Colombo, Featured Articles, Features

ඩොමීනියන් සිට ජනරජය දක්වා

Picture Credit – www.pact.lk

_______[ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්මතකර 40 වසරක් ගතවීම නිමිත්තෙනි]_______

සෑම වසරකම පෙබරවාරි 4වන දින අප නිදහස සමරන්නේ බ්‍රතාන්‍ය කිරීටයෙන් අප රට නිදහස් වූ දිනය සැමරීම සදහාය. නමුත් 1948 පෙබරවාරි 4 වන දින අප ලැබූයේ සැබවින්ම නිදහසක්දැයි, එවකට නියෝජිත මංත්‍රී මණ්ඩලයේ සිටි මහජන නියෝජිතයන්ටද ප්‍රශ්නයක් විය. අප 1948 පෙබරවාරි 4 වන දින නිදහස ලබන්නේ බ්‍රතාන්‍ය විසින් සම්මතකර එවන ලද නීතිමය ලේඛන කිහිපයක් මතය.

එනම්

1.1947-ලංකා නිදහස් පනත (The Ceylon Independence Act-1947)

2. සෝලිබරි ව්‍යවස්ථාව ලෙස හදුන්වන ,ලංකා( ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හා නිදහස් ) රාජ්‍ය සභා ආඥාව,(The Ceylon (Constitution and Independence) Order in Council-1947)

3. ලංකා(අග්‍රාණ්ඩුකාර තුමාගේ ධූරය) නිවේදනය-1947(The Ceylon(Office of Governor General)Letter Patch -1947)

4. 1947 දෙසැම්බර් 19 දින දරණ රාජකීය උපදෙස් (The Royal Instructions December 19, 1947)

මෙම මුල් ලේඛන ඩොමීනියන් තත්වය ලැබීමට සුදුසු ලෙස සංශෝධනය කර එවීමෙන් පසුව ලංකාව බ්‍රතාණය පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ට අයත් පූර්ණ වගකීම් සහගත (fully responsible status) රාජ්‍යයක් බවට 1948 පෙබරවාරි මස 4 වන දින පත්වන ලදී.

මේ අනුව ලද ඩොමීනියන් තත්වය පූර්ණ නිදහසක් ලෙස සලකණු නොලැබීමට හේතු කිහිපයක්විය.

1. නිදහස ලබාගන් ලේඛණ හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව(සෝල්බරී ව්‍යවස්ථාව) එක්සත් රාජධානියේ අවශ්‍යතාවය මත එරටින් ආනයනය කර ලංකාවේ එවකට පැවති ව්‍යවස්ථාදායකය(රාජ්‍ය සභාව-State Council) මගින් සම්මත කිරීම මගිනි.එබැවින් එහි ලාංකික අභිලාශයන් නිවැරදිව නිරූපනය නොවුනි.

2. තවදුරටත් එක්සත් රාජධානියේ රැජින රාජ්‍යයේ ප්‍රධානියා ලෙස පිළිගැනීම.

3. අවසානාත්මක අධිකරණය ලෙස තවදුරටත් බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලය හා සාමි මණ්ඩලය පිළිගැනීම.

මේ නිසාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් රටට ගැලපෙන නිදහස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ උත්සාහයන් නිදහස ලබා තැනීමත් සමගම පාර්ලිමේන්තුව තුලින් ඇති විය.

මේ පිළිබඳ පළමු උත්සාහය දක්නට ලැබෙන්නේ සෙනෙට් මණ්ඩලය තුලිනි. සෙනෙට් සභික වෛද්‍ය නාගනාදන් 1948 අගෝස්තු 12වන දින සෙනට් මණ්ඩලයට යෝජනාවක් ගෙන එමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිශෝධනය සදහා යෝජනාවළියක් ගෙන එන ලදී. එහිදී පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අඩු පාඩුලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ආකෘතිය පැරණි කොලෝනියල් ස්වරූපයේ එකක්වීම, අධිකරණය නිදහස් නොවීම, රාජ්‍යසේවය නිදහස් නොවීම, පාලනයේ පවතින දැඩි මධ්‍යගත ස්වරූපය, මෙන්ම දෙමළ හා මුස්ලිම් ජනතාවට සිය නියෝජිතයන් පත්කිරීමේදී පවතින අසාධාරණ තත්වයන් ඉස්මතුකර දක්වන ලදී. මෙම යොජනාව පිළිබඳව සෙනට් සභාව තුල දින දෙකක විවාදයක් පැවති අතර අවසානයේ දී යෝජනාවලිය පරාජයට පත්විය.

