පැහැදිළි සාක්‍ෂි ඉදිරිපත් කෙරෙන වර්ණ ඡායාරූප දෙකක් ඉහත දැක්වේ. මරන ලද කුකුලන්, හරකුන් වැනි සතුන්ගේ සහ මත්සයින්ගේ ඉවතලන බොහෝ අපද්‍රව්‍ය මෙහිදි අපට දැක ගත හැකි විය. ඈත දියඹේ සිට ඇදි එන සිසිල් සුළඟ මේ ස්ථානය පසුකරන්නේ ඉවසිය නොහැකි දුර්ගන්ධය ද සමගිනි.
මෙම කළපුව ධීවර කර්මාන්තයට ඉමහත් දායකත්වයක් ලබාදෙන අතර මෙයින් රැකෙන පවුල් සංඛ්‍යාව ද විශාල වේ. ස්භාව සෞන්දර්යයෙන්ද අනූන මේ කළපුව රැක ගැනීම ජාතික යුතුලමක් සේ සැලකිය යුතුය. දැනට මිහිපිට අපායක සිරි ගන්නා මේ කළපු තීරය ආරක්‍ෂා කිරීමට හා මෙලෙස අපද්‍රව්‍ය මුදා හරිණු ලබන පිරිස් නීතිය ඉදිරියට ගෙන ඒම අගකිව යුතු ජනතා නියෝජිතයින්ගේ අතපසු නොකළ යුතු කාර්යභාරයක් පව පෙන්වා දිය යුතුය.
එච්. ජේ. සම්පත්
හැඳුනුම්පතට යට වූ උරුමය
December 16, 2008 by Vikalpa_R
Filed under Democracy, Human Rights, Puttalam, Stories from the silent, සිංහල
ඔහු නමින් ඒ.ක්‍රිෂ්ණසාමිය. පුත්තලම, වනාතවිල්ලුව, නවය කණුව, කරඩිපුව ඔහුගේ ගමයි. පනස් හැවිරිදි ක්‍රිෂ්ණසාමි අක්කර පන්සීයක් විශාල පුත්තලම කාසමඩු රජයේ ගොවිපලේ කම්කරුවෙක්.
ගොව්පලේ ගැල්කරුවෙකු ලෙස සේවය කරන ඔහුට එම ගැලෙහි බඳින ගොනකු ඇනිමෙන් සුසුම්නාවට බරපතල ලෙස හානි සිදු වී පළමුව වනාතවිල්ලුව දිසා රෝහලට ඇතුළත් කර ඉන්පසුව පුත්තලම හා හලාවත රෝහල් වලට මාරුකර යවා එදිනම කොළඹ ජාතික රෝහලට අතුළත් කර ඇත. දැන් ඔහු එහි හදිසි අනතුරු අංශයේ 54 වැනි වාට්ටුවේ මාගේ ඇඳට සමීප ඇඳෙහි අසරණව වැතිරී සිටී. මේවන විට ඔහු රෝහල් ගතවී මාස දෙකකුත් දින දහයක් ඉක්මවා ඇත. නමුත් ඔහුගේ පවුලේ කිසිවෙකුත් මේ වන තුරුම ඔහු බැලීමට පැමිණ නැත. ඔබ බලන්නට පවුලේ කිසිවෙකු නොපැමිණියේ මන්දැයි? මම ක්‍රිෂ්ණසාමි ගෙන් ඇසිමි. එයාලට ‛‛අයඩින්ටි‛‛නැහැ ඒ නිසා එයාල කොළඹ එන්න බයයි. ඔහු කියයි.
අද පවතින යුදමය වාතාවරණය යටතේ දෙමළ ජාතිකයෙකුට සංචාරය ඉතාම අනතුරුදායකය. හැදුනුම්පතක් නැති, කොළඹ නගරයට කිසිදා නොපැමිණි නූගත් දෙමළ ස්ත්‍රියකට කොළඹ පැමිණිම කොතරම් භිය දනවන ක්‍රියාවක්දැයි අමුතුවෙන් කිව යුතු නැත.
ක්‍රිෂ්ණසාමිට දූවරුන් හත් දෙනෙකි. ඔහුවූ සියළුම දෙනා විවහ වී සිටින අතර දෛනික කුලී වැඩ වල යෙදෙති. ඔවුන් ගේ ගමේ සිට පුත්තලම නගරය දක්වා පැමිණෙන මඟෙහිද ආරක්ෂක හමුදා මාර්ග බාධක හතරක් ඇති බව ක්‍රිෂ්ණසාමි කියය.ි එබැවින් ඔවුන් අත්‍යාවශ්‍ය වූ විටෙක පමණක් පුත්තලමට හෝ වනාතවිල්ලුව නගර වලට පැමිණේ. ඒ ද ඉහත මාර්ගයේ නොව වෙනත් දීර්ඝ අතුරු මාර්ග ඔස්සේය. ක්‍රිෂ්ණසාමිගේ බාල දුව කේ ශාන්තිය, බිරිද කාලිඅම්මාය. ඇය ලුණු ඇසුරුම් කරන ව්‍යාපාරික ආයතනයක දවස් පඩියට වැඩ කරන බව ක්‍රිෂ්ණසාමි කියයි.
ක්‍රිෂ්ණසාමි අත වූ කුඩා කොලකැබැල්ලක ජංගම දුරකථන අංක දෙකක් තිබිණි. ඒ ඔහු වැඩ කල වත්තේ මහත්වරුන් දෙපළකගේය. මම ඔවුන්ට දුරකථන ඇමතුම් ලබාදී ක්‍රිෂ්ණසාමිගේ පවුලේ කෙනෙකු ඔහු බැලීමට රැගෙන එන්නැයි ඉල්ලා සිටියෙමි. ඔහු ඉතා ඇල්මැරුනු හා මන්දෝත්සාහි හඬකින් ‛‛හා‛‛ යැයි කීය. එහෙත් ඔහු කිසිදිනෙක ඒ සඳහා ඉදිරපත් නොවන බව ඒ හඬතුළ ගැබ් වී තිබූ බව නම් ඒකාන්තය. හැඳුනුම්පතක් නැති සිංහල කතා කිරීමට නොහැකි දෙමළ කාන්තාවක් කොළඹට රැගෙන ඒමේ අනතුර භාර ගැනීමට ඔහු ඉදිරිපත් නොවනු ඇත. අද පවතින යුදමය වාතාවරණය යටතේ ක්‍රිෂණසාමිගේ ඥාතීන්ට ඔවුන්ගේ ගම්මානය එළිමහන් සිරකඳවුරක් බවට පත්ව ඇති සේය.
