සිංහල, Democracy, Features, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Puttalam

සිංහල පුවත්පත් තුළින් මතුවූ බෑන් කී මූන්ගේ කඳවුරු මතවාදය


යුද නිමාවට මත්තෙන් කී රජයේ ගණන් හිලව්වලට වඩා වැඩි දෙමළ සිවිල් ජන සංඛ්‍යාවක් මේ වන විට වව්නියාව අවතැන් කඳවුරු තුළට පැමිණ තිබේ. රජයට අභියෝග කරමින් ඒ ගණන ලක්‍ෂ තුනකට(300000) ආසන්න වී ඇත. මේ වන විට කඳවුරුගත අහිංසක සිවිල් ජනතාවට අවශ්‍ය, අත්‍යවශ්‍ය සහනසේවා සැළසීම ප්‍රායෝගික ගැටළුවක් බවට පති වී ඇති බව දේශීය හා විදේශීය මාධ්‍ය නිරීක්‍ෂණයේ දී ප්‍රත්‍යක්‍ෂ වේ.
කෙසේ වෙතත් රජය පවසන පරිදි මේ සියළු කඳවුරු තුළ කිසිදු ගැටළුවක් නොමැත. නමුත් රජය තෝරාගත් පාර්ෂවයනට හැරෙන්නට වෙනත් කිසිදු පාර්ෂවයකට මේ කඳවුරු නිරීක්‍ෂණය කිරීමට අවස්ථාවක් ලබා නොදෙන තත්වයක් ද පවතින බව පැවසේ . මේ සම්බන්ධයෙන් මානව හිමිකම් පෙත්සම් ද මේ වනවිට අධිකරණයේ විභාග වෙමින් පවතී. තත්වය මෙසේ තිබියදි කඳවුරු තුළ ඇති සත්‍ය තත්වය සියැසින් දැක බලා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට විවෘත්ත ආරාධනයක් පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස හෝ වෙනත් හේතුවක් මත එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා වව්නියා අවතැන් කඳවුරු තුළ සංචාරය කරණු අපට දැකගත හැකි වුණි.

බෑන් කී මූන් මහතා මේ වව්නියා සහනගම්මාන නිරීක්‍ෂණයෙන් අනතුරුව කළ කී දෑ සිංහල පුවත්පත් විසින් වාර්තා කරණු ලැබුවේ කෙසේ ද? යන්න පිළිබඳව සොයාබැලීම මේ නිරීක්‍ෂණ වාර්තාවේ මූලික අභිලාසයයි. ඒ සඳහා 2009 මැයි මස 25 වැනි දින සිට මැයි 31 දක්වා වු කාල පරාසය තුළ පල වූ සිංහල පුවත්පත් 31ක් උපයෝගී කරගෙන ඇත. ඒ අනුව ප්‍රධාන ධාරාවේ දෛනික පුවත්පත් 04ක් සහ සති අන්ත පුවත්පත් 07ක් භාවිතයට ගෙන ඇත.

මැයි 25 වැනි දින ‛‛ලංකාදීප’’ පුවත්පත මේ හා සම්බන්ධ පුවතක් වාර්තාකර ඇත. එහි සිරස්තලය ‛‛අවතැන් වැසියන් යළි පදිංචිකරවීමේ රජයේ වෑයමට පූර්ණ සහය ලබාදෙනවා : එ.ජා. මහලේකම්වරයා වවුනියාවේ මැණික්ෆාම් අවතැන් කඳවුරුවලදී කියයි (පි. 6)’’ ලෙස දැක්වේ. ඒ වගේම කලාප අංක 4 සහන ගම්මානයේ එල්ටීටීඊ ප්‍රහාරවලින් තුවාල ලබා සිටින සිවිල් වැසියන්ගේ සුවදුක් බැලීමට ද ගොස් ඇති බව වාර්තාකර ඇත. මේ වාර්ථාව කියවන විට පෙනීයන ප්‍රධානතම කාරණය වන්නේ අවතැන් ජනයා වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සිදුකරන කාර්යභාරය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුටුවන බව සහ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියට තමන් උපරිම සහය දක්වනවා යන හැඟවීම ය.

