වසර හතලියක් තිස්සේ ඉදිවෙන පාරක්

හල්දුම්මුල්ල හම්බෙගමුව මාර්ගය දැනට වසර හතලියකට පෙර ඇරඹුවද තවමත් එය ඉදිකර තිබෙන්නේ වෑඑළිය තෙක් පමණක් බව ගම්වාසීහු ප්‍රකාශ කරති. වෑඑළිය තෙක් දීර්ඝ කරන ලද්දේද ඉතා මෑතකදී බව පවසන වෑඑළිය ගම්වාසින් රජයේ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ අවම තරමේ වෑඑළියේ සිට පතහ හරහා වේලීඔය අමුණතෙක් කපා ඇති මාර්ගයටවත් මාර්ගය යාකර දෙන ලෙසයි. වෑඑළියේ සිට වේලීඔය දක්වා ඇත්තේ කිලෝමිටර් 6 පමණක් බවත් එම ප්‍රමාණය ඉදිකර දෙන්නේ නම් එයින් ප්‍රදේශයේ ගොවීන්ට විශාල සෙතක් සැලසෙන බවත් ප්‍රදේශවාසීන් පවසයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශයේ ගොවි මහතෙකු වූ වී.මූ. පුංචිබණ්ඩා මහතා ප්‍රකාශ කලේ ‛‛ මෙම මාර්ගය වෑඑළියේ සිට වේලිඔය දක්වා දික් කිරිමට තව කැපීමට ඇත්තේ කි.මී. 6 ක් පමණයි. එය ඉක්මනින් කලොත් මේ ප්‍රදේශයේ ගොවින්ට විශාල සෙතක් සැලසෙනව. තමන්ගේ වගාවන් වැලිමඩ, හපුතලේ, බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථාන වලට පහසුවෙන් ගෙන ගොස් අලෙවිකර ගැනිමට ඔවුන්ට පුලුවන් වෙනව. ඒ වගේම ඉතා දුෂ්කර ග්‍රාමිය ප්‍රදේශයක් වන මේ ප්‍රදේශය මාර්ගය හේතුවෙන් දියුණුවට පත්වෙනව. ඒ පිළිබඳව කල්පනා කර බලා හෝ මේ පිළිබඳව ඉක්මන් අවධානය යොමුකර දෙන මෙන් ඉල්ලා සිටිනවා.’’කියාය.
සෑමදාම ඡන්ද කාලයට පාර මෙන්ම විදුලිය වැනි බෙහෝ කාරණ පිළිබඳව දේශපාලකයන් පොරොන්දු දුන්නද ඒවා කිසිදාක ඉටුනොවන පොරොන්දු බව හල්දුම්මුල්ල ප්‍රදේශවාසින් හොදින් දනිති. ඒ බව දැකබලා ගන්න කැමති ඕනෑම කෙනෙකුට හල්දුම්මුල්ල නගරයට ගිය විට එය දැකබලා ගත හැකිවේ. එම නගරය අදටත් එදාමෙන්ම කිසිදු වෙනසක් නැතිව පවතී

ආදරණිය ප්‍රගීත් අන්කල්…


ආදරණිය ප්‍රගීත් අන්කල්,

ප්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත ‛ලංකාදිප’ පත්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්බෙන්. ඔබ ඒ ලිපිය ඒව්වේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඔබ පළමුවරට පැහැරගෙන ගොස් නිදහස් කළ පසුවයි. අවුරුදු විස්සකින් පසු පළමු වතාවට මම ප්‍රගීත් අන්කල්ට ලියන්න පෙළඹුණේ ඒ සිදුවීම විසින් මා තුළ ඇති කළ කම්පනයයි. අවුරුදු විස්සක් කොයි තරම් දිගු කාලයක්ද? ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිය බවට ඒ අගොස්තුවේදී පුවත් පළ වී තිබුණත් ඔබ මා කුඩාකළ දැන සිටි ප්‍රගීත් අන්කල් යැයි මට එක්වරම නොසිතුනේ ළමා විය ගැන මගේ මතකය දුබල නිසා විය හැකියි. ඒත් ඔබේ පින්තුරයක් අහම්බෙන් දැක්කාම මට ඔබ කවුදැයි යන වග මතක් වූයේ ඔබේ රුව මගේ ළමාවිය ගැන ඉතිරිව ඇති මතක කැබැලිති අතර විසි වසක් නොනැසී තිබූ නිසායි. ඔබට කතා කළ යුතුයැයි කියන හැඟීමෙන් දින කිහිපයක් තැවුල් විඳි මම අසීරුවෙන් ඔබේ දුරකතන අංකය සොයාගත්දා කොයිතරම් සතුටු වූවාද? ඔබට ලියූ පළමු ඊ මේල් පණිවුඩය මම ලිව්වේ වේදනාබර සතුටකින්. ඔබ විඳි දුක් ගැහැට ගැන ඇසීමෙන් හටගත් වේදනාව යටකොට ළමා වියේ මා දැන සිටි ‛ප්‍රගීත් අන්කල්’ට විසි වසරකින් පසු ලියන්නට ඉඩ ලැබීම සතුට කොයිතරම්ද?

