බිම් ගෙයි සිර මැදිරි (බංකර) ද නිසොල්මන් ය: පශ්චාත් යුද ලංකාව තුළ තව මත් පවතින අවිනිශ්චිතතා

කුමාර් ඩේවිඩ්

ලෝකය උමතු වෙමින් ද මේ පවතින්නේ? ස්පාඤ්ඤයේ දී ෆ්‍රුන්කෝගේ ෆැසිස්ට් පාලන තන්ත්‍රය කළ යුද අපරාධ සොයන්නට ගත් උත්සාහයන්ට සම්බන්ධ ප්‍රමාද දෝෂයක් නිසා නඩුකාරයෙක් නඩුවක පැටලී සිටී. ශ්‍රී ලංකා ආණ්ඩුවේ අඹ යහළුවා වන බුරුමයේ ගරිල්ලා ආඥාදායකත්වය, මැතිවරණය සඳහා සූදානම් වීමේ දී බුරුම ශෛලිය අනුගමනය කරමින් සූ කීගේ එන්.එල්.ඩී. ආණ්ඩුව බලෙන් විසුරුවා ඇත. පැනමාවේ හිටපු ආඥාදායක නොරීගා ඔහු සතු මුදල් උපයා ගත් ආකාරය වසං කිරීම පිළිබඳ චෝදනාවලට මුහුණ දීම සඳහා පැනමාවට පිටුවාහල් කර ඇත. ඒ අතරවාරේ තව මත් ඔහු එන තුරු පොරොත්තු වෙමින් පැනමාවෙහි සිටින ඔහුට චෝදනා කරන අය ප්‍රන්ස බන්ධනාගාරයක දී ඔහු මිය යා දෝ යි කිඹුල් කඳුළු හෙළමින් සිටිති. ඔහු සිය අපරාධවලින් වඩාත් ම තුච්ඡ ඒවා කළේ පැනමාවේ දී ය. මත්ද්‍රව්‍ය ජාවාරම් නිසා 17 අවුරුද්දක් එක්සත් ජනපද බන්ධනාගාරවල හිර බත් කෑ ඔහුට මේ නිසා තවත් කාලයකට හිර බත් කන්නට සිදු විය හැකි ය. අපගේ මව් බිමේ දී ජනාධිපති රාජපක්ෂ ජනමාධ්‍ය සම්බන්ධයෙන් අමාත්‍ය අධීක්ෂණ මණ්ඩලයක් පත් කළේ ය; ලංකාව බිහිසුණු නාසි භටකායකට සම කළ මෙම පියවර පසුව ආ පස්සට ගන්නට ඔහුට සිදු විය. හැම තැනක ම හිටි අඩියේ මතු වන පහර දී ගැනීම්! මේ සියල්ල ම එකට ගෙන සමස්ත අවබෝධයක් ඇති කර ගත හැකි ද? නැත් නම් ඒවා, කිසි සේත් ම “විස්තර කළ නොහැකි, විස්තර කළ හැකි, විස්තර කළ හැකි-නොහැකි, ගැඹුරු සහ තේරුම් ගත නොහැකි තනි තනි සිදුවීම් (නින්දා කිරීම්) ද?
යුද්ධය අවසන් ය. සාමය ඇති වී ඇතැයි ඔබ කියනු ඇත; අඩු ගණනේ සන්නද්ධ ගැටුම, ගුවන් ප්‍රහාර, කාල තුවක්කු වෙඩි, මරා ගෙන මැරෙන බෝම්බ, සහ රාජ්‍ය සහ එල්ටීටීඊ ත්‍රස්තවාදය මර්දනය වී ඇතැයි කියනු ඇත. ඒක හොඳ යි, නැද්ද? ඔව් ඒක ඇත්ත. (එහෙත් යුද අපරාධ හැම දා මත් යටපත් වී තිබෙනු ඇද්ද යන කරුණ ගැන සටහනක් තබන්නට මම මෙහි දී ඉදිරිපත් නො වෙමි; මන්ද, මට කියන්නට ඇති දේ මම දැනට මත් කියා ඇත්තෙමි.) “එහෙනම් ඔබ කනස්සල්ලට පත් වෙලා ඉන්නෙ මොකක් නිසා ද?” ඔබ අසනු ඇත. “මට අනාගතය ගැන ඒ තරම් විශ්වාසයක් නැහැ” මම පිළිතුරු දෙමි. නැත් නම් මම ඊට වඩා ටිකක් විස්තරාත්මක වෙමි: ආණ්ඩුව එක දිගට ම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ප්‍රහාරය ප්‍රභාකරන්ලාගේ සහ විජේවීරලාගේ ඊළඟ පරම්පරාව උපද්දමින් තිබේ. මේ ගැන රූසෝ මීට වඩා උද්වේගකර විය. ඔහු මෙසේ කී ය: “බිම් ගෙයි සිර මැදිරි නිසොල්මන් ය, ඒත් බිම් ගෙයි සිර මැදිරි ප්‍රිය මනාප තත්ත්වයට පත් වන්නට ඒක විතරක් සෑහේ ද?” පොඩ්ඩක් ඉන්න, මේ කතාබහ මලානික වේගෙන යි එන්නෙ; අපි අර ලේ කෝප කරවන විශ්ලේෂණය නවත්තපු තැන ඉඳල ආපහු පටන් ගනිමු.

යුද ජයග්‍රහණයක් යනු කුමක් ද?

එල්ටීටීඊය කම්මුතු වීමේ වැදගත්කම ගැන එකිනෙකට පරස්පර විරෝධී අදහස් පැතිර පවතියි. ඉන් හතරක් විස්තර කරන්නට මට ඉඩ දෙන්න.

අ) සිංහල ජාතිකවාදීන් කියන කතාව: ලංකා මාතාව වනසා දැමූ ත්‍රස්තවාදී රාක්ෂසයෙකු නැති භංග කර දමා ඇත. දැන් ඔක්කොම හරි. එතකොට දෙමළ ගැටලුව! මොන දෙමළ ගැටලුවක් ද? කනස්සල්ලට පත් වෙන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. බලය බෙදා හැරීම, මොන බලය බෙදා හැරීමක් ද? සටන් බිමේ දී අපේ රණ විරුවන් පරද්දන්න බැරි වුණු ලේ පිපාසත ඉන්දියන්කාරයො යි අධිරාජ්‍යවාදී බටහිර යි දැන් රට ඇතුළෙ දේශපාලනික කුණු වීමක් වගා දිගා කරමින් ඉන්නවා. ඒත් ඒක කවදාවත් හරි යන්නෙ නැහැ! මහජනයා චින්තනය ක්‍රියාත්මක කරන්න අපේ ශ්‍රේෂ්ඨ නායකයාට දැවැන්ත ජනවරමක් පළ කළා, ලබා දුන්නා; ඔහු සීමාව පැනලා ‛දෙමළුන් දිහාවට’ එක සෙන්ටිමීටරයක් වත් නො යා යුතු යි.

ආ) වාමාංශිකයන්ගේ/ලිබරල්වාදීන්ගේ අර්ථ නිරූපණය: ඓතිහාසික වශයෙන් ගත්තා ම එල්ටීටීඊය බිහි වුණේ සිංහල රාජ්‍යයේ මිලිටරි යකඩ සපත්තුව යටතේ දෙමළ ජාතිකයන්ට සිද්ධ වුණු අසාධාරණය නිසා. ඊළඟට ඒ ගොල්ලොත් ඔලමොට්ටල විදියට යුද්ධයෙන් සහ ත්‍රස්තයෙන් ප්‍රතිචාර දක්වලා තමන්ගේ ම මිනී වළ කපා ගත්තා; කොහොම ගත්තත් දෙමළ ඊළම කියන්නෙ දවල් හීනයක්. එල්ටීටීඊයේ විනාශයෙන් දෙමළ ජනයා අනාථ වුණා. මින් මත්තට ආණ්ඩුව ඔවුන් ඉන්නව ද නැද්ද කියල වත් හොයන්නෙ නැහැ; රාජපක්ෂ ඔවුන්ට කිසි දෙයක් “ලබා දෙන්නෙ” නැහැ, ඒ ගොල්ලන්ට පුළුවන් එක ම දේ මගෝඩි වැඩ කරන එක විතර යි. ඒ අතරෙ පාලන තන්ත්‍රය ආඥාදායකත්වය ශක්තිමත් කර ගන්න මැතිවරණ සහ යුද ජයග්‍රහණයෙන් ඇති වුණු ආවේගශීලිත්වය ගසා කනවා.

ඇ) දෙමළ බෙදුම්වාදීන්ගේ, වැඩි වශයෙන් ම විදේශගතව සිටින අය අතරින්, මතු වන ලතෝනිය: සිංහල රාජ්‍යය දිල්ලියේ ආධාර ඇතිව දෙමළ ජනයා මහා ජන සංහාරයකට ලක් කරලා සිංහල-බෞද්ධ ආධිපත්‍යය තහවුරු කළා. ඒත් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් කරන අරගලය අවසන් නැහැ; කොඩිය ළෙල දෙවා තියා ගන්න තියෙන ක්‍රම තමයි; විදේශගත වී සිටින අය තුළ පවතින ඊළම් ජනමතය. අන්තර් ජාතික උපාය මාර්ග සහ බටහිරදිග ආණ්ඩුවලට පීඩනය යෙදීම යි.

ඈ) ලාංකික මැකාතිවාදය: සෙනෙට් සභික මැකාති හැම ඇඳක් යටම කොමියුනිස්ට්වාදියෙකු දුටුවා, ඇමරිකාව තුළ හැම රැඩිකල් හඬක්ම ලුහු බැඳ ගියා. යුද ජයග්‍රහණය නොතකා, ලාංකික පාලන තන්ත්‍රයේ එක් අතක තියෙන්නෙ, විරුද්ධ අදහස් දරන්නන්ගේ හඬවල් නිහඬ කිරීමේ කෙටි මගක් හැටියට ත්‍රස්තවාදයේ සදාතන බව ගැන කරන කන් අඩි පැලෙන බෙරිහන් දීම් සහ “ද්‍රෝහීන්” එල්ලා මැරීමට කරන අයැදීම්.

මේවාත් අනෙක් අතරමැදි උපකල්පනත් එකම යථාර්ථයක් පිළිබඳව, එකිනෙකට වෙනස් ක්‍රියාකාරකයන්ගේ අවබෝධය අනුව, එකිනෙකට වෙනස් ආලෝක ධාරා විහිදුවයි. සිංහල ජාතිකවාදීන් කියන කතාව රාජ්‍ය පාලනය කෙරෙහි වැඩි අනුග්‍රාහකාත්මක බවක් දක්වන අතර ඒ නිසා අනෙක්වා යටකර ගෙන සහ දැනට පැතිර පවතින අදහස ද වනු ඇත. බලය කරා ළඟා වීමේ දී හිට්ලර් සහ මුසෝලීනි තැබූ අවසන් පියවර මැතිවරණ ජයග්‍රහණ නිසා පහසු වූ අතර ප්‍රමෝදයට පත් ජන සමූහයා ඔවුන්ට සුභාශිංසනය කළහ. එම ජනවරම ඉවත් කෙරුණේ අභ්‍යන්තර විරුද්ධත්වයෙන් නොව, බාහිර මැදිහත් වීමෙනි. යුද්ධයේ නොඇදහිය හැකි සන්ත්‍රාසයන්ගෙනි.. මරණයෙන් සහ විනාශයෙනි. මෙය බියකරු සිතිවිල්ලකි; ලංකාවේ දී යුද ජයග්‍රහණයෙන් ක්ෂණික ඉක්බිත්තෙහි විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණ ලැබීම අඛණ්ඩව සිදු වන දෙයක් බවට, ක්‍රියාවලියක් බවට පත්ව ඇත; එය ආඥාදායකත්වය තහවුරු වීම පිළිබඳ පෙරනිමිත්තකි.

2010 මැයි මාසයෙන් සලකුණු වන්නේ යුද ජයග්‍රහණයේ පළමු සංවත්සරය පමණක්ම නොවේ. එම ජයග්‍රහණය ස්ථිර කරමින් ලද දැවැන්ත මැතිවරණ වරම් දෙකකින් එම ජයග්‍රහණය තහවුරු වීම සලකුණු කරන පළමු මාසය ද වේ. මා නැවත කිව යුතු ය, යුද්ධය සහ මැතිවරණ වරම එකිනෙකින් වෙන් කළ නොහැකි දෙයක් බවට පත් විය. එය එකම ක්‍රියාවලියක් බවට පත් විය. සුලුතරයන් සමග එක හා සමාන සම්බන්ධතා පවත්වා ගැනීම ප්‍රතික්ෂේප කළ ජනවරම සිංහල මහජනයාගේ කැමැත්ත පිළිබිඹු කළේ ය; අපි ඊට මුහුණ දෙමු, දුෂ්කර සත්‍යය ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් නො වෙමු. ප්‍රජාතන්ත්‍රවාදය සහ සිවිල් සමාජය සඳහා පවතින අවකාශ ඉවසිය නොහැකි ලෙස හැකිළී ඇත. මා මෙහි දී සිවිල් සමාජය යන වචනය යොදා ගන්නේ රාජ්‍ය නොවන සංවිධාන එය යොදා ගන්නා නොවැදගත් අර්ථයෙන් නො වේ. මා එය යොදා ගන්නේ දහඅට සහ දහනව වන සියවස්වල ප්‍රබුද්ධත්වයේ කාල පරිච්ඡේදයට අයත් දේශපාලන විවරණවල දී එය යොදා ගත් අර්ථයෙනි. එනම්, සිවිල් සමාජය යනු එක් පැත්තකින් රාජ්‍යයෙන් ද අනෙක් පැත්තෙන් පවුලේ පෞද්ගලික අවකාශයෙන් ද වෙන් වූ පුළුල් පොදු අවකාශය යි.

දිගු ගමනකට සූදානම් වීම

වාමාංශික/ලිබරල්වාදී හඬ වූ කලි සදාචාරාත්මක ලෙස සහ තර්කාන්විත ලෙස සංවාදයෙහි යෙදෙන්නෙකු ලබා දෙන ලෙස ඉල්ලා නගන හඬකි. එහෙත් දැන් ඒ හඬ නිහඬ වී ඇත. කොතරම් කාලයකට දැයි මට කිව නොහැකි ය. ආඥාදායකත්වය තහවුරු වුවහොත් අභ්‍යන්තර (ජාතික) ක්‍රියාවලීන්ගෙන් පමණක් එය ආපසු හැරවිය හැකි වේ ද යන්න සැක සහිත ය. එහෙත් මේ මොහොතේ දී ප්‍රජාතන්ත්‍රවාදීන් කළ යුත්තේ කුමක් ද යන්න අපැහැදිලි නැත. ආදර්ශ පාඨ බවට පත් විය යුත්තේ ඉවසීම, සිහි-නුවණ සහ මහජන අධ්‍යාපනය යි. පුරාණ කාලවල දී මහජනයා උගන්වා ගැනීම යනුවෙන් හඳුන්වන්නට පුරුදු වී සිටි දෙය අනුග්‍රහ දැක්වීමක් පිළිබඳ අරුතක් නැගුව ද එය නිවැරදි ය.

අනුග්‍රහ දැක්වීමේ සහ දූෂණයේ ජාලවලට දසදහස් ගණන් ජනයා ස්ව-කැමැත්තෙන් සම්බන්ධ වී සිටිති. ඔවුන්ගේ මානසික පිළිවෙළ සීමාසහිත ය. දසලක්ෂ ගණනක් වූ තවත් පිරිසක් උපේක්ෂා සහගතව ඒ දෙස බලා සිටිති. ඒවා ගැන ඇහැ කන පියා ගෙන සිටින්නට හෝ ඒවායින් සුලු වාසියක් ලබා ගන්නට ය ඔවුන් වැඩියෙන් ඉදිරිපත් වන්නේ. එසේම මේවන විට සාමාජීය ආචාර ධර්ම පිරිහෙමින් පවතී, සදාචාරාත්මක උදාසීන භාවය චාරිත්‍රයක් බවට පත්ව ඇත; ලාංකික සමාජය පවතින්නේ ඉච්ඡා භංගත්වයට පත් වූ තත්ත්වයක ය. මෙය දූෂිත සහ බලයට කෑදර දේශපාලනඥයන් සහ අල්ලසට නැමෙන සහ අකාර්යක්ෂම නිළධරයන් යහපත් මිනිසුන් මත පැටවූ අසාධාරණයක් නොවේ. නැත, සමස්තයෙන් කියැවෙන්නේ එම අදහස නොවේ. මහජනයා ද නොදැනීම සූදුවට සම්බන්ධ වී සිටිති; ඔවුන්ගේ හවුල්කාරයෝ දූෂණයෙන්, බලය අයුතු ලෙස යොදා ගැනීමෙන් සහ අනුග්‍රහ දැක්වීම්වලින් සමන්විත වාතාවරණයක් තුළට පිවිස කැමැත්තෙන් ම තානාන්තර ලබා සිටිති.

දේශපාලන පරිචයන් හැඳින්වීම සඳහා ඒවාට ගැළපෙන වචන අවශ්‍ය ය. ප්‍රාදේශීය-දේශජත්වය (Caciquism) යන්න හුරුපුරුදු යෙදුමක් නොවුණ ද එය අපගේ දේශපාලන ශබ්ද කෝෂයට එක් කර ගැනීම කාලීනව ගැළපෙන්නකි. මෙය වනාහි දේශීය දේශපාලන ලොක්කන්, ප්‍රධාන කොටම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ වාසිය බලාගෙන අවට සිටින වෙනත් අය එක්ව පවත්වා ගෙන යන පාලන ක්‍රමයකි. මීට කලින් මා මාක්ස්වාදී දෘෂ්ටියක් මත පදනම්ව අපගේ පාලන තන්ත්‍රය මාකෝස් වර්ගයේ ඒකාධිපතිත්වය සමග ද ඥාති සංග්‍රහ ධනවාදය සමග ද අනුග්‍රාහකයා සහ සේවා ලාභියා අතර සම්බන්ධතාව සමග ද සසඳා ඇත. මේවා අදටත් වලංගු වුව ද ලාංකික තත්ත්වයට විශේෂ වූ යමක් අත් හැරී ඇත. අප ගමන් කරමින් සිටින්නේ හුරේ දම්මා ගැනීම සඳහා කුලියට ගත්, දේශපාලනය ව්‍යාපාරයක්, එනම් ලාභ ගසා කෑමේ සහ පුරවැසි බලය පැහැර ගැනීමේ ව්‍යාපාරයක් බවට පත් කර ගත් ප්‍රාදේශීය පිරිසක් සමග සහජීවනයෙන් යුතුව සමෘද්ධ භාවයට පත් වෙමින් සිටින ජනතාවාදීව තේරී පත් වුණු ආඥාදායකත්වයක් දිසාවට ය. නගරයෙහි පවතින වඩාත් ම වාසිදායක ව්‍යාපාරය බවට දේශපාලනය පත් වී ඇත. මද කිපෙන කාලයෙහි මදවලින් පීඩිත වුණු සුලුදිය කූපය නමැති මඩ වගුරෙහි පෙරළෙමින් හුන් ගෝනෙකු මෙන් දේශපාලනික අභිලාෂයන් නමැති මඩ වගුරෙහි නැහැවී පෙඟුණු ප්‍රාදේශීය-දේශජ නායකයෝ අධමයහ, ප්‍රාදේශීය-දේශජ නායකයා ප්‍රාදේශීය බල පදනමක් තහවුරු කර ගනියි, ඡන්ද මුදලට ගනියි. තාප්ප පුරවයි. ඡන්ද කඩා ගැනීමට පොර කන තරගකරුවන් සමග සටන් වදියි. දෙවියන්ට ස්තුති වන්නට පොදු ජනයාට නායකත්වය ද දෙයි.