මැයි 26 වැනි දින ‛‛ලංකාදීප’’ පුවත්පතේ කතුවැකිය තුළින් ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සුබදායි ස්ථාවරය පිළිබඳව යළි සාකච්ඡාකර ඇත. මේ කතුවැකියේ දැක්වෙන්නේ ‛‛අවතැන්වූවන් ගැන ඇතැම් රටවලින් දෙබිඩි පිළිවෙතක් ඇයි?’’ යනුවෙනි. ලංකාවේ මානුෂීය කාර්යභාරයට මූන් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහයෝගය ලබාදෙන බව පවසා තිබීම සහ වෙනත් රටවල යුධමය ගැටුම් නිසා අවතැන් වි සිටින ජනතාව පිළිබඳව කතා නොකරමින් ලංකාවේ ජනයා ගැන පමණක් කතාකරන සමහර රටවල් හා සංවිධාන පිළිබඳව උබතෝකෝටියක් ඇති බව මේ කතු වැකිය තුළින් මතුකර පෙන්වා දී ඇත.

මැයි 25 වැනි දින ‛‛ලක්බිම’’ පුවත්පත මේ සම්බන්ධ පුවතක් වාර්තාකරමින් ‛‛ලංකාදීප’’ පුවත්පත වාර්තා නොකළ ඇතැම් කරුණු පෙන්වා දීමට ගෙන ඇති උත්සාහය පැසසුම් සහගතය. එහි සිරස්තලය දැක්වෙන්නේ ‛‛ඉතිහාසයේ සිදු වූ බිහිසුණු සිදුවීම් නැවත නොවීමට සියලු දෙනා එක් වී සුළු ජාතීන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදිය යුතුයි : බෑන් කී මූන් (පි. 1)’’ මේ පුවත මුල්පිටුවේ පල කරමින් හා වැඩි ඉඩක් වෙන්කිරීම තුළින් ප්‍රවෘත්තියට වැඩි වැදගත්කමක් ලබා දී ඇති බව පෙනේ. මහනුවර ක්වීන්ස් හෝටලයේදි 23 දා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බෑන් කී මූන් මහතා පල කළ අදහස් මේ පුවත සඳහා පාදක වී ඇත. මෙයින් වාර්තාකර ඇති කරුණු ඉතාමත් කෙටියෙන් දක්වතොත්,

ස්ථිරසාර සාමයක් හා ජාතික ඒකාබද්ධතාවය ඇති කරිම සඳහා රජය විසින් කඩිනම් දේශපාලන ක්‍රියාදාමයක් ක්‍රියාවට නැංවිය යුතු බව,
කිසිදු බාධාවකින් තොරව සහන සැලසීම සඳහා අවතැන් කඳවුරුවලට යාමට එක්සත් ජාතීන් ඇතුලු සහන සිංවිධානවලට අවස්ථාව ලබාදිය යුතු බව,
මේ ජනතාව සම්බන්ධයෙන් කළයුතු දේ හා රජයට කළ හැකි දේ අතර විශාල පරතරයක් ඇති බව,
වැසියන් වෙනුවෙන් රජය හැකි උපරිමයෙන් ලබාදෙන පහසුකම් වෙනුවෙන් තමා සතුටුවන බව පවසා ඇති බව,