ඉන් පසුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිශෝධනයක් සදහා හරවත් උත්සාහයක් දරණ ලද්දේ 1957 දීය. එහිදී අග්‍රාමාත්‍ය එස්.ඩබිලිව්.ආර්.ඩී.බණ්ඩාරණායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිශෝධනය කිරීම සදහා සෙනට් මණ්ඩලයේ හා නියෝජිත මංත්‍රි මණ්ඩලයේ සභිකයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත්කල යුතුයැයි, යෝජනා කරන ලදී. 1957 අප්‍රේල් 26 වන දින නියෝජිත මංත්‍රි මංඩලය වෙත ගෙනඑන ලද එම යෝජනාවේ සිංහල අදහස පහත පරිදිය.

”සෙනට් මණ්ඩලය විසින් පත්කරණූ ලබන විශේෂ කාරක සභාවක් සමග එකාබද්ධ විශේෂ කාරක සභාවක් වශයෙන් එක්වී , 1946 සහ 1947 ලංකා (ආණ්ඩුක්‍රම සහ ස්වාධීනතා ) රාජාඥාවන් සහ අනිකුත් ලිඛිත නීති පිළිබඳව, කාරක සභාව අවශ්‍යයැයි අදහස් කරන අනිකුත් කරුණු අතර –

1.ජනරජයක් ස්ථාපිත කිරීම
2.මූලික අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම
3.සෙනට් මංත්‍රී මණ්ඩලයේ හා නියෝජිත මංත්‍රී මණඩලයේ පත්කල මංත්‍රීන් පිළිබඳ තත්වය
4.රාජ්‍ය සේවා කොමිසම හා අධිකරණ සේවා කොමිසම යන කරුණුද සම්බන්ධයෙන් සංශෝධනය කිරීම සලකා බැලීම පිණිස,
මෙම යෝනාවළිය පිළිබඳ දීර්ඝ විවාදයක් පැවති අතර එය සම්මත වීමෙන් පසුව සෙනට් සභාවේද අනුමැතිය හිමිවිය. ඒ අනුව ප්‍රථම ව්‍යවස්ථා ප්‍රතිශෝධන ඒකාබද්ධ කාරක සභාව රැස්වීම් කිහිපයක් පැවැත්වීමෙන් පසුව 1958 අප්‍රේල් 25 වනදින වාර්ථාවක් ඉදිරිපත්කරන ලදී.

මෙම වාර්ථාව අනුව 1954 අංක 35 දරණ ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා (විශේෂ විධිවිධාන) පනත සුදුසු පරිදී සංශෝධනය කිරීමටත්, ඉදිරි මැතිවරණයට පෙර සීමා නිර්ණය කොමිෂන් සභාව ස්ථාපිත කිරීමටත්, ජන හා සංඛ්‍යාලේඛන පිළිබඳ සැලකිලිමත්වී සීමානිර්ණය කටයුතු සිදු කිරීමටත් නිර්දේශ කරන ලදී. අනෙකුත් කටයුතු පිළිබඳ සලකා බැලීමට කාලය ප්‍රමාණවත් නොවීම නිසා එම කරුණු ඉදිරි වාරයේ දී සිදුකිරීම සුදුසු බවට නිර්දේශ කරන ලදී.

මෙහිදී විශේෂයෙන් සදහන් කල යුතු කරුණ වනුයේ මෙම කමිටුව පත් කිරීමට පෙර 1954 දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් 3ක් මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වී තිබිණි.

එනම් 1954 අංක 29 දරණ ලංකා සංශෝධන(ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා) රාජ්‍ය සභා ආඥාව, 1954 අංක 35 දරණ ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා(විශේෂ විධිවිධාන) පනත හා 1954 අංක 36 දරණ ඉන්දියානු හා පාකිස්ථානු(පාර්ලිමේන්තු නියෝජනය) පනත මගිනි.

පසුව නැවත 1958 වසරේ ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිශෝධනය සදහා ඒකාබද්ධ කම්ටුවක් සෙනෙට් සභාවේ හා නියෝජිත මංත්‍රී මණ්ඩලයේ සම්මුතියෙන් පත් කරන ලදී. එකී කමිටුව විසින්ද 1958 දෙසැමිබර් 16 වන දින වාර්ථාවක් ඉදිරිපත් කරන ලදී.

මෙම ඒකාබද්ධ කමිටුවේ නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් 1959 අංක 4 දරණ ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා(සංශෝධන) පනත ගෙන ආ අතර එමගින් ඉහත දෙවන හා තෙවන සංශෝධනයන් අවලංගු කරන ලදී.

කෙසේ නමුත් මෙම ඒකාබද්ධ කමිටු නිර්දේශ මගින් කිසිවිටෙක එකී කමිටු පිහිටුවීමේ මූලික අරමුණ වූ ජනරජයක් ස්ථාපිත කිරීම යන්න නිර්දේශ නොකරන ලදී. ඒ අනුව 1957 සිට 1968 දක්වා ඉහත කී යෝජනාවලියම 10වරක් නියෝජිත මණ්ඩලය හමුවේ සම්තකර ඒකාබද්ධ කමිටු පත්කරනු ලැබුව ද, ලංකාව ජනරජයක් ලෙස ස්ථාපිත කිරීමේ කාර්යය ඉටු නොවීය.

