සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුත්තේ කෙසේද?


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකා එක්සත් ජනපදය ගෙන ආ යෝජනාව සම්මත වීමෙන් පසු ශ්‍රී ලංකා ආණ්ඩුව නැවතත් වැරදි මාවතක් තෝරා ගැනීමට යන බවට ඉඟි ලැඛෙමින් තිබේ.

යුරෝපයේ ඇතැම් රටවල තානාපති කාර්යාල ඉවත් කිරීමට යන බවට ආරංචි පැතිරෙමින් තිඛෙන අතර එය රාජතාන්ත්‍රික අනුවණ ක්‍රියාවකි. එක්සත් ජනතා නිදහස් සංධානයේ සිටින ජාතිවාදී පක්ෂවල සහ අනුවණ දේශපාලකයින්ගේ කීම් අසා ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ යුතුද? නැද්ද? යන්න පිළිබඳව ජනමත විචාරණයක් පවත්වන්නට යන්නේ නම් එයද රටට අවාසිදායක වාතාවරණයක් නිර්මාණය වනු ඇත. එහිදී ජාති මාමකයින් හා ජාතී ද්‍රෝහීන් ලෙස ජනතාව කොටස් වලට ඛෙදනු ඇත. මේ සියල්ල දේශපාලන අනුවණ ක්‍රියාය.

නමුත් ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ජිනීවා සමුළුවෙන් පසු නිකුත් කළ පුවත් පත් නිවේදනයට අනුව ඔවුන් සිටින්නේ ඉතා ධනාත්මක තැනකය. ඔවුන් කියා සිටින්නේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීම ලැජ්ජාවට කරුණක් නොවන බවයි. රජය විසින් එකී යෝජනා ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහාය ලබා දෙන බවට ඔවුන් ප්‍රකාශ කර තිබේ. එය ආණ්ඩුවට විශාල ශක්තියක් වනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ ඇමරිකන් විරෝධය, ඉන්දියන් විරෝධය, එල්.එල්.ආර්.සී විරෝධය වැනි නොයෙකුත් විරෝධයන් මතුකර මෙම ක්‍රියාවලිය මගහරින මාවතක් තෝරා ගන්නා බව පෙනෙන්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ රටේ බොහෝ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියා වලට එරෙහිව ක්‍රියා කළද බලය ඛෙදා හදා ගැනීමේ ක්‍රියාවලියේ දී ඔවුන් සිටින්නේ ඉතා පසුගාමී අදහසකය.

කෙසේ නමුත් රජය මෙම යෝජනා ක්‍රියාවට නගන්නේ නම් ඒ සඳහා ප්‍රවේශ විය යුත්තේ කෙසේද යන්න අවධාරණය කිරීම මෙම ලිපියේ අරමුණයි. සංහිදියාවක් සඳහා යන ක්‍රියාවලිය ආරම්භයේදී උගත් පාඩම් හා සංහිඳියා කොමිසන් සභාවේ යෝජනා නැවත සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියක් මුලින්ම ආරම්භ කළ යුතුයි. මන්ද යත් උගත් පාඩම් හා සංහිදියා කොමිසමට මගහැරුණු යමක් තිබුණේ නම් හෝ එහිදි කිසියම් අගතීන් සිදුවී තිබුණේ නම් ඒවා ඉවත් කර ගැනීම සඳහායි. දෙවනුව එහිදී අත්වන වාසිය නම් තවත් අවස්ථාවකට ඉඩ නොතබා රටේ සමස්ථ ප්‍රශ්නයේම වෙනසක් ඉලක්ක කර ගෙන මෙම ගමන ආරම්භ කළ හැක. සමස්ථ ප්‍රශ්නය විසදීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එය වියදම් අධිකය, එමෙන්ම අවබෝධය හා කැපවීම මත පමණක් සිදු වන්නකි. කාලය වටිනවා යැයි කියමින් ඊට කෙටි පිළිතුරු සෙවිය නොහැක. ඊට අවශ්‍ය තරම් කාලය ගත යුතු අතර එය වසරක සිට වසර 5-10 දක්වා දිගු විය හැක. ඊට අවශ්‍ය ඉවසීම හා කැපවීම අපට තිබිය යුතුය.

