[Photo by – Sampath Samarakoon]
දේශප්‍රේමය නම් වූ මහාකථාව විසින් කණ්ඩනය කරවූ ශ්‍රී ලංකීය සමාජයේ සියළු චූල කථාවන් ද අවසානයේ සේවය කරන්නේ ඉහත මහා කථාවටමය. ඒනිසාම විටින් විට නැගෙන අතුරු කතාන්දර ඔස්සේ මේ මෙහොතේ සමාජ විඥානය සහ එම සමාජයට මතවාදයන් එන්නත් කරනා කණ්ඩායම් හි දේශපාලන ආස්ථානයේ මහා කථාව නැතිනම් ඔවුන් විසින් පින්තාරු කරමින් සිටිනා මහා චිත්‍රය නිරාවරණය වේ.
උන් සහ අපි
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාදරයන් දෙපලක් රාජපක්ෂ රෙජීමයේ නිල – නිල නොලත් සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැර ගැනීමෙන් අනතුරුව එතෙක් පැවති පැහැර ගැනීම් සම්බන්ධයෙන් වූ සමස්ථ කථාවම වෙනස් කරවීය. ජනමාධ්‍යවේදීන්, බුද්ධිමතුන්, සිවිල් ක්‍රියාධරයන්, දේශපාලන පක්ෂ සහ ඒ මොහොතට සවිඥානිකවූ සැවොම එක පෙළක සිටගත්හ. දේශාපලන විවේචනයන් තිබියදී පවා එලෙස පැහැර ගැනීම් වලට විරුද්ධව එක පෙළක සිට ගැනීම පැසසිය යුතු කරුණකි. එම සියල්ලන්ගේ එකතුවෙන් මාධ්‍ය සාකච්ඡා විශාල ප්‍රමාණයක් පැවතුණි.
භූමියේදී කුමාර් – දිමුතු නිදහස් කරගැනීම වෙනුවෙන් සියල්ල සිදුවෙමින් පැවති අතර ඕස්ට්‍රේලියානු රජයද තම පුරවැසියකු වෙනුවෙන් උපරිම මැදිහත් වීම සිදුකලේය. අවසානයේ දේශීය හා විදේශීව නැගී ආ බලපෑම ඔස්සේ කුමාර් – දිමුතු නිදහස් කිරීමට රාජපක්ෂ රෙජීමයට සිදුවිය. ඒ දැන් අප සැවොම දන්නා කථාවයි.
ඉන්පසු දින කීපයක් ගත විය. අප්‍රේල් 13 වැනිදා සවස සිවලිංගම් සිකුමාර් නම් දෙමළ තරුණයෙකු පැහැර ගනු ලැබුණි. ඉන් දින 05 කට පසුව එනම් අප්‍රේල් 18 වැනිදා ඔහුගේ මළ සිරුර යාපනයේ තොන්ඩමනාරු ප්‍රදේශයේ ළිදකින් හමුවිය. එදා කුමාර් ගේ පැහැර ගැනීම වෙනුවෙන් නැගීසිටි සිවිල් ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂ, බුද්ධිමතුන්ට පමණක් නොව පැහැර ගැනීමට ලක්වූ කුමර් ගුණරත්නම් නියෝජනය කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තවත් එක් පැහැර ගැනීමක් පමණක් විය. කුමාර් ගුණරත්නම් පැහැර ගැනීම පිළිබඳ ලිපි සහ පුවත් පුරවා තිබූ ලංකා වීව්ස් වෙබ් අඩවියට සිවලිංගම් පැහැර ගැනීම සහ මරාදැමීම අමතක විය. ලලිත් – කුගන් සහොදරවරු වෙනුවෙන් පෙනීසිටි කිසිවෙක් සිවලිංගම් වෙනුවෙන් පෙනී සිටින්නට ආවේ නැත. කුමාර් ගුණරත්නම් පැහැර ගැනීම වෙනුවෙන් මාධ්‍ය පෙළහැර පෑ මාධ්‍යටද සිවලිංගම් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම එතරම් වැදගත් ප්‍රවෘතියක් වූයේ නැත. එදා කුමාර් ගුණරත්නම්ගේ ජීවිත අයිතිය තහවුරු කරන්නට යැයි හඬ නැඟු බහුතරයකට ඓතිහාසික අමතක වීමේ රෝගය මෙවරද වැළදිනි. එනම් උතුරේ සිදුවන පැහැර ගැනීම් දකුණේ සමාජය තුළ සාමාන්‍යකරණය වී තිබීමේ බෝවන රෝගයයි.
