අදට දින 352ක කාලයක් සිරගත කර සිටින බාලේන්ද්‍රන් ජෙයකුමාරි නිදහස් කර ගැනීම සදහා ඇප අයදුම්පතක් පසුගිය බදාදා(4) දින අධිකරණ වෙත යොමු කර තිබුණි. ඒ අනුව අද(06) කොළඹ, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම ඇප අයදුම්පත සලකා බැලූ අධිකරණය, ‘ජෙයකුමාරි නිදහස් කිරීම සදහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිත දැනුම්දීමක් හෝ එවැනි දෙයක් සිදු කර නොමැති බවින් එම නඩුව නැවතත් ලබන 10වනදාට කැදවීමට තීරණය කර ඇති බව‘ ඇයගේ නීතිඥයින් පැවසීය.

අද එම නඩුව කැදවන අවස්ථාවේ ජෙයකුමාරි නිදහස් කරන ලෙස බලකරමින් විරෝධතාවයක් අධිකරණය ඉදිරිපිට පවැති අතර එම විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටියේ කිසිදු නඩුවක් ගොනුකර ගත නොහැකි වී ත්‍රස්ථ විමර්ශණ නිළධාරීන් දින 352ක් ජෙයකුමාරි මෙසේ සිරගත කර තැබීම අපරාධයක් බවත්, එම නිසා ඇයව නිදහස් කරන ලෙසත්, එසේ රදවා සිටින අනෙකුත් දේශපාලන සිරකරුවන් ද වහාම නිදහස් කරන ලෙසත්ය.

නමුත්, අද ද ජෙයකුමාරිට නිදහස ලැබුණේ නැත.

අද ඇයට විශේෂ දවසකි. ඇයට සිටින එකම දරුවා විබුෂිකා වැඩිවියට පැමිණ ඇයගේ වැඩිවිය පැමිණිම වෙනුවෙන් චාරිත්‍ර ඉටු කිරීමට යොදා ඇත්තේ අදය. අද දවස පැමිණෙන තුරු ජෙයකුමාරි සිටියේ නොඉවසිල්ලෙනි. ඇයට තිබූ එකම අපේක්ෂාව අද විබූෂිකාත් සමග ඒ චාරිත්‍ර ඉටු කරන්නට ය. නමුත් රාජපක්ෂගේ ගොදුරක් වූ ඇය, යහපාලනයෙන් ද ඉල්ලා සිටියේ දුවත් සමග නිදහසේ ජීවත්වන්නටය. අද විබූෂිකාත් සමග ඇගේ චාරිත්‍ර ඉටුකරන්නටය. නමුත් සිදුවුනේ ජෙයකුමාරිට නැවතත් වැලිකඩ සිරමැදිරියේ සිටින්නටත්, විබූෂිකාට කිලිනොච්චියේ පරිවාස භාරයේ සිටින්නටත්ය.

පසුගිය පෙබරවාරි 17වනදා ජෙයකුමාරි සිය දියණිය හමුවීමෙන් පසු ජෙයකුමාරි පවසා සිටියේ,

‘දුව ඉන්නේ ගොඩක් දුකින්. ඒයාට ඇදුම්, කෑම බීම තියනවා කිව්වා. ඒත් එයා හැමදාම රෑට බයවෙලා අඩනවා. ඒයාට තිනියෙන් ඉන්න බෑ කිව්වා. මට දුකයි. එයා වැඩිවිය පැමිණිලා දැන් ටික දවසක් වෙනවා. ඒත් අපේ චාරිත්‍ර කිසිවක් ඉටු කරන්න බැරි උනා. ලබන මාසේ 6වෙනිදාට තමයි ඒක ඉටු කරන්න දින දීලා තියෙන්නේ. මට ඒකට ඉන්නම ඕන. මට දුවත් එක්ක ඉන්නම ඕන. මම හිතනවා මට ලබන 24වෙනිදා මේකෙන් නිදහස් වෙන්න පුලුවන් වෙයි කියලා. මම ලබන 6වෙනිදා මගේ දුවත් එක්ක ඉන්න ඕන‘‘

නමුත් ඒ සිහිනය සැබෑ කර ගන්නට යහපාලනය තුළ වුව ද අද ජෙයකුමාරිට අවසර ලැබුනේ නැත.

පහත පලවන්නේ ජෙයකුමාරි නිදහස් කරන ලෙස බලකරමින් අධිකරණය ඉදිරිපිට පැවති විරෝධයේ අවස්ථා ‘විකල්ප‘ කැමරාවේ සටහන් වූ අයුරුයි.

IMG_20150306_093328

IMG_20150306_100551

IMG_20150306_093251

IMG_20150306_093258

IMG_20150306_093314

IMG_20150306_093319

IMG_20150306_100609

සබැදි සටහන්

‘විකල්ප‘ වෙබ් අඩවිය පෙබරවාරි 10වනදා කළ, අැගේ ඉල්ලීම ප්‍රසිද්ධ කරයි – ‘මට මගේ දරුවව බලන්න දෙන්න‘ රිමාන්ඩ්ගතකර ඇති ජෙයකුමාරිගෙන් ඉල්ලීමක්!

‘අපි දෙන්නා දෙපැත්තේ ඉදලා කතා කරාට වඩා ඇඩුවා‘ අධිකරණ අවසරයෙන් සිරගත ජෙයකුමාරි සහ ඇගේ දියණිය විනාඩි කිහිපයකට හමුවෙයි

TID සුපුරුදු බණේම කියයි, ජෙයකුමාරි නැවතත් රිමාන්ඩ්!

රාජපක්ෂ පාලනය විසින් ජෙයකුමාරි රදවා ගෙන දින 312යි | දේශපාලන සිරකරුවන්ට නිදහස ලැබිය යුතුයි!

ඇප දීම ප්‍රතික්ෂේප කරයි. ජෙයකුමාරි නැවතත් රිමාන්ඩ්!

@VIKALPA