මීට අමතරව මෙදිනම ‛‛ලක්බිම’’ කතුවැකිය තුළින් ද මේ සම්බන්ධ ප්‍රවෘත්තිය සාකච්ඡා කිරීමට උත්සහ කර ඇත. ‛‛පිහිට වන්නට එන පිටස්තර සංවිධාන’’ යන හිසෙන් බෑන් කී මූන් මහතා කළ ප්‍රකාශයන් පිළිබඳව ද විමර්ශනය කර ඇත. එය පහත පරිදි කෙටිකර දැක්විය හැකිය.
අවතැන්වුවන්ට සහන සැලසීමේදි රජය උපරිම වශයෙන් කැපවෙන බව පෙනෙන්නට තිබෙනවා.
මේ කඳවුරු තුළ අඩුපාඩු රැසක් තිබෙන බව තේරුම්ගන්නට අපහසු නැති බව,
මේ අඩුපාඩු සියල්ල සපුරා ගැනීමට ශ්‍රී ලංකා රජයට අවශ්‍යතරම් සම්පත් නැති බව,
කළයුතු දේ හා කළහැකි දේ අතර විශාල පරතරයක් ඇති බව,
මේ පරතරය පියවා ගැනීමට දේශපාලන පක්‍ෂ වල හා ජාත්‍යන්තර සංවිධාන වල සහය අවශ්‍ය බව,
මේ නිසා කිසිදු බාධාවකින් තොරව මේ අයට එහි යාමට අවසර දිය යුතු බව,

නමුත්

‛‛පිටස්තර සංවිධාන වලට භාධාවකින් තොරව එහි ගමන්කරීමට අවස්ථාව ලබාදිය යුතුය’’ යන කියමන සම්බන්ධව මේ කතු වැකිය වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙනේ. බෙදුම්වාදයට යටින් උඩගෙඩි දෙන සංවිධාන හා රාජ්‍යයන්ට, එල්ටීටීඊයට සහය ලබාදුන් ඊනියා සහන සංවිධාන පිළිබඳ විමසා බලන විට මේ අයට කිසිදු බාධාවකින් තොරව මේ කඳවුරුතුළ ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදීමට කර ඇති යෝජනාව පිළිබඳව කිහිප වතාවක්ම සිතා බැලිය යුතු බව මේ කතු වැකිය තුළින් පෙන්වා දෙනු ලැබේ.

සත්‍ය තොරතුරු ඇත්ත ඇති සැටියෙන් වාර්තාකිරීමේ හා පක්‍ෂපාත නොවීමේ මාධ්‍ය භාවිතාව ‛‛ලක්බිම’’ පුවත්පත විසින් ප්‍රායෝගිකත්වයට පත් කළ එක් අවස්ථාවක් ලෙස මේ සම්බන්ධ පුවත වාර්තාකරණය පෙන්වාදිය හැකිය.

‛‛දිවයින’’ පුවත්පත ද මේ සම්බන්ධ පුවතක් වාර්තාකර ඇත. එය ‛‛බෑන් කී මුන් ගුවනින් ගොස් අවසන් සටන පැවැති භූමිය බලයි : අවතැන්වූවන් යළි පදිංචි කරවන්න ජගත් මහලේකම්ගේ පුර්ණ සහය (පි. 1)’’ යන සිරස්තලය යටතේ පල වේ. මේ පුවත සඳහා පුවත් මුලාශ්‍රය වී ඇත්තේ මහලේකම්ගේ ඒකාබද්ධ නිවේදනයයි. මේ පුවතින් බොහෝදුරට අවධාරණය කරන්නේ බෑන් කී මූන් මහතා රජයේ වැඩපිළිවලට සහයෝගය ලබාදෙන බව සහ මේ වැඩපිළිවලට කැමැත්ත පළකළ යහපත් ප්‍රතිචාරය පිළිබඳවය. මෙයින් මතුකර ඇති එක් කරුණක් මෙලෙස දැක්විය හැකිය. ‛‛ආරක්‍ෂක අංශ අවසන් සටනේදි බර අවි භාවිතාකර නොමැති බව සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදි මහලේකම්වරයා පවසා ඇති බව’’ මේ වාර්තාවේ දැක්වේ. මේ කාරණය නිරීක්‍ෂිත කිසිදු සිංහල පුවත්පතක වාර්තා නොවුණ එකකි. ඒ වගේම ළමා සොල්දාදුවන් පුනරුත්තාපනය කිරීමට රජය ගන්නා උත්සහයට එ. ජා. සංවිධානය සහයෝගය ලබාදෙන බව ද මේ නිවේදනයේ දැක්වෙන බව වාර්තාකර ඇත. ‛‛ලක්බිම’’ පුවත්පත පෙන්වා දුන් කරුණු කාරණා මේ පුවත්පතේ ද වාර්තා නොවු බව පැහැදිලිවම සඳහන් කළ හැකිය.