ඒත්, නැවතත් ඔබ අතුරුදහන් ප්‍රගීත් අන්කල්ෟ මේ ලියන මොහොත වනවිට ඔබ ගැන තොරතුරක් නැතිව හරියටම දින 30ක්. ඔබ ගැන සිත නිවෙන පුවතක් දැකීමේ නොමැඩිය හැකි ආශාව මේ දවස් මුළුල්ලේ මා හැර නොයා රැඳෙන්නේ මගේ ළමා කාලය පිළිබඳ ඇති ප්‍රීතිමත් මතකයන් අතර ඔබ අදත් ජීවමාන නිසායි. ඔබ ලියා තිබුණා වගේම මම අද, මගේ තාත්තාගේ ඔබ වැනි ආදරණීය මිතුරන්ගේ සෙනෙහස විඳ හැදී වැඩුණු ඒ පුංචි දැරිය නොවේ. සමාජය ගැන දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක්. නමුත් දෙවෙනි වතාවේත් අතුරුදහන් වූ ඔබ ගැන යමක් කරන්නට අපි කිසිවෙකු සමත් වී නැහැ. ප්‍රගීත් අන්කල් මට ලියූ වචන මතකද? අද තියන භීෂණකාරීත්වය ගැනත්, ඔබ වැන්නන්ගේ අවදානම් ඉරණම් ගැනත් ඒ ලියූ හැම වචනයක්ම මට කට පාඩම් වන තරම් මම ඔබේ ලියුම කියවා තිබෙනවා. නමුත් නැවතත් ඔබව පැහැරගෙන යන තුරුත්, ඉන් පසුත් අපට කළ හැකිව ඇති දේ කොයිතරම් අල්පද?

ප්‍රගීත් අන්කල්,

මම ළමා කාලයේදී අත් දුටු අතීත භීෂණයට වඩා අද භීෂණකාරීත්වය වෙනස් කියා ඔබ ලියා තිබූණා මතකද? ඔබ නිදහස්ව ආ දවස්වල ලියූ ඒ වචනවල බැරෑරුම්කම මට දැනෙන්නේ දැන්. මගේ ජිවිතයේ අඳුරුතම කාලය වූ 88-89 සමයේ මාත් – අක්කාත් පණ පිටින් මළවුන් බවට පෙරළු භීෂණයෙන් මට කිසි කලක ගැළවුමක් ලැබෙතැයි මම හිතන්නේ නැහැ. නමුත් විසි අවුරුද්දකට කලින් ජනතා විමුක්ති පෙරමුණෙන් ඝාතනය කළ ප්‍රතිපත්ති ගරුක මිනිසෙකු වූ මගේ තාත්තා ගැන මතකයෙන් පෑරෙන අපේ ජීවිත සුවපත් කරන්නට උදව් කළ ප්‍රගීත් අන්කල් වැනි ආදරණීය කාරුණික මිනිසුන්ට විසි අවුරුද්දකට පසුවත් ලංකාව අනාරක්‍ෂිත තැනක් වන්නේ ඇයි?

