පසුගිය දා වනාතමුල්ල ප්‍ර දේශයේදී පුද්ගලයින් 33 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවේ ය. පසුව එම අත්අඩංගුවට ගැනීම් නීතිවිරෝධී යැයි පවසා අත්අඩංගුවට පත් වූවන්ගේ සමීපතමයින් විසින් සිය විරෝධය ඉදිරිපත්කරමින් උද්ඝෝෂණය කළ අතර එයට පොලීසිය විසින් පහර දී විසුරැවා හරින ලදි. පසුව එම අත්අඩංගුවට ගැනීම් සහ විරෝධතාවයට පහරදීම හෙලා දකිමින් සහ එහි කිසිදු නීතිමය භාවයක් නොමැති බව පවසා උදුල් ප්‍රේමරත්න ඇතුලු නීතිඥයින් පිරිසක් අත්අඩංගුවට පත් වූවන් වෙනුවෙන් පෙනී සිටි අතර පසුව ඔවුන්ටද පොලීසිය විසින් විවිධ බාධා කිරීම් සහ තර්ජනයන් සිදු වූ බව වාර්තා විය. මේ ඒ පිළිබදව ‘විකල්ප‘ විසින් මානව හිමිකම් සඳහා ක්‍රියාකාරිකයෝ සංවිධානයේ උදුල් ප්‍රෙමරත්න සමග සාකච්ඡාවක නිරත වූ අතර පහත දැක්වෙන්නේ එම සාකච්ඡාවේ සාරාංශ සටහනයි.
පසුගිය දා වනාතමුල්ල ප්‍රදේශයේදී පොලීසිය විසින් පුද්ගලයන් 33 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. මෙම තත්ත්වය නීතිවිරෝධී වන්නේ ඇයි?
වනාතමුල්ල ප්‍රදේශයේ දී, පොලීසිය විසින් යම් පහර දීමක් කරලා විශාල පිරිසක් අත්අඩංගුවට අරගෙන බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා. අපි ඒ පිළිබඳව සොයා බලන්න වනාතමුල්ල ප්‍රදේශයට ගියා.එහිදී ඒ අත්අඩංගුව ගැනීම් වලට විරුද්ධව එම ප්‍රදේශයේ ජනතාව විශාල විරෝධතාවයක් දියත්කරනවා අපි දුටුවා. පොලීසිය කඳුළු ගෑස් ගහලා, පහරදීලා එම ජනතාව විසුරුවා හරින්න කටයුතු කළා. ඉන් අනතුරුව එම අත්අඩංගුවට ගත් ජනතාව අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඒ ජනතාවට නීතිඥ සහය ලබා දීමට අප කටයුතු කළා. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේ ඉතාමත් නීතිවිරෝධී ආකාරයට බව අප අධිකරණයට ඉදිරිපත් කළා. පොලිස් විශේෂ කාර්ය බලකායේ 200 ක් පමණ පිරිස විසින් වනාතමුල්ලේ ටී 20 කියන වත්ත වටලලා, පොලිස් නිළධාරීන් වත්ත ඇතුළෙ එක ගෙයින් ගෙයට ගිහිල්ලා, ඒ ගෙවල් වල හිටපු පිරිමි එලියට ගෙනල්ලා, ඔවුන්ගේ දරුවන් බිරිඳ බලා සිටියදී ඔවුන්ව දන ගස්සලා, ඔවුන්ව නිරුවත් කරලා, ඔවුන්ට පහර දීලා, සමහර අයව මඩේ ඔබලා තමයි පොලීසිය විසින් මේ අයව අත් අඩංගුවට අරගෙන තියෙන්නෙ. ඉන්පසුව මේ අයව