මැයි 03 වන අද දින, මාධ්‍ය නිදහස දිනය සැමරෙන්නේ මාධ්‍ය වෘත්තිය ලේ සහ කඳුලින් නැහැවුණු පසුබිමක ය. Reporters Without Borders මාධ්‍ය නිරීක්ෂණ වාර්තාවන්ට අනුව මාර්තු දක්වා ගාසා තීරයේ ඇවිළුනු යුද්ධය නිසා දින 150ක් තුළ මාධ්‍යවේදීන් 103ක් ඝාතනය වී තිබෙනවා. රුසියානු-යුක්රේන යුද්ධයෙන් ගත වුණු අවුරුදු දෙක ඇතුළත මාධ්‍යවේදීන් ඝාතනයට ලක්වීම හෝ විවිධ අනතුරුවලට මුහුණ දීමේ අවස්ථා 100 ඉක්මවා තිබුණා. මෙවර මාධ්‍ය නිදහස පිළිබද ජාත්‍යන්තර දිනය සමරණු ලබන්නේ මෙවන් ඛේදනීය පසුබිමකයි.

පළමු මාධ්‍ය නිදහස් දිනය සමරලා තියෙන්නේ 1994 වර්ෂයේ දී ය. මාධ්‍ය නිදහසේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමටත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කිරීමට වගේ ම එය ආරක්ෂා කිරීමට රජයන්ට පැවරෙන යුතුකම් මතක් කර දීමටත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1993 වසරේ කළ යෝජනාවකට අනුව යි. මාධ්‍ය නිදහස දිනය හැටියට මැයි 03 තෝරගත්තේ විශේෂ කරුණක් පාදක කරමින් ය. 1991 දී අප්‍රිකානු මාධ්‍යවේදීන් නැම්බියාවේ Windhoek හි ඉදිරිපත් කළ මාධ්‍ය නිදහස පිළිබඳ Windhoek ප්‍රකාශය සැමරීමේ දිනය මෙදිනට යෙදෙන නිසා ඊට ගෞරවයක් ලෙස මාධ්‍ය නිදහස දිනය ලෙස එක්සත් ජාතීන් මේ දවසම තෝරා ගනු ලැබුණි.

මාධ්‍ය නිදහස “සමරණ” දිනයේ ප්‍රධාන අභිමතාර්ථයක් හැටියට සැලකෙන්නේ මාධ්‍යකරණයේ දී සිය ජීවිතය අහිමි වූ හෝ විවිධ හිංසනයන්ට පීඩාවන්ට ලක් වූ මාධ්‍යවේදීන් සිහිපත් කිරීම යි. ලෝකයේ වගේ ම ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති අවුරුදු 30 තුළ ඝාතනය වූ සහ හිංසනයට ලක් වූ මාධ්‍යෙව්දීන් සිය ගණන සිහිපත් කිරීමටත් මෙය අවස්ථාවක් කර ගැනීම ප්‍රමුඛ වැදගත්කමක් උසුලනු ලබයි. ත්‍රස්තවාදය වගේ ම රාජ්‍ය ත්‍රස්ථවාදයත්, මැර කල්ලි විසිනුත් මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, අතුරුදහන් කිරීම, බිය වැද්දීම, තර්ජනය කිරීම වැනි දෑ නොයෙක් අවස්ථාවල සිදු කෙරුණු බවට රහසක් නොවේ.

2010න් පසු කාලයේ මාධ්‍යවේදීනට ශාරීරිව සිදු කළ හැකි වධ හිංසනයන් තවදුරටත් ඒ අයුරින් ම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබුණත් අණ පනත්, නීති රීති මගින් වගේ ම ආරක්ෂක අංශය, බුද්ධ අංශය ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය උපයෝගයෙන් මාධ්‍යවේදීන් බිය වැද්දීම, තර්ජනය කිරීම හා පීඩාවට පත් කිරීම සිදු විය. 2024 අංක 9 දරන ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ වගේ ම යෝජනා කෙරුනු විකාශන අධිකාරි පනත් කෙටුම්පතත්, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතත් සුපැහැදිලිව ම මාධ්‍ය සහ මාධ්‍ය වෘත්තීය හී සිය අණසකට යටත් කරගැනීම උදෙසා ආණ්ඩු ගත් උත්සාහයන් වෙතියි නීති විශ්ලේෂකයන්ගේ චෝදනා එල්ල විය‍, චෝදනා එල්ල වෙමින් පවතී.

