අවතැන් ජනයා වව්නියාවේ සිරගෙයින් මුල්ගමේ සිරගෙදරට

වව්නියාවේ සරණාගත කඳවුරු වලින් මුල්ගම් පෙදෙස් වල නැවත පදිංචිය කරන බව පවසා උතුරට හා නැගෙනහිරට යවනු ලැබූ සරණාගත පවුල් නැවත වරක් උතුරේ හා නැගෙනහිර පලාතේ කඳවුරු වල පදිංචි කර ඇති බව විකල්ප වෙත වාර්ථාවේ.
වව්නියාවේ කඳවුරුවල සිටි මේ පිරිස් මුල් ගම්බිම්වල පදිංචියට යැවීම උත්සවාකාරයෙන් සිදු කළ අතර රජය පැවසුවේ අවතැන් ජනයා නැවත පදිංචි කරීමේ වැඩසටහන යටතේ මෙම පදිංචි කිරීම් සිදුකරන බවයි. නමුත්, වව්නියාවේ අවතැන් කඳවුරුවල දීර්ඝ කාලයක් තිස්සේ රැඳී සිටි, යාපනය, මඩකලපුව, ත්‍රීකුණාමලය සහ අම්පාර වැනි ප්‍රදේශවලට අයත් අවතැන් වූවන් මුල් ගම්වල පදිංචි කරන බව පවසා ගෙන ගොස් එම ප්‍රදේශයන් හී පිහිටවු අලුත් කඳවුරු වල පදිංචි කර ඇති බව වාර්ථාවේ.

මඩකළපුව වෙත ගෙන ගිය පවුල් වලින් පවුල් 50ක් නැවත වව්නියාවට ගොස් ඇති අතර ඉතිරි පවුල් 135 මඩකලපුව ජයන්තිපුර සිංහල මහ විද්‍යාලයේ පිහිටුවා ඇති කඳවුරේ පදිංචි කර ඇත. අම්පාරට ගෙන ගිය පවුල් 130 බුද්ධි අංශයන්ගේ දැඩි පරීක්ෂා කිරීම් වලින් පසුව කාරතිව් විපුලානන්ද විද්‍යාලයේ පිහිටු වා ඇති කඳවුරට දමා ඇත. ඉන් පසුව ඔවුන් අක්කරෛයිපත්තුව නගරයේ පිහිටි හමුදා කඳවුර ඉදිරිපිට පිහිටි පාසල්ට යොමුකර ඇත. අදාල පාසල පවත්වන දහවල් කාලයේ ඒ අසල පිහිටි වී ගබඩාවකට ඔවුන්ව යවන අතර පාසල නිම වූ පසු නැවත පාසල වෙත ගෙන එනු ලබන බවත් වාර්ථාවේ.

අප කොතරම් ආගමිකද? කොතරම් ශිෂ්ටාචාරද?

දේශපාලන මති මතාන්තර, නීතිරීති, ව්‍යවස්ථා, සාකච්ඡා, එකඟතා ආදී දහසක් ක්‍රමවේද වලින් අපට කිසි අඩුවක් නැත. එහෙත් අප කොතරම් ශිෂ්ට සම්පන්නද යන කරුණ ගැන බරපතල ප්‍රශ්නයක් ඇත. එය විසඳා ගන්නා තුරු කිසිම ගැටලුවක් විසඳා ගත නොහැකිය. නීතියටත්, අවනීතියටත් කැලෑ නීතියටත් සැකය පදනම් කර ගත හැකිය.
සියලුම ජාතීන්ට ගැටලු ඇති. එහෙත් ඔවුන් අතර කොටසක් සරණාගතයන් වීම ඔවුන්ට පමණක් නොව කාටත් විශේෂ ප්‍රශ්නයකි.
සරණාගතයෝ හිඟන්නෝ නොවෙති. ඔවුහු සරනාගතයන් බවට පත් කරනු ලැබුවෝ වෙති. ඔවුහු අපගේ සැකයේ ගොදුරු බවට පත් වූවෝ ය. සැක කළ යුත්තන් මෙන්ම අප සැක කරන අයගේ වර්ගයට අයත් වුවන්ද සැක කිරීම අපගේ දේශපාලන ධරම්ය වන්නේ ය. එම සැක කිරීම සියලු කුරිරුකම්. අමනකම් කිරීමට බල පත්‍රයක් කර ගැනීම සංස්කෘතිය ලෙස සලකන තැනට අපි පත්ව සිටිමු. මළවුන් වෙනුවෙන් කිරිබත් කන මිනිසුන් වී සිටිමු.
සරණාගතයන් සිය දුක් වේදනා මඟින් නිහඬව අප මේ යුගයේ බරපතල ප්‍රශ්න කිරීමකට යොමු කර ඇත. එනම් ඔබ තුළ මනුස්සකම තිබේද? ඔබ පිටට පෙන්වන තරම් ආගම දහමට ළැදිද? මිනිසුන්ගේ විපතේ දී හෙලීමට ඔබේ ඇස් වල කඳුළක් ඉතිරිව තිබේද? මනුෂ්‍ය වර්ගයාට වගකීමට තරම් ඔබට හැදිච්ච කමක් තිබේද?

