සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

රාජ්‍ය ත්‍රස්තවාදයේ නිරුවත හෙවත් පුහුල් හොරා කරෙන් දැනීම


තර්ක කොට ආරක්ෂා කරගත නොහැකි, බුද්ධිමත්ව සනාථ කළ නොහැකි, ශීලාචාර ලෙස යුක්ති සහගත කරගත නොහැකි, නපුරු සිදුවීම් වැල නොකැඩී යම් රටක සිදුවන විට, එම රට, එක විට විහිලූවක් ද, ඛේදවාචකයක් ද වන බවට හොඳම සාක්ෂියකි, ලංකාව.

ඛේදවාචකය වන්නේ, මෙවැනි භයානක තත්වයකට බිලි වන, ඒ සඳහා ජීවිතයෙන් වන්දි ගෙවන අසරණයන් සම්බන්ධයෙනි. විහිළුවක් වන්නේ, එම අවාසනාව සහ ඛේදවාචකය වෙනත් වාසගම්වලින් හඳුන්වා දීමට තැත් කරන පාලකයන්ගේ මුග්ධ භාවය ඇස්පනාපිට හෙලිදරව් වීමෙනි.

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මේ තත්ත්වය හඳුන්වන්නේ පුරවැසියෙකු වශයෙන් තමා ලජ්ජාවට පත්වන අවස්ථාවක් වශයෙනි. ඔහු එසේ කීවත්, ආණ්ඩුවේ සැබෑ බලපුලූවන්කාරයන් එසේ ලජ්ජා වන බවක් පෙනෙන්ට නැත. ඒ වෙනුවට, ඔවුන් කවුරුත් උජාරුවට පත්වන බවකි පෙනෙන්ට ඇත්තේ.

යුද්ධය, පැහැර හැරිය නොහැකි අවශ්‍යතාවක් වශයෙන් සළකා කොටි සංවිධානය පරාජය කිරීම සතුටින් භාරගත් සිංහල ජනතාවක්, යුද්ධයෙන් පසුවත් එම සංග්‍රාම මානසිකත්වය වන්දනාමාන කරන නඩයක් වශයෙන් එක දිගට ආංබාං කර ගැනීම පහසු නැත. එහෙත්, අවාසනාවකට මෙන්, තුවක්කුවේ කොකාට ලොල් කරන සොල්දාදුවා යුද්ධයෙන් පසුවත් සිය නිල ඇඳුම ගැලවීම ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව, එම නිල ඇඳුමට සරිලන සමාජයක් ද එක දිගටම පැවතිය යුතු බවට අපේක්ෂා කරයි. එවැනි සොල්දාදුවෙකු පාරට නෑවිත් බැරැක්කයක සිටීම හානිකර නැත. එහෙත් එවැන්නෙකු රටක බල කේන්ද්‍රයේ මර්මස්ථානයට පත්වන විට, එම රට හමුදා බලකොටුවක් බවට පත්වෙයි. අද ලංකාව එවැනි රටකි.

පසු ගිය පෙබරවාරි සහ මාර්තු මාසයේ දී පමණක් ලංකාවේ පැහැරගෙන යාම් 29 ක් වාර්තා විය. එනම්, දවසක් ඇර දවසක්, එක පැහැර ගැනීමක් වශයෙනි. ගත වූ 6 මාසය එකට ගත් විට පැහැරගෙන යාම් 56 ක් වාර්තා වී ඇත. එම පැහැර ගැනීම්වලින් 19 ක් සිදුවුණේ, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයත් පැවැත්වෙන අතරතුරේය.

විශේෂත්වය වන්නේ, මේ කිසි පැහැර ගැනීමකට අදාළ කිසි පුද්ගලයෙකු නීතිය ඉදිරියට පැමිණවීමට මේ ආණ්ඩුව අද දක්වාමත් අසමත්ව තිබීම යි.

එසේ වන්නේ කෙසේ ද?