ඒ අතීත ළමා කාලයේ මතකය තවමත් සිහිනයන් වගේ. ප්‍රගීත් අන්කල් අපේ ගෙදරට එන්නේ 80 වැඩ වර්ජනයෙන් පස්සේ. සාලයේ වාඩිවී තාත්තා එක්ක දොඩමළු වන සිහින් සිරුරක් ඇති ඒ ප්‍රගීත් අන්කල් මට තවමත් මතකයි. අපි ඉගෙනගත් ඌව කරඳගොල්ලේ පුංචි ඉස්කෝලයට පුස්තකාලයක් හදන්න තාත්තා එක්ක මහන්සි වුණු ඒ දවස් අන්කල්ට මතකද? ඉස්කෝලේ ළමයින්ට බුදුන් වඳින්නට කියා අපේ ගෙදර ඉස්සරහ තියාගෙන අන්කල්ගේ අතින් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමාවට අදත් ඒ ඉස්කෝලයේ දරුවන් වඳිනවා ඇති. නොදන්නා දුර ඈත ගමක, නොදන්නා මිනිසුන්ගේ දරුවන්ට වඳින්නට රෑ දවල් වෙහෙස වී ඒ බුදු පිළිමය අඹන්නට අන්කල් මහන්සි වූ දවස්වල මගේ තාත්තා ඒ අසළට වී බලා ඉන්නා විදිය මේ ලියන මොහොතෙත් මගේ හිතේ දුක්බර රූපයක් වී ඇඳෙනවා. විසි අවුරුද්දකට පසුව පවා ඒ දුප්පත් ඉස්කෝලයේ පියස්ස යටට එකතු වෙන දරුවන්ට වඳින්නට බුදු පිළිමයක් නෙලූ නොදන්නා මිනිසා කොළඹ වීදියක හිටි ගමන් අතුරුදහන් වූ බව කරඳගොල්ලේ දරුවන් කෙසේ නම් දැනගන්නද?

ආදරණීය ප්‍රගීත් අන්කල්,

කිසිදාක අමතක නොවෙන ඒ අඳුරු අතීතය මැද දිලෙන පහන් ආලෝකයක් වැනි ඔබේ මනුෂ්‍යත්වය ගැන මේ ලියූ සියල්ලට වඩා අමතක නොවෙන තවත් දෙයක් මම ලියන්නම්. තාත්තා මුහුණ දුන් රුදුරු මරණයෙන් පසුව භීතියෙන් තැතිගත් නෑ හිත මිතුරන් බොහෝ අය අපේ තාත්තාගේ අළු පවා තියා ගන්න බිය වුණු කාලයක් ඒ. කුඩාවියේ සිටි අක්කාට හෝ මට තාත්තාගේ අවසන් මොහොත පවා දකින්නට ඉඩක් ලැබුණේ නැහැ. අපි උස් මහත් වී වැඩිහිටියන් වූ දවසක අපට දෙන්නට අපේ තාත්තාගේ අළු ළඟ තබාගෙන පරිස්සම් කර දෙන්නට තරම් හදවතක් හා ධෛර්යයක් තිබුණේ ඔබට බව මම දැනගත්තේ ගොඩාක් පසු කාලයකයි.

නමුත් ඒ භීෂණයේ කුණාටුවෙන් බිඳී විසිරුණු කැදැල්ලකින් විසිව තැනින් තැන හැදී වැඩුණු අක්කාත්, මමත් ඔබ හමුවන්නට ප්‍රමාද වූ නිසා, ඔබ ඉතා ගෞරවණීය විදියට මගේ තාත්තාගේ අළු කැලණි ගඟෙ පා කළ බවත් මම දැනගත්තේ ඒ කාලයේදීයි. කොළඹ වීදියක මහ රැයක අතුරුදහන් වූයේ ඒ තරම් උතුම් මනුෂ්‍යත්වයෙන් හෙබි දුර්ලභ මිනිසෙකු බව මිනිස් තෙතමනයක් නොදැනෙන සමාජයකට කියා තේරුම් කර දෙන්නට මට කවදා නම් පුළුවන් වේවිද ප්‍රගීත් අන්කල්?