මේ ප්‍රශ්න වලට දිය හැකි සාධාරණ පිළිතුර මනුස්සකමය.

සිව් වසරකට පසු

සිය මවුපියන් බලන්නට ජර්මනියේ සිට වසර හතරකට පසු පැමිණි කෙනෙකුගේ කතාව මෙසේය.
“ඉහළ මට්ටමෙන් බලපෑමක් ඇතිව මිස එහි යා නොහැකිය. මා පැමිණියේ එසේය. මගේ මව (වයස 70) පියා (වයස 80) විවාහක සොහොයුරිය සහ ආබාධිත සොහොයුරු බලන්නට ආවෙමි.”
“දැන්වීම් දමා ඇතත්, එහා මෙහා යාමේ නිදහස නැත. මා ජර්මනියේ සිට පැමිණි බව කී විට ‛ලබන ඉරිදා එන්න නැතිනම් පුදුමාතලන් ගොස් අවසර ලබා ගෙන එන්න’ කීවා.”
ආබාධිත සොහොයුරු වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට පැය පහක් පොලීමේ සිටි බවද, විශේඥ වෛද්‍යවරුයකු හෙට හවස 3.00ට එන බවත් පැවසුවා. කලාතුරකින් හැර වෛද්‍යවරුන්ට දෙමළ කතා කළ නොහැකිය.
“එහි ආරක්ෂක කලාප ඇත. ඔවුන් ඇතුළත සිටින අය ගැන පරීක්‍ෂා කොට සමහරුන් අත් අඩංගුවට ගන්නවා. ඔවුන් ගෙන යන්නේ කොතැනටද? රඳවා තබනු ලබන්නේ කොහේද යනු කිසිවෙක් නොදනිති. උසාවියට යොමු කරන බව කියන නමුත් ඉන් පසු කිසි තොරතුරක් නැත.”

“එහි සිටින බොහෝ දෙනා සිය පවුලේ සෙසු සාමාජිකයන් කවර කඳවුරක හෝ සිටිත්දැයි නොදැන දුක් වෙති. මගේ මවුපියන් සිටි කූඩාරමේ සිටි වයසක විදුහල්පති වරයා සිය භාර්යාව හා දරුවන් නොදැකීමේ වේදනාව දරා ගත නොහැකිව සිය දිවි නසා ගෙන ඇත. ඊට පසු දින තවත් මවක් සැමියා සහ දරුවන් නැති දුකින් සිය දිවි නසා ගත්තාය.”

සමහර කඳවුරු වල ආහාර ඉතා අසතුටුදායකය. නිතර බඩේ අමාරු සැදේ. කූඩාරම් වල වාසය වල දීමක් බඳුය. නුසුදුසු හැසිරීම් ඇති නිලධාරීහු සිටිති. යන අයට පහත් කොට කතා කරන අය ද වෙති. යම් පහසුකම් ලබා ගැනිම සඳහා ශරීරය විකුණන්නට සිදු වන අවස්ථාද ඇති බව පැවසේ. මුලින් තිබුණාට වඩා සෞඛ්‍ය සේවා තත්ත්වයෙහි යම් දියුණුවක් ඇති බවද කිය යුතුය.
මේ කිසිවක් ගැන සැබෑ තොරතුරු කිසිම මාධ්‍යයක පළ නොවේ.
ඒ අනුව අල්ලස් හා දූෂණ ගැනද ආරංචි පළ වේ. සමහර කෙනෙකුට රු පනස් දාහක් හෝ ලක්ෂයක් දී එළියට පැමිණිය හැකිය. තුවාල අයට සහ කඳවුරු අනුව වෙනම මිල ගණන් ඇති බවද සැල වී ඇත. මෙහි ඇත්ත නැත්ත කෙසේ වුවද එසේ පිටතට පැමිණෙන කිසිවකුට ජාතික හැඳුනුම් පත හෝ වෙනත් සාක්ෂියක් නැතිව එහා මෙහා ගමන් කළ නොහැකිය.