ඉක්මන් යුද්ධයක් විජයග්‍රහණය කිරීමෙන් ඉක්බිතිව අවිනිශ්චිත ප්‍රතිඵල දෙකක් ඇති විය. එකක් නම් තේරී පත් වුණු ආඥාදායකත්වය ලබා ගත් අතිමහත් ජනවරම යි. අනෙක නම් තමන්ගේ වාසියට තෝරා ගත්තවුන්ගෙන් පිරවූ, එහෙයියන්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුව යි. මෙම අභියෝග හමුවේ වාමාංශික සහ ලිබරල්වාදී විකල්පයේ ඉවසිලිවන්ත දිගු කාලීන ව්‍යාපෘතියට සිදු වී ඇත්තේ කුමක් ද? එය ඉවසිලිවන්ත pluripotent සජීවීකරණයක් (මා මෙම වචන ණයට ගත්තේ නූතන ජාන විද්‍යාවෙනි) බවට පත් කරන්නට ඔවුන්ට සිදු වී ඇත. හැම ක්ෂීරපායී සත්වයෙකු ම මුල පුරන්නේ තනි සෛලයකිනි. අනතුරුව ඒවා ගුණ වෙමින් කුඩා සෛල මණ්ඩලයක් බවට පත් වේ. කලල අවස්ථාවේ පසු වන මූලික සෛලවලින් හෙවත් pluripotent සෛලවලිනි එය සමන්විත වන්නේ. අක්මාවල්, වකුගඩු, මාංශ පේශි බවට, ෆැසිස්ට්වාදීන්ගේ නපුරු මොළ ගෙඩි බවට පවා පසුව වර්ධනය වන්නේ මෙම සෛල ය. ස්වාධීන වාමාංශය සහ ඩිමොක්‍රුටික් ලිබරල්වාදීන් මුහුණ දී සිටින pluripotent පුනර්-අධ්‍යාපනය සහ හෘදය සාක්ෂිය ගොඩ නැගීම පිළිබඳ කර්තව්‍යයන් සඳහා ඉවසීම අවශ්‍ය වෙයි. ඔවුන් සිය දිග් ගැසුණු කර්තව්‍යය අඛණ්ඩව කර ගෙන යා යුතු ය. දැන් නො ව, පෙරදැකිය හැකි විවිධාකාර අභියෝගයන් පවතින නිසා එය pluripotent විය යුතු ය; ඔවුන් දක්වන ප්‍රතිචාරය පරිකල්පනාත්මක සහ නම්‍යශීලි විය යුතු ය.

ඇමරිකා එක්සත් ජනපදය තුළ පවතින ටී පාටි නමින් හැඳින්වෙන උන්මත්තක ව්‍යාපාරයට විරුද්ධව කොෆී පාටි නමින් හඳුන්වා ගත් සංවිධානයක් මතු වී ඇත. එය සිත් ගන්නාසුලු කණ්ඩායමකි. දැනට මත් එය 200,000ක අනුගාමිකත්වයක් රැස් කරගෙන ඇත. එය ඇමරිකානු අන්ත දක්ෂිණාංශය නියෝජනය කරන ඔල්මාදකාරයන්ගෙන් ද වර්ගවාදීන්ගෙන් ද ප්‍රතිගාමී ආධානග්‍රාහීන්ගෙන් ද පෝෂණය වී ඇත. කොෆී පාටිය පිළිබඳ සිත් ගන්නාසුලු කරුණ නම්, එය ගොඩ නැගෙමින් පවතින pluripotent දේශපාලන සිහි-නුවණ සහ පූජා මූල සජීවීකරණය පිළිබඳ නැවුම් උදාහරණයක් වීම යි. එය වීදි සටන් වැනි ආක්‍රමණශීලිත්වය සජීවීකරණය වන තැනක් නොවේ. ඒ වෙනුවට එය මහජනයාගේ දැනුවත්කම ඉහළ නංවයි. උත්සුක වන්නන් සහ මැදිහත් වීමට කැමැත්තෙන් පසු වන්නන් දිරි ගන්වයි. කොෆී පාටිය භාවිත කරන අතිමහත් වැදගත්කමක් සහිත වචන මේවා ය: “කෝපයෙන් කියන වාගාලාපවලින් වෙහෙසට පත්ව සිටින උත්සුක භාවයෙන් යුතු, බුද්ධිමත් පුරවැසියන්ගේ එකමුතුවක්” යනු ඉන් එකකි. “ජාතියේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා සියලු දේශපාලනික මතිමතාන්තර උපේක්ෂා සහගත මනසක් තුළට ගෙන එකට යා කිරීම” යනු තවෙකකි (නිව්ස්වීක්, 2010 මැයි 3).

සැබවින් ම ඇමරිකාව පදනම් කර ගත් ආකෘතියක් ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ නොහැකි ය. එහෙත් ඉතා පුළුල් ලෙස සලකා බලන විට ඒ තුළ සිතා බලන්නට යමක් තිබෙන බව පැහැදිලි ය. අප පියවරක් පස්සට ගොස් ප්‍රාදේශීය-දේශජත්වය අවබෝධ කර ගන්නේ කොහොම ද, අප සියලු මතිමතාන්තරවලට අයත් උත්සුකතාවක් සහිත පුරවැසියන්ගේ සහයෝගය pluripotent කිරීම සඳහා දිගු කාලීන දැක්මක් ඇති කර ගන්නේ කොහොම ද.? මට ඒත්තු යන හැටියට, අඩසියවසක් තිස්සේ අප වහලුන් කර ගෙන සිටි පැරණි දෘෂ්ටිවාදාත්මක සළුපිළි ඉවත ලෑමට, යල් පිනූ සංවිධානීය මන්තරවලට පා පහර දීමට කාලය පැමිණ ඇත. අලුතින් සිතන්නට කාලය පැමිණ ඇත. ප්‍රායෝගිකව සිතන්නට කාලය පැමිණ ඇත.
2010 මැයි 24 groundsview.org ෙවබ් අඩවියට ලියනලද ලිපිය

දෙමළ ප්‍රශ්නය සහ ධනවාදයේ ගෝලීය අර්බුදය


වෙන ම රාජ්‍යයකට සටන් වැදුණු දෙමළ කොටි හමුදා පරාජය කර ශ්‍රී ලංකාව මිලිටරි ජයග්‍රහණය ලද තැන් පටන් මුළු අවුරුද්දක් ම ගෙවී ඇත. විජිත සමයෙහි පටන් ම සිංහල බහුතර රාජ්‍යයට වද දුන් ජනවාර්ගික ගැටුම සමථයට පත් කිරීමට ජයග්‍රාහී මහින්ද පාලන තන්ත්‍රය දැන් උදාර ලෙස දේශපාලන විසඳුමක් ප්‍රකාශයට පත් කරනු ඇතැයි බොහෝ දෙනෙකුට උතුම් බලාපොරොත්තු තිබිණ. කෙසේ වුව ද, ප්‍රමාණවත් බලය බෙදා හැරීමේ පැකේජයක් හෝ අඩු ගණනේ ආණ්ඩුව යම් කලක් වාචිකව සහාය දී ගෙන සිටි ඊනියා ඒකීය විසඳුම පවා හඳුන්වා දෙන ලකුණක් තව මත් පෙනෙන්නට නැත.

සිංහල බෞද්ධ බහුතරයේ ප්‍රමුඛ ජාතික ප්‍රාර්ථනාව අනුව – බුදුන් වහන්සේ ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට සමන් දෙවියන් පත් කළේ අව්‍යාජ බුදුදහමේ චිරස්ථිතිය පිණිස පොළෝ තලය මත පවතින එක ම බිම්කඩ එය යැයි සලකා ය – දෙමළ ප්‍රශ්නයට ඒකීය විසඳුමක් ලබා දීම අන් කවර ආකෘතියකට ද වඩා දූරදර්ශී ය.
කෙසේ වුව ද, ඉහළින් ම එදිරිවාදී වී සිටින දෙමළ ප්‍රජාව ඒකීය විසඳුමක් කරා ආකර්ෂණය කර ගැනීම කොහෙත් ම ලෙහෙසි කටයුත්තක් නො වේ. විදේශවලට පලා ගිය – දැන් ඉහළින් ම ඇවිස්සී සිටින – දෙමළ ජනයා වේගයෙන් දෙමළ ජනයා අතර යළි පැන නැගෙමින් පවතින බෙදුම්වාදී දෘෂ්ටියෙන් මුදා වසඟ කර ගැනීම, සමහර විට මධ්‍යම ආණ්ඩුව අංග සම්පූර්ණ බලය බෙදා හැරීමේ ආකෘතියක් ඉදිරිපත් කිරීමට වඩා අඩු දෙයකින් කර ගත නොහැකි විය හැකි ය.

මධ්‍යම ආණ්ඩුව කරවන මහින්ද පාලන තන්ත්‍රය ඒ සා පුළුල් ප්‍රජාතාන්ත්‍රික වෙනසක් ඉල්ලා සිටීමට ඉඩක් පවතින්නේ ද? කිසි සේත් ම නැති බව මා කිව යුතු ය. මම තර්ක කරමි, ශ්‍රී ලංකාව අර්බුදයෙන් ඇළලී ගිය ගෝලීය ධනපති දාමයේ කොටසකි, පැත්තකට බර තම රාජ්‍ය ආකෘතිය තුළ එවැනි මොන යම් හෝ ප්‍රජාතාන්ත්‍රික වෙනසක් ඇති විය යුතු නැතැයි බලගතු දේශපාලනික සහ ආර්ථික සාධක කියා සිටිනු ඇත. ඤඑතරම් ම දෙමළ ජන සංඛ්‍යාවක් නඩු විභාගයකින් තොරව වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාර තුළ වියැකෙන තතු යටතේ බොහෝ දෙමළ ජනයා ආණ්ඩුවේ මෑත ම ‛කූටෝපාය’ – ඊනියා සමගි සන්ධාන කොමිසම – බැරෑරුම්ව නොගන්නට ඉඩ ඇත.[ශ්‍රී ලංකාවේ ‛රාජ්‍ය ණය බෝම්බය’ පසුබිමෙහි හිඳ හීන් හඬ නගන තතු තුළ බෙහෙවින් ම සිදු විය හැකි දෙය නම් මහින්ද පරිපාලනය පවත්නා සැබවින් ම ඒකාධිපති පාලන රූපවල වෙනසක් නො කර දිගට ම පවත්වා ගෙන යාම යි. ඤමම පසුව මෙම කරුණ කරා යළි එන්නෙමි; දැනට ඒකීය විසඳුම ගැන වැඩිපුර කතා කරමි.]

ප්‍රජාවන් තුන ම ප්‍රබල ලෙස ආකර්ෂණය කර ගත හැකි සැලකිය යුතු වෙනසක් කරා යන්නට ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ නම් ඒකීය සැලැස්මක මූලධර්මාත්මකව කිසි වරදක් නැත; වෙනත් වචනවලින් කිව හොත් එය ආයතනික තලයේ දී පුද්ගලයන්ගේ සහ ප්‍රජාවන්ගේ සමානතාව සහ අයිතීන් රජ කරවන ‛ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකි.’ එහෙත් මීට පටහැණි ලෙස වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතින දෙය නම් ආණ්ඩුවට වුවමනා කරන්නේ දෙමළ බස කතා කරන හින්දු-මුස්ලිම් ප්‍රජාවන්ට කොකා පෙන්වමින් සහ වාර්ගික උත්තරීතර භාවය පිළිබඳ සිංහල බෞද්ධයාගේ හැඟීම ශක්තිමත් කරමින් දැනට පවතින අධිපතිධාරී පාලන රූප දිගට ම පවත්වා ගෙන යාම බව යි.

මට පෙනෙන හැටියට ආණ්ඩුවට එසේ කිරීමට බල කරන ප්‍රධාන සාධකයක් විය හැක්කේ අනුකම්පා විරහිත ලෙස වඩා නරක අතට හැරෙමින් පවතින නපුරු ආර්ථික හීනය යි. ග්‍රීසියේ දී සිදු වුණාක් මෙන් අවසානයේ දී ණය බර මහජනයා මත පැටවීමට තමන්ට සිදු වන බව ශ්‍රී ලංකාවේ ධනපති පාලන තන්ත්‍රය දනී. එමෙන් ම එය සහ සාමාජීය නොසන්සුන්තාව අතර පවතින සම්බන්ධය ද එය ලෙස දනී. මෙලෙස, පාලන තන්ත්‍රය වත්මන් කුරිරු පාලන රූපාකාර ඉවත ලන්නට තිබෙන ඉඩකඩ අඩු ය. නොහොත් එය සිය දෘෂ්ටිවාදය නමැති වහන්තරාව යොදා ගෙන මහජනයාගෙන් ප්‍රධාන ප්‍රශ්න වසං කළ යුතු ය.

සමහර විට, ලියොන් ට්‍රොට්ස්කි තම නොනවතින විප්ලව න්‍යායේ දී පෙන්වා දුන් පරිදි නොදියුණු රටවල දී පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය මුදුන් පමුණුවා ගත හැකි වන්නේ සමාජවාදී විප්ලවය හරහා පමණකි. එනම්, ප්‍රජාතාන්ත්‍රික වෙනස්කම් සිදු විය හැක්කේ සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස පමණකි, ධනේශ්වර ආණ්ඩු යටතේ නොවේ. ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ඉතිහාසය ඊට සැබෑ සාක්ෂ්‍යයකි. මැනවින් වර්ධනය වෙමින් පැවති වැඩවසම් සමාජයක් මත කෘත්‍රිම ලෙස පැටවුණු ධනපති ආර්ථිකයකින් ශ්‍රී ලාංකික ධනේශ්වරය පැන නැගී ආ අසාමාන්‍ය ආකාරය ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයකට උපකාරී නො විය හැකි ය. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ට්‍රොට්ස්කි මතු කළ කරුන තහවුරු කරන ආකාරය මම පසුව පැහැදිලි කරන්නෙමි. පළමුව, තව ස්වල්ප වේලාවක් ඒකීය විසඳුමෙහි රැඳෙන්නට මට අවසර දෙන්න.

ජන විකාශමය, භූගෝලීය සහ ආර්ථික සාධක [උදා. දෙමළ කතා කරන ජනයා දිවයින පුරා පැතිරී සිටීම, ස්වාභාවික ජල චක්‍රීය රටාව කිසි සේත් වෙන් කළ නොහැකි වීම සහ ඒකීය සැලසුම්කරණයක පවතින ආර්ථික වාසිය] සැලකිල්ලට ගන්නා විට සියලු ප්‍රජාවන් අත ඒකීය සැලැස්මක් පැවතීම ඵලදායී වන බව පෙනී යයි. කෙසේ වුව ද, මෙය ක්‍රියාකාරී තත්ත්වයට පත් විය හැක්කේ සිත් ගන්නාසුලු බවක් පළ කරන බලය බෙදා හැරීමේ ආයතන පළාත්බද සහ ප්‍රාදේශීය මට්ටම් කරා බලය විමධ්‍යගත කිරීම ආරම්භ කර මධ්‍යම ආණ්ඩුව තුළ සියලු ප්‍රජාවන් අතර සමානතාව ඇති කළ හොත් පමණකි. [මා දිගු කලක් තිස්සේ උද්ඝෝෂණය කරමින් සිටින මගේ ඒකීය ආකෘතිය වන “පළාත්බද පාර්ලිමේන්තු දෙකක් සහ සමානතාව මත පදනම් වුණු උත්තරීතර පාර්ලිමේන්තුව” විය හැකි එවන් එක් දෙයකි.]

මම නැවත අසමි, මහින්ද පාලන තන්ත්‍රයට දැන් එවැනි පෙරළිකාරී වෙනසක් ඇති කළ හැකි ද? සුපැහැදිලි හේතු නිසා නිසැකව ම එය කළ නොහැකි ය. මාරක අර්බුදයක් තුළ එරී සිටින ගෝලීය ධනපති ජාලයෙහි නොවෙන් කළ හැකි කොටසක් වන ශ්‍රී ලාංකික රාජ්‍යයට පෙරළිකාරී වන වෘත්තීය සමිතිවාදීන්ට, ගොවීන්ට සහ සමාජවාදී නායකයන්ට එරෙහිව ධනපති ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා තම ෆැසිස්ට්වාදී අවි ගබඩාව තවත් පුළුල් කරන්නට පවා වුවමනා වනු ඇත. ධනවාදය ආරක්ෂා කිරීමට ආණ්ඩුව ගෙන යන ‛ආර්ථික යුද්ධයට’ සහාය දෙන ලෙස එය මාධ්‍යයට බල කරනු ඇත. විරුද්ධ වන ඕනෑ ම කෙනෙකු මුලිනුපුටා දැමිය යුතු ‛ද්‍රෝහියෙකු’ ලෙස හංවඩු ගැසෙනු ඇත.

අනෙක් බොහෝ ධනපති රටවල් සේම ශ්‍රී ලංකාව ද යුද යන්ත්‍රණය වැඩි දියුණු කිරීම සඳහා පමණක් නො ව සංවර්ධනයේ මායාව තොරොම්බල් කරමින් සිංහල බහුතරය අස්වැසීම සඳහා ද දැවැන්ත අයවැය හිඟයන් පියවා ගැනීමට ඩොලර් බිලියන ගණන් ණයට ගනිමින් සිටී. [මහාචාර්ය ජී.එල්. පීරිස් මොනවා කීවත් - පුළුල් පරාසයක විහිදුණු සමාජ ආරක්ෂණ ජාලවලින් ද සෞඛ්‍ය, අධ්‍යාපන සහ නිවාස සැපයුම් අංශවල වඩා බලගතු වැඩි දියුණු කිරීම්වලින් ද තොරව - ආවාට ගියාට කෙරෙන යටිතල පහසුකම් සංවර්ධන සහ නගර අලංකරණ ව්‍යාපෘති අනිවාර්යයෙන් ම සාමාන්‍ය ජනතාවන්ගේ සැබෑ අවශ්‍යතාවලට පටහැණි වනු ඇත. දූෂිත ඇමතිවරුන් හිතුමනාපේ කරන යටිතල පහසුකම් ව්‍යාපෘතිවලින් ඇතැම් සමාජ තට්ටුවලට තාවකාලික ‛ඉතා සුලු’ වාසියක් අත් විය හැකි වුව ද යථාර්ථයේ දී එවැනි අවදානම් කටයුතුවලින් වාසි සැලසෙනු ඇත්තේ පාලන තන්ත්‍රයට සහාය දෙන ජාවාරම්කාරයන්ට පමණකි. ඔවුන්ට ‛නෝට්ටු මුදල්’ පොම්ප කිරීම නිසා දුප්පත්-පොහොසත් පරතරය තවත් පුළුල් වනු ඇත. ඔවුන්ට සමාජයට සහ පොදුවේ වාතාවරණයට කළ හැක්කේ යහපතකට වඩා හානියකි. පුළුල් ලෙස පැතිර පවතින විශ්වාසය නම් මෙම ව්‍යාපෘති මූලික වශයෙන් ගොතන ලද්දේ බහුතරයේ සැබෑ අවශ්‍යතාව නොව වංචනික ඇමතිවරුන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ නිමක් නැති කෑදර අවශ්‍යතා සපුරා ලීමට බව ය. කෙසේ වෙතත්, එවැනි ‛වර්ධනයන්’ සහ විද්‍යාත්මක සමාජවාදයේ ආර්ථික සැලසුම්කරණය අතර කිසි ම පොදු බවක් නැත.]