ආදරණීය ප්‍රගීත් අන්කල්,

මගේ තාත්තා එනතුරු මග බලා ඉන්න තිබුණා නම් ජීවිතය කෙළවර වන තුරුම අපේක්‍ෂා අත් නොහැර මට බලා ඉන්න හයිය තිබුණා. භීෂකයින්ගේ දෑතින් විකෘති කළ මගේ තාත්තාගේ කෙසඟ සිරුර ඒ බලාපොරොත්තු මගෙන් උදුරා දැමුවා. ඒත් ප්‍රගීත් අන්කල් නැවත එන බවට අද මගේ විශ්වාසය ශක්තිමත්. කිසි දවසක දැක නැති අන්කල්ගේ පවුලේ අය සමග අන්කල් නැවත එනතුරු බලා ඉඳින මිනිසුන් අතර මමත් රැඳී ඉන්නේ ඒ නිසායි. ඒ ආ දවසක සන්සුන් සිතින් අන්කල් මේ ලිපිය කියවන බව මට විශ්වාසයි. නැවත පෙරළා එන්නට ප්‍රගීත් අන්කල්ට ශක්තියක් වෙන්නේ අපි හැමෝම තුළ ඇවිළෙන ඒ විශ්වාසයයි. මට ලෝකයක් තරම් ආදරය කළ මගේ තාත්තාගේ අවසන් අළු බඳුන අපි වෙනුවෙන් රැකගන්නට හදවතක් තිබූ ඔබ මගේ තාත්තාගේ ආදරය විසින්ම රැකදෙන බව මට ඒකාන්තයි.

මම, නන්දේගේ දුව

ඌව කෘෂි ඇමති සහෝදරයා ජවිපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීට පහර දෙයි

මහියංගනය ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සී.කේ.බස්නායක මහතා ඇතුළු තිදෙනෙකුට ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, ගොවිජන සේවා හා සංචාරක ඇමති අනුර විදානගම මහතාගේ සහොදරයෙකු වන තේනුක විදානගම ඇතුළු පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා (2 දා) මහියංගන නගරයේදී පහරදීම හේතුවෙන් ඔවුන් තිදෙනා රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ. මේ පිළිබඳව ඔවුන් මහියංගනය පොලිසියේ සී.අයි.බී (1) 226/117 දරණ අංකය යටතේ පැමිණිල්ලක් කර තිබෙන අතර පොලීසිය මේ දක්වා කිසිදු පියවරක් නොගත් බවද සඳහන්
අප මේ පිළිබඳව මහියංගන පොලිසියෙන් විමසූ අවස්ථාවේ දුරකථනයට පිළිතුරු දුන් මැතිවරණ අංශයේ යැයි පැවසූ නම හෙළිනොකළ පොලිස් නිළධාරියෙක් එවැනි පැමිණිල්ලක් තමන් වෙත ලැබී නැතැයි පැවසූ අතර අප පැමිණිල්ලේ අංකය සඳහන් කළ විට තමන්ට කිසිදු දෙයක් මාධ්‍ය වෙත ප්‍රකාශ නොකරන්නැයි පොලිස්පතිවරයා චක්‍රලේකනයක් එවා ඇතැයිද පැවසුවේය. එම පොලිස් නිළධාරියා වැඩිදුරටත් කියාසිටියේ මාධ්‍ය යැයි කියා විවිධ අය කතා කරන බවත් එම නිසා තමන්ට කිසිවක් කිව නොහැකි බවත් තමන් එසේ කීමට බැඳී නැති බවත් ප්‍රකාශ කලාය.
අප මේ පිළිබඳව මහියංගන මූලික රෝහලෙන් විමසූ විට එහි ප්‍රධානියා පැවසූවේ මධ්‍යම ආණ්ඩුවේ සෞඛ්‍ය ලේකම්ගෙන් හෝ පළාති සෞඛ්‍ය ලේකම්ගෙන් අවසර නොමැතිව තමාට රෝගීන් ගැන කිසිවක් කිව නොහැකි බවය. එසේම රෝගියා හෝ ඔහුගේ ඥාතීයෙක් එසෙත් නැතිනම් අධිකරණ අවසරයකින් තොරව තොරතුරු දීමට තමා බැඳි නැතිබව ප්‍රකාශ කළ ඔහු පැවසූවේ රජයේ නිළධාරියෙකු ලෙස තමා කටයුතු කරන්නේ චක්‍ර ලේඛණ වලින් කමාට ලැබෙන නියෝග උනව බවයි. එසේ නැතිව මාධයට තොරතුරු ලබාදී අමාට අමාරුවේ වැටීමට නොහැකි බව ඔහු පැවසුවා.
කතෘ සටහන – රජයේ නිළධාරීන් ජනතාවට නොව තම පාලකයන්ට පක්ෂපාතී බවට හොඳම නිදසුනකි මේ. එසේම පළාත් සභා ක්‍රමයේ අඩු පාඩු හා රාජ්‍ය සේවයේ අඩු පාඩු නිසා මෙරට රාජ්‍ය සේවය නන්නත්තාර වී ඇති ආකාරය මේ මඟින් පෙනි යන කරුණකි

