ඇගේ ඇස අග චිත්‍රපටිය බැලුවා. එන්ඩ් ටයිට්ල්ස් මතින් ඇසුණු ඇහැරෙන්න ගීතය ඉවර වෙලත් සෑහෙන වෙලාවක් හිස් සුදු තිරය දිහා බලාගෙන හිටියෙ, නැගිටගන්න අමාරුවෙන්.
කලා නිර්මාණයක් විසින් අපව සලිත කරවීම අසිරිමත් දෙයක්.
මා දෙවන වර චිත්‍රපටිය බලන්නට ගියේ අධ්‍යයන පරමාර්ථයකින්. හසල සිනමාකරුවෙකු ,තම කෘතිය හරහා ප්‍රේක්ෂකයා තුළ දැනවීමට අපේක්ෂිත කම්පනය ජනිත කිරීම සදහා අරපරිස්සමින් ගානට නූලට බේරාගෙන චරිත, සිදුවීම්, දෙබස්, සහ පසුබිම් සංගිතය හසුරුවා ගන්නා ආකාරය අධ්‍යයනය කරන්නට ඇගේ ඇස අග චිත්‍රපටිය තවත් කීප වරක් නැරඹිය යුතුයි කියලා මට හිතුණා. පිටපත ලියන මොහොතේ සිට සිනමා කරුවා තෝරාගෙන තියෙන්නෙ තමන්ට අවශ්‍ය ඉලක්කයට යාම සදහා අත්‍යවශ්‍යම, නොපෙන්නාම, නොකියාම බැරි සුඟ පමණයි. ‘මේක පට්ට ගහන්න මොනවහරි හොයාගන්න ඕනෙ’ යන නරුම අරමුණින් ‘රියල් ලයිෆ් එකේ මේක මෙහෙම වෙන්න පුළුවන්ද? අරක එහෙම වෙන්නෙ කොයි ලෝකෙද?‘ වැනි සිල්ලර ප්‍රශ්න අසමින් වෙහෙසෙන අයෙකු හැරුණු කොට, චිත්‍රපටිය නැරඹීම සදහා විවෘතව ශාලාවට ඇතුල් වන ප්‍රේක්ෂකයාගේ මනස සහ හදවත තමන්ට අවශ්‍ය තැනට ක්‍රමයෙන් නාභිගත කරමින්, කෘතියේ අවසානය දක්වාම සිය ධාරණාව සීරුවෙන් පවත්වා ගන්නට අධ්‍යක්ෂවරයා සමත්ව ඇති බව මට සිතෙනවා.
මේ චිත්‍රපටිය අපේ සමාජයේ සාමාන්‍ය මිනිස්සු වැඩි වැඩියෙන් නැරඹිය යුතුයි. (අවාසනාවට එය සිදු වෙන්නේ ඉතා අල්පව) විශේෂයෙන්ම කුටුම්භ තුළ සිරවුණු, කුටුම්භය ආරක්ෂා කිරීමේ අරමුණ වෙනුවෙන්ම පමණක් ස්වේච්ඡාවෙන්ම තම ජිවිතය ලඝු කරගන්නා, පන්සලෙන් එහා සමාජ ජිවිතයක් ගොඩ නගා ගන්නට උත්සහයක්වත් නොදරන අපේ කාන්තාවන්ට මෙය නරඹන්නට අවස්ථාව සැලසිය යුතුයි කියා මා සිතනවා.
