Colombo, Featured Articles, Features

ජුලියන් අසාංශේ – අපේ කාලයේ වීරයෙක්


ජුලියන් අසාංශේ – අපේ කාලයේ වීරයෙක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය

“අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි. මා යෙදී සිටින්නේ අර්ථවත් සහ තෘප්තිකර යැයි මට හැගෙන කාර්‍යයකය. මගේ විත්ත ස්වභාවය එය යි. දැවැන්ත පරිමාණයේ පද්ධති ගොඩනැගීමෙන් මම සතුටු වෙමි. එමෙන්ම ගොදුරුබවට පත්විය හැකි ජනයාට උදව් කිරීම ද මට සතුට ගෙන එයි. අවලමුන් කුඩුපට්ටම් කර දැමීම ද සතුට ගෙන දේ.” – ජුලියන් අසාංශේ

උපතින් ඕස්ට්‍රේලියානුවකු වූ අසාංශේට අද රටක් නැත. ඒ ඉහත කී පරිදි ආත්ම තෘප්තික ජීවිතයක් ගත කිරීම වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ඇති නිසා ය. තමන්ට සමහර විට ස්විස්ටර්ලන්තයෙහි දේශපාලන රැකවරණ පතන්නට සිදුවනු ඇතැයි පසුගිය සතියේ අසාංශේ් ජීනිවා ජනමාධ්‍යට කියා සිටියේ ය. ලොව මහබලවතුන් විසින් සැඟවීමට උත්සාහ දරන මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ තොරතුරු මහා ජනයා කරා ගෙනයාම අසාංශේ් පිටස්තරයෙක් බවට පත් කළ එකම සාධකය වේ.

ඇමෙරිකා එක්සත් ජනපදය පරාජය වූ යුද්ධ ඇත්තේ එකක් යැයි කියනු ලැබේ. ඒ වියට්නාම් ජනයාට එරෙහිව එය විසින් පවත්වාගෙන ගිය දීර්ඝ යුද්ධය යි. ඒ යුද්ධය ඇමෙරිකාව පැරදුනේ වියට්නාම් සටන් බිමෙහිදී නොව ඊට ප්‍රථමයෙන් ඇමෙරිකානු භූමියේදීම ය. ඊට හේතු වුයේ එකල ජීවත් වූ ජුලියන් අසාංෂේ වැනි සිය හෘද සාක්ෂිය වෙනුවෙන් ජීවිතය පරදු තැබූ පුද්ගලයින් නිසා ය. ඉන් එක් අයකු ඩැනියෙල් එල්ස්බර්ග් නම් විය. ඇමෙරිකානු රජය එහි ජනයාට යුද්ධය අවම කරමින් සිටින බවට කියන අතරවාරයේ යුද්ධය තීව්ර කරමින් සිටිනවා පමණක් නොව අසල්වැසි කාම්බෝජ සහ ලාඕස් යන රටවලටද බෝම්බ හෙළමින් සිටින බව වාර්තාමය සාක්ෂි සහිතව හෙළිදරව් කළ ජනමාධ්‍යවේදියා ඔහු ය. පෙන්ටගන් ලියැවිලි නමින් ප්‍රසිද්ධ වූ එම තොරතුරු ලේඛන 1000ක සටහන් වී තිබිණි. මේ හෙළිදරව්ව නිසා රට පාවා දුන් දෝහියකු ලෙස නම්කරන ලද එල්සබර්ග්ට ඝාතන සැළසුම්වලින් දිවි ගලවා ගැනීමට සිදුවිය. එසේ නමුත් පසු කළෙක එල්ස්බර්ග් යුද්ධයේ අමිහිරි සත්‍යය හෙලිදරව් කළ නිර්භය මිනිසකු සහ වීරයකු ලෙස සැළකුම් ලැබුවේ ය.

අද ඇමෙරිකාවෙහි දක්ෂිනාංශික මතවාදීන් අසාංශේ සළකන්නේ ද ද්‍රෝහියකු ලෙස ය. එසේ නමුත් ලෝකයෙහි කොතැනක වුවත් යුක්තිය සහ සාධාරණත්වය ඉටුවීම ආරම්භ වන්නේ එවැනි මිනිසුන්ගේ නිර්භය ව්‍යායාමයන් නිසාය. අද විශේෂයෙන්ම පාරිභෝගික සමාජ හරයින් විසින් මිනිසුන් කන බොන සහ අණට කීකරුවන රෝබෝවරුන් බවට පත් කර ඇති යුගයක එවැනි ධෛර්යමත් මිනිසුන් එනම් අවුන් සාං සුකී වර්ගයේ ගැහැනුන් සහ පිරිමින් අපේ ලෝකයට අත්‍යවශය ය.