මැයි 25 වැනි දින මේ සම්බන්ධ පුවත් දෙකක් ‛‛දිනමිණ’’ පුවත්පත විසින් පළකර ඇත. ඉන් එකක් ‛‛අවතැන් වු ජනතාවට රජය හොඳින් සළකනවා : එක්සත් ජාතින්ගේ මහලේකම් බැන් කි මූන් (පි. 1)’’ යනුවෙන් පළ වේ. ප්‍රධාන පුවතට ඉහළ කොටසේ මෙම වාර්තාව පළකර ඇත. ‛‛දිවයින’’ මෙන්ම රජයේ වැඩපිළිවල පිළිබඳව එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් ප්‍රශංසාත්මක මුඛයෙන් පවසා ඇති දේ පිළිබඳව පමණක් මේ ලිපියේ ද අන්තර්ගත වේ. ලංකාවේ සියලුම ජනකොටස්වලට කිසිදු බේදයකින් තොරව ජීවත්විමට අවස්ථාව උදාවී ඇති බව මූන් මහතා ප්‍රකාශ කර ඇති බව ද මේ වාර්තාවේ දැක්වේ.
දෙවන වාර්තාව ‛‛කොටි කටෙන් මුදා ගත් ජනතාවට සහන සලසනවා : එ. ජා. මහලේකම් මහනුවරදී කියයි (පි. 4)’’ යන ශීර්ෂ පාඨයෙන් පළ වේ. අවතැන් වැසියන් සඳහා රජය ගතහැකි සෑම පියවරක්ම ගෙන ඇති බව හා ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා රජයට ඇති සම්පත් මදිකම පිළිබඳව මතක්කරමින් ඒ නිසා ලංකාවට සහය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අවධාරණය කර ඇති බව මෙයින් වාරතා කර ඇත.

මේ වාර්ථාවට අදාල නිරීක්‍ෂිත කාලයේ සති අන්ත සිංහල පුවත්පත් 7ක් පිළිබඳව ද නිරීක්‍ෂණ අවධානය යොමුකර ඇත. එහිදි මේ සම්බන්ධ පුවත් වාර්තාකර ඇත්තේ එක් පුවත්පතක් පමණි. ඒ රාවය පුවත්පත තුළ පළ වු විග්‍රාහත්මක ලිපියකි. මැයි 31 වැනි ඉරුදින රාවය පුවත්පත ‛‛අවතැන්වුවන් පිළිබඳ ප්‍රශ්න (පි. 9)’’ යන හිසින් ‛‛වික්ටර් අයිවන්’’ මහතා විසින් ලිපියක් පළකර ඇත.