කිසියම් මෙහොතක පවුලේ කෙනෙකු තමා බැලීමට පැමිණෙතැයි අපේක්ෂාවෙන් දැල්වුනු ක්‍රිෂණසාමිගේ දෑස් වාටිටුවේ දොරටුව වෙත යොමු වී තිබේ. ඒ තම බිරිඳගේ හෝ දරුවෙකුගේ අතින් වතුර උගුරක් හෝ බීමේ නොනිත් අපේක්ෂවෙනි. නමුත් මෙම වාට්ටුවේ හෙදියන් හා සාත්තු සේවකයින් ඔහු කෙරෙහි බොහෝ දයාවෙන් සාත්තු කරයි.
එහෙත් පවුලේ කෙනෙකු දැකීමේ අපේක්ෂාවෙන් දැල්වී ඇති ක්‍රිෂ්ණසාමිගේ දෑස් හෙට සදහටම පිය වී යනු ඇත. නමුත් ඔහුට අවසන් බුහුමන් දැක්වීමට හෝ පවුලේ අයට අවස්ථාව ලැබෙනු ඇතිදැයි සැකසහිතය. ඒ ක්‍රිෂ්ණසාමිද ඔහුගේ දූ දරුවන්ද දෙමළ හා දුප්පතුන් ලෙස මේ මහ පොළව මත උපත ලබා තිබීම නිසාය
සුනිල් කහගල්ල
කොළඹ ජාතික රෝහලේ 54 වැනි වාට්ටුවේ සිට
15 12 2008
පුත්තලම සරණාගතයින්ගේ දහඅට වසරක කඳුළු
November 11, 2008 by Vikalpa_R
Filed under Human Rights, IDPs and refugees, Peace and reconciliation, Puttalam, සිංහල
සංජය නල්ලපෙරුම – ඉන්ටර්නිව්ස්

අපි අපේ ගම් පළාත්වල හොදින් ජීවත් වුණ අය. ඒත් දැන් අපිට අපේ ගෙවල් දොරවල් අහිමිවෙලා. අපිට අනුන්ගෙන් ඉල්ලගෙන කාල ඇදලා ඉන්න වෙලා. හැම තිස්සේම අනුන්ට අතපාන්න වෙලා තියෙනවා. අපි කලින් කාටවත් අතපාලා ජීවත් වූ අය නොවෙයි. අපිට කියලා කිසිම දෙයක් දැන් අපිට නැහැ.” අවුරුදු දහඅටක් තිස්සේ තමන්ගේ හිතේ සඟවාගෙන සිටි කදුළු කතාවකට සාවුල් හමීඩ් අබ්දුල් මදීන් මහතා මුලපිරුවේය.
සාවුල් අමීන් අබ්දුල් මදීන් අපට හමුවූයේ පුත්තලමේදීය. අබ්දුල් මදීන් මීට වසර දහඅටකට පෙර ජීවත්වූයේ මන්නාරමේ තාරාපුරම් ප්‍රදේශයේයි. සිංහල, දෙමළ, මුස්ලිම් යන කිසිදු භේදයකින් තොරව ඔවුන් එදා ජීවත්වූහ.
එදා මුස්ලිම් ජනතාව දෙස දෙමළ ජනතාව සැකෙන් බැලුවේ නැත. දෙමළ ජනතාව දෙස සිංහල ජනතාව සැකෙන් බැලුවේ නැත. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එක බඩවැල කඩාගෙන පැමිණි සහෝදරයින් ලෙසින් සහෝදර බැම්මෙන් බැදී ජීවත්වූහ.
මේ සහෝදරත්වයට කණ කොකා හඬලන්නට පටන්ගත්තේ එක්දහස් නමසිය අසූව දශකයේදීයි. එම කාලසීමාවේදී උතුරු පළාතේ යුධ ගැටුම් වර්ධනය වන්නට විය. වර්ධනය වන්නට වූ යුධ ගැටුම් නිසාවෙන් දෙමළ ජනතාව මුස්ලිම් ජනයා දෙස සැකෙන් බලන්නට විය. සිංහල ජනයා දෙමළ ජනයා දෙස සැකෙන් බලන්නට වූහ.
උතුරු පළාත තුළ ප්‍රචණ්ඩකාරී කඩාකප්පල්කාරී ක්‍රියාවන්වල නිරතවූ එල්.ටී.ටී.ඊ. සංවිධානය උතුරේ දෙමළ නිජබිමක් පිළිබඳ සිහින දකින්නට වූහ. උතුරේ දෙමළ නිජබිමක් ඇති කරන්න නම් එම ප්‍රදේශයේ ජීවත් වන මුස්ලිම් ජාතිකයින් උතුරෙන් පළවාහැරිය යුතුයැයි කොටි සංවිධානය විශ්වාස කළහ. ඒ අනුව උතුරේ සිටි දෙමළ ජනතාවට එම ප්‍රදේශවලින් වහාම පිටත්ව යන්නැයි අණ කළහ.
වාහන වල ලච්ඩ්ස්පීකර් බැදගෙන ඇවිත් මුස්ලිම් අයට පළාතෙන් යන්න කියලා කිව්වා. අපිට අපේ කිසිම දෙයක් අරගෙන යන්න දුන්නේ නැහැ. සල්ලි වලින් අරන් යන්න දුන්නේ රුපියල් දාහක් විතරයි. අනෙක් සල්ලි සේරම ඔවුන්ට දෙන්න කියලා කිව්වා. රත්තරන් බඩු ටිකක් අරගෙන යන්න දුන්නා. අනෙක් බඩු සේරම ඔවුන්ට දුන්නා.
මේ වෙනකොට මගේ පවුලේ අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නෙකුයි, නංගිලා හතරදෙනෙක් හිටියා. මම තමයි පවුලේ වැඩිමලා. අපි ඒ ප්‍රදේශයෙන් පිටත් වන විට මම උසස් පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටියා. අබ්දුල් මදීන් මහතා පවසන්නේය.
