ජේසුස් වගේ ම ජුදාස් ද පොරවාගෙන හිටියේ කළු ලෝගුවක් ය. මේ කාරණය මතක තබාගෙන අප ඉදිරියට යා යුතුය. චීනයේ වුවමනාවට අපේ රටේ හදන පෝට් සිටියට අදාළව මේ කතාව හරියටම හරි ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ දැවැන්ත විනාශය පිළිගෙන තිබිණි. ඒත් ඔවුන්ට ඊට වඩා කුට්ටිය ලොකු වූ නිසා එළියට දාන්නට තිබුණේ මර්දන විසදුම් විතර ය. ඒ නිසා ඔවුන් ජනතා හඩට කන් දුන්නේ නැත. ‘අපිට ඕනෙ දේ අපි කරනවා. ඒක කාටවත් වෙනස් කරන්න බෑ’ කියා හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ කිව්වේ ඒ නිසා ය. ජන සටනේ ඇති හයිය අභියෝගයට ලක් කළ ඒ ගෝඨාභය රාජපක්ෂලාට ගෙදර යන්නට සිද්ධ වුණේය.
මේ ආණ්ඩුව බලයට ආවේ ඒ කාලයේ කරපු-කියපු ඒකාධිපති වැඩ සියල්ල නතර කොට ජනතා හඩට කන් දෙන බවට පොරොන්දු වෙමින් ය. දැන් අගමැති වී සිටින, ඒ කාලයේ ඡුන්ද විසි ගණනකින් පැරදුණු විපක්ෂ නායකවරයා ව සිටි රනිල් වික‍්‍රමසිංහ කිව්වේ මේ පෝට් සිටි ව්‍යාපෘතිය නිසා පුත්තලමේ සිට හික්කඩුව දක්වා වෙරළ තීරය විනාශ වන බවත්, අපේ සාගර සම්පත චීන්නුන්ට අවශ්‍ය පරිදි පාලනය කරන්නට සිදු වන බවත් ය. ඒ නිසා තමන් සහ මෛත‍්‍රිපාල සිරිසේන ගේ නායකත්වයෙන් බිහි කරන ආණ්ඩුව පෝට් සිටි ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම නතර කරන බවට පොරොන්දු විය.
දැන් සිද්ධ වන්නේ කුමක්ද?
පාඨලී චම්පික රණවකලා ද එදා ගෝඨාභය රාජපක්ෂලා දැමූ චන්ඩි පාට් දමන්නට පටන් ගෙන තිබේ. මීගමුවේ ධීවර ජනතාව මේ දැවැන්ත විනාශයට එරෙහිව පාරට බැස්ස විට පාඨලී චම්පික රණවක නම් මහා නගර සංවර්ධන ඇමැතිවරයා හැසිරුණේ පොලීසියේ සාජන් මහත්තයා ගේ පුතා ඉස්කෝලයේ ළමයින්ට පොලිස් පවර්ස් පෙන්නනවා වගේ ය. හැබැයි සාජන් මහත්තයා පැන්ෂන් ගිය දාට පරණ චන්ඩිකම් සියල්ලට වන්දි ගෙවන්නට සිදු වන්නේය.
පාඨලී චම්පික කියා තිබුණේ ‘පාරට බැස්සට අපේ වැඩ නවත්තන්නෙ නෑ’ කියා ය. එය දේශපාලනඥයකු විසින් උම්බෑ කීමකි. විද්වත් සමාජය තුළ ඉංජිනේරුවකු සේ පෙනී සිටින චම්පික රණවක තමන් විසින් ම නිරුවත් වීමකි. රතුපස්වල ජනතාව බොන්නට පිරිසිදු වතුර ඉල්ලන විට ඒ මිනිස්සුන්ට වෙඩි තියන්නට බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධනට අණ දුන් ගෝඨාභය රාජපක්ෂලා ළග බලූ කුක්කන් සේ කට පියාගෙන දිව එළියට දමාගෙන සිටියේ ඒ ජාතියේ ම රණවක ලා බව දැන් පැහැදිලි ය.
ඒත් තවමත් පාඨලීලා ට රෙදි ඇද ගන්නට සීමිත කාලයක් ඉතිරි වී තිබේ.