T -20 සහ නැගෙණහිර
මේ මොහොතවන විට නැගෙණහිර පළාතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් 230 කට ආසන්න පිරිසක් ද මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 50 කට අධික පිරිසක් ද ආරක්ෂක අමාත්‍යංශ හදිසියේ නිකුත්කරන ලද නියෝගයකට අනුව අත්අඩංගුවට ගෙන ඇත. මේ පිරිස් මේවන විට කාන්තා සහ පුරුෂ ලෙස වෙන්කර වව්නියාව සහ වැලිකන්ද ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුරු වල රඳවාගැනීමේ නියෝග මත තබාගෙ සිටී.
මේ සම්බන්ධයෙන් ජනාධිපති රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින්, මේ පිරිස් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ දෙමළ ජාතික සංධානය පමණි. වෙනත් කිසිඳු දේශාපලන පක්ෂයක් මෙයට අවධානය යොමුකලේ නැත. ඒ නැගෙණහිර කථාවයි.
T -20 කතාව ඔස්සේ මේ කථාවේ දේශපාලනික සන්දර්භය තේරුම්ගත හැකිය. බොරැල්ල වනාතමුල්ලේ T -20 වත්තෙහි තරුණයන් 33 ක් පොලිසීය විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ නීතිඥයා ඉතා උද්යෝගයෙන් කටයුතු කරනු පෙනුනි. එයට මැදිහත් වීම සම්බන්ධ වූ ගෞරවය එලෙසම තබාගෙනම කථාව රැගෙන පෙරට යන්නෙමි. මෙම තරුණයන් අත්අඩංගුවට ගැනීම දැඩි ලෙස ප්‍රශ්ණ කිරීමක නිරත වූ තරුණ නීතීඥයා හට මේ සම්බන්ධයෙන් පෙනීසිටීම නිසා අයුතු ජනරාශී යනුවෙන් පොලීසිය නැගූ චෝදනා හමුවේ අධිකරණයේ පෙනීසිටින්ට පවා සිදුවිය. මෙම වනාතේ සිද්ධිය සම්බන්ධයෙන්ද වාමාංශිකයින් සහ සියලු දේශාපලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන් බොහෝ උනන්දුවෙන් කටයුතු කළහ.
නමුත් ප්‍රශ්ණය මතුවන්නේ එතැනින්මය. නැගෙණහිර දමිළ වැසියන් විශාල පිරිසක් අත්අඩංගුවට ගන්නා විට නිහඬ, නොදුටු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නටත් වනාතමුල්ල T -20 වත්තේ තරුණයන් අත්අඩංගුවට ගැනීමේදී ඒ අසාධාරණය සඳහා සක්‍රීව පෙනීසිටින්නටත් බලපාන හේතුව කුමන්ද? පන්ති අරුතින් ගත්ත ද නැගෙණහිර පීඩිතයා වෙනුවෙන් පෙනීසිටීම සහ කොළඹ පීඩිතයා වෙනුවෙන් පෙනී සිටීම කණ්ඩනය කරනා රේඛාව ඔස්සේ ඔවුන්ගේ දේශපාලන භාවිතයේ අවිඥානික සංඛේතය මතුවී පෙනේ. නැගෙණහිර පීඩිතයා වෙනුවෙන් පෙනීසිටීම දකුණේ ඉදිරි ඡන්ද පදනමක හෝ ඉදිරි දේශාපලන ක්‍රියාකාරකම් වෙත බලපානු ඇතැයි මේ සමාජවාදීන් ද පූර්ව නිගමනයක සිටින නිසාද යනුවෙන් ප්‍රශ්ණය අප හමුවේ අභිමුඛව පවතී. වනාතේ සිදුවීම සම්බන්ධව එකපිට එක නව යවත්කාලීන කිරීම් සිදුකළ පෙරටුගාමී පක්ෂයට ලැදි ලංකා වීව්ස් වෙබ් අඩවිය නැගෙණහිර සිදුවීම වාර්තාකර තිබුණේ නැගෙණහිර ගුරුවරයෙකු ඇතුළු 200 දෙනෙක් අත්අඩංගුවට ගෙන ‘ලු’ යනුවෙනි.
රෙස්ට් ගැනීම සහ රෙස්ට් දීම
මහජන පුස්ථකාලයේ මේ මැත දිනකදී සඟරාවක් එළිදැක්වීමේ උත්සවයකට සහභාගී වෙමින් සිටියදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විප්ලවාදී තරුණ නීතීඥ මහතෙක් අතීතයේදී දමිළ ජනතාවගේ අරගල වෙනුවෙන් විප්ලවකාරී ව්‍යාපාරයකට සම්බන්ධව සිටි සහෝදරයෙකුගෙන් මෙලෙස විමසයි.
නීතීඥ මහතා – මොකද කරන්නේ මේ දවස්වල
සහෝදරයා – සිනාසෙයි
නීතීඥ මහතා – ආයේ මොකකටවත් සම්බන්ධවෙන්න අදහසක් නැතිද?
සහෝදරයා – සිනාසෙයි
නීතීඥ මහතා – මේ දවස්වල රෙස්ට් ගන්නවද?