මේ අණ කඩකරන පුද්ගලයින්ට එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිතුරු දුන්නේ තුවක්කුවෙනි. තමන් ජීවිත කාලයේම හරිහම්බකරගත් දෙයට වඩා තමන්ගේ ජීවිතය වටිනා නිසා කොටි සංවිධානයේ අණ අකමැත්තෙන් හෝ පිළිපැදීමට උතුරේ සිට මුස්ලිම් ජනතාවට සිදුවිය.
කොටින්ගේ මේ අණට කීකරුවූ අබ්දුල් මදීන්ලා මීට අවුරුදු දහඅටකට කලින් තමන් උපන් නිවසට සමුදුන්නේය. ජිවිත කාලය පුරා තමන් දුක් මහන්සියෙන් උපයාගත් දේ අහිමිවද්දී හැඬු කදුලින් යුතුව ඔවුන් තමන්ගේ අතට අසුවන දේවල් රැගෙන නිවෙස් වලින් පිටතට වන්නට වූහ.
“අපි ගෙදරින් පිටත්වන විට යන්නේ කොහේදැයි කියලා දැනගෙන හිටියේ නැහැ. අපේ ගෙවල් අසල සිටි හැමෝම එක් පැත්තකට ගමන් කළා. අපිත් ඔවුන්ට එකතු වුණා. කිලෝමීටර තුනක් විතර පයින් ඇවිත් තාලුවාඩු ප්‍රදේශයට පැමිණිය. ඒ ගම මුහුදු කිට්ටුව තිබුණ ගමක්.” හෙතෙම පවසන්නේය.
එතැනින් ඔවුන් මුහුදු මාර්ග ඔස්සේ සිලාවතුරට පැමිණියේය. සිලාවතුරට පැමිණි ඔවුන්ට යාමට තැනක් තිබුණේ නැත. සිලාවතුරේ සිට පුත්තලම දක්වා පැමිණි ගමන්මග අබ්දුල් මදීන් විස්තර කරන්නේ මෙසේය.
“සිලාවතුරට පැමිණි අපට යන්න තැනක් තිබුනේ නැහැ. ඒත් එතැනට පැමිණි සියලුදෙනාම කිව්වේ කල්පිටි යනවා කියලා. ඒ නිසා අපි කල්පිටි යන්න පිටත්වුණා. සිලාවතුරේ ඉදලා කල්පිටියට ආවේ ලොකු බෝට්ටුවකින්. ඒකට සල්ලි ගෙවන්න වුණා.”
එසේ කල්පිටියට පැමිණි ඔවුන්ට නවාතැන් ගැනීමට හෝ තැනක් තිබුණේ නැත. මේ නිසා උතුරේ සිට පැමිණි සියලු දෙනාම කල්පිටියේ පිහිටි පල්ලියකට පැමිණියහ.
“අපි දවස් තුනක් පල්ලියේ හිටියා. කල්පිටියේ මිනිස්සු අපිට උදව් කළා. කන්න බොන්න දුන්නා. දවස් තුනකට පස්සේ අපිට වියලි ආහාර ලැබුණා. සති තුනකට සෑහෙන්න වියලි සලාක ලැබුණා.
පස්සේ අපි කල්පිටියේ තාවකාලික ගෙවල් හදාගත්තා. පොල් අතු වලින් තමයි ඒ ගෙවල් හදාගත්තේ. පොල් අතු ගෙවල්වල අපි අවුරුදු අටක් හිටියා. පස්සේ අපි ගෙවල් හදාගත්තා.” ඔහු කියයි.
අබ්දුල් මදීන් මෙන්ම ඉබ්‍රාහිම් නාහුරුන්ද පුත්තලමේ වසර දහ අටක් තිස්සේ සරණාගතයෙක් ලෙසින් ජීවත්වන අයෙකි. වසර දහඅටක් තිස්සේ සරණාගත කඳවුරක ජීවන අත්දැකීම් ඔහු වචන බවට පත්කළේ මෙලෙසිනි.
“පුත්තලම කියන්නේ අපේ නිජබිම නොවෙයි. අපි මෙම ප්‍රදේශවලට පන්නපු නිසා අපේ නෑයෝ අපිට අහිමිවුණා. අපි අපේ මුල් ගම් වලට ගිහින් ජීවත්වෙන්න ආසයි.
අපිට හරිහමන් රස්සාවක් නැහැ. මේ සරණාගත කඳවුරු වල ඉන්න බොහෝ දෙනා කුලීවැඩ කරලයි ජීවත්වෙන්නේ.”
මොහොමඩ් රිස්වි අපට හමුවූයේ නොරොච්චෝලේ ප්‍රදේශයේ පිහිටි සරණාගත කඳවුරකදීය. තමන් අත්විදින සරණාගත ජීවිතය පිළිබඳ ඔහු කටහඬ අවදි කරන්නේ මෙසේයි.
“මම මුලින්ම මුලතිව් වල පදිංචිවෙලා සිටියා. මුලතිව් වල හොඳ ගෙවල් අපිට තිබුණා. ඒත් දැන් අපිට කියලා ගෙයක් දොරක් නැහැ. සරණාගත කඳවුරකට වෙලා ඉන්නවා.
අපි උතුරේ ඉන්නකොට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර හොද සම්බන්ධයක් තිබුණා. අපි කැමතියි අයිමත් උතුරට ගිහිල්ලා කලින් අපි හිටියා වගේ දෙමළ ජනතාව සමග සතුටින් ඉන්න.”
මොහොමඩ් රිෂ්වි අපි සමග කීවේ යුද්ධය අවසානයේ නැවත තමන් උතුරට ගොස් දෙමළ ජනතාව සමග සතුටින් ජීවත්වීමට සූදානම් බවය.
“අපි හැම අවුරුද්දකම අපිව සරණාගතයින් බවට පත්වූ ඔක්තෝම්බර් මාසයේදී නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එම මාසය සමරණවා. ඒත් අපිට කවදා අපේ මුල් ගම් බිම්වලට යන්න පුලුවන් වෙයිද?” මන්නාරම එරකුලම්පිටි ප්‍රදේශයේ සිට අවතැන්වූවෙක් ලෙසින් පුත්තලමට පැමිණි අබ්දුල් ගෆූර් අනීස් පැවසුවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු රැසක් දල්වාලමිනි.
