Image by: Nalini
‘‘මගේ පුතා හිටියේ සංවිධානේ තමයි. එයා අවුරුදු 4ක්ම හිටියා. අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ. එක දවසක් සංවිධානෙන් ඇවිල්ලා කිව්වා එයා නැති උනා කියලා. අපිට උහුල ගන්න බෑ. ඊට පස්සේ එයාලා අපේ පුතා සිහිවෙන්න සොහොනක් හැදුවා. අපි අවුරුද්දේ විශේෂ දවස් වලට සොහොනට ගිහිල්ලා එයා සිහිකරනවා. ඒත් දැනට අවුරුදු 4කකට වගේ කළින් එයාගේ සොහොනත් එක්කම ඔක්කොම ඩෝසර් කරලා. අපිට අපේ පුතා සිහි කරන්න තිබ්බ එකම තැන..දැන් මේ ගේ ඇතුලේ තමයි අපි පුලුවන් විදිහට එයාව මතක් කරන්නේ. ඒත් ඒකත් බයෙන්. ඒ අපේ පුතා………………………‘‘ උතුරේ මවක් සිය පුතා ගැන සිහි කරමින් කතා කළේ කදුලු සිය දෑසේ පුරවාගෙනයි. මොහොතකින් වැටුනු කදුලුවල ජාතියක් තිබුණේ නෑ වගේම හැම අම්මා කෙනෙක්ගේම තිබුණ රතු වුනු දෑස් ඇයගෙත් තිබුණා.
ඇගේ දරුවාගේ සොහොන්කොත ඉදිකර තිබුණේ කෝපායි පිහිටා තිබුණු සුසාන භූමියේ ය. 2000කට ආසන්න සොහොන්කොත් ප්‍රමාණයක් තිබුණු එම සුසාන භූමිය යුද හමුදාව විසින් බුල්ඩෝසර් කර එහි යුදහමුදා යාපන අණදෙන මූලස්ථානය ඉදි කලේ ය. ඒ 2011 වසරේ මාර්තුවේදීය. යුද්ධයෙන් මිය ගිය තරුණ තරුණියන් සිහි කිරීම සදහා උතුරේ සහ නැගෙණහිර ඉදිකර තිබූ සොහොන් කොත් දහස් ගණනක් විනාශ කර ඒ මත ඊනියා යුද ජයග්‍රණයේ සංඛේත සේම සුඛෝපභෝගී මහල් ඉදි කලේ දෙමළ ජනයාගේ මතකයන් රාජ්‍ය බලය යොදා සදහටම මර්දනය කිරීමේ මුග්ද අරමුණින්ය.
එපමණක් ද නොවේ. මානුෂික මෙහෙයුමක් යැයි කියමින් සංහාරික යුද්ධයක් කළ ලංකා හමුදාවෝ විසින් යුද්ධයෙන් මියගිය දෙමළ තරුණයින් සිහිකිරීමට සකසා තිබූ සියලු සොහොන් භූමි බුල්ඩෝසර් දමා විනාශ කළේ ගෝත්‍රිකත්වය ලොව හමුවේ දිගහරිමිනි. ඇතැම් සොහොන් භූමි විනාශ කරමින් ඒ මත විවිද ඊනියා සැමරුම් ස්මාරකයන් ද තැනුවෝය.
එසේ තැනූ ස්මාරකයන්වලින් සමන්විත, හමුදාව ‘කෞතුගාරයක්‘ ලෙසින් හදුන්වන විශාල භුමි ප්‍රදේශයක විහිදුනු ස්ථානයක් මඩකලපුවේ, කුඩුම්බිමලේ පර්වතයට ආසන්නව(මෙය හමුදාව විසින් හදුන්වන්නේ තොප්පිගල යනුවෙනි) තාරාවිකුලම් හි ඉදිකර තිබේ. ත්‍රිවිද හමුදාව, පොළීසිය සහ යුද්ධය, යුද්ධය ක්‍රියාත්මක කළ ආකාරය උත්කර්ශයට නැංවීම සදහා ඉදිකර ඇති මෙය ඉදිකර තිබෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති වනාන්තරයකය.
එපමණක් ද නොවේ. මෙය ඉදිකර තිබෙන්නේ, එම ස්ථානයට ආසන්නයේ මිය ගිය දෙමළ තරුණ-තරුණියන් සිහිකිරීම සදහා තනා තිබූ සොහොන් භූමියක් සම්පූර්ණයෙන්ම විනාශ කරමිනි. හමුදාව විසින් එම සොහොන් භූමිය විනාශ කරන විට එහි සොහොන්කොත් 3000කට වඩා තිබුණු බව ගමිවැසියන් පවසයි.
‘‘මට මතකයි අතන සොහොන් 3000කට වඩා හදලා තිබුණා. ඒවා ඔක්කොම ආමි එකෙන් බුල්ඩෝසර් කරා. දැන් එතන මුකුත් නෑ. එතන ඔක්කොම වළලා තිබුණේ අපේ දරුවො.‘‘ ඒ හඩ මහලු වී ගියත් නිදහස පිළිබද ව වූ ධෛර්යය දරාගෙන මරා දැමුණු දෙමළ තරුණයෙක් ගේ පියෙක්.
