”අධි ආරක්ෂක කලාප යටතේ වන ඉඩම් හා දේපළ නිදහස් කිරීම” මැයෙන් ශීර්ෂය යොදන ලද 2015. 02. 11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශයෙන් උපුටනයක් ඇතිව මේ අවනඩුව පිළිබඳ කතාව ආරම්භ කිරීම අතිශයින් සුදුසුය. ”නැගෙනහිර පළාතේ පානම ප‍්‍රදේශයේ ශ‍්‍රී ලංකා ගුවන්හමුදාවේ පාලනය යටතේ පවතින ඉඩම් වලින් දැනට ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි ආශ‍්‍රිත අක්කර 25ක භූමිභාගය හැර ඉතිරි ඉඩම්, ප‍්‍රදේශයේ ඉඩම් නොමැති අයට ලබාදීමට හැකිවන පරිදි නිදහස් කිරීමටද තීරණය කරන ලදී.”
උපුටනය එයයි.
එහෙත් මේ ඉඩම් වලට අධිආරක්ෂිත කලාපයේ සම්බන්ධයක් නොමැත. පානම ඉඩම් අත්පත් කරගැණුනේ යුද්ධය පැවති කාලයේද නොවේ. යුද්ධය නිමාවූ පසුවය. ශ‍්‍රී ලංකා ගුවන්හමුදාව හා නාවික හමුදාව පෙරට දමමින් ජාතික ආරක්ෂාව පිළිබඳ සුපුරුදු වාගාලාපයන් ඇතුළත් පුරෝකථනයන් සමග උදුරා ගැනුණේ ජනතාවගේ පාරම්පරික වාසභූමි හා හේන් ගොවිතැන් කළ ඉඩම්ය. අමාත්‍ය මණ්ඩල තීරණයේ සටහන් වන්නේ අදාල භූමිය ඉඩම් නොමැති ජනයාට ලබාදිය යුතුය යන්න වුවත් මේ ජනයාගේ පාරම්පරික වාසභූමිය වන එයට නොතිබුණේ සින්නක්කර ඔප්පු පමණක් වන අතර බලපත‍්‍ර හිමි ඉඩම් බහුතරයක් අතර පාරම්පරික පරිහරණය ඔස්සේ ඒ ඒ ඉඩම් කට්ටිය අයිති කාටදැයි ඔවුහු දැන සිටියහ. පානම ජනයා තමන්ගේ ඉඩම් සම්බන්ධව දැන නොසිටියේ එක් දෙයක් පමණි. ඒ , නැගෙනහිර වෙරළ තීරයේ , දෙපසින් ලාහුගල හා කුමන ජාතික වනෝද්‍යාන වලටද මායිම්ව වෙරළ කඩතොලූ බහුල චිත්තාකර්ශනීය බිමෙක පිහිටි මේ ඉඩම් සංචාරක කර්මාන්තය සඳහා ස්වර්ණමය වටිනාකමක් ඇති බවය. එහෙත් පසුගිය ආණ්ඩුවේ ඉහළම බලධාරීහු රටපුරා අංක එකේ ආර්ථික සම්පත් හඳුනාගැනීමේ ඔවුන් සතු ඉසියුම් ඉව නිසා ගම්මුන් නොදන්නා දේ දැනගත් අතර ජාතික ආරක්ෂාව වෙනුවෙන් හා ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථාන ඉදිකිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් යැයි කියා බලහත්කාරයෙන් ගම්වැසියන් නෙරපා ඉඩම් පවරා ගැනීමට කටයුතු කළහ. බලහත්කාර කමෙහි තරම කොතරම් දැයි කිවහොත් පාරම්පරිකව පානම කලපුවෙහි මසුන් අල්ලා ජීවත් වූ ධීවරයින්ට කලපුව තහනම් බිමක් වූ අතර ඔවුන්ගේ පන්සල ද කොටු කෙරිණි. මේ 2015 ජනවාරි 08 වැනිදාට පෙර කාලය වන හෙයින් අතිඋච්ච රාජ්‍ය මර්ධනය හමුවේ ජනවිරෝධයට නැගෙන්නට පැවති ඉඩ සීමිත වුවත් පානම ජනයා සටන් කරන්නට තීරණය කර සිටියහ. ප‍්‍රාදේශීය දේශපාලනඥයින් බහුතරයද රාජකීයයන් හමුවේ නිද්‍රාවට පත්ව සිටි අතර එවක නැගෙනහිර පළාතේ ඉඩම් ඇමතිවරයාව සිටි විමලවීර දිසානායක පමණක් තම මතය පවසන්නට ඉදිරිපත්විය. විමලවීර මහත්තයාගේ හඬ ජනතාවට කෙතරම් සංවේදී වීද යන්න පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් තහවුරු වූයේ උග‍්‍ර මහින්දවාදී සරත් වීරසේකර මහත්තයා ගෙදර යවා හෙතෙම මැතිසබයට එවන්නට ජනයා ක‍්‍රියා කිරීමෙනි.