එක පැහැර ගැනීමක් හෝ තුන හතරක් සම්බන්ධයෙන් නම්, පොලීසියේ අකාර්යක්ෂමතාව හෝ අපරාධකරුවාගේ විශේෂ දක්ෂතාව ඊට හේතු විණැ යි කිව හැකිය. එහෙත්, 56 වතාවක්ම එකම අපරාධය එකම ආකාරයට සිද්ධ වෙද්දී, ඒ අපරාධය පසුපස සිටින අයවළුන් නීතියේ රැහැනට හසු නොවන්නේ, පොලීසියේ වරදක් නිසා යැයි, සිහිබුද්ධියෙන් යුත් කිසි මිනිසෙකු කෙසේ නම් සිතාගන්න ද?

මේ ප්‍රහේළිකාව විසඳා ගැනීමට ඒ දෙස මෙසේ බලමු. අපරාධය ගැන සොයා බලන්නේත්, අපරාධය පිළිබඳ විනිශ්චය සපයන්නේත්, අපරාධය කළ පුද්ගලයාම හෝ ආයතනයම නම්, එම අපරාධකාරයා කිසි දවසක නීතියක් ඉදිරියට නොපැමිණෙනු ඇත. ඔහු ”නාඳුනන” අපරාධකරුවෙකු සහ ව්‍යාජ අංක සහිත සුදු වෑන් රියක් වශයෙන් එවිට නාමකරණය කෙරේ.

මේ කියන පැහැරගෙන යාමේ යාන්ත්‍රණය මොන තරම් සාහසික වී ද යත්, පසු ගිය දවසක එම අපරාධකරුවා කොළඹ ප්‍රධාන අධිකරණ භූමිය තුළටම පැමිණ, බිල්ලත් රැගෙන නිරුපද්‍රිතව පිටත්ව ගියේය. පලා ගියේ යැයි නොකියා, ”පිටත්ව ගියේ” යැයි මා ලියන්නේ හිතාමතාමයි. මේ කිසි අපරාධකරුවෙකු නීතියක් හෝ පොලීසියක් ඇතැ යි බියෙන් පස්ස නොබලා පලාගිය බවක් මේ දක්වා අසන්නට නැති බැවිනි. ඔවුහූ නිදහසේ ආහ. නිදහසේ ගියහ. ඒ ගැන මේ රටේ අධිකරණය, පොලීසිය හෝ පාලකයන් ලැජ්ජාවට පත්වූ බවක් පෙනෙන්ට නැත.

කොලොන්නාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැහැරගෙන යාමට පැමිණි පිරිසක් නොසිතූ විරූ ආකාරයෙන් කොටු වුණේ පොලීසියට නොව, මහජනතාවට ය. එහෙත් පැය කිහිපයක් ඇතුළත මේ සියලූ සැකකරුවන්ව ගෙවල් දොරවල් බලා පිටත් කර හැරියේ පොලීසිය යි. නීතියේ ආධිපත්‍යය නැමැති කන්‍යාව දූෂණය වී ඇති බව බොහෝ කලක සිට දැන සිටියත්, ඇය වෙසඟනකගේ තත්ත්වයට පත්ව ඇතැ යි රට්ටු සැක හැර දැනගත්තේ එදා ය.