සීවලී ක්‍රීඩාංගනයට ගෙනිහිල්ලා සියළුදෙනාම ඡායාරූපගත කරලා තියෙනවා. එම ඡායාරූප වෙනත් ස්ථානයක හිටපු අය පිරිසක් ලවා පරීක්ෂා කරලා, එයින් තෝරාගත්ත 33 දෙනෙක් තමයි නැවත අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ. පොලීසිය විසින් මේ අත්අඩංගුව ගත් අයගෙන් සමහර අයට කුඩු ග්‍රූම් 5 ගානෙ දාලා, සමහර අයට අත් බෝම්බ දාලා,තවත් අයට විවිධ චෝදනා එල්ල කරලා මේ අයව අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණා. මෙහිදි 33 දෙනෙක් අත්අඩංගුවට ගත්තට අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණෙ 23 දෙනෙක් විතරයි. හතර දෙනෙක් නිදහස් කරපු බවට පවසලා තිබුණා. ඒත් තව 6 දෙනෙක් තොරතුරු කිසිවක් නැහැ. මේ 6දෙනා ගැන තොරතුරු කිසිවක් දන්නෙ නැහැ කියලා පොලීසිය කියලා තිබුණා. පොලීසිය අත්අඩංගුවට ගත් අයව මිය යන තත්ත්වයක් පවතින් අවස්ථාවකදි, මේ 6 දෙනා ගැන පොලීසිය නොදන්වන්නෙ ඇයි? අත් අඩංගුවට අරන් තියෙන්නෙ වරෙන්තු කරුවන් සහ ලියාපදිංචි අපරාධකරුවන් කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කිව්වා. නමුත් ඒ අත් අඩංගුවට ගත්ත පිරිස අතරෙ වරෙන්තු කරුවන් හිටියෙ දෙදෙනෙක් විතරයි.
මෙම අත්අඩංගුවට ගැනීම පිටුපස තියෙන සැබෑ සිදුවීම මොකක්ද?
ඇත්තටම මේ අයව අත්අඩංගුවට ගත්තේ අපරාධකරුවන් නිසා හෝ වරෙන්තුකරුවන් නිසා නෙමෙයි. මේ අත්අඩංගුවට ගැනීමට අදාලව ඉතිහාස කතාවක් තියෙනවා. ඒක තමයි පසුගිය 13 වෙනිදා දෙමටගොඩ ෆුඩ් සිටි එක ගාවදි බීමත් පොලිස් නිළධාරීන් පිරිසක් සහ මේ වත්තෙ බීමත් තරුණයන් කිහිපදෙනෙක් අතරෙ යම් ගැටුමක් ඇතිවුණා. මේ පොලිස් නිළධාරීන් සිවිල් ඇඳුමෙන් ඉඳලා තියෙන්නෙ. මේ අය බේස්ලයින් දුම්රිය ස්ථානයේ ගේට්ටුව අසල සිටින විට, වත්තෙ තරුණයො පිරිස නැවත වාරයක් එම පොලිස් නිළධාරීන්ට පහර දුන්නා. ඉන් පස්සෙ පොලිස් නිළධාරීන් යැයි සිතිය හැකි පිරිසක් එදින හවසම වෑන් රථයකින් සහ තවත් වාහන කිහිපයකින් ඇවිත් යකඩ පොලු අරගෙන වත්තෙ හිටපු තරුණයො පිරිසට ගහන්න උත්සාහ කළා. එහිදී නැවත වතාවක් පොලීසිය යැයි සිතිය හැකි පිරිසට වත්තෙ තරුණයො පිරිස පහර දීලා එලවලා දැම්මා. මේ සිදුවීම තමයි පසුව සිදුවුණ නීතිවිරෝධි අත්අඩංගුවට හේතුව විදිහට ප්‍රදේශයේ ජනතාව ඉදිරිපත් කරන්නෙ.