මේ පෝට් සිටි ව්‍යාපෘතිය වෙනුවෙන් විෂය භාර ඇමැතිවරයා ලෙස චම්පික රණවකට බෙල්ල දෙන්නට සිදු වී තිබුණද, ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුව මේ වගකීම භාරගත යුතුය. ඔවුන් කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගත යුතුය. ‘අගමැති රට ඉන්න නිසා තීරණයක් ගන්න එයා එනකම් ඉන්න ඕනෙ’ කියා ජනතාවට කියන ජනාධිපතිවරයකුගෙන් වැඩක් නැත. වෙරළ සංරක්ෂණ පනත, ජාතික පාරිසරික පනත ඇතුළු සියලූ නීති උල්ලංඝනය කරමින් මේ දැවැන්ත විනාශය සිද්ධ වන විට කට පියාගෙන සිටින පරිසර ඇමැතිවරයකුගෙන් වැඩක් නැත. මේ ජාතියේ නායකයන් නම් පොල්පිති වලින් කපා ගත හැකිය. ඒ නිසා රනිල්-මෛත‍්‍රී බෝලය දෙපැත්තට පාස් නොකර, චීනාට ඕනෑ හැටියට නැටීම වහාම නැවැත්විය යුතුය.
මේ ජනතාව ආණ්ඩුවෙන් මහා වරප‍්‍රසාද ඉල්ලන්නේ නැත. ඔවුන් ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවා දිනාගන්නට හැදූ නිදහස ය. අතේ පයේ හයිය හත්තියෙන් රස්සාව කරගෙන ඉන්න නිදහස ය. ඒත් ඔවුන්ට ඒ නිදහස දෙනවාද, නැද්ද, නිදහස දෙන්නේ නම් ඒ කොයිතරම් ප‍්‍රමාණයකට ද යන්න දැන් තීරණය කරන්නේ චීනය ය. අපේ මිනිහා රස්සාව කරගෙන කෑවත්, නැතත් චීනාට වැඩක් නැත. ඔවුන් ලෝකය වටේ තමන්ගේ බූවල්ලා ව්‍යාප්ත කිරීමේ මෙහෙයුම, ‘One Road – One Belt’ ක‍්‍රියාත්මක කරමින් සිටී.
අවශ්‍ය වන්නේ අපේ රටේ නායකයන්ට කොන්දක් තිබීම ය.
පරිසර ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා මහත් උජාරුවෙන් කියන්නේ ‘මම පරිසරය ආරක්ෂා කිරීමට කැප වෙනවා. පරිසරය විනාශ කරන්නන්ට එරෙහිව නීතිය තදින් ක‍්‍රියාත්මක කරනවා’ කියා ය. මීගමුවේ ධීවරයන් මේ දැවැන්ත විනාශයට එරෙහිව මහ පාරේ වාඩි වී සිටින විට, කොළඹ ඒසී හෝල් එකක් ඇතුළේ ‘හරිත සම්මාන’ දෙමින් ජනාධිපතිවරයා මෙසේ කිව්වේ රෙදි ඇදගෙන ද යන්න ගැටළුවකි. ඒ නායකයන් චීනයෙන් ගෙන ඇති කොන්ත‍්‍රාත්තුවේ උප කොන්ත‍්‍රාත්කරුවා වන පාඨලී චම්පික රණවක සීතාම්බර පට සළුව ඇදගෙන දැන් කියන්නේ පෝට් සිටියෙන් සිද්ධ වන විනාශය විද්‍යාත්මක ව ඔප්පු කරන ලෙස ය.
විද්‍යාත්මක ව යමක් ඔප්පු කරන්නේ පරීක්ෂණ, නිරීක්ෂණ මගින් නිගමන වලට පැමිණීමෙන් ය යන්න සාමාන්‍ය පෙළ විද්‍යාවට උගන්වන්නේය. ඒ ටිකවත් නොදැන ය, ධීවර නියෝජිතයන් ඉදිරියේ ඇමැතිවරයා උඩු බුරා ඇත්තේ. තවදුරටත් යහපාලනය ගැන කතා කරන්නට ඇමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හෝ අයිතියක් නැත.
