‛‛18සංශෝධනය මහින්ද පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තත් අපි එය වීදියේදී පරාජය කරනවා.’’ අද කොළඹදී විරෝධතාවයක්

‛‛පිස්සු රජා අපිට එපා
මහින්දයෝ මේ අහපන්
සංශෝධනේ නවත්තපන්
නැත්තන් අපි එළවනවා’’
අද(8) දහවල්, 18වන සංශෝධනයට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක් කොළඹදී පැවැත්වීය. ඉහතින් දැක්වෙන්නේ විරෝධතා කරුවන් කියු සටන් පාඨ කිහිපයකි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ‛18වන සංශෝධනයට එරෙහි ව්‍යාපාරය’ විසිනි. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධානවල නියෝජිතයින් මෙයට එක්ව සිටියේය. ‛‛මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම අපි අද ප්‍රකාශයට පත් කරලා, අද කනත්තට ඇවිල්ලා ඒ මළගම ලෝකයට අපි ප්‍රකාශ කරනවා.’’ මෙහිදි අදහස් දැක්වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසා සිටියේ ය.

වෝඩ් පෙදෙසින් ආරම්භ වූ මෙම උද්ඝෝෂණය බොරුල්ල මංසන්ධිය වෙතට පැමිණෙන විට පොළීසිය එයට බාධා කරමින් රාජගිරිය දෙසට යාමට උත්සහ දැරූ විරෝධතාකරුවන් නාරාහෙන්පිට දෙසට හරවා යැවීය. ඉන්පසු ඔවුන් සේනානායක හංදිය අසලට පැමිණ නැවතත් රාජගිරිය දෙසට යාමට උත්සහ දැරීමේදී පොළීසිය සමග ගැටුම්කාරී තත්වයක් ඇති විය. ඒ අවස්ථාවේදී රාජගිරිය දෙසට යන මාර්ගය පොළීසිය විසින් මාර්ග බාධක යොදා අවහිර කර තිබිණී. කෙසේ වෙතත් එම අවස්ථාවේ දී විරෝධතාකරුවන් එම මන්සංදියේ වාඩිලාගෙන තම විරෝධය ප්‍රකාශ කල අතර පසුව බොරැල්ල කනත්ත අසලට පැමිණ රැස්වීමක් පැවත්වීය.

මෙහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම්, ජොසප් ස්ටාලින් ‛‛මෙතනට අද විවිධ බලවේග ඇවිල්ලා ඉන්නවා. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ පොදු මහජනතාව මෙතනට ඇවිල්ලා ඉන්නවා. අපි අනිවාර්‍යයෙන්ම මේ 18වන සංශෝධනය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තත් වීදියේදී අපි එය පරාජය කරනවා.’’

‛‛වාසුදේව නානයක්කාර මාධ්‍යයට කල ප්‍රකාශය අවස්ථාවාදීයි.’’ වාමාංශික ව්‍යාපාරය

September 7, 2010 by Karapoththa  
Filed under Colombo, Democracy, Governance, Media

විධායකය පිළිබද වමාංශීක ව්‍යාපාරය මීට පෙර කළ ප්‍රකාශ

2005 දී වාමාංශික පක්ෂ එකතුව

http://www.mahindarajapaksa.com/PENews/oct2905_01.php

වමාංශික පක්ෂ පහේ එකතුව (ලංකා සම සමාජ පක්ෂයල ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයල ශ්‍රී ලංකා මහජන පක්ෂයල දේශ විමුක්ති ජනතා පක්ෂයල සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ) ජනාධිපති අපේක්ෂකල අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තනය ප්‍රතිපත්ති ප්‍රකාශනයල වමේ පක්ෂවලට පූර්ණ වශයෙන් එකඟවිය නොහැකි යම් යම් කාරණා තිබුණා වුවත් මූලික වශයෙන් ජනතා හිතවාදි ප්‍රතිපත්ති මාලාවක් ලෙස සලකන බව ඊයේ නිකුත්කළ පුවත් පත් නිවේදකයකින් කියා සිටියේය. එම නිවේදනයේ මෙසේ සඳහන් විය. ‛ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මහින්ද චින්තනයේ ඇතුළත් වන පොරොන්දු වාමාංශික පක්ෂ අගය කරනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමත් ඒ පොරොන්දු අතර ප්‍රධාන වෙනවා’’.

