CIC කෙසෙල් වගාවට වැනසෙන අපේ වනාන්තර

CIC Agri Business සහ Shnzen-oh Koku යන සමාගම්වල ඒකාබද්ධ අපනයන ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට සූදානම් බව වාර්තා වේ. . මේ සඳහා 2009 ජුනි 9 වැනි දින කැබිනට් අනුමැතිය ලබා ගැනීමට ද මෙම ව්‍යාපෘති සැලසුම්කරුවන් කටයුතු කර ඇත. මෙය BOI ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ චුන්ඩන්කාඩු රක්‍ෂිතය තුළ හා චුන්ඩන්කාඩු යෝජිත රක්‍ෂිත වනාන්තරය තුළය. මෙම කෙසෙල් ව්‍යාපෘතිය සඳහා රජයෙන් අක්කර 15,000ක් ඉල්ලා ඇති අතර මෙම සමස්ථ භූමි ප්‍රමාණයම රක්‍ෂිත වනාන්තරයට අයත් ඒවා වේ.

ඉහත සමාගම් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙහිලා බලාපොරොත්තු වන අරමුණු මෙසේය.
අපනයනය සඳහා උසස් තත්වයේ කෙසෙල් වගා කිරීම
කෙසෙල් වගා කිරීමේ තාක්‍ෂණික හා කළමනාකරණ දැනුම වර්ධනය කිරීම
පවුල් 1000කට රැකියා ලබා දීම
ගොවිජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කිරීම
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වීම

නමුත්, මෙම අරමුණු කිහිපය මුදුන් පමුණුවා ගැනීමේදී ඉහත සඳහන් රක්‍ෂිත වනාන්තරයට සිදුවන හානිය අපට මිලකළ හැකි තත්වයක පවතින්නේ නැත.

මෙහි ඍජු හා දැඩි බලපෑම එල්ලවන්නේ රක්‍ෂිත වනාන්තර පද්ධතියට ය. මෙහිදි විශේෂයෙන්ම චුන්ඩන්කාඩු රක්‍ෂිතයෙන් වර්ග අක්කර 5000ක් හා චුන්ඩන්කාඩු යෝජිත රක්‍ෂිතයෙන් වර්ග අක්කර 10,000ක් මෙම සී. අයි. සී. සමාගමේ කෙසෙල් ව්‍යාපෘතිය නිසා විනාශ මුඛයට යන බව ගනන් බලා ඇත. මෙම වනාන්තර දෙකම ඒකාබද්ධය පිහිටා ඇති අතර මෙහි පත්‍ර වියනේ ඝනත්වය සියයට 60-80 අතර තත්වයක පවතින බව පරිසර වේදීන් පෙන්වා දෙයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉතාමත්ම වටිනා ශාකවර්ග වන කළුවර, කලුමැදිරිය, පලු, මිල්ල, වීර, තිඹිරි, වෙලන්, කරඳ හා කනුමැල්ල යනාදී ශාක විනාශ වී යන බව පෙන්වා දිය හැකි වේ. ජෛවවිවිධත්ව තක්සේරුවට අනුව මෙම චුන්ඩන්කාඩු යෝජිත රක්‍ෂිතය ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට බෙහෝසෙයින් වැදගත්වන බව පරිසරවේදීන් පෙන්වා දෙයි. මෙම රක්‍ෂිතය තුළ හෙක්ටයාර් 1ක, විශ්කම්බය සෙ.මී. 10ට වඩා වැඩි ගස් 112ත් 125ත් අතර ප්‍රමාණයක් පවතී. මෙහි යටි වියනේ පැල ඝනත්වය හෙක්ටයාර් 1ට 11200-12300 පමණ වෙයි.

