Colombo, Featured Articles, Features

නාගරික සෞන්දර්යය බස් එකේ යන ගමන් නැරඹීම


මනහර ‛වෝටර්ස් එජ්’ දර්ශනයට බාධා කළා වූ අහිංසකාරාමයේ ඡායාවක්වත් දියවන්නාවේ නැත. එබැවින් අද දියවන්නාව කොටි නොමැති ලංකාව මෙන් සෞන්දර්යයයෙන් ආඪ්‍යය. හංස බෝට්ටු වලින් සහ රුවල් ඔරු වලින් පිරි ජලතටාකය, සිනා කෙලි කවට සිනා ගිගුම් දෙන උද්‍යානය, ව්‍යායාමයේ යෙදෙන නිරෝගීමත් ශරීර විසින් දියවන්නාව සුරපුරයක් බවට පත් කොට ඇත. සැළළිහිණි සංදේශයේ පුරවැනුම පවා නැවත ලිවිය යුතුයැයි සිතෙන තරමට සෞන්දර්යයෙන් පිරි නගරය දුටුවන් උමතු කරවයි. වල් බිහි වූ අහිංසකාරාමය නගරයෙන් ඉවත් වන විට නගරය මැද යෝධ කුසුමක් ලෙද නෙළුම් පොකුණ සුපිපෙන්නේ ඇසට ප්‍රිය මනාප දේ පමණක් ඉතිරිකිරීම වත්මන් ලාංකීය නාගරික සෞන්දර්යයයේ පදනම බව කියා පාමිනි. ඉතින් අහිංසකාරාමය බිඳ හෙලා, නෙළුම් පොකූණ ඉදි කර ආරම්භ කළ නව නාගරික සෞන්දර්යය ගැන නැවත නැවතත් කතා කළ යුතුව ඇත.

මහත් වූ වර්ණනා මැද බිහි වූ නෙළුම් පොකුණ ගැන හදා ගත් සුන්දර සිහින ඉතිරිව පවතින්නේ නෙළුම් පොකුණට ඇතුළු වන තෙක් පමණි. ඇතුළු වූ සැණින් ඒ පිළිබඳ හදා ගත් සියළු සිහින, දොරටුව අසලදී බිමට වැටෙයි. ඇතුල් වූවාට පසු මෙය හුදෙක් කොන්ක්‍රීට් මැජික් එකක් බව සිතෙයි. මෙලෙස දෝෂාරෝපණය කිරීමට සිදුවන්නේ, භෞතික ගොඩනැගිල්ල මෙන්ම, මානසික පරිසරයද නාට්‍යයක් නැරඹීමට අවශ්‍ය ප්‍රමිතියකට අනුව සකසා නොමැති නිසාය. නෙළුම් පොකුණේ නිරුවත අනාවරණය වූයේ මෑතකදී මෙහි වේදිකාගත වූ සිංහබාහු නාට්‍යය නැරඹීමට ගිය විටදීය. මෙය බැල්කනි දෙකකින් සහ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරයකින් සමන්විත වූ රඟහලකි. සිංහබාහු පෙන්වපු දින ලාභම ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 1000 ක් වූ අතර එයට හිමි වූයේ ඉහළම බැල්කනියේ ආසනයකි. බොහෝ පිරිස් රුපියල් 1000 ටිකට් මිලදී ගත් නිසා ඒ අයට හිමි වූයේ මෙම ඉහළ බැල්කනියයි. නමුත් ඉහළම බැල්කනියේ සිට බලන විට වේදිකාව පෙනෙන්නේ මාරක ළිඳක පතුල මෙනි. එසේ පෙනෙන්නේ ද ඉදිරිපස ආසන වලට පමණි. පසුපස ආසන වලට වේදිකාවක් තිබෙණවාදැයි වත් නොපෙනේ. ඉතින් එදා අඩු මුදලට ඉහළට ගිය බොහෝ දෙනාට සිංහබාහු නාටකය බැලීමට නොහැකි විය. බොහෝ අයට සිදු වූයේ සිංහබාහු නාට්‍යයේ සිංදු පමණක් ඇසීමටය.

තවත් සමහරෙක් බැල්කනියේ අද්දරට ගොස් මාරක ළිඳේ බයිසිකලය බලන ආකාරයට සිංහබාහු බැලුවා මතකය. ආසනයක් රුපියල් 3000ක් වටිනා ප්‍රධාන ප්‍රේක්ෂකාගාරයට ගිය විට සිංහබාහු නාටකය හොඳින් දර්ශනය විය. නමුත් ගැටළුව වනුයේ වෙනදා ලයනල් වෙන්ටඩ් එකේ බලන සිංහබාහු නාට්‍යය වෙනුවට පහළම ප්‍රේක්ෂකාගාරයේ ප්‍රේක්ෂකයෝ දුටුවේ සිංහබාහු සංදර්ශනයකි. වේදිකාවේ සහ ප්‍රේක්ෂකාගාරයේ දැවැන්තභාවය නිසා සිංහබාහු නාට්‍යය, සංදර්ශනයක් ලෙස ඉදිරිපත් කිරීමට නාට්‍යකරුවන්ට සිදු වී තිබුණි. මේ ප්‍රධාන දැවැන්ත රඟහලට අමතරව තවත් කුඩා රඟහලවල් එකක් හෝ දෙකක් තිබුණේ නම් හිත හදා ගැනීමට තිබුණි. නමුත් අවාසනාවකට මේ සා වියදමක් දරා තිබුණේ සම්මන්ත්‍රණශාලාවක් බඳු එක් රඟහලකට පමණි. තවත් ගැටළුවක් නම් ඉහළ බැල්කනි වල සිට පොළව මට්ටමට පැමිණීම සඳහා තිබෙන තරප්පු පෙළට කිසිදු ආවරණයක් නොතිබීමයි. එදින වර්ෂාව ඇද හැලුණ නිසා මෙම තරප්පු පෙළ තෙමී තිබූ අතර නොලිස්සා පහළට පැමිණීමට මහත් වෙහෙසක් දැරීමට සිදු විය. අහම්බයෙන් හෝ මෙම තරප්පු පෙලකින් ලිස්සා වැටුණොත් අඩියක් අඩියක් පාසා ආරක්ෂාවට සිටින හමුදා භටයින්ගේ ආරක්ෂාව බිමට වැටෙන්නාට නොලැබෙනු ඇත. නෙළුම් පොකුණ යනු නාට්‍යාගාරයක් පිළිබඳ කිසිදු දැනුමක් නොමැතිව සිදු කළ හිතුවක්කාරකමක් වන්නේ එබැවිනි.