උතුරු පළාතේ සිට අවතැන්ව පුත්තලමට පැමිණි මුස්ලිම් සරණාගතයින්ගේ ලේකම් කාර්යාලය පවසන ආකාරයට දැනට පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් මුස්ලිම් අවතැන්වූවන් හැට අටදහස් පන්සිය පනස් අටදෙනෙක් ජීවත්වෙයි. මොවුන් පවුල් 16150 කට අයත් වූවන්ය.
පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන්වූ ජනතාව ජීවත්වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සංඛ්‍යාව හතරකි. කල්පිටිය, වනාතවිල්ලුව, බූන්දලම හා පුත්තලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතරේ මෙලෙස මුස්ලිම් සරණාගතයින් ජීවත්වෙයි. කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති සරණාගත කඳවුරු සංඛ්‍යාව 87කි. එහි පවුල් 8381 ක සාමාජිකයින් 35,209 ක් ජීවත්වෙයි. වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සරණාගත කඳවුරු 11ක් වෙයි. එහි පවුල් 843 ක සාමාජිකයින් 3,547ක් ජීවත් වෙයි.
බූන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති සරණාගත කඳවුරු සංඛ්‍යාව 19කි. පවුල් 1878 ක සාමාජිකයින් 5439 ක් එහි ජීවත්වෙයි. සරණාගත කඳවුරු 38ක් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති අතර එහි ජීවත්වන පවුල් සංඛ්‍යාව 24,607කි.
මේ ජනතාව තවමත් ජීවත්වන්නේ රජයෙන් ලැබෙන සහනාධාරය බලාපොරොත්තුවෙනි.
පුත්තලමේ සරණාගතයින්ට රජයෙන් ලබාදෙන සහන පිළිබඳව උතුරු පළාතේ සිට අවතැන්ව පුත්තලමට පැමිණි මුස්ලිම් සරණාගතයින්ගේ ලේකම් කාර්යාලයේ කොමසාරිස් එම්.කේ. මුවයිස් මහතා පවසන්නේ මෙසේය.
“සරණාගත කඳවුරුවල ජීවත්වන ජනතාවට අවශ්‍ය පහසුකම් රජය මගින් ලබාදෙනවා. අවශ්‍ය ආහාර සමූපකාර මගින් කූපන් ක්‍රමයට ලබා ගන්න අපි පහසුකම් සලසල තියෙනව. හාල්, පරිප්පු, සීනි, පොල්තෙල් සහ කුළුබඩු වැනි වියලි ද්‍රව්‍ය මෙලෙස ලබාදෙනවා. සතියකට වරක් සමුපකාරයට පැමිණ බඩු ලබාගත හැකියි. සතියකට එක් පුද්ගලයෙක්ට රුපියල් 156ක වටිනාකමින් යුතු බඩුමල්ලක් ලබාදෙනවා.”
පුත්තලමට පැමිණ සිටින සරණාගතයින්ට දැන් අලුත් බලාපොරොත්තුවක් දළුලමින් ඇත. යම් හෙයිකින් යුද්ධය අවසන් වුවහොත් මෙම ජනතාවට නැවත සිය ගම් බිම් බලා යාමේ සිහිනය සැබෑකරගත හැකිවනු ඇත.
සිංගප්පූරු යවන බව පවසා රු. ලක්‍ෂ 6 ක් වංචා කරලා
November 4, 2008 by Vikalpa_R
Filed under Corruption, Puttalam, සිංහල
සිංගප්පූරු යවා එරට රැකියා ලබා දෙන බවට පොරෙන්දු වී රුපියල් ලක්‍ෂ හයකට වැඩි මුදලක් වංචා කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් නාත්තන්ඩිය, කිරිමැටියාන ප්‍රදේශයෙන් වාර්තා වේ. නාත්තන්ඩිය හා අවට ප්‍රදේශ කිහිපයක පදිංචි තරුණයින් හයදෙනෙකු සිංගප්පූරු යවන බව පවසා මෙම මුදල් වංචාව සිදුකර ඇතැයි මුලාවට ලක් වූ එක් තරුණයකු වන නො.20, අක්කර අසූව, නාත්තන්ඩිය යන ලිපිනයෙහි පදිංචි ඒ. පී. සම්පත් ප්‍රියරංජන (28) නැමති තරුණයා පැවසීය.
මෙම තරුණයින් පවසන ආකාරයට ඔවුන්ගෙන් මුදල් අයතා ලෙස ලබාගෙන ඇත්තේ නාත්තන්ඩිය, කිරිමැටියාන ප්‍රදේශයේ පදිංචි ඩබ්.එම්.පී. කුලසේකර යන අයයි. මොවුන් පසුව සොයාගෙන ඇති තොරතුරුවලට අනුව මෙම පුද්ගලයා කලක පටන් බොරුවට රට යැවීමේ ජාවාරම සිදුකරමින් සිට ඇත. මෙම පුද්ගලයා සතුව විවිධ නම්වලින් යුත් පාස්පෝර්ට් තුනක් ද පවතින බව ඉහත තරුණ පිරිස අනාවරණය කරගෙන ඇත.
එම්. පී. කුලසේකර යන අය 2008 ජනවාරි මාසයේ දී තරුණයින් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිංගප්පූරුවට යවා ඇති බවත් එම පිරිස රවටා මාස දෙකකින් ආපසු මෙරටට ගෙන්වා ඇති බවත් මෙම පිරිස තව දුරටත් පෙන්වා දෙයි. එම 18 ටේ කණ්ඩායමට හසු වූ ඒ. පී. සම්පත් ප්‍රියරංජන තරුණයාව නැවතත් කුලසේකර යන අය රවටා ඇති අතර ඔහුගෙන් රු. ලක්‍ෂ දෙකකට අධික මුදලක් වංචා සහගතව ලබාගෙන ඇත.
මෙම වංචාව පිළිබඳව වෙන්නප්පුව සහකාර පෙලිස් අධිකාරී කාර්යාලයට සහ මාරවිල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ඒ. පී. සම්පත් ප්‍රියරංජන ඇතුළු පිරිස පැමිණිලි ඉදිරිපත් කර ඇත. නමුත් මෙතෙක් ඒ පිළිබඳව කිසිදු පරීක්‍ෂණයක් සිදුකර නැතැයි මෙම පිරිස පවසති. නිතර පොලිසියට මේ පිළිබඳව මතක් කළ ද පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ සැකකරු සැඟව සිටින ස්ථානය සොයා දන්වන ලෙස ය. ඊට පසුව පියවර ගතහැති බවය.