මෙම ව්‍යාපෘතිය නිසා වැනසෙන අනෙකුත් දේශීය සම්පත් අතුරින් වැව් ප්‍රධාන වෙයි. ජනරංජන වැව, සූරියවැව යනාදී ගොවි කටයුතු සඳහා ජලය ගබඩා කරගන්නා වැව් රාශියක් මෙම කෙසෙල් ව්‍යාපෘතිය නිසා විනාශ මුඛයට ගමන් කරයි. සෝමාවති ජාතික වන උද්‍යානයේ සිට මෙම ප්‍රදේශයන්ට සංක්‍රමණය වන අලි ඇතුන්ගේ සංඛ්‍යාව 100කට වැඩිය. එබැවින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කලහොත් මෙම අලින් තර්ජනයට ලක්වේ. මෙම ප්‍රදේශයේ වැව්වල ජලය ඉහත කෙසෙල් ව්‍යාපෘතිය සඳහා යෙදවීමේදී වනසතුන් ඇතුළු වනාන්තර පද්ධතියට අහිතකර බලපෑම් එල්ල වන්නේ නිරායාසයෙනි.

මෙහි වඩා වැදගත් දෙය වන්නේ මේ වන විට මෙම කෙසෙල් ව්‍යාපෘතියට භාවිතාවන භූමිය මේ වන විට නාගරික සංවර්ධන හා පූජාභූමි අමාත්‍යාංශය විසින් පරිසර සංරක්‍ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. එමෙන්ම වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් රක්‍ෂිතයක් හා යෝජිත රක්‍ෂිත තත්වයෙන් පාලනය කරනු ලබයි. මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකස් කර ඇති නැගෙනහිර උපායමාර්ගික පරිසර සංරක්‍ෂණ සැලැස්මේ සංරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස ද මෙම වනාන්තර ප්‍රදේශය හඳුනාගෙන ඇත. මීට අමතරව සෝමාවති වන උද්‍යානයට යාබදව පිහිටීම හා විල්ලු පරිසර පද්ධති පෝෂණයට දායකත්වයක් සැපයීම නිසා ද ඉහත භූමී ප්‍රමාණය අතිශය වැදගතත් වේ. එමෙන්ම මෙම වනාන්තර ප්‍රදේශය කලාපයේ සංවහන වර්ෂාවන් සඳහාද ඉමහත් වැදගත්කමක් උසුලයි. මෙසේ ආවරණ ගණනාවකටම යටත්ව ඇති මෙම භූමි ප්‍රදේශයේ මෙවන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බලය ලැබෙනුයේ කෙසේ ද? බලය ලබා දුන්නේ කවුද? පරිසරවේදින් මෙන්ම ප්‍රදේශවාසීන්ද ප්‍රශ්ණ කරමින් සිටී.

මෙම ව්‍යාපෘතිය නිසා ඇති කරනු ලබන අහිතකර බලපෑම් තවත් පැති රාශියක් ඔස්සේ විහිද පැතිර යයි. ව්‍යාපෘතිය සඳහා භාවිතාවන වනාන්තර ප්‍රදේශය නිදහස් කිරීමේ පූර්වාදර්ශය මත තවත් වනාන්තර රැසකට තර්ජන එල්ලවන බව පෙන්නුම් කෙරේ. ව්‍යාපෘතිය සඳහා වනාන්තර ඉඩම් භාවිතා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ථ වන ඝහනයෙන් විශේෂයෙන් වියළි කලාපීය වන ගහන ඝනත්වය තවදුරටත් විනාශයට පත් වේ. මීට අමතරව විශාල ජෛව විවිධත්වයක වාසස්ථාන අහිමි වීම, ආහාර බිම් අහිමිවීම හා නිරන්තර ජීවිත හානි ඇති විම, විශාල ජෛව විවිධත්වයකට හේතු වන ශාක විවිධත්වයක් විනාශ වීම, අලි-මිනිස් ගැටුම වර්ධනය වීම හා මෙම දෙපාර්ශවයේම ජීවිත හානි සිදුවිම, වගා බිම් සඳහා වන වත්මන් ජල සම්පත් අහිමි වීම, විශාල රසායනික ප්‍රමාණයක් ජලයට එකතු වීම, විවිධ රෝග පාලනය සඳහා යොදන දිලීර නාශක නිසා වනාන්තරයට බලපෑම් එල්ල වීම, ආදේශක නව කෙසෙල් ප්‍රබේද නිසා දේශීය කෙසෙල් ප්‍රබේද විනාශ වීමට හේතු වීම, උක් වගාවට සමාන කුලී කම්කරුවන් 1000කට ආසන්න බහුතරයක් නිර්මාණය වීම, දේශීය කෙසෙල් නිශ්පාදකයින්ට වෙළඳපොල තර්ජනයක් වීම වැනි අහිතකර ප්‍රතිඵල රාශියක් මෙම ව්‍යාපෘතිය තුළින් ඇති කරනු ලබයි.