මේ සියලූ සිදුවීම් ඇසුරින් නිරනුමාන අනුමිතීන් ඇති කර ගැනීම අපහසු නොවේ. රට කරවන ආණ්ඩුව මේ පැහැර ගැනීම් පසුපස සිටින බව ඉන් ප්‍රධාන යි. එක්කෝ, පැහැරගෙන යන්නා (සුදු වෑන් රිය) ආණ්ඩුවම විය යුතුය. නැත්නම්, එම අපරාධකාරයාව ආරක්ෂා කරන්නා ආණ්ඩුව විය යුතුය. ඒ දෙකින් කොයි එක වෙතත්, ආණ්ඩුව සාපරාධී ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැරගෙන යන අවස්ථාව වන විට ආණ්ඩුව සිටියේ, මෙවැනි පැහැරගැනීම් සම්බන්ධයෙන් ලෝකයා ඉදිරියේ සිනාවට ලක් නොවී, උපන්ගෙයි බොරුකාරයෙකු නොවී, නිදහසට කරුණු දැක්වීමේ හැකියාවක් ඇති තත්වයක නොවේ. මේ නිසා, එම සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කළ හේතුපාඨ, අමාරිස් අයියාගේ විකට වටයටත් එහා ගියේය. එහි දී, ආණ්ඩුවේ තර්ක වශයෙන් අපට ඇසුණේ, (1) කුමාර් ගුණරත්නම් 1987 දී සිරගෙයක් කඩාගෙන පැනයාම (2) වීසා නොමැතිව ඔහු ලංකාවේ රැඳී සිටීම (3) ඕස්ට්‍රෙලියානු පුරවැසියෙකුට ලංකාවේ දේශපාලනය කිරීමට අයිතියක් නැති වීම (4) කුමාර් ගුණරත්නම් යන නාමය හැරුණු කොට තවත් නම් කිහිපයක් ඔහුට තිබීම වැනි පට්ට වල්පල් ය. මේ කියන ඕනෑම කරුණක් සහ ඔහුව පැහැරගෙන යාම අතර ඇති සම්බන්ධය කුමක් දැ යි පාලකයෝ පෙන්වා නොදෙති.

1969 වසරේ එක්තරා කාලයක ලංකාවේ ප්‍රධාන නගර කිහිපයක තාප්ප මත, අත්අකුරින් ලියැවුණු පෝස්ටරයක් දැකගත හැකි විය. එහි සඳහන් වුණේ, ”දොස්තර තිස්ස වහා නිදහස් කරනු” යනුවෙනි. 1989 නොවැම්බර් 13 වැනි දා උලපනේ දී නිමල් කිත්සිරි අත්තනායක නැමැත්තෙක් හමුදා අත්අඩංගුවට පත්ව පැය විසි හතරක් ඇතුළත බොරැල්ලේ දී ඝාතනයට ලක්විය. 1970 සිටි දොස්තර තිස්ස සහ මේ කියන නිමල් කිත්සිරි අත්තනායක යනු රෝහණෙ විජේවීර වශයෙන් රට හඳුනාගෙන සිටි වාමාංශික නායකයා වීමවත්, ඔහුගේ උප්පැන්න සහතිකයේ නම දොන් නන්දසිරි විජේවීර වීමවත්, ඔහුගේ ඝාතනය පැහැදිළි කිරීමේ හේතුවක් වශයෙන් එදා පාලකයන් කියා සිටියේ නැත.

වර්තමාන රජයේ ඇමතිවරයෙකු වන කරුණා අම්මාන් මීට වසර කිහිපයකට පෙර, කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන නමින් බ්‍රිතාන්‍යයට ඇතුලූ වීමට ගොස් හසුවී හිරබත් කෑවේය. මේ ව්‍යාජ නාමය සහිත රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය නිකුත් කොට තිබුණේ ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙනි. එය පවතින්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ය. කුමාර් ගුණරත්නම් වෙනත් නමකින් ඔස්ට්‍රෙලියාවේ පුරවැසි භාවය ලබා ගැනීම ගැන ඔස්ට්‍රෙලියානු ආණ්ඩුවට අද දොස් කියන්නේ, එදා කරුණා අම්මාන්ට හොර පාස්පෝට් හදා දීම පිලිබඳ පළමු වගඋත්තරකරු වශයෙන් සැළකිය යුතුව සිටි ගෝඨාභය රාජපක්ෂ ය. ලංකාවේ උපන් ඔස්ට්‍රෙලියානු පුරවැසියෙකුට ලංකාවේ දේශපාලනයට අයිතියක් නැතැ යි කියන්නේත්, ගෝඨාභය රාජපක්ෂ වැනි ලංකාවේ උපන් ඇමරිකානුවෙකු වීම, අමාරිස් අයියාගේ විකට වටයම මිස වෙන කිසිවක් අපේ මතකයට නගයි ද?