මේ ලිපියේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සී.එන්.එන්. ප්‍රවාත්ති සේවයට කර ඇති ප්‍රකාශයක් උපුටා දක්වා ඇත. ‛‛තමා ලෝකයේ විවිධ රටවල සරණාගත කඳවුරු දැක ඇතත් ශ්‍රී ලංකාවේ තරම් නරක සරණාගත කඳවුරු මීට පෙර කොහේදීවත් දැක නැති බව පවසා ඇති බව’’ මේ වාර්තාවේ දැක්වේ. මෙය ඉතා නරක තත්වයක් ලෙස පෙන්වා දී ඇත. මූන් මහතා ශ්‍රී ලංකා ආණ්ඩුව සමග සිදුකළ ඒකාබද්ධ නිවේදනය තුළ මෙවැනි අදහස් මතු කර නැති බව ලියුම්කරු පවසයි. ස්වීඩනයේ විපක්‍ෂ නායකවරයා ද මේ කඳවුරු නිරීක්‍ෂණය කළ බවත් ඔහුගේ ප්‍රකාශ මේ තරම් ගොරහැඬි නැති බවත් මෙහි දි දක්වා ඇත. කෙසේවෙතත් මේ ලියුම්කරු දක්වන්නේ මේ කඳවුරුවල තත්වය දිනෙන් දින හොඳ අතට පත්වෙමින් තිබෙන බවයි. මේ කඳවුරුවල සාපේක්‍ෂ වශයෙන් නරක තත්වයක් ඇත්තේ අවසන් මෙහෙයුම පැවති ප්‍රදේශවල සිට ගෙනවිත් පදිංචිකළ කඳවුරු තුළ බව මේ වාර්තාවෙන් පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ අවතැන් කඳවුරු තුළ කළ සංචාරය සහ ඒ ආශ්‍රයෙන් පවසා තිබු ප්‍රකාශයන් පිළිබඳව සිංහල පුවත්පත් වාර්ථාකරණය තම තමන්ගේ රුචි අරුචිකම් මත පදනම්ව තිබු බව ඉහත තොරතුරු මත පිහිටා පැහැදිලි සාක්‍ෂිවලින් යුතුව පෙන්වා දිය හැකිය. තම තමන්ගේ න්‍යායපත්‍රවල පිහිටා කටයුතු කර ඇති බවක් පැහැදිලිවම පෙනේ. විශේෂයෙන්ම ඔහු මේ පිළිබඳව පවසා ඇති තොරතුරු පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට පාඨකයාට විවිධ පුවත්පත් කීපයක් පරිශීලනය කිරීමට සිදුවන බව පෙනේ. එනම් ‛‛දිනමිණ’’ හෝ ‛‛දිවයින’’ පුවත්පත් කියවීමෙන් පමණක් මේ පිළිබඳ නිවැරදි චිත්‍රයක් මවාගත නොහැකි තත්වයක් පවතී. එමෙන්ම ‛‛ලංකාදීප’’ පුවත්පත ද ඇතැම් තොරතුර වසංකරමින් තම වාර්ථාකාරණයේ යෙදී තිබු බවක් පෙනුණි. සති අන්ත බොහෝ පුවත්පත් මේ ප්‍රවෘත්තිය වාර්ථාකිරීමෙන් මිදි සිටි අතර ‛‛රාවය’’ පුවත්පත ද තමතමන්ගේ ස්ථාවරයේ පිහිටා සිට වාර්ථාකර ඇති බව පෙනේ. කෙසේවෙතත් ‛‛රාවය’’ පෙන්වා දුන් කරුණු වෙනත් පුවත්පක් තුළ ආසන්න වශයෙන් හෝ වාර්ථා කිරීමට උත්සාහ ගෙන නොමැත.

මේ පුවත සම්බන්ධයෙන් වැඩි අවධානයකින් හා සත්‍ය ආකාරයෙන්ම වාර්තාකිරීමට උත්සහාගත් එකම පුවත්පත වන්නේ ‛‛ලක්බිම’’ පුවත්පත පමණි. මේ කඳවුරු තුළ අඩු පාඩු පවතින බව, අඩුපාඩු සියල්ල සපුරා ගැනීමට ශ්‍රී ලංකා රජයට අවශ්‍යතරම් සම්පත් නොමැති බව සහ රජය කළ යුතු දේ හා කළ හැකි දේ අතර විශාල පරතරයක් ඇති බව මෙන්ම ස්ථිරසාර සාමයක් හා ජාතික ඒකාබද්ධතාවය ඇති කරිම සඳහා රජය විසින් කඩිනම් දේශපාලන ක්‍රියාදාමයක් ක්‍රියාවට නැංවිය යුතු බව බෑන් කී මූන් මහතා පවසා ඇති බව මේ පුවත්පත නොබියව වාර්ථාකර ඇති බව පෙනේ.

එච්. ජේ. සම්පත්