ආයාචනයක්

(එතෙර දිවයිනකට ගොස් තම දරුවන් රැක ගත් හෙළ බසින් ගුරුළු ගෝමීන් ලියූ පොත් කියවන පහත රට සිංහල කවියකු එතෙර මෙතෙර සියළුම සිංහල බොදු ජනතාවගේ පහන් සංවේදය පිණිස ලියූ කවියකි)

විසූ කල රට නිවස උණුසුම ගත රඳවමිනේ
සිහිතල ලොව මා වට ඇත අත් පා මා වෙවිලන්නේ
උණුසුම සොයමින් සිටි දින හිමිදිරි යේ සුව අරණේ
ඔබ රුව දුටුවෙමි පුතුනේ ගං දිය මැද වන අරණේ

මුදවා නුඹ යුදයෙන් අප සරණක් දුන් පෙර දිනයේ
සතුටක් නුඹ සිත ගැවසුණු පුවතකි මා අද දන්නේ
කිම නුඹ අද ගංවතුරක තනියම අද හිමිදිරියේ
මුදවා ගෙන ආ සරණය කෙළෙස අද දියවන්නේ

රැක ගෙන මරු යුදයෙන් පෙර මා දරුවන් මෙහි රැකුණේ
ඒ සැනසුම දිය විය අද දැකුමෙන් නුඹ රුව පුතුනේ
ඇයි නුඹ කිම හිමිදිරියේ තනියම අද ලතවන්නේ
බස නොලැබී ලද පාපය ලැබුවෙද මා පුතනුවනේ

දැය රකිනා නිරිඳුනි කිම ඔබ නෙත් යුග අද වැසුනේ
තෙරුවන් වැඳ නෙත් බැබලූ හදවත කිම නොම සැලුණේ
අරලිය රැඳි මහ මැදුරක දිවි පෙත ඔබ බැබලෙන්නේ
මැතිඳුණි කිම සිරකර අද අප දරුවන් වන අරණේ

කුමන මා පියන් ගුණ රුව ලැබුණේ ද
කුමන බසක් නුඹ මුව හෙට රඳනේ ද
අමන පැන කුමට අප දරුවන් නොවෙ ද
කුමන පවට තිසරණ නෙත් වැසුණේ ද

(මෙම කවියට පාදක වූයේ ශ්‍රී ලංකාවේ උතුරේ,කොටි ත‍්‍රස්තයන්ගෙන් මුදා ගත් මිනිසුන්, ගැහැණුන් සහ දරුවන් ප‍්‍රජාත‍්‍රන්තවාදී ලංකාණ්ඩුව සිර කොට තබා ඇති කඳවුරක සිටින දරුවකු, ගංවතුර රැඳී ඇති සිය කූඩාරම අසල තනිවම ශෝකයෙන් රැඳී සිටිනාකාරය දුටු ඡයාරූපයක් දැකීමෙනි)

සුනිල් ගෝවින්නගේ

පසු සටහනක්
මෙසේ ලංකාණ්ඩුව, සිර ගත කොට ඇති දරුවන් සහ සෙස්සන්නට අදාළ මෙම කවිය කියවන ඇතැම් සිංහල බෞද්ධයන් උරණවන්නේ නම් නැතහොත් මා ද කොටි ත‍්‍රස්තයන්ට සහයෝගය දෙන, කොටි ආධාර ලබන්නෙකු යැයි වචන සහ ගල් මුගුරු ගසන්නට සිතක් උපදී නමි එවැන්නන්ට මෙත් පැතීම හැරුණු කොට වෙන කරන්නට දෙයක් නැත.