මේ අතර 1967 වසරේ නැවත ව්‍යවස්ථා ප්‍රතිශෝධනය සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කිරීම පිළිබඳ යෝජනාවක් නොවැම්බර් 5 වන දින සී. පී. සිල්වා මහතා විසින් ගෙන එන ලද අතර ඒ පිළිබඳ විවාදයේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මෙවැනි අකාරයේ යෝජනාවන් මගින් ජනරජයක් ලෙස ප්‍රතිශෝධනය කල නොහැකි බවට තර්ක මතුවිය. එකී තර්කනයට පදනව වූයේ ඒ වන විට රාජාධිකරණය(ප්‍රිවිකවුන්සලය) ලබාදී තිබූ නඩු තීන්දු කිහිපයකි.

එකක් නම් 1965 වසරේදී ප්‍රවි කවුන්සිලය විසින් ලබාදුන් ඉබ්‍රාලෙබ්බේ එදිරිව රැජින (1965 NLR 443) නැමති නඩු තීන්දුවයි. එකී තීන්දුවෙහි ප්‍රකාශකර තිබුනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 29 වන වගන්තියේ සඳහන් සීමාවන් හැරුනවිට තවත් කරුණු 2ක් සදහා පමණක් පාර්ලිමේන්තුවට පූර්ණ ව්‍යවස්ථාදායක බලය ඇති බවයි.

අනෙක් තීන්දුව වන්නේ අල්ලස් කොමසාරිස් එදිරිව, රණසිංහ (1966 NLR 77) නැමති ප්‍රිවි කවුන්සිල් තීන්දුවය.

එහි සදහන් වන පරිදී 29 වන වගන්තිය සකස් කර ඇත්තේ රටේ මහජාතිය හා සුළුතරය අතර එළඹි එක්තරා ගිවිසුමක් මත බැවින් එකී වගන්තිය ව්‍යවස්ථාදායකයට වෙනස්කල නොහැක.

වමේ පක්‍ෂ විසින් දැඩි ලෙස මෙම මතය ගෙන ආ අතර, ඔවුන්ගේ තරකය වූයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම නොව විප්ලවීය ලෙස වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමයි.

ඒ 1970 මැයි මස සමගි පෙරමුණ ජයග්‍රහණය කිරීමේන් පසුව නියෝජිත මණ්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලට රැස්වූයේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන් ලෙසය.

එසේ රැස්වී ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට කටයුතු කරන ලදී .

එහි ක්‍රමවේදය වූයේ කරුණු 38කින් සමන්විත වූ මූලික යෝජනාවලියක් රජය විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විවිධ පක්‍ෂවල යෝජනා ලබාගැනීම හා ඒ පිළිබඳ විවාද කිරීමයි. මෙහිදී ප්‍රධාන මණ්ඩලයට අමතරව විෂය හා මෙහෙයුම් කාරක සභාවක් ද පත්කර එමගින් යෝජනාවන් පිළිබඳ ගැඹුරු සාකච්ඡාවකට ලක්කරන ලදී. එයට අමතරව කාරක සභා ගණනාවක් හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙහි අන්තර්ගතය පිළිබඳ සාකච්ඡා කරන ලදී. මෙම පටිපාටිය නියාමණය කිරීම සදහා පළමුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සඳහා ස්ථාවර නියෝග සම්මත කරගෙන තිබිණි.

සියල්ල අවසානයේ 1972 මැයි 4 දින අවසන් ව්‍යවසථා කෙටුම්පත ඉදිරිපත් කල අතර 1972 මැයි 22 වන දින එය සම්මත කිරීමත් සමඟ එය අප රටෙහි මූලික නීතිය බවට පත්විය. පසුව එදිනම සවස පාර්ලිමේන්තුවට රැස්වූ මෙම මණ්ඩලය නව ව්‍යවස්ථාව යටතේ මණ්ත්‍රිවරුන් ලෙස දුවුරුම් දෙන ලදී.

බ්‍රිතාන්‍ය කිරීටයෙන් පූර්ණ ලෙස වෙන්වූ ව්‍යවස්ථාවක් ලැබීමේ සතුට ශ්‍රී ලාංකිකයන්ට භුක්ති විදීමේ අවස්ථාව මෙම ව්‍යවසථාව සම්මත කිරීමක් සමඟ ලැබුණ ද, සුළු ජනවර්ගිකයන්ගේ අභිලාෂයන් නිවැරදිව නිරූපනය නොවීම හේතුවෙන් දිගුකාලීන ගැටළු රැසක ආරම්භය ද මෙම ව්‍යවස්ථා සම්මතය සමඟ සනිටුහන්විය.

නීතිඥ ජගත් ලියන ආරච්චි[Jagath Liyanaarchchi]