ඉහළ මධ්‍යම පාන්තික ‘සුසාධිත” ජීවිතයක් ගෙවන වියපත් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් සහ ඔහු කෙරෙහි ආසක්ත වූ තරුණ ශිෂ්‍යාවක අතර ගොඩනැගෙන සම්බන්ධතාවයත්, ඒ හරහා ආචාර්යවරයාගේ බිරිද සහ දියණියගේ ජිවිත වල ඇති වන විපර්යාසයත් මේ චිත්‍රපටියේ කතා තේමාවයි. නමුත් මේ සිවු පුද්ගල ජිවිත තුළ සිදුවන දේ, හුදෙක් පෞද්ගලික හැගීම් සහ ආවේගන්ගේ අරගලයකට සිමා නොකර බුද්ධාගම සහ පන්සල ත් ඈදා ගෙන පුළුල් සමාජ දේශපාලන යථාර්ථයක් වෙත ප්‍රේක්ෂකයා ඇහැරවීම මේ චිත්‍රපටියේ විශිෂ්ටත්වයයි.
‘ඇගේ ඇස අග’ විවිධ අරුත් නංවාගනිමින් කියවාගත හැකියි. මා එය වටහා ගත්තේ විශ්ව විද්‍යාල ආචාර්යවරයා සහ බිරිද ඉතා පරෙස්සමින් පවත්වාගෙන යන ආකාරයේ, සුරක්ෂිත යැයි අප සිතා සිටින, මධ්‍යම පාන්තිකයන්ගේ ඕලාරික ජීවිතය පිළිබද සංකේතයක් හැටියටයි. වියපත්භාවය පවා භෞතිකව වයස්ගත වීමක් නොව, ඒ ජිවිතවල අනුරාගය සිදුණු, අකර්මණ්‍ය ස්වභාවය සංකේතවත් කරන්නක් හැටියටයි මා තෙරුම් ගත්තේ. මේ සමාජ ක්‍රමය විසින් නිර්මාණය කරන ඒ ජිවිත වල රටාව හරිම ඒකාකාරීයි. දවස් ගෙවෙන්නේ එකම විදියටයි. මිනිසුන් තම තමන්ගේ ලෝක තුළ හුදෙකලා වූවෝයි. ගෙදර ඇතුළේ එකිනෙකාට කතා කරන්නට දෙයක් නැත. සිනාවෙන්නට නිමිත්තක් නැත. පිළිවෙලට බඩු තැබූ විශාල නිවෙසේ ජීවයක් නැත. සමාජයේ නිර්මිත පිළිවෙත් සුරකිමින්, සමාජයෙන් කතන්දර අහන්නට වේයැයි බියෙන් ඔවුහු වෙස් වලාගෙන සිටිති. ඒ ඕලාරික පැවැත්මට අභියෝග කරමින් ඔවුන්ගේ ජිවිතවලට ඇතුල් වන විශ්ව විද්‍යාල තරුණිය, සර්ට සහ මැඩම්ට අමතක වුණු තාරුණ්‍යය නිදහස, අනුරාගය සංකේතවත් කරයි. ඇගේ සම්ප්‍රාප්තිය ඔවුන්ව මහ රෑ මර නින්දෙන් ඇහැරවූවා වැනිය. විශේෂයෙන්ම කුටුම්භය තුළම සිරවී, පන්සල් යමින් බණ අසමින් නිද්‍රාවට වැටී සිටි මැඩම්ගේ විජිතය ඇගේ ආක්‍රමණයෙන් දෙදරා යයි.