උග්‍ර ජල ප්‍රශ්නය හමුවේ සොරණාතොට ගමිමානයේ පාරම්පරික හුණු කර්මාන්තය විනාශවීමේ අවදානමක්

සොරණාතොට ප්‍රදේශයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් ප්‍රදේශයේ සියලු ජල උල්පත් සිදීයාමෙන් එම ප්‍රදේශයේ පාරම්පරික හුනු කර්මාන්තය නවතා දැමීමට සිදුව ඇති බව සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉපැරණි කර්මාන්තකරුවන් පවසති. හුනු කර්මාන්තය කරගෙන යාම සඳහා ජලය අවශ්‍ය වන අතර දිය උල්පත් සිඳීයාමෙන් කර්මාන්තයට ජලය සපයා ගත නොහැකිවිම මේ තත්ත්වයට හේතුව බව ප්‍රදේශවාසිහු පෙන්වා දෙති.

සොරණාතොට ගම්මානය හුනු කර්මාන්තය අතින් ප්‍රසිද්ධියක් උසුලයි. දැනට ප්‍රදේශයේ හුනු පෝරනු 25 ක පමන සංඛ්‍යාවක් පවතින අතර පවුල් 100ක් පමන කර්මාන්තයේ නියැලී සිටියි. සෙරණාතොට ගම්මානයේ හා අවට දුන්හිද, රිදීපන ආදී ගම්මානවල 500 ක තරම් පිරිසකට මෙම නිසා සෘඡු හා වක්‍ර රැකියා අවස්ථා උදාවී ඇත

වර්ථමානයේ මෙම කර්මාන්තකරුවන් මුහුණ දී තිබෙන ජල ප්‍රශ්නය නිසා ප්‍රදේශයේ හුනු පෝරනු 15 ක් පමන මෙම වන විට වසා දමා ඇතැයි ද මෙම හේතුවෙන් පෝරනුකරුවන් ගැටළු රැසකට මුහුණ පා ඇතැයි ද පෝරනු හිමියන් පවසති.
මෙම ප්‍රශ්නය සම්බන්ධව සාරණාතොට පා්‍රදේශීය සභාවට කිහිප වරක් දන්වා සිටියත් ප්‍රාදේශීය සභාවෙන් අද වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබී ඇතැයි ද කර්මාන්තකරුවන් කියා සිටිති

ප්‍රාදේශීය සභාව වාර්ෂිකව පරිසර බද්ධක් වශයෙන් රුපියල් 3000 ක මුදලක් අය කර ගනු ලබනා බවත් තම දරු පවුල් ගැන සලකා බලා සහන දායි මිලට සතියකට අවශ්‍ය වතුර ප්‍රමානය බවුසර් මගින් හෝ තමන් වෙත ලබා දෙන ලෙෂත් ප්‍රදේශයේ පෝරනුකරුවන් ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලා සිටිති.

බදුල්‍ල – ‍නෙත්

ආදිවාසීන්ට ගුවන් විදුලියක්

November 12, 2009 by Vikalpa_R  
Filed under Badulla, Governance, Media, සිංහල

ලෝක ආදිවාසි දිනය යෙදෙන නොවැම්බර් මස 20 වෙනිදාට ගිරාඳුරුකෝට්ටේ පවත්වාගෙන ගිය මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ආදිවාසී ගුවන් විදුලිය ලෙස නම් කිරීමට රජය තීරණය කර ඇති බව පැවසේ. මේ අනුව නොවැම්බර් මස 20 වෙනිදාට ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියල ඇත්තෝ මෙම ගුවන් විදුලිය මගින් ජාතිය ඇමතිමට නියමිත බවද පැවසේ.