2010 මැයි මාසයේදී වාසුදේව නානායක්කාර

http://www.dailymirror.lk/print/index.php/news/front-page-news/11251-vasu-wants-executive-presidency-abolished.html

බලයේ සිටින ජනාධිපතිවරයෙකුට වාර දෙකකට වඩා එම ධුරය සඳහා තරඟ කළ නොහැකි වන ලෙස ව්‍යවස්ථාවෙන් පනවා ඇති සීමාවන් අවලංගු කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට වමේ පක්ෂ විරුද්ධයි. ලංකා සම සමාජ පක්ෂයල ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයල සහ ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ යන පක්ෂවලින් සමන්විත වන වමේ පොදු පෙරමුණ මැයි 31 වන දා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාතික පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේදී සම්මන්ත්‍රණයක් පවත්වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ඊයේ ප්‍රකාශ කර සිටියේ විධායක ජනාධිපති ධුරය වෙනුවට විධායක අගමැති ධුරයක් ස්ථාපිත කිරීමට වමේ පොදු පෙරමුණ සිය විරෝධය පළ කරන බවයි.

2010 ජූනි වාසුදේව නානායක්කාර

http://www.bbc.co.uk/sinhala/news/story/2010/06/100610_unpcon.shtml

විධායක ජනාධිපති ධුරය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරකට තමන් විරුද්ධ වන බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය. තමන් ඉතිහාසයේ සෑම අවස්ථාවකදීම විධායක ජනාධිපතිධුරයට විරුද්ධව පෙනී සිටි බව ඔහු කියා සිටියේය. ආණ්ඩුවත් සමග සිටිමින්ම ජනාධිපතිට තවත් ධුර කාලයක් බලයේ සිටීම සඳහා ඉඩ ලබා දෙන ක්‍රියාමාර්ගයකට තමන් විරෝධය පළ කරන බව ඔහු ප්‍රකාශ කළේය.

දින කීපයකට ඉහතදී වාසුදේව නානායක්කාර මහතා අද දෙරණට කළ ප්‍රකාශයක්

http://www.adaderana.lk/news.php?nid=9651

වමේ පක්ෂ 1978 ව්‍යවස්ථාවට එරෙහි වූණා සේම මේ යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලටත් එරෙහි වන වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මහ ලේකම් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නායක වාසුදේව නානායක්කාර මහතා මීට ටික මොහොතකට පෙර අද දෙරණට කියා සිටියේය.

වාසුදේව නානායක්කාර අද ලංකාදීප

වමේ පක්ෂ එකතුව 18 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පාර්ලිමේන්තුවේදි ඡන්දය ප්‍රකාශ කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ පැවසීය.

18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද මාධ්‍ය නිෙව්දනය – වාමාංශික ව්‍යාපාරය

18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දීමට සමාජවාදී ජනතා පෙරමුණ ගත් තීන්දුව ලංකා සම සමාජ පක්‍ෂයේ හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ බහුතර තීන්දුව නොවේ.

සමාජවාදී ජනතා පෙරමුණ සමන්විත වන පක්‍ෂ 2ක් වන ලංකා සම සමාජ පක්‍ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනයට පක්‍ෂව ඡන්දය භාවිතා නොකිරිමට තීරණය කර තිබියදීත් එම තීරණ නොතකා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දීමට ලසසප හා ප්‍රවාපෙ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගත් තීන්දුව අප තරයේ ප්‍රතික්‍ෂේප කරමු. සමාජවාදී ජනතා පෙරමුණ මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතයට විරුද්ධවූවත්, මේ අවස්ථාව සලකා එයට පක්‍ෂව ඡන්දය ලබාදෙන බවට වාසුදේව නානයක්කාර සහෝදරයා මාධ්‍යයට කල ප්‍රකාශය අවස්ථාවාදී මෙන්ම එම පක්‍ෂවල බහුතරයේ තීන්දු උල්ලංඝනය කිරිමකි.

සමාජවාදී ජනතා පෙරමුණ මෙම සංශෝධනයට සහය පලකිරිමට ඉදිරිපත්වීම අනාගතයේදී රටතුල අධිකාරිවාදී පාලනතන්ත්‍රයක් ඇතිකිරිමට අනුභලදීමක් ලෙස සැලකිය යුතුවේ. විශේෂයෙන්ම දීර්ඝ කාලයක් පුරා වාමාංශික ව්‍යාපාරය ගෙනගිය අරගලය හා වාමාංශික හෘදසාක්‍ෂිය අමු අමුවේ පවා දීමක්ය. මෙම තීරණයත් සමඟ සමාජවාදී ජනතා පෙරමුණේ නායකත්වයේ අවස්ථාවාදී භාවය හා දේශපාලනික බෙලහීනභාවය පෙන්නුම් කරයි. කෙසේවූවත් මෙම ව්‍යවස්ථා සංශෝධනයට හා එමගින් ඇතිවිය හැකි දේශපාලන අධිකාරිවාදය පරාජය කිරිමේ වාමාංශික ව්‍යාපාරයේ අරගලය දිගටම ගෙනයන අතර එම සාමුහික අරගලයට සියළුම ප්‍රගතිශීලී බලවේගවලට ආරාධනා කරමු.

