ඔවුන්ගේ පර්යේෂණ චාරිකාව සඳහා මෙවර ඔවුන් තෝරා ගනු ලැබුවේ අනුරාධපුරය ආශ්‍රිත ප්‍රදේශයයි. විශ්ව විද්‍යාලයේ සිංහල භාෂාව හදාරන ඔවුන්ට, භාෂාවේ ඉතිහාසය පිළිබඳව බොහෝ මූලාශ්‍රයන් අනුරාධපුරය ආශ්‍රිතව පැවතිණ. සිංහල භාෂාව පිළිබඳව වැඩි දුර හදාරන්නට විශ්ව විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් තරුණියක් ද ඔවුන් අතර සිටි බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. නියමිත අධ්‍යන කාර්යයන්ගෙන් අනතුරුව ඔවුන් සැන්දෑ යාමය වෙන් කලේ රුවන්වැලි සෑය දැක බලා ගැනීමටය. සිහිල් සුළං මැද, රාත්‍රී යාමයේ රුවන් වැලි සෑයට යොමුවුණු පාර දිගේ ඇවිද ගිය ඔවුන්ගෙන් සමහරෙක්ට මෙය භක්තිමත් සැන්දෑවක් විය. තවකෙකුට සුන්දර සැන්දෑවක් විය. නමුත් මේ භක්තිමත්කම, සුන්දරකම පැවතියේ රුවන්වැලි සෑයට ඇතුළු වන දොරටුව දක්වා පමණි. ඔවුන්ගේ සාමාකාමීත්වයට මුලින්ම කෙනහිලි කරන්නට පටන් ගත්තේ රුවන්වැලි සෑයේ ආධාර එකතු කරන්නනට සිටි පිරිසයි.
ආධාර එකතු කරන්නන්ගේ දබර ඇඟිල්ල යොමු වූයේ පෙර කී මුස්ලිම් තරුණිය දෙසටය. ආධාර එකතු කරන්නන්ට ඇය පැළඳි පර්දාව බලවත් ගැටළුවක් විය. ඔවුන් ඇයගේ පර්දාව දෙස බැලුවේ රුවන්වැලි සෑය බිම හෙලන්නට ගෙන ආ බෝම්බයක් දෙස බලන ආකාරයටය. පර්දාව පැළඳි ඇය රුවන් වැලි සෑයට යනවාට ඔවුන් තදබල ලෙස විරුද්ධ වූ අතර, අවශ්‍ය නම් පර්දාව ගලවා රුවන්වැලි සෑයට ඇතුළු විය හැකි බව ඔවුන්ගේ අදහස විය. සෙසු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ආධාර කරුවන්ට එල්ල වූ බලවත් විරෝධය නිසා අවසානයේ ඇයට එතනින් බේරෙන්නට හැකි විය. නමුත් ඇයට පර්දාවේ ගැටළුව අමතක කරන්නට හැකි වූයේ මද වේලාවක් පමණි. මල් රැගෙන රුවන් වැලි සෑය වැඳ නිවන් යන්නට ප්‍රාර්ථනා කරන බැතිමතුන් පිරිසකගේ නෙතට ඇයව හසුවිය. ඇයගේ පර්දාව බැතිමතුන්ට නිවන අමතක කරවීය. අත රැඳි මල් පර්දාව දෙස බලාගෙනම රුවන් වැලි සෑයට පූජා කළ ඔවුන් තැන තැන රංචු ගැසී කුටු කුටු ගාන්නට විය. ඔරවන්නට විය. දත් මිටි කන්නට විය. අවසානයේ ඔරවමින්, දත්මිටි කමින් සිටි බැතිමතුන්ගේ පිහිටට පොලීසිය පැමිණියේය. බැතිමතුන් පොලීසියට, පර්දාවේ ගැටළුව ගැන පැමිණිලි කළේය. මොහොතකට පෙර සාමයෙන් පිරී පැවති රුවන් වැලි සෑය, ත්‍රස්තවාදියෙක් ඇතුළු වූ භූමියක සිරි ඉසිලීය. පොලීසිය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙසට පැමිණියේය. වහාම මුස්ලිම් තරුණියත් රැගෙන රුවන්වැලි සෑයෙන් පිට වන ලෙස පොලීසිය අණ කළේය. මේ සිදු වීම සිදුවූයේ මුළු දකුණම විජයග්‍රහණයේ ගීතිකා ගැයූ යුධ ජයග්‍රහනයෙන් තෙවසරක් පිරුණු දින සැන්දෑ යාමයේය. ආණ්ඩුවේ භාෂාවෙන් කියනවා නම් ‛එක ජාතියක්, එක රටක්’ බවට සමස්ත ලංකාවම පත් වී වසර තුනකට පසුවය.