නමුත් දකුණේ කැරැල්ල මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ මළවුන් සැමරීමේ අයිතිය දැන් නිළ වශයෙන්ම ලැබී තිබේ. 1994ට පෙර ඔවුන් මෙපරිද්දෙන් විරැ සමරු පැවත්වුවේ නැත. නමුත් 1994න් පසුව රාජ්‍ය සමග සම්මුතියකට එලබීමේ ප්‍රතිඵලයක් ලෙස අද ජනතා විමුක්ති පෙරමුණ සිය අරගලයේදී මිය ගිය සිය සගයන් සමරන්නේ ඇතැම් විට ආණ්ඩුවේද ආශිර්වාදය මැද වීම දෛවයේ සරදමක් ලෙසද කාට හෝ කියවා ගත හැකිය. එම සැමරුම් කොළඹ ඇතුලු ප්‍රදේශවල ‘ඉල් මහ විරු සමරු‘ ලෙස උත්සවාකාරයෙන් දිගහැරෙන්නේ මුලු රටේම පෝස්ටර් කටවුට් ගසාගෙනය. නමුත් මළවුන් සිහි කිරීමට තැනූ උතුරේ සොහොන් බිම් ඩෝසර් කලා මෙන් දකුණේ කැරැල්ලේ දී මිය ගිය වූවන් සිහි කිරීම සදහා දියවන්නාව අසල තනා තිබූ අහිංසකයින්ගේ ආරාමය බුල්ස්ඩොසර් කරන තෙක් ජනතා විමුක්ති පෙරමුණ ටද බලා සිටින්නට සිදු වූයේ ය.
නමුත් දකුණේ කැරැල්ලේ දී මිය ගිය වූවන් සමරන විට ඒ ගැන කිසිදු අනාගත බියකින් දකුණේ කිසිවෙක් නොපෙළෙයි. නමුත් ඒ ජවිපෙ සම්බන්ධයෙන් වන දකුණේ මනෝභාවය යුද්ධයෙන් වසර 6ක් ඉක්ම ගියත් දෙමළ මිනිසාට අදාල වන්නේ නැත. ඔවුන් එය සමරන්නට යන විට පසුගිය රාජපක්ෂ පාලනය සේම ‘යහපාලනය‘ ද තහංචි දමන්නේ සිය මිලිටර් බලය යළිත් දෙමළ මිනිසා මත පතිත කරමිනි. යහපාලනය සිතන්නේ ද සිය රාජ්‍ය මර්ධනය භාවිතා කර මළවුන් පිළිබද ඒ මතකයන් යළි ආවර්ජනය කිරීම තලා දැමිය යුතු බවයි. එය රාජ්‍යට යළි අභියෝගයක් විය හැකි බවයි. නමුත් ඒ දෙමළ මිනිසාගේ මතකයට පමණි. සිංහල මළවුන්ගේ මතකයට එය අදාල වන්නේ නැත.
මළවුන් සම්බන්ධයෙන් මෙම දෙබිඩි හැසිරීමෙන් දකුණ පෙන්වන වර්ගවාදී මනෝභාවය දෙමළ මිනිසාට යුක්තිය ඉෂ්ඨකර දෙනු ඇතැයි සිතන්නේ කෙසේද?
නමුත් සිය ආත්මීය වේදනාවන් කිසියම් ලෙසකින් හෝ යටපත්කර ගැනීමට සහ සිය සමීපතමයින් සිහි කරමින් උතුරේ දැල්වෙන පහන් තුළ සහ ඔවුන්ගේ කදුලු තුල ඇති නොනිමෙන ධෛර්ය විසින් දකුණේ ආණ්ඩුවට නැවත නැවතත් පසක් කරනුයේ සිය ආත්මයන් පවා තලා දැමූ පසුවද, නිදහස පිළිබද වන ගැඹුරු බලාපොරොත්තුව කිසි ලෙසක විනාශ කළ නොහැකි බව නොවේද?
සටහන අවසන් කරන්නට, දෙමළ කවි කෙතෙහි සැගවුනු සුකුමාර් නම් කවියා ‘තවත් ඇටකටු‘ නමින්, ප්‍රබළ කවියක් ලියයි. එය මෙසේ ලියා තබමි.(උපගැනීම-සහෝදර පියාපත්/නිලාර් එන් කාසිම්)
මා දොරට සන්කොට
කිසිත් නාසව
මා නිවස මරණයෙන් දරදඩු ය.
මේ දවස්
කාකි යක්ෂයන්ගෙන් පාලිතය
අද
මල් වැල් ද
දරැවන්ගේ මදහස ද
සියොත්හු ද
අගනෝ ද දැවුණෝ හ.
මා දොරට සන්කොට කිසිත් නාසව
අද
මිනිසෙකු ව හිදීම ද බරපතල වරදක්ය.