ආගම අබිං බඳු බව වරක් කාල් මාක්ස් පැවසීය. නමුත් පශ්චාත් යුධ ලංකාවේ අපට නම් ආගම කසිප්පු බවට පත් වී ඇත. අබිං ගත් පුද්ගලයා හුදකලා චෛතිසිකයක හිඳිමින් අබිං මිහිරියාව විඳිනවා මිස ගෙවල් කඩන්නට, එකිනෙකා සමග කලහයන් ඇති කරගන්නට උත්සාහ ගන්නේ නැත. නමුත් යමෙක් කසිප්පු පානය කළ විට ඔහු එන්නේ වලියටමය. කවුරුවත් කලහයට එන්නේ නැත්නම් බිරිඳ සමග හෝ කලහයක් ඇති කර ගැනීම කසිප්පුකාරයාගේ සිරිතය. ඉතින් ආගමික කසිප්පු බී වෙරී වී සිටින ලාංකිකයා අද කලහ කරන්නට සතුරන් සොයමින් සිටියි. මේ කසිප්පුකාරයන් හිතන ආකාරයට තමන් අදහන්නේ ලෝකයේ සත්‍යම සත්‍ය ආගමයි. එබැවින් ලොව අනිකුත් මිනිසුන්ට වඩා මොවුන් සුවිශේෂීය. තමන් මනුෂ්‍යන්ට වඩා දේවත්වයට ලංවූ සුවිශේෂී සත්ත්ව කොටසක් බවට මේ කසිප්පුකාරයන් සිතයි. ඉතින් මේ තමන්ගේ සත්‍යම සත්‍ය ආගමට වඩා පහත් ආගම් සියල්ල සෝදා දැමීමට මෙම කසිප්පුකාරයන් කලහ කරගනිමින් සිටිති. පසුගිය දා දඹුල්ලේ ආගමික සිද්ධස්ථාන කිහිපයක් ඉවත් කිරීමට කලහ කරගත්තේ ආගමික කසිප්පු වලින් ඉහ මොළ අවුල් කරගත් මෙබඳු පිරිසකි. මේ කසිප්පුකාරයන් දඹුල්ලේ පිහිටා තිබුණු මුස්ලිම් පල්ලියකට අප්‍රසිද්ධියේ බෝම්බ ගැසූවේය. තවත් විටෙක සාදු කාර නගමින් ප්‍රසිද්ධියේම පල්ලියට හානි කළේය. ‛උඹලගෙ දෙවියො අරන් ගියෙ නැත්නම් උඹලගෙ ගෙවල් අයින් කරන බවට’ හින්දු භක්තික කාන්තාවකට ප්‍රසිද්ධියෙ තර්ජනය කරන්නට තරම් විටෙක මේ කසිප්පුකාරයෝ නිර්භීත විය.
විශේෂයෙන්ම තෘෂ්ණාව ප්‍රධාන සතුරා කර ගත් ආගමට දේපළක් අවශ්‍ය නැත. දේපළ අවශ්‍ය වන්නේ තෘෂ්ණාව ප්‍රධාන මිතුරා කරගත් ව්‍යාපාරික කටයුත්තකටය. යමෙක් ආගම වෙනුවට දේපළකට පෙම් බඳියි නම් ඒ තැනැත්තා ආගමික නායකයෙක් නොව ව්‍යාපාරිකයෙක් ලෙස සිතුවාට කමක් නැත. ඉතින් පසුගිය දා සාදුකාර මැද දඹුල්ලේ රඟදැක්වූයේ එවන් ව්‍යාපාරික නාඩගමකි. ඉස්ලාම්භක්තිකයන්, හින්දු භක්තියන් පන්නා ඉඩම් අත්පත් කරගැනීම බෞද්ධාගමේ උන්නතියට හේතු වනවා යැයි යමෙක් සිතන්නේ නම් එය මුලාවකි. මන්ද අවසානයේ අත්පත් කරගන්නා මේ ඉඩම් වල හැදෙන පොල් හෝ වෙනත් භෝගයක ආදායමට ඇත්තේ ආගමික වටිනාකමක් නොව ආර්ථික වටිනාකමක් බැවිනි. එබැවින් මෙම සිදුවීම බෞද්ධාගමේ උන්නතියට හෝ දිනූ නිදහස රැක ගැනීම සඳහා සිදු වූවක් නොව තවත් අමතර ආදායමක් උපයා ගැනීම සඳහා සිදු කළ උසි ගැන්වීමක් ලෙස තේරුම්ගත්තාට වැරැද්දක් නැත. ආගමේ නාමයෙන් සිදුවන ව්‍යාපාර ලංකාව වැනි පහත් ධනවාදය ක්‍රියාත්මක වන රටකට සාමාන්‍ය තත්ත්වයකි. නමුත් වරද ඇත්තේ මෙබඳු ව්‍යාපාරයක් නිසා තවත් මිනිසුන් කොට්ඨාසයක් සමාජයෙන් පිටස්තරයන් බවට පත් කිරීමය. දඹුල්ලේ පැවති මෙම ව්‍යාපාරික නාඩගමේ මිලේඡත්වය අපට හමුවන්නේ සිය ව්‍යාපාරික කටයුතු සඳහා තවත් ප්‍රජාවත් බලවත් ලෙස අපහසුතාවයට පත් කිරීම තුළය.
බඩට වඩා ඔළුව හිස් වීම
අප දැන් කතා කරන්නේ තමන්ගේ රටේ සහෝදර ජනතාවකගේ ආගමික සිද්ධස්ථානයකට පහර දෙන විට සාදු කාර දුන් ජනතාව ගැනය. මෙම සාදුකාර ජනතාව පෙලන ප්‍රධාන අර්බුදය වූ කලි නිමා නොවන ආර්ථික දුබලතාවයයි. මේ ආර්ථික දුබලතාවයත්, එමගින් හටගත් අතෘප්තියත් නිසා මේ ජනතාවගේ ආත්මය හිස්ය. ජාතිමාමක ව්‍යාපාරික රැල විසින් ජනතාවගේ මෙම හිස්කම ආගමික කසිප්පුවලින් පුරවමින් සිටියි. තවත් මිනිසෙකුගේ විශ්වාසයන් ගිනිතියන්නටත්, ඒවා ගිනිගන්නා විට හූ කියමින් සාදු කාර දෙන්නටත් තරමට මේ කසිප්පු මතින් අධිකය. ඉතින් ජනතාව පෙලෙන මේ හිස්කමත් එයින් අයුතු ප්‍රයෝජන ගන්නා ව්‍යාපාරිකයනුත් සමස්ත සමාජයම අශිෂ්ටත්වයට දක්කමින් සිටියි. අවසානයේ දිනූ නිදහස රැක ගන්නට කියා තව තවත් සමාජයේ නිදහස සීමා කරමින් සිටියි. රටේ අනාගතයේ උන්නතිය වෙනුවෙන් යැයි කියා තව තවත් රටේ අනාගතය ප්‍රපාතයට තල්ලු කරමින් සිටියි.