අත්සන් කලේ

අධිනීතිඥ අශෝක වීරසිංහද සිල්වා (ල.ස.ස.පෙ භාණ්ඩාගාරික හා දේශපාලන මණ්ඩල සභික)
විමල් රුද්‍රිගූ (ල.ස.ස.පෙ නි. ලේකම් හා දේශපාලන මණ්ඩල සභික)
අධිනීතිඥ ලාල් විජේනායක (ල.ස.ස.පෙ දේශපාලන මණ්ඩල සභික)
අධිනීතිඥ පර්සි වික්‍රමසේකර (ල.ස.ස.පෙ දේශපාලන මණ්ඩල සභික)
ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න (ල.ස.ස.පෙ දේශපාලන මණ්ඩල සභික)
ටී. එම් රෂ්ඩීන් (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික හා සභාපති ලංකා කම්කරු සම්මේලනය)
චමීර පෙරේරා (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික හා ප්‍රධාන ලේකම් සම සමාජ තරුණ සමිති මහා සංගමය)
හෙළරුවන් සේනාරත්න (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික)
ඒ. ඇස්. ඇම්. ෆාරුක් (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික)
ආචාර්‍ය කුමාර් ඩේවිඩ් (ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)
ආර්. පී. ලංකාලෝක ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
කුවින්ටස් ලියනගේ ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
ඩඩ්ලි කලන්සූරිය ආරච්චි ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
ඩබ්. කේ. විලේගොඩ ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
ඩිශාන් ධර්මසේන ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)
තිසුන් වනසිංහ ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)
එච්. ඒ. ඒ. චන්ද්‍රපාල ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)

’චින්තනයේ’ යකඩ ඇණ


පසුගිය දවස්වල ලංකාව තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එක් ප්‍රවෘත්තියක් වූයේ අරාබිකරයේ ගෘහ සේවයට ගිය අසරණ කාන්තාවකගේ සිරුරට ඇණ ගැසීමේ ප්‍රවෘත්තිය යි.

ඉහත පිංතූරයෙන් දැක්වෙන්නේ පසුගිය වසරේ ජූනි 1 දින ‛චින්තනයට’ අනුව මෙහෙය වූ මැර හමුදාවන්ගේ පැහැර ගැනීමට ලක්ව කඩා බිඳ දමන ලද මාගේ වම්පාදය බද්ධ කිරීමට කොළඹ මහරෝහලේ වෛද්‍යවරුන් ගසන ලද ඇණ සහ තහඩුයි. හදිසි අනතුරු ඒකකයේ වෛද්‍යවරුන්ට මෙළෙස ඇණ සහ තහඩු ගසා මාගේ පාදය බද්ධ කිරීමට සිදු වූයේ ’චින්තනයට’ ගැති නොවී රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යැවීමට මූලික පිඔුරු පත් සකසන විට ඊට එරෙහිවීම හේතුවෙනි.

එදා අප කෑමොර දුන්, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යැවීමේ මිනීපෙට්ටියේ අවසන් ඇණය ගැසීම මේ මස 8 වනදාට සිදුවේ. ඊට අතඔසවන හෝ මොනයම් අයුරකින් රුකුල් දෙන සියලු දෙනා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යැවූ මිනී පෙට්ටියට ඇණ ගැසීමට හවුල් වුවන් වශයෙන්, සදාතනික ද්‍රොහීන් ලෙස ඉතිහාසයේ නොමැකෙන අයුරින් සටහන් වනු ඇත.

ඇසිය යුත්තේ…ද්‍රෝහින් තොප ද? අප ද?

පොද්දල ජයන්ත
ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ හිටපු මහලේකම්

ගම, නගරය ආක්‍රමණය කිරීම නිසා හඳගමගෙන් පොළීසිය ප්‍රශ්ණ කරයි.

‛ගම නගරය ආක්‍රමණය කරයි’ යන තේමාව යටතේ අද(2) ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කර තිබූ සංවාදයක ප්‍රධාන කථීකයා වූ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම මහතාගෙන් ඒ පිළිබදව පොළීසිය ප්‍රශ්ණ කර තිබේ.