තරුණිය, ඒ සර්ගේ සහ මැඩම්ගේ ජීවිතවල පැවැත්මට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ පැවැත්මයි. රටේ ලෝකේ මිනිසුන් කියන දේවල් ඇය තුට්ටුවකට මායිම් නොකරයි. අනාගතයක්, පිළිවෙලක්, සැලසුමක් ඇයට වැඩක් නැත. ඇය හඹා යන්නේ තමන් තුලින් අව්‍යාජව පැන නගින අනුරාගය පමණයි. ඒ හඹා යාමේදී ඇය ඕනෑම අවදානමක් ගනී. ඇය නිදහස්කාමීය. සෙල්ලක්කාරය. සරාගිකය. කිසිදු ස්ථාපිත ඇවතුමකට පැවතුමකට නතු නොවන්නීය. ඇය ගෙවන්නේ care free ජිවිතයකි. සර් වසග වන්නේ මේ පැවැත්මටයි. එය ඔහුගේ නිල ජීවිතය තුළ අහිමි පදාසයයි.වරෙක ශිෂ්‍යාවගේ බෝඩිං කාමරය වෙත යන ඔහු යට ඇදුම්, තුවා, ටි ෂර්ට් අපිළිවෙලට එහා මෙහා විසි කර ඇති ඇදුම් රාක්කයත්, හිස් කෑම පෙට්ටි, පොත්, බෑග් මෙකී නොකී හැමදේම විසුරුවා ඇති අවුල් වූ ඇදත් දකියි. ඔහුගේ මුහුණට නැගෙන්නේ මදහසකි. තමන්ගේ නිවසේ ඉතා පිළිවෙලට අතිරිලි එලූ යහනට වඩා නිදහසක් ඔහුට ඇගේ බෝඩිං කාමරයේ ඇදේ දැනෙනවා සේය. මේ සියල්ලම ප්‍රබල සංකේතාර්ථ ලෙස කියවාගත හැකිය. අප පළමු වරට සර්ගේ සහ මැඩම්ගේ දියණිය සිනාසෙනවා දකින්නේ ද ශිෂ්‍යාවගේ පැමිණීමෙන් පසුයි. මෙතෙක් කිසිදු සජීවි මානුෂික සම්බන්ධතාවක් නැතිව සිටි ඇය දැන් හඩ නගා සිනාසෙයි. උත්ප්‍රාසය වන්නේ මැඩම් හඩ නගා සිනාසෙන්නේද ශිෂ්‍යාව සමග වීමයි. සිය විජිතයේ බල කණු සියල්ල හෙල්ලුම් කා තිබුණත්, ශිෂ්‍යාව නිවසින් ගිය පසු, මැඩම්ටත් පාලුවක් දැනෙයි. ‘ආයේ එයාව එක්කන් එන්න’ යි ඇය කියයි. ඉබේම මගේ මතකයට ආවේ බොහෝ ඉස්සර කියවූ හයිකු කවියකි.
වල් තාරාවන්
බාර්ලි කෙත වැනසූ බව ඇත්ත
ඒත් උන් ගියාම!!
මේ චිත්‍රපටිය තුළ මැඩම්ගේ චරිතය හරහා අපේ සමාජයේ කුටුම්භය රකිනා ගැහැණියගේ (මුලින්ම චිත්‍රපටියේ පෝස්ටරයේ තිබුණු ටැග් ලයින් එකත් ‘කුටුම්භය රකිනා ගැහැණුන්ටයි’ යන්නයි) චරිතයේ විවිධ පැතිකඩයන් නිරූපණය වෙයි. එක් අතකින් ඇය පහසු මධ්‍යම පාන්තික පැවැත්ම තුළ නිද්‍රාවට පත් වුණු, තමන්ගේ ලෝකය නිවස සහ පන්සලට කොටු කරගත් අපට නිතර හමුවන කාන්තාවයි. ඇයට තම ස්වාමියා සමග කතා කරන්නට ඇත්තේ ඇමරිකාවේ ස්ටඩිස් කරන සන් ගැන සහ මාකටින්, පාරේ ට්‍රැෆික් ආදි මාතෘකා පමණයි. සැමියා රුපවාහිනි වැඩසටහන්වල සමාජයේ පුද්ගලයන්ගේ අනන්‍යතා අර්බුදය ගැන කතා කරද්දී ඇය කෑම මේසයේදී කතා කරන්නේ බණ කතා ආදියයි. ගෙදර බුදුන් වදින ඇය සවස පන්සලටත් යයි. ඊට එහා ලෝකයක් ඇය ගොඩ නගා ගෙන නැත. මෙය අද අපේ රටේ කාන්තාවන්ට අත්වෙන රෝගී ඉරණමක් යැයි මට සිතේ. ඒ පැවැත්ම තුළ අඩපණ වී සිටින ඔවුහු තමන් බදා වැළදගෙන රැකගන්නට වෙර දරන කුටුම්භය දෙදරා යනතුරුම නිද්‍රාවෙන් නොනැගිටිති.