එහෙත් එසේ උරණවන්නන්ට කිව හැකි තවත් දෙයක් ඇත. එනමි දැනට මහා සිංහල ලේඛකයා ලෙස නමි කොට ඇති ,මා සිතන අන්දමට සිංහලය බෞද්ධයන් තුළ ජාතිවාදී හැඟීමි මතුකරන්නට සමත් වෙන, වහසි බස් පුවත්පත්වලින් ද බෙදා හරින, ගුණදාස අමරසේකර කවියා වසර ගණනාවකට පෙර මා ලියා තබන මෙම කවියට සමාන මානව ප‍්‍රතිචාරයක් දක්වා තිබීම ය. එනමි, 1971 කාලයේ දී ,ඔහු ලංන්ඩනයේ විසූ සමයේ, ජ. වි. පෙ. කැරැල්ලේ දී මිය ගිය තරුණයකු සිය මවට එවා තිබූ, ඔහු සතු අන්තිම වස්තුව වූ, මුද්ද, ඔරලෝසුව, පෑන සහ ඇදුම් පොදියක් තුරුලු කරගෙන පොලීසියක් ඉදිරිපිට වැලපෙන මවකගේ රූපයක් ලංන්ඩන් නුවර පුවත් පතක දැක කමිපා වී ලියූ කවියකි.

මගේ මතකයට අනුව අමරසේකර කවියා දින පොතේ ලියූ නමින් ලියූ එම කවිය අවසාන කරන්නේ මෙසේ ය:

“මම කවියෙකි
හදැති සසල
ලොසත සියලු දුක වළඳන
එ දුක ලෙවට කියනු විනා
නොමැත මසතු අන් යුතුකම”

සරණාගත කඳවුරක තත්ත්වය

mddr - article 2

සෞඛ්‍ය සේවය

කඳවුරු වල තුවාල කරුවෝ විශාල සංඛ්‍යාවක් සිටිති. ඔවුන්ගේ ශරීර වල උණ්ඩ ෂෙල් කෑලී ආදිය ඇත. එක්ස් රේ නැත. සුළු ශල්‍යකර්මයක් වත් කළ නොහැකිය. අත පය කැඩී ඇති විට ප්ලාස්ටර් දැමීමට ද පහසුකම් හිඟය.

බෝවෙන රෝග මෙම කඳවුරු තුළ වේගයෙන් පැතිරෙන බව පුවත්පත් වල පළ විය. පැපොල, සරම්ප, සෙංගමාලය, පාචනය ආදියත් අධික දූවිල්ල නිසා කැස්ස සෙම්ප්‍රතිශ්‍යාවත් බහුලය. සමහර විට එක් රෝගියෙකුට රෝග දෙක තුනක් වැළඳී ඇත.
රෝග පාලනය සඳහා අත්‍යාවශ්‍ය වන වෙන් කිරීම, පිරිසිදු වතුර විවේකය සහ පෝෂ්‍ය ආහාර ආදිය අඩුය. මේ කටයුතු දුෂ්කර බව සැබෑය. ඒ සඳහා වැඩ පිළිවෙලක් ද නැත. මුළු රටේම රෝග පාලනය හා සෞඛ්‍ය සේවය පහත් මට්ටමට වැටී තිබෙද් දී කඳවුරු වල එය උසස් වන්නේ කෙසේදැයි ආණ්ඩුවට තර්ක කළ හැකිය.

“තාමත් තදයො මෙහි ඉන්නවා” යනු ආරක්ෂක නිලධරයන්ගේ අදහසය. එහෙත් ඒ නිසා කුඩා දරුවන්, ස්ත්‍රීන්, ගැබිනියන්, මහල්ලන් ආරක්ෂක හේතුන් මත දිගින් දිගටම රඳවා ගෙන සිටිය යුතුද යන්නයි ප්‍රශ්නය.
එහෙත් ඒ කෙසේ වෙතත්, ප්‍රභාකරන් යටතේ සිට හමුදා පාලනයට පත්වීම නිසා නොමැරී ජීවත්විය හැකිය යන බලාපොරොත්තුව ද සරණාගතයන් බොහෝ දෙනා තුළ පවතින බව විවිධ සේවා කටයුතු වලට යන සමහරුන්ගේ අදහසය. හැකි ඉක්මණින් සිය ගම් බිම් වල පදිංචි වීමට කටයුතු සැලසීම ආණ්ඩුවටම වාසිදායකය.

සරණාගතයන් ගේ දුක්ඛිත තත්ත්වය
(කිලිනොච්චිය, මුලතිව් ප්‍රදේශ නියෝජනය කළ මංත්‍රීවරයකු වශයෙන් ආනන්ද සංගරී මහතා ජනාධිපතිට යවන ලද විවෘත සංදේශයකින් උපුටා ගැනුණු පහත සඳහන් කොටස් වලින් යම් දෙයක් වටහා ගත හැකිය.)