ඉහත අරමුණ ජය ගැනීම සඳහා යන ගමනේදී මුල්ම හා ප්‍රධානම කටයුත්ත විශ්වාසය දිනා ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමයි. විශ්වාසය දිනා ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු වන්නේ, ශ්‍රී ලංකා සමාජයේ මේ වන විට පවතින්නේ අවිශ්වාසයේ සංස්කෘතියකි. උදාහරණයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණට ඔවුන්ව ඇරෙන්නට අනෙක් සියල්ල අවිශ්වාසය. දැන් ජෙනරල් ෆොන්සේකාද අවිශ්වාසය. ජනතාව ද එසේමය, අද තරුණයෙකු විභාගයකට ලියන්නේත් අවිශ්වාසයෙනි, පොලිසියට හෝ උසාවියට, යන්නේත් අවිශ්වාසය හිතේ තබා ගෙනය. පන්සලකට ගියත් අවිශ්වාසය කොනක තිබේ.

දමිළ හා මුස්ලිම් සමාජයන්හි විශ්වාසය දිනා ගැනීම අපට අත්‍යවශ්‍යය. මන්ද යත් පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකාවේ බහුතරම වින්දිතයන් ඔවුන් වන නිසාය. එක් අතකින් ආණ්ඩුවේ පාර්ශවයෙන්ද අනෙක් අතින් තමන්ගේම ජනවර්ගයන්ට අයත් කණ්ඩායම් වලින් ඔවුන් වින්දිතයන් බවට පත් වී තිබේ. ඔවුන් සිංහල සමාජය සමඟ එකට ජීවත් වූවත් ඔවුන් දකුණේ දේශපාලනය ගැන වැඩි විශ්වාසයක් දක්වන්නේ නැත. මන්දයත් සිංහල බහුතරයක් වූ පාලකයින්ට පසුගිය 50 වසර පුරාවට ඔවුන් කෙරෙහි විශ්වාසය තහවුරු කිරීමට නොහැකියාවක පෙලීමයි.

ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමද අත්‍යාවශ්‍ය කාරණයකි. ජිනීවා හිදී ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන් රටවල් සමඟ පමණක් සමබන්ධතා පවත්වමින් පමණක් අපට පැවතිය නොහැක. ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාචිච්චි කළේ වඩාත් ශ්‍රී ලංකාවට සහයෝගය හා ආධාර දෙන රටවල්ය. මෙවැනි මොහොතකදී ජාත්‍යන්තර සහයෝගය අපට ඉතා අත්‍යාවශය.

අවිශ්වාසය කොතරම් සමාජ ගත වීද යත් සමාජ සමාජ වශයෙන් පමණක් නොව එකම සමාජය තුළ පවතීන ඛෙදීම් ද අප රටේ බරපතල ගැටළුවකි. එනිසා සමාජය එක අදහසකට ගෙන ඒම ඉතා අපහසුය. සිංහල සමාජය ගත්විට එහි තිඛෙන දේශපාලන ඛෙදීම්, ආගමික ඛෙදීම්, ප්‍රාදේශීය ඛෙදීම් ඉතා ඉහලය. කෙසේ නමුත් මේ සියළු කොටස් වල විශ්වාසය දිනා ගැනීම ඉතා අවශ්‍යය. මන්ද යත් මෙය සමස්ථ රටේම වෙනසක් සඳහා යන ගමනක් වන නිසාය.

විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්නේ කෙසේද?

දිගු කාලීන අරමුණු සහිත දේශපාලන ප්‍රතිසංස්කරණයන් සඳහා වන ස්වාධීනව ක්‍රියාකළ හැකි නව කාර්යාංශයක් ස්ථාපනය කිරීම.