රුවන් වැලි සෑය අසල දී ලිංගික අතවර කිරීම
පර්දාවට විරෝධය පෑ සියළු දෙනාම ගෙනා ආ පොදු තර්කය වූයේ, හින්දු කෝවිලකට ගිය පසු උඩුකය නිරාවරණය කරනවා නම් රුවන්වැලි සෑයට පැමිණි පසු පර්දාව ගලවන්නේ නැත්තේ මන්ද යන්නයි. හින්දු කෝවිලකට ගිය පසු පිරිමින්ගේ උඩුකය නිරාවරණය කළත් කාන්තාවන්ට එසේ කරන්නේ නැති බව මොවුන්ට අමතක වී ඇත. අනෙක් කාරණය නම් පිරිමින්ට පවා අවශ්‍ය නම් උඩුකය වසාගෙන කෝවිලකට ඇතුළු විය හැකි බව අප පෞද්ගලික අත්දැකීමෙන්ම දනිමු. මෙහිදී පර්දාවට විරෝධය පාන්නන් විසින් මුස්ලිම් තරුණියට යෝජනා කරන්නේ කුමක්ද? එනම් බෞද්ධ සංස්කෘතිය අබියස තම ඉස්ලාම් සංස්කෘතිය විනාශ කිරීමටය. තව කෙනෙකුගේ සංස්කෘතිය විනාශ කිරීමෙන් නිවන් යන්නට පෙරුම් පුරණ බෞද්ධයා ලබන සතුට කුමක්ද යන්න මෙහිදී ගැටලුවකි. සිංහල සංස්කෘතිය තුළ කාන්තාවක් ඔසරිය ඇඳීමත්, මුස්ලිම් කාන්තාවක් පර්දාවක් ඇඳීමත් අතර වෙනසක් නැත. ඉතින් නිවන් යන්නට පෙරුම් පුරන බෞද්ධයා මේ මුස්ලිම් තරුණියට යෝජනා කර ඇත්තේ තම ඇඳුම ගලවන ලෙසයි. එසේ නොහැකි නම් පිටවෙන ලෙසයි. මෙය එක් අකාරයකට ලිංගික අතරවරයකි. එසේ මෙසේ අතවරයක් නොව බෞද්ධ පූජා භූමියක් තුළ සිදු කරන්නට තැත් කළ අතවරයකි. ඉතින් බෞද්ධාගමට අනුව පාපයක් කරන්නට උත්සාහ ගෙන ඇත්තේ මුස්ලිම් තරුණිය නොව, ලිංගික අතවරයකට මුල පෙරූ බෞද්ධයන්මය.
විජයග්‍රහණයේ තෙවෙනි සැමරුම
ආණ්ඩුව විජයග්‍රහණයේ තෙවන වසර සමරන දිනයේම, හමුදා සෙබළෙක් විසින් තරුණියකට සහ ඇයගේ පියාට සහ මවට වෙඩි තබා තමන් ද වෙඩි තියාගත් බවට පුවතක් අසන්නට ලැබිණ. හමුදා සෙබළුන් විසින් සිදු කරන මෙවැනි ඝාතනය කිරීම් මෑතක සිට ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබේ. ආණ්ඩුව විසින් යුද්ධය අවසන් කර අවුරුදු තුනක් ගත වුවද එදා ආයුධ අතට ගත් මිනිසුන් තවමත් තම ආයුධ බිම තබා නොමැත. ආණ්ඩුව ඔවුන්ගේ තුවක්කු එල්ලය එල්.ටී.ටී.ඊ එකට එරෙහිව පමණක් යොමුකළාට සමහරෙක් තම පෙම්වතියට, තම පෞද්ගලික සතුරන්ටද එල්.ටී.ටී.ඊ එකට ගත් ඉලක්කයම ගනිමින් සිටියි. එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පුනරුත්තාපනය කිරීමට පමණක් වෙහෙසෙන ආණ්ඩුව අවුරුදු ගණනක් මිල්ටරීකරණය වූ හමුදා භටයන්ගේ මානසික තත්ත්වයන් නොසලකා හරිමින් සිටියි. ඒ වෙනුවට විජයග්‍රහණයේ සැමරුම පමණක් නොකඩවා සමරමින් සිටියි. යුද්ධයෙන් මනස ව්‍යාකූල වූවන් පිරි දේශයක සැුබෑ විජයග්‍රහණය යනු ඔවුන්ව ප්‍රකෘති තත්ත්වයට ගැනීම බවට සිතීමට බලයෙන් මත් වූ ආණ්ඩුවට කල්පනාවක් නැත. ආණ්ඩුව විසින් මනස ව්‍යාකූල කලේ හමුදා භටයින්ගේ පමණක් නොවේ. සමසත් මහජනතාවගේම මනස ව්‍යාකූල කිරීමට යුධ සමයේ ආණ්ඩුව උත්සාහ කළේය. ව්‍යාජ ජාතික, ආගමික ආලයක් මහජනතාවට පොවමින් ආණ්ඩුව විසින් තම බලය රැක ගැනීමට එය භාවිතා කළේය. අද වන විට ඒ ජාතික, ආගමික ආලය මහජනතාවට පත්තියම් වී ඇත. ඉතින් යුද්ධය අවසන් වුවද තවමත් අන්‍ය ආගමිකයා, අන්‍ය ජාතිකයා දෙස සැකයෙන් බැලීමේ පුරුද්ද මහජනයා නොනවත්වා නැත. තමන්ගේ ආගම, තමන්ගේ ජාතිය අනෙකාට වඩා උසස්ය යන හැඟීම පෙරටත් වඩා සිංහල බෞද්ධයාගේ ජීවිතය තුළ හොල්මන් කරයි. දඹුල්ලේදී මුස්ලිම්, හින්දු ආගමික ආයතන බිඳ දමමින් දිව යන්නේ ආණ්ඩුව විසින් වසර ගණනාවක් පුරා ගොඩ නැගූ එම හැඟීමයි. රුවන්වැලි සෑයේදී පර්දාව ගලවන්නට කියන්නේ මේ හැඟීමයි. ඉතින් ආණ්ඩුව යුද්ධය නැවැත්තුවාට මිනිසුන් තවම යුද්ධය නොනවත්වා ඇත. මෙවන් තත්ත්වයක් තුළ අප සමරන්නේ කිනම් වූ විජයග්‍රහණයක්ද?