“එය එකම දුක්මුසු කතාන්දරයකි. සමහරුන්ගේ භාර්යාවන් නැත. තවත් අයගේ ස්වාමි පුරුෂයන් හා දරුවන් නැත. වැඩි දෙනකුගේ මවුපියන් යුද පිටියේදී මිය ගොසිනි. සටනේ හවුල් කරුවන් වශයෙන් නොව අහිංසක සිවිල් වැසියන් ලෙසිනි. සමහරුන් වෙඩි හුවමාරුවට මැදිහත් වුවන් ලෙසද, තවත් අය ආරක්ෂක බංකර් වල වැළලී යාමෙන්ද, සමහරුන් කුස ගින්නෙන්ද බිලිඳුන් කිරි ආහාර නැති වීමෙන්ද, මිය ගොසිනි. ඔවුහු තවමත් ඉතිරි වී ඇති නෑදෑයන් සොයා යති. මා මුල සිට ම කළ ඉල්ලීමක් වූයේ කඳවුරු වල සිටින අයගේ නාම ලේඛනයක් පළ කරන ලෙසය. එහෙත් එය මෙතෙක් ඉටු වූයේ නැත.”
බොහෝ තුවාල කරුවෝ ප්‍රතිකාර ප්‍රමාදය නිසාම මිය ගියහ. ඔවුන් විඳින මානසික වේදනාව, ශාරීරික වේදනාවට වඩා කටුකය. එවැනි උදාහරණ දහස් ගණනක් ඇතත් එකක් පමණක් මෙසේ දක්වමි.

“වන්නියේ විදුහල්පති වරයකු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය අතර ඔහුගේ දියණියක් බරපතල තුවාල ලැබුවාය. ඔවුන් රැක බලා ගැන්මට යාපනයේ නෑදෑයෝ සිටිති. අම්මාත් දුවත් මන්නාරම රෝහලේ සිටිති. එහි ඔවුන් දන්නා හඳුනන කිසිවෙක් නැත. නිලධරයන් විසින් ඔවුන් යාපනයට යැවිය හැකිය. මේ අපරාධ වලට වග කිව යුත්තෝ කවුරුද?”

ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වයන් හෙළිදරවු වන විට ලෝකයේ අපේ රට හෙලා දකිනු ඇත.
“ මා බලවත් ඕනෑ කමින් ඉල්ලා සිටින්නේ තුවාල කරුවන්, මහල්ලන්, ගර්භණීන්, කුඩා දරුවන් ඇති අම්මලා, ආබාධිතයන්, මානසික දුබලතා ඇති අය, අනාථයන් ආදී මුදා හැරීමට නිසි සියලු දෙනා මුදා හරින ලෙසය. විවිධ කඳවුරු වල වෙන්ව සිටින පවුල් මුණ ගස් වනු මැනවි.”
“ඔබට දෙමළ ජනතාවගේ සිත් දිනා ගැනීමට අවශ්‍ය නම් මේ ටික පළමුව කරන්න. වහාම ඔවුන් පදිංචි කරවන්න. සංවර්ධනය ගැන පසුව සිතන්න.”

වව්නියාවේ කඳවුරු වල රඳවාගෙන සිටින ලක්ෂ තුනක් පමණ වන ජනයාගේ ජීවන අත්දැකීම් පිළිබඳව ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යපාරය විසින් සිය ‛‛ප්‍රජාතන්ත්‍ර’’ නම් ප්‍රකාශනයේ අඩංගු කළ ලිපි පෙළක් ‛‛විකල්ප’’ හී පළ කිරිම සඳහා එවා තිබේ. ඉහත පළ වන්නේ එහි පළමු ලිපියයි.