ස්වාධීන කාර්යාංශයක් යන්නෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවට බැහැරින් මෙම කාර්යංශය පිහිට විය යුතුය. මන්ද යත් අද ආණ්ඩුව ස්වාධීනව ක්‍රියා කළ හැකි ඒකකයක් ලෙස පිළිගැනීමක් ගොඩ නගාගෙන නොමැති නිසාය. බලය ඛෙදීම සම්බන්ධයෙන් අන්තවාදී අදහස් දරන දේශපාලන කණ්ඩායම් ආණ්ඩුවේ හවුල් කාරයන් වන නිසාත් ඔවුන්ට ස්වාධීනව ක්‍රියා කළ හැකි යැයි සිතිය නොහැක. අනෙක් අතට උගත් පාඩම් හා සංහිඳියා කොමිසමෙන් චෝදනා එල්ල වූවන් අද ආණ්ඩුවේ ඇමතිවරුන්ය. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට වඩා මිලිටරි බලය කෙරෙහි ව්ශ්වාසය තබා තිඛෙන බවට පසුගිය කාලය පුරාවට ඔප්පු වී ඇති බැවින් ද ආණ්ඩුව ස්වාධීන ඒකකයක් නොවේ.

විශ්වාසය මෙවැනි ක්‍රියාවලියක ප්‍රධානම කාරණය වන බැවින් ඉහත කී ආකාරයේ සියළු පාර්ශවයන්ගේ විශ්වාසය දිනා ගත හැකි කාර්යංශයක් පිහිටු වීම අත්‍යාවශ්‍ය මෙන්ම මග හැරිය නොහැක්කකි. ජිනීවා සමුළුව අවසන්වූ වහාම එක්සත් ජාතීන්, ඇමරිකා එක්සත් ජනපදය හා ඉන්දියාව, ශ්‍රී ලංකා රාජ්‍යය මේ වෙනුවෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග වලදී සහයෝගය දීමට සූදානම් යයි දැනටමත් ප්‍රකාශ කර තිඛෙන නිසා මෙවැනි ක්‍රියාවලියක් සඳහා වූ පුහුණු විශේෂඥ සහාය ශ්‍රී ලංකා රජයට ඔවුන්ගෙන් ලබා ගත හැක.

එවැනි පුහුණු විශේෂඥයින් ද ඇතුලත්ව ආණ්ඩුව වෙනුවෙන්, විපක්ෂය වෙනුවෙන්, දමිළ සමාජය වෙනුවෙන්ද, මුස්ලිම් සමාජය වෙනුවෙන්, හා සිවිල් සමාජය වෙනුවෙන් නියෝජිතයන්ද ඇතුලත්ව එකී කාර්යංශය ස්ථාපිත කළ හැක. පත්වන නියෝජිතයන්ගේ ස්වාධීනත්වය හා ඔවුන් කෙරෙහි ඇති සමාජ පිළිගැනීම ඉතා වැදගත්ය. එමෙන්ම මෙම කාර්යාංශයේ කාර්යභාරය හා විෂය පථය පිළිබඳ නිශ්චිත එකඟතාවයක් මුලින්ම රජය සමග ඇති කර ගත යුතුය.

මෙවැනි ක්‍රියාවලියකදී සම්බන්ධීකරණ කාර්යංශයේ කාර්්‍යභාරය ඉතා විශාලය, ඒ වාගේම වගකීම් සහගතය. එනිසා ගැටුම් පාර්ශවයන් මෙන්ම, දේශීය සහ ජාත්‍යන්තර විද්වතුන් හා ආයතන, දේශපාලනික හා සමාජයේ සියළු සුළුතර කණ්ඩායම් අතර නිරන්තරව සිදුවන සාරවත් සම්බන්ධීකරණයක් තබා ගැනීමට එකී සම්බන්ධීකරණ කාරයංශය සමත් විය යුතුය. ත්‍රෛයි භාෂා හැකියාවක් තිබිය යුතුවාක් මෙන්ම විද්වතුන්ගෙන් සැදුම්ලත් නීති කටයුතු සඳහා ඒකකයක්, සමාජ සමීක්ෂණ ඒකකයක්, මාධ්‍ය ඒකකයක්, යනාදී බහුවිධ හැකියාවන්ගෙන් එය යුක්ත විය යුතුයි.

