පසු ගිය දා දඹුල්ලේ පිහිටි මුස්ලිම් පල්ලියක් කඩා විනාශ කෙරුණි. තවත් හින්දු කෝවිලක් බලහත්කාරයෙන් ඉවත් කරන බවට තර්ජනය කොට තිබේ. මේ මැර ප්‍රහාරය සහ තර්ජනය පෙරමුණේ සිටියේ, ගෞතම බුදුන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් යැයි කියාගන්නා භික්ෂූන් පිරිසකි.
එවැනි එක් බුද්ධ පුත්‍රයෙක් තමාගේ සිවුර ගලවා උඩ පනිමින් මේ ප්‍රචණ්ඩත්වයට ජනතාව උසිගැන්නුවේය. විනාශය අවසානයේ මේ භික්ෂූහූ පිරිත් සජ්ජායනා කළහ. ජනතාව සාධුකාර දුන්හ.
සාමාන්‍ය ජීවිතයේ හැසිරීම කෙසේ වෙතත්, කැමරාවක් ඉදිරියේ හැසිරීමේ දී, සිවුර ගලවන මොහොතේම එය දෘෂ්‍ය මාධ්‍යයෙන් විදාරණය වන බව මේ පිරිස නොදැන සිටියේ යැයි සිතිය නොහැකිය. එහෙත්, ආධ්‍යාත්මික හරය හල පිරිසක්, භික්ෂූත්වය යනු වර්ගයක්, ජාතියක් සහ භාෂාවක් තුළ ආයතනගත වීමක් වශයෙන් සලකන පිරිසක්, බුදුන්ටත් බුදුන්ගේ ධර්මයටත් වඩා තමාගේ වරිගය උසස් යැයි සළකන පිරිසක්, කැමරාවක් ඉදිරියේ නොව, බුදුන් වහන්සේගේ ශ්‍රී නේත්‍රා අභියසම වුව මෙසේම හැසිරෙනු ඇත. මන්ද යත්, බුදුන්වහන්සේ සිංහලයෙකු නොවන බැවිනි. ලෝකයේ ”පිරිසුදුම ථේරවාදී බුද්ධාගම” යැයි ඇතැමුන් අද හඳුන්වන්නේ මෙවැනි ගෝත්‍රික බුදු දහමකි.
දඹුල්ලේ දර්ශනය දැකීමේ දී කෙනෙකුගේ කල්පනාවට නැගුණේ, ඉන්දියාවේ විවිධ අවස්ථාවල සිදුව ඇති හින්දු මුස්ලිම් ගැටුම් තුළ දස දහස් ගණනින් එකිනෙකා මරා ගත් අතීත ඝෝර චිත්‍රයක මතකයකි. ලංකාවේ බෞද්ධ භික්ෂුවගේ වර්තමාන ගමන් මග මේ ඉන්දියානු මාවතට හෝ තලිබාන් ගමන් මගට පිවිසීමට දැන් ඉතා ආසන්න යැයි කෙනෙකුට සිතුණොත් එහි පුදුමයක් නැත.
යුද්ධය ආරම්භයටත් පෙර සිටම මේ ලියුම්කරු තදින් විශ්වාස කළ එක කාරණයක් තිබුණි. එනම්, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම යන වෙළඳ දැන්වීම යටතේ ක්‍රියාත්මක වන යුද්ධයක ජයග්‍රහණය, සිංහල}බෞද්ධ ස්වෝත්තමවාදයකින් මෙහා නතර වීමට කිසි ඉඩක් නැති බවයි. එය, මේ අවස්ථාවේ නැවත පැහැදිළි කිරීමක් අවශ්‍ය නොකරන, වෙනත් නොයෙක් අවස්ථාවල අවශ්‍ය පමණට කතා කොට ඇති, දීර්ඝ කතාන්දරයකි.
ඒ නිසා, ආ ගිය කතා පසෙකින් තබා, ඇති වූ සිද්ධිය දෙසට හැරෙමු.