දියුණු ශිෂ්ටාචාරයන් පිළිගන්නේ පුරවැසියාට තොරතුරු දැනගැනීමට තිබෙන පිපාසය මූලික මිනිස් අයිතියක් ලෙසයි. මෙරට තුළ මාධ්‍ය නිදහස උදෙසා දිනාගත් ඉහළ ම ජයග්‍රහණය 2017 වසරේ සම්මත වූ තොරතුරු දැනගැනීම පනත බව බොහෝ දෙනෙක් ගේ අදහසයි. එහෙත් එහි ප්‍රායෝගික භාවිතයේ තුළ නොවිසඳුනු ගැටලු ගණනක් තවමත් පවතී. තොරතුරු නිළධාරීන් පත්කර නොකිරීම, ඉල්ලා සිටින තොරතුරු ලබා නොදීම, තොරතුරු කොමිසමේ ක්‍රියාකාරීත්වය සතුටුදායක නොවීම, මාධ්‍ය වෘතිකයන් තොරතුරු දැනගැනීම පනත නිසි ලෙස භාවිතයට නොගැනීම යනාදිය ඉන් කිහිපයක් පමණි.

මාධ්‍යයේ නිදහස පිළිබද ක්‍රියාකාරීත්වයට අවශ්‍ය නෛතික පදනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් තහවුරු කළත් එය වල්බූරු නිදහසක් ලෙස අනිසි භාවිතය අධෛර්යමත් කිරීමට යම් යම් සීමා ද ව්‍යවස්ථාව පනවයි. මහජන සාමය බිඳ දැමෙන ලෙස ක්‍රියා කිරීම, අපහාස කිරීම, අධිකරණයට අපහාස වන ලෙස මාධ්‍යකරණය පවත්වාගෙන යාම එවන් සීමා කිහිපයක් ය.

මාධ්‍ය සම්බන්ධයෙන් පොදුවේ පිළිගත් සිද්ධාන්තය වන්නේ මාධ්‍යය අපක්ෂපාතීව, යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීය යුතුයි යන්නයි. මේ සිද්ධාන්තය මාධ්‍යයේ කොදුනාරටිය බඳු ය. මාධ්‍යයේ කොදුනාරටිය බිඳ වැටෙන තැනක මාධ්‍යය නිදහස කතා කිරීමට කිසිඳු අවකාශයක් නැත. එනයින් මෙරට මාධ්‍යකරණය තුළ කොදුනාරටිය බිඳගත් මාධ්‍ය වෘතිකයන් හා මාධ්‍ය ආයතනය මාධ්‍ය නිදහස නම් උධාර සංකල්පයට මුවා වූ බැටලු හම් පොරවා ගත් වෘකයන් වැනි ඊනියා ජන හිතෛෂීන් බව අමුතුවෙන් ස්මතු කළ යුත්තක් නොවේ.

මාධ්‍ය ආයතනයන්ට ගිනි තැබීම්, සීල් තැබීම නොයෙක් ආකාරයේ වාරණ පැනවීම ඉතිහාසය ‍පුරා සිදු වූ රටක අපි ජීවත් වෙමු. මෑතක සිට වර්ධනයක් පෙන්නුම් කරන්නේ නීතිමය වශයෙන් මාධ්‍යයේ භූමිකාව හකුලුවා දැමීමට ගන්නා වෑයම් ය. එබැවින් මාධ්‍ය නිදහස තහවුරු කෙරෙන අයුරින් මිසක මාධ්‍යයේ පාලනය සියතට ගැනීමට ව්‍යවස්ථා සම්පාදනය නොකිරීමටත්, මාධ්‍ය වෘතිකයන්ගේ මාධ්‍ය භූමිකාව සහ වෘතීය අයිතිය තහවුරු කරන අයුරින් සිය ප්‍රතිපත්ති සැකසීම රජයට ඇති වගකීම පෙන්වා දීම මාධ්‍ය නිදහස සමරන අද දින මතක් කර දීමට කැමැත්තෙමු.

සකීෆ් සාම්