මේක ලියන්න හිතුණේ 2012 මාර්තු 28 වෙනිදා දිවයින පුවත්පතේ මුල් පිටුවේ තිබුණු වාර්තාවක් දැකලයි. පසුගියදාක බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වූ සාගර සේනාරත්න මහතාව වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් පසුව අතරමග දමා ගිය සිද්ධිය ගැන, එම මන්ත්‍රීවරයා කරන ප්‍රකාශයක් ‛‛වෑන් රියක බිම දිගාකර පහර දෙමින් ඒ මොහොතේම ලක්ෂ 500 ක් ඉල්ලුවා’’ යන ශීර්ෂය සහිතව එහි පළ කර තිබුණි.
මේ දිවයින පුවත්පතේ එම ප්‍රකාශය යි
(සම්පූර්ණ ප්‍රවෘත්තිය සදහා මෙයට පිවිසෙන්න Divaina)
මන්ත්‍රීවරයා කියන්නේ, තමා ගේ ජීවිතය බේරා ගත හැකි වූයේ ජීවන් අයියාත්, ජනාධිපතිතුමාත්, ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතාගේත් මැදිහත් වීම නිසා බවයි. ඒ ගැන ඒ සියලු දෙනාට ඔහු ස්තූතිය පළ කරයි.
ඔහු කියා සිටින පරිදි පැහැර ගැනීමත් මුදා හැරීමත් අතර සිද්ධි මාලාව මෙසේයි.
– සේනාරත්න මහතා තම ව්‍යාපාරික ස්ථානය වසා දමා රාත්‍රී 7 ට පමණ රියදුරා විසින් ධාවනය කළ කැබ් රියෙන් හංවැල්ල බලා පිටත්ව යන අතරතුරදී ජුබිලි කණුව මංසන්ධියට ආසන්නව මේ පැහැර ගැනීම සිදු වෙයි.
– කැබ් රථය පිටුපසින් පැමිණි වෑන් රියක සිටි මැරයින් පිරිසක් සාගර සේනාරත්න මහතාව කැබ් රියෙන් ඇද වෑන් එකට දමා ගෙන පලා යති. සේනාරත්න මහතාගේ රියදුරා කරකියාගත හැකි දෙයක් නැතිව බලාසිටී.
– වෑන් රිය තුළදී බිම දිගා කරවා, කට බැඳ සේනාරත්න මහතාට දරුණු ලෙස පහර දෙන මැර පිරිස රුපියල් ලක්ෂ 500 ක් ඉල්ලා සිටියි.
– මේ අතර සේනාරත්න මහතාගේ රියදුරු ‛‛සියලු තැන්වලට’’ කතා කර මේ සිද්ධිය ගැන කියයි. ජීවන් කුමාරතුංග අයියා වහාම මැදිහත් වී ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම් වරයා දැනුවත් කර සේනාරත්න මහතාව බේරා ගන්නට උපරිම පියවර ගනිති.
– අතරමගදී ස්ථාන දෙකකකදී එහි සිටි අයට දුරකතන ඇමතුම් දෙකක් ලැබෙනවා. එක් අයෙක් විනාඩි දෙක තුනක් කා සමග හෝ කතා කරනවා.
– වෑන් රියේ සේනාරත්න මහතා සේම බිම දිගා කරවා සිටි තවත් අයෙක් සිටියා. ඔහු, ‛‛බුදු අම්මෝ, මාව බේරාගන්න, මට යන්න දෙන්න’’ කියා කෙඳිරි ගහනවා සේනාරත්න මහතාට ඇහුණා. ඒ වෙලාවේ මැරයෙක් ඒ කෙඳිරි ගෑ කෙනාට පහර දුන්නා.
– ගුටි බැට දිදී බොහෝ දුරක් යන විට වෑන් රියේ රියදුරාට යළිත් දුරකතන ඇමතුමක් ලැබෙනවා. ඊට පිළිතුරු දී අවසානයේ ඔහු අනිත් මැරයින්ට ‛‛මූව දාලා යමු’’යි කියනවා.
– ඒ අනුව, තව ටික දුරක් ගොස්, සේනාරත්න මහතාව වත්තල ප්‍රදේශයේ හෝටලක් අසල දී වෑන් රියෙන් එළියට දානවා. සේනාරත්න මහතා කියන පරිදි ’නිදහස් ’ කරනවා.
– තමාව බේරා ගැනීම ගැන සේනාරත්න මහතා රටේ ඉහළම තැන්වලට ස්තූතිය පළ කරනවා. එනම් ජීවන් අයියා (සේනාරත්න මහතා ජීවන් කුමාරතුංග ගේ මස්සිනාලු), ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයි.
කොහේ හෝ තැනකින් මිනියක් ලෙස හමු වීමට නියමිතව තිබූ, වෑන් රියකින් පැහැරගෙන යනු ලබමින් සිටි ශ්‍රී ලාංකික පුරවැසියෙකුව, ඇමතිවරයෙක්, විධායක ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම් වරයා උනන්දු වී, වහාම මැදිහත් වී බේරා ගැනීමක් ගැන අසන්නට ලැබීම සතුටකි. කෙසේ හෝ ඒ වෑන් රියේම ගුටි කමින් පණ අදිමින් සිටි අනෙක් මිනිසා ට වූයේ කුමක්දැයි තවමත් කවුරුත් දන්නේ නැත. ඔහු ජීවන් අයියා වැන්නෙකුගේ මස්සිනා නොවුණු නිසාත්, ආණ්ඩු පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී වරයෙක් නොවීම නිසාත්, ඇඳුනුම්කමට හෝ වෙන පල ප්‍රයෝජනයක් නිසා ජනාධිපතිට සහ ආරක්ෂක ලේකම්වරයාට වැදගැම්මක් ඇති ජීවිතයක් නොවුණු නිසාත් ඔහුට අත්වුණු ඉරණම අතුරුදහන් වූවන් ගැන අපි දන්නා බොහෝ කතාවල අවසානයට සමාන විය හැකියි.