ඇය අවදානම් වලට බිය වන, අලුත් අත්දැකීම් මග හරින, පරිස්සම ගැනම සිතන, අනතුරු ගැන බිය වන, සමාජයේ පිලිගත් රටාවම අනුගමනය කරන සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික බිරිදයි. මවයි. සන් යහලුවන් සමග සැන් ප්‍රැන්සිස්කෝ බේ එකේ සර්ෆින් යන එක ගැන ඇයට ඇත්තේ බියකි. ‘එක්ස්පීරියන්ස් එකට ඒක හොදයි‘ කියා ස්වාමියා කියද්දි ඇය කියන්නේ ‘ඒ වුණාට මොනව හරි වුනොත්’ කියායි. ‘මොන කොලුකමක්ද, දැන් බදින වයසෙ’ කියා ඇය කියද්දී සැමියා කියන්නේ ‘there is no set age for marriage කියායි. ඔවුන් දෙදෙනා අතර ඇති මානසික පරතරය එබදුය.
තවත් අතකට ඇය තම විජිතයේ ආක්‍රමණිකයාට පවා, තමන් සපත්නීරෝෂයෙන් අවුලුවාලන සැතිරියට පවා ඇවැසි මොහොතේදී මව් ගුණය පළ කරන ගැහැණියයි. කුස්සියේදී ශිෂ්‍යාවගේ ඇගිල්ල කැපුණු වෙලාවේදී ඇය තුළින් ක්ෂණිකව පැන නගින්නේ ඒ අම්මා භූමිකාවයි. තමන් දමා ගිය විලවුන් බෝතලය ගන්නට ආ ශිෂ්‍යාව ආපසු යන විට උදේට කාලා දැයි ඇය අසයි.
ශ්‍රී ලංකාවට බුද්ධාගම සහ ශ්‍රී මහා බෝධිය ගෙනා මිහිදු සහ සංඝමිත්තා අශෝක රජුගේ බිරිද නොවන වෙනත් ප්‍රේමවන්තියකගේ දරුවන්ය යන තොරතුර මා මීට පෙර දැන සිටියේ නැත. මේ චිත්‍රපටයේ කෑම මේසයේදී ශිෂ්‍යාව සහ මැඩම් අතර සිදුවන සංවාදයකදී එය කියවෙයි. ඇත්ත ජිවිතයේදී නම් හාමුදුරුවරු බණට නොකියන පන්සිය පනස් ජාතකයේ සද්දන්ත ජාතකය ගැනත් කියවෙයි. ප්‍රේමය පදනම් කරගත් සංකීර්ණ මනුෂ්‍ය සම්බන්ධතා ගැන ලියවුණු ගැඹුරු සාහිත්‍යයක් බුද්ධාගමට ඇති බව සිනමාකරුවා ඒ හරහා අපට මතක් කරවයි. ජිවිතයේ යථාර්ථය අවබෝධ කරගනු වස් සිහි බුද්දියෙන් යුතුව ඇසුරු කළ යුතු ගැඹුරු දහමක් උරුමව ඇති අපේ රටේ අද භාවිතාවේ පවතින විකෘති බුද්ධාගමත්, මල් වට්ටි උස්සාගෙන පන්සල් යෑම ඇදහීම කරගත් බුද්ධාගංකාරයින්ගේ නිරුවතත් චිත්‍රපටියේ අවසාන දර්ශනය හරහා ඉස්මතු කර පෙන්වයි. කොයිතරම් පන්සල් ගියත්, ලොකු බුද්ධාගංකරයින් සේ පෙනි සිටින අය සැබෑ බුද්ධාගමෙන් ජීවිතයට උගන්වන කිසිවක් ඉගෙන ගෙන නැත. අවසාන ජවනිකාවේ තම සැමියාගේ අනියම් ප්‍රේමවන්තිය පසුපස්සේ පහන් පැලක් උස්සාගෙන, කුණුහරුපෙන් කෑ මොර දීගෙන දුවන ඇමති බිරියත්, අහසට වෙඩි තියන බොඩි ගාඩ්ලාත් අපේ ඥානසාරලා ප්‍රමෝට් කරන බුද්ධාගමත්, විමල් වීරවංශලාගේ දේශපාලනයත් සංකේතවත් කරයි.
