සිව් වසරකට පසු

සිය මවුපියන් බලන්නට ජර්මනියේ සිට වසර හතරකට පසු පැමිණි කෙනෙකුගේ කතාව මෙසේය.
“ඉහළ මට්ටමෙන් බලපෑමක් ඇතිව මිස එහි යා නොහැකිය. මා පැමිණියේ එසේය. මගේ මව (වයස 70) පියා (වයස 80) විවාහක සොහොයුරිය සහ ආබාධිත සොහොයුරු බලන්නට ආවෙමි.”
“දැන්වීම් දමා ඇතත්, එහා මෙහා යාමේ නිදහස නැත. මා ජර්මනියේ සිට පැමිණි බව කී විට ‛ලබන ඉරිදා එන්න නැතිනම් පුදුමාතලන් ගොස් අවසර ලබා ගෙන එන්න’ කීවා.”
ආබාධිත සොහොයුරු වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට පැය පහක් පොලීමේ සිටි බවද, විශේඥ වෛද්‍යවරුයකු හෙට හවස 3.00ට එන බවත් පැවසුවා. කලාතුරකින් හැර වෛද්‍යවරුන්ට දෙමළ කතා කළ නොහැකිය.
“එහි ආරක්ෂක කලාප ඇත. ඔවුන් ඇතුළත සිටින අය ගැන පරීක්‍ෂා කොට සමහරුන් අත් අඩංගුවට ගන්නවා. ඔවුන් ගෙන යන්නේ කොතැනටද? රඳවා තබනු ලබන්නේ කොහේද යනු කිසිවෙක් නොදනිති. උසාවියට යොමු කරන බව කියන නමුත් ඉන් පසු කිසි තොරතුරක් නැත.”

“එහි සිටින බොහෝ දෙනා සිය පවුලේ සෙසු සාමාජිකයන් කවර කඳවුරක හෝ සිටිත්දැයි නොදැන දුක් වෙති. මගේ මවුපියන් සිටි කූඩාරමේ සිටි වයසක විදුහල්පති වරයා සිය භාර්යාව හා දරුවන් නොදැකීමේ වේදනාව දරා ගත නොහැකිව සිය දිවි නසා ගෙන ඇත. ඊට පසු දින තවත් මවක් සැමියා සහ දරුවන් නැති දුකින් සිය දිවි නසා ගත්තාය.”

සමහර කඳවුරු වල ආහාර ඉතා අසතුටුදායකය. නිතර බඩේ අමාරු සැදේ. කූඩාරම් වල වාසය වල දීමක් බඳුය. නුසුදුසු හැසිරීම් ඇති නිලධාරීහු සිටිති. යන අයට පහත් කොට කතා කරන අය ද වෙති. යම් පහසුකම් ලබා ගැනිම සඳහා ශරීරය විකුණන්නට සිදු වන අවස්ථාද ඇති බව පැවසේ. මුලින් තිබුණාට වඩා සෞඛ්‍ය සේවා තත්ත්වයෙහි යම් දියුණුවක් ඇති බවද කිය යුතුය.
මේ කිසිවක් ගැන සැබෑ තොරතුරු කිසිම මාධ්‍යයක පළ නොවේ.
ඒ අනුව අල්ලස් හා දූෂණ ගැනද ආරංචි පළ වේ. සමහර කෙනෙකුට රු පනස් දාහක් හෝ ලක්ෂයක් දී එළියට පැමිණිය හැකිය. තුවාල අයට සහ කඳවුරු අනුව වෙනම මිල ගණන් ඇති බවද සැල වී ඇත. මෙහි ඇත්ත නැත්ත කෙසේ වුවද එසේ පිටතට පැමිණෙන කිසිවකුට ජාතික හැඳුනුම් පත හෝ වෙනත් සාක්ෂියක් නැතිව එහා මෙහා ගමන් කළ නොහැකිය.

Speak Your Mind

Tell us what you're thinking...
and oh, if you want a pic to show with your comment, go get a gravatar!