ජනාධිපති සහ ආරක්ෂක ලේකම් වරයා සෘජුවම මැදිහත් වූයේ, එක දුරකතන ඇමතුමකින් වැඩේ බේරුමක් කරගත හැකි වූයේ, වෙනත් විදේශ රාජ්‍යයකින් අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයෙක් බේරා ගැනීමට නොවේ. සාමාන්‍යයෙන් නම් රටේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ සෘජු මැදිහත්වීම කෙරෙන්නේ එවැනි කටයුතුවලටයි. මේ මැදිහත් වී ඇත්තේ, කප්පම් ගන්නට හෝ වෙනත් අරමුණු වෙනුවෙන් ව්‍යාපාරිකයින්, සහ අනෙක් මිනිසුන් පැහැරගෙන යන භයානක මැර පිරිසකගෙන් තමාගේ හිතවතෙකු බේරා ගැනීමටයි. නැත්තං ජීවන් අයියාගේ නාහෙන් ඇඬිල්ල බේරෙන්නටයි.
මෙයින් යළිත් වරක් සනාථ වුණේ (මිනිසුන් උස්සන් යන, මරා මහ මග මිනී දමා යන, ම්ලේච්ඡ සුදු වෑන් අභිරහස සහ ආරක්ෂක ලේකම්වරයා අතර සෘජුවම සම්බන්ධයක් ඇති බව කොළොන්නාව නගර සභා සභාපති ගේ සිද්ධියෙන් ඕනෑවටත් වඩා හෙළිදරවු වූණේ සති දෙක තුනකට ඉහතදීය) මේ රටේ කප්පම්කරුවන්, මිනීමරුවන්, භයානක මැරයින්, සමග ජනාධිපතිටත් ආරක්ෂක ලේකම් වරයාටත්, කිට්ටු සම්බන්ධතා ඇති බවයි. එක දුරකතන ඇමතුමකින් මේ භයානක කල්ලි වල නායකයින් සමග කතා බහ කොට වැඩ අවශ්‍ය පරිදි එහා මෙහා කර ගත හැකි බවයි.
තතු එසේ නම් අපේ රට අද එළඹ සිටින භයංකාර තත්ත්වය අවබෝධ කරගත හැකි නොවේද? අතුරුදහන් වීම්, මරා දැමීම්, සහ හතර අඬු කඩා කාණුවල අතහැර යෑම්, ආදී සියලු භයංකාර සිදුවීම් රටේ ඉහළම නායකයින්ගේ දැනුවත්කම ඇතිව සිදුවෙනවා යැයි කීම වරදක්ද? ඒ අපාරාධ හැම එකක්ම කරන අය කවුරුන්ද, කියා ඔවුන් දන්නා බව සක් සුදක් සේ පැහැදිලි නැතිද? එසේනම්, අවශ්‍ය නම් ඒ සියලු ව්‍යසන වළක්වාලීමට ජනාධිපතිටත් ආරක්ෂක ලේකම්වරයාටත් හැකි නේද?
අවසානයේ අපට එළඹිය හැකි නිගමනය වන්නේ (මෙය බොහෝ අය දන්නා දෙයකි. නමුත් දැන් එය සාක්ෂි සහිතවම ඇස් පනා පිට ඔප්පු කළ හැකි වී තිබේ) අද අප ජීවත් වන භයානක සමාජය, මේ රටේ පාලකයින් විසින් නිර්මාණය කළ, ඔවුන්ගේ අනුදැනුමෙන් පවත්වාගෙන යන, එකක් බවයි. අපරාධ සිදු කරන්නේ ඔවුන්ගේ ළඟම සිටින අය බවයි.
පහුගිය දිනවල හත් අට පොළේ තොවිල නට නටා, අපි කිව්වේ, අපේ රටේ රාජ්‍ය නායකයින්ගේ පරම පිවිතුරු බවයි. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ, පුවත් පතකට කියා තිබුණේ, ‛‛අපිට එක එකාගෙන් මානව හිමිකම් ඉගෙන ගන්න ඕනෙ නෑ….අපි නියම මානව හිමිකම් රකින ජාතියක්’’ කියායි.
ඇත්තටම අපි ‛‛නියම රටක්’’ අපිට ඉන්නේ ‛‛නියම නායකයො ටිකක්’’ චිරං ජයතු. ජනාධිපතිතුමාටත් ආරක්ෂක ලේකම්වරයාටත් ස්තූතියි. ඒත් එක්කම සිද්ධ වෙච්ච දේ, හාංකවිසියක් හංගන්නෙ නැතිව, කට පුරා පත්තරේකට කියපු සාගර සේනාරත්න මහත්තයාටත් ස්තූතියි…
අරැන්දතී විසිනි
පසු සටහන – හොල්මනකටවත් බය නැති දිවයින පාඨකයිනි මෙම ප්‍රවෘත්තිය සිහිබුද්ධියෙන් නැවත වරක් කියවන්න. ලංකාවේ අතුරැදහන් කර මරා දමන්නේ හෝ ජීවිත කාලයටම අතුරැදහන් කරන්නේ කවුරැන්ද සහ කාගේ අනුදැනුම පිට දැයි වටහා ගත හැක.