මහවැලි නිල නිවාස පුද්ගලික අංශයට විකුණයි

September 9, 2009 by Vikalpa_R  
Filed under Badulla, Corruption, Governance, සිංහල

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ගොඩනැගිලි රාශියක් මේවන විට මහවැලි නිළධාරින් විසින් ව්‍යාපාරිකයින්ට විකුණා ඇත. ඇතැම් ගොඩනැගිලි වල වටිනා දැව ඔවුන් ගලවා ඉවත් කර ගෙන ඇති අතර සමහර ගොඩනැගිලි පෞද්ගලික ආයතන මඟින් කාර්යාල එසේ නැත්නම් සංචාරක බංගලා බවට පත් කරගෙන විශාල ලෙස මූල්‍ය සම්පත් උපයීමට කටයුතු යොදා තිබේ.
මහවැලි සී කලාපයේ ගිරාඳුරුකෝට්ටේ උප කලාපයේ මහවැලි නිල නිවාස වල හොඳ තත්ත්වයේ ගොඩනැගිලි 100 කට අධික සංඛ්‍යාවක් මෙලෙස ධනවත් පුද්ගලයින්ට හා සමාගම් වලට විකුණා ඇත. මහවැලි සී කලාපයේ බතලයාය කොට්ඨාශ කළමනාකාර කාර්යාලයට අයත් නිල නිවාසය ගම්පොල ප්‍රධාන පෙලේ කුකුල් ෆාම් ව්‍යපාරිකයෙකුටත් ඉතිරි නිවාස සීමාසහිත කොළඹ කොමර්ෂල් සමාගමටත් (සී.අයි.සී) විකුණා ඇත.
මහවැලි ගොවීන්ගේ දෙවන පරම්පරාවල සිටින දරුවන්ට බෙදා දිමට වෙන්කර තිබූ ඉඩම් අක්කර 4000ක් මෙම සමාගම් දෙකට විසි අවුරුදු බද්දට ලාබාදී ඔවුන් බඩ ඉරිඟු වගා කර එම ව්‍යාපෘති වල කාර්යාල ලෙස මෙම ගොඩනැගිලි පවත්වාගෙන යති. රුපියල් කෝටි ගනන් වටිනා මහජන දේපල මෙසේ විනාශ කිරීමට ඉඩදී බලධාරීන් නිහඩව ඉන්නේ මන්දැයි ප්‍රදේශයේ ජනයා ප්‍රශ්න කරති.

වතු නිවාස ඉදිකිරීම අතර මඟ නවති…සල්ලිත් නෑ. වතු කළමානාකරුවන්, සුබසාධක සමිති අක්‍රියයි – නිවාස සංවර්ධන අධිකාරයේ දිස්ත්‍රික් කළමණාකරු


බදුල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඉදිකරන ලද නිවාස යෝජනා ගණනාවක ඉදි කිරීම් මේවන විට අතර මඟ නවතා තිබේ. මෙසේ ඉදිකිරීම් අතරමඟ නවතා ඇත්තේ කහගල්ල වත්ත, නීඩ්වූඩ් වත්ත හා දඹේතැන්න ආදී ප්‍රදේශවල නිවාස අතර මඟ නවතා ඇති බව දක්නට ඇත. මෙම තත්වය මත එම ප්‍රදේශවල වතු කම්කරුවන් මහත් අසීරුතාවයකට පත්ව තිබෙන බවත් මෙම නිවාස ඉදිකර ඇත්තේ නිවාස සංවර්ධන අධිකාරියේ සහය මත බව ප්‍රදේශවාසීන් පවසයි.
මේ පිළිබඳ ‛විකල්ප’ බදුල්ල නිවාස සංවර්ධන අධිකාරයේ දිස්ත්‍රික් කළමණාකරු ඒ. බී. පෙරමුණේ මහතාගෙන් කරුණු විමසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ……..

‛‛නීඩ්වුඩ් වත්ත ආශ්‍රිතව එහෙම තත්වයක් තියනවා. නමුත් එහෙම වෙන්න ප්‍රශ්ණ කිහිපයක් තියනවා. අපි කරන්නේ මේ නිවාස ඉදිවීමේ දී අධීක්ෂනය කරනවා පමණයි. මේ ලැබෙන සල්ලි වියදම් කරන්නේ වතු සමූපකාර සමිතිය විසින්, ඔවුන් මේ වනවිට කිසිම ක්‍රියාකාරී මට්ටමකින් නෑ. වතු කළමණාකරු කිසිම හොඳ ක්‍රියාකාරීත්වයක් පෙන්නන්නේ නෑ. කිසිම සාකච්ඡාවකනට එන්නේ නෑ. මේවගේ උනාම කොහොමද අපි වැඩ කරන්නේ. කහගල වත්තෙත් එහෙමයි. මේකෙදීත් අපි අවශ්‍ය මුදල් ඉවරකරලා තියනවා. අනිත් ටික ඉවර කරන්න අමාත්‍යංශය මුදල් දෙන්නේ නෑ. දැනට මෙම එක නිවසකට රුපියල් 425000.00ක් වියදම් වෙලා තියනවා. එක නිවසක් ඉවරකරන්න තව මුදල් ඕන. මේවාට මුදල් නෑ. වෙන කොහෙන් හරිවත් හොයාගමු කියලා මම යෝජනා කරලා තියනවා.’’