බන්දු රංග කාරියවසම්ගේ ඉදිරිපත් කිරිමක් තුළින් සැකසිණී.
Pic by Sampath Samarakoon

ළමුන් නොකී කතාව….

මෙම යුද්ධය දසදහස් ගණන් පුරුෂයන්ගේ ද ස්ත්‍රීන්ගේ ද ළමුන්ගේ ද ජීවිත බිලි ගෙන ඇත. තවත් සියදහස් ගණනක් අවතැන් වී සිටිති. බොහෝ ජනයාට නම්, යුද සහ පශ්චාත් යුද තත්ත්වයේ අසාමාන්‍ය තත්ත්වය වේගවත් සහ වේදනාකාරී ලෙස සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් පවතියි. එහෙත් ඇතැමෙක් ඒ එසේ යැයි නො දකිති, ඇතැමෙක් එය දකින්නට ජීවතුන් අතරත් නැත.

මෙවන් තතු තුළ සිය ගණන් දරුවෝ උපත ලබමින් සිටිති. ගැටුමේ මුල් කොටස තුළ දී අවතැන් වූ මුස්ලිම් අභ්‍යන්තර අවතැන් වූවන් තව මත් පුත්තලමෙහි ඔහේ කල් ගෙවමින් සිටින්නේ ය යන කරුණ සැලකිල්ලට ගත් විට, උපන් මෙම ළමුන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් තමන් උපන් තත්ත්වයන්ට සමාන තත්ත්වයන් තුළ ම (සමහර විට වැඩිහිටියන් ලෙස) මිය ගිය හොත් මම ඉන් පුදුමයට පත් නොවන්නෙමි.

අධ්‍යයනවලින් හැඟෙන්නේ, පශ්චාත් යුද චෛතසික කම්පනය යුද්ධය අතරතුර දී පෙළුණු මානසික ආතතියට වඩා වේදනාකාරී යැයි සිතිය හැකි බව යි. යුද සමයන් අතරතුර දී සහ ඊට පසුව ඇති වුණු කලහකාරී තත්ත්වයන් තිබිය දී ම, මහජනයා මෙම වේදනාවෙහි ගැළී ජීවත් වීමටත් විස්තර නොකළ හැකි ආතතියටත් ගොදුරු විය. කෙසේ වුව ද, මෙම අසාමාන්‍ය තත්ත්වයන් අඩු වී යනු ඇති බවට ද සාමාන්‍ය තත්ත්වය සෙමෙන් සෙමෙන් යළි ඇරඹෙනු ඇති බවට ද පවතින බලාපොරොත්තුව වූකලි වඩාත් ම දුෂ්කර කාලවල දී සැනසීම සොයමින් සිටින්නන්ට අස්වැසිල්ලට කරුණකි. මිලිටරිමය ගැටුමක් යැයි සිතිය හැකි දෙයක් සිදු නොවන මුත් මහජනයා දිගින් දිගට ම දුෂ්කර තත්ත්වයන්ගෙන් පීඩා විඳින පශ්චාත් යුද තත්ත්වයක දී, පශ්චාත් යුද චෛතසික කම්පනය සිය විසකුරු ග්‍රහණය දැඩි කිරීම නො වැළැක්විය හැකි ය.

එහි රුදුරු භාවය නිසා, එය අවසන් වීමෙන් පසුව දිගු කලක් ගත වන තුරුත් ගොදුරු වූවන්ට මනෝ විද්‍යාත්මක සහ මනෝ චිකිත්සීය උදව් අවශ්‍ය කරන නිසා, මෙය චෛතසික කම්පනාත්මක අත්දැකීම පිළිබඳ සුසමාදර්ශයක් බවට පත්ව ඇත.