එමෙන්ම, වංචාකර ලබාගත් මුදල් නැවත ලබා ගැනීම සඳහා එම්. පී. කුලසේකරගේ නිවසට ගිය විට ඔහුගේ බිරිඳ තමන්ට විවිධ ආකාරයෙන් තර්ජනය කරන බව ද මෙම තරුණයින් පවසා සිටී. තමන් තිස්සමහාරාමයේ බවත් ඇයගේ සොහොයුරා එහි ග්‍රාමසේවා නිළධාරියෙකු වන බවත් ආරක්‍ෂක ලේකම් ගෝඨාබය රාජපක්‍ෂ මහතා ලඟින් ඇසුරු කරණ බවත් පවසමින් දිනෙන් දින තම මුදල් නොදී මගහරින බව මෙම පිරිස පවසයි.
එදිනෙදා කුලී වැඩ කරමින් නොකා නොබී හරිහම්බ කළ මුදල් මෙසේ වංචා කළ පුද්ගලයාව කෙසේ හෝ අත්අඩංගුවට ගෙන තමන්ට සාධාරණය ඉටුකර දෙන ලෙසත් මින් පසු මෙවන් වංචා සිදුකීරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන ලෙසත් වගකිව යුත්තන්ගෙන් මෙම මුදල් වංචාවට හසුවූ පිරිස ඉල්ලා සිටී.
සම්පත් රොහණ
பணம் பறிக்கும் இடமாக மட்டும் இயங்கும் முன்னேஸ்வரம்
September 25, 2008 by Vikalpa_R
Filed under Corruption, Life quips, Puttalam, සිංහල
இலங்கையில் பிரசித்தி பெற்ற சிவாலயங்களுள் சிலாபம் முன்னேஸ்வரமும் ஒன்று. ஒரு விசேடம் சிவாலயம் என்பதோடு திருக்கேதீஸ்வரம்‚ கோணேஸ்வரம்‚ கொக்கட்டிச்சோலை தான்தோன்றீஸ்வரம் என்பன வட கிழக்கில் இருப்பதோடு தமிழர்‚ சிங்களவர் என்ற பாகுபாடின்றி யாரும் செல்லும் ஒரேயொரு சிவாலயமாக திகழ்வது இந்த முன்னேஸ்வரம் ஆலயமே.
இலங்கை மக்கள் விசேடமாக இந்துக்களும் பெளத்தர்களும் தமது நேர்த்திகளையும் சிவாலய வழிபாட்டினையும் மேற்கொள்ளும் பொருட்டு நாட்டின் எட்டுத் திக்கிலும் இருந்து வருகை தருகின்றனர். அதிலும் இந்துக்கள் புது வாகனம் எடுத்தாலும்‚ தமது பிள்ளைக்கு முடி இறக்கும் விசேடம் என்றாலும் நம்பிக்கையோடு இங்கு செல்வர். அப்படி நம்பிச் சென்ற நானும் ஒரு நபர்.
எனக்கு பிறந்த மகனின் முடி இறக்கும் வைபவத்திற்கென எனது குடும்பத்துடன் கடந்த 2008ஃ09ஃ20ம் திகதி சனிக்கிழமை சிலாபம் சென்றேன். அங்கு சென்று ஆலய வளாகத்தினுள் எமது வாகனத்தை கொண்டு சென்றது முதல் பணம் பறிக்கும் நடவடிக்கை ஆரம்பமானது. வாகனத்தை நிறுத்திவிட்டு இறங்கி பூஜைக்கான நடவடிக்கைகளை ஆரம்பிக்கும் முன்னமே வாகன நிறுத்தற் வாடகை என ஐம்பது (50மூ) ரூபர கொண்ட டிக்கட் எம்மிடம் வழங்கப்பட்டது. அதைப் பெற்றுக்கொண்டு முதலாவது நடவடிக்கையான முடி இறக்கும் இடத்திற்கு சென்றோம். அங்கு முடி இறக்கும் நபருக்கு வழங்க பூஜை தட்டு எடுக்க வேண்டும் எனக் கூறப்பட்டது. ஐந்து வெற்றிலைகள்‚ இரண்டு வாழைப்பழங்கள்‚ ஒரு தேங்காய் கொண்ட ஒரு தட்டின் விலை நூற்றி ஐம்பது (150ஃ-) ரூபாய். அதையும் பெற்று அந்த நபரிடம் ஒப்படைத்தேன். முடி இறக்கும் நபர் தமது வேலையை ஆரம்பித்தார். சுமார் பத்து நிமிடத்தில் முடி இறக்கி முடிந்ததும் அவர் தனது கூலி முன்னூற்றி ஐம்பத்து ஒரு (351ஃ-) ரூபர என்று கூறியதும் ஒரு கனம் அதிர்ந்து போனேன். பிள்ளையின் நலனுக்காக செய்யும் செலவு என்பதால் சந்தோ‘மாக அவரிடம் அந்தப் பணத்தை கொடுத்துவிட்டு அடுத்த நடவடிக்கைக்கு சென்றோம். ஆக மொத்தம் அவருக்கான செலவு ஒரு பிளேட் மற்றும் தலைக்குத் தடவவென தேங்காய் தண்ணீர் மாத்திரமே.