මුල් වටයේදී මෙම කටයුත්ත ආරම්භ කිරීමට රජයට හැකිවේ නම් එය විශාල ඉදිරි පියවරකි.

සම්බන්ධීකරණ කාර්යාංශය මගින් මුල් වටයේදී මූලික කරුණු 3 ක් සම්බන්ධීකරණය කළ යුතුය.

1. උගත් පාඩම් හා සංහිදියා කොමිසන් සභාවේ යෝජනා නැවත සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම හා දැනට වාර්තාවේ පවතින අගතීන් ඉවත් කිරීම.

2. 1971 න් පසු මේ දක්වා විවිධ ගැටුම් (යුද හා වෙනත්) හේතුවෙන් හිංසනයට පත් වින්දිතයන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම.

3. උගත් පාඩම් හා සංහිදියා කොමිසන් සභාවේ ප්‍රධාන නිර්දේශයක් වන දේශපාලන බලය ඛෙදා හදා ගැනීම සඳහා මූලාරම්භය සපයන ශ්‍රී ලංකා රාජ්‍ය වෙනුවෙන් නව ව්‍යවස්ථා දැක්මක් නිර්මාණය කිරීම කළ යුතුය.

උගත් පාඩම් හා සංහිදියා කොමිසන් සභාවේ යෝජනා නැවත සමාලෝචනය ද විශ්වාසය දිනා ගැනීමේ එක් ප්‍රධාන අවස්ථාවකිි. පසුගිය උගත් පාඩම් සැසි වාර වලදී නිදහස් මනසකින් හා විශ්වාසයකින් ඊට හවුල් විය නොහැකි වූ අය (පුද්ගලයන් හෝ සංවිධාන) සිටියේ නම් ඒ අයට නැවත අවස්ථාවක් ලබාදීම සිදුවිය යුතුය. තවද කොමිසමේ සැසිවාරයන් වලදී නිශ්චිත වශයෙන් හදුනාගත හැකි මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ චෝදනා සමබන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කොමිසමට බලයක් නොතිබීම වැනි ප්‍රධාන දුර්වලතා ඉවත් කළ යුතුය. කිසියම් වන්දි මුදලකින් පමණක් වින්දිතයෙකුට යුක්තිය හා සාධාරණත්වය ඉටු නොවන බැවින් ඊට අධිකරණ ක්‍රියාවලියක්ද තිබිය යුතුය.

වින්දිතයන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමේ කාල සීමාව 1971 න් පසු කාලය ලෙස සඳහන් කළේ, 1971 හා 1988/1989 කාලවලදී ඇති වු ගැටුම් වලින් විපතට පත් වින්දිතයන් බොහෝ පිරිසක් තාමත් ජීවත් වන බැවින් ඔවුන්ටද යුක්තිය හා සාධාරණත්වය ඉටු විය යුතුය. මහින්ද රාජපක්ෂ මහතා 1980 ගනන් වලදී ජිනීවා යන්නේද එසේ විපතට පත් වූවන්ට සාධාරණය ඉටු කර ගැනීමටය. යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමට එදා එතුමාට බලයක් නොතිබුණත්. අද එතුමාට එය ඉටුකිරීම සඳහා 2/3 ක බලයක් තිබේ. පසුගිය වසර 30 කට ආසන්න යුද කාලය තුළ ආණ්ඩු පාර්ශවයෙන්, එල්.ටී.ටී.ඊ පාර්ශවයෙන්, කරුණා පාර්ශවයෙන්, ඊ.පී.ඩී.පී පාර්ශවයෙන් හා වෙනත් කණ්ඩායම් නිසා විපතට පත් වින්දිතයන් රට පුරාම සිටින බැවින් මේ සියළු කාල වලට අදාලව ඒ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු විය යුතුය.