මෙම සංවාදයේ පුර්ව ප්‍රචාරක පෝස්ටරයක් කොළඹ නගරයේ අද අලවා තිබූ අතර එහි හඳගම මහතාගේ නම පමණක් සඳහන් වී ඇති නිසා පොළිසිය ඔහුගෙන් ප්‍රශ්ණ කළ බව අද[2] ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයෙ පැවති එම සංවාදයේදී අශෝක හඳගම මහතා පවසා සිටියේ ය.

‛මට ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් ආරාධනාවක් ලැබිලා තියනවා මට කතාවක් කරන්න. ඒක නිසා මම ඒකට යනවා ඔයාලටත් ඕන නම් ඇවිල්ලා අහගෙන ඉන්න’ යනුවෙන් පොළිසියට පැවසූ බව හඳගම මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය. කෙසේ වෙතත් පොළිසිය පවසා ඇත්තේ මේ දිනවල පෝස්ටර් ඇලවීම තහනම් නිසා මෙසේ ප්‍රශ්ණ කිරීමට පැමිණි බවත් ය.

කෙසේ වෙතත් මෙවැනි සංවාද, නාට්‍ය, චිත්‍රපට වැනි සංස්කෘතික කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොළීසිය තම බලය භාවිතා කරමින් විවිධ ලෙස ඒවා වාරණය කිරීමට පසුගිය කාලයේදී විවිධ උත්සහ ගන්නා ලදි.

එහි ආසන්නම සිද්ධිය වාර්තා වූයේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‛දෙබිඩ්ඩෝ’ නාට්‍ය වේදිකා ගත වන මොහොතක පොළිසිය පැමිණ ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමත් සහ එහි දුම්පානය කරන ලද ජවනිකාව ඉවත් කිරීමට බල කිරිමත් ය.

සටහන

පෝස්ටර් ඇලවීම නිසා පොලීසිය ප්‍රශ්ණ කරන්නේ නම් දිනකට කොළඹ නගරයේ අලවන ලද පෝස්ටර්වල හිමිකරුවන්ගෙන් පොළිසිය මෙසේ ප්‍රශ්ණ කිරීමකට ලක් කල යුතුය. එැවැනි සිදුවීමක් මෙතෙක් කිසිදු ස්ථානයක වාර්තා වී නැත. එබැවින් මෙය කලා පොලීසියේ තවත් එක් පොළිස් වැඩක්ය. කොළඹ ඇතුලු නගරවල ඇලවූ පොස්ටර් සඳහා මෙම වෙබ් අඩවිය බලන්න www.lankaposter.wordpress.com.

ෙම් එම ෙපා්ස්ටරය යි.

‛යුද්ධය සහ සාමය’ චිත්‍ර ප්‍රදර්ශණයක් කොළඹ දී.

යුද්ධය සහ සාමය තේමාව යටතේ චිත්‍රකලා ප්‍රද්ර්ශනයක් මේ දිනවල කොළඹ ලයනල් වෙන්ඩ් සහ හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වේ. එම ප්‍රදර්ශනය සඳහා චිත්‍ර ශිල්පීන් රැසකගේ නිර්මාණ ඇතුළත්ය.

චන්ද්‍රගුප්ත තේනුවර, ජගත් වීරසිංහ, කිංස්ලි ගුණතිලක, අනෝමා විජේවර්ධන, ටී ශානතානන්, මුහාන්ඩ් කාදර්, ජී.ආර්. කොන්ස්ටන්ටයින්, කමලා වාසුකී, අනෝමා රාජකරුණා, සුජිත් රත්නායක, ටී.පී.ජී අමරජීව, ප්‍රසන්න රණබාහු, චාමික ජයවර්ධන, කුසල් ගුණසේකර, අනුර ක්‍රිෂාන්ත, බන්දු මනම්පේරි, වයිදේහි රාජසිංහම්, ඉනෝකා ද සිල්වා, සනත් කලුබද්දන, සජීවනී හේවාවිතාරණ, නිලූකා වීරසිංහ හා කිකෝ යන චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර රාශියක් මෙම ප්‍රදර්ශණයට ඇතුලත් වෙ.