එසේ කියන්නට ප‍්‍රමුඛ හේතුව ඉදිරිපත් කරන්නට පෙර මේ දැවැන්ත විනාශය සාර්ථක කර ගන්නට ඕනෑම වැඩක් කරන්නට සූදානම් ලෝගුධාරීන් පිරිසක් ගැන ද ලිවිය යුතුය. චීවරය පොරවා ගත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් හැරෙන්නට අනෙකුත් අය මහ පොළොව ඉකි ගසද්දී අහක බලාගෙන දානෙ වළදති.
ඒ වගේම, සමහර විට ඊටත් වඩා අන්තයට යමින් කතෝලික පූජකවරු මහ පොළොවේ රීරිමාංශය උරා බොමින් සිටිති. 2014 වසරේ පෝට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග පරිසරවේදීන් ඇතුළු ව ජනතාව හඩ නගද්දී බස්සන් සේ සිටි කතෝලික සභාව දැන් හදිසියේ අවදි වී තිබේ. කණගාටුවට කරුණ නම් ජනතාවට හරි මග පෙන්විය යුතු මේ ආගමික සභාව, ජනතා හයිය උපක‍්‍රමශීලී ව මර්දනය කිරීමේ ආණ්ඩුවේ කොන්ත‍්‍රාත්තුව භාරගෙන තිබීම ය. ඔවුන් කියන්නේ මෙය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගන්නා තැනකට යමු කියා ය. ජනතාව 2014 සිට අවුරුදු දෙකක් ම, මේ ආණ්ඩුව බලය ගත් දා සිට අවුරුදු එක හමාරක් ම ඔය බෙර පදේට නැටූහ.
ඒත් මීගමුවේ, බසියාවත්තේ පමණක් ගෙවල් පහක් මුහුදට සේදී යද්දීත් තවදුරටත් පල්ලියෙන් කියන්නේ ඉවසන්නට ය. ඔවුන් මේ වන විට ජනතාව රැවටීමේ උපක‍්‍රමයක් ලෙස මුහුදෙන් වැලි හෑරීමට විරෝධය පළ කර තිබේ.
‘මෙතැනින් වැලි නොගත්තොත් වෙන තැනකින් ගනියි. මොකද නැත්නම් චීනෙන් වැලි ගෙනැත් මේක හදන්නද. අපි අභියෝග කරනවා මේ ආගමික නියෝජිතයන්ට, පුළුවන් නම් කෙලින් කියන්න පෝට් සිටිය වහාම නවත්තන්න කියලා. එහෙම කියනවද. නෑ. කොහොමද එහෙම කියන්නෙ. ඒ ගොල්ලන්ගෙ සමහර පල්ලි වල වහල හදන්න චීනෙන් ආධාර දෙනවා. ජෝන් අමරතුංග ඇමැතිවරයා හරහා ආණ්ඩුව මේ ගොල්ලන්ට සල්ලි පොම්ප කරනවා…….’
ධීවරයෝ තවදුරටත් ඔවුන්ට ඇගිල්ල දික් කරති. ඒ සාක්ෂි-සාධක සහිතව ය. තමන් අල්තාරය ඉදිරියේ දණ ගසාගෙන ලෝකයට ආදරය කරන්නට පොරොන්දු වුවද, තමන්ගේ ආගමික නියෝජිතයන් ඒ භක්තිවන්තභාවය පාවා දී ඇති බව ඔවුන් වටහාගෙන තිබේ. බෞද්ධ ආගම විකුණමින් බලය ගත් චම්පික රණවකලාත්, ජේසුස් වහන්සේ විකුණමින් ජනතාවගේ ගෞරවය ලබන මේ පූජකයනුත් කරන්නේ එක ම කොන්ත‍්‍රාත්තුව ය. මේ අතර ඇත්ත තේරුම් ගෙන ජනතාව සමග මේ දැවැන්ත විනාශය වළක්වන්නට සටන් කරන ගෞරවනීය පූජකතුමන්ලා මෙන් ම භික්ෂූන් වහන්සේලා ද සිටිති. ඒත් ඒ අතේ ඇගිලි ගණනටත් අඩුවෙන් වීම කොයි තරම් නම් අභාග්‍යයක් ද?