அறுநூறு ரூபர கொடுத்து தயாரித்துக் கொண்ட ஒரு பழத் தட்டுடன் ஆலயத்திற்கு அனைவரும் சென்றோம். இறைவனுக்கு சாத்துவதற்கென வீட்டிலிருந்து கட்டிச் சென்ற பூ மாலையையும் அப்பழத்தட்டின் மேல் வைத்தேன். பிள்ளையின் பெயர்‚ நட்சத்திரம் என்பவற்றையும் எழுதி தட்டில் வைத்திருந்தேன். மக்களோடு மக்காக நானும் வரிசையாக பூசைத் தட்டுடன் சென்று கொண்டிருக்க ஒரு குருக்கள் சத்தமாக “பூசை தட்டுள்ளவர்கள் வலது பக்கமாக செல்லுங்கள்‚ ஏனையோர் இடது பக்கமாக செல்லுங்கள்” என தமிழ்‚ சிங்களம் ஆகிய இரு மொழிகளிலும் சொல்ல நான் மாத்திரம் வலது பக்கம் செல்ல என் குடும்பத்தினர் இடது பக்கமாக வெளியே செல்ல வேண்டியதாயிற்று. பூஜையில் பங்குபற்றும் சந்தர்ப்பம் அவர்களுக்கு கிடைக்கவில்லை. நான் மற்றவர்களோடு வலது பக்கமாக செல்ல எதிரே நின்ற இன்னுமொரு குருக்கள் தட்டுகளில் உள்ள பிளாஸ்டிக் மாலைகளை எடுத்து ஒரு பெட்டியிலும்‚ பத்திகளை எடுத்து இன்னுமொரு பெட்டியிலும் மறு விற்பனைக்கென பத்திரமாக எடுத்து வைக்கிறார். மக்கள் பக்தியுடன் இறைவனுக்கு சாத்தவென கொண்டுவந்த மாலை‚ பத்தி என்பன இடையிலேயே பறிக்கப்படுகின்றது. எனது தட்டிலிருந்து பூ மாலை எடுக்காததையிட்டு சந்தோ‘ப்பட்டேன். அந்தக் குருக்களை தாண்டியதும் இன்னுமொரு குருக்கள் தட்டிலுள்ள பணத்தை எடுத்துக் கொண்டு அதற்கான ரசீதை தட்டில் வைத்தார். அந்த ரசீதில் பெயர்‚ நட்சத்திரம் எழுதக்கூட அவருக்கு முடியவில்லை. காரணம் அந்தளவிற்கு வேலைப் பளு.
அடுத்தது முக்கிய கட்டம் கர்ப்பக் கிரகத்திற்கு முன் இரண்டு குருக்கள்மார் அதில் ஒருவரிடம் நான் சென்றதும் எனது தட்டிலிருந்த மாலையை எடுத்து பக்கத்திலிருந்த தூணில் சாத்தினார். நான் உடனே “ஐயர அதை இறைவனுக்கு சாத்துவதற்கு தான் கொண்டு வந்தேன்” எனக் கூறியதும் இன்னுமொரு குருக்கள் அதை எடுத்துச் சென்று இறைவனுக்கு சாத்தினார். எனது தட்டில் எழுதியிருந்த பிள்ளையின் பெயரை மாத்திரம் உச்சரித்த குருக்கள் நட்சத்திரத்தைக் கூட சொல்லாமல் போனதால் என் மனதிற்கு பெரும் க‘்டமாக இருந்தது. அது மட்டுமல்லாது பூஜைத் தட்டைக் கூட கர்ப்பக்கிரக அறைக்கு அவர்கள் எடுக்காத காரணத்தினால் அந்தப் பூஜையில் எந்தவொரு பெறுமதியும் இல்லை என்றே கூற வேண்டும். மேலும் ஒரு வெற்றிலையில் சிறிது விபூதியை வைத்துவிட்டு “அடுத்தவர் வாங்க” என்று கூறுகின்றார்.
பல மைல்களுக்கு அப்பால் இருந்து பலமான நம்பிக்கைகளுடன் முன்னேஸ்வரம் நோக்கி வரும் நபர்களுக்கு இவ்வாறான நடவடிக்கைகளால் நம்பிக்கை இழந்து செல்கிறது என்றே கூற வேண்டும். மேலும் இன்று இந்து மதம் இழிவாக பேசப்படுவதற்கும்‚ இந்துக்கள் மதம் மாறுவதற்கும் பல்வேறு காரணிகளில் இதுவும் ஒன்று என்றே கூற வேண்டும். இவ்வாறு பணம் பறிக்கும் ஒரு இடமாகவே இன்று முன்னேஸ்வரம் மாறியுள்ளது.
நான் எண்ணிச் சென்ற காரணி நிறைவேறாத கவலையில் எனது நண்பன் ஒருவனிடம் இந்த சம்பவத்தைக் கூறியபோது “நீ ஏன் அங்கு சென்றாய். சலூன் ஒன்றுக்கு சென்றிருந்தால் உனக்கு நூறு ரூபர மட்டுமே செலவாகி இருக்கும். அத்தோடு மனதிற்கும் ஆறுதலாக இருந்திருக்கும் “என்று கூறியதில் ஒருவித உண்மை உள்ளது என்றே எண்ணத் தோன்றுகின்றது.
மணிமாறன்
வாயஅடைளச6ை;பஅயடை.உழஅ
රටම අඳුරේ ගිල්වන නොරොච්චෝලේ තාප විදුලිය
මහින්ද රාජපක්ෂ රජයේ මානව හිතවාදී වෙස් මුහුණ යටින් ඇති සැබෑ යක්ෂ ප්‍රතිරූපය මේ වන විට රටට නිරාවරණය වෙමින් තිබේ. මෙය වඩාත් හොඳින් දැක ගැනීමට නම් මේ දිනවල පුත්තලම දිස්ත්‍රික්කයේ නොරොච්චෝලේ ප්‍රදේශයේ සංචාරය කළ යුතුය. 1990 දශකයේ සිට බලයට පැමිණි විවිධ රජයයන් විසින් සෑදීමට උත්සාහ ගනිමින්, පසුව අතහැර දමමින් පැවති නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය කෙසේ හෝ ඉදි කිරීමට කැස කවන රජය ඒ සඳහා ගත හැකි සියලු පියවර ගනිමින් සිටි.
පැවති රජයයන් සියල්ල අභිබවා යන දැවැන්ත මර්දනයක් ප්‍රදේශය පුරා ක්‍රියාත්මක කරවමින්, සියලුම රාජ්‍ය බලයයන් යොදවමින් කෙසේ හෝ මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරිමේ උත්සාහයක රජය මේ වන විට යෙදී සිටි. තමන්ගේ ඉඩම්, ජීවිකාවන් හා ගම්බිම් ආරක්ෂා කර ගැනීම සඳහා වසර 10 කට අධික කාලයක් පුරා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ප්‍රදේශයේ ජනතාව ගෙන ගිය අරගලය යටපත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂම පෞද්ගලිකව මැදිහත් වී තිබේ. මේ වන විට ප්‍රදේශයේ විටින් විට සංචාරය කරන ඔහු ජනතාවට සුරංගනා ලෝකයක් පිළිබඳ සිහින මවමින් ජනතාවගේ කැමැත්ත දිනා ගැනීමේ උත්සාහයක නිරතව සිටි.