සරණාගත කඳවුරක තත්ත්වය

MDDR - Article 1

සාමාන්‍යයෙන් කඳවුරක ජීවිතය ප්‍රිය ජනක නැත. ඒ අතරම ලක්ෂ තුනක් වැනි පිරිසකට සියලු අවශ්‍යතා සපුරා ලීම ආණ්ඩුවට වුවද පහසු කාර්යයක් නොවන බව පිළිගත යුතුය. එහෙත් ඔවුන්ට සැලකීම උදෙසා දක්වන උනන්දුව හා ඒ සම්බන්ධ ආකල්පයන් නිසා ඇතිවන සිත් වේදනාවන්, පහත් කොට සැලකීම්, කිසිම වාර්තාවක සඳහන් නොවේ.
මේ සියලු පිරිස කොටස් වලට බෙදාවෙන් වූ බිම් කඩවල්හි කූඩාරම් ගසා පදිංචිය සලසා ඇත. ඔවුන්ට ඇති බරපතලම ප්‍රශ්නය නිසි පරිදි ජලය නොලැබීමය. අනෙක් ගැටලුව වන්නේ මේ කිසිවකුට බැහැර යෑමට ඉඩක් නැති අතර බැහැරින් ඒමටද පහසුකම් නැත. වටේට කටු කම්බි දහ පොටක් පමණ ගැසූ වැටකි. යාම ඊම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් විය හැකියැයි තර්ක කළ හැකිය.
එහෙත් මිනිසුන් වශයෙන් පවතින ප්‍රශ්නය වන්නේ මොවුන් එළිමහන් සිර කඳවුරක රඳවා තැබීම යි.
මේ තත්ත්වයෙන් ඔවුන් මුදවා ලීමට පියවර ගැනීම ඉක්මන් වන බවක් දැන ගන්නට නැත. ප්‍රභාකරන් ගේ සිර කඳවුරෙන් මිදී, ආහාර පාන හා කූඩාරම් සහිත ආණ්ඩුවේ සිර කඳවුරු වල ජීවත් වීමට සැලසීම මානව ගරුත්වයට කැළලකි. ඔවුහු හිඟන්නෝ නොවෙති. කඳවුරු බත් කෑමට තරම් කර ඇති වරද නම් ප්‍රභාකරන් මෙන් දෙමළ වීමයි. අතරින් පතර කොටියන් සිටීම, සෙසු අයට, දරුවන්, ස්ත්‍රීන්, මහල්ලන් ආදී සියලු දෙනාට දඬුවම් දීමට හේතුවක්ද?

මේ කඳවුරු අතර මැදවච්චිය මන්නාරම් පාරේ කදිර්ගාමර් කඳවුර විශේෂ වේ. එය යම් තරමකට හොඳින් පාලනය වේ. සතොස, බැංකුව, සමුපකාර සහ පෞද්ගලික වෙළඳ ස්ථානද ඇත. අවශ්‍ය දෙයක් මුදල් දී ගත හැක. කච්චේරි, දෙපාර්තමේන්තු උප කාර්යාල සහ විභාග පන්ති කඳවුරේම පිහිටුවා ඇත. මක් නිසාද? එක්සත් ජාතීන්ගේ හෝ විදේශයකින් පැමිණෙන අය කැඳවා ගෙන යන්නේද, පෙන්වන්නේද මේ කදිර්ගාමර් කඳවුරටය.

වව්නියාවේ කඳවුරු වල රඳවාගෙන සිටින ලක්ෂ තුනක් පමණ වන ජනයාගේ ජීවන අත්දැකීම් පිළිබඳව ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යපාරය විසින් සිය ‛‛ප්‍රජාතන්ත්‍ර’’ නම් ප්‍රකාශනයේ අඩංගු කළ ලිපි පෙළක් ‛‛විකල්ප’’ හී පළ කිරිම සඳහා එවා තිබේ. ඉහත පළ වන්නේ එහි දෙවන ලිපියයි.

එලිමහන් සිරකඳවුරු වල අසරණ කරනු ලැබූ සරණාගතයෝ

ඇස් තිබීම වේදනාවක් බව දැනුණේ වවුනියාවේ සරණාගත කඳවුරක තත්ත්වය දැක ගන්නට ලැබුණු මොහොතේදී ය’’ යි. එහි ගොස් පැමිණි කතක් පැවසුවාය.
“මා දුටු කිසිම මුහුණක හැඟීම් ප්‍රකාශනයක් තිබුණේ නැත. කඳවුර තුළ රෝහලට බස් වලින් යන අයත් එහෙමයි, දුකක් හෝ සතුටක් මුහුණු වල නැත. ගිලන් රථ වලින් යන අයත් පිළිම වගේ. අඩු ගණනේ එසේ යන කුඩා දරුවකු පවා අඬන්නේ නැත.”