එසේ ම ජනතා සටනේ සිටින සරත් ඉද්දමල්ගොඩ වැනි කතෝලික පූජකතුමන්ලාට එරෙහිව කැලෑ පත්තර ගැසීම දක්වා ම ආණ්ඩුවේ මේ වියරුව දුර දිග ගොස් තිබේ. ක‍්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග ඇමැතිවරයා, තමන්ගේ ගෝලයන් ලවා මේ කැලෑ පත්තර ගැසීම සිදු කළ බවට සාක්ෂි ඇත. අනෙක් අතට ඔවුන් මේ සටනේ සිටින ධීවරයන්ට මුදල් දී ඔවුන්ගේ හිත් වෙනස් කරන්නට උත්සාහ දරමින් සිටී. ධීවර නායකයන් ජනතාව අතර අප‍්‍රසාදයට පත් කරන්නට විවිධ උපක‍්‍රම යොදමින් සිටී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික බුද්ධි සේවය වැනි ආණ්ඩුවේ අතකොළු හරහා ඔවුන්ගේ හයිය බිදින්නට උත්සාහ කරමින් සිටී. පෝට් සිටිය ඉදි කරන මුහුදු ප‍්‍රදේශය ඇතුළු ඒ ආසන්න නොගැඹුරු මුහුදු ප‍්‍රදේශයේ බහුල වශයෙන් සිටින හාල්මැස්සන්, සාලයන් වැනි මසුන් ආහාරයට ගැනීමෙන් පිළිකා ඇති වන බවට විවිධ අසත්‍ය ප‍්‍රචාර පතුරුවා ධීවරයන් අධෛර්යමත් කිරීමේ මෙහෙයුම් ක‍්‍රියාත්මක කරමින් සිටී. ඇතැම් ජනමාධ්‍ය මේ මෙහෙයුම් වලට සහයෝගය දෙන්නේ අදාළ දැවැන්ත විනාශය විකුණා හෝ සල්ලි අතට ගැනීමට ය. ඇතැම් ජනමාධ්‍යවේදීන්ට රුපියල් දස දහස සහ ඊට වැඩි මුදල් ප‍්‍රමාණ ලබා දී පෝට් සිටි ව්‍යාපෘතිය ගැන හොද ලියවා ගන්නට දගලමින් සිටී. මෙය ව්‍යාපෘතිය ආරම්භ කළ කාලයේ ම පටන් ගත්තකි. මේ ආකාරයේ නොයෙකුත් උපක‍්‍රම හරහා දැවැන්ත විනාශයක් අත්පත් කර ගනිමින් චීනයට වහල්කම් කරන්නට පසුගිය ආණ්ඩුව වගේ ම මේ ආණ්ඩුවත් කටයුතු කරන්නේ ඇයි?
මේ ව්‍යාපෘතියට අදාළ පරිසර තක්සේරු වාර්තා, පරිසර ඇගයීම් වාර්තා කිසිවක් නියමිත පරිදි සකස් කර නැත. සාගර විද්‍යාඥයන් මගින් මේ ව්‍යාපෘතියෙන් මුහුදට වන හානිය ගණනය කර නැත. පරිසරවේදීන් මගින් ජෛව විවිධත්වයට සිදු වන හානිය ගැන විමර්ශන කර නැත. සියල්ල එසේ තිබියදී ය, රට ට පේන්නට තාවකාලික පැවිද්දට යන විෂය භාර ඇමැතිවරයා මේ විනාශය ගැන විද්‍යාත්මක සාක්ෂි ඉල්ලන්නේ…?
අනෙක් කාරණය නම් ඔවුන් මේ සම්බන්ධයෙන් ජනතා අදහස් විමසූ බවට ගෙන යන ප‍්‍රචාරයයි. නිශ්චිත ස්ථාන දෙක-තුනක ඒ සදහා ඉඩ විවෘත කළ බව ඇත්ත ය. සීමිත කාලයකට කරන ලද මේ ඉඩදීම හරහා වුවද, අදාළ විනාශය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ඉදිරිපත් විය. එසේ ජනතා අදහස් විමසීමක දී ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කොට අවසන් වන තුරු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නොහැක. එහෙත් අදාළ පැමිණිලි ඉදිරිපත් කළ ධීවර නියෝජිතයන් පවසන්නේ අමාත්‍යංශය හෝ අමාත්‍යංශය මගින් බලය පවරන ලද කිසිදු නිලධාරියකු අඩු තරමේ මේ ගැන විමසීමක් හෝ නොකළ බව ය. ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුව චීනයේ අවශ්‍යතාව ඉටු කරන්නට මේ තරම් තමන්ගේ රටේ ජනතාව පාවා දෙන්නේ ඇයි ද යන්න රට ට කිව යුතුය.