මෑතක සිට ජංගම කැබ්රථ සේවාව ජනප්‍රිය වෙමින් තිබේ. ඔබට කුලී රියක් අවශ්‍ය නම් කළ යුත්තේ, අදාළ අංකය කරකැවීම පමණි. එම සේවාව අවශ්‍ය කරන්නේ කොතැන සිට කොතැනට යාමට ද, එය අවශ්‍ය කරන්නේ කවර වේලාවට ද ආදී මූලික කරුණු සැපයූ විට, ඔබේ නිවසටම කැබ් රථය පැමිණෙයි. මේ සේවාව කාර්යක්ෂමව සැපයීම සඳහා අදාළ සමාගම සතුව මෙහෙයුම් වගු පත්‍රයක් ඇත. ඔවුන් සතු සෑම වාහනයක්ම යම් නිශ්චිත මොහොතක තිඛෙන්නේ කොතැන ද යන්නත්, ඔබේ නිවසට ආසන්නයේම ඒ මොහොතේ සිටිය හැකි කැබ්රිය කුමක් ද යන්නත් ඒ මගින් දැනගත හැකිය.

පසු ගිය පෙබරවාරි මාසයේ දවසක, සාගර සේනාරත්න නැමැත්තෙකුව සුදු වෑන් රියකින් විත් නුගේගොඩ ප්‍රදේශයේ දී පැහැර ගැනුණි. මොහු, ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන ජීවන් කුමාරතුංගගේ ඥාති සොහොයුරෙකි. සිද්ධිය සැළවූ සැණින් ජනාධිපතිවරයාටත්, ගෝඨාභය රාජපක්ෂටත් කතා කොට ජීවන් කුමාරතුංග උපකාර ඉල්ලා සිටියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පැහැරගැනීමට ලක්වූ තැනැත්තාව පැය කිහිපයක් ඇතුළත නිදහස් කෙරුණි. නිදහස ලබා පැමිණි සාගර සේනාරත්න රටටම ඇසෙන සේ ”ස්තුති කතාවක්” පැවැත්වීය. එම ස්තුති කතාවේ වැදගත්ම අංගය වුණේ, සිය ජීවිතය බේරා දීම ගැන ගෝඨාභය රාජපක්ෂටත්, මහින්ද රාජපක්ෂටත් මුව නොසෑහෙන සේ ඔහු ස්තුති කිරීම යි.

දැන් සමීකරණය පැහැදිළි ය. සාගර සේනාරත්නව පැහැරගෙන යාමට ගෝඨාභය රාජපක්ෂගේ හෝ මහින්ද රාජපක්ෂගේ සෘජු සම්බන්ධයක් තිබුණු බවක් මේ ”ස්තුති කතාවෙන්” සනාථ නොවේ. එහෙත්, ඔහුව පැහැරගෙන ගියේ කවුරුන් ද යන්න සහ එම නිශ්චිත මොහොතේ එකී අපරාධකරුවන් සිටියේ කොතැනක ද ආදී මාර්ග විස්තර ඇතුළත් ”මෙහෙයුම් වගු පත්‍රයක්” අවශ්‍ය විටෙක ලබාගත හැකි දුරකින් මේ දෙන්නා හෝ දෙන්නාගෙන් එක් කෙනෙකු සන්තකයේ තිබුණු බව ඒ මගින් සනාථ කෙරුණි.

අපේ ගැමියන් ”පුහුල් හොරා කරෙන් දැනේ” යැයි කීවේ මෙවැනි සිදුවීම්වලට ය……

ගාමිණී වියන්ගොඩ[Gamine Viyangoda]