සිංහල, Colombo, Democracy, Media

කොමඩි විනිසුරුවන්ගේ හැඳි මිටේ නුවණ

පිට කොටුවෙන් තමාට ගැලපෙන රොබෝ කාන්තාවක් මිල දී ගෙන ගිය කොමඩි ස්ටාර් කෙනෙක් කාන්තාවන් අපහාසයට, උපහාසයට, අවමානයට හා අවතක්සේරුවට ලක් කරමින් කළ, බාල බොළඳ විහිළු රස වින්ද කොමඩි විනිසුරුවන් එය ඉහළින්ම අගය කිරීම හාස්‍යජනකය. මෙය සිදු වූයේ ස්වර්ණවාහිනියේ කොමඩි ස්ටාර් වැඩ සටහනේ විනිශ්චයකදීය. එම වැඩ සටහනේ අවසන් හතර දෙනාගේ වටයේදී එක් තරඟකරුවකු ඉදිරිපත් කළ අංගය කාන්තාවන් අපහාසයට, උපහාසයට, අවමානයට හා අවතක්සේරුවට ලක් කළ අගතිගාමී එකක් විය. තමා මිල දී ගත් රොබෝ ගැහැණියගේ අංගෝපාංග ගැන විස්තර කරන ඔහු ගැහැණුන්ගේ නුවණ හැඳි මිටට සමාන කළේය. රොබෝ ගැහැණිය වගේම සැබෑ ගැහැණුන්ද හදවතක් නැති අය බව උපහාසමය ආකාරයට ඇඟවීම් කළේය. එම ආචීර්ණකල්පිත අගතිගාමී මත පුනරුච්චාරණයෙන් විනිසුරු මඩුල්ලද හොඳහැටි විනෝද වූ ආකාරයක් පෙනෙන්නට තිබිණ. එපමණක් නොව, තද කර ගත් සිනාවෙන් යුතුව ඔවූහූ තරඟකරුවාට උපරිම ලකුණු ලබා දෙමින් ඔහුගේ දක්‍ෂතාවය අගය කළහ.

විනිසුරුවන් ලෙස එදා කටයුතු කළේ රෝයිද සිල්වා, රොනී ලීච් හා කුමාර තිරිමාදුර යන තිදෙනාය. තිදෙනාම එකසේ තරඟකරුවා අගය කරමින් මුළු ලකුණුම ඔහුට ලබා දුන්හ. මේ විහිළුවේ විහිළුව ගැන මට මතක් වූයේ ඊට පෙර වැඩ සටහනකදී කාන්තාවන් අපහාසයට පත් කරන අංගයක් ඉදිරිපත් කළ තරඟකරුවකුට එදින විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළ සුමණා අමරසිංහ සහ වසන්ත මොළගොඩ යන දෙදෙනා කළ ප්‍රකාශයන් නිසාය. එදින සුමණා අමරසිංහ කාන්තාවන් අපහාසයට පත් කරන විහිළුවලට එකඟ වන්න බැරි බව කියමින් හා එවැනි විහිළුවලින් වළකින ලෙස කියමින් එම තරඟකරුවාට අඩු ලකුණු ලබා දුන්නාය. වසන්තද ඒ ආකාරයටම ප්‍රකාශ කරමින් අඩු ලකුණු ලබා දුන්නේය. අනෙක් විනිශ්චයකරුවා ලෙස කටයුතු කළේ රෝයිද සිල්වාය. එදා ඔහුද සුමණා අමරසිංහ සහ වසන්ත මොළගොඩ අනුව යමින් එවැනි විහිළුවලට එකඟ නොවන ප්‍රකාශයක් කළේය. එහෙයින් මේ කියන දිනයේ අවම වශයෙන් රෝයිද සිල්වාටවත් පෙර දිනයේ සුමණා අමරසිංහ සහ වසන්ත මොළගොඩ සමඟ දුන් විනිශ්චය මතක් වේයැයි බලා සිටියෙමි. එවැනි කිසිදු මතකයක් ඔහු තුළ නැති බවත් ඔහුද ගැහැණුන් අවතක්සේරුවට, අපහාසයට, අපහසුවට පත් කරන සමාජ නිර්මිතයේ තවත් එක් පුරුෂයකු පමණක් බව ඔප්පු කරමින් අනෙක් දෙදෙනාට සමාන වී සිටියේය. තරඟකරුවන් විනිශ්චය කරන්නන් තරඟකරුවට වැඩි ඉදිරි දැක්මක් හෝ දැනුමක් ඇත්තන් නොවන බව සනාථ කරමින්, තමාගේ උරුමයට පත් ගැහැණිය සුරතල් කළ තරඟකරුවාට එම තිදෙනාම සමාන වී සිටියහ.

මේ සිදුවීම හරහා මේ රටේ පුරවැසියන් වූ ස්ත්‍රී පාර්ශ්වය සම්බන්ධයෙන් මේ රටේ ජනමාධ්‍ය කටයුතු කරන ආකාරය හා ඔවුන්ගේ අගතිගාමී ආකල්ප ගැන දිගු කතිකාවක් කළ හැකිය. මේවා සම්බන්ධයෙන් මේ රටේ පුරවැසි ස්ත්‍රී පුරුෂයන් හඬක් නොනැගීමේ අනතුර ගැන කතා කළ හැකිය. නමුත්, අපේ පුරුවැසි සමාජයට ඉතා කෙටි ප්‍රශ්න තුනකින් දමා ගසමින් මම මගේ විරෝධය පළ කරමි. එදා වැරැද්ද පෙනුනේ කාන්තාවක් විනිශ්චය මණ්ඩලයේ සිටි නිසාද? මෙදා වැරැද්ද නොපෙනුනේ කාන්තාවක් නොසිටි නිසාද? එයින් පෙනෙන්නේ ස්ත්‍රී පුරුෂ සමබර බවක් නැති විනිශ්චය මණ්ඩල තීරණවල අයුක්ති සහගත බවද? එසේත් නොමැතිනම් මෙයට හේතුව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව අසංවේදී, පුරුෂ බල පරාක්‍රමයම ක්‍රියාත්මක ජනමාධ්‍ය භාවිතාවේ ඇති සදාචාර විරෝධී බවද?

පූජා දිසානායක