මගේ පියා ඉතාලියානු රාජ්‍ය නොවන සංවිධානයක් ක්‍රියාත්මක කළ ‛අධ්‍යාපනය සඳහා පෝෂණය’ නමින් හැඳින්වුණු ව්‍යාපෘතියකට සම්බන්ධ අධීක්ෂකයෙක් විය. ඒ නිසා ඔහුට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙහි පිහිටි පාසල් හැත්තෑවකට ක්ෂේත්‍ර චාරිකාවල යෙදෙන්නට සිදු විය. ත්‍රිකුණාමලය, යුද්ධයට අතිරේකව 2004 සුනාමියෙන් ද දැඩි බලපෑමකට ලක් විය.

දරිද්‍රතාව, යටිතල පහසුකම් නැතිකම, පාසල් අධ්‍යාපනය සැලකිය යුතු තරම් දුරකට සම්පූර්ණ කර ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක් නැතිකම සහ සුරක්ෂිතතාව පිළිබඳව පවතින බිය නිසා ළමුන් අතර පාසල් යාම ඉතා පහළ මට්ටමක පවතී. මෙම ළමුන් අතර මන්ද පෝෂණය බහුලව පැතිර ගිය බව ද හඳුනා ගෙන තිබිණ. මෙම පාසල් තුළ මුළුතැන්ගේ සහ සනීපාරක්ෂක පහසුකම් ගොඩනැගීමට ඉලක්ක කර ගත් ව්‍යාපෘතිය පාසලට පැමිණි ළමුන්ට නොමිලේ ආහාර බෙදා දුන්නේ ය. එලෙස, මෙම දිරි දීම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙහි පාසල් ළමුන්ගේ නොපැමිණීමේ නැඹුරුව සැලකිය යුතු මට්ටමකට අඩු කිරීමට උදව් විය.

මගේ පියා සහභාගි වූ ක්ෂේත්‍ර චාරිකා කිහිපයක දී මම ද ඔහු සමග එක් වුණෙමි. 2005-2006 අතරතුර දී මා අඩු ගණනේ දහ වතාවක් වත් ත්‍රිකුණාමලයට ගිය බව මට මතක ය.

හාත්පස පැවති සියලු වේදනාවන් ද දුක්පීඩාවන් ද නොතකා, තමන් සහ තම පවුල් ඉවසා දරා සිටි වේදනාවෙන් කඩිනමින් ගොඩ එමින් සිටි බවක් පිළිබඳ අපූරු හැඟීමක් ළමුන්ගේ මුහුණුවලින් විස්තර විය. අප්‍රමාදී දඟකාර මඳ සිනාවක් මුහුණට ඈඳා ගත් මෙම ළමයි, මා සතු සීමිත දෙමළ භාෂා දැනුම උපයෝගී කරගෙන මා කතා කළ බොහෝ දෙමව්පියන් කී ඉතා වේදනාකාරී කතාව සඟවා ලී ය.

දැන් මිලිටරිමය ගැටුම අවසානයකට ළඟා වී වසරක් ගෙවී ගොස් ඇත. එහෙත්, සිඳී බිඳී ගිය බලාපොරොත්තු ද සිහින ද පොදුවේ සමාජය ම ද යළි ගොඩ නැගීම සඳහා මෙම ප්‍රදේශවල වසර ගණනාවක් තිස්සේ කරන්නට වැඩ ඇත. මෙම ඡායාරූපවලට කළ හැකි වන්නේ, බොහෝ ළමුන් නොකියූ කතාව පිළිබඳව ප්‍රශ්න කිරීමටත් ඒවාට සාධාරණය ඉටු කිරීම සඳහා උත්සාහ ගැනීමටත් පමණකි.

ගැටුම් කලාපවල සිටි ළමුන්ගේ සියලු දෙනාගේ ම සිනහව අතු ගා දමන්නට මෙම ගැටුම සමත් වූයේ නැත. ඔවුන් කිසි දා එවන් තත්ත්වයකට පත්නොවන වාතාවරණයක් අප සහතික කළ යුතු ය, අඩු ගණනේ බලපෑමට ලක් වූ පිරිමින්, ගැහැණුන් සහ ළමුන් සියලු දෙනා සඳහා තවමත් ඇති තරම් කඩිනමින් සිදුනොවන යළි පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරන බව, අඩු ගණනේ ඒ සඳහා සැලසුම් සකස් කරන බව අප සහතික කළ යුතු ය.