මේ තරම් විනාශයක්…?
එසේ ම ආණ්ඩුවේ නියෝජිතයන් විසින් මීගමුවේ පාරට බැස සටන් කරන ධීවරයන්ට පොරොන්දුවක් දී තිබේ. ඒ මීට අදාළ ව වන්දි ගෙවන බවට ය. ඔවුන් ගෙවන ගාණක් කියා නැත. එහෙත් ධීවර පවුලකට දවසකට රුපියල් දහස බැගින් මාසයකට රුපියල් තිස් දහසක් දෙන්නේ නම්, අවුරුද්දකට, චීනය මේ කොටස බදු ගන්නා අවුරුදු අනූ නවයට… එක් පවුලකට කොයි තරම් ගාණක් ගෙවිය යුතු ද? එසේ පුත්තලමේ සිට හික්කඩුව දක්වා ධීවර පවුල් කීයකට ගෙවන්නට සිදු වේද? එය හරියටම සමගි පෙරමුණු ආණ්ඩුවේ නායකයා වූ සිරිමාවෝ බණ්ඩාරනායක හදෙන් හාල් ගෙනැත් දෙනවා කිව්වා වගේ කතාවකි. හාල් නැති වී ඒ ගැන අහන විට ඒ ආණ්ඩුවේ මුදල් ඇමැති එන්.එම්.පෙරේරා කියා ඇත්තේ ‘හදේ හාල් නැති බව දන්නෙ නැද්ද‘ කියා ය. මේකත් හරියට ම ඒ වගේ ය. අවුරුදු අනූ නවයක් තිස්සේ ආසන්න වශයෙන් පරම්පරා තුනකට දිනපතා වන්දි ගෙවනවා කියා ආණ්ඩුවේ නියෝජිතයන් කියා ඇත.
ආණ්ඩුව මේ දැවැන්ත විනාශය ඒ තරම්ම විහිළුවකට ගෙන තිබේ.
ධීවරයන් තමන්ගේ රස්සාවට නොගොස් පාරට බැස ඇත්තේ මේ විනාශයට එරෙහිව ය. රස්සාවට ගියත් පෝට් සිටියට වැලි හාරන නැව් තියෙන ප‍්‍රදේශයට යාම ධීවරයන්ට තහනම් ය. ඒ ප‍්‍රදේශයේ බැරල් දමා ලකුණු කර ඇති, ආරක්ෂිත යැයි හදුන්වන සීමාවට ඇතුළු වුවහොත් නාවික හමුදාවෙන් තමන්ට පහර දෙන බවට ධිවරයෝ චෝදනා කරති.
‘නේවි එක අපිට සලකන්නෙ ත‍්‍රස්තවාදීන්ට වගේ. එක පාරක් අපේ දැල ඔය බැරල් වල පැටළුණා. ඒක බේරගන්න හදද්දි නේවි එකෙන් ඇවිත් පැය භාගයක් අපිට අත් උස්සගෙන ඉන්න කිව්වා. අපේ කොල්ලන්ට ගහලා තිබුණා. දැල් කපලා තිබුණා. මේ දැලක් රුපියල් පහළොස් දාහකට එහා පැත්තෙ. අපි ඇහුවා, චීන්නුන්ට ආරක්ෂාව දෙන්න අපේ ඉඩ රස්සාවට ගහන එක හරි ද කියලා. නේවි එකේ එක මහත්තයෙක් තමයි හරි කතාව කිව්වෙ. අපිට තේරෙනවා, මේ අසාධාරණේ. ඒත් කරන්න දෙයක් නෑ. අපි ඉහළින් එන නියෝග ක‍්‍රියාත්මක කරන්න ඕනෙ. එහෙම නැති වුණොත් චීන්නු ආණ්ඩුවට කම්ප්ලේන් එකක් දායි.’