නමුත් ඔහුගේ සුරංගනා ලෝකයේ සත්‍යය තත්වය දැනටමත් ජනතාවට අවබෝධ වී හමාරය. විදුලි බලාගාරය ඉදි කිරීමට යෝජිත භූමියෙන් ඉවත් කෙරුණු පවුල් 81 මේ වන විට කිසිදු පහසුකමක් නොමැති කාන්තාරයක ගාල් කොට ඇත. සකල සිරින් පිරි දේශයක් පිළිබඳව බලාපොරොත්තු මවමින් තමන්ගේ උපන් බිම් වලින් ඉවත් කෙරුණු ඔවුනට මේ වන විට තමන්ගේ මූලික අවශ්‍යතාවයන් පවා ඉටු කර ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබේ. පොරොන්දු වූ ප්‍රවාහන, සෞඛ්‍ය, අධ්‍යාපන පහසුකම් ඔවුනට ඇස් පනා පිට අහිමි වී තිබේ.
ප්‍රදේශය පුරා දැවැන්ත පොලිස් හා හමුදාමය මර්දනයක් දියත් කොට ඇත. බොරුවෙන් ජනතාවගේ කැමැත්ත දිනා ගත නොහැකි තැන ඔවුන් බිය වද්දා බලහත්කාරයෙන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ උත්සාහයකට මේ වන විට රජය යොමු වී සිටී. තමන්ගේ උපන් බිම් තුළ නිදහසේ සැරිසැරීමේ අයිතිය පවා ජනතාවට අහිමි කොට ඇත. ඔවුන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදනයන් පොලිසීය ඇතුළු රජයේ නිළධාරිහු එළිපිට මංකොල්ල කති. ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ විරෝධය පෑමේ අයිතිය ද අද ඔවුනට නැත.
අති බහුතරයක් වූ දෙමළ හා මුස්ලිම් ප්‍රදේශවාසීන් සම්බන්ධයෙන් එල්ල වී ඇති පීඩනය අති මහත්ය. අරගලය තුළ මූලිකත්වය ගන්නා දෙමළ හා මුස්ලිම් නායකයන් බොරු චෝදනා යටතේ අත්අඩංගුවට ගනිමින් හිංසාවන්ට භාජනය කෙරේ. ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගෙන් බහුතරය සුළු ජාතීන්ට හා ආගම්වලට අයත්, ප්‍රධාන වශයෙන් ධීවර හා කෘෂිකාර්මික කටයුතුවල ජීවත්වන ජනතාව වන බැවින් රාජ්‍ය බලය යොදවමින් ඔවුන්ව යටපත් කිරීමට හැකි වෙතැයි රජය අපේක්ෂා කරයි.
ජනතාව පසු බැසීමට සූදානම් නැත
මේ මර්දනයන් හමුවේ තමන්ගේ සටන අත්හැරීමට ප්‍රදේශය ජනතාව සූදානම් නැත. වසර 10 ක් පුරා ගෙන ගිය මේ සටන තුළ ඔවුනට තමන්ගේ සගයන්ගේ ජීවිත අහිමි වුව ද, තමන්ට ඇති එකම වස්තුව වූ මහපොළොව හා මුහුද අතහැර දැමීමට ඔවුන් සුදානම් නැත. තමන්ගේ උපන් බිම් තුළ තමන් අනාථයින් බවට පත් කිරීමට විරුද්ධව, පරම්පරා ගණනාවක් පුරා තමන්ව පෝෂණය කළ තමන්ගේ ජීවිකාවන් විනාශ කිරීමට විරුද්ධව ඔවුහු තවම ශක්තිමත්ව සටන් කරති. ඉතිහාසයේ නොවූ විරූ පරිදි ආගමික නායකයින්ගේ නායකත්වය තුළ ඒකරාශී වෙමින් සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව මහා ශක්තියක්ව නැගී සිටිති. පසුගිය මාස කීපය තුළ ඔවුන් නොරොච්චෝලේ දී හා පුත්තලමේ දී පවත්වන ලද දැවැන්ත උද්ඝෝෂණ මේ සඳහා හොඳ උදාහරණයකි.
අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ මේ සටනට අවශ්‍ය සහාය රටේ අනිකුත් ප්‍රදේශ තුළ ගොඩ නැගීමයි. මක් නිසාද ඔවුන්ගේ සටන නිසා ආරක්ෂා වන්නේ ඔවුන්ගේ ඉඩම් හා ජීවිකාවන් පමණක් නොව සමස්ත රටේම අනාගතය වන බැවිනි.
සියලු පුරවැසියන් ගල් අඟුරු බලාගාරයට එරෙහි විය යුත්තේ ඇයි ?
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට විරුද්ධ සටන තව දුරටත් එම ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් හා ජීවිකාවන් රැක ගැනීමේ සටනක් පමණක්ම නොවේ. එමගින් සිදුවන පරිසර විනාශය බලපානු ඇත්තේ සමස්ත මිහිතලයටමය. මේ වන විට ලෝකයේ අනාගතයට ප්‍රධානතම තර්ජනය බවට පත් ව ඇති මිහිතලය උණුසුම් වීම සඳහා ප්‍රධානතම දායකත්වයක් සපයනු ලබන්නේ ගල් අඟුරුය. එබැවින්ම ලෝකයේ බොහෝ රටවල් මේ වන විට ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වෙමින් සිටිති. එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතමින් වායුගෝලය උණුසුම් වීම ගැන දේශන පවත්වන ජනාධිපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකාවේ දී මිහිතලයේ අනාගතය අමතක වී ඇත.
ගල් අඟුරු බලාගාර නිසා ඇති වන ඇසිඩ් වැසි, ජල දූෂණය, සාගර දූෂණය හා වායු ගෝලීය දූෂණය අහිමි කරනු ඇත්තේ අපේ දරුවන්ට අනාගතයේ ජීවත්වීමට ඇති රටයි. මේ වන විට ශ්‍රී ලාංකිකයින්ට ඉතිරි ව ඇති එකම නිදහස් අයිතිය වන හුස්ම ගැනීමේ අයිතියත් ඔවුනට අහිමි වනු ඇත.