මෙම ගැටලු නිසා අවසානයේදී දුක් විඳින්නේ කම්කරුවන්. මේ ප්‍රශ්ණය විසදෙයිද?
දිස්ත්‍රික් කළමණාකරුගෙන් විමසුවෙමු….

‛‛මේ නිවාස ව්‍යාපෘති කරනකොට පාර්ශවයන් කිහිපයක් සම්බන්ධ වෙනවා. අමාත්‍යංශය, නිවාස සංවර්ධන අධිකාරිය, වතු සමූපකාර සමිතිය ආදි කොටස් මෙයට සම්බන්ධ වෙනවා. නමුත් මේයින් එක් පාර්ශවයක් හෝ සම්බන්ධ නොවූනානම් වැඩේ කරන්න බැරි වෙනවා. අනිත් කාරණය තමා මේ නිවාස හදන්න ඇස්තමේන්තු කරලා තියෙන්නේ මීට අවුරුදු 04කට කලින්, අපි වැඩකරන්නේ දැන්. දැන් මිලට. එහෙම උනාම තමා එක් පැත්තකින් මේ ප්‍රශ්ණ මතු වෙන්නේ.’’

කෙසේ වෙතත් මෙම පරිපාලනමය ගැටලු නිසා අවසානයේ දුක් විඳින්නේ වතුවල සිටින අහිංසක කම්කරුවන්. වසර ගණනාවකින් පසුවත් ඔවුන්ට නොතෙමී ඉන්නවත් ගෙයක් හදලා දෙන්න පරිපාලනයට බැරිනම් කොළඹට කිරි අපට කැකිරි..කියලා කවදා හරි දවසක ඔවුනුත් කියාවි. එදාට……….

කොළඹට කිරි, ලඟට කැකිරි…

දිනය 2009 ජූනි 17වනදා ය. වේලාව ප.ව.2.45යි. ලංකා ගමනා ගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් බස් රථය ප.ව.2.45ට බදුල්ල සිට කොළඹ බලා ධාවනය කරන්නට විය. මද වේලාවකින් කොන්දොස්තර පැමිණ මෙසේ මොර දෙන්නට විය.

“කොළඹ යන අය ඉඳ ගත්තාට පසුව අනිත් අය ඉඳ ගන්න. ලඟට යන අය අතර මඟදී නගින කොළඹ යන අයට ඉඩ දෙන්න.”

බස් රථය ගමන් කරන්නට විය. දියතලාව, හපුතලේ බලංගොඩ දක්වා යන බස් මගීන් තම ආසන මතින් නැගිට්ටුවා අතර මඟදී බස් රථයට ගොඩ වූ මගීන්ට එම ආසන දෙන ලදි.

බදුල්ල මහ රෝහලේ සැත්කම් කර නිවෙස්වලට යන රෝගීන් මෙන්ම ශාරිරික ආබාධිත අයද තම ආසන දුන්නේ කොන්දොස්තරගේ පරුෂ වචන ඉවසාගත නොහැකිවය. ලංගම බස් ඇතැම් පෞද්ගලික බස් තත්වයට මේ කොන්දොස්තර ගෙන ඒම ගැන ඒම මගී ජනතාව දැඩි අප්‍රසාදයකින් කථා කලේය.

මුදලක් ගෙවා ටිකට් පතක් ගෙන බස් රථයේ යන මගීන්ට ආසනයක ඉඳගෙන යාමට ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ඇත.

නමුත් මේ කොන්දොස්තර එම අයිතිය බලෙන් උදුරාගෙන ඇත. එසේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මෙසේ උදුරාගැනීමට මොනයම් හෝ රාජ්‍ය හෝ පෞද්ගලික නිළධාරියෙකුට ඇති අයිතිය කුමක්ද..

සී. එස්. රත්න

Next Page »