එමෙන්ම මෙවැනි ගැටුම් කාරී තත්වයන් ඉදිරියේදී ඇති නොවීමට වග බලා ගැනීමට දැන්වත් අප සියළු දෙනා එක්ව ක්‍රියා කළ යුතුය. එය උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ ද ප්‍රධාන නිර්දේශයකි. එවැනි තත්වයකට අත්වැල සපයන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අප විසින් නිර්මාණය කර ගත යුතුය. එවැනි නව ව්‍යවස්ථාවක් තුළින් රටේ සියළු ජනතාව එකට බැඳ තැබිය හැක. ඒ සඳහා නීතිමය ආරක්ෂාව ඔවුන්ට සපයා දිය හැක. රටේ දේශපාලන තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඔවුන්ද හවුල් කර ගත හැක. තිඛෙන ව්‍යවස්ථාවේ පවතින වගන්ති වෙනස් කිරීමෙන් හෝ නව පනත් ගෙන ඒම ඊට විසදුම නොවේ. මන්ද බලයට කෑදර අයෙකුට තමන්ට ඔනෑ විදිහට පනත් වෙනස් කළ හැක. අවශ්‍ය වන්නේ ඔලූගෙඩි ගාන පමණි. ව්‍යවස්ථාවක් වෙනස් කිරීම එසේ පහසු නැත. ඊට ජනතාවගේද කැමැත්ත අවශ්‍යය. මේ නිසා අපට නව ව්‍යවස්ථාවක් අවශ්‍යය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැගීමේ දී මුල්ම කාර්යභාරය විය යුත්තේ අපට අවශ්‍ය වන්නේ කුමන වර්ගයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද යන කරුණු ඇතුලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දැක්මක් ගොඩනැගීමත්, එම දැක්ම පිළිබඳ පුළුල් ජනතා සංවාදයක් ඇති කිරීමත්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දැක්ම තුළ අනාගත ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වන ආකාරය පිළිබඳ සාරාංශයක් ඇතුළත් විය යුතුය. (උදාහරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනයේ පෙරවදන දෙස බලන්න) එකී සාරාංශය සරළව ජනතාවට තේරුම් ගත හැකිවන ආකාරයෙන් හා සියළු භාෂාවලින් සමන්විත වූවක් විය යුතුයි. සියළු ජාතින් එකට සිටිනවාද? නැද්ද යන්න තීන්දු වන්නේ මෙමගින් නිසාවෙන් එකී දැක්ම ජනතා කැමැත්තට යොමු කිරීමද මග හැරිය නොහැකි කොන්දේසියකි. දකුණු අප්‍රිකාවේ කළාක් මෙන් නව ව්‍යවස්ථා දැක්ම සරලව තේරුම් ගතහැකි ආකාරයෙන් මුද්‍රණය කර සෑම නිවසකටම ඛෙදා හරිමින් ජනතාව දැනුවත් කරමින් එකී ක්‍රියාවලියට ඔවුන්ද හවුල් කර ගත යුතුය. මෙය මාගේ පෞද්ගලික අදහසක් පමණි. එය පෝෂණය කිරීමට හෝ නව අදහස් හා යෝජනා එකතු කරමින් මෙම ක්‍රීයාවලිය පෝෂණය කිරීමට ඔබටද හවුල් විය හැක. මිනිසුන් අදහස් වලට වඩා ක්‍රියාත්මක වීම පිළිබඳ වඩාත් විශ්වාසය තබන බැවින් නව ක්‍රියාමාර්ගයකට අප සැවොම හවුල් වෙමු.

සේනක වත්තේගෙදර[Senaka Wattegedara]