ප්‍රසුති වාට්ටුවේ එක ඇඳක දරුවන් හතර පස් දෙනා සිටිනවා. අලුත් බිලිඳුන් සිටින කොට මවක ගේ මුහුණේ සතුටක් තිබිය යුතුය. එහෙත් එවැනි කිසිම හැඟීමක් මවකගෙන් වත් පළ නොවේ.”
මේ බිලිඳුන්ට දෙන්න අම්මලාට කිරි කොයින්ද? නිසි ඇඳුමක් පවා නැත. මේ බොහෝ දරුවන්ට ඔවුන්ගේ පියවරුන් නැත. එල්.ටී.ටී.ඊ.යේ හෝ ආණ්ඩුවේ හෝ වෙඩි වැදී මිය ගොස්ය.
ෂෙල් වෙඩි වැදුණු එක් අම්මා කෙනෙකු සිය කුඩා දරුවා උකුළට ගත්තේ විනාඩි කීපයක උත්සාහයෙන් පසු ය.” මේ ඇයට අසන්නට දකින්නට ලැබුණු දෙයින් ඉතා ස්වල්පයකි.
එක් මවක් උදව්වක් ඉල්ලා ඇත්තේ මෙසේය. “මගේ මිනිහයි දරුවයි මැරුණා අනේ මට වස කුප්පියක් ගෙනැත් දෙන්න.”

ඇගේ නිරීක්‍ෂණයට හසු වූ එක් කරුණක් බලාපොරොත්තු ඇති කරයි. ඒ මෙසේය. “අපමණ දුක් වේදනා මැද ගොළුවන හැඟීම් වලින් පවා තොර වූ මේ මිනිසුන් රෝහලට ගොස් ප්‍රතිකාර ලබන විට ඔවුන් ගේ මුහුණ වල දුක මතු වේ. දොස්තරවරු හෙදියෝ ඔවුන්ට සවන් දෙති. එවිට ඔවුන්ට අඬන්නත් මතක් වේ. නෑයන් ඔවුන් බලන්නට එන විට ගෙනෙන කඳුළු මඳ අස්වැසිල්ලක් සපයයි.

මේ කඳවුරු වල තත්ත්වය ඇහින් දුටු නිසා එම නිරීක්‍ෂිකාව තුළ මහත් වේදනාවක් තිබිණ. ඕ මෙසේ විමසයි. “කඳුළු කතන්දර දහස් ගණනකි. කලපුව මැදින් ජීවිතය සොයා පැමිණි බිහිසුණු ගමනේදී එක් මවකගේ අතින් ගිලිහී සිය දරුවා දියේ ගිලී අතුරු දහන් වුණා. එහෙත් නවතින්නවත් අඬන්නවත් වෙලාවත් නැහැ. ඉතින් නෑදෑයන්ට හෝ ඇස් වල කඳුළු තිබෙන අයට හෝ මේ දුක කියා අඬන්නවත් ඔවුන්ට ඉඩ තිබිය යුතු නැද්ද?”

“වව්නියාවේ කඳවුරු වල රඳවාගෙන සිටින ලක්ෂ තුනක් පමණ වන ජනයාගේ ජීවන අත්දැකීම් පිළිබඳව ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යපාරය විසින් සිය ‛‛ප්‍රජාතන්ත්‍ර’’ නම් ප්‍රකාශනයේ අඩංගු කළ ලිපි පෙළක් ‛‛විකල්ප’’ හී පළ කිරිම සඳහා එවා තිබේ. ඉහත පළ වන්නේ එහි පළමු ලිපියයි.”

සුදු පරෙවියා එනතුරු බලා සිටි විටෙක

IDPs

සුදු පරෙවියාගේ ආගමනය
අපේක්ෂාවෙන් සිටි විටෙක
මගේ මිදුලෙහි….

පළමුවෙන් පැමිණියේ උකුස්සෙකි
මගේ කුකුඑ පැටවුන්
ඩැහැගෙන ගියා ඌ සැණෙකින්

අනතුරුව
රාජාලියෙක් ඇවිත් ලැග්ගේය
මගේ මිදුලෙහි පොල් ගසක් මත.

මළ පහ කළේ ඌ ෂෙල් වෙඩිය
මගේ ගේ දොර
බිඳී විසිරී විනාශ විය
ජීවිතය පවා මට අහිමි විය
සරණාගතයෙක් වීමි
යළිදු මම.

මහාචාර්ය එම්. ඒ. නුහ්මාන්,
නිලාර් එන් කාසීම්ගේ සහෝදර පියාපත් කවි පොතෙන් උපුටා ගන්නා ලදි.

Next Page »