(http://www.groundviews.org හි පළවූ The untold story of a child ලිපියේ සිංහල පරිවර්තනයයි.)

අපෙ බෞද්ධයෝ….



ඉහතින් දැක්වෙන්නේ 2010 මැයි මස 13 වැනි දින ලක්බිම පුවත්පතේ දොළොස්වැනි පිටුවේ පළ කරන ලද ප්‍රවෘත්තියකි.
මෙම පුවත සඳහා දෙමළ පුවත්පත් වැඩි අවධානයක් ලබා දුන් නමුත් සිංහල පුවත්පත් වැඩි අවධානයක් ලබාදුන්නේ නැත.
පහතින් දැක්වෙන අති බෞද්ධවාදී ජන හා බෞද්ධ නායකයිනි, මේ සම්බන්ධයෙන් ඔබගේ මුව විවර විවර කළේ ද?
එසේනම් ඒ කුමක් සඳහාද?

ඇයි මේවා වැඩි වශයෙන් පත්තරවල නොයන්නේ?

මෙවැනි ප්‍රවෘත්ති පිළිබඳව මාධ්‍ය පසු විපරමක් නොකරන්නේ ඇයි? අනේ පිළිතුරු දුන මැනවි.

ආචාර්ය මර්වින් සිල්වා මැතිඳුනි, ඔබ මේ ගැන දන්නවාද? මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළාද?

ආචාර්ය එල්ලාවල මේදානන්ද හිමියනි, ඔබ මේ ගැන දන්නවාද? මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළාද?

පාඨලී චම්පික රණවක මැතිදුණි, ඔබ මේ ගැන දන්නවාද? මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළාද?

උයද ගම්මන්පිල මැතිඳුණි, ඔබ මේ ගැන දන්නවාද? මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළාද?

මේ ප්‍රවෘත්තිය පාඨක අප වෙත ගෙන ආවාට ‛‛දිනපතා ලක්බිමට’’ තුති.

මීට
බෞද්ධයෙක්.

(‛විකල්ප’ පාඨකයෙක් ඔහුගේ අදහස මෙසේ අපට එවා තිබූණී.)

ඔබට මම හිතන්නේ මේක තේරුමක් නැහැ. – මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ


නැගෙණහිර පළාතේ ස්ථාන කිහිපයකම ඉඩම් පවරා ගනිමින් රජය සන්නද්ධ කඳවුරු ඉදිකරමින් සිටීම ගැන බීබීසී සන්දේශය සමඟ ඊයේ (09) හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සමඟ කළ සාකච්ඡාවක් විකල්ප පාඨකයන්ගේ අවධානය සඳහා පළකරමු.

නැගෙනහිර පළාතේ ස්ථාන කීපයක ඉඩම් පවරා ගනිමින් රජය සන්නද්ධ හමුදා කඳවුරු ඉදිකරමින් සිටීම ගැන අවධානය යොමු වී ඇතැයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරනවාග කල්ලඩි හා වාකරෙයි මේ වන විටත් ඉදිකර ඇති නාවුක හමුදා කඳවුරු වලට අමතරව මඩකලපු දිස්ත්‍රික්කයේ කාන්දාමලෙයිල පුනුකුලාව අවට ප්‍රදේශවල ඉඩම් අක්කර 500 ට අධික ප්‍රමාණයක් හමුදා කඳවුරු සඳහා අත්පත් කොට ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වී අරියනේන්ද්‍රම් ජනාධිපතිවරයා වෙත ලියා ඇති ලිපියක දැක්වෙනවා. එවන් විශාල භූමි ප්‍රමාණයක් පවරා ගෙන ඇතැයි යන්න ප්‍රතික්ෂේප කළ රජයේ හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට කඳවුරු ඉදි කිරීම අත්‍යවශ්‍ය බවයි සංදේශයට කියා සිටියේ.

මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ – ඒ ප්‍රදේශවල සංවර්ධන කටයුතු සඳහාත් ඊට අමතරව ඒ ප්‍රදේශවල නැවත පදිංචි කරවන ජනතාවගේ ජීවන කටයුතුවලට නොයෙකුත් ප්‍රදේශවලින් පුද්ගලයන් පැමිණෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කළ යුතුයිග ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. කඳවුරු නැතුව. හමුදාවට ගිහිල්ලා කැලේ ඉන්න බැහැනෙග හමුදාවට ගිහිල්ලා ටෙන්ට් ගහගෙන ඉන්න බැහැනෙ. මේ කඳවුරු ඉදිකරන්නෙ පුද්ගලික වතුවලවත් පුද්ගලික අයගෙ ඉඩම්වලවත් නෙවෙයිනෙග රජයේ ඉඩම්වල.

බී.බී.සී. සංදේශය – ඔබ කියනවා සංවර්ධන කාර්යය සඳහා කටයුතු කළ යුතුයි කියලා. පුද්ගලික හෝ රජයේ ඉඩම්වල කඳවුරු බිහි කළාම ඒ ප්‍රදේශ සංවර්ධනය සඳහා යොදාගන්නේ කොහොමද?

මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ – ඔබට මම හිතන්නේ මේක තේරුමක් නැහැ. ඒ ප්‍රදේශවලට ආරක්ෂාව සපයන්නේ නැතුව කොහොමද සංවර්ධනයක් හෝ නැවත පදිංචි කිරීමක් සිදුවෙන්නෙ? කඳවුරු කියලා මේක මේ මුළු ප්‍රදේශයම වැහෙන විදියට අක්කර පන්සීහක, දාහක කඳවුරු නෙමෙයි. ඒ ප්‍රදේශවලට අවශ්‍ය විදියට අවශ්‍ය ආකාරයට වැදගත් ස්ථානවලට කඳවුරු සපයනවා. සංවර්ධනය කරන ඉඩම්වලවත් එහෙම නැතුව සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වලවත් නෙමෙයි මේ කඳවුරු පිහිටලා තියෙන්නෙ. ලංකාව තනි රටක්. ඒ තනි රටේ සියළුම ප්‍රදේශ ආවරණය වන පරිදි ආරක්ෂාව සැපයීම ආරක්ෂක හමුදාවල යුතුකමක්ග රාජකාරියක්ග සහ වගකීමක්.

බී.බී.සී. සංදේශය - දැන් දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී. අරියනේන්ද්‍රන් ජනාධිපතිවරයාට ලියන ලිපියකින් කියන කාරණයක් තමයි කාන්තාමලෙයි පුනුකුණාව ආදී ප්‍රදේශවල අක්කර 500 ක පමණ භූමි භාගයක් මේ ආකාරයෙන් පවරගෙන තියෙනවයි කියලා කඳවුරු ඉදිකිරීමට.

මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන දේවල්වලට ඔය පැතිවල ඉන්න මම බැඳිලා නෑ උත්තර දෙන්න. ඒ නිසා මම ඒවට උත්තර දෙන්න යන්නෙ නෑ. මේ සම්බන්ධව වෙනත් කතා කරන්න දෙයක් නෑ. එක එක මන්ත්‍රීවරු කියන දේවල් වලට උත්තර දෙන්න මට කිසිම බැඳීමකුත් නෑ. අවශ්‍යතාවකුත් නෑ.

බී.බී.සී. සංදේශය – නමුත් මන්ත්‍රීවරු සඳහන් කරන්නෙ රජයේ හමුදා විසින් ගන්නා ක්‍රියාමාර්ගයන් සම්බන්ධව නම් රජයේ හමුදා බැඳිලා ඉන්නවා නේද පැහැදිලි කිරීමක් කරන්න?

මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ
– ඒක තමයි මම ඔබට පැහැදිලි කිරීමක් කරේ. ඊට වඩා වෙනත් පැහැදිලි කිරීමක් කරන්න මට අවශ්‍යතාවක් නෑ. මම සම්පූර්ණයෙන්ම හමුදාව පැත්තෙන් ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරලා තියෙන්නෙ. මන්ත්‍රීවරයෙක් අහන ප්‍රශ්නෙකට නෙමෙයි ඔබ අහන ප්‍රශ්නෙකටයි මම උත්තර දුන්නෙ.