වසරකට ආහාර ආනයනය සඳහා රුපියල් කෝටි 10000 කට ආසන්න ප්‍රමාණයක් වියදම් කරන ශ්‍රී ලංකාව ආහාර අතින් ස්වයංපෝෂිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ රජය මේ වන විට බොහෝ දේ කියනු ඇසේ. නමුත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදි කිරිම තුළින් ඔවුන් විනාශ කිරීමට උත්සාහ කරනුයේ ශ්‍රී ලංකාවේ එළවලු හා මත්ස්‍ය නිෂ්පාදනයෙන් අති විශාල කොටසකට වග කියන සරුසාර භූමියකි. ශ්‍රී ලංකාවේ වෙනත් එළවළු වගා කරන ප්‍රදේශවල ඒ සඳහා වසරේ නිශ්චිත කාල සීමාවන් තිබේ. නමුත් නොරොච්චෝලේ එසේ නොමැත. සෑම අස්වැන්නකටම පසුව නැවත වගා කිරීමේ හැකියාව එම භූමිය සතුය. සෑම දිනකදීම නොරොච්චෝලේ සිට එළවළු ලොරි 60 – 70 අතර ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කරා පැමිණේ. 1995 වන විට ශ්‍රී ලංකාවේ වැඩිම මත්ස්‍ය නිෂ්පාදනයක් සහිත දිස්ත්‍රික්කය පුත්තලම වූ අතර (වසරකට මෙ. ටොන් 27,000) එයින් වැඩිම දායකත්වය කල්පිටිය අර්ධද්වීපයෙන් ලැබුනි.
ව්‍යාපාරිකයින්ට විදුලිය දීම සඳහා ණයකරුවන් බවට පත් වන අපේ අනාගත පරපුර
නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය 1 වන අදියර වෙනුවෙන් පමණක් රජය මේ වන විට රුපියල් කෝටි 4550 ක ණය මුදලක් ලබා ගැනීමට සැලසුම් කර ඇත. පසුගිය දිනක එච්. එස්. බී. සී බැංකුවෙන් සියයට 8.5 ගිනි පොලියට ආණ්ඩුව ලබා ගත් රුපියල් බිලියන 56 න් වැඩි කොටසක් යෙදවීමට අපේක්ෂා කෙරෙනුයේ ද නොරොච්චෝලේ ව්‍යාපෘතිය වෙනුවෙනි. මේ ණය මුදලත් සමගම සෑම ශ්‍රී ලාංකිකයෙකුම රු. 140,000 කට ආසන්න ප්‍රමාණයක ණයකරුවෙකු බවට පත්වේ.
මේ ණය ගෙවීම සඳහා යෙදවීමට සිදු වනුයේ අපගේ දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය සඳහා යෙදවීමට ඇති මුදල් ය. 2006 වසරේ දී පමණක් රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 96% ක් ම යෙදවූයේ ණය ගෙවීම සඳහා ය. මේ ව්‍යාපෘති සමග එම මුදල තවත් වැඩි වනු ඇත.
දශක තුනක් අසාර්ථක වූ සැලසුම් තවත් ඉදිරියට
මේ සියලු ව්‍යාපෘති රටේ ජනතාවගේ අවශ්‍යතා සැපිරීම සඳහා නොවේ. නොරොච්චෝලේ ව්‍යාපෘතිය මගින් පැහැදිලිවම අපේක්ෂා කරනුයේ විදේශ ආයෝජකයන්ට අවශ්‍ය විදුලිය අඩු මිලට ලබා දීමට උවමනා යටිතල පහසුකම් ඉදි කිරිමයි. මෙය ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සංවර්ධන ආකෘතියයි. විදේශ ආයෝජකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීම තුළින් ඔවුන් මේ රටට ගෙන්වා ගැනීමත්, ඒ මගින් රටේ ආර්ථික වර්ධන වේගය වැඩි කිරීමත් එම සැලසුම්වල අභිප්‍රායයි. නමුත් 1977 පටන් දශක තුනක් පුරා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන ලද මේ සැලසුම්වලින් ඉතිරි වූයේ විනාශකාරී ප්‍රතිඵල පමණි. මහවැලි ව්‍යාපාරය තුළත්, කටුනායක ඇතුළු නිදහස් වෙළඳ කලාපත් මේ වන විට පෙන්නුම් කරන්නේ විදේශ ආයෝජකයන් ඇද ගැනීමේ උත්සාහයන් හි ඛේදවාචකයයි.
තමන්ගේ සැලසුම් අසාර්ථක බවත්, ලංකාවේ දිළිඳුකම හා අසමානතාවය භයානක ලෙස වැඩිවෙමින් පවතින බවත් ලෝක බැංකුවේ ශ්‍රී ලාංකික නියෝජිතවරිය පවා පසුගිය දිනක පිළි ගත්තාය. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ මේ සැලසුම් අඩංගු එක්සත් ජාතික පක්ෂයේ ‛යළි පුබුදමු ශ්‍රී ලංකා’ සැලැස්මයි. නමුත් කණගාටුවට කරුණ එම සැලසුම් හෙළා දකිමින් බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේත් එම විනාශකාරි සැලැස්ම ම වීමයි. මහින්ද චින්තන දස අවුරුදු සැලැස්ම තුළ සඳහන් වන පරිදි ඉදිරි වසර දහය තුළ විදේශ ආයෝජකයින්ට අවශ්‍ය යටිතල පහසුකම් ඉදි කිරීම සඳහා ලබා ගැනිමට යෝජිත ණය ප්‍රමාණය රු. කෝටි 38,988 කි.
එබැවින් මේ විනාශකාරි ගල් අඟුරු බලාගාරය ඉදි කිරිමට එරෙහිව පෙළ ගැසීම මේ මොහොතේ සියලු ආදරණීය මිනිසුන්ගේ වගකීමකි. තවදුරටත් මේ සටන තුළ නොරොච්චෝලේ ජනතාව තනි නොකොට ඔවුන් හා අත්වැල් බැද ගැනීම අප සැමගේ යුතුකමක් බව අපි සිතන්නෙමු. ඒ සඳහා මුල පිරීමක් වශයෙන් පැවැත්වෙන සංවාදය සඳහා මේ මොහොතේ වඩාත් යහපත් වූ ලෝකයක් වෙනුවෙන් පෙනී සිටින ඔබ සැමට අපි ආරාධනා කරන්නෙමු.
සඳුන් තුඩුගල
ජාතික සම්පත් හා මානව හිමිකම් සුරැකීමේ සන්ධානය