කැබිනට් තීන්දුව ඉරා දැමීම
2015 දී නව රජයක් පත්කරගැනීමට ජනතාව තීන්දු නොකළේ නම් මේ කතාව වෙනස්ම ආකාරයකට අවසන්ව තිබෙන්නට අවකාශ පැවතුණි. එහෙත් එය සිදුවූයේ නැත. එහෙයින්ම ඉහත උපුටා දැක්වූ කැබිනට් තීරණය ප‍්‍රකාශ කෙරුණි. නමුත් ජනතාව විස්සෝප වන්නේත්, වෙනසක් උදෙසා පෙළගැසුණු පුරවැසි බලවේග වික්ෂිප්ත වන්නේත් එම අමාත්‍ය මණ්ඩල තීරණය දැනුම් දී වසරක් ඉකුත්ව ඇති නිසාය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරාස් සෙයිද්රාද් අල් හුසේන් කුමරු රටින් පිටවන්නට පෙර අවධාරණය කළ එක් කරුණක් වුයේද ජනතාවගෙන් උදුරාගත් ඉඩම් යළි පැවරීමේ ක‍්‍රියාවලිය ඉක්මන් කළ යුතුය යන්නයි. සාම්පූර්හි නැතිනම් පලාලිහි හෝ යුද්ධයට මැදිවුණු වෙනත් කලාපයක හමුදා කඳවුරු ක‍්‍රමානුකූලව බැහැර කරමින් අධිආරක්ෂිත කලාප ඉඩම් ජනයාට පැවරීම සඳහා තරමක කාලයක් ගතවන බව කිසිවෙක් පවසන්නේ නම් එය සාධාරණ යැයි පිළිගත හැකිය. එහෙත් පෙළින්පෙළ හෝටල් ඉදිකිරීම සඳහා කොල්ලකෑ ඉඩම් යළි පැවරීම පමාවන්නේ ඇයිද යන්න ගැටලූවකි. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කෙරුණු ලිඛිත උපදෙස් තිබියදී, කැබිනට් තින්දු ප‍්‍රකාශයට පත්කර තිබියදී පවා එවැනි පමාවක් සිදුවන්නේ නම් සැක උපදින්නේ ජනවාරි 08 වෙනිදා සැබෑ වෙනසක් වී ඇතිද යන්න පිළිබඳවයි.