මේ සමස්ත සිද්ධිය එදා මෙහෙයැවූයේ දඹුලූ විහාරාධිපති ඉනාමලූවේ සුමංගල හිමියන් ය. පොලිස් නිලධාරියාට සහ ප්‍රාදේශීය ලේකම්වරියට උන්වහන්සේ දුන් නියෝග දෙස බලන විට, කෙනෙකුගේ මතකයට එන්නේ, මර්වින් සිල්වා අමාත්‍යවරයා සිවුරක් දරාගෙන සිටියේ නම් කෙබඳු වේ දැ යි සිහියට නංවන සිතුවිල්ලකි. ප්‍රාදේශීය ලේකම්වරිය අමතා ඔහු දුන් නියෝග දෙස බලන විට, ඇගේ පැත්තෙන් වැඩේ දුරදිග ගියේ නම්, ඇයව අල්ලා ළඟ ඇති ගසක බැඳීමට වුවත් එතුමන් පසුබට නොවෙති යි කෙනෙකුට සිතුණ තරමි. මේ ප්‍රචණ්ඩත්වය සමනය කිරීමට උත්සාහ කරන එක් උසස් පොලිස් නිලධාරියෙකු අමතා උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ: ”වියදමක් යන වැඩක්.. දැන් මේ, ශ්‍රමදානෙන් වැඩේ කරලා දෙන්නනේ අපි හදන්නේ. ඉතිං ආණ්ඩුව අපිට උදව් කරන්න එපායැ..” බෞද්ධ භික්ෂුවක් මේ දේශනා කරන්නේ කුමක් ද? තමන්ගේ චන්ඩි කමින් මුස්ලිම් දේවස්ථානය සහ හින්දු කෝවිල ”ශ්‍රමදානයෙන්” විනාශ කර දැමීම, ”අනවශ්‍ය වියදම්කාරී” ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ඨත්වයට වඩා යෝග්‍ය බව ය. සාදු. සාදු. සාදු…
මේ අතරේ එක් අහිංසක කාන්තාවක් එම හිමියන්ට කරුණු පැහැදිළි කර දීමට ඉදිරිපත් වෙයි: ”මං නං පුංචි කාලේ ඉඳං මේ කෝවිල මෙතන තියෙනවා, අපේ හාමුදුරුවනේ..” යි ඈ එකත්පස්ව කියන විට එතුමන් පෙරලා ප්‍රශ්න කරන්නේ, ”ඒ කියන්නේ, 1800 ගණන්වල සිට ද?” යන උපහාස පැනය අකාරුණිකව ඇය වෙත දමා ගැසීමෙනි. ඉන් පසු එතුමන් එම කාන්තාව අමතා නිකුත් කරන අවසාන නිවේදනය මෙසේය: ”කෝවිල උඹලා අයින් කර ගනිල්ලා. නැත්නං අපි ඇවිල්ලා උඹලාගේ ගෙවලූත් අයින් කරලා දානවා. උඹලාගේ දෙවියන් වහන්සේ කැමති තැනකට වැඩමගෙන පලයල්ලා..”
බෞද්ධ භික්ෂුවකට තබා බෞද්ධ ගිහියෙකුටවත් තරම් නොවන එවැනි අශෝභන ආකාරයකින් එතුමන් හැසිරුණේ ඇයි? දඹුල්ල, බෞද්ධ ශ=ද්ධ භූමියක් වශයෙන් සැළකෙන නිසා ය. එවැනි බෞද්ධ භූමියක අන්‍යාගමිකයන්ගේ දේවස්ථාන නොතිබිය යුතු බවට ඇති අබෞද්ධ විශ්වාසයක් නිසා ය.
ආගම පිළිබඳ මූලධාර්මික කාරණයක් වශයෙන් ගත් කල මේ භික්ෂූන් වහන්සේගේ තර්කය සහසුද්දෙන්ම බෞද්ධ විරෝධී ය. බුදුන්ගේ සදහම් ධර්මය තුළ පැනෙන, (අනෙකා) ඉවසීම සහ අවිහිංසාව වැනි උත්කෘෂ්ටයන් මොහොතකට පසෙකින් තැබුවත්, උන්වහන්සේගේ ජීවමාන භාවිතය සහ ආදර්ශය තුළින්ම මේ තර්කය සපුරා නිෂේධ කොට ඇත. බුදුන් වහන්සේ වැඩ විසූ ෙජ්තවනාරාමයට අල්ලපු වත්තේ තිබුණේ, ඌරන් මරණ ඌරු කොටුවකි. චුන්ද සූකර නම් වු මේ ඌරු කොටුකාරයා තමන්ගේ ජීවිත කාලය තුළ කිසි දවසක බුදු බණ අසන්නට ආවේ නැත. පන්සලට අල්ලපු වත්තේ කෙරෙන තමන්ගේ ප්‍රාණඝාත කර්මාන්තය කිසි දවසක නතර කෙළේ ද නැත. එසේ තිබිය දී පවා, බුදුන් වහන්සේ ඒ ඌරු කොටුව තමාගේ ශ=ද්ධ භූමියෙන් ඉවත් කරන්නැ යි ඌරු කොටු හිමියාගෙන්වත්, එදා රාජ්‍ය පාලකයන්ගෙන්වත් ඉල්ලා සිටියේ නැත.