අසාංශේට ගෙදරක් කියා තැනක් නැත. එක් වාර්තාකරුවකු පැවසුයේ ඔහුගේ නිවෙස විවිධ ගුවන් තෙටුපලවල් බව යි. අද රටක් නැතිව තැනින් තැන යමින් සිය ජනමාධ්‍ය මෙහෙවර ඉටු කරන ජුලියන් අසාංශේ් එවැනි මිනිසෙකි. ඉරාකයේ ඇමෙරිකානු යුද්ධයට අදාළව විකි ලීක්ස් මගින් අසාංෂේ සිවිල් මරණ 66, 081ක් පිළිබඳ විස්තර හෙළිදරව් කළේ ය.

ජුලියන් අසාංශේ විකි ලීක්ස් නමින් හැඳින්වෙන තොරතුරු වෙබ් අඩවියේ නිර්මාතෘවරයා මෙන්ම එහි ගාමක බලවේගය ද වෙයි. මෙම වෙබ් අඩවිය වෙන්ව ඇත්තේ වෙසෙසින්ම රාජ්‍යයන් විසින් රහසිගතව තබා ගැනීමට උත්සාහ කරන මහජන යහපතක් සහ වැදගත්කමක් සහිත තොරතුරු සොයා ගෙන පළ කීරීම පිනිස ය.

පසුගියදා ඔහු ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවරට පැමිණියේ ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව මානව හිමිකම් චෝදනා කිරීම පිණිස ය. ඔබාමා පාලනය යටතේ ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ අධිකාරය පිළිගත් එක්සත් ජනපදය මෙළෙස ප්‍රශ්ණ කෙරුනේ ප්‍රථම වතාවට ය. ඇමෙරිකානු හමුදා විසින් ඉරාකයේ දී සහ ඇෆ්ගනිස්ථානයේ දී සිවිල් වැසියන් ඝාතනය කිරීම සහ සිරකරුවන්ට වධහිංසා පැමිණවීම අරභයා පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි අසාංශේ් ජිනීවා මානව හිමිකම් කොමිසමට කියා සිටියේ ය. තම වෙබ් අඩවිය විසින් පළ කරන ලද ඇමෙරිකානු ආරක්ෂ ලිපි ගොනු විසින් පෙන්වා දෙන සිවිල් වැසියන් ඝාතනය කිරීම් ගැන පරීක්ෂණයක් පැවැත්වීමට කිසිදු පියවරක් ගෙන නැතැයි ද අසාංශේ මානව හිමිකම් කොමිසමට කියා සිටියේ ය. ඔහු කියා සිටියේ එළෙස සිය හමුදා විසින් කරන ලද මානව හිමිකම් කෙළෙසීම් ගැන පරීක්ෂා කරනු වෙනුවට එක්සත් ජනපදය සිය වෙබ් අඩවියට තොරතුරු දුන් පුද්ගලයින් පසුපස පන්නමින් සිටින බවයි.

මසකට පෙර විකිලීක්ස් වෙබ් අඩවිය එක්සත් ජනපද යුදහමුදා ක්ෂේත්‍ර වාර්තා 400,000ක් පළ කරමින් කියා සිටියේ විවිධ මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ සාක්ෂිමය තොරතුරු එහි අඩංඟු වන බවයි. මෙම හෙලිදරවිවට පෙර පසුගිය ගිම්හානයේ දී තවත් එවැනි ලේඛන 75,000ක් පළකරමින් විකි ලීක්ස් කියා සිටියේ සිය ගණනක් සිවිල් වැසියන් ඝාතනය කිරීම පිළිබඳ සාක්ෂි ඒ අතර වන බව යි.

අසාංශේ සිය ආත්ම අභිලාෂය සේ දැවැන්ත පද්ධති නිර්මාණය කිරීම ගැන කතා කරන්නේ නිකමට නොවන බව මෙම සංඛ්‍යා මොනවට පැහැදිළි කරයි. බලවත් රාජ්‍ය විසින් පන්න පන්නා පහර දීමට බලා සිටින නමුත් පසුගිය සතිය වන විට ඇමෙරිකානු ටයිම්ස් සඟරාවේ “2010 වර්ෂයේ මිනිසා” ලෙස පාඨක ජන්ද 21,736ක් ලබා ගනිමින් පෙරමුණට පැමිණ සිටියේ ය.