තත්ත්වයේ බරපතලකම ඒ කතාවෙන් ම පැහැදිලි වේ. රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අයිතිවාසිකම් හිමි කර දී ඇති පුද්ගලයාට වඩා චීනා ආණ්ඩුවට වැදගත් වී තිබේ.
වෙරළ සංරක්ෂණ පනතට අනුව වෙරළෙන් අනවසරයෙන් වැලි ගැනීම යනු රුපියල් 7,500 ක දඩයකට යටත් කළ හැකි වරදකි. ඒ ගාණ ගෙව්වේ නැත්නම් හිරේ යන්නට සිද්ධ වේ. වෙරළේ ආරක්ෂාව සදහා මෙසේ නීති පනවා ඇත්තේ මුහුදු ඛාදනය වළක්වන්නට ය. එහෙත් මීගමුමේ බසියාවත්ත සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ තත්ත්වය කෙබදු ද?
මීගමුව කලපුවත්, මුහුදත් අතර ඇති පටු තීරුව හදුන්වන්නේ තලාහේන, පේරුව යනුවෙන් ය. එය කලපුවේ, දූව ප‍්‍රදේශයේ සිට කැපුම්ගොඩ, සරක්කු කන්ද ප‍්‍රදේශය දක්වා දිවෙයි. මේ පටු තීරුවේ පවුල් 25,000 කට අධික ප‍්‍රමාණයක් ජීවත් වෙති.
ඔවුන් ගෙන් සීයට අනූවක් ම ධීවර වෘත්තියෙන් යැපෙන්නන් ය. මේ තීරුවේ පළල මීටර් 300ක් පමණ වේ. ඒ අතර බසියාවත්ත කනිෂ්ඨ විද්‍යාලය ද වේ. ළමයි තුන්සියයක් ඉගෙන ගන්නා මේ පාසල යට කරන්නට මුහුදු රළට තවත් ටික දවසක් පමණක් ප‍්‍රමාණවත් ය. බසියාවත්තේ ශාන්ත ප‍්‍රනාන්දුගේ ඉඩමේ කලින් පර්චස් 26 ක් තිබුණද, දැන් ඇත්තේ පර්චස් 19 ක් පමණි. ඉතිරිය මුහුදු වතුර විසින් යට කර ඇත. ඬේසි අම්මා හෙවත් ලියනගේ ඬේසි ගේ යාන්තම් බිත්ති බැද ඇති ගේ කෑල්ලට තවත් සති දෙකක් වත් කෙලින් ඉන්නට පුළුවන් වේ යැයි සිතිය නොහැකිය. මුහුදු රළ ඇගේ නිවස යටින් වැල්ල හාරාගෙන ගොඩබිමට කඩා වැදී ඇත.
බසියාවත්තට කෙලින් ය, පෝට් සිටියට වැලි හාරන්නේ. නැව් හතරක් වරින් වර ඒ සදහා පැමිණෙන බවත්, මුහුදේ දැවැන්ත කැළඹීමක් ඇති කරමින් වැලි ටොන් දහස් ගණනක් රැගෙන යන බවත් ධීවරයෝ පවසති. එක් නැවක එවැනි පැමිණීමක් නිරීක්ෂණය කරන්නට අපට හැකි විය.
‘නැව වැලි හාරාගෙන ගියපු ගමන් ඒ හිඩැස පුරවන්න ගොඩබිමින් වැලි ඇදිලා යනවා. පෝට් සිටියට නැව් හතරකින් අවුරුදු තුනක් වැලි ගන්නවා කියලනෙ කියන්නෙ. හිතලා බලන්න, කොයිතරම් මුහුදු ඛාදනයක් සිද්ධ වෙයිද. මේ තීරුව නැත්තටම නැති වීමේ අවදානමක් තියෙනවා. එහෙම වුණොත් කලපුවයි, මුහුදයි එකතු වෙනවා. මේ මිනිස්සුන්ට මෙකද වෙන්නෙ. වන්නියෙන් ඉඩම් දෙයි. වන්නියෙ ගිහින් ධීවර රස්සාව කරන්න පුළුවන් ද. මේ විනාශය ඇස් දෙකෙන් බලන්න එන්නෙ නැතුව ඇමැති ලා කොළඹ ට වෙලා මේවා විද්‍යාත්මක ව ඔප්පු කරන්න කියනවා.’