සහෝදරයා – සිනාසෙයි
නිතිඥ මහතාගේ සියළු ප්‍රශ්ණයන්ට සහෝදරයා පිරිනැමූ සිනහව අපට ඊළඟ අතුරු කථාව කියනු ලබයි. එහි නැවත නැවත ප්රතිරාව නංවන ප්‍රශ්ණය මේ දවස්වල රෙස්ට් ගන්නවාද යන්නයි.
විප්ලවවාදී නීතිඥ මහතා අමතක කරනු ලැබුවේ පසුගිය කාලයේ පෙනීසිටි මතවාදය ඔස්සේ ඉහත සහෝදරවරු පිරිසට දුන් රෙස්ට් එක පිළිබඳවය. එනම් ඔවුන් සිංහල කොටි වන්නේද නීතීඥ මහතා දේශප්‍රේමීයෙක් වන්නේද එම රෙස්ට් එක ඔස්සේය. එලෙස ඔවුන් විසින් පෝෂණය කරවූ මතවාදය විසින් ඒ සහෝදරවරුන්ට රෙස්ට ලබාදුන්නේ සප්ත වාර්ශිකවය. එනම් යාපනය සහ තවත් බන්ධනාගාර රාශියක තබමිනි. දැන් ඔවුන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය පවා අහිමි වී ඇත්තේ මේ විප්ලවවාදී නිතීඥ මහතුන්ගේ මතවාදයට පින්සිදු වන්නටය.
දැන් මේ මොහොත් මේ නීතිඥ මහතාට අනුව ඔහු දේශපාලනික වශයෙන් කන්‍යාවියකි. තමන් විසින් දමිළ ජනතාවේ අරගලය විනාශකර දැමීමේ ඉතිහාසය වෙනුවට ඔහු විසින් තමන් කැමති පරිදි තමන්ගේ ඉතිහාසය ප්‍රබන්ධයකට ගොනුකර ඇත. ඔහු අපටද බලකර සිටින්නේ ඒ ප්‍රබන්ධය පිළිගන්නා ලෙසයි.
දැන් මේ තරුණ නීතීඥ මහාතට අනුව දෙමළ අරගලය විනාශ කිරීමට, 40,000 ක පමණ දෙමළ වැසියන් පිරිසකගේ ජීවිත ඝාතනය කිරීමේ කිසිදු ක්‍රියාවකට තමන් සම්බන්ධ නොමැත. නමුත් ප්‍රායෝගික දේශපාලනයේදී එලෙස ප්‍රබන්ධ ඉතිහාසයන් සමග දේශාපාලනයේ යෙදිය නොහැකිය. අවම මට්ටමින් අප විසින් අතීතයේ සිදුකරනු ලැබුවේ කුමන්ද යන්න සම්බන්ධයෙන්වත් ස්වයං විවේචනාත්මකව නැවත හැරී බැලීමක් කළ යුතුය.
එම අතුරු කථා ත්‍රිත්වය ඔස්සේම නැවත නැවත මතුකරනා කාරණායද එය වෙයි. ඒ තමන් ද තවම සිදුකරමින් සිටින්නේ පැරණි කථාවම වෙනත් පාටක පෑනකින් ලියමින් සිටින බවයි. මේ අතුරු කථා කියනා පැහැදිලි සරල සත්‍යනම්, ජාතිකවාදී ඩීඑන්ඒ වලින් තමන්ට මිදීමට දුෂ්කරතාවය යි නොහැකි බවයි.
අතීතයේ දේශපාලනික වැරදි නොකල පුද්ගලයන් නොමැත. එය සත්‍යකි. නමුත් ප්‍රශ්ණය වර්තමාන ක්‍රියාකාරීත්වය ඔස්සේ එම වැරදි නිවැරදි කරගැනීමට උත්සුක වන්නේද ඒ වෙනුවෙන් වූ අවංක මැදිහත්මක් සිදුකරන්නේද යන්නයි. එසේ නොමැතිව දේශපාලනික චේස් ක්‍රිඩාවේ තවදුරටත් යෙදෙන්නේනම්, එම ක්‍රීඩාවේ අවසන තවත් ජීවිත විශාල සංඛ්‍යාවකට වගකියනු ඇති බවයි.
දකුණේ දෛනික ජීවිතයේ ප්‍රශ්ණ සියල්ල වෙනුවෙන් පෙනී සිටිනා සිටිනා රැඩිකල් වාමාංශිකයන් උතුරේ සහ නැගෙණහිර දෛනික ජීවිතයේ අරගලය සහ ඒ පීඩනය අමතක කිරීම යනු ඉතිහාසයේ වැරදි නැවත් නැවතත් තමන්ගේ දේශපාලන ව්‍යාපෘතීන් තුළ ප්‍රතිනිර්මාණය කිරීමකි.
ක්‍රිශාන් රාජපක්ෂ[Krishan Rajapaksha]