කොල්ලයේ කලාව
කොල්ලකෑම කලාවක් වන්නේ හසුනොවී කොල්ලකෑමේ කුසලතාව සැමට නොමැති හෙයිනි. පසුගිය ආණ්ඩුව ඒ කලාව මැනවින් ප‍්‍රගුණ කර තිබුණැයි කිව හැකි වන්නේ ජනතාව භුක්ති විඳි ඕනෑම දෙයක් සහේතුකව උදුරාගැනීමට ඔවුන් දැනසිටි බැවිනි. අධිආරක්ෂක කලාප මන්ත‍්‍රය පානමට ගැලපුනේ නැත. ඒ යුද්ධය ඉතාම දරුණුවට පැවති කාලයේවත් පානමට තර්ජනයක් නොවූ හෙයිනි. ව්‍යවහාරයේ පානමට පණහට පණහ යැයි කියූවේ දෙපැත්තේම අය කලවම්ව සමෝසමේ ජීවත්වූ පානමට ගහන්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවුණි. එහෙයින් පානම ආරක්ෂාවට තර්ජනයක් නොවූ අතර එය ආරක්ෂක මර්මස්ථානයක්ද නොවිනි. එබැවින් යුද්ධය නිමාවේ පානම ඉඩම් හෙක්ටයාර 66කට අධික ප‍්‍රමාණයක් පවරා ගන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් ඉදිකිරීමටය. 2010 සැප්තැම්බර් 02 වනදින ජනාධිපති අතිරේක ලේකම් ඞී. එස් ගුණරත්න ගේ අත්සනින් ලාහුගල ප‍්‍රාදේශීය ලේකම්ට යැවෙන ලිපිය පානම ශාස්ත‍්‍රවෙල හා රගම්වෙල ඉඩම් පවරාගැනීමට ගෙන ඇති තීරණය දැනුම් දෙයි. ලිපියෙන් වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ ඒ වනවිටත් අනවසර පදිංචිකරුවන් එම ඉඩම් වල සිටීනම් දැනුම් දෙන ලෙසය. නැගෙනහිර පළාතේ පැවති වාතාවරණය හමුවේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම වැනි සිවිල් කාර්යයන් බොහෝ සෙයින් අතපසුව තිබුණද මේවා පාරම්පරික ජනාවාස මතුනොව ඓතිහාසික ජන උරුමයන් බවද බලධාරීන් දැන නොසිටියේයැයි සිතීමම මුලාවකි. තවත් විශේෂත්වයක් වන්නේ මේ ලිපියේ පිටපතක් හර්ෂ විජේවර්ධන නමැති අරලියගහ මන්දිරයේ ජේ්‍යෂ්ඨ සහකාර ලේකම් වරයාටද යවා තිබීමයි. ඒ 2010.08.25 දරණ ඔහුගේ ලිපියට ප‍්‍රතිචාර ලෙසය. අදාල ලිපිය කුමක් වුවත් ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථාන සැළසුම අරලියගහ මන්දිරයේ ජාත වූවකැයි මෙයින් පැහැදිලි වන අතර ලිපියේ පිටපතක් ගාමිණී සෙනරත් මහතාටද යැවී ඇත. අවසන ඉඩම ප‍්‍රාදේශීය ලේකම් විසින් භාරදෙනු ලැබෙන්නේද හර්ෂ විජේවර්ධනටමය. අන්තිමේදී සිදුවන්නේ වගාබිම් හා ජනාවාස අක්කර 480 ක්ද වනබිම් අක්කර 840ක්ද ලෙස ඉඩම් අක්කර 1220ක් නාවික හා ගුවන් හමුදාවන් යටතට පත්විමයි. නාවික හමුදාව පානම කලපුව ආශ‍්‍රිතව පානම ලැගූන් කබානා නමින් සංචාරක හෝටලයක් ඉදිකර ඇති අතර එමගින් අතවරයට ලක්වූවෝ කලපු ධීවර ජනයාය. අදටද මේ හෝටලයට අනතර්ජාල ප‍්‍රවිශ්ඨයන් පවතින අතර එමගින් විමසීම් සිදුකළ හැකිය. එසේම ගම්වාසීන් පවසන අන්දමට පසුව පෞද්ගලික හෝටල් ද ඉදිවන දාමයක මුල එයය. නමුත් නාවික හමුදාව මුලින්ම මේ ඉඩම් ලබාගන්නේ රණවිරු ගම්මානයක් ඉදිකිරීමට බව පවසමිනි. මේ සමස්ත ක‍්‍රියාවලිය සිදුවන්නේ පවුල් 350 ක් පමණ අවතැන් කරවමින් හා ජනයාගේ ව්‍යවස්ථාපිත අයිතීන් උල්ලංඝනය කරමින් අණ පනත් ගණනාවක් නොසළකා හරිමිනි.