ප්‍රධාන කාරණය කරා ආපසු යමු: ණය කන්දරාවෙන් වැඩි කොටස සපයා ඇත්තේ යුද්ධයට සහ තෝරා ගත් යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට ය. ‛ආර්ථික වර්ධනය’ පසුපස පවතින පරම ආරක්ෂාව නම් ගෝලීය ‛ණය බුබුළ’ යි. එම බුබුළ දැන් ගෝලීය ධනවාදී මධ්‍යස්ථානවල පැවති ආකර්ෂණීයත්වය සමගින් එම මධ්‍යස්ථාන ද පුපුරවා හැර ඇත. දැන් එය සාමාන්‍ය ජනතාව උදෙසා වැය කළ මුදල් ආපසු උදුරා ගැනීමට ධනපති රාජ්‍යවලට බල කරන ‛රාජ්‍ය ණය වසංගතයක’ රූපාකාරය ගනිමින් පවතී. රාජ්‍ය වියදම් සහ සමාජ සේවාවන් දැවැන්ත ලෙස කප්පාදු කිරීමේ රූපයෙන් මෙම ධනපති අවශ්‍යතාව මුදුන් පමුණුවා ගන්නට මහින්ද පාලන තන්ත්‍රයට ද බල කෙරෙනු ඇත. ඤමේ හා බැඳී තිබෙන ‛ආර්ථික විපර්යාසය’ විස්තර කිරීම සඳහා ‛පටි තද කිරීමේ පියවරයන්’ යන බෙහෙවින් හුරු පුරුදු යෙදුම ප්‍රමාණවත් නො වේ.
[දිගින් දිගට ඇදී යන ණය අර්බුදය ද ඒ හේතුවෙන් ග්‍රීක වීදිවල හට ගෙන තිබෙන මහා ඝට්ටනය ද අප වෙත සපයන්නේ නුදුරු අනාගතයේ දී ම බොහෝ යුරෝපා රටවල, පෙර විජිත රටවල සහ අවසානයේ දී එක්සත් ජනපදය තුළ ම ද නැවත හට ගැනීමට පොරොත්තු වෙමින් පසු වන ප්‍රතිරූප ය. ඤශ්‍රී ලංකාව මින් බැහැර වන්නක් නො වේ.] තම රට තුළ ණය ගැටලුව වඩා නරක අතට හැරෙමින් තිබිය දී අභිරහස් ලෙස ‛නෝට්ටු’ ඩොලර් බිලියන ගණනක් නිර්මාණය කර ‛රාජ්‍ය ණය වසංගතය’ පාලනය කළ නොහැකි ලෙස පැතිරීම නතර කිරීම සඳහා (‛කල් දැමීම සඳහා’ යන අර්ථයෙන් ගන්න) යුරෝපයට භාර දීමෙන් ඇමරිකානු කුලප්පුව පැහැදිලි විය. කෙසේ වුව ද, ධනවාදය බේරා ගත හැකි එකම අර්ථවත් ක්‍රමය නම් ණය මත පදනම් වන ‛සමෘද්ධිය පිළිබඳ මිරිඟුව’ කුමන හෝ ආකාරයකින් උදාසීන කර ධනපති මූල්‍ය සම්පාදකයන්ට මුදල් ආපසු ගෙවීම බව සෑම දෙනා ම දනිති; එසේම රාජ්‍යය මෙය සිදු කිරීමට දරන උත්සාහය පෙර කිසි දා නොවූ පරිදි පන්ති ගැටුම අවුස්සන බව ද සෑම දෙනාම දනිති.

ප්‍රතිවිපාක සමග පොර බදන්නට ධනපති රාජ්‍ය සූදානම් ද? කිසි සේත් ම නැත; අඩු ගණනේ දැනට නැත. තමන් පරිශ්‍රම දරා දිනා ගත් ජීවන තත්ත්වයන් ලෙහෙසියෙන් කැප කිරීමට සූදානම් නැති ලොව පුරා සිටින ආත්ම විශ්වාසයෙන් යුතු කම්කරු පන්ති ද කෘත්‍රිම ධනපති උත්පාත නිසා ශක්තිමත් වී ඇත. එම නිසා, කම්කරු පන්ති මේ හා බැඳී පවතින ගැටලු වටහා ගැනීමට අවශ්‍ය කරන දේශපාලනික දැනුවත්කම අත්කර ගැනීම වැළැක්වීමට – එනම්, ආර්ථික අර්බුදය ධනවාදයේ ගැටලුවක් ලෙස දැක ගැනීමෙන් සහ ගෝලීය සමාජවාදය ඇති කිරීම සඳහා ලාභ ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව වටහා ගැනීමෙන් කම්කරු පන්තිය වැළැක්වීමට – රාජ්‍යවලට පළමුව සිදු වනු ඇත. ඉතිහාසය තුළ දී අරගල කුඩු කිරීම සඳහා රාජ්‍ය බලය යොදා ගන්නට කලින් ධනපති රාජ්‍ය මේ සඳහා නොයෙක් දෘෂ්ටිවාදීමය අවි පාවිච්චි කර ඇත. බොහෝ විට ප්‍රධාන උපායක් වී ඇත්තේ කම්කරු පන්තිය භේද කිරීම සඳහා ජාතිකවාදයට සහ වර්ගවාදයට උඩගෙඩි දීම යි.

ඉහත සාකච්ඡාව ශ්‍රී ලංකාවේ තත්ත්වයට අදාළ බව පැහැදිලි ය. වෙනත් බොහෝ ධනපති රාජ්‍ය සේ ම ශ්‍රී ලංකාව ද වර්තමානයෙහි මුහුණ දෙමින් සිටින ලොකුම ගැටලුව ණය අර්බුදය යි; කම්කරු පන්තිය වාර්ගික රේඛා දිගේ භේද කර තබා ගැනීම මෙහි දී තීරණාත්මක ය. මෙය ඉටු කර ගැනීම සඳහා, සකසා සූදානම් කර ගත් ජාතිවාදී දෘෂ්ටිමය අවි ගබඩාවක් ද කෙටි දැනුම් දීමකින් පොලඹවා ගත හැකි වාර්ගික හැඟීම් ද ශ්‍රී ලංකාව සතුව ඇත. තව ද, සිංහල හමුදා සමග එක පෙළට බළමුළු ගන්වා ගත හැකි ෆැසිස්ට් මැර කල්ලි නැමති, සකසා සූදානම් කර ගත් අවි ගබඩාවක් ද ඇත.

මා කලින් පෙන්වා දී ඇති පරිදි, මහින්ද පාලන තන්ත්‍රය මුහුණ දී සිටින්නේ තත්ත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අවදානමට ය. දෙමළ ප්‍රශ්නය විසඳීමට හෝ එහි මැර ජාලය විසුරුවා හරිනු පිණිස බලගතු ප්‍රජාතාන්ත්‍රික වෙනස් කිරීම් සිදු කරනු ඇතැයි අපේක්ෂා කිරීමට තරම් කිසිවෙකු නෝන්ජල් විය යුතු නැත. සමගි සන්ධානය පිළිබඳ කොමිසම කාලය ගැනීම සඳහා පෙරවූ ලිහිල් කඩතුරාවක් පමණක් වනු ඇත.

මෙම තත්ත්වය තුළ, තම සිංහල සගයන් සේ ම බොහෝ දෙමළ ජනයා ද තව මත් ජාතිකවාදී මානසික පිළිවෙළ ඉක්ම යාමට සහ ගැටලු පන්තිමය තත්ත්වයන් අනුව වටහා ගැනීමට අසමත් වීමක් දකින්නට තිබීම කනගාටුවට කරුණකි. බෙදුම්වාදී අරගලයක් යළි පණ ගන්වා ගැනීමට දෙමළ ජාතිකවාදීන් වර්තමානයෙහි දරන වෑයම කම්කරු පන්තිය ජනවාර්ගික රේඛා දිගේ භේද කර තබා ගැනීමේ ආණ්ඩුවේ මූලෝපායට දායක වනු ඇත. මෙය අතීතයේ දී සිදු වී ඇත. සියලු ප්‍රජාවන්ට බෙහෙවින් විනාශකාරී ප්‍රතිවිපාක අත් කර දෙමින් වර්තමාන තත්ත්වය තුළ දී එය යළිදු සිදු වනු ඇත. පටු ජාතිකවාදයෙන් ඔබ්බට ගොස් දෙමළ, සිංහල සහ මුස්ලිම් ජනයා මුහුණ දෙන අතිමූලික ගැටලු ජනවාර්ගික ගැටලු ලෙස නොව පන්ති ගැටලු ලෙස අවබෝධ කර ගැනීමට දෙමළ බෙදුම්වාදීන්ට කාලය පැමිණ ඇත. ප්‍රජාවන් තුනේම සංස්කෘතික ප්‍රාර්ථනාවන්ට විසඳුම් ලබා දිය හැකි වන්නේ සමස්ත රටම පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී වෙනසකට ලක් කිරීමෙන් පමණකි. එවන් වෙනසක් ආර්ථික චින්තනය තුළ මනා ආදර්ශමත් වෙනසක අවශ්‍යතාව මතු කරනු ඇත. එමෙන් ම එය සමාජය විද්‍යාත්මක සමාජවාදයේ මූලධර්ම මත පූර්ණ ලෙස යළි ගොඩ නැගීමක් සමග නොවෙන් කළ හැකි සේ බැඳී ඇත. නියාමනයට යටත්ව, සීමා තුළ හිඳිමින් පෞද්ගලික ව්‍යවසායන් ඉටු කරන භූමිකාව මින් වැළකෙන්නේ ද නැත.

වසන්ත රාජා

(2010 මැයි 22 වසන්ත රාජා විසින් www.groundviews.org හී පළකල Tamil Question and the Global Crisis of Capitalism ලිපියේ සිංහල පරිවර්තනයයි.)

ප්‍රීති උත්සව කුමක් සමරන්න ද? යාපනය දෙමළ වැසියෙක්


යාපනෙය් තිලීපන් ස්මාරකය උදුරා දමා අැති අයුරැ
ආචාර්ය විසිනි

යාපනයෙන් පිටත සිටින ජනයා යළි යළිත් මගෙන් අසා ඇති ප්‍රශ්නය නම් යුද්ධය අවසන් වීම ගැන දෙමළ ජනයා වන අප සතුටට පත් වන්නේ නැද්ද යන්න යි. ඒ සමග ම අසන අනෙක් ප්‍රශ්නය නම් එල්ටීටීඊය පරාජයට පත් වීම ගැන සහ එල්ටීටීඊයේ පරාජය දෙමළ ජනයාගේ පරාජයක් ලෙස නො සැලකිය යුතු ය යන රෙකමදාරුව ගැන – ඔවුන් කියන හැටියට එල්ටීටීඊය සහ දෙමළ ජනයා පැහැදිලිව ම එකිනෙකින් වෙන් වුණු දෙකක් බැවිනි – අප සතුටට පත් වන්නේ නැද්ද යන්න යි. පළමු ප්‍රශ්නය ‛අප රැවටීමේ’ අදහසින් (දෙවන ප්‍රශ්නයට ඔව් යන පිළිතුර ලබා ගැනීමේ අදහසින්) අසන ලද්දකි, දෙවැන්න ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා අතර තව මත් “කොටි හැඟීම්” පැතිර පවතින්නේ ද යන්න තක්සේරු කර ගැනීමේ අදහසින් අසන ලද පැහැදිලි දේශපාලනික ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නවලට ඔව් හෝ නෑ යැයි සාමාන්‍ය පිළිතුරක් දීම මම හැම විට ම ප්‍රතික්ෂේප කරමි – මහජනයා සාමාන්‍යයෙන් බෙහෙවින් මුරණ්ඩු වී මෙම හුදෙකලා වචන දෙකෙන් එකකින් පිළිතුරු දෙති. එහෙත් සෑම දේශපාලනික ප්‍රශ්නයකට මෙන් ම මේවාට ද තනි වචනයක පිළිතුරක් නැත.

ඉතින් දැන් ප්‍රශ්නවලට පිළිතුරු දීම අරඹන්නට මට ඉඩ දෙන්න.

ඔව්, යුද්ධයක් නැතිකම ගැන නොහොත් ගැටුම් නිරාකරණ වදන් මාලාව තුළ ‛සෘණාත්මක සාමය’ යන වචන නැතිකම ගැන මම සතුටට පත් වෙමි. එහෙත් එය ඔබගේ සහකාරයා හෝ සහකාරිය අහිමි වුණු විට ඔබට ලැබෙන දේපළ පිළිබඳව සතුටු වීමකට සමාන ය. යුද්ධය කර ගෙන ගිය ආකාරය සහ ජය ගත් ආකාරය මා තුළ යුද්ධයේ ප්‍රතිඵලය පිළිබඳව සතුටක් දැනවීමට කිසි විටෙකත් සමත් නොවේ. දෙවන ප්‍රශ්නයට මගේ සාමාන්‍ය පිළිතුර නම් දෙමළ ජනයාට සාමාන්‍යයෙන් එල්ටීටීඊය සමඟ පැවතුණේ ආදරය සහ වෛරය එකට මුසු වුණු සම්බන්ධතාවක් ය යන්න යි. එනිසා හැඟීම් බෙහෙවින් සංකීර්ණ ය යන්න යි. ඔබ එල්ටීටීඊයට කැමැත්තෙන් සිටියේ ද නැද්ද යන ප්‍රශ්නයෙන් ඔබ්බෙහි පවතින්නේ පරාජිත හැඟීමකි; අපගේ ජීවිතයේ වැදගත් කොටසක් අපට අහිමි වී ඇති බවට හැඟීමකි; ජීවය සිඳී ගිය බවට දැනෙන හැඟීමකි; දේශපාලන බලය අහිමි වීම පිළිබඳ හැඟීමකි. යාපනයෙහි සිටින මගේ මවගේ පෞද්ගලික සහායිකාව (යුද්ධය නිසා ඇයට ඇයගේ දරුවෙකු අහිමි විය – ඔහු එල්ටීටීඊ සටන්කරුවෙකුව සිටියේ ය) හැඟීම් එකිනෙකට මුසු වුණු මෙම හැඟීම මැනවින් හසු කර ගත්තා ය. මැයි 18 වන දා තම දරුවාගේ මළ සිරුර රූපවාහිනියෙහි දුටු විට අපේක්ෂා භංගත්වයට පත්ව – තම දරුවා පැහැර ගෙන යාම ගැන (තම දරුවාගේ මරණයේ නිෂ්ඵල බව ගැන) – ඈ ප්‍රභාකරන්ට සාප කළ නමුත් දෙමළ ජනයාට හැම දේම නැති වුණා යි ද එකෙණෙහිම පැවසුවා ය.

යුද්ධය අවසන් වීම නිසා වෙනස් වී ඇත්තේ මොනවා ද? ඒ-9 මාර්ගය විවෘත වී ඇත (පරීක්ෂා කිරීම සඳහා ඕමන්තේ දී ජනයා වාහනවලින් බිමට බස්සන්නේ නැත් නම් යාපනය සහ කොළඹ අතර පැය 10කින් පමණ මාරු විය හැකි ය), බැංකු රැසක් යාපනයෙහි සිය කාර්යාල විවෘත කර ඇත (‛යාපනේ මිනිස්සු ළඟ හුඟක් සල්ලි තියෙනවා’ (?!) යැයි ද දඩිබිඩියේ යාපනේට පැමිණියේ ඒ නිසා යැයි ද එක් බහුජාතික බැංකුවක සේවකයෙකු මට කීවේ ය), දිගු කලකට පසුව රථවාහන පොලීසිය යාපනයෙහි සිටී, සමහර පරීක්ෂණ මුර පොළවල් ඉවත් කර ඇත. දකුණෙන් එන සංචාරකයෝ රැසක් නොකඩවා ම යාපනයට රැස් වෙති (විශාල වශයෙන් ම නාගදීපයට චාරිකා කිරීම සඳහා ය, එක් සංචාරකයෙකු මට පැවසූ පරිදි ‛ආණ්ඩුව යාපනය සංවර්ධනය කරන්න කලින් යුද්ධයේ සුන්බුන් දැක ගන්න’ ය) යාපනයේ දී කොළඹ මිල ගණන්වලට ම පාහේ භාණ්ඩ ලබා ගත හැකි ය. එතරම් දුෂ්කරතාවකින් තොරව යාපනයේ වෙළඳුන්ට තමන්ගේ නිෂ්පාදන දකුණට රැගෙන යා හැකි ය. තිස්සනායගම්ට සමාව දී ඇත. එමෙන් ම පෙනෙන හැටියට නම් සමහර හදිසි නීති රෙගුලාසි ඉවත් කර ඇත. (අවසන් පියවරයන් දෙකේ අරමුණ ජාත්‍යන්තර ප්‍රජාවේ සා ගින්දර නිවීම යි, දැන් ඔවුන්ට එතරම් සා ගින්නක් නැත. ඔවුන් කරන්නේ ඉතා නිවට ඉල්ලීම් ය. සුසාන් රයිස් බ්‍රිතාන්‍ය ජාතික ජෝන් චිල්කොට්ගේ ඉරාක පරීක්ෂණය අනුව සැලසුම් කොට මෑත දී පත් කෙරුණු “පාඩම් ඉගෙනීම සහ සමගි සන්ධානය පිළිබඳ කොමිසම” සාදරයෙන් පිළිගෙන ඇත. මට මුණ ගැසෙන බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයෝ බොහෝ දෙනෙක් ඉවසිලිමත් වන්නට ද උතුරෙහි ‛මුදා ගත්’ නිදහස් වෙළඳ පොළින් නිර්මාණය වන අවස්ථා ගැන සතුටට පත් වන්නට ද අප උනන්දු කරති.)

වෙනස් වී නැත්තේ මොනවා ද? තව මත් යාපනයෙහි හමුදා භටයෝ 40,000ක් ස්ථානගත කර සිටිති. වන්නියෙහි ඊටත් වඩා වැඩි විය හැකි ය. මැණික් ෆාම් කඳවුරෙහි 80,000කට වැඩි ජනයා වාසය කරති. වන්නියෙහි යළි පදිංචි කෙරුණු ජනයාට සිය ජීවනෝපාය යළි අත් කර ගැනීමට ලැබී ඇත්තේ ඉතා සුලු සහායකි. මැණික් ෆාම් කඳවුරෙන් ඉවත් කොට යාපනයෙහි යළි පදිංචි කෙරී එම අවාසනාවන්ත තත්ත්වයට ම මුහුණ පා සිටින ජනකාය 60,000කට වැඩි ය. ඔවුහු වන්නියට ආපසු යා හැකි දිනය එළඹෙන තෙක් පොරොත්තු වෙමින් සිටිති. යාපනයෙහි ගොවිතැන් කළ හැකි ඉඩම්වලින් 1/3ක් සහ මසුන් අල්ලන සමුද්‍ර තීරයෙන් සැලකිය යුතු කොටසක් අධිආරක්ෂක කලාපවලට යට වී ඇති නිසා ‛පැරණි’ අභ්‍යන්තර අවතැන් වූවෝ 70,000කට වැඩි සංඛ්‍යාවක් තව මත් අවතැන්ව සිටිති. ගැඹුරු මුහුදට යාමට සහ බහුදින මසුන් ඇල්ලීමට අවසර දීම ප්‍රතික්ෂේප කර ඇත. මේ කරුණ සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි ඉවත් කරන බවට මෑත දී නිවේදන නිකුත් වුව ද සන්නද්ධ හමුදා පරීක්ෂණ මුර පොළවල ස්වරූපයෙන් යාපනයෙහි සෑම මංසන්ධියක ම පාහේ පෞද්ගලික දේපොළ (එකට යාව පිහිටි නිවාස හතරක් හෝ පහක්) අල්ලා ගෙන සිටී. (එවැනි ක්‍රියාවකට හදිසි නීති රෙගුලාසිවලින් ඉඩ නොලැබුණු තැන්වල දී පවා අතීත ආණ්ඩු ද වර්තමාන ආණ්ඩුව ද මුළුමනින් ම නීති විරෝධී ලෙස ක්‍රියා කර ඇති ආකාරය ගැන නොදන්නා අය ටීඑන්ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පාර්ලිමේන්තුවේ දී කළ කතාව කියවන්න.)
වඩා නරක අතට හැරී ඇත්තේ මොනවා ද? ආණ්ඩුව පුරා විද්‍යාත්මක කැණීම් කෙරෙහි උනන්දු වෙයි. හෝටල් ගොඩනැගීමට සහාය දෙයි. යාපනයෙහි වෙළඳ ප්‍රදර්ශන පවත්වයි. එමෙන් ම වන්නියෙහි යුද ස්මාරක ගොඩ නගමින් සිටියි. (එහෙත් යුද්ධයේ දී මිය ගිය සිවිල් වැසියන් වෙනුවෙන් එක ද ස්මාරකයක් හෝ ගොඩනගා නැත). තම මිය ගිය සාමාජිකයන් සිහි වනු පිණිස එල්ටීටීඊය යාපනයෙහි සහ වන්නියෙහි ඉදි කළ සිහිවටන සහ සොහොන් බිම් සියල්ල ම පාහේ විනාශ කර ඇත. ඉන්දියානු සාම සාධක හමුදාව ඉවත් කළ යුතු යැයි ඉල්ලා උපවාසයක යෙදී මිය ගිය තිලීපන්ගේ පිළිරුව මුළුමනින් ම කඩා බිඳ දමා ඇත. ආණ්ඩුව යුද්ධයේ සහ ගැටුමේ සියලු මතකයන් මකා දැමීම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වයි. උතුරු සහ නැගෙනහිර ආණ්ඩුව යුද්ධය සහ මිය ගියවුන් පිළිබඳ මතකය සඳහා පවතින අයිතිය සලකන්නේ අපරාධයක් වශයෙනි. මතක තබා ගන්නට වටින්නේ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා කාර්ය මාණ්ඩලිකයන්ගේ මරණ පමණකි. සමගි සන්ධානය පිළිබඳ ශ්‍රී ලාංකික ප්‍රවේශය එය යි.

වන්නියෙහි යළි පදිංචි කෙරුණවුන් දිවි ගෙවන්නේ බෙහෙවින් ම මිලිටරීකරණය වුණු වාතාවරණයක ය. යාපන සිවිල් සමාජයෙහි ජීවත් වන අපට යළි පදිංචි කෙරුණු අභ්‍යන්තරව අවතැන් වූවන් සහ සන්නද්ධ හමුදා අතර පවතින ඝර්ෂණය ගැන විශ්වසනීය එහෙත් සනාථ කළ නොහැකි සාක්ෂ්‍ය ලැබෙමින් පවතියි. යළි පදිංචි කිරීමේ ක්‍රියාවලිය තුළ රාජ්‍ය නොවන ක්‍රියාකාරකයන් (රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන) සම්බන්ධ වීම අඩු කරන්නට මෙම ආණ්ඩුව අධිෂ්ඨාන සහගතව සිටී. අපට පවතින්නේ ජනාධිපති කාර්ය සාධක බලකාය නමින් හැඳින්වෙන කොළඹින් පැමිණ නීතියට ඉහළින් ක්‍රියා කරන ව්‍යුහයකින් යළි පදිංචි කිරීම සහ සංවර්ධනය හා සම්බන්ධ සියලු තීන්දු ගන්නා තත්ත්වයකි. විවිධ අමාත්‍යාංශවලට දෙපාර්තමේන්තු සහ කාර්යයන් වෙන් කිරීම පිළිබඳ ගැසට් නිවේදනයට අනුව “(දිස්ත්‍රික්ක සංවර්ධන වැඩ සටහන් ඇතුළු) සියලු ප්‍රාදේශීය සංවර්ධන වැඩ සටහන්” හැසිරවීමේ වගකීම පැවරී ඇත්තේ බැසිල් රාජපක්ෂට සහ ඔහුගේ සර්ව-කාර්ය-භාර ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට ය. (15 වසරක් තිස්සේ කැබිනට් ඇමතිවරයෙකු ලෙස කටයුතු කරන ඩග්ලස් දේවානන්ද ද ඇතුළු) දෙමළ ජනයාගේ තේරී පත් වුණු නියෝජිතයෝ මෙම ක්‍රියාවලියේ කොටස්කරුවන් ලෙස නො සැලකෙති. මට ලැබී ඇති තොරතුරකට අනුව යාපනයෙහි පවතින කිසිම ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් වන්නි දිස්ත්‍රික්කයෙහි යළි පදිංචි කෙරුණවුන් උදෙසා සිදු කෙරෙන නිවාස ඉදි කිරීම් සහ යළිගොඩ නැගීම් කටයුතුවලට අදාළ කිසිදු වැඩසටහනකට සම්බන්ධ වී නැති බව පෙනේ. මේ වන විට එහි කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක වන බවට කිසිදු ලකුණක් නො පෙනේ.

යාපනයෙහි පැහැර ගෙන යාම් සංඛ්‍යාවෙහි වැඩි වීමක් පවතී. අඩු ගණනේ එක් අයෙකු වත් මිය යාමට ඒවා හේතු වී ඇත. එම මරණය හා ඊපීඩීපී සාමාජිකයෙකු සම්බන්ධ ය, නඩුව මෙහෙයවන චාවාකච්චේරි මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කිරීම පිළිබඳව ඊපීඩීපීයට චෝදනා කරනු ලැබේ. මෙම ලිපිය ලියන මොහොත වන විට විනිශ්චයකාරයාට එල්ල කළ තර්ජනයට විරෝධය පාමින් උතුරු පළාතට සම්බන්ධ නීතිඥයෝ උසාවි වර්ජනය කරමින් සිටියහ. එල්ටීටීඊය අතුගා දමා වසරකට පසුවත් මෙම පෙර පැවති දෙමළ සටන්කාමී කණ්ඩායම් තවමත් තම ආයුධ දරා සිටින්නේ කුමන අරමුණක් වෙනුවෙන් දැයි නොවැටහේ. අභිරහස් මරණ ගණනාවක් ද වාර්තා වෙමින් පවතී. මරණ දුසිම් දෙකකට වැඩි සංඛ්‍යාවක සිරුරු සොයා ගත්තේ ළිං තුළ තිබී බව වාර්තා වී ඇත.

දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව කියන්නට ඇත්තේ කුමක් ද? මහ මැතිවරණ ප්‍රකාශනය තුළින් පෙන්නුම් කෙරුණු පරිදි ම – වෙනම රාජ්‍යයක් පිළිබඳ ඉල්ලීම ඉවත් කර ගනිමින් සහ ෆෙඩරල්වාදය දෙසට යන විසඳුමක මිනුම් දණ්ඩ යළි සකස් කිරීමට එකඟ වෙමින් – 2009 මැයි මාසයෙන් පසුව ටීඑන්ඒය සැලකිය යුතු සම්මුතියකට එළඹී ඇත. එනිසා දෙමළ ජනයාගේ අතිවැදගත් දෙමළ දේශපාලන ආකෘතියෙහි අලුත් ‛උපරිම’ ප්‍රමිතිය බවට පත්වන්නේ එය යි. මෙහි අදහස නම් – දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය විසඳුමක් නොවේ යැයි තම මැතිවරණ ප්‍රකාශනය තුළ දී ප්‍රතික්ෂේප කොට තිබිය දීත් ඒකීය ව්‍යුහයක් තුළ හෝ ෆෙඩරල් ව්‍යුහයට සමාන වෙන යම් ව්‍යුහයක් තුළ – ෆෙඩරල් මිනුම් දණ්ඩට පහළින් පිහිටි විසඳුමකට ඔවුන් කැමැත්ත පළ කරමින් සිටින බව පමණකි (තමන් වඩාත් ම කැමැත්තෙන් සිටින විසඳුම ප්‍රකාශයට පත් කරන පක්ෂයක් සම්මුති ගැසීම හරහා අවසානයේ දී මුදුන් පමුණුවා ගන්නට ඉඩ තිබෙන්නේ ඊට වඩා අඩු දෙයක් බව සාකච්ඡාවල මූලික පදනම් වැටහෙන ඕනෑ ම කෙනෙකු දැන හඳුනා ගනු ඇත). ටීඑන්ඒ ය එළඹෙන උතුරු පළාත් සභා මැතිවරණයට තරග වදින බවට ලැබෙන තහවුරු කළ වාර්තාවලින් මෙය පැහැදිලි ය. කිසි විටෙකත් ක්‍රියාත්මක නොකරන දහතුන් වන ව්‍යවස්ථා සංශෝධන විධිවිධාන පවත්වා ගනිමින් ම දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යාමේ මායාවක් පාමින් සෙනෙට් සභාවක් සපයා දී (13++?) ආණ්ඩුව ටීඑන්ඒ ස්ථාවරය ප්‍රශංසාවට ලක් කරන බවක් පෙනේ. වත්මන් ක්‍රමය පරිණාමය වීමෙන් ළඟා වන ඉලක්කයක් බවට ෆෙඩරල්වාදය පත් වීම ගැන ටීඑන්ඒය තෘප්තිමත් වන බවක් පෙනේ. (දෙමළ ජාතික මහජන පෙරමුණ – ටීඑන්පීඑෆ් – නමින් හැඳින්වෙන) ටීඑන්ඒයෙන් බිඳී ගිය ප්‍රධාන කණ්ඩායම ටීඑන්ඒ හි මෙම ප්‍රවේශය සම්බන්ධයෙන් සිය බරපතළ නොසතුට පළ කර ඇත. දෙමළ ජනයා පිළිගත යුත්තේ ෆෙඩරල්වාදය යැයි එකඟ වන ඔවුහු විසඳුමක් සඳහා මිනුම් දණ්ඩ බවට ෆෙඩරල්වාදය පත් කිරීම සම්බන්ධයෙන් එකඟ නොවෙති. ඔවුන් සැරසෙන්නේ ආකෘති ඔස්සේ නොව මූලධර්මාත්මක දෘෂ්ටි කෝණ ඔස්සේ ඉල්ලීම් සූත්‍රගත කිරීමකට ය. ටීඑන්පීඑෆ් ප්‍රවේශය උත්සාහ කළේ දෙමළ ජනයා ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරීමක් නොපිළිගන්නා බව සහතික කිරීමට වුව ද එය මහ මැතිවරණයේ දී බරපතළ පරාජයකට ලක් විය. දෙමළ ජනයා ප්‍රධාන වශයෙන් ඡන්දය දුන්නේ දෙමළ දේශපාලන අවකාශය තුළ එකමුතුව ර්‍ ටීඑන්ඒය – සුරක්ෂිත කරනු පිණිස ය. ටීඑන්පීඑෆ් දෙස බැලුවේ ටීඑන්ඒහි ‛ආරම්භක තර්කය’ ලෙස පැවති දෙමළ දේශපාලන බලවේග අතර එකමුතුව බිඳ දමන්නක් ලෙසිනි.

පශ්චාත් යුද්ධය පශ්චාත් ගැටුමක් නොවේ. බහුතරවාදී කොන්දේසි අනුව නිර්වචනය නොවන ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස පරිණත භාවයට පත්වෙමින් සිටින බවට දකුණ එක දු සාක්ෂ්‍යයක් වත් ගෙන හැර පා නැත. මේ සියලු හේතු නිසා ප්‍රීති උත්සව පවත්වන්නට කිසි හේතුවක් නැතැයි මම කියමි. මෙය තම සිතුවිලි සහ හැඟීම් පිළිබඳව යළි සිතා බැලිය යුතු, ගැඹුරින් කල්පනාන්විත විය යුතු, කුමන දේශපාලන පක්ෂයක වුව ද මිය ගියවුන් ගැන සිහිපත් කළ යුතු මොහොතකි. මම සර්ව ශුභවාදයට ඇද වැටීම ප්‍රතික්ෂේප කරමි. මම ව්‍යාජ බලාපොරොත්තු ගැන විශ්වාසය තැබීම ප්‍රතික්ෂේප කරමි.

(2010 මැයි 21 දින ආචාර්ය විසින් www.groundviews.org වෙබ් අඩවිය වෙත ලියූ What is there to celebrate? Rumblings of a Jaffna Tamil ලිපියේ සිංහල පරිවර්තනයයි.)

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද තත්වය යළි පරිකල්පනය කිරීම


ශ්‍රී ලංකාවෙහි යුද්ධය අවසන් වී මසකට පමණ පසුව ඉන්දියානු ආණ්ඩුවේ හිටපු විශේෂ ලේකම් ආර්. ස්වාමිනාදන් අදහස් දක්වමින් කියා සිටියේ පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ සමගි සන්ධානය, යළි ගොඩනැගීම සහ පුනරුත්ථාපනය පිළිබඳ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමේ දී දැඩි භාවයක් නො පැවතිය යුතු බව ය. ශ්‍රී ලංකාව අත්දුටු වර්ගයේ ගැටුමක් අවසන් කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් වන්නේ ‛විශ්වාසනීය ලෙස ඉදිරිපත් වන’ දේශපාලන විසඳුමක් යැයි ද මෙයින් තොර වුව හොත් අනාගතය පෙනී සිටිනු ඇත්තේ බෙහෙවින්ම කැලඹිලි සහගතව යැයි ද ඔහු තව දුරටත් කියා සිටියේ ය. වඩා ස්වභාෂීය වචනවලින් වුව ද බ්ලොග් රචක සර්නෝ ප්‍රතිරාවය කළේ ද මෙම හැඟීම ම ය: “ශ්‍රී ලංකාව: දුෂ්කර කොටස ඇරඹෙන්නේ දැන් ය.” මෙය ඇත්ත වන්නට යන බව දැන් අපි සියලු දෙනාම දනිමු.

කිසිදු විවේචනාත්මක තර්කන ක්‍රියාවලියක කිසිදු මං පෙතකට ශ්‍රී ලංකාව තුළ ශාරීරික සතුරුකම් අවසන් වීම ජනවාර්ගික ගැටුම අවසන් වීම අදහස් කරන්නේ ය යන නිගමනයට එළඹිය නොහැකි ය. ඉදිරි මාවත වෙහෙසකර ද වේදනාකාරී ද ගමන් කිරීමට දුෂ්කර ද වනු ඇත. එහෙත් ඒ පිළිබඳව පූර්ණ වශයෙන් දැනුවත් නොවී එම ගමන ආරම්භ කළ නොහැකි ය. අපට වුවමනා කරන්නේ සැබෑ සමගි සන්ධානයක් සහ නිදහස, සාධාරණත්වය සහ සමානතාව පදනම් කරගෙන ගොඩනැගෙන සමාජයක් නම් ඉතිහාසය තුළ දී සෑම ප්‍රජාතන්ත්‍රවාදී අත්හදා බැලීමක දී ම මුහුණ පා ඇති සියලු ගැටලුවලට මුහුණ දීමට අප සූදානම් විය යුතු ය. අප සමාජය උදෙසා පවතින, අපගේ ආදරණීය දේශපාලනඥයන්ගේ නොගැඹුරු වාගලංකාර හැඩ ගස්වන, සිවිල් සමාජයේ බොහෝ සාමාජිකයන්ගේ – නොහොත් මගේ මිතුරෙකු වරක් නම් කළ පරිදි ‛සාම’ ව්‍යාපාරයේ – සටන ආවේශ ගන්වන පරමාදර්ශ ඒවා ය. මෙම පරමාදර්ශවල කිසි වරදක් නැත – ඒවා තහවුරු කරනු ලබන්නේ සමාජ සාධාරණත්වය සහ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය මිස අන් කිසිවක් ප්‍රාර්ථනා නොකරන ව්‍යාපෘතියක් තුළ ය. මෙයින් කියැවෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ධනවාදී ව්‍යාපෘති ප්‍රමිතියක් වශයෙන් යහපත් යැයි අප පිළිගන්නා බව ය යන්න අමුතුවෙන් කිව යුතු නැත.

අඩු ගණනේ ශාස්ත්‍රාලීය ලෝකය තුළවත් බොහෝ දුරට ප්‍රධාන ප්‍රවාහය බවට පත් වෙමින් පවතින ඒ සුලභ පැරණි සමාජවාදී මාක්ස්වාදී වල්පල් වැදගත් කොට සැලකීම ගැන මෙලහකටත් ඔබ මට සමච්චල් කරනු ඇත. මුළු මහත් ජවයෙන් යුතුව නව ලිබරල්වාදයට, ධනවාදයට සහ නූතනත්වයට පහර දීම පහසු කටයුත්තකි. එය අලුත් පන්නයට ද අයත් ය. මෙම පද්ධති ගොඩ නගනු ලැබුණේ යහපත්, බලගතු සදාචාරාත්මක, ක්‍රිස්තියානි පදනම් මත වුවත් ඒවා ඉතා පහසුවෙන් විනාශ වී නටබුන් වන බව කිව යුතු නැත. මා කතා කරන්නේ තුන් වන ලෝකයේ ව්‍යසනයන් ගැන පමණක් නො වේ. නිසැකව ම ගෝලීය ව්‍යසනයන් ද ගැන ය.

දේශගුණික විපර්යාසය පිළිබඳ විවාදය තුළ ක්‍රියාකාරීව සිටින විද්වත්තු දේශපාලනඥයන් අතින් මෙහෙයවෙන ආණ්ඩු වෙනුවට දැනුම් විශේෂඥයන් අතින් මෙහෙයවෙන ආයතනික අධිකාරවාදයක් උදෙසා තර්ක කරමින් සිටිති. මක් නිසා ද? ප්‍රජාතන්ත්‍රවාදය මනුෂ්‍ය වර්ගයා අසාර්ථක කර ඇති බැවිනි; එම නූතන අත්හදා බැලීම ජීවමාන කරන ආයතන, නීති, වෙළඳ පොළවල් සහ සමායතන (සංගත) සිය පණ නළ රැක ගෙන සිටින්නේ ව්‍යාකුලභාවයෙහි ගිලී අසංවිධානාත්මකව සිටින මානව සංහතියක් පිළිබඳ ප්‍රතිරූපයක් මත බැවිනි. එහි මූලධර්මවලින් අපගේ සාරධර්ම සහ දැනුම් පද්ධති සියල්ල විකෘත වේ. අප බෙදා වෙන් කිරීමට සහ එදිරිවාදීන් බවට පත්කිරීමට මග පෑදෙන්නේ විජිතවාදී දායාදවලින් ම පමණක් නො වේ; පුද්ගලවාදය කෙරෙහි යොමු වන, පුද්ගලයාගේ කේන්ද්‍රීය භාවය පිළිබඳ සහ සාමූහික සාරධර්මවලට එරෙහිව පෞද්ගලික සාරධර්ම පිළිබඳ උනන්දුව ආධිපත්‍යය දරන නූතනත්වයේ මූලධර්ම ඊට වැඩියෙන් අප බෙදා වෙන් කරයි. අප එදිරිවාදීන් බවට පත් කරයි. සමානතාව සහ නිදහස පිළිබඳව අපට කතා කරමින් බෙහෙවින්ම සැඟවුණු ආකාරයකින් අප මුහුණ දී සිටින සාමාජීය අනාරක්ෂිතතාවන් සහ භීතීන් ගසා කමින් සමාජය ඉහළින් ම කැබලි වී යමින් පවතී. මම මෙහි දී අලුත් හෝ හිතුවක්කාර තර්කයක් ඉදිරිපත් නොකරමි. ශ්‍රී ලංකාව තුළ දී ප්‍රජාතන්ත්‍රවාදී අත්හදා බැලීම අසාර්ථක වනු ඇත. මෙම යුද්ධය ‛විශ්වසනීය ලෙස ඉදිරිපත් වුණු’ අපක්ෂපාතී දේශපාලන විසඳුමකින් අවසන් වී තිබුණ ද මෙම තත්ත්වය ඇති විය හැකි ය.

මෙම රචනයෙහි අඩංගු වන අදහස් වරද්දා නොගන්න. රාජපක්ෂ පාලන තන්ත්‍රයේ නීච මැරවරකම්වලට හෝ ඔවුන් ගැටුම හෝ රට හසුරුවන ආකාරයට මගේ කිසිදු අනුග්‍රහයක් නැත. ඔවුන් ශ්‍රී ලංකාවට කරමින් සිටින හානිය චන්ද්‍රිකා කුමාරතුංග සහ රණසිංහ ප්‍රේමදාස ගැන පවා ඇල්මෙන් සිතන්නට මගේ බොහෝ මිතුරන් පොලඹවා ඇත. ක්‍රියාකාරී පාර්ලිමේන්තු දේශපාලනයෙහි නියැළී සිටින බෞද්ධ පූජ්‍ය පක්ෂයේ සාමාජිකයන් ගැන සිතා බැලීම සදාචාරාත්මක පිළිකුලක් දනවයි. ක්‍රිස්තියානි නායකත්වයේ දුබලතාව ගැන සඳහන් කිරීමට සිදු වීම යම් තරමක ලජ්ජාවට කරුණකි. ශාස්ත්‍රාලීය ලෝකයට හෝ ස්වාධීන චින්තනයට සහ කථනයට කිසි ඉඩක් නැත. මාධ්‍යයේ සහ සිවිල් සමාජයේ වඩා නිර්භීත සාමාජිකයන්ට මරණය හෝ බෙහෙවින් බරපතළ වධහිංසාවක් විනා සත්තකින් ම අන් කිසිවක් නොලැබේ. විපක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහට අදහස් ප්‍රකාශ කළ නොහැකි ය. එබැවින් ඔහු අදහස් ප්‍රකාශ නොකරනු ඇත. සැබවින් ම සිවිල් සමාජය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ද ආර්ථික සමෘද්ධිය ද යනාදිය උදෙසා ‛යහපත්’ සටනක යෙදී සිටියි. ශ්‍රී ලංකාවේ සැබෑ දේශප්‍රේමීන් ලෙස සලකා, ආණ්ඩුවේ වාගලංකාර නොතකා, මම ඔවුන් වෙත යොමු වෙමි. මෙම ‛සාම ව්‍යාපාරය’ පිළිබඳව මට පවතින තැවුල නම් බටහිර කෙරෙහි ද අප සියලු දෙනා අපගේ රටවල් තුළ ක්‍රියාත්මක කළ යුතු බවට විදේශීය සුපිරි බලවතුන් නියම කර ඇති පිළිවෙත් කෙරෙහි ද ඔවුන් තබා තිබෙන විශ්වාසය යි. ඔවුන් මත කුරිරු සංස්කෘතික යුද්ධයක් කර ගෙන යාම සඳහාත් සිංහල ජාතිකවාදයේ වඩා දුෂ්ට පැති ඇවිස්සීම සඳහාත් රාජපක්ෂ පාලන තන්ත්‍රයට සහ බෞද්ධ පූජ්‍ය පක්ෂයට එය බොහෝ පහසුවක් වේ.

ප්‍රජාතන්ත්‍රවාදී, නූතන පද්ධති අසාර්ථක වීම ද ආර්ථික සහ පෞද්ගලික උනන්දුකම් ආධිපත්‍යය දැරීම ද පිළිබඳව මා ඉහත ඉදිරිපත් කළ තර්කය නිසා ඔබ මෙන්ම මම ද වෙහෙසට පත්ව සිටිමි. මා කලින් ද කී පරිදි, විකල්පයක් ඉදිරිපත් නොකර පද්ධති සහ පිළිවෙත් විවේචනය කිරීම අතිශය පහසු ය. මෙම අවධානය යොමු කිරීමෙන් සිදු වන්නේ අපගේ චින්තනය සහ ලෝකය සංවිධානය කිරීම කෙරෙහි මෙම පද්ධති කේන්ද්‍රීය වන බව දැඩි ලෙස තහවුරු වීම පමණකි. මෙය වූ කලි නූතන ශාස්ත්‍රාලීය ලෝකය සහ ප්‍රතිපත්ති සම්පාදනය නොදන්නා පැතිකඩකි; එනම්, පද්ධති සහ ආයතන පිළිබඳව විවේචනාත්මක වීමට කැමති වන නමුත් ඒවායින් ඔබ්බට ගොස් විකල්පයක් පවතී ද යන්න විමසා බැලීමටත් නූතන දේශපාලනය පදනම් වන මූලික මූලධර්ම වන ‛වර්ධනය’ සහ ‛ප්‍රගතිය’ යන ආකෘතිවලින් ඈත් වුණු රැඩිකල් ප්‍රතිසංස්කරණ දෙසට නැඹුරු වීමටත් අප අකමැති ය. විකල්පයක් පිළිසිඳ ගැනීමට – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නම්, මෙම මූලධර්ම මත පදනම් නොවන ස්වදේශීයව වැඩුණු විසඳුමක් පිළිසිඳ ගැනීමට – ඉඩක් තිබෙන්නේ ය යන්න පවා අපට සිතා ගත නොහැකි ය. මෙම විකල්පය කුමක් දැයි මේ දැන් මම නොදනිමි, ඒ නිසා එම විකල්පය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කරන ආකෘතිය ඔබට සපයන්නට මට නොහැකි ය. ඒ කෙසේ වෙතත්, මෙය ඇසීමට මට ඉඩ දෙන්න. කවර හෝ න්‍යායික අවකාශයකට කදිමට පෑහෙන්නේ ශ්‍රී ලංකාව තුළ පවතින දේවලින් ස්වල්පයක් ය යන අදහස වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේ දී මට හමු වුණු ශාස්ත්‍රඥයෙක් පළ කළේ ය. මෙය මෙසේ නම්, එම ප්‍රජාතන්ත්‍රවාදී, ධනවාදී අවකාශයටම ශ්‍රී ලංකාව පාහන්නට පරිශ්‍රම දරන්නේ ඇයි? සදාචාරාත්මක සහ තිරසර විකල්පයක් සොයමින් සිටින ලෝකයට ආදර්ශයක් වන ශ්‍රී ලංකාවක් දෙසට අප කරන සාකච්ඡාව, විවාදය සහ වැඩ කටයුතු යොමු නොවන්නේ ඇයි? සමහර විට අපගේ පා සලකුණු දිගේ ආපසු යාමට අපට සිදු විය හැකි ය, නූතන යුගයට පෙර සමය කරා යන සංවර්ධනාත්මක ආපසු ගමනකට භය නොවන්න. ලෝකය නමැති නගරයෙන් ඉවත් වී සිත නමැති ගම්මානය කරා අභීතව නව ගමනක් අරඹන්න. තව මත් හිරු බබළමින් පවතිද්දී සහ මධු විත නිදහසේ සහ අව්‍යාජව ගලා යද්දී මෙය කිරීම හොඳම දෙය යැයි මම සිතමි.

අනුපමා රණවන
[www.groundviews.org වෙබ් අඩවියේ මැයි 23 දා පලවු Re-imagining Sri Lanka post-war ලිපියේ සිංහල පරිවර්තනයයි]

පශ්චාත් යුද ශ්‍රී ලංකාව: සරසවි සිසුන්ගේ සිතුවිලි


පසු ගිය මැයි මාසයේ දී ශ්‍රී ලංකාව දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය සමඟ දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කරගෙන ගිය සිය යුද්ධය අවසන් කළේ ය. මෙම ලිපිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි සිසුන්ගෙන් තෝරාගත් නියැදියක් තමන් යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව දකින ආකාරය ගැන පළ කළ අදහස් පිළිබිඹු කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුග්‍රහය යටතේ 2006 දී යුද්ධයේ අවසන් අදියර ඇරඹුණු තැන් පටන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ එහි සහායකයන් ලෙස කටයුතු කළහ. 2009 මැයි 18 වන දා ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුහු උද්‍යෝගයෙන් යුතුව යුද්ධයේ අවසානය සමරමින් රතිඤ්ඤා පත්තු කළහ. ජාතික ධජය එසවූහ. “කිරිබත්” දන්සල් සංවිධානය කළ හ. ඒ ගමන් ම ඔවුහු උතුරෙහි අවතැන් වී සිටින සාමාන්‍ය ජනයා සඳහා වියළි සලාක සහ ආධාර ද එකතු කළහ.
(මෙම රචකයා වැනි කිහිප දෙනෙකු හැරුණු විට) බොහෝ ශ්‍රී ලාංකිකයන් ආණ්ඩුවේ ජයග්‍රහණය සමරා වසරක් ගත වී ඇත. එහෙත් එවක් පටන් කිසිදු වෙනසක් සිදු වී ඇත් ද? කළ යුත්තේ කුමක් ද? මම විමසුවෙමි.

“යුද්දෙ ඉවර උණු එක ගැන මට ඇත්තට ම සතුටු යි. ඒකෙන් අපිට තිබුණු බය නැති උණා, වැඩියත් ම, බෝම්බවලට අහු වේ ය කියල තිබුණු බය නැති වුණා. දැන් අපට ඕනෑම තැනක යන්න එන්න පුළුවන්. උතුරු නැගෙනහිරත් ඒ වගේම දකුණෙත් සංවර්ධන කටයුතු ගොඩක් සිද්ධ වෙන බව පේනවා. ඉතිං ඒක හොඳ යි. දැන් ආණ්ඩුව කරන්න ඕනත් ඒක යි. යුද්දෙ සංවර්ධනයට බාධාවක් උණා. ඉතිං දැන් අපි රට සංවර්ධනය කරන එක ගැන හිතන්න ඕන.” අමිලා පැවසුවා ය.

දෙමළ ජනයාට විසඳුමක් ලබා දිය යුතු නැද්දැයි ඇසූ විට ඈ මෙසේ කීවා ය, “ඔව් ඒ ගොල්ලන්ට විසඳුමක් ලබා දෙන්න ඕන. හැබැයි දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය පදනම් කර ගත්ත විසඳුමක් නං නෙවෙයි. දේශපාලන විද්‍යා සිසුවියක හැටියට, මං දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වෙන්නෙ නැහැ. පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල පිරිනමන එක ගැන ඒකෙ තියෙන වගන්ති බෙදුම්වාදයට අනුබල දෙනවා, ඒක රටේ ස්වෛරී භාවයට තර්ජනයක් මතු කරනවා. මං හිතන්නෙ හොඳම දේ තමයි සමාන අයිතීන් සහතික කිරීම පදනම් කර ගත්ත විසඳුමක් ඒ ගොල්ලන්ට ලබා දෙන එක.”

මා කතා කළ බොහෝ ශිෂ්‍යයෝ අමිලා පළ කළ හැඟීම්ම පිළිබිඹු කළහ. එහෙත් වෙනස් අදහස් ද තිබිණ;

යුද්ධය අවසන් වීම සාදරයෙන් පිළිගත් නමුත් සමහර සිසුහු යුද්ධයෙන් පසු තත්ත්වය විෂය මූලිකව සලකා බැලූහ. පශ්චාත් යුද සංවර්ධනය, පුනරුත්ථාපනය සහ සමගි සන්ධානය ගැනත් දෙමළ ජනයාගේ සමෘද්ධිය ගැනත් දේශපාලන විසඳුම ගැනත් ඔවුන් තුළ උනන්දුකම් පැවතිණ.

“දොළොස් මාසයක් තරමෙ සුලු කාලයකින් අපට ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ. ළඟදි මට අවස්ථාවක් ලැබුණ වව්නියාවට යන්න. මම දැක්කා එහේ අලුත් මහ පාරක් ඉදි වෙනවා. මේ පාරවල් හැමදාමත් තිබුණෙ දුර්වල තත්ත්වයකය කියලත් මට අහන්න ලැබුණා. හැබැයි මාර්ග සංවර්ධනය පැත්තෙන් ප්‍රදේශය සංවර්ධනය කරන එක විතරක් ප්‍රමාණවත් වෙන්නෙ නැහැ, මොක ද පශ්චාත් යුද තත්වයක, සංවර්ධනය කියල කියන්නෙ මාර්ග සංවර්ධනය කරන එක නෙවෙයි. වව්නියාවෙ ජීවත් වෙන මිනිස්සුන්ගෙ ගැටලු විසඳන්න මීට වැඩි යමක් කරන්න ඕන,”
වසන්තා ප්‍රකාශ කළේ ය.

“පහු ගිය අවුරුද්ද ගත්තොත්, මං දැකපු එකම වෙනස තමයි කොළඹ යි ඒ අවට ප්‍රදේශවල යි බෝම්බ පුපුරන්නෙ නැති එක. අපේ ප්‍රශ්න තාමත් එහෙම ම යි. උදාහරණයක් විදියට විරැකියා ප්‍රශ්නය, යුද්දෙ අවසන් උණු එකෙන් උපාධිධාරීන්ට තියෙන රැකියා අවස්ථා වැඩි දියුණු වෙලා නැහැ. ඒ වගේම ඒකෙන් මේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් වෙලත් නැහැ. ඇරත්, අපේ අධ්‍යාපනයේ තත්ත්වය බොහොම දුර්වල යි, ඒකෙන් රැකියා වෙළඳ පොළේ අවශ්‍යතා සැපිරෙන්නෙ නැහැ. ඒ හින්ද අපට අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ඕන කරනව,” සසන්ති කියා සිටියා ය.

එල්ටීටීඊ විරුවන්ගේ සොහොන් බිම් සහ පිළිම ඉවත් කිරීම සහ කඩා බිඳ දැමීම ගැන රාවය පුවත්පතේ (2010 මැයි 2 දා) පළ වුණු ලිපියක් උපුටා දක්වමින් ප්‍රසන්න මෙසේ පැවසී ය.

“දුටුගැමුණු රජ්ජුරුවො එළාර රජ්ජුරුවො පරාජය කෙරුවාම එළාර රජ්ජුරුවො සිහි වෙන්න ස්මාරක සොහොන් ගෙයක් ඉදි කෙරුවා, සොහොන් ගෙය පහු කරගෙන යන අවස්ථාවල දී ඒකට ගෞරව කරන්නය කියල මහජනයාගෙන් ඉල්ලා හිටියා. මේක තමයි අපේ ශ්‍රේෂ්ඨ දුටුගැමුණු රජ්ජුරුවො දීපු ආදර්ශය. ඒ ආදර්ශය අනුගමනය කරනවා වෙනුවට, අපේ ආණ්ඩුව එල්ටීටීඊ විරුවන්ගෙ පිළිම ඉවත් කරනවා, සොහොන් බිම් කඩල බිඳල දානවා. එල්ටීටීඊ විරුවන්ගෙ සොහොන් බිම් බුල්ඩෝසර් කරන එකෙන් අපි කරන්නෙ දෙමළ ජනයා ගැන නොරිස්සීමයි, වෛරය යි, ප්‍රදර්ශනය කරන එක නෙවෙයි ද? ඉතිං අපි කොහොම ද සමගි සන්ධානයක් ගැන කතා කරන්නෙ? මේ විදියෙ ක්‍රියා නිසා සිංහලයන් ගැන දෙමළ ජනයා තුළ තියෙන නොමනාපය යි කෝපය යි වැඩි වෙනව, අපිට කවදා වත් මේ ගැටලුව විසඳන්න පුළුවන් වෙන්නෙ නැහැ.”

මෙම කතාබහට එක් වුණු ශිෂ්‍ය භික්ෂුනමක් මෙසේ සිය අදහස් පළ කළේ ය, “යුද්දෙ ඉවර වෙච්ච එක ගැන මම සතුටු උණත් උතුරෙ සිද්ධ වෙමින් තියෙන සමහර දේවල්වලට මං එකඟ වෙන්නෙ නැහැ. යාපනයට යි කිලිනොච්චියට යි ගිහිං ආපු මිනිස්සු මට කිව්ව කිලිනොච්චියෙ කඩසාප්පු පවත්ත ගෙන යන්නෙ හමුදාවෙන් ය කියල, ඒ වගේ ම, කිලිනොච්චියෙ දෙමළ මිනිස්සුන්ට අයිති ඉඩම් රත්නපුරෙන් ගියපු මිනිස්සු අයිති කර ගෙන ය කියලත් ඒ ගොල්ලො කිව්ව. මට මේ කතාවෙ ඇත්ත නැත්ත පැහැදිලි කර ගන්න විදියක් නැහැ. ඒත් ඒක සිද්ධ වෙනව නං ඒක වැරදි යි, දෙමළ මිනිස්සුන්ට කරන අසාධාරණයක්! මේ විදියෙ කතා ඇහෙන කොට, දෙමළ මිනිස්සු ආණ්ඩුවට එරෙහිව ආයුධ අතට ගන්න එක ගැන මං පුදුම වෙන්නෙ නැහැ.”

ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් පවතිනු ඇද්ද නැද්ද යන්න මෙම සිසුන් උනන්දු වුණු තවත් කරුණකි.

“ආණ්ඩුව ඉහළින් ම ජාතිකවාදී ප්‍රවේශයක් වැළඳ ගනිමින් ඉන්නෙ; ඒ කියන්නෙ ජනවාර්ගික ගැටලුව කෙරෙහි සිංහල-බෞද්ධ දෘෂ්ටිය පදනම් කර ගත් ප්‍රවේශයක් ගනිමින් ඉන්නෙ, එල්ටීටීඊ එකට එරෙහිව ආණ්ඩුව ක්‍රියාත්මක කරපු මිලිටරි ව්‍යාපාරයෙන් ප්‍රදර්ශනය වුණේ ඒක යි. ඒ කියන්නෙ ආණ්ඩුව ජනවාර්ගික ගැටලුවේ සැබෑ ස්වභාවය අවබෝධ කර ගන්න අසමත් වෙලා තියෙනව. ජාතික ප්‍රශ්නය ජනවාර්ගික ගැටලුවක් නොවේ ය ත්‍රස්තවාදී ගැටලුවක් ය කියල කරන අර්ථ දැක්වීමෙන් ජාතික ප්‍රශ්නය ගැන ආණ්ඩුවට අවබෝධයක් නැති බව පැහැදිලිව පේනව. එල්ටීටීඊය පරාජය කෙරුවයින් පස්සෙ, තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ඉවත් කර ගන්නත් ජාතික ප්‍රශ්නය ගැන නිහඬව ඉන්නත් දෙමළ දේශපාලන පක්ෂවලට බල කෙරිල. ඒ හින්ද, ජාතික ප්‍රශ්නයට විසඳුමක් හොයන එක ගැන දෙමළ දේශපාලන, බුද්ධිමය කණ්ඩායම් තුළ සංවාදයක් ඇති වෙන බවක් අපට දකින්න නැහැ. මේ නිසා, දෙමළ, මුස්ලිම්, සිංහල ජනතාවගේ ගැටලුවලට අවධානය යොමු කරන දේශපාලන විසඳුමක් ජාතික ප්‍රශ්නයට තියේවි ය කියල මම හිතන්නෙ නැහැ,” පශ්චාත් මාක්ස්වාදී ශිෂ්‍යයෙකු වූ සම්පත් පැවසී ය.

මම ඊළඟට ගැටුමෙන් ඇළලී ගිය උතුරෙන් සහ නැගෙනහිරෙන් පැමිණි ශිෂ්‍යයන් කිහිප දෙනෙකුට කතා කිරීමට ගියෙමි. මඩකලපුවෙන් පැමිණි රාජේශ්වරන් නමැති සිසුවා තම හැඟීම් පළ කරමින් මෙසේ කී ය;

“යුද්දෙ ඉවර වෙච්ච එක හොඳ යි. ඒකෙන් අපේ පළාත්වල ව්‍යාපාරික, සංචාරක, සංවර්ධන අවස්ථා හුඟක් වැඩි වෙලා තියෙනව. එයාල දැන් මඩකලපුවෙ තිබුණු මුර පොළවල් ගණන අඩු කරල, දැන් ගමන් බිමන්වලට පහසු යි.”

අතීතය සිහිපත් කරමින් ඔහු මෙසේ පැවසුවේ ය, “යුද්ද කාලෙදි, වැඩියත්ම ගමන් බිමන්වලදි, අපිට දුෂ්කරතා ගොඩකට මුහුණ දෙන්න සිද්ධ උණා. අත්අඩංගුවට පත් වේ ය කියල තිබුණු බිය නිසා හමුදා සොල්දාදුවෙක් දැක්කා ම අපි ගැස්සෙනවා, ඉතිං අපි පුරුදු වෙලා හිටිය මුර පොළවල් පහු කරල අපි එක්කං යන්න සිංහල යාළුවෙක් හොයා ගන්න.” යුද සමයේ දී සමහර විශ්ව විද්‍යාල සිසුහු ඔහුට ද වෙනස්කම් කර තිබිණ, “ඒ දවස්වල අපට සිංහල ශිෂ්‍යයො මුණ ගැහුණ ම ඒ ගොල්ලො අහනව අපි කොයි පළාතෙන් ද කියල? අපි ආවෙ මඩකලපුවෙන් ය කියල කිව්ව ම, ඒ ගොල්ලො අහනව ඔය ගොල්ලන් එල්ටීටීඊ එකෙන් ද, එහෙම නැත් නම් ඔය ගොල්ලො කරුණගෙ අය ද කියල. අපි ඒ ගොල්ලන් එක්ක වාද කරන්න ගියේ නැහැ, හැබැයි ඒ වගේ කාලෙක අපි ආරක්ෂා කරපු සිංහල යාළුවොත් හිටියා. කොහොම නමුත් යුද්ධය අවසන් උණත් එක්ක දැන් තත්ත්වය වෙනස් වෙලා. දැන් අපට ඕනෑම තැනක යන්න එන්න ලොකු නිදහසක් තියෙනව. අපේ ගමේ හමුදා කඳවුරේ ඉන්න සොල්දාදුවො යාළුවො වගේ. විශ්ව විද්‍යාලෙදි උණත් දෙමළ වුණු හින්ද අපි වෙනස්කම් කිරීමකට ලක්වෙන්නෙ නැහැ, ඉතිං ඒක හොඳ යි. ඒත් ඒ අතරෙ ම ආණ්ඩුව අපට දේශපාලන විසඳුමක් ලබා දිය යුතු යි. දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කළ යුතු යි. පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල ලබා දිය යුතු යි,” රාජේශ්වරන් කී ය.

අම්පාරේ මායිම් ගම්මානයකින් පැමිණි සිංහල ශිෂ්‍යාවක වූ නිමාලි යුද සමයේ දී ඇය ලද අත්දැකීම් අප සමග බෙදාහදා ගත්තා ය. “ඉපදුණු දවසෙ ඉඳලම මම ජීවත් උණේ යුද්දෙත් එක්ක. අවස්ථා කීපයක දී ම එල්ටීටීඊ එක අපේ ගම්මානය ඉලක්ක කර ගත්තා. එල්ටීටීඊ එක පරාජය කරපු දවස වෙනකම් ම බය කියන දේ අපේ ජීවිතවල කොටසක් බවට පත් වෙල යි තිබුණෙ. යුද්දෙ නිසා අපි බොහොම දුක් කරදරවලට මුහුණ දුන්නා. විශ්ව විද්‍යාලෙ යන්න මම කොළඹ ආවා ම අපේ පළාතෙ තිබුණු ආරක්ෂක තත්ත්වය නිසා ගෙදර යන එන එක සීමා කරන්න මට සිද්ධ වුණා. දැන් යුද්දෙ ඉවර යි, අපි සාමයෙන් ජීවත් වෙනවා. වඩාත් ම වැදගත් දේ අපි බයක් නැතුව ජීවත් වෙන එක.

“දැන් අපේ පළාත්වල සිංහල, මුස්ලිම්, දෙමළ ජනයා අතරෙ සම්බන්ධකම වැඩි දියුණු වෙලා. අපට දෙමළ යාළුවො ගොඩක් ඉන්නව. අපි නිතර නිතර ඒ ගොල්ලන්ගෙ ගෙවල්වලට යනව එනව, ඒ ගොල්ලො අපේ ගෙවල්වලට එනව යනව. අපි ඒ ගොල්ලන්ගෙ ගෙවල්වලට ගියා ම ඒ ගොල්ලන්ගෙ අම්මල තාත්තල අපට ඇත්තට ම හොඳින් සලකනව. අපි දෙමළ අයත් එක්ක යාළුකම් පවත්තනවට මගේ අම්මල තාත්තල කැමති නැති උණත් දෙමළ යාළුවො අපි බලන්න ආවම එයාල ඒ ගොල්ලන්ට හොඳින් සලකනවා. මං බෞද්ධයෙක් උණත් මගේ දෙමළ යාළුවොත් එක්ක මං කෝවිල් යනවා,” නිමාලි පැවසුවා ය.

යුද්ධයෙන් පසුව තම ගමෙහි සිදු වන සංවර්ධනයේ ප්‍රගතිය ගැන අදහස් දක්වමින් ඇය කියා සිටියේ එහි බොහෝ සංවර්ධන කටයුතු සිදු නොවන බව යි. “සිංහල ප්‍රදේශත් එක්ක සංසන්දනය කරල බලන කොට දෙමළ ප්‍රදේශවල සංවර්ධන කටයුතු ගොඩක් සිද්ධ වෙමින් තියෙනව. අපේ ගම්මානවලට අවධානය යොමු නොකරන එක ගැන මම අපේ ප්‍රදේශයේ දේශපාලනඥයන්ට දොස් කියනව. දෙමළ ප්‍රදේශ සංවර්ධනය වෙන එක ගැන මට ගැටලුවක් නැහැ. ඒ ගොල්ලන්ට ඒක අවශ්‍ය යි. දෙමළ අය මේ අරගලය පටන් ගත්තෙත් සංවර්ධනයේ අඩුපාඩුකම් නිසයි. ඒ නිසා දෙමළ මිනිස්සුන්ගෙ සමාජ-ආර්ථික සංවර්ධන අවශ්‍යතාවලට විසඳුම් ලබා දෙන එක වැදගත්. අවසන් වශයෙන් මං කියන්නෙ, දේශපාලන විසඳුමක් තියෙන්න ඕන, වඩා වැදගත් දේ තමයි මේ විදියෙ තවත් යුද්ධයක් අවශ්‍ය නැහැ යි කියන එක සහතික කරන්න අපට සිද්ධ වෙනව ය කියන එක!”

අන්තිමට මා කතාබහ කළේ උතුරෙන් පැමිණි දෙමළ ශිෂ්‍යයෙකු වන නිමලරාජ් සමඟ ය. එල්ටීටීඊයේ “රාජධානිය” ලෙස පැවති කිලිනොච්චියෙහි ඉපිද එහිම හැදී වැඩුණු නිමලරාජ්ගේ කතාව නිමාලිගේ කතාවට වෙනස් නැත.

“මේ යුද්දෙ නිසා මම බොහොම දුක් කරදරවලට මුහුණ දුන්නා. මට යාළුවො ගොඩක් නැති උණා. යුද්දෙ අන්තිම දවස්වලදි, එල්ටීටීඊ එක මගේ බාල සහෝදරයා බලෙන් සටනට බඳව ගත්ත, දැං එයා වව්නියාවෙ පුනරුත්ථාපනය වෙනව. මගේ පවුලට තිබුණු හැම දේම නැති උණා, යුද්දෙ ඉවර වෙන්න කලින් ඒ ගොල්ලො ආණ්ඩුවෙ පාලනය යටතේ තිබුණු ප්‍රදේශවලට පැන ගත්ත. දැං ආපහු යාපනයෙ පදිංචි වෙලා ඉන්නව, ඒ ගොල්ල කිලිනොච්චිවල ආපහු පදිංචි කරනව ය කියල එයාලට දැනුම් දීල තියෙනව. මං හිතන්නෙ යුද්දෙ ඉවර වෙච්ච එක හොඳ යි. මුර පොළවල දී අවහිරයක් නොවී, අත්අඩංගුවට පත් නොවී දැන් අපට නිදහසේ ගමන් බිමන් යන්න එන්න පුළුවන්. විශ්ව විද්‍යාලෙදි උණත් අපි දිහා සැකෙන් බලන්නෙ නැහැ. ඒව තමයි යුද්දෙන් පස්සෙ මම දකින ධනාත්මක දේවල්. හැබැයි ගැටලුවට දේශපාලන විසඳුමක් තියෙන්න ඕන, ඒ වගේ ම සමගි සන්ධානයත් අවශ්‍ය යි.”

මෙම සිසුන් හා කතාබහ කිරීමෙන් පසුව මට හැඟුණු දෙය නම් යුද්ධය අවසන් වීම ඔවුන්ගේ බිය පහකර ගමන් බිමන් යාමට සහ වැඩ කටයුතු කිරීමට ඔවුන්ට වැඩි නිදහසක් ලබා දී ඇති බව යි. සමහර සිසුන්ට නම් මෙය ඕනෑවටත් වඩා වැඩි දෙයකි. ඔවුහු අන්යමක් අපේක්ෂා නොකරති. එහෙත් සමහර සිසුන්ට හැඟෙන්නේ යුද්ධයෙන් පසුව වහාම සංවර්ධන කටයුතු සිදු විය යුතු බව යි. කෙසේ වුව ද, පශ්චාත් යුද පසුබිම තුළ දී සිදු විය යුත්තේ කෙබඳු සංවර්ධනයක් ද යන්න ගැන ඔවුන්ට කිසිදු අදහසක් නැති බව පෙනී යයි.

ඔවුන්ගෙන් කියැවුණු කරුණුවලින් හෙළි වුණු තවත් දෙයක් නම් ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබා දීම සම්බන්ධයෙන් ඔවුන් තුළ දැනුවත්කමක් නැතිකම යි. 13 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන අය අත කිසිදු විකල්ප විසඳුමක් නැත. ඔවුන් යෝජනා කරන එක ම විසඳුම දෙමළ ජනයාගේ අයිතීන් සහතික කළ යුතු ය යන්න යි. සමහර සිසුන් බලය බෙදා හැරීම මත පදනම් වුණු දේශපාලන විසඳුමක් ගැන අවධානය යොමු කළ ද අඩු ගණනේ ඔවුන්ට ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක්වත් නැත.

එල්ටීටීඊය පරාජයට පත්ව තුරන් වීමත් සමග, ජනවාර්ගික ගැටලුව පිළිබඳව සිවිල් සමාජය තුළ සිදු වෙමින් පැවති සංවාදය සාමාන්‍ය පුරවැසියන්ගේ හදවත්වලින් සහ මනස්වලින් අතුරුදන්ව ගොස් ඇති බව පෙනේ. ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබා දීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ, බුද්ධිමය කණ්ඩායම් සහ මාධ්‍ය තුළ සංවාදයක් හෝ විවාදයක් සිදු නොවේ. සිසුන්ගේ අදහස්වලින් පැහැදිලි ලෙස පෙන්නුම් කෙරෙන පරිදි, විශ්ව විද්‍යාල තුළ පවා කිසිදු සංවාදයක් හෝ පොදු එකඟතාවක් නැත.

පශ්චාත් යුද සංවර්ධනය, පුනරුත්ථාපනය, සමගි සන්ධානය සහ වඩා වැදගත් කරුණ වන ශ්‍රී ලංකාවෙහි ජනවාර්ගික ගැටලුවට කල් පවතින විසඳුමක් තහවුරු කිරීම සම්බන්ධ ගැටලු ගැන අවධානය යොමු කරන සංවාදයකට අදාළ උපකලුපතිවරුන්, මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, ශිෂ්‍ය නායකයන් සහ ශිෂ්‍යයන් මුල පිරීම මෙම පසුබිම හමුවේ කාලීන මෙන් ම වැදගත් ද වේ.

පසු සටහන* අනන්‍යතාව ආරක්ෂා කරනු පිණිස සිසුන්ගේ නම් වෙනස් කර ඇත.

මෙය, පුංචි ලෝකයකි විසිනි

පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ අනෙකා සමග ජීවත් වීම

ජිප්සි බොහීමියා විසිනි

මෙහි දී මා දෙමළ ලියක සමග දිවි ගෙවන බව සිහි කරන්නට මට බොහෝ විට සිද්ධ වෙයි. මා සමග එකට නිවසේ ජීවත් වන, සිංහලයෙකු හා විවාහ වී සිටින වැනෙසා දෙමළ ය. මා, ඇය ද ඇයගේ සැමියා ද සමග ජීවත් වන්නට වී දැන් අවුරුද්දකට ළඟ ය. ඇය සමග වැඩ කරන්නට වී අවුරුදු දෙකකට වැඩි ය. ඈ මගේ සමීපතම මිතුරියන්ගෙන් ද කෙනෙකි.

ඇය දෙමළ ය; මා සිංහල ය. එහෙත් මා මෙය ලියද්දීත් ඒ බෙදුම් රේඛාව දිගේ අප දෙදෙනා ගැන සිතීම දුෂ්කර කටයුත්තකි. ඒ අපගේ අනන්‍යතාවන්හි සීමා මායිම් නියම කෙරෙන්නේ කුමකින් දැයි වටහා ගන්නට මට නොහැකි බැවිනි. ඇය දෙමළ ගැහැණියක කෙරෙන්නේ කුමකින් දැයි තේරුම් බේරුම් කර ගන්නට මට හැකි වුණු විට පවා, එවිට පවා ඇය මාගෙන් වෙනස් කෙරෙන්නේ කුමකින් දැයි තේරුම් බේරුම් කර ගන්නට මට නොහැකි ය.

වර්ණයෙන් ද? ඇය මට වඩා අඳුරු පැහැති ය. එහෙත් අප දෙදෙනා ම දුඹුරු සමැති ය.

උච්චාරණයෙන් ද? කට හඬෙහි පවතින ඉතා සියුම්, ළගන්නාසුලු උද්‍යෝගී බවක් ද හැරුණු විට ඈ මට වඩා කිසි වෙනසක් ඇතිව කතා නොකරයි.
භාෂාවෙන් ද ? අපි දෙදෙනා ම ඉංග්‍රිසි කතා කරමු. ඈ මට වඩා හොඳට සිංහල කතා කරයි. මා වචනයක් වත් නොදන්නා දෙමළ බස චතුර ලෙස තෙපලයි.
සංස්කෘතියෙන් සහ චාරිත්‍ර වාරිත්‍රවලින් ද? සහ ඇයගේ ඇතැම් නෑදෑයන් බොහෝ සන්ත්‍රාසයට පත් කරමින් ඈ කසාද බැන්දේ සිංහලයෙකි. ඒත් තමන් කළ තේරීම ගැන ඇය සිටින්නේ සතුටිනි.

ඇඳුමෙන් ද ? ඇය අඳින්නේ මා මෙන් ම ය. අපි අනන්තවත් එකිනෙකාගේ ඇඳුම් හුවමාරු කර ගන්නෙමු. නමෙහි ද ? ඈ ඇයගේ නම වෙනස් නොකළා ය. “මා මගේ නමට කැමති යි,” නිකමට, නිදහසට කරුණු කියන්නා මෙන් ඈ මට කීවා ය.

දේශපාලනික සබැඳියාවෙහි ද ? ඇයගේ දේශපාලන අදහස් උදහස් ද මගේ මෙන් ම නොපැහැදිලි ය. අපි නායකත්වය ගැන කරදර නොවෙමු, එය පෙරළා දැමීමට බලාපොරොත්තු වන අය ගැනත් කරදර නොවෙමු. අද දවසේ දේශපාලනය තමන්ට ගැළපෙතියි ඇය නො සිතයි නම්, මා ද එවැනි යි මට කිව හැකි ය. අප දෙදෙනාම ප්‍රාර්ථනා කරන්නේ අතරමැද යම් දෙයකි – වඩා රුචිකර, වඩා සත්‍යවාදී යම් දෙයකි. අද දවසේ අපට දකින්නට නැති යම් දෙයකි.

පෙළපතෙහි ද ? ඇයගේ දෙමාපියෝ, ජනාධිපතිවරණයේ දී මහින්ද ට ඡන්දය දුන්හ. මා දුන්නේ සරත්ට ය.

ඇයත් මාත් පාසල් ගියේ ද එකට ය. සම වයසෙහි පසු වුණු අප එකම ශ්‍රේණියෙහි සිටි මුත් අපි දෙදෙනා යන්තමින් වත් එකිනෙකා දැන හඳුනාගෙන නොසිටියෙමු. ඇය සිටියේ දෙමළ මාධ්‍යයෙහි ය. මා සිංහල මාධ්‍යයෙහි ය. එකල පවා ඇය ඉතා කුඩාවට සිටි බවත් ඇය ශාන්ත ගතිපැවතුම් ඇති පුංචි දැරිවියක විය යුතු යැයි සිතනුත් මට මතක ය. මට එතරම් ම වැරදී නැත!

වතාවක් ත්‍රී වීලරයක නැගී සිය දෙමාපියන්ගේ නිවස බලා යමින් සිටිද්දී පොලිස් නිලධාරියෙක් ඇය නතර කළේ ය. රථය සෝදිසි කළ ඔහු, විශේෂයෙන් ම ඇයගේ හැඳුනුම් පත පරීක්ෂා කොට ඇය දෙමළ බව දුටු විට, එක දිගට ප්‍රශ්න වැලක් ම අසනු ලැබිණ. ඈ ඉවසිලිමත්ව සියල්ලටම සිංහලෙන් පිළිතුරු දුන්නා ය. ඇය සිය අත්බෑගයේ සුරැකිව තබා ගෙන සිටි මගුල් පින්තූරයක් පෙන්නූ විට පවා ඇය සිංහලයෙකු කසාද බැඳ සිටින බව පිළිගන්නට ඔවුන් මැළි විය. ඔවුන්ට කරුණු කියන්නට ගත් උත්සාහයෙන් පසුව, ඇයගේ ශාන්ත ගතිය නැති විය. ගොත ගැහෙන සිංහලෙන් ‛වර්ගවාදී බැල්ලිගෙ පුතා’ යි ඔවුන්ට කියා ගන්නට ඈ සමර්ථ වූවා ය. පසුව වදන්වලින් ඔවුන්ට හොඳ හැටි තඩි බෑ නිසා ඇය වහා පොලීසියට ඇද ගෙන ගියෙන් සිය සැමියා පැමිණ කැටුව යන තෙක් එහි රැඳෙන්නට ඇයට සිදු විය.

“අපොයි දෙයියනේ, එයා දෙමළ,” යැයි මා සිතා ගත්තේ පහුව දා මා පිනවමින් ඇය මේ කතාව කියූ පසුව පමණකි. ඇරත්, ‛දෙමළ’ ය කියා කියන විට මා ඉන් අදහස් කරන්නේ ඇයගේ ජනවාර්ගිකත්වය ම නොවේ. මා අදහස් කරන්නේ, ඇය මේ රට තුළ සුලුතරයක් ලෙස ජීවත් වන බවත්, සිංහල නමක් තිබෙන හේතුවෙන් මට භුක්ති විඳීමට ඉඩ ලැබී තිබෙන නිදහසවල් ඇයට තහනම් කෙරී තිබෙන බවත්, මා අවබෝධ කර ගත්තේ මෙන්න මේ විෂම සිදුවීම් අතරතුර දී බව ය.

“ඒක විහිළුවක්,” දොස් නගන්නා මෙන් එදා ඈ මට කීවා ය. “මම දෙමළ ය කියල දැක්කා ම අර පොලිස්කාරයා පුදුම වුණා – මගේ හැඳුනුම්පත නොදැක්ක නං එයා කීයටවත් ඒක දැන ගන්නෙ නැහැ. මම මගේ සැමියගෙ නම අරගෙන තිබුණ නං, ඒ වෙච්ච කිසි දෙයක් සිද්ධ නොවෙන්න තිබුණ.” ඇය ඇත්ත හරියටම කී බව අවබෝධ වූයෙන් මම පසු බෑවෙමි. තෝන්තු වුණෙමි. තරමක් ලජ්ජාවට ද පත් වුණෙමි.

වැනාට නම්, සිද්ධිය හුදු තනි සිද්ධියක් විය. අහේතුවට සිදු වුණු පුංචි සිදුවීමක් ද ඇයගේ මිතුරු මිතුරියන්ට කියන්නට හොඳ කතාවක් ද විය. මට නම්, ඊට වඩා ටිකක් වැඩි අසුබදායක යම් දෙයක් ඉන් ඇඟවිණ. ප්‍රශ්නයට බඳුන් වුණු පොලිස්කාරයා හුදෙක් එක් තනි වසයෙකු පමණක් විය හැකි බව සත්ත යි. ඒත් මේ වර්ගයේ අඩන්තේට්ටම් කිරීම් දිනපතා සිදු වන බව අපි හැමෝ ම දන්නෙමු. පෙනෙන හැටියට නම් අප හාත්පස වසයෝ බොහෝ දෙනෙක් සිටිති. යුද්ධය අවසන් වන්නට කලින් මාස කිහිපය තුළ දී මම මේ ගැන මගේ මිතුරෙකු සමග කතාබහක යෙදුණෙමි. මුර පොළක් පසු කර ගිය හැම අවස්ථාවකම තමන් තුළටම ගුළි වන්නට උත්සාහ කළ දෙමළ මිතුරියක තමන්ට සිටි බව ඔහු පැවසුවේ ය. “ඇයට ඕනෑ කළේ හැංගෙන්න. වැඩියක්ම, මට ඒ ගැන හිතල වද වෙන්න හේතුවක් නැති බව මා දන්න නිසා, මට ඇත්තට ම ඇය ගැන කනගාටුවක් ඇති වුණා,” ඔහු කීවේ ය.

අපට කවදාවත්ම වද වෙන්න හේතුවක් තිබිල නැහැ. එහෙම නේද?

අපත් මුර පොළවල දී නතර කරල තියෙනවා. අපෙනුත් ඊට සමාන ප්‍රශ්න අහල තියෙනවා. ඒක එච්චර දෙයක් නෙවෙයි, හරි ද? ඒ ගොල්ලන්ට ඒක ඒ තරම් අමාරු දෙයක් වෙන්න විදියක් නැහැ. එහෙම නම් ඒ ගොල්ලො මොකක් ගැන ද චෝදනා කරන්නෙ? ඒ ගොල්ලො හැම දෙනා ම කරන්නෙ චෝදනා කරන එක. මේක යුද්ධ කාලයක් – මේ දේවල් කරන්න ම වෙනවා.

යුද්ධයේ අවසන් අදියරේ දී – මුර පොළවල පටන් මුලතිව්හි කොටු වී සිටි සිවිල් වැසියන් දක්වා වූ නානාවිධ පසුබිම් ගණනාවක දී, මා දන්නා හඳුනන මිනිසුන් ඉතා බොහෝ දෙනෙක් යට කී වදන් තෙපලනු මා අසා ඇත. කාරණය වන්නේ මා මේ දේවල් කී වතාවක් අසා සිටියේ ද යන්න නො වේ. ඔවුන් කිසි විටෙකත් මා නිහඬ කිරීමට සමත් නොවීම යි. මධු විත තොල ගාන අතරෙහි දෙසා බාන එක් අහඹු වැකියකින් ඔවුන්ට මිනිස් ජීවිත තඹයකට නොතකා කතා කළ හැකි ය. යන්තමින් තම දෙඋර හකුළා කරන සංඥාවකින් ඔවුන්ට ඝාතනයකට සමාව දිය හැකි ය. ඝාතනයක් යුක්ති සහගත වුව ද කළ හැකි ය. සමහරුන් ‛දෙමළ ප්‍රශ්නය’ යන වචන දෙක දමා ගසන්නේ එය නපුරු හෝ වඩා නපුරු යෙදුමක්, ත්‍රස්තවාදය යන්නට සමාන තෙපුලක් ලෙස සලකා ගෙන ය. බුද්ධිමත්, කල්පනාන්විත පුද්ගලයෝ පවා – තමන් කියන දේ පසුපස පවතින හලාහල විෂ වුව ඔවුන්ට අවබෝධ වෙත් දැයි මට සැක සහිත ය. ඒ තරමටම, දිගින් දිගට ම, තමන් කියන දේ ගැන සැහැල්ලුවෙන් සිතන්නට පෙලඹී සිටිති.

‛අනෙකා’ පිළිබඳ මෙම හැඟීම අප සමාජය තුළ කොතරම් තදින් කා වැදී ඇත් ද යන වග මෙම නිමේෂයෝ වේදනාකාරී ලෙස මට පසක් කර දුන්හ. වැනා සහ මා අතර වැඩි වෙනසක් මා කිසි දා දැක තිබුණේ නැත. එහෙත් මා මෙම තත්ත්වයන්ට මුහුණ දෙන විට, වැනා පිළිබඳ මගේ ආකල්පය නිසා මා මුළුමනින් ම පිටස්තරයෙකු බවට පත් වන සෙයක් පෙනී යයි. කෙසේ වුව ද මට නම් ඇය කිසියම් ‛ඔවුන්ගේ කණ්ඩායමකට’ අයත් කෙනෙක් නොවේ. ඈ ඇය ම ය. මට නොවැටහෙන ඇය පිළිබඳ ඒ තොරතුරු මා තුළ කුහුලක් දනවනවා පමණකි. ඈ මගේ සංස්කෘතිය සහ සම්ප්‍රදාය ගැන බොහෝ දේ දනී. මා ඇය ගැන යමක් දන්නේ යන්තමිනි. සිය විවාහ මංගල්‍යයේ දී ඇයට ඉටු කරන්නට සිදු වුණු වතාවත් ගැන මා හා කියමින් සිටි වේලේ ඇය මට කියූ නුහුරු නුපුරුදු අසිරිමත් දේවලින් මම වසඟ වුණෙමි.

යුද්ධය අවසන්ව වසරක් ගෙවී ඇතත් අප පසු කර ඇත්තේ කොතරම් නම් ස්වල්ප දුරක් ද? සටන නැතිකම සැබෑ සහ අර්ථවත් සාමයක් බවට පරිවර්තනය කළා වෙනුවට, වසර පිරී තිබෙන්නේ ආධිපත්‍යය තකා කළ තරඟවලිනි. සටන් ජය ගෙන තිබෙන, අප වල්මත් කරන ප්‍රචාරක පෝස්ටර තව දුරටත් අප ඇස නොගැටෙන මේ මොහොතෙහි සමහර විට අපට එකිනෙකා ගැන සිතා බැලීම ඇරඹීමට පිළිවන් විය හැකි ය – සිතා බලන්නට, අදහස් හුවමාරු කර ගන්නට සහ සැබෑ ලෙස අවබෝධ කර ගන්නට. ඉතිහාසයට දොස් කීම පහසුවනතාක් දුරට දේශපාලනඥයෝ ද අධිකාරීහු ද අප වැරදි මග දිගේ කැඳවා ගෙන යති. එහෙත් එය වැළඳ ගනු ද නොගනු ද යනු තෝරා ගත යුතුව තිබුණේ අප ය. කෙසේ වුව ද දැන් වෙනසක් සිදු වන්නට යන්නේ නම්, එය සිදු විය යුත්තේ අප අතිනි – කිසිවෙකු අප තුළ එම වුවමනාව ඇති කළ බැවින් නොව දැන් අපට එම වෙනස වුවමනා කරන බැවිනි.

‛අප’ යන්නෙන් මා අදහස් කරන්නේ සිංහලයන් පමණක් නො වේ. අපගේ පාරිභාෂික වචන ද වෙනසකට ලක් විය යුතු ය: ‛අප’ සහ ‛ඔවුන්’ වෙනුවට – නිකම් ම නිකම් ‛අප.’ එය වූ කලි සම්බන්ධතා ගොඩ නැගීමකි – එහෙත් එය බෙහෙවින් දේශපාලනීකරණය වී ද බෙහෙවින් සංකීර්ණ වී ද බෙහෙවින් අශෝභන වී ද පවතියි. එය එහෙම පිටින්ම වෙනත් යමක් බවට පරිවර්තනය වී ඇති සැටියක් පෙනී යයි. බලය. හිමිකම. ඊර්ෂ්‍යාව. බිය. මේ සියල්ලම අපගේ පද්ධති තුළට මුසු වී ඇත. අපගේ රුධිරය සමග එක් වී ඇත. අප සියලු දෙනාම ඉවත ලිය යුතුව තිබෙන්නේ මෙය යි.

වැනා දැන හඳුනාගැනීම මගේ ජීවිතය මුළුමනින්ම පාහේ වෙනස් කර ඇත. මාගේ මුල්ම සමීප දෙමළ මිතුරිය වන ඇය, මා තුළත් අනෙකුන් තුළත් පවතින අසංවේදිතාව – මා දැන නොසිටි බව කිසිදා නොහැඟවෙන්නට ඉඩ තිබුණු ඒ අසංවේදිතාව, ඇය කැමැත්තෙන් සිටි ඒ අසංවේදිතාව – හඳුනා ගන්නට මට බල කර ඇත. ඉතින් අවසානයේ දී අප ළඟා වන්නට සිදු වී ඇත්තේ එතැනට යැයි මම අනුමාන කරමි: නමුත් අප පරිස්සම් විය යුතු ය.

යුද්ධය අවසන් වී ගෙවුණු වසර අප සමරද්දී මා තුළ යම් බලාපොරොත්තුවක් තිබෙන්නේ නම් ඒ අපගේ මනස තුළ අලුත් බලාපොරොත්තුවක කඳවුරු බැඳිය යුතු ය යන්න යි. එවැන්නකින් දිගු කලක් තිස්සේ පැවතුණු විශ්වාසයන් කෙරෙහි උදහස පළ වන්නට ඉඩ තිබෙන නිසා සහ සැඟවුණු පක්ෂපාතීකම් එළිදරව් වන්නට ඉඩ තිබෙන නිසා තවමත් එවන් බලාපොරොත්තු බොහොමයක් උදෙසා සටන් වැදීමට අපහසු ය. එහෙත් ලේ වැගිරීමක් නැති යම් බලාපොරොත්තුවක්. අත හැර දැමීමට පොලඹමින් විසි කෙරෙන අල්ලස් ගත නොහැකි නිසා හෝ ශාරීරික ශක්තියෙන් පරාජය කළ නොහැකි නිසා – මනස වෙනස් කරනවාට වඩා ශරීරය මරා දැමීම පහසු ය – වඩා අභියෝගාත්මක බව ඔප්පු වනු ඇති යම් බලාපොරොත්තුවක්.

අප එම යුද්ධය දිනුව හොත්, අනෙකාගේ වේදනාවේ සහ මරණයේ වියදමින් ජීවත් වීමේ වරදින් අපගේ ප්‍රීත්‍යෝත්සව කිලිටි නොවනු ඇත.
එම ජයග්‍රහණයේ දී, අප සියලු දෙනාම වීරයන් වනු ඇත.

[2010 මැයි 22 www.groundviews.org වෙබ් අඩවියේ පළවූ Living with the Other in post-war Sri Lanka ලිපියේ සිංහළ පරිවර්තනය යි]

හුවමාරු කළ හැකි දේ

මා කැමති යි අරක්කු
බෝතලයක් කඩා ගෙන
ආලින්දයෙන් එපිටට
ඇවිද යන්නට

සයුර ඉදිරියට ගොම්මන් වෙලාවෙහි,
මේ රහමෙර
මුසුව ගාන
ගමන් ම

තොල, විඳ ගනිමින්
සොම්නස හඬ ගා බමන
සුළඟෙහි, ඇන්න දුන්
අප යුද සෙබළුන්

තළා දමමින්
ගම්මුන් හෙළමින් බෝම්බ.
ඔවුහු, දෙමළුන්,
තෝරා ගත්තු යුද්ධය,

මුහුණ පෑ යුතු දැන්
අමිහිරි ප්‍රතිවිපාකවලට
නොපැකිළ,
තනි පයින්
පැන පැන යමින්

අලුත් ස්වාමියෙකු කරා.
මෙය ඉතා පැහැදිලි,
කුමට ලියනු ද
කව් පද තවත්, නැතොත්

හඳිනු පලඳිනු හෝ
සම්භාව්‍ය කෘති කියවනු පවා?
අරක්කු මිහිරි ය,
හුණු ගල් ද

ලුණු ද මිණි ද,
තිබේ නම් උතුරුකරයෙහි
නෙළා ගැනෙනු ඇත
ඒ අපගේ
දකුණුකරය පිනවන්නට

විවේකීව ඇවිදිමින්
උණවටුනෙහි ගෙවූ සැඳෑවන්
අතින් අත ගෙන
සඳ මඬල යට;

පවා ඒ දෙමළ
පිරිමි දරුවා
සිය මවත්
පියාත් අහිමි වුණු

එල්ලය වැරදුණු
මිසයිලයකට ගොදුරුව,
පවසයි ඔහු යා යුතු යැයි
නොනැවතී ඉදිරියට

උගත යුතු යි ශිල්පයක්.
පවතී අලුත්
ගණිත ක්‍රමයක්,
වීසි කරන්න ගණක රාමුව,

බාලයෝ, අපගේ සිහිනය,
අත් හැර දමනු ලැබ ඇත.
ඔබගේ දණ ඔබා
හිස් නමා වඳින්න,

තාමත් අප
කාරුණික ය,
දෙන්නම් ඔබට කුඩා
ඉඩම් කෑල්ලක්

වීදියෙ
පහළට වෙන්න
අලුතින් ලියලපු බෝධිය යි සි
ද්ධස්ථානය යි ළඟින්.

ඉන්ද්‍රන් අමිර්තනායගම්

අද දවසේ අභියෝග: මනස තුළ සිටින ගුල්ලෝ


A9 පාෙර් අැති පුවරැවක්.

මයිකල් රොබට්ස් විසිනි

1995 අග දී, පලාලිවල සිට ඉදිරියට යමින් ශ්‍රී ලංකා හමුදාව දකුණු දෙසටත් නැගෙනහිර දෙසටත් යන්නට විය. ඒ වන විට දයා සෝමසුන්දරම් සිටියේ යාපනය නගරයෙහි ය. පසුබැසීමට තීරණය කළ එල්ටීටීඊය සියලු දෙමළ ජනයා තමන් සමග යා යුතු යැයි අවධාරණය කළේ ය. දෙමළ ජනයාගෙන් සමහර අය මෙම බල කිරීම නම් කෙරුවේ “නික්ම යාමක්” හැටියට ය. ඔවුන්ගේ සිහියට නැගුණේ එනමින් බයිබලයෙහි එන කතා වස්තුව යි. ඒත් සෝමසුන්දරම් කතන්දරය කියන්නේ වෙන පිළිවෙළකට ය. එනම්, ජනයාගෙන් වැඩි දෙනා එල්ටීටීඊයේ මෙම ආඥාව ගැන නොමනාපය පළ කළහ.

අන්තිමේ දී බොහෝ ජනයා හමුදාව වාඩි ලා ගෙන සිටි ප්‍රදේශය තුළ පිහිටි සිය නිවහන්වලට ආපසු ගියහ. සෝමසුන්දරම් අයත් වූයේ 1990 ගණන්වල අග සමයේ දී යාපනය අර්ධද්වීපය තුළ රාජකාරිවල යෙදී සිටි වෘත්තීයවේදී පිරිස්වලට ය. හමුදා පාලනය නිසා දෙමළ ජනයා අතර ඉතා ඉක්මනින්ම “පොදු අවසිහියක්” ඇති විය. ඔවුන්ට සිතුණේ නික්ම යාම නිර්මාණය කළේ හමුදාව ය කියා ය, මිනී කන මහ රාක්ෂසයා සිංහල රාජ්‍යය ය කියා ය. එහෙත් අතීතය දෙස බලා කළ මෙම තක්සේරුවල දී, ඔවුන්ට එල්ටීටීඊයේ ක්‍රියා කලාපය මුළුමනින්ම වාගේ මග හැරී ගියේ ය. [i]

කෙසේ වුව ද, උතුරුදිග වන්නියේ දෙමළ ජනයාට නික්ම යාමට බල කළ, එනම් යුද අපායේ ගිනි දැල් පැතිර පැවති ප්‍රදේශවල ගාල් වී නිරාහාරව දිවි ගෙවීමට ඔවුන්ට බල කළ එල්ටීටීඊ තන්ත්‍රය පරාජයට පත් විය. දැන් 2010 වෙද්දී, එල්ටීටීඊය ගැන තමන්ට තිබුණු සැකසංකා හෝ ද්වේෂය අමතක කර දැමීමට මෙම දෙමළ ජන සමූහය පෙලඹෙමින් සිටිති. ඒ අතරතුර, පීඩනය නිසා උමතු වී සිටින රාජපක්ෂ තන්ත්‍රය ආරක්ෂක උපාය මාර්ගවලට පමණට වැඩි වැදගත්කමක් ලබා දී ඇත. ප්‍රතිඵලය වී ඇත්තේ බහුතරය දෙමළ ජනයා වන ප්‍රදේශ තුළ වේදනාව ඇවිස්සෙන පරිදි නිල ඇඳුම් හැඳි මිනිසුන් පිරී සිටීම යි. මෙම සමහර දෙමළ ජනයා අතර, එල්ටීටීඊය පිළිබඳව තිබුණු දොම්නස් සහගත හැඟීම රාජ්‍යයට එරෙහි දොම්නස් සහගත හැඟීමක් බවට පෙරළෙමින් පවතී. වාර්ගික හැඟීමත් දශක ගණනක අතීතය තුළ සිදු වුණු බෝම්බ හෙළීම් සහ නිශ්චිත ක්‍රූරකම් පිළිබඳ මතකයනුත් අලුත් වීමෙන් පෝෂණය වි, දොම්නස් සහගත හැඟීමක් බවට හැරෙමින් පවතී.

කොටින් කීවොත්, මම මෙහි දී උත්සාහ කරන්නේ නිල ඇඳුම් හැඳ ගත් රාජ්‍ය හමුදා කාර්ය මාණ්ඩලිකයන් 2007-09 කාලයේ ලද මිලිටරි ජයග්‍රහණයෙන් ලබා ගත් “සාමය” රහසින් කා දමන ගුල්ලන් ලෙස නිරූපණය කිරීමට යි. එසේ ම, නිතර හොල්මන් කරන මෙම අසුබ නිමිත්ත, දකුණු අත දෙන දෙයට, රහසින් හානි කරන වම් අතක් පිළිබඳ කතන්දරයක් ද වේ. උතුරු සහ නැගෙනහිර යන දෙමළ ප්‍රදේශ දෙක තුළ ක්‍රියාත්මක කරන බොහෝ ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙළවල් සම්බන්ධයෙන් අත්පොළසන් ලබන්නට රාජපක්ෂ රාජ්‍යයේ දකුණු අත සුදුසු ය. [ii] එහෙත්, නිර්ව්‍යාජ බුද්ධිමය සහ භාවමය ක්‍රියාකාරකම් එක් කර යටිතල පහසුකම් සැපයීමේ ක්‍රියාකාරකම් පෝෂණය කිරීම අත්‍යවශ්‍ය ය. මගේ ලිපියෙන් කරුණු ඉදිරිපත් කෙරෙන්නේ එම අත්‍යවශ්‍ය බව අවධාරණය කිරීමට යි.

පළමු මූලධර්මය, දෙමළ ජනයා මනුෂ්‍යයන් ලෙස සැලකිය යුතු ය යන්න යි. මෙහි අදහස, ඔවුන්ගේ “දෙමළ භාවයට” රට තුළ ඉඩකඩක් සපයා දී ඔවුන් ජාතිකත්වයක් හෝ ජාතියක් බව පිළිගැනීම යි. මෙහි දී, සේටන්-වොට්සන් ඉදිරිපත් කළ න්‍යාය අනුගමනය කරමින්, එමෙන් ම එහි ඇතැම් තැන් සංශෝධනය කරමින් මම මෙසේ ලියමි: “යම් ජාතියක් පවතින බව එම ජාතියේ සාමාජිකයන්ගෙන් කොටසකට ඤපැහැදිලි ලෙස සිය අදහස් සහ හැඟීම් පළ කරන සහ දේශපාලනිකව වැදගත් කොටසකට%” ඒත්තු යන ඕනෑ ම විටෙක එම “ජාතිය” බලවේගයක් ලෙස ජීවමාන වන්නේ යැයි කිව හැකි ය. [iii] ශ්‍රී ලාංකික දෙමළ ජනයා, මෙම දැක්ම කරා ළඟා වූයේ 1949 සහ 1956 අතරතුර දී ය; එහෙත්, යුද්ධයේත් දුක් ගැහැටවලත් කටුක පරීක්ෂණයට ලක් වෙමින් එතැන් පටන් එම දැක්ම එන්න එන්න ම ගැඹුරු විය.

විදේශවලට සංක්‍රමණය වුණු දෙමළ ජනයා මුල පිරූ ව්‍යාපාරය ද මෙම දෘෂ්ටිය ප්‍රකාශයට පත් වුණු අවස්ථාවක් විය. එහෙත් එම සංවිධානය ආකාශයේ ඉතා ඉහළ ගෝලය තුළ නිර්මාණය කළත් එම පියවරෙන් සිංහලකම රකින සිංහල ආරක්ෂකයන් පිළිබඳ දුර්මතය පණ ගැන්වෙනු ඇත. රාජසිංහම් නරේන්ද්‍රන් වැනි විරුද්ධ අදහස් දරන්නන් ඉදිරිපත් කරන තර්ක මෙහි දී සැලකිල්ලට ගැනීම වටී. මෙවැනි ආකාරවල දෙමළ ජාතිකවාදය නිසා, ලංකාව තුළ සිටින මෙම ජන කොටස් දෙක අතර සම්මුතියක් ඇති වනවා වෙනුවට එය බොහෝ දුරට වැළකී යාමට ඉඩ ඇතැයි ඔවුහු කියති.

කෙසේ වෙතත්, දිවයින තුළ පවත්නා ජාතික, සංස්කෘතික සහ භාෂාමය යනාදි විවිධත්වය සැලකිල්ලට ගන්නා ශ්‍රී ලාංකික ව්‍යවස්ථාවක් තුළ, ඒකකයක් ලෙස හෝ ඒකක ලෙස එකට වාසය කිරීමට සුදුසු ජාතියක් හැටියට දිවයිනේ දෙමළ ජනයා පිළිගත යුතු ය යන අපේක්ෂාව අවහිර කරන තවත් බාධා ද පවතී. එහෙත් ඉඩකඩ මඳකම නිසා, සිංහල සමාජ සංවිධානය තුළ සිටින එම ‛ගුල්ලන්’ පිළිබඳ මෙම සීමිත ලැයිස්තුවෙන් ඔබ්බට යන්නට මට නොහැකි ය.