ගාල්ලේ උද්ඝෝෂණයට එල්ල කළ පොලිස් ප්‍රහාරය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීමක්. – FMM

ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සංධානයේ ගාල්ලේ පැවති උද්ඝෝෂණයට එල්ල කළ පොලීස් ප්‍රහාරය අදහස් ප්‍රකාශ කිරීමේ, රැස්වීම් සහ විරෝධතා පැවැත්වීමේ නිදහස හා කැමැති දේශපාලන මතයක් දැරීමේ අයිතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බවත්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට යළි යළිත් බරපතල අනතුරු ඇඟවීම් කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සීතා රංජනී විසින් අද(13) නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ, ‛‛අත්අඩංගුවේ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් අගෝස්තු 12 වැනිදා ගාල්ල නගරයේදී පැවැත්වූ විරෝධතාවට එල්ල කළ පොලිස් ප්‍රහාරය සහ එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම හා ඔවුනට පොලීසිය තුළ දී පහර දීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් තරයේ හෙළා දකී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති හා විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තිය මඟින් ආරක්‍ෂා කර ඇති, අදහස් ප්‍රකාශ කිරීමේ, රැස්වීම් සහ විරෝධතා පැවැත්වීමේ නිදහස හා කැමැති දේශපාලන මතයක් දැරීමේ අයිතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් වන මෙම ක්‍රියාව මඟින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට යළි යළිත් බරපතල අනතුරු ඇඟවීම් කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි.

වාර්තා වන ආකාරයට සාමකාමීව පැවැත්වූ මෙම උද්ඝෝෂණයට එරෙහිව පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. පොලීසියේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව උද්ඝෝෂකයන් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර එම අවස්ථාවේදී පොලීසිය විසින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සාමකාමී උද්ඝෝෂණය වැළැක්වීමට පොලීසිය ගත් මර්දනකාරී ක්‍රියාවට එරෙහිව හා තමන්ගේ පිරිස් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගාල්ල පොලිස් ස්ථානයට ගිය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ අජිත් කුමාර යන මහත්වරුන් සහ පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතාට පොලීසිය තුළ දී පහර දී අත්අඩංගුවට ගෙන ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීම ද නොතැකූ, පොලීසියේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම මඟින් මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට කර ඇත්තේ ඉතාමත් බරපතල අනතුරු ඇඟවීමකි. අනෙක් අතින් මෙය අසමාන ලෙස සැලකීමකි. මීට පෙර රජයේ ඇමැතිවරයකු කළ උපවාසයේදී රජයේ නිල ප්‍රකාශකයින් කියා සිටියේ, උද්ඝෝෂණ, උපවාස, විරෝධතා කිරීමට ඕනෑම කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇති බවකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ වැඩ කටයුතුවලට බාධා කරමින් කළ එම උපවාසයට සම්පූර්ණ පොලිස් ආරක්‍ෂාව සපයා දී තිබිණ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයේදී එම ප්‍රජාතන්ත්‍රවාදය අසමාන සැලකීමක් ලෙසට ලඝු වී ඇත. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සාමකාමී විරෝධතා දැක්වීමේ හා රැස්වීමේ අයිතිය මෙන්ම කැමැති දේශපාලන මතයක් දැරීමේ හා නියැලීමේ අයිතිය අනතුරට ලක් කරන මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් නිහඬ වී සිටීමෙන් අනාගතයේ දරුණු ප්‍රති විපාකවලට මුහුණ දීමට සිදු විය හැකි බව මේ රටේ පුරවැසියන් වෙත නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර සිටී.’’

හිටපු නි. ඇමති මර්වින්ගෙ කතා වස්තුවෙන් බිදක්..[Video]

හිටපු නි. ඇමති මර්වින්ගෙ කතා වස්තුවෙන් බිදක්..

YouTube Preview Image

විජිත හේරත් ඇතුලු පිරිස අත්අඩංගුවට – මාධ්‍යවේදීන් ද තුවාල ලබයි.

ඊයේ(12) ගාල්ලේ පැවති උද්ඝෝෂනයේදී අත්අඩංගුවට පත් ප්‍රජාතන්ත්‍රාදී ජාතික සංන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රී විජිත හේරත් ඇතුලු පිරිස ලබන 16වනදා දක්වා බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවට වාර්තාවේ.

ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන ලෙසත් ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංන්ධානය එම උද්ඝෝසණය සංවිධානය කර තිබූ අතර එහිදී පොලීසිය විසින් කඳුලු ගැස් ප්‍රහාරයන් එල්ල කිරීමේදී එය වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදින්ටද තුවාල සිදුවිය. එසේ තුවාල ලැබූ මාධ්‍යවේදියෙක් මේ වන විටද කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

ජායාරූප – www.lankatrouth.com

Next Page »