ඇතුළු වුණු මොහොතේ පටන් රඟහලකට වඩා හමුදා කඳවුරක ස්වභාවය උසුලන නෙළුම් පොකුණ තුළ නාට්‍යයක් නැරඹීමෙි මානසික පරිසරයක් තිබෙනවාද යන්න සැක සහිතය. අප රඟහලකට යන්නේ නාට්‍යය නැරඹීමට පමණක් නොවේ. නාට්‍යය ආරම්භවන තෙක් නිදහසේ හැසිරීමට අවශ්‍ය පරිසරය රඟහලක් ආශ්‍රිතව පැවතිය යුතුය. නමුත් නිදහසේ සිටින එවන් මොහොතක සිවිල් ඇඳුමින් සැරසුණ හමුදා භටයෝ උදව්වට මෙන් පැමිණ කුමක් කරන්නේදැයි සොයා බලනවා නම් එම රඟහල තුළ පවතින නිදහස පිළිබඳව ගැටළුවක් ඇත. ජංගම දුරකථන වල හඬ වේදිකා නාට්‍යයකට අතිශය බාධාකාරීය. නමුත් නෙළුම් පොකුණේ නිරන්තරයෙන් නදදෙන හමුදා වෝකි ටෝකි යන්ත්‍ර වලට නාට්‍යයමය අවස්ථා අදාල නැත. වේදිකා නාට්‍යය පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති, හුදෙක් විනය සහ පිරිසිදුකම පමණක් පුරුදු පුහුණුකළ හමුදා භටයෝ කිහිපදෙනෙකුට නාට්‍යාගාරයක් භාරදීමේ ඛේදවාචකය නැරඹීමට අවශ්‍ය අයෙක් සිටියි නම් කරුණාකර නෙළුම් පොකුණට යන මෙන් ඉල්ලා සිටිමු. මන්ද මෙම ඛේදවාචකය සිදුවීමක් උපුටා දක්වමින් හෝ වචනවලින් විස්තර කළ නොහැකි නිසාය. ඉතින් මෙවන් අත්දැකීම් තුළින් අප දකින්නේ, බලය රැකගැනීමේ මායම් මිස කලාව පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති මිනිසුන් පිරිසකගේ අත්ලට මිරිකුණු ලාංකීය කලාවේ ඛේදවාචකයයි.

නෙළුම් පොකුණ කා සඳහාද?

නෙළුම් පොකුණ කා සඳහාද යන්න ගැන පසුගිය දිනවල වාද විවාද ඇති විය. බොහෝ විවේචන වල පදනම වූයේ නෙළුම් පොකුණ ඉහළ පාන්තිකයන් සඳහා පමණක් ඉදි වූවක් බවයි. නමුත් සත්‍යය නම් නෙළුම් පොකුණ පහළ පාන්තිකයන් සඳහා විශේෂයෙන්ම සැකසූ රඟහලක් බවයි. නෙළුම් පොකුණේ පෙන්වන දේවල් බැලීමට යන වියදම අනුව බලන කළ ලංකාවේ බොහෝ දෙනාට එහි පෙන්වන දේවල් එතරම් වැදගත් නැත. එබැවින් ලංකාවේ බොහෝ දෙනා නෙළුම් පොකුණ රසවිඳින්නේ බස් එකේ යන විට හතරට,පහට නැවී එය දෙස බැලීම මගිනි. එසේ බලන කළ එය අතිශය සුන්දර දසුනකි. කොටි නැති වුණාට පස්සෙ කොළඹ මාර ලස්සන වුණා නේදැයි සිතන්නට පහළ පාන්තිකයාට මේ දසුන හොඳටම සෑහේ. මෙය සකසා ඇත්තේ පහළ පාන්තිකයන්ට දැක බලා රසවිඳින්නට පමණක් බව පවසන්නේ එබැවිනි. දුටුවන් මන් මත් කිරීමේ නාගරික සංවර්ධන න්‍යායේ ස්වභාවය මෙයයි. එය රසවිඳිය හැක්කේ පිටත සිට පමණි. ලාංකිකයන් පුරුදු වී ඇත්තේද ඕනෑම දෙයක් පිටත සිට බලන්නට නිසා නෙළුම් පොකුණ ඇතුළත මොනවා සිදුවුණත් කම් නැත. අවශ්‍ය වන්නේ පුදුමවිය හැකි පිටතක් පමණි. ලාංකිකයන්ගේ එම අවශ්‍යතාවය නාගරික සෞන්දර්යය විසින් අද නොපිරිහෙලා ඉටුකරමින් සිටියි.