සිංහල, Colombo, Democracy, Education, Governance, Media

A/L ප්‍රතිඵල අවුල – කවුද වැරදි?

“දැන් මේ උද්ගත වෙලා තියෙන උසස් පෙළ ප්‍රතිඵල පිළිබඳ ප්‍රශ්නය මොන විදිහකින් වත් නිරාකරණය නොකරන බව මම හොඳාකාරව දන්නවා. විභාග කොමසාරිස්තුමා මේ වතාවෙ විතරක් නෙමයි වසර ගණනාවක් තිස්සෙ තමන්ට අභිමත පරිදි අත්තනෝමතික ලෙස විභාග දෙපාර්තමේන්තුවේ තිබුණ සම්ප්‍රදායන් සාපරාධී ලෙස උල්ලංඝනය කළා. එතුමා මෙම තනතුරේ රැඳී සිටීම සඳහා දේශපාලනික ශක්තිය ලබා ගැනීමට කළ කටයුතු නිසා එතුමාව ආරක්ෂා කිරීමට දේශපාලන බලවේග සැදී පැහැදී සිටියා. මේක විභාග සම්බන්ධයෙන් සිදු වුණ පළවෙනි අවුල නෙමෙයි. අවුල් ගණනාවක් සිද්ධ වුණා. විභාග පැවැත්වීමේ පරිපාලන රටාව උල්ලංඝනය කළා. රටේ වැදගත් විභාග වල ප්‍රශ්න පත්‍ර සකස් කිරීම,උත්තර පත්‍ර ලකුණු කිරීම එතුමා එතුමාගේ පවුලෙ අය විසින්, හිතමිත්‍රයන් විසින් කාලාන්තරයක් තිස්සෙ කරන්න පටන් ගත්තා. එතුමාගේ මෙම කටයුතු සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන ඇමතිවරයාවත්, වර්තමාන අධ්‍යාපන ඇමතිවරයාවත් නිසි තීන්දුවක් ගත්තෙ නැහැ. මේ වගේ වාතාවරණයක් තුළ අපේ රටේ දරුවන්ට සාධාරණ තීරණයක් ලබා දෙන්න රජය මැදිහත් වෙයි කියලා මම නම් කොයි මොහෝතේ වත් සිතන්නෙ නැහැ. පාර්ලිමේන්තුව අමතලා බන්දුල ගුණවර්ධන මහතා පවත්වන දේශනයේදී විභාග කොමසාරිස්තුමා කිසි වරදක් කරලා නැහැ කියලා පැහැදිලිව කියනවා. කිසිම පරීක්ෂණයක් කරන්නෙ නැතුව තමයි එතුමා එම ප්‍රකාශය කරන්නෙ. මම ඉතාම පැහැදිලිව දැනගත් දේ තමයි පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, ප්‍රමිත කිරීම සහ ඒවාට උපදෙස් දීම සම්පූර්ණයෙන්ම වැරදි ලෙස එතුමා සිදු කළා. අපි තමයි ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල සති දෙකෙන් දුන්නෙ කියලා ඇමතිවරයා බොහොම උද්දාමයෙන් කියනවා. දරුවන්ගෙ ප්‍රතිපල නිකුත් කිරීම දේශපාලනික සාධකයක් කරගන්නෙ ඇයි? අධිවේගී ලෙස ප්‍රතිපල ඉදිරිපත් කරන ක්‍රියාවලියකට අවතීරණය වෙලා ඒක දේශපාලනික කටයුත්තක් කරගන්න එක ඉතාම අමනෝඥ්ඥ කටයුත්තක්. මේ සීඝ්‍රගාමී ප්‍රතිපල නිකුක් කිරීම සිදු කළේ මේ කොමසාරිස්වරයාට තවදුරටත් තනතුරේ රැඳී සිටින්නටයි. ඔහුට අභිමත ආකාරයට යම් යම් ප්‍රතිපල සකස් කිරීමටයි. දේශපාලඥයන් සතුටු කිරීමටයි. මොහු කරලා තියෙන දේවල් ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කරන්න බැරි තරම් සාපරාධී බවයි නිල නොවන විදියට ආරංචි වෙන්නෙ.”

2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විකෘති කර නිකුත් කිරීම නිසා ඇති වී ඇති ව්‍යාකූලත්වයට වහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් අද (11) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරිය ඒ පිළිබඳව තම අදහස් මෙලෙස ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට උසස් පෙළ විභාගය සඳහා භාවිතා කරන ඉසෙඩ් ස්කෝර් ක්‍රමයේ නිර්මාතෘ වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රැපල් .ඕ. තටිල් සහභාගී වී සිටීම විශේෂත්වයකි. මෙහිදී මහාචාර්ය තටිල් තම අදහස් මෙලෙස ප්‍රකාශ කළේය.