ප්‍රහාරාත්මක මොහොතකදී සිය කුටුම්භය රකිනු වස් ගැහැනුන් දෙදෙනෙකු තෝරා ගන්නා මාවත් දෙකක් හැටියටත් චිත්‍රපටිය කියවා ගත හැකියි කියා මට සිතෙනවා.
සමීප මනුෂ්‍ය සම්බන්ධතා තුළ පවතින ‘ඇත්ත’ සහ ‘බොරුවේ සිමාවන් පිළිබදවත් මෙහි ඇගවුමක් වෙයි. කොයි තරම් විවෘත සම්බන්ධතා තුළ පවා ඇත්ත කීමේ සීමාවන් පවතින බවත්, හාර හාරා ඇත්තම සොයන්නට යාමේදී බොරුව ඇත්තක් සේ අභිමුඛ වන ආකරයත් ඉතා සියුම් ලෙස නිරූපණය වෙයි.
නළු නිලියන් තෝරාගැනීමේ සිට අධ්‍යක්ෂවරයා සිය නිර්මාණයට කර ඇති සංග්‍රහය ඉතා ප්‍රශස්තය. ස්වර්ණා මල්ලවාරච්චි සමග රගන්නට විශ්ව විද්‍යාල ආචාර්යවරයාගේ චරිතයට තමන් මුලින් තෝරාගෙන සිටියේ ධර්මසිරි බණ්ඩාරනායක බවත්, ඔහු වෙනුවට නළුවෙකු තේරීමේදී හුගාක් කල්පනාවෙන් එය කළ බවත් වරෙක අශෝක හදගම ප්‍රකාශ කරනවා මම අසා සිටියෙමි. ඒ දෙවන වරණය ඉතා සාර්ථක වී ඇත. පළමු වරට තිරයේ රංගනයන් ඉදිරිපත් කරන සදලි ඈෂ් සහ රිතිකා කොඩිතුවක්කුගේ රගපෑම් පිළිබදව ගෞරවනීය සටහනක් තැබිය යුතුමය.
අධ්‍යක්ෂවරයාට අවශ්‍ය චරිතය ගොඩනංවන්නට නිළියක් හැටියට රිතිකා ලබා දී ඇති සහයෝගය වෙසෙසින් පැසසිය යුතු වන්නේ, රංගන ශිල්පිනියන්ට ගල් ගසන්නට බලා සිටින පිරිසක් සිටින සමාජයක ඇය පළ කර ඇති ධෛර්යය නිසාවෙනි.
සංගීතයට චිත්‍රපටියක් තුළ කළ හැකි කාර්යභාරයේ විශාලත්වය මෙහි සංගීත නිර්මාපකයා ඔප්පු කර ඇත.
මා කලින් කීවා සේ මේ චිත්‍රපටිය පොදු ජනතාව වැඩි වැඩියෙන් බලනවා නම් වටින්නේය. විශේෂයෙන් එය අපේ රටේ ගැහැනුන් නැරඹිය යුත්තකි.
‘ඇගේ ඇස අග’ මග හැර, පත්තිනි බලන්නට දිග පෝලිම් වල හිටගෙන සිටින කාන්තාවන් දකිද්දී , හැමදාම මෙන් අපේ සමාජය ගැන විශාල සාංකාවක් උපදී.
නදි කම්මැල්ලවීර | Nadie Kammallaweera