මෙම තත්ත්වයට මැදිහත් වීම නිසා ඔබට යම් බලපෑමක් පොලීසියෙන් එල්ලවෙනවා. ඒ පිළිබඳව විස්තර කළොත්
මේ තත්තවය සොයා බලලා, මේ අයව අධිකරණයට ඉදිරිපත් කරන විට ඒ සඳහා නීතිඥ සහය ලබා දීලා, ඉන් අනතුරුව මේ අයව මේ ආකාරයට අත්අඩංගුවට ගැනීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අපි මැදිහත් වුණා. නමුත් මේ අත්අඩංගුවට ගැනීමේ සිදුවීමෙන් පසුව, වනාතමුල්ල ප්‍රදේශයේ ඇතිවුණු නොසන්සුන්කාරී තත්ත්වයට වගකිව යුතු ප්‍රධාන සැකකරු ලෙස මගේ නම සඳහන් කරලා මාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් පොලීසිය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මේක ඉතාම බරපතල තත්ත්වයක්. මේ රටේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට සහ නීතිඥයන්ට තමන්ට අවශ්‍ය ආකාරයට වැඩකටයුතු කරන්න නොදී ඔවුන් අත්අඩංගුවට ගැනීමේ තත්ත්වයක් පිළිබඳව සංඥාවක් මෙයින් ලබා දෙනවා. අවසානයේ අධිකරණය වරෙන්තුවක් දුන්නෙ නැති වුණාම පොලීසිය මාව අත්අඩංගුවට ගන්නට උත්සාහ කළා. එදින පාන්දර 2.30 පමණ මගේ දෙමව්පියන් සිටින කොට්ටාවෙ නිවසත්, මගෙ ඥාතීන් සිටින රත්නපුරේ සහ නාරාහේන්පිට නිවෙස් දෙකත් එකම වෙලාවට පොලිස් කණ්ඩායම් තුනක් විසින් වටලනු ලැබුවා. මේ වැටලීම් තුනට පොලිස් නිළධාරීන් 60 දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ අය නිවාස වලට බලෙන් ඇතුළු වෙලා පරීක්ෂා කරලා තියෙනවා. මෙහිදී මම නීතිඥයෙක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වුණා. පොලීසිය විසින් මාව සෙව්වෙ මගෙන් ප්‍රකාශයක් ලබා ගන්න කියලා අධිකරණයෙදි කිව්වා. මගෙන් ප්‍රකාශයක් ලබා ගන්න මේ ආකාරයට විශාල පොලිස් නිළධාරීන් යොදවලා පාන්දර තුනට ගෙවල් වටලන නීතියක් කොහේද තියෙන්න කියලා නීතිඥවරු පොලීසියෙන් ප්‍රශ්න කලා. ඊට පසුව කටඋත්තරයක් දෙන්න බොරැල්ල පොලීසියට එන්න කියලා පොලීසිය මට කිව්වා. නමුත් මා කළ ඉල්ලීමට අනුව අධිකරණ භූමියට ඇවිත් මගෙන් කට උත්තරයක් ගන්න කියලා අධිකරණය විසින් බොරැල්ල පොලීසියට නියෝග කලා. මම දවසක් පුරාම අධිකරණ භූමියෙ සිටියා. නමුත් බොරැල්ල පොලීසියේ කිසිවෙක් මගෙන් කට උත්තරයක් ගන්න අධිකරණයට ආවෙ නැහැ.
යුධ සමයෙ උතුරු-නැගෙනහිරට පමණක් සීමා වෙලා තිබුණු මර්ධනය අද දකුණට ඇවිත් තියෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?
ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමටත්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම සඳහාත් ආණ්ඩුව උපක්‍රමශීලි ක්‍රම අනුගමනය කරමින් සිටිනවා. උතුරේ මේ මර්ධනය ක්‍රියාත්මක කිරීම අරඹන විට, ආණ්ඩුව එල්.ටී.ටී.ඊ නැමැති මහා දැවැන්ත භීතිකාවක් හදලා ඒ භීතිකාවට එරෙහිව සිංහල බෞද්ධ ජනතාව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් හදලා, එල්.ටී.ටී.ඊ එක නම් කොහොම මැරුවත් කමක් නැහැ කියන මතය හදලා තම මර්ධනය ක්‍රියාත්මක කළා. එල්.ටී.ටී.ඊ අවසන් වුණාට පස්සෙ ආණ්ඩුව පාතාලය ඒ සඳහා යොදාගත්තා. පාතාලා සාමාජිකයො කොහොම මැරුවත් කමක් නැහැ කියන මතය හදලා තමන්ගෙ මර්ධනය ක්‍රියාත්මක කිරීමට රටේ ජනතාවගේ අවසරය ලබා ගත්තා. ජනතාවගේ මානව හිමිකම් ගැන අබමල් රේණුවකවත් හිතන්නෙ නැතිව මර්ධනය කරලා ඒවා සාධාරණීයකරණය කිරීමේ ව්‍යාපෘතියක් තමයි ආණ්ඩුව ඒ ක්‍රියාත්මක කළේ. ආණ්ඩුව තමන්ගෙ මර්ධනය එල්.ටී.ටී.ඊ එකට එරෙහිව ක්‍රියාත්මක කරනකොට ඒක එතනින් නවතියි කියලා හිතපු මුලාව තමයි අද අපි අත්විඳිමින් සිටින්නෙ.මේ තත්ත්වයට මේ රටේ ප්‍රගතශීලි කොටස්, විශේෂයෙන්ම වාමාංශික ව්‍යාපාර වල කොටස් වගකියන්න ඕනෙ. ඔවුන් ආණ්ඩුවේ මේ මතය සමාජගත කරන්න ක්‍රියාත්මක වුණා. එහි ප්‍රතිපල තමයි අද අපි විඳිමින් සිටින්නෙ.
