[රටේ දේශපාලන වංචාවට පිරිත් නූලෙන් ලැබෙන පිටිවහල සුළුපටු නැත]
ද්‍රෝහියකු ලෙස හංවඩු ගසා බරපතල වැඩ සහිත සිරදඬුවම් දී හිරේ දැමූ සරත් ෆොන්සේකා වසර දෙකහමාරකට පසු වීරයෙකු ලෙස එළියට ආවේය. තමා වර්තමාන දූෂිත පාලනයට විරුද්ධව ජනතාවට නායකත්වය දෙන බව ඔහු කියයි. ඒ සඳහා සියලු විරුද්ධ පක්ෂ එක් කර ගන්නා බවද කියයි.
මෙසේ කියන්නේ පසුගිය ජනාධිපති ඡන්දයේදී ලක්ෂ හතලිහකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් තැනැත්තාය. එල්. ටී. ටී. ඊය තීරණාත්මක ලෙස පරාජය කරන්නට යුද සැලසුම් සකස් කළ, ඒ සඳහා ප්‍රායෝගිකව නායකත්වය දුන් තැනැත්තාය.
සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ උද්ඝෝෂණවලට ලක්ෂ ගණනින් සහභාගී නොවූ නමුත් එදා ජනාධිපති අපේක්ෂකයා හැටියට ඔහුට සහාය පළ කළ ලක්ෂ හතලිහ මේ වන විට වැඩි වී ඇතිවා මිස අඩුවී ඇතැයි සිතන්නට සාධාරණ හේතු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පසුගිය කාලය තුළ ජන මනසට කාවද්දා නැත. වර්තමාන දේශපාලන පරිසරය තුළ රටට අවශ්‍ය විරුද්ධ නායකත්වය සඳහා සුදුසුකම් ඔහු දේශපාලනය කළ කෙටිකාලය තුළ හරිහැටි ප්‍රදර්ශනය නොකළ ද හිරේ සිටි කාලය තුළ ඒවා ප්‍රදර්ශනය විය. ඉන් ප්‍රධාන ලෙස කැපී පෙනුනේ නොසැලෙන ධෛර්යයයි. නොනැමි, නොවැටී සිටීමේ ශක්තියයි. එසේම හිරේ සිටියත් රටේ සිදුවන දේවල් ගැන අවධානයෙන් සිටීම සහ ලැබෙන සුළු ඉඩකඩ උපරිම ලෙස යොදා ගනිමින් ඒ ගැන තම අදහස් පළ කිරීමට තිබුණු තීක්ෂණ බවයි.
එළියේ නිදහසේ සිටින විරුද්ධ පක්ෂ නායකයින් නායකත්වයට කුළල් කා ගනිද්දී, අවස්ථාවාදී දේශපාලනඥයන් බුරුතු පිටින් බඩගෝස්තරය වෙනුවෙන් පිල් මාරු කරමින් අණ්ඩුවට එක්වෙද්දී දේශපාලනය ගැන පිළිකුලෙන් බැලූ ජනතාව උසාවියට යන එන අතරේ ආරක්ෂක වළල්ලට උඩින් හිස දමා ෆෙන්සේකා කළ කෙටි ප්‍රකාශවලින් උද්දාමයට පත් වූ බව නොරහසකි. ආණ්ඩුවේ, ජනයා පෙළන පියවරයන් සම්බන්ධයෙන් රටේ නිල විරුද්ධ පක්ෂ දවසට දෙක ගනනේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවලට වඩා ජනයාට ශක්තියක් වූයේ ෆොන්සේකාගේ ඒ ‛එස්.එම්. එස්’ යයි මම සිතමි. රාජපක්ෂ රෙජිමයට සැබෑ ලෙස අභියෝග කරන්නට නම් ඒ ධෛර්යය අද අත්‍යවශ්‍යය. