ළමුන් නොකී කතාව….
June 2, 2010 by Karapoththa
Filed under Ampara, Batticaloa, Featured Articles, Features, Jaffna, Trincomalee, end of the War, සිංහල
මෙම යුද්ධය දසදහස් ගණන් පුරුෂයන්ගේ ද ස්ත්‍රීන්ගේ ද ළමුන්ගේ ද ජීවිත බිලි ගෙන ඇත. තවත් සියදහස් ගණනක් අවතැන් වී සිටිති. බොහෝ ජනයාට නම්, යුද සහ පශ්චාත් යුද තත්ත්වයේ අසාමාන්‍ය තත්ත්වය වේගවත් සහ වේදනාකාරී ලෙස සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් පවතියි. එහෙත් ඇතැමෙක් ඒ එසේ යැයි නො දකිති, ඇතැමෙක් එය දකින්නට ජීවතුන් අතරත් නැත.
මෙවන් තතු තුළ සිය ගණන් දරුවෝ උපත ලබමින් සිටිති. ගැටුමේ මුල් කොටස තුළ දී අවතැන් වූ මුස්ලිම් අභ්‍යන්තර අවතැන් වූවන් තව මත් පුත්තලමෙහි ඔහේ කල් ගෙවමින් සිටින්නේ ය යන කරුණ සැලකිල්ලට ගත් විට, උපන් මෙම ළමුන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් තමන් උපන් තත්ත්වයන්ට සමාන තත්ත්වයන් තුළ ම (සමහර විට වැඩිහිටියන් ලෙස) මිය ගිය හොත් මම ඉන් පුදුමයට පත් නොවන්නෙමි.
අධ්‍යයනවලින් හැඟෙන්නේ, පශ්චාත් යුද චෛතසික කම්පනය යුද්ධය අතරතුර දී පෙළුණු මානසික ආතතියට වඩා වේදනාකාරී යැයි සිතිය හැකි බව යි. යුද සමයන් අතරතුර දී සහ ඊට පසුව ඇති වුණු කලහකාරී තත්ත්වයන් තිබිය දී ම, මහජනයා මෙම වේදනාවෙහි ගැළී ජීවත් වීමටත් විස්තර නොකළ හැකි ආතතියටත් ගොදුරු විය. කෙසේ වුව ද, මෙම අසාමාන්‍ය තත්ත්වයන් අඩු වී යනු ඇති බවට ද සාමාන්‍ය තත්ත්වය සෙමෙන් සෙමෙන් යළි ඇරඹෙනු ඇති බවට ද පවතින බලාපොරොත්තුව වූකලි වඩාත් ම දුෂ්කර කාලවල දී සැනසීම සොයමින් සිටින්නන්ට අස්වැසිල්ලට කරුණකි. මිලිටරිමය ගැටුමක් යැයි සිතිය හැකි දෙයක් සිදු නොවන මුත් මහජනයා දිගින් දිගට ම දුෂ්කර තත්ත්වයන්ගෙන් පීඩා විඳින පශ්චාත් යුද තත්ත්වයක දී, පශ්චාත් යුද චෛතසික කම්පනය සිය විසකුරු ග්‍රහණය දැඩි කිරීම නො වැළැක්විය හැකි ය.
එහි රුදුරු භාවය නිසා, එය අවසන් වීමෙන් පසුව දිගු කලක් ගත වන තුරුත් ගොදුරු වූවන්ට මනෝ විද්‍යාත්මක සහ මනෝ චිකිත්සීය උදව් අවශ්‍ය කරන නිසා, මෙය චෛතසික කම්පනාත්මක අත්දැකීම පිළිබඳ සුසමාදර්ශයක් බවට පත්ව ඇත.
මගේ පියා ඉතාලියානු රාජ්‍ය නොවන සංවිධානයක් ක්‍රියාත්මක කළ ‛අධ්‍යාපනය සඳහා පෝෂණය’ නමින් හැඳින්වුණු ව්‍යාපෘතියකට සම්බන්ධ අධීක්ෂකයෙක් විය. ඒ නිසා ඔහුට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙහි පිහිටි පාසල් හැත්තෑවකට ක්ෂේත්‍ර චාරිකාවල යෙදෙන්නට සිදු විය. ත්‍රිකුණාමලය, යුද්ධයට අතිරේකව 2004 සුනාමියෙන් ද දැඩි බලපෑමකට ලක් විය.
දරිද්‍රතාව, යටිතල පහසුකම් නැතිකම, පාසල් අධ්‍යාපනය සැලකිය යුතු තරම් දුරකට සම්පූර්ණ කර ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක් නැතිකම සහ සුරක්ෂිතතාව පිළිබඳව පවතින බිය නිසා ළමුන් අතර පාසල් යාම ඉතා පහළ මට්ටමක පවතී. මෙම ළමුන් අතර මන්ද පෝෂණය බහුලව පැතිර ගිය බව ද හඳුනා ගෙන තිබිණ. මෙම පාසල් තුළ මුළුතැන්ගේ සහ සනීපාරක්ෂක පහසුකම් ගොඩනැගීමට ඉලක්ක කර ගත් ව්‍යාපෘතිය පාසලට පැමිණි ළමුන්ට නොමිලේ ආහාර බෙදා දුන්නේ ය. එලෙස, මෙම දිරි දීම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙහි පාසල් ළමුන්ගේ නොපැමිණීමේ නැඹුරුව සැලකිය යුතු මට්ටමකට අඩු කිරීමට උදව් විය.
මගේ පියා සහභාගි වූ ක්ෂේත්‍ර චාරිකා කිහිපයක දී මම ද ඔහු සමග එක් වුණෙමි. 2005-2006 අතරතුර දී මා අඩු ගණනේ දහ වතාවක් වත් ත්‍රිකුණාමලයට ගිය බව මට මතක ය.
හාත්පස පැවති සියලු වේදනාවන් ද දුක්පීඩාවන් ද නොතකා, තමන් සහ තම පවුල් ඉවසා දරා සිටි වේදනාවෙන් කඩිනමින් ගොඩ එමින් සිටි බවක් පිළිබඳ අපූරු හැඟීමක් ළමුන්ගේ මුහුණුවලින් විස්තර විය. අප්‍රමාදී දඟකාර මඳ සිනාවක් මුහුණට ඈඳා ගත් මෙම ළමයි, මා සතු සීමිත දෙමළ භාෂා දැනුම උපයෝගී කරගෙන මා කතා කළ බොහෝ දෙමව්පියන් කී ඉතා වේදනාකාරී කතාව සඟවා ලී ය.
දැන් මිලිටරිමය ගැටුම අවසානයකට ළඟා වී වසරක් ගෙවී ගොස් ඇත. එහෙත්, සිඳී බිඳී ගිය බලාපොරොත්තු ද සිහින ද පොදුවේ සමාජය ම ද යළි ගොඩ නැගීම සඳහා මෙම ප්‍රදේශවල වසර ගණනාවක් තිස්සේ කරන්නට වැඩ ඇත. මෙම ඡායාරූපවලට කළ හැකි වන්නේ, බොහෝ ළමුන් නොකියූ කතාව පිළිබඳව ප්‍රශ්න කිරීමටත් ඒවාට සාධාරණය ඉටු කිරීම සඳහා උත්සාහ ගැනීමටත් පමණකි.
ගැටුම් කලාපවල සිටි ළමුන්ගේ සියලු දෙනාගේ ම සිනහව අතු ගා දමන්නට මෙම ගැටුම සමත් වූයේ නැත. ඔවුන් කිසි දා එවන් තත්ත්වයකට පත්නොවන වාතාවරණයක් අප සහතික කළ යුතු ය, අඩු ගණනේ බලපෑමට ලක් වූ පිරිමින්, ගැහැණුන් සහ ළමුන් සියලු දෙනා සඳහා තවමත් ඇති තරම් කඩිනමින් සිදුනොවන යළි පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරන බව, අඩු ගණනේ ඒ සඳහා සැලසුම් සකස් කරන බව අප සහතික කළ යුතු ය.
(http://www.groundviews.org හි පළවූ The untold story of a child ලිපියේ සිංහල පරිවර්තනයයි.)
කෝකිලායි කළපුව ‛‛මළ කළපුවක්’’ බවට පත් වේද..?
May 29, 2010 by Karapoththa
Filed under Batticaloa, Features, end of the War
කෝකිලායි අභය භූමිය හානි කර මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි තර්ජනයක
සජීව චාමිකර
ශ්‍රී ලංකා සොබා සංසදය
එල්. ටී. ටී. ඊ ත්‍රස්ථවාදීන්ගෙන් උතුර හා නැගෙනහිර කලාපය මුදා ගැනීමෙන් පසුව ස්වාභාවික සම්පත් වලට ඍජු තර්ජන ඇති කරමින් සීග්‍ර සංවර්ධනයක් ඇති කිරීමට සියළු අංශ ක්‍රියාත්මක වෙමින් සිටිති. තවත් සමහරුන් ආරක්ෂිත වනාන්තර ප්‍රදේශ අනවසරින් අත්පත් කර ගෙන තම ජනාවාස ව්‍යාප්ත කිරීමට සැරසෙති.
තවත් සමහරුන් යුධමය වාතාවරණය පැවති සමයේ දී ලබා ගැනීමට නොහැකි වූ සම්පත් එකවර ලබාගැනීමට මාන බලති. මෙම ප්‍රායෝගික යථාර්ථයන් ඉදිරියේ කිසිඳු සැළසුමකින් තොරව වගකිව යුතු අංශ ඇස්කන් නැත්තවුන් සේ බලා සිටිති.
එවන් සැළසුමක් නොමැති තැන කෝකිලායි කලපුව අභය භූමිය හානි කර මිනිස් ක්‍රියාකාරම්වලට ගොදුරු වීම අරුමයක් නොවේ. පසුගිය අප්‍රේල් මාස අගභාගයේ සහ මැයි මස මුල් කාලය තුළ අභය භුමියේ නිරිතදිග මායිමේ කඩොලාන ඇතුළු ව වනාන්තර අක්කර 40 කට වැඩි ප්‍රමාණයක් ඩෝසර් යන්ත්‍ර භාවිතයෙන් එළි පෙහෙළි කර ගිනි තබා අවසන් කර තිබේ. මෙසේ එළිපෙහෙළි කර ඇත්තේ කෝකිලායි කලපුව අභය භූමිය මායිමේ පිහිටි කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තෙන්නමරන්වාඩිය ග්‍රාම නිලධාරී වසමේ පිහිටි දෙයියන් කන්ද හෙවත් පුල්ලෙයාර් කන්ද වනාන්තර ප්‍රදේශයට අයත් වනාන්තර ඇතුළුව විශාල කඩොලාන භූමියකි. මෙම සම්පූර්ණ ප්‍රදේශය එළි පෙහෙළි කරන තුරු වගකිව යුතු අංශ සියල්ල මුනිවත රැකීම කණගාටුවට කරුණකි. මෙම ප්‍රදේශය ආශ්‍රිත ව තවත් ස්ථාන ගණනාවක කඩොලාන හා වනාන්තර පරිසර පද්ධති බොහොමයක් මේ වන විට එළි පෙහෙළි කර ඇත.
අලි – ඇතුන් 35 ක ගෙන් පමණ සමන්විත රංචුවක් ජීවත් වන මෙම වනාන්තර ප්‍රදේශය ආරක්ෂා කිරීමට අදාළ අංශවලට නොහැකි වීම අනාගතයේ පාරිසරික ප්‍රශ්න බොහොමයක් මතු කරන්නකි.
කෝකිලායි කලපුව අභය භූමිය ඉහත්තාවේ සිදු කර ඇති මෙම දැවැන්ත වනාන්තර විනාශය හේතුවෙන් නිරාවරණය වී ඇති පස් වර්ෂා සමයේ දී සේදී ගොස් කලපුවේ බොහෝ ප්‍රදේශ ගොඩ කිරීමට සමත් වනු ඇත.
සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 දින අංක 859/14 දරණ ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ක්‍රියාවලියක් සිඳු කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇඟයීම් තක්සේරුකරන ක්‍රියාවලියට යටත්ව කටයුතු කර අදාළ පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතුය. එපමණක් නොව එම පනතටම අදාළ ව ප්‍රකාශිත 1993.06.24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 1 කට වැඩි (අක්කර 2.5 ක් පමණ වන) ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප්‍රථම පරිසර බලපෑම් ඇඟයීම් තක්සේරුකරන ක්‍රියාවලියට යටත්ව කටයුතු කර අදාළ පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතුය. මෙවන් නීති රීති පිළිබඳ ව කිසිඳු තැකීමකින් තොරව තම අභිමතය පරිදි කෝකිලායි අභය භූමිය ආශ්‍රිත වනාන්තර එළි පෙහෙහෙළි කිරීම සිදු කර ඇත. සංවර්ධනය සඳහා සියළුම අංශ පියවර ගනිද්දී රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීන් නිසි පරිදි ස්ථානගත නොකිරීම සහ මධ්‍යම පරිසර අධිකාරියේ කලාප කාර්යාලය නිසි පරිදි ස්ථාපිත කර නිලධාරීන් සේවයේ නොයෙද වීම යන සියල්ලේ ම ප්‍රතිඵලයක් ලෙස මෙවන් හානි කර තත්ත්වයන්ට රක්ෂිත වනාන්තරවලට මුහුණු දීමට සිදු වේ.
කෝකිලායි කලපුව යනු විශාල ධීවර ප්‍රජාවකට මත්ස්‍ය සම්පත ලබා දෙන කලපුවක් පමණක් නොව ලංකාවට පැමිණෙන සංක්‍රමණික පක්ෂීන් හා නේවාසික තෙත්බිම් ආශ්‍රිත පක්ෂි විශේෂ 176 කට පමණ වාසස්ථාන හා ගොදුරුබිම් සපයන ප්‍රදේශයකි. එපමණක් නොව නේවාසික තෙත්බිම් ආශ්‍රිත පක්ෂීන් ගනාවාසීව කැදලි තනන ප්‍රදේශයක්ද වෙති. ලංකාවේ ඉතා දුර්ලභ තෙත්බිම් ආශ්‍රිත පක්ෂයකු ලෙස හඳුන්වන 2007 IUCN රතු දත්ත ලේඛණයට අනුව දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට පාත්‍ර වූ සහ අද වන විට රුහුණු ජාතික වනෝද්‍යානයේ හා බුන්දල ජාතික වනෝද්‍යානයේ පමණක් 05 කට අඩු ප්‍රමාණයක් වාර්තාවන ලංකාවේ විශාල ම පක්ෂියා වන අලි මනාවා (Black necked Stork) මෙම අභය භූමිය තුළ ජීවත් වේ.
කෝකිලායි කලපුව තුළ පිහිටි දූපත් සහ කලපුව වටා පිහිටි විශාල ප්‍රදේශයක් කඩොලාන ශාකයන්ගෙන් වැසී පවතී. නැගෙනහිර ප්‍රදේශයේ වැඩිම කඩොලාන වැස්මක් සහිත ප්‍රදේශ කිහිපයෙන් එකක් ලෙස මෙම කෝකිලායි කලපුව ආශ්‍රිත ප්‍රදේශය සැළකේ. මෙම තත්ත්වයන් සියල්ල ම සැළකිල්ලට ගෙන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ 1951 මැයි 18 වන දින මුලතිව් හා ත්‍රීකුණාමල දිස්ත්‍රීක්ක 02 කට අයත් කෝකිලායි කලපුව හා ආශ්‍රිත ප්‍රදේශයේ හෙක්ටයාර් 1995 ක් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. දැනට වසර 49 කට පමණ පෙර මෙය අභය භූමියක් කළ ද යුධමය වාතාවරණය පැවති සමයේ දී මෙම අභය භූමිය අනාරක්ෂිතව පැවතුනි. නමුත් නැගෙනහිර ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් පසුව මෙම අභය භූමිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර මෙහි මායිම් සලකුණු කිරීම හෝ නාම පුවරු ස්ථාපිත කිරීම හෝ ජනතාවට සහ රාජ්‍ය නිලධාරීන්ට මේ පිළිබඳ අවබෝධ කර දීමට හෝ වනජීවී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී නොමැත. එහි අහිතකර ප්‍රතිඵලය මෙලෙස අභය භූමියට හා එහි ජෛව ප්‍රජාවට අත් විදින්නට සිදු වී ඇත.
කෝකිලායි අභය භූමියට ඇති තර්ජනයන් වනාන්තර එළි පෙහෙළි කිරීමෙන් පමණක් නැවතී නොමැත. කලපුවේ සමහර ප්‍රදේශවල ඉවුරු ආශ්‍රිතව වැලි වැටි පිහිටා ඇති අතර ඒවා මේ වන විට කැනීම් කර ලබා ගැනීම සිදු කරති. මීට අමතරව තෙත්බිම් ආශ්‍රිත පක්ෂීන් කූඩු තැනීම සිදු කරන අභය භූමි ප්‍රදේශවල පක්ෂි දඩයම ඉතා බහුල ලෙස සිදු වේ. ලතුවැකියන්, පස්තුඩුවන්, කලපු කොකුන් හා දියකාවුන්ගේ කූඩු තුළ සිටින පැටවුන් මස් පිණිස එකතු කිරීම බහුලව සිදු වේ.
මීට අමතරව කලපුවේ හානිකර ධීවර ආම්පන්න භාවිතය ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වී ඇත. හානිකර ඉස්සන් ඇල්ලීමේ ක්‍රමයක් ලෙස ගැනෙන “පූට්ටු දැල්” භාවිතය මෙම කලපුව පුරා බහුල ලෙස සිදු වේ. අභය භූමියට අයත් වනාන්තර ප්‍රදේශයේ කුඩා සවිමත් අඩි 08 – 09 ක් පමණ දිග “ඉනි” කපාගෙන ඒවා කලපුව තුළ එක පෙළට සිටුවා එහි පූට්ටු දැල් රැදවීම සිදු කරයි. මෙහි දී සෙ.මී. 01 ක් පමණ වන කුඩා සිදුරු සහිත දැල් ඉස්සන් ඇල්ලීම සඳහා භාවිතා කරයි. මෙම පූට්ටු දැල ජල තලය තුළ “ඉනි” මගින් රඳවා ඇති විට සිලින්ඩරයක් ලෙස සකස් වන අතර එහි කෙළවරේ “මණ්ඩියක්” ලෙස ඉස්සන් හිරවන උඟුලක සකස් කර ඇත. මෙසේ පූට්ටු දැල් සම්පූර්ණ කලපුව පුරාම ඉතා විශාල ප්‍රමාණයක් රඳවා ඇත. මේවාට ඉස්සන්ට අමතරව ඉතා විශාල වශයෙන් ඉතා කුඩා මත්ස්‍ය පැටවුන් හසු වේ. ඉස්සන් අල්ලා ගැනීමට මෙම දැලේ උඟුල ලෙස ක්‍රියාත්මක වන “මඩිය” ගොඩබිමට ගෙන ගොස් හැලීම සිදු කරන අතර ඉස්සන් එකතු කරගෙන කුඩා මත්ස්‍ය පැටවුන් ගොඩට විසි කිරීම සිදු කරති. මෙහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට කෝකිලායි කලපුවේ මත්ස්‍ය සම්පත දැවැන්ත ලෙස අඩු වෙමින් පවතී. මේ නිසා සාම්ප්‍රදායික ක්‍රම මගින් ධීවර කර්මාන්තයේ නියුතු පුද්ගලයින් විශාල තර්ජනයකට පත් ව සිටී.
එපමණක් නොව පූට්ටු දැල් කලපුවේ සවි කිරීම සඳහා කඩොලාන ශාක ඇතුළුව ශක්තිමත් කඳන් සහිත ශාක විශාල වශයෙන් කැපීම සිදු කරයි. මේ තත්ත්වය කලපුවේ පැවැත්මට අහිතකර ලෙස බලපා තිබේ. එබැවින් මෙම තත්ත්වයන් පිටු දැකීම සඳහා අදාළ අංශවල අවධානය කඩිනමින් යොමු විය යුතුව ඇත. මේ තත්ත්වය පාලනය සඳහා කෝකිලායි අභය භූමිය ආශ්‍රිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් පිහිටු වීම අද වන විට අත්‍යාවශ්‍ය වී ඇත. කලපුවේ සිදුවන හානිකර දැල් ආම්පන්න භාවිතය පාලනය කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් පනතට අනුව ධීවර හා ජලජ සදම්පත් දෙපාර්තමේන්තුවට නීතිමය පියවර ගැනීමේ හැකියාව අත. එබැවින් සියළු අංශ එක් වී කෝකිලායී අභය භූමිය, කලපුව හා ඒ ආශ්‍රිත කඩොලාන ඇතුළු වියළි කලාපීය සදාහරිත වනාන්තර පරිසර පද්ධති ආරක්සා කිරීම ඳහා විධිමත් සැළසුමක් සකස් ළ යුතුය. නැතහොත් ඒ තුළ දැනට සිදු වන නීති විරෝධී ක්‍රියා පාලනය කිරීමට හැකියාවක් නොමැත.
එසේ නොවුනහොත් කෝකිලායි කලපුව, අභය භූමිය ‛‛මළ කලපුවක්’’ බවට පත් වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

ඔබට මම හිතන්නේ මේක තේරුමක් නැහැ. – මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ
May 10, 2010 by Karapoththa
Filed under Batticaloa, Colombo, Democracy, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Trincomalee, සිංහල
නැගෙණහිර පළාතේ ස්ථාන කිහිපයකම ඉඩම් පවරා ගනිමින් රජය සන්නද්ධ කඳවුරු ඉදිකරමින් සිටීම ගැන බීබීසී සන්දේශය සමඟ ඊයේ (09) හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සමඟ කළ සාකච්ඡාවක් විකල්ප පාඨකයන්ගේ අවධානය සඳහා පළකරමු.
නැගෙනහිර පළාතේ ස්ථාන කීපයක ඉඩම් පවරා ගනිමින් රජය සන්නද්ධ හමුදා කඳවුරු ඉදිකරමින් සිටීම ගැන අවධානය යොමු වී ඇතැයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරනවාග කල්ලඩි හා වාකරෙයි මේ වන විටත් ඉදිකර ඇති නාවුක හමුදා කඳවුරු වලට අමතරව මඩකලපු දිස්ත්‍රික්කයේ කාන්දාමලෙයිල පුනුකුලාව අවට ප්‍රදේශවල ඉඩම් අක්කර 500 ට අධික ප්‍රමාණයක් හමුදා කඳවුරු සඳහා අත්පත් කොට ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වී අරියනේන්ද්‍රම් ජනාධිපතිවරයා වෙත ලියා ඇති ලිපියක දැක්වෙනවා. එවන් විශාල භූමි ප්‍රමාණයක් පවරා ගෙන ඇතැයි යන්න ප්‍රතික්ෂේප කළ රජයේ හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට කඳවුරු ඉදි කිරීම අත්‍යවශ්‍ය බවයි සංදේශයට කියා සිටියේ.
මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ – ඒ ප්‍රදේශවල සංවර්ධන කටයුතු සඳහාත් ඊට අමතරව ඒ ප්‍රදේශවල නැවත පදිංචි කරවන ජනතාවගේ ජීවන කටයුතුවලට නොයෙකුත් ප්‍රදේශවලින් පුද්ගලයන් පැමිණෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කළ යුතුයිග ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. කඳවුරු නැතුව. හමුදාවට ගිහිල්ලා කැලේ ඉන්න බැහැනෙග හමුදාවට ගිහිල්ලා ටෙන්ට් ගහගෙන ඉන්න බැහැනෙ. මේ කඳවුරු ඉදිකරන්නෙ පුද්ගලික වතුවලවත් පුද්ගලික අයගෙ ඉඩම්වලවත් නෙවෙයිනෙග රජයේ ඉඩම්වල.
බී.බී.සී. සංදේශය – ඔබ කියනවා සංවර්ධන කාර්යය සඳහා කටයුතු කළ යුතුයි කියලා. පුද්ගලික හෝ රජයේ ඉඩම්වල කඳවුරු බිහි කළාම ඒ ප්‍රදේශ සංවර්ධනය සඳහා යොදාගන්නේ කොහොමද?
මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ – ඔබට මම හිතන්නේ මේක තේරුමක් නැහැ. ඒ ප්‍රදේශවලට ආරක්ෂාව සපයන්නේ නැතුව කොහොමද සංවර්ධනයක් හෝ නැවත පදිංචි කිරීමක් සිදුවෙන්නෙ? කඳවුරු කියලා මේක මේ මුළු ප්‍රදේශයම වැහෙන විදියට අක්කර පන්සීහක, දාහක කඳවුරු නෙමෙයි. ඒ ප්‍රදේශවලට අවශ්‍ය විදියට අවශ්‍ය ආකාරයට වැදගත් ස්ථානවලට කඳවුරු සපයනවා. සංවර්ධනය කරන ඉඩම්වලවත් එහෙම නැතුව සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වලවත් නෙමෙයි මේ කඳවුරු පිහිටලා තියෙන්නෙ. ලංකාව තනි රටක්. ඒ තනි රටේ සියළුම ප්‍රදේශ ආවරණය වන පරිදි ආරක්ෂාව සැපයීම ආරක්ෂක හමුදාවල යුතුකමක්ග රාජකාරියක්ග සහ වගකීමක්.
බී.බී.සී. සංදේශය - දැන් දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී. අරියනේන්ද්‍රන් ජනාධිපතිවරයාට ලියන ලිපියකින් කියන කාරණයක් තමයි කාන්තාමලෙයි පුනුකුණාව ආදී ප්‍රදේශවල අක්කර 500 ක පමණ භූමි භාගයක් මේ ආකාරයෙන් පවරගෙන තියෙනවයි කියලා කඳවුරු ඉදිකිරීමට.
මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන දේවල්වලට ඔය පැතිවල ඉන්න මම බැඳිලා නෑ උත්තර දෙන්න. ඒ නිසා මම ඒවට උත්තර දෙන්න යන්නෙ නෑ. මේ සම්බන්ධව වෙනත් කතා කරන්න දෙයක් නෑ. එක එක මන්ත්‍රීවරු කියන දේවල් වලට උත්තර දෙන්න මට කිසිම බැඳීමකුත් නෑ. අවශ්‍යතාවකුත් නෑ.
බී.බී.සී. සංදේශය – නමුත් මන්ත්‍රීවරු සඳහන් කරන්නෙ රජයේ හමුදා විසින් ගන්නා ක්‍රියාමාර්ගයන් සම්බන්ධව නම් රජයේ හමුදා බැඳිලා ඉන්නවා නේද පැහැදිලි කිරීමක් කරන්න?
මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ – ඒක තමයි මම ඔබට පැහැදිලි කිරීමක් කරේ. ඊට වඩා වෙනත් පැහැදිලි කිරීමක් කරන්න මට අවශ්‍යතාවක් නෑ. මම සම්පූර්ණයෙන්ම හමුදාව පැත්තෙන් ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරලා තියෙන්නෙ. මන්ත්‍රීවරයෙක් අහන ප්‍රශ්නෙකට නෙමෙයි ඔබ අහන ප්‍රශ්නෙකටයි මම උත්තර දුන්නෙ.
මාතරට නාමයෝජනා දී දින දෙකක දී, මහඇමති පිල්ලෙයාන්ගේ ආරක්ෂාව ඉවත් කරයි..
February 26, 2010 by Karapoththa
Filed under Batticaloa, Democracy, Governance, Media, සිංහල
නැගෙණහිර පළාතේ මහ ඇමති, ටීඑම්වීපී පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇතැයි වාර්තාවේ. මහ ඇමති කාර්යාලයේ ප්‍රකාශිකාවක් පැවසූවේ මහඇමතිතුමාගේ ආරක්ෂාව ඉවත්කරගෙන ඇති බවත් ඒ පිළිබද නි්ෙයා්ජ්‍ය පොළිස්පතිවරයාට ලිඛිතව දැනුම් දීමක් සිදුකරන බවත්ය.
තවද පසුගිය 24වනදා ටීඑම්වීපී හෙවත් දෙමළ විමුක්ති කොටි සංවිධානය මාතර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාර දී ඇතැයි පසුගිය දා වාර්තාවේ.
ටීඑම්වීපී පක්ෂය නැගෙණහිර පළාත මූලික කොටගෙන බිහිවූ දේශපාලන පක්ෂයක් වන අතර එහි නායකත්වය දරන්නේ නැගෙණහිර මහ ඇමති පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතායි.
ඔට්ටමාවඩි ප්‍රදේශයේ මුස්ලිම් කොන්ග්‍රස් ආධාරකරුවෙකුගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්
January 12, 2010 by Vikalpa_R
Filed under Batticaloa, Democracy, Governance, Human Rights, සිංහල
ඊයේ රාත්‍රී 12.45ට පමණ මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තාවේ. මෙම නිවස අයිති බී.හුසේන් නැමැත්තා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රබල ආධාරකරුවෙකු වන අතර ඊයේ රාත්‍රියේ ඔහුගේ නිවෙසේ මුස්ලිම් කොන්ග්‍රස් ආධාරකරුවන්ගේ රැස්වීමක් පවත්වා ඇති බවද වාර්තාවේ. මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා අද දින එම ප්‍රදේශයේ සංචාරයක නිරතවීමට බලාපොරොත්තු වන නිසා විරුද්ධවාදීන් විසින් මෙම ප්‍රහාරය සිදුකරන්නට ඇති බව ඒ පිළිබඳව විමසීමේදී එහි ප්‍රකාශකයෙක් අප සමග පැවසූවේය. ප්‍රහාරයෙන් කිසිවෙකුට තුවාල සිදුවී නෙමැති අතර නිවසට හානි සිදූවී තිබිණි.
අප මේ පිළිබඳව වාලච්චේන පොලීසියෙන් කළ විමසීමකදී එහි නිළධාරියෙක් පැවසූවේ ප්‍රහාරයක් එල්ලවී ඇති නමුත් පොලිස් ස්ථානාධිපතිවරයා නොමැති නිසා කිසිවක් පැවසිය නොහැකි බවයි.
ඇමති මැරයෝ ගුරුවරයෙකුට පහර දෙති.
January 6, 2010 by Vikalpa_R
Filed under Batticaloa, Democracy, Education, Human Rights, සිංහල
වාලච්චේන සෙම්මන්ඔඩේ අල් හමීරා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ නිළධාරීන් හා අමාත්‍ය අමීර් අලි මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එහි ගුරුවරයෙකු වූ මුසම්මිල් නැමැත්තා පහර කෑමකට ලක්වී රෝහල් ගත කර ඇති බව වාර්තාවේ.
විකල්ප වෙත වාර්තාවූ අන්දමට සිද්ධිය මේසේයි විද්‍යාලයේ මේ වන විට ක්‍රියාත්මක පාසල් සංවර්ධන සමිතියට ප්‍රදේශයේ දේශපාලන බලවතා වූ අමීර් අලි මහතාගේ පිළිගැනීම නෙමැති නිසා ඔහුට සම්බන්ධ පිරිසක් අදාල පාසැල් සංවර්ධන සංගමයට එරෙහිව විරෝධතාවයක නියැලී ඇති අතර ඔවුන් පාසැල් භූමිය තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරෙන අවස්ථාවේ අදාල ගුරුවරයා එයට විරුද්ධවීම නිසා එම පිරිස ඔහුට පහරදී ඇත. පහරදීමෙන් තුවාලලත් එම ගුරුවරයා වාලච්චේන රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ. මෙම විරසකයට හේතුව වශයෙන් එහි ගුරුවරයෙකු සඳහන් කලේ පාසැල් සංවර්ධන සමිතියේ වත්මන් නිළධාරීන් පිරිස ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ආධාරකරුවන් වීම බවයි.
අප මේ පිළිබඳව වාලච්චේන පොලීසියෙන් කළ විමසීමකදී එහි නිළධාරියෙකු පැවසූවේ පොලිස් ස්ථානාධිපතිතුමා එම අවස්ථාවේ සෙම්මන්ඔඩේ විද්‍යාලයට ගොස් සිටින නිසා ඔහු පැමිණි පසු වැඩිදුර විස්තර ප්‍රකාශ කළ හැකි බවයි.
මේ පිළිබඳව වාලච්චේන රෝහලෙන් විමසූ විට දැනගන්නට ලැබුනේ ඔහු මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි. එහෙත් අපගේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි
යුධ හමුදාව හා පොලීසිය මඩකළපුවේ නිවැසියන්ගේ තොරතුරු විමසයි
December 31, 2009 by Vikalpa_R
Filed under Batticaloa, Democracy, Human Rights, සිංහල
යුධ හමුදාව හා පොලීසිය වෙන වෙනම මඩකළපුව දිස්ත්‍රික්කයේ සෑම නිවසකම තොරතුරු විමසමින් පෝරමයක් බෙදාහැර ඇති බව විකල්ප වෙත වාර්ථාවේ. මෙහිදී එක් පෝරමයක් යුධ හමුදා භටයන් විසින්ම නිවාස වලටම පැමිණ ලබාදී ඇත. එහිදී ඔවුන් පවසා ඇත්තේ පෝරමය පුරවා ලබාදීම අනිවාර්ය බවත් එය ඡන්දයට කලින් ඔවුන්ම පැමිණ බලා ගන්නා බවත්ය. පොලිසිය පෝරමය ලබාදී ඇත්තේ ග්‍රාමසේවකයන් හරහාය. එහිදී ග්‍රාමසේවකවරුන් සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන්ගේ සහාය ඇතිව නිවාස වලට පැමිණ පෝරමය පුරවා ගන්නා බවත් වාර්තාවේ.
අප මේ පිළිබඳව මඩකළපුව පොලිස් මහජන සම්බන්ධතා කාර්යාලයෙන් විමසූ විට ඔවුන් පැවසූවේ පොලිසිය විසින් තොරතුරු එක්රැස් කරන්නේ හදිසි නීති රෙගුලාසි යටතේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ 23 පෝරමය යටතේ බවයි. එහිදී එම ක්‍රියාවලිය ග්‍රාමසේවකවරුන් හරහා සිදුකරනු ලබන බවත් සියලු ග්‍රාමසේවක වසම් සඳහා තොරතුරු පත්‍රිකා ඇතුලත් පොතක් සෑදීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් පැවසූවා. මෙම ක්‍රියාවලිය මඩකළපු දිස්ත්‍රික්කයට පමණක් අදාල නොවන්නක් බවත් එය සමස්ත රටේම සිදුකරන්නක් බවත් පැවසූ අදාල නිළධාරියා මේ ක්‍රියාවලිය සඳහා අදාල පලාත් වල සිවිල් ආරක්ෂක කමිටු වල සහාය ලබාගන්නා බවත් ප්‍රකාශකර සිටියේය.
අප මේ පිළිබඳව මඩකළපුව ආරක්ෂක සේනා මුලස්ථානය ඇමතීමට උත්සහා කළද ඔවුන් ව සම්බන්ධ කරගැනීමට නොහැකි වුනි.
මඩකළපුවේ ගංවතුර, පවුල් 60000 බලපායී
December 26, 2009 by Vikalpa_R
Filed under Batticaloa, Governance, Life quips, සිංහල
මඩකළපුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව නිසා බිරන්දචෛනයි, මාවඩිචෛනයි, සෙම්මාන්ඔඩේ, මාන්චෝලෛයි, සිත්තන්ඩි, එරාවූර්, වන්දාරමුලෛයි,සන්දවේලි හා කල්අඩි යන ප්‍රදේශ ජලයෙන් යටවීම නිසා පවුල් 60000 ක් පමණ අනාත වී ඇති බව විකල්ප වෙත වාර්ථාවේ. දින පහක පමණ සිට මෙම ප්‍රදේශ ජලයෙන් යටවී තිබුනද මේ දක්වා ඔවුන්ට සහන සැලසීමට රජය හෝ කිසිදු ආයතනයක් ඉදිරිපත් වී නොමැති බවද වාර්තාවේ. ඇති වී ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් යමක් උයාපිහා ගැන්මට හෝ රැකියාවට යාමට හෝ නොහැකි වී ඇති නිසා ඔවුන් දැඩි අපහසු තාවයට පත්වී ඇති බවද වාර්තාවේ. මේ අතර ප්‍රදේශය පුරා පාචන රෝගය පැතිරී යාමේ අවධානමක් ද තිබෙන බව ජනයා පවසා සිටී.
අප මේ පිළිබඳව මඩකළපුව දිසාපති අරුමයනායගම් මහතාගෙන් විමසූ විට ඔහු පැවසූවේ එම ජනයාට සහන සැලසීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති අතර මේ වන විටත් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට කටයුතු සලසා ඇති බවත්ය. එහිදී එක් පවුලකට සතියකට සෑහෙන ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබාදීමට කටයුතු සලසා ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා. ඊයේ දිනයේද දැඩි වර්ෂාවක් පැවති නිසා ගංවතුර තත්ත්වය පහවීමට තවත් දින ගනනාවක් ගතවිය හැකි බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
























</a