එක: මා පටන් ගන්නේ පැහැදිලි දේශපාලන පසුබිම ඉදිරිපත් කරමිනි. ෂඪ වන ඊළාම් යුද්ධය විශිෂ්ට ලෙස ජය ගැනීමෙන් අත්කර ගත් උත්කර්ෂවත් රශ්මි මාලාවත් සමඟ රාජපක්ෂවරුන්ගේ ආධිපත්‍යය, පාලනය තුළ දැඩි ලෙස තහවුරු විය. ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලද තේජාන්විත ජයග්‍රහණත් සමඟ එය දැන් උච්චස්ථානයට පත්ව ඇත. ඔවුන්ට දේශපාලන සුජාත භාවය පිළිබඳ හැඟීමක් සහිතව සිතින් සතුටු විය හැකි ය. මෙම සැනසිලිදායක හැඟීම තුළ ධනාත්මක අපේක්ෂාවක් ගැබ් වේ. එනම්, එම හැඟීම නිසා දෙමළ ජනයාගේ ඕනෑ එපාකම් පිරිමසන දේශපාලන වැඩ පිළිවෙළවල් අතැතිව අධිෂ්ඨාන සහගතව පෙරට යාමට ඔවුන් දිරි ගැන්වෙන්නට ඉඩ ඇත. එහෙත් ගැටලුව පවතින්නේ ද එතැන ය. මෙම වැඩ පිළිවෙළවල් සම්පාදනය වනු ඇත්තේ තමන්ගේ ලොකුකම පෙන්වීමට කරන පරිත්‍යාගයක ස්වරූපයෙන් ද? …… හරියට ඉහළ පෙළැන්තියේ වලව්වේ හාමු කෙනෙකු දක්වන අනුග්‍රහයක් සේ ද? …… දෙමළ (සහ මුස්ලිම්) ප්‍රජාවන්ට හිමි විය යුතු විශේෂ අයිතිවාසිකම් වෙනුවට ද? අනුග්‍රාහකාත්මක දේශපාලනයේ යෙදුණු අශෝක පාලන ආකෘතියේ ප්‍රතිඵල[iv] උපතින් ම අස්ථාවර ය. ශ්‍රී ලංකාව තුළ ඉහළ පෙළැන්තිය අනුග්‍රාහකාත්මක දේශපාලනය ගැන දැනුවත් වූයේ ද? යන ඒ ආකෘති ඇසුරෙනි. එහෙත්, බලය බෙදා හරින/විමධ්‍යගත කරන ආයතන ඇති කිරීමට ශ්‍රී ලංකාවට පවතින අවශ්‍යතාව ප්‍රබල සහ ස්ථිර ගතියෙන් යුක්ත වූවකි.

දෙක: රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ ශ්‍රීලනිපය නියෝජනය කරන්නේ සිංහල කතා කරන, සුප්‍රකට රුහුණු ලාංඡනය දරණ ග්‍රාමීය ජනයා සහිත ලංකාවයි. එහෙත් එය, සාමාජීය අපේක්ෂා දරා ගෙන සාමාජීය වශයෙන් ඉදිරියට යමින් සිටින කැපී පෙනෙන සටන්කාමී පිරිසකගෙන් සමන්විත ග්‍රාමීය ලංකාවකි. ඒ නිසා ම ඔවුහු මහරගම වැනි කොළඹ අවට ද කොළඹ තුළ ද පිහිටි පෙදෙස්වල කඳවුරු බැඳ ගත්හ. ඔවුන්ගෙන් නියෝජනය වන්නේ, 1956 දී බණ්ඩාරනායකගේ ශ්‍රීලනිපය බලය ගැනීම කරා තල්ලු කළ පංච මහා බලවේගයේ අලුත් ප්‍රභේදයකි.[v] කොටින් කියතොත්, අලුත් ස්වරූපයකින් ඒ හා සමාන දෘෂ්ටිමය ධාරාවන් පුනර්ජීවනය වෙමින් පවතින බව යි. ඔවුන්ගෙන් සලකුණු වන්නේ. බටහිරකරණය වුණු කොළඹ වෙසෙන ප්‍රභූ පිරිස (චන්ද්‍රිකා බණ්ඩාරනායක ද මේ අතරින් කෙනෙකි) එහි සතුරන් බවට පත්ව සිටින්නේ, “මහජන” නියෝජිතයන්ගේ වේශයෙන් යක්ෂාරූඪ වී සිටින්නේ ඒ නිසා ම ය. මොවුන්ගෙන් මූර්තිමත් වන්නේ, “ජනතාවාදී ඒකාධිපතිත්වය” යැයි කිව හැකි ආණ්ඩු ආකෘතියකට මුක්කුව දීමට සිතමින් සිටින ජනතාවාදී, ස්වදේශීය ධාරාවන් ය. ඒත් එවැනි ආණ්ඩු ආකෘතිත් ෆැසිස්ට් රාජ්‍ය ආකෘතියත් අතර පවතින්නේ බෙහෙවින් ම සුලු වෙනසකි. උදාහරණයක් ලෙස, ඔබට විසි වන සියවසේ රුමේනියානු ඉතිහාසය සලකා බැලිය හැකි ය. [vi]

තුන: 1956 පරිවර්තනයට හවුල් වුණු ප්‍රවණතාවල ජනතාවාදය සේම රාජපක්ෂ තන්ත්‍රයේ ජනතාවාදය ද ස්වදේශීයවාදයට යට වෙමින් පවතී. මෙම ස්වදේශීයවාදය සිංහල එකකි. ඒ නිසා එම ස්වදේශීයවාදය තුළ ගැබ් වන ජනතාවාදය, දෙමළ, මුස්ලිම්, මැලේ යනාදි වරප්‍රසාද නොලත් සියලු දෙනා දෙසට එක හා සමානව නැඹුරු නොවේ. ප්‍රතිඵලය වී ඇත්තේ කුමක් ද? නලින් ද සිල්වා වැනි දෘෂ්ටිවාදීන්, මුළුමනින් ම බලහත්කාරී අයුරින්, දිවයින තුළ සිටින වරප්‍රසාද නොලත් ජනයා “ජාතියක්” ලෙස නම් නොකිරීම යි; ඒ මාර්ගයෙන්, “පන්තිය” සහ “ජාතිය” අතර ඒකාන්ත වශයෙන් ම පවතින වෙනස හිතාමතා ම යට ගැසීම යි; එලෙස, බටහිරකරණය වුණු ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විත වන “පිටස්තර ජාතියට” සාර්ථක ලෙස අභියෝග කිරීමට ඔහු සමත් වීම යි; පහසුවෙන් අනෙක් ප්‍රජාවන් මග හැර යමින් සිංහල කතා කරන වරප්‍රසාද නොලත් අයට වරප්‍රසාද ලබා දීමට ඔහුට හැකි වීම යි. [vii] මෙහි තිබෙන වාචික හරඹ බිය උපදවන තරමට ම අරුම පුදුම ඒවා වේ. මෙම චින්තනය තුළ දී, වරප්‍රසාද නොලත් දෙමළ ජනයා නොදැනෙන්නට මුල්ලකට තල්ලු කර අමතක කර දැමීමේ අරමුණ ඇතිව, “පන්ති අරගලය” සහ බටහිර විරෝධී ස්වදේශීයවාදය යුක්ති සහගත කිරීම සඳහා යොදා ගන්නා වචන එකිනෙකට මුසු කරනු ලැබේ.

හතර: ඊළඟට මෙම දෘෂ්ටිමය ධාරාව “සිංහල මානසික පිළිවෙළ” නමින් හැඳින්විය හැකි දෙය සමඟ මිශ්‍ර වේ, “සිංහල මානසික පිළිවෙළ” ශක්තිමත් කරයි. මෙම ඉදිරි දැක්මට පදනම් වන්නේ සාම්ප්‍රදායික විශ්වාසයකි. එම විශ්වාසය කොතරම් සැක සහිත විය හැකි වුව ද එය සැලකිල්ලට නො ගැනේ. එනම්, මුල් ම ශිෂ්ටාචාරවත් පදිංචිකරුවෝ සිංහලයෝ ය; ඓතිහාසිකව ඔප්පු වී ඇති පරිදි, අනුරාධපුර සහ පොළොන්නරු යුගවල අවසාන භාගයේ “වාරිමාර්ග ශිෂ්ටාචාරවල” ආධිපත්‍යය දැරුවේ සිංහලයෝ ය; සංඛ්‍යාත්මකව කතා කරන්නේ නම්, දහනව වන සියවසේ දී ජන සංගණන පටන් ගත් තැන් සිට සංඛ්‍යාත්මක බහුතරය වී ඇත්තේ සිංහලයෝ ය, යනාදිය යි. එම නිසා, බ්‍රිතාන්‍යයන් සහ සිංහල නොවූ අයගෙන් වැඩි දෙනෙකු පවා, බ්‍රිතාන්‍ය යුගයේ “ලංකාව” (Ceylon) සිංහල සාවියක් ලෙස සලකා ඇත.

මෙම පදනම මත, “ලාංකිකයෝ” (Ceylonese) සහ “සිංහලයෝ” (Sinhalese) යන නාමයන් සමාන පද ලෙස සලකන්නට බොහෝ සිංහලයෝ (ඔවුන් කොතරම් දැයි සංඛ්‍යා ලේඛන සහ සමානුපාතයන් සපයන්නට මට ක්‍රමයක් නැත) නොදැනීම පුරුදු වූහ. හරියට ම, ඇතැම් ඉංග්‍රීසිකාරයන් “බ්‍රිතාන්‍යයෝ” (British) යන්න “ඉංග්‍රීසීහු” (English) යන්නෙහි කොටසක් බවට පත් කර ගත්තාක් මෙන්, සිංහලයෝ ද වචන දෙක සම කළහ. එලෙස, අද දවසේ දී, “ශ්‍රී ලංකාව” නමැති භූමි ප්‍රදේශය ලංකා, හෙළදිව, සිරි ලක යනාදි පැරණි භූමි ප්‍රදේශ සමඟ සම කරනු ලැබේ; “ශ්‍රී ලාංකිකයෝ” යන යෙදුම “සිංහලයෝ” යන්න සමග බොහෝ විට සම කරනු ලැබේ. [ix]

වචන කිහිපයකින් කියන්නේ නම්, සිංහල කොටස, නොදැනෙන සහ බලගතු ආකාරයකට, සමස්ත ශ්‍රී ලාංකිකය ම තමන් තුළට අඩංගු කර ගනී. විසි වන සියවසේ මුල් භාගයේ දී “ලාංකික තරුණයන්” අමතා අනගාරික ධර්මපාල ලියූ එක් රචනයක දී ඔහු පරෙස්සම් සහගත ලෙස “සිංහල තරුණයන්ට” උපදෙස් සපයයි. [x]ධර්මපාල 1956 පෙරළියට [xi] උපකාරක වුණු බ්‍රහ්මචාරී පුද්ගලයන් අතරින් කෙනෙකු වීම ද අහම්බයක් නොවේ. මෙම මානසික පිළිවෙළ, 1956 දේශපාලන පරිවර්තනය ඇති කළ දේශපාලන බලවේග ශක්තිමත්ව නැගී ඒමට රුකුලක් විය; ඉංග්‍රීසි භාෂාවට සහ එහි පන්ති ඒජන්තයන්ට මුල් තැන හිමි වීම අභියෝගයට ලක් කළේ ය; සිංහල භාෂාව පරිපාලන භාෂාව බවට පත් කරමින් දෙමළ ස්වභාෂාව දෙවන තැනකට දැමුවේ ය.

අද දින සිංහල ප්‍රජාව තුළ, මේ පැයේ අවශ්‍යතා කෙරෙහි සාවධාන වන හොඳ හිත ඇති පුද්ගලයෝ සිටිති. එනම්, අව්‍යාජ ෆෙඩරල්වාදී දෘෂ්ටිවාදයක් පදනම් කර ගෙන සුවපත් කිරීමේ හැකියාවක් වර්ධනය වෙමින් පවතී. එය, සුලුතරයන් ද “ශ්‍රී ලාංකිකයා” නමැති සංකල්පයේ වෙන් කළ නොහැකි කොටස් ලෙස දකියි. කෙසේ වුව ද, ඔවුන් කර පින්නා ගෙන ඉන්නේ කවර දේශපාලන බලයක් ද යන්න වත් සිංහල කතා කරන්නන්ගෙන් කොපමණ කොටසක් එය පිළිගන්නේ ද යන්න වත් මම නොදනිමි. මගේ අනුමානය නම් ඔවුන් ඉතා කුඩා සුලුතරයක් බව යි.
වෙනත් වචනවලින් කියතොත්, මගේ අනුමානය නම්, බොහෝ සිංහලයන් ලංකාව=සිංහල යන මානසික පිළිවෙළෙහි ඇලී ගැලී සිටින බව යි; ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු, මා ගැටලුවක් ලෙස ඉදිරිපත් කර ඇති, කොටස සහ සමස්තය අතර සම්බන්ධතාව ගැන පවා නොදැනුවත් බව යි. අද දවසේ සැලකිල්ලට ගන්නා එක ම වෙනස “දේශප්‍රේමීන්” සහ “දේශප්‍රේමීන් නොවන්නන්” (එනම්, දේශද්‍රෝහීන්) අතර වෙනස යැයි ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් ප්‍රකාශ කරන විට, කෙනෙකුට දැක ගන්නට ලැබෙන්නේ මෙවැනි චින්තනයකි. එවැනි ඉදිරි දැක්මවල්, විචාරයක් නැති සත්‍යයන් බවට පත් කෙරෙන අතර, එයින් දෙයාකාරයක සුජාත භාවයක් ලැබේ. මෙම ලෝක දෘෂ්ටිය කොතරම් භයානක දැයි ඉන් හැඟේ. එම දෘෂ්ටිය මුල් බැස ගනිමින් පවතින්නේ සමගි සන්ධානයේ කර්තව්‍යයන් පැවරී ඇති ආයතන සහ බලවේග තුළ ම නිසා එය විශේෂයෙන් ම අන්තරායකර වේ.

මෙම ලිපිය සිහි-නුවණ ඉහළ නැංවීමේ අරමුණෙන් කෙරුණු ක්‍රියාවකි. එහෙත්, ග්‍රවුන්ඩ්වීව්ස් තුළින් ඉස්මත්තට ගන්නා තුන් තේරවිල්ල තුළ පවතින වඩාත් ම ප්‍රධාන ගැටලුව වන්නේ මෙම පටු සහ අගති සහිත දෘෂ්ටිවාදාත්මක මත සමූහය යැයි මෙම ලිපිය ප්‍රකාශ නොකරයි. එනමුත් එය වැදගත් ගැටලුවක් යැයි මම විශ්වාස කරමි. මෙම අදහස පිළිගන්නේ නම්, ඉතින් එවිට මෙම ප්‍රශ්නය ද පැන නගින්නේ ය: අද දවසේ ආධිපත්‍යය දරන දෘෂ්ටිවාදය තුළ පවතින මෙම අනර්ථකර බලපෑම් දුරු කිරීමට අප සටන් කළ යුත්තේ කෙසේ ද? සලකා බැලීමට ලක්වන විෂය ක්ෂේත්‍ර තුළ දී සිහි-නුවණ ඉහළ නැංවීමට අප සටන් කළ යුත්තේ කෙසේ ද? යන්නයි.

(www.groundviews.org වෙබ් අඩවියේ 2010 මැයි 22 පළවූ CHALLENGES TODAY: WEEVILS IN THE MIND ලිපියේ පරිවර්තනයයි.)

Foot Note
[i] This summary is based on a couple of leisurely conversations with Daya Somasundaram in Adelaide and “collective amnesia’ was a phrase he used. Note that during his stay in Jaffna he was courageous enough to criticise the LTTE (as well as the state) when video-interviewed on air for an ABC documentary directed by Marc Corcoran ( “Truth Tigers,” 15 May 2002). After the ceasefire his professional psychiatric capacities extended to the Vanni areas controlled by the LTTE.

[ii] Roberts, “The Rajapakse Regime: Brickbats, Plaudits,” www.groundviews.org, 16 December 2009, Note M. Sarvananthan, “Putting Entrepreneurship at the Heart of Economic Revival in the North, East, and Beyond,” ICCR Talk I Colombo, 27 April 2010.

[iii] Hugh Seton Watson, Nationalism Old and New, Sydney University Press, 1965: 3. His statement runs thus: whenever “an active and fairly numerous section of its members are convinced that it exists.” I do not believe that numbers are vital; 4-15 percent in well-organised operations can be quite a force. The restive youth in underground associations in the Jaffna Peninsula were a force even in the 1970s.

[iv] For the concept of the Asokan Persona and illustrations of the type of operations this mode of thinking encourages in Sri Lanka, see the relevant four chapters in Michael Roberts, Exploring Confrontation, Reading: Harwood Academic Press, 1994.

[v] Besides the clarification of this political process by such scholars as Wriggins, Kearney and KM De Silva, readers may be interested in my charting of the generational overlaps between such intermediate political activists from the 1880s to the 1950s in Roberts, “The Political Antecedents of the Revivalist Elite within the MEP Coalition of 1956″ in K.W. Goonewardena Felicitation Volume, ed. by C.R. De Silva & Sirima Kiribamune, Peradeniya University, 1989, pp. 185-220 and “The 1956 Generations: After and Before,” in Roberts, Exploring Confrontation, Reading: Harwood academic Publiishers, 1994, pp. 297-314.

Since completing this article I find that Nira Wickremasinghe has developed motifs about the class forces driving the Rajapakse phenomenon in ways that mesh with mine. See her “After the War: A New Patriotism n Sri Lanka?” Journal of Asian Studies, 2009, 68/4: 1045-54

[vi] See Constantin Iordachi, “God’s Chosen Warriors. Romantic Palingenesis, Militarism and Fascism in Modern Romania,” in C. Iordachi (ed.) Comparative Fascist Studies. New Perspectives, Routledge, 2010: 316-57; and Ghita Ionescu, and Ernest Gellner (eds.) 1969 Populism: Its Meaning and National Characteristics, London: Weidenfeld & Nicolson.

[vii] Nalin de Silva, “A tale of two nations,” http://www.kalaya.org/island2010.html.

[viii] Taking off from President Rajapakse’s victory speech in May 2009, Nira Wickremasinghe also highlights this facet of the Sinhala mind-set: “the president’s vision merges nation and state and promotes a love of country based on a particular reading of the history and foundation myth of the Sinhala people in which all other groups—those formally known as minorities—are present merely as shadows, not as constitutive elements of a common political culture” (2009: 1047 – see fn. 5 above). For a previous criticism of the President’s approach see Roberts, “Some Pillars for the Future,” Frontline, Vol. 26/12, 6-19 June 2009.

[ix] I have not discovered when precisely the term “Sinhalas” was deployed in English as a substitute for the word “Sinhalese.” I know that Gananath Obeysekere began to follow this practice in recent decades, but am uncertain where the innovation originated. In etymological terms it is probably a more correct usage. However, it has also been adopted by Nalin de Silva and the Jātika Chintanaya school of thought. In brief, whatever a particular author’s intention, it is now an expression of political puritanism. In this manner it is a mirror image of the Puritanism that was sustained in Tamil Tiger circles by such figures as Thamilenthi and Baby Subramanium, supported indirectly by the Orientalist pedantry of Peter Schalk. Set against this context I insist upon adhering to the old noun “Sinhalese” in both plural and singular implication, while using “Sinhala” only as adjective or as reference to the language.

[x] Dharmapala, Return to Righteousness, ed. by Ananda Guruge, Colombo: Ministry of Cultural Affairs, 1965: 501-44.

[xi] Note also this statement from Nalin de Silva: “What happened in 1956 was a continuation of the movement of Anagarika Dharmapala after driven into oblivion for more than half a century as shown by Dr. Gunadasa Amarasekera” (fn. 6 above).

Next Page »