යුධ සමයේ උතුරු-නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාත්මක වූ මර්ධනය ක්‍රියාත්මක වන ආකාරයෙ සහ අද දකුණෙ සිදුවන මර්ධනය ක්‍රියාත්මක වන ආකාරයෙ වෙනසක් තිබෙනවද?
යුද්ධය සමයේ සිදුවූ මානව හිමිකම් කඩවීම් සාධාරණීයකරණය කිරීමට ආණ්ඩුව විතරක් නෙමෙයි, තවත් බොහෝ දෙනා සහයෝගය දුන්නා. නමුත් දැන් සිදුවන මානව හිමිකම් කඩවීම් වලට ආණ්ඩුව යම් සාධාරණියකරණය කරන්න උත්සාහ කරනවා. නමුත් යම් ප්‍රමාණයකට මේ රටේ ජනතාව සැබෑ තත්ත්වය අවබෝධ කරගනිමින් සිටිනවා. යුද්ධය කාලයෙ සිදුවුණු මානව හිමිකම් කඩවීම් වලට නොනිල අවසරයක් සමාජ ව්‍යාපාර, දේශපාලන පක්ෂ ලබා දීලා තිබුණා. ඒ බරපතල වැරැද්ද ඒ දිනවල කළා. අද ඒක යම් ප්‍රමාණයකට අවබෝධ කරගෙන තිබෙනවා. අද මේ මානව හිමිකම් කඩකිරීම් ආණ්ඩුව විසින් ඉතාමත්ම නිර්ලැජ්ජී ලෙස කරමින් තිබෙන තත්ත්වයක් දක්නට ලැබෙනවා. මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් කොතරම් චෝදනා තිබුණත් ඒවා නොතකමින් තමන්ට අවශ්‍ය අරමුණ ඉටුකර ගැනීම සඳහා මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටිනවා. විශේෂයෙන්ම ලංකාවට එරෙහිව ජිනීවා වල යෝජනාව ඉදිරිපත් වුණු කාලය ඇතුළත පවා 29 දෙනෙක් ලංකාව තුළ අතුරුදහන් වෙලා තියෙනවා. මේකෙන් පැහැදිලි වෙන්නෙ ආණ්ඩුවට පවතින පාලනය පවත්වගෙන යන්න මේ පැහැර ගැනීම් අද අත්‍යවශ්‍ය බවට පත්වෙලා තියෙනවා කියන එකයි. මෙහිදී තනි තනි පුද්ගලයා පැහැර ගැනීම ඇතුළේ ඒ ඒ පුද්ගලයාව නිහඬ කරීමට අමතරව ඒ නිහඬ කිරීම හරහා සමාජයට යම් සංඥාවක් දීම අත්‍යවශ්‍ය යැයි ආණ්ඩුව විසින් සලකනවා.
උදුල් ප්‍රේමරත්න
මානව හිමිකම් සඳහා ක්‍රියාකාරිකයෝ සංවිධානය
(සාකච්ඡාවක් ඇසුරෙනි)