රෝහිත, කැමිලස් පෙරේරා, එම්මානුවෙල් කියන මේ කතා බොරු කියන්නට හෝ ඒ කතා ගැන තර්ක කරන්නට ආණ්ඩුවට නොහැක. ඔවුන් මේ කියන්නේ ඇහැට පේන දේ ය. පරම්පරා ගාණක් තලාහේන, පේරුවේ ජීවත් වී ඇත. ඒත් තවත් අවුරුදු දෙක-තුනකින් මේ ප‍්‍රදේශය මුහුදු වතුරෙන් යටවීම අනිවාර්ය බව එතැන්ට යන ඕනෑ ම කෙනකුට පෙනේ. මුහුදට ඇල වී ඇති පොල් ගස් වල මුල් බලාගෙන සිටියදී මතු වේ. වැටකෙයා පදුරු බලාගෙන සිටියදී ගැලවී වැටේ. මූදු වරා ගස් තමන්ගේ සටන අත්හැර දමා ඇත.
‘මේ වැලි කන්දයි, වැටකෙයියා, මූදු වරා ගස් ටිකයි තමයි සුනාමිය වෙලාවෙ මේ පැත්ත බේරුවෙ.’
සටන අතහැර දමන්නට සිදු වී ඇත්තේ එවැනි සෙනෙවියන් පිරිසකට ය. ඔවුන් මිය යන්නට සූදානමිනි. ඬේසි අම්මලා අමාරුවෙන් උඩට උස්සා ගත් බිත්ති ටික බේරාගන්නට වැලි කොට්ට ගසා තිබේ. ඒත් රැල්ලේ සැරට වැලි කොට්ට බලා සිටියදී පුපුරන්නේය. වැලි ටික දිය වී යන්නේය.
‘බලන්න, දැන් මේ තියෙන්නෙ උඩ වැල්ල නෙමෙයි. ඒක ඔක්කොම හෝදගෙන ගිහින් ඉවරයි. දැන් යට තියෙන කළු වැල්ලත් මතු වෙලා. ඒ කියන්නෙ ගල් තට්ටුවට යටින් තියෙන වැල්ලත් හේදෙනවා. ඊට පස්සෙ ගල් තට්ටුව යටට බහිනවා. හිතාගන්න නම් බෑ මොනවා සිද්ධ වෙයිද කියලා.’
ඒ මිනිසුන් කතා කරන්නේ අත්දැකීමෙනි. විෂය භාර ඇමැති පාඨලී චම්පික මේ සිද්ධ වෙන දේ බලන්නට තමන්ගේ නියෝජිතයකු එවන බව කියා දැන් සතියකටත් වැඩි ය. තවමත් කිසිවකු පැමිණ නැත.
‘මේ හරිය හොදට මාළු තියෙන කෑල්ලක්. බිලී බාන අපි හොදට දන්නවා මේ මුහුදු පතුල ගැන. මේකෙ තියෙන ගල් දැන් ඇල වෙලා තියෙන්නෙ. ඒකට හොද උදාහරණයක් තමයි, තඹ ගල. තඹ ගල මුහුදෙ වැලි හාරන පැත්තට බාගෙට බාගයක් ඇල වෙලා තියෙන්නෙ. දැන් බිලී බාන්න බෑ. මාකුණා ගල, මෝර ගල, ගාලප්පුව ගල් වැටිය වගේ ඒවගෙ තත්ත්වයත් ඔය වගේ ම තමයි.’
කියන්නට තවත් කිසිවක් නැත. මේ සියල්ල දකින චීනාගේ පදයට නටන්නට ලෑස්ති නැති, කොන්දක් ඇති ඕනෑම අයෙක් ධීවරයන් ගේ සටන අනුමත කරන එක සහතික ය. එක වගේ ලෝගු දා ගත්තද, ජුදාස්ලාට කවදාවත් ජේසුස් වන්නට නොහැක. මොන සටන් ආවත්, පෝට් සිටි කොහොම හරි කරනවා කියන අදබාලයන්ට කියන්නට ඇත්තේ ඔයිට වඩා කයිවාරුකාරයන් ජනතා සටන් ඉදිරියේ නකුට දෙපරැන්ද අස්සේ ගසා ගත් බව ය.
ශාලික විමලසේන | Shalika Wimalasena