පොලිසියට ‛පොලිසිය’ අල්ලගන්න තාමත් බැරිවෙලා…


පසුගිය 13වනදා ත්‍රිකුණාමලය, මහමායාපුර ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව සැකපිට ත්‍රීකුණාමළය පොලීසියේ නිළධාරින් සිව් දෙනකුගේ වැඩතහනම් කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පසුගිය දා නියෝග කෙරිණී. නමුත් මේ වන විටත් එම පොළිස් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත් වී ඇතැයි වාර්තා වේ. ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොළිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ද එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය මෙම පොලිස් නිළධාරීන් කිසිදු වරදක් නොකල තිදරු පියෙකු වු බී. ආර්. ආර් බන්දුල නැමති ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කළේ ය. ඉන්පසු ප්‍රදේශයේ ජනයා පොලීසියට එරෙහිව වීදි බැස්සේ ය. නමුත් ඒ වන විටත් එම ව්‍යාපාරිකයා ජනයා ආරක්ෂා කරන පොළිසියේ තුවක්කුවෙන් වෙඩි තබා ඝාතනය කළ හමාර ය. දැන් නීතියේ සරණ පිළිබදව ද සැකකරමින් ඔහුගේ බිරිදත් දරු තිදෙනාත් ඉතිරි වූ වේදනාව පමණක් තුරුළු කරගනිමින් ජීවිත් වෙයි.

පසු සටහන

පසුගිය කාලයේ පොලීසියේ මෙවැනි සිද්ධින් පිළිබද සටහනක් අප ‛විකල්ප’ වෙබ් අඩවිය වාර්තා කළ අතර එවැනි සිදුවීම් වලට සම්බන්ධ පොලීසියේ ‛මැර පොළිස්කරුවන්’ බොහොමයක් මෙසේ නීතිය හමුවට කැඳවීමට තවමත් පොළිසිය අසමත්වීම පිළිබඳ නීතිය පිළිබද ජනතාවට ඇති විශ්වාසය වියැකි යාමටත් ජනතාව පොළිසියට එරෙහි විරෝධයන් දැක්වීමත් වැලැක්විය නොහැකි වනු ඇත. එය මගහරවා නොගතහොත් ඉදිරියේදී බරපතල සමාජ අර්බුදයක් දක්වා දිග් ගැස්සීමට වැඩි කාලයක් නොයනු ඇත.

නැගෙනහිර පළාතේ අධ්‍යාපන කේෂ්ත්‍රයේ තීන්දු ගැනීමේ කාර්යයේදී දෙමළ මාධ්‍යට ප්‍රමාණවත් නියෝජනයක් නැහැ – ලංකා ගුරු සංගමය

නැගෙනහිර පළාතේ අධ්‍යාපනයේ තීන්දු ගැනීමේ කාර්යයේදී දෙමළ මාධ්‍යට ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන බව ලංකා ගුරු සංගමය පවසයි. ජනාධිපතිවරයාට ලිපියක් යවමින් නැගෙනහිර පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ පවතින විෂම තත්ත්වය නිවැරදි කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී. නැගෙනහිර පළාත තුළ සිංහල මාධ්‍ය පාසල් 240ක් සහ දෙමළ මාධ්‍ය පාසල් 718 ක් ඇති අතර සිංහල මාධ්‍ය ගුරුවරුන් 4440ක් සහ දෙමළ මාධ්‍ය ගුරුවරුන් 15302 ක් ද සේවය කරති. එසේම මෙම පළාත තුළ සිංහල සිසුන් 71450 ද දෙමළ මාධ්‍ය සිසුන් 258134 ද අධ්‍යාපනය ලබති.
මෙවැනි පසුබිමක් තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණ ගැනීමේ කාර්යයේ යෙදෙන ඉහල නිළධාරීන් බහුතරය වයස අවුරුදු 60 වැඩි කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සිංහල මාධ්‍යයෙන් කටයුතු කරන නිළධාරීන් වීම විෂම තත්ත්වයක් බව පෙන්වා දෙයි. එසේම නැගෙනහිර පළාතේ අධ්‍යාපන ලේකම්, අතිරේක ලේකම්, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ඇතුලු ඉහළම මට්ටමේ නිළධාරීන් සිංහල අය වීම තුළ එය මැනවින් ඔප්පුවන බවද පෙන්වා දෙනු ලබනවා.
එසේම මේවන විට ඉහල නිළධාරීන් වෙත යවන සියලු ලිපි ලේඛන පරිවර්ථනය කර ඉදිරිපත් කිරීමට සිදුවී අති බවත් පෙන්වා දෙනවා.ලංකාවේ තීරණ ගැනීමේදී සියළු ජන කොටස් වලට සම්බන්ධ වීමට නොලැබීම බරපතල ගැටලුවක් බවත් මෙවැනි පසුබිමක එම තත්ත්වය තව දුරටත් වර්ධනය වන බවත් පෙන්වා දෙනවා.