“ඉසෙඩ් ස්කෝර් ක්‍රමය අළුත් ක්‍රමයක් නෙමෙයි. මෙය දශක ගණනාවක සිට භාවිතා කරනවා. නොයෙක් විචල්‍යයන් එකම තලයකට ගෙන ඒමට මෙම ක්‍රමය අවුරුදු ගණනාවක සිට භාවිතා කළා. ජාතික විභාග සඳහා මම මේක භාවිතා කළා . ඉසෙඩ් ස්කෝර් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ජනතාව හිතනවා. ඉසෙඩ් ස්කෝර් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේක විශ්වීය මැනුම් ක්‍රමයක්. සැබෑ ප්‍රශ්නය තියෙන්නෙ මධ්‍යනය සහ සම්මත අපගමනය වෙනස් ශිෂ්‍ය ප්‍රජාවන් දෙකක් (නව සහ පැරණි නිර්දේශ) සඳහා එකවර භාවිතා කිරීමයි. ඒක ගැන කවුරුවත් අවධානය යොමු කරලා නැහැ. මම අහලා තියෙනවා ඔක්කොම ප්‍රශ්න විසඳුව කියලා. නමුත් ප්‍රධාන ප්‍රශ්නය තවම විසඳලා නැහැ. මේ ක්‍රමය භාවිතා කිරීමෙන් ලකුණු අඩු එක්කෙනාට තවත් අඩු වෙනවා. ලකුණු වැඩි එක්කෙනාට තවත් වැඩි වෙනවා. ඒකෙන් ළමයින්ට අසාධාරණයක් වෙනවා.මම කියන්නෙ අළුත් විෂය නිර්දේශයට සහ පැරණි විෂය නිර්දේශයට වෙන වෙනම ඉසෙඩ් ස්කෝර් පාවිච්චි කරන්න කියලයි. එතකොට ප්‍රශ්නය විසඳෙනවා. කණ්ඩායම් දෙකක් සිටිද්දි ඒක එකට සම්බන්ධ කරන්න බැහැ.”

මේ පිළිබඳව අදාල බලධාරීන් මහාචාර්යවරයාගෙන් විමසුවාද යනුවෙන් නැගුනු ප්‍රශ්නයට පිළිතුරු දුන් මහාචාර්ය තටිල් ප්‍රකාශ කර සිටියේ කිසිදු දවසක විමසුවේ නැති බවත්, අද මෙම හෙලිදරව්වෙන් පසු ඉදිරියටත් එවැනි විමසුමක් නොකරනු ඇති බවත්ය. එමෙන්ම තවත් ප්‍රශ්නයක් වූයේ දෙමව්පියන් හෝ දරුවන් යම් හෙයකින් මෙම අසාධාරණය සම්බන්ධයෙන් අධිකරණයට ගියොත් ඒ සම්බන්ධයෙන් විශේෂඥ සාක්ෂියක් ලබා දීමට මහාචාර්යවරයා ඉදිරිපත්වනවාද යන්නයි. තමන් විශේෂඥ සාක්ෂිකරුවෙක් ලෙස අධිකරණයට ඉදිරිපත් වෙමින් දරුවන්ගේ ප්‍රශ්න විසඳීමට මැදිහත් වන බව එහිදී තටිල් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට අධ්‍යාපන නිළධාරීන්, වෘත්තීය සමිති සංවිධාන සාමාජිකයන්, සිසුන් සහ දෙමව්පියන් සහභාගී වී සිටි අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ සම්බන්ධයෙන් සිය අදහස් මෙලෙස පල කළේය.

“අධ්‍යාපන ඇමතිතුමාට වහාම ඉල්ලා අස්වෙන්න කියලා කියපුවහම, එතුමා අහනවා ‛මම ඉල්ලා අස්වෙන්න ඕනෙ මගේ සම්පූර්ණ වැටුප අපි වෙනුවෙන් අපි අරමුදලට සම්පූර්ණයෙන්ම දෙන නිසාද?, එහෙම නැත්නම් මම පිටරට ගියාම ඉතුරු සල්ලි ආපහු දෙන නිසාද?, එහෙම නැත්නම් මම නිල නිවාසයක් පාවිච්චි නොකරන නිසාද?’ කියලා. නමුත් මම කියන්නෙ මේ එකක්වත් නිසා නෙමෙයි, තමන්ගෙ රස්සාව හරියට නොකරන නිසා ඔහු ඉල්ලා අස්විය යුතුයි කියලයි. ඒ මහත්තයාව යවලා තියෙන්නෙ අපි වෙනුවෙන් අපි අරමුදලට අරමුදල් රැස් කරන්න නෙමෙයිනෙ.”