මේ ෙජ්තවනාරාමය අනිත් පැත්තේ තිබුණේ, නිඝණ්ඨයන්ගේ ආරාමයකි. එහි ඝෝෂාකාරී යාතිකා නිසා තමන්ගේ බණ භාවනාවට බාධා පැමිණෙතැ යි වරක් එක් භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේට පැමිණිලි කොට සිටි විට උන්වහන්සේගේ පිළිතුර වුණේ, අදාළ පාලකයන්ට ඒ ගැන කරුණු පහදා දෙන ලෙස මිස, උපාසික උපාසිකාවන් උසිගන්වාගෙන ගොස් නිඝණ්ඨයන්ගේ ආරාමය බිමට සමතලා කරන ලෙස නොවේ.
කෙසේ වෙතත්, ආගම පිළිබඳ එවැනි ප්‍රායෝගික සහ මූලධාර්මික කාරණා පසෙකින් තැබුවොත්, නූතන සමාජයේ ප්‍රජාවන් අතර ආගම සම්බන්ධයෙන් හතුරු ආකල්ප හෝ ගැටුම් ඇති විය හැකි පසුබිමක් තුළ, එක් ආගමික ප්‍රජාවක් ප්‍රකෝප ගැන්වෙන ආකාරයෙන් වෙනත් පසමිතුරු ආගමික සංස්ථා එම අවකාශය තුළ ගොඩනැගීම යෝග්‍ය නැති බව අප පිළිගත යුතුය. උදාහරණයක් වශයෙන් ගතහොත්, යාපනේ වර්තමාන හින්දු පරිසරය තුළ අළුතෙන් බෞද්ධ සිද්ධස්ථාන හෝ බුද්ධ ප්‍රතිමා පිහිටුවීම යෝග්‍ය නොවන්නා සේ ය.
එහෙත් මෙම සිද්ධියට අදාළ දඹුල්ලේ මුස්ලිම් පල්ලිය සහ හින්දු කෝවිල අළුත් ගොඩනැංවීම් නොවේ. ඒවා අවුරුදු 50 කට ආසන්න කාලයකට හෝ ඊටත් වැඩි අතීත ඉතිහාසයකට උරුමකම් කියයි. එසේ නම්, දඹුල්ලේ භික්ෂූන් වහන්සේලාට මෙම පල්ලිය සහ කෝවිල විශේෂයෙන් අද දවසේ ප්‍රශ්නයක් වුණේ කෙසේ ද? උත්තරය වෙන කිසිවක් නොව, සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින ගිහි පැවිදි පොල්මක්කාරයන් අද පෙළෙන යුද ජයග්‍රහණයේ උන්මාදය යි.
මේ කියන ”ශ=ද්ධ භූමි” සංකල්පය දෙස තවත් සමීපව අප විමසා බැලූවොත් අප ඉදිරියේ මැවෙන්නේ ඇත්තෙන්ම හාස්‍යාකාර දර්ශනයකි. ලංකාවේ බෞද්ධ විහාර අතුරෙන් බොහොමයක, කේන්ද්‍ර බැලීම, අණවිණ කොඩිවිණ කිරීම, දෙවියන්ට කන්නලව් කිරීම, පොල් ගැසීම වැනි අබෞද්ධ සහ මිථ්‍යා අභිචාරයන් සිදුවන බව කවුරුත් දනිති. ඉනාමලූවේ සුමංගල හිමියන්ගේ දඹුලූ විහාරය තුළ පවා, විෂ්ණු දෙවියන්ගේ සහ ගණ දෙවියන්ගේ ප්‍රතිමා දෙකක් සහිත හින්දු දේවාල ඇත. ඊට අමතරව, හින්දු විශ්වාසය මත පොල් ගසන අඩවියක් ද ඇත. ඉතිං, තමාගේ පන්සල ඇතුළේම හින්දු දේවාල සහ හින්දු භක්තිය නඩත්තු කරන ඉනාමලූවේ සුමංගල හිමියන්, පන්සලට පිටතින් පිහිටි එවැනිම තවත් හින්දු කෝවිලක් ”බෞද්ධ ශ=ද්ධ භූමියක” නාමයෙන් ඉවත් කළ යුතු යැයි කියන්නේ කුමන තර්කයක් උඩ ද?
දිවි හිමියෙන් ආරක්ෂා කරගත යුතු යැයි කියන මේ ”ශ=ද්ධවන්ත භාවය” වර්තමාන දේශපාලන මනෝභාවය විසින් ඉල්ලා සිටින ගෝත්‍රික සම්මාදමක් මිස මොන ලෙසකින්වත් බුදුරජාණන් වහන්සේගේ උත්තුංග ධර්මයට සම්බන්ධ දෙයක් නොවන බව මේ කරුණු අනුසාරයෙන් අපට අවබෝධ විය යුතුය. එම දේශපාලන මනෝභාවය තුළ, බෞද්ධ නොවන සිංහලයාටත්, විශේෂයෙන් දෙමළ ජාතිකයාට සහ මුස්ලිම් භක්තිකයාටත් ඇත්තේ, හැම අතකින්ම ඇහිරුණු ඉඩකඩක් පමණි.
ගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]