සේරුනුවර,දෙහිවත්තේ දී ගොවීන් 5දෙනෙකු ඝාතනය කරයි….

සේරුනුවර, දෙහිවත්තේ, කංගුවේලී ප්‍රදේශයේ දී අද උදෑසන සන්නද්ධ පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ගොවීන් 5දෙනෙකු ඝාතනයට ලක් වී දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තාවේ.

මෙළෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ තම අස්වනු ආරක්ෂා කිරීමට කූඹුරුවලට ගොස් එමින් සිටි ගොවි පිරිසකට ය. මෙම සිද්ධියට පෙර යම් ආයුධ සන්නද්ධ පිරිසක් ප්‍රදේශයට පැමිණ ඇති බව පෙර සිටම දැනුම් දි තිබු බවත් ඒ පිළිබදව විමසිල්ලෙන් සිටින ලෙස ආරක්ෂක අංශ දන්වා තිබූ බව ප්‍රදේශවාසීයෙක් “විකල්ප” වෙබ් අඩවිය සමඟ පැවසීය.

මේ පිළිබද අප සේරුනුවර පොළිසියෙන් කල විමසීමකදී එහි නිළධාරියෙකු ප්‍රකාශ කලේ “අපිට කිසිවක් කියන්න බෑ. කොළඹ තොරතුරු එකෙන් ගන්න.”

එතකොට ප්‍රදේශයේ සිද්ධියක් පිළිබදව ප්‍රදේශයේ පොලීසියෙන් ගන්න බැරිද..? අප විමසසීය.
“මහත්තයට ඕනනම් කොළඹින් ගන්න. නැත්නම් කන්තලෙන් ගන්න.”

කරුණාකරලා මහත්තයාගේ නම කියනවද ?… දුරකථනය විසංදි විය.

මේ සම්බන්ධයෙන් අප කන්තලේ සහකාර පොළිස් අධිකාරී කාර්යාලය ඇමතීය..

“විකල්ප” වෙබ් අඩවිය – සේරුනුවර යම් සිද්ධියක් ගැන තොරතුරු ලබා ගන්න පුලුවන්ද?

සහකාර පොළිස් අධිකාරී කාර්යාලයේ නිළධාරියා – මහත්තයා, සේරුනුවර පොලිසියෙන් ගන්න පුලුවන්.

“විකල්ප” වෙබ් අඩවිය – සේරුනුවර පොලිසිය තොරතුරු දෙන්න බෑ කියනවා. ඒ එස් පී ඔෆිස් එකෙන් හරි කොළඹින් හරි ගන්න කියනවා.

සහකාර පොළිස් අධිකාරී කාර්යාලයේ නිළධාරියා – හා… ඒඑස්පී මහත්තයා රුස්වීමක. තව පැය භාගෙකින් ගන්නව ද?

Citizen reports of election violence and malpractices in the Eastern Province

Vikalpa has launched a new micro-site on Twitter with short reports generated by its citizen journalist network in the Eastern Province on election related violence and malpractices. Please visit our Eastern Elections 2008 site for the latest updates, that are also featured on Vikalpa (see column in the middle).

This is the first time in Sri Lanka that reports via SMS from citizens at the grassroots are being used to provide perspectives from the Eastern Province in the lead up to and on the day of the elections (10th May 2008).

While we cannot check the veracity of each SMS we receive in a timely manner, we hope and expect that citizens themselves will actively engage with reports posted on our micro-site and alert us with clarifications, updates and alternative perspectives of their own.

You can get RSS alerts of our reports and even sign up wih Twitter for free and get updates on your mobile, wherever you are in the world.

Please send in your election monitoring reports via SMS to Vikalpa at 0777312079.