බිම් අයිතියට සටන් වැදීම
අයිතීන් එකිනෙක අහිමිවනවිටත් රටක් නිද්‍රාවේ ගැලෙද්දී පානම ජනයා තීන්දු කරන්නේ සටන් වැදීමටය. ඒ ඔවුන්ගේ මුල සේම අගද මේ ඉඩම් බව හොඳාකාරව දන්නා නිසාය. කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව අගතිගාමී ලෙස සිය ඉඩම් රාජ්‍ය ආයතනයකට පැවරීමට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක සහායද ඇතිව ඔවුන් මානව හිමිකම් කොමිසමට පැමිණිළි කරන්නේ ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් වගඋත්තරකරු කරමිනි. ඊට ප‍්‍රතිචාර දක්වමින් මානව හිමිකම් කොමිෂන් සභාව ප‍්‍රකාශ කර සිටියේ ජනතා ඉල්ලීම් සාධාරණ බැවින් ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරදිය යුතු බවයි. බලහත්කාරයෙන් පලවාහරිද්දීත් සිය ඉඩම් වල රැඳුණු පිරිසකට එරෙහිව පොතුවිල් පොලීසිය නඩු පවරද්දිත් ජනයා ඔවුන්ගේ සහයට ඉදිිරිපත්වීමේ ප‍්‍රතිඵලය ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමේ අධිකරණ තීන්දුවකින් ජය ලැබීමයි. අවසානයේ ගුවන් හමුදාව කඳවුරක් ඉදිකොට ඇති අක්කර 25ක් හැර සෙසු ඉඩම් ජනයා වෙත මුදා හැරිය යුතුය යන තීන්දුවට ඇමති මණ්ඩලය එළඹෙන්නේද මේ එකමුතුව නිසාමය. ජනයා තීන්දුවට එකඟය. එහෙත් කළ නොහැකිව තිබෙන්නේ එම තීන්දුව ක‍්‍රියාවේ යෙදවීමය.
ජනාධිපති ලේකම් පී.බී. අබේකොන්ගේ අත්සනින් 2015.08.03 වැනි දිනැතිව අම්පාර දිස්ත‍්‍රික් ලේකම්වරයාට ලිපියක් යොමුකෙරෙනුයේ අක්කර 25ක ප‍්‍රමාණය හැර සෙසු ඉඩම් මුදාහැරීමේ තීරණය ප‍්‍රකාරව කටයුතු කිරීමට එකඟතාව පලකරමිනි. 2015.08.20 දිනැති ලිපියෙන් ඒ පිළිබඳව ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් දැනුවත් කිරීමට හා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දීමට අම්පාර දිසාපතිවරයා ක‍්‍රියාකර ඇත. එම ලිපියේ ශීර්ෂය යොදා ඇත්තේ ”ඉතා වැදගත් යනුවෙනි.” 2015.10.15 වන දින ඉඩම් කොමසාරිස් ජනරාල් වරයාද අමාත්‍ය මණ්ඩල තීරණය ක‍්‍රියාත්මක නොවීම පිළිබඳ ලාහුගල ප‍්‍රාදේශීය ලේකම්වරයා විමසා ඇත. එහෙත් ඊටද ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ ප‍්‍රතිචාරයක් නොවූයෙන් ජනතාවට සිදුවූයේ ට‍්‍රාන්ස්පේරන්සි ඉනටර්නැෂනල්හි සුසැරි සෙවණේ නීතීඥ ජගත් ලියනාරච්චි මහතා මගින් ඉඩම් කොමසාරිස් ජනරාල් වරයා යළි දැනුවත් කිරීමටයි. අතිරේකව සුසැරි සෙවණ මගින් ප‍්‍රාදේශීය ලේකම්වරයාට ඉහළ බලධාරීන් දැනුවත් කිරීමටද ජනතාව ක‍්‍රියාකර තිබෙන නමුත් වසරක් ඇඬූවද කිරී එරී නොමැති තත්වයක් උද්ගත ව ඇත.