ඔහු විසින් නිර්මාණය කර ඇති විකි ලීක්ස් නම් වෙබ් අඩවිය ද ඒ හා සමඟ බැදුණු ස්වේච්ජක ක්‍රියාකාරීන්ගේ ජාලය ද අපේ යුගය සඳහා අන්තර් ජාලය මත පදනම් වූ නව ජනමාධ්‍ය භාවිතයක් හඳුන්වා දෙයි. වෙබ් අඩවිය සතු සංකීර්ණ ජාලය පවත්වා ගන්නේ සිය ගණනක් වූ මෙම ස්වේච්ජා තොරතුරුකරුවන් විසිනි. පූරණ කාලීනව වැඩ කරන තුන් හතර දෙනෙකු හැරුණ විට අන් සියළු සිය කාලයෙන් යම් ප්‍රමාණයක් විකි ලීක්ස් වෙනුවෙන් වැය කරති. ප්‍රධාන පුද්ගලයින් හැඳින්වෙන්නේ මුලකුරකින් පමණ ය. සියළු විද්‍යුත් පණිවිඩ හුවමාරු කැරෙන්නේ රහසිගත සඥාවන්ට පෙරළන පරිදි ය. ඒ් බලවත් ආණ්ඩු සිය ජාලය තුලට රිංගනු වැළැක්වීමට ය.

කිසිදු අයෙකුට වාරණය කළ නොහැකි පරිදි පවත්වාගෙන යන විකි ලීක්ස් තොරතුරු අඩවිය සිය ගණනාවක් ලියාපදිංචි නම්වලින් විවිධ අන්තර්ජාල පදනම් මත ඉතා සංකීර්ණ ජාලයක් ගොඩනගා තිබේ. මෙයට අමතරව විකි ලීක්ස් තොරතුරු අඩවියේ හිතවතුන් ද ජායාමය අඩවි ගණනාවක් වෙන වෙනම පවත්වාගෙන යයි. අසාංශේ් කියන්නේ සිය තොරතුරු අඩවිය බිදහෙළිය නොහැකි එකක් බවයි.

විය යුතු පරිදිම අසාංශේ්ට එරෙහිව පුද්ගලික ප්‍රහාරයන් ගණනාවක් ද දියත්ව තිබේ. ඉන් එකකින් කියැවෙන්නේ ඔහු ස්ත්‍රී දූෂකයකු බවයි. තවත් චෝදනාවක් වන්නේ ඔහු අධිපතිවාදී ලෙස කටයුතු කරන බව යි. චෝදනා සත්‍ය වුවත් නැතත් ඒ මගින් සෝදා හැරිය නොහැකි පරිදි අසාංශේ සිය පා සළකුණු නිහඩව නොසිටින යහපත් මිනිසුන්ගේ ගමන් මාර්ගයේ ප්‍රබල ලෙස සටහන් කර අවසන් ය. යුද්ධය විසින් මිනිස්කමට එරෙහි බරපතලම අපරාධය බව විකි ලීක්ස් තොරතුරු අඩවිය යළිත් වතාවක් සනාථ කරයි. යුද්ධයේ හිමිකරුවන් වන කිසිවකු ඊට කැමැති නැත.

ජුලියන් අසාංශේ අපේ කාලයේ වීරයකු වන්නේ අපේ කාලයේ ඇති කාලකන්නි අකර්මණය බවට ඔහු ඉදිරිපත් කරන අභියෝගය නිසා ය. ඔහුගේ දැවැන්ත හෙළිදරව් කිරීම් විසින් කළකට පෙර නම් මහජන මතයේ දැවැන්ත වෙනස්කම් සිදුවන්නට ඉඩ තිබුණි. අද එවැනි ඉදිරිගාමී මහජන මනෝබාවයක් ඇත්තේ කලාතුරකින් විශේෂ තත්ත්වයන් යටතේ පමණය.
අසාංශේ් ඇත්ත වශයෙන්ම නම් අදුරු අහසක රිදී වලාවක් වැන්න. වෙලාවක් ඇතොත් http://wikileaks.org/ අඩවියට ගොඩ වී යුක්තිය වෙනුවෙන් දැරෙන සැබෑ ජනමාධ්‍ය කෙළසකදැයි දැක බලා ගන්න.