2015.09.16 ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් එල්. ඒ. සෝමරත්න මානව හිමිකම් කොමිෂන් සභාවට ලිඛිතව ප‍්‍රකාශ කරන්නේ , අම්පාර දිස්ත‍්‍රික් ලේකම්ගේ උපදෙස් පරිදි අදාල ඉඩම් නැවත මැන අමාත්‍ය මණ්ඩල තීරණය ක‍්‍රියාත්මක කරන බවය. මේ දක්වා ඉඩම් මැනීමක් සිදුව නැති අතර ඒ දිස්ත‍්‍රික් ලේකම්ගේ උපදෙස් ප‍්‍රමාද වීම නිසාද යන්න පැවසිය යුත්තේ ඔහුමය. කෙසේවෙතත් ”පානම්පත්තුවේ ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැළසීම” සිය කන්තෝරුවේ ආදර්ශපාඨය ලෙස භාවිතා කරන මේ ලේකම් වරයා ජනතාව භුක්ති විඳි ඉඩම් කට්ටි හඳුනාගැනීමට අදාල විමසීමක්වත් පානම ජනයාගෙන් සිදුකර නොමැත. පානම්පත්තුව සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු පුංචිරාල සෝමසිරි පවසන්නේ පමාව සිදුවන්නේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වන අතර අදිසි දේශපාලන හස්තයක වුවමනාවට එය සිදුවන්නේද යන්න පිළිබඳව ජනතාව සැක කරන බවයි.
ලසන්ත ද සිල්වා
සැ.යු- පහත සංවාදය යළි කියැවීමෙන් නිළධාරින්ගේ මනෝභාවය තවදුරටත් තේරුම්ගත හැකිය.
අවුරුද්දක් ගතවෙලා තිබියදී ඉඩම් බෙදාදීම සම්බන්ධ තත්වය මොකක්ද ?
තාම ඒවා බෙදුවේ නෑ. බෙදන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා.
මොනවගේ කටයුතුද ?
මැනුම් කටයුතු තමයි කරගෙන යන්නේ
ඒ වෙනුවෙන් අවුරුද්දක් ගතවුණාද? ජනතාව කියනවා ප‍්‍රමාදයි කියලා
ඔව් ඉතිං අනුමැතිය අරන් කරන්න වුණා. ජනාධිපති කාර්යාලය අපිට නැවත ඉඩම දෙනකන් ඉන්න වුණා.
ජනතාව කියන විදියට මේ ප‍්‍රමාදය සම්බන්ධව දේශපාලන මැදිහත්වීම් තියෙනවද ?
ඒ ගැන මමනම් කියන්න දන්නෙ නෑ
අමාත්‍ය මණ්ඩල තීරණ, ජනාධිපති ලේකම් , දිසාපති උපදෙස් තිබියදීත් ප‍්‍රමාදවෙන්නේ ඇයි ?
අපි මේක ඉක්මනින් කරන්න හිටියේ. මිනිස්සු මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා නීතියට අනුව කටයුතු කරනවනම් අපිටත් නීතියට අනුව වැඩ කරන්න වෙනවා. එතකොට ප‍්‍රමාද වෙනවා.
මේ කටයුතු කවදා වෙනකොට ඉවර කරන්න පුලූවන්ද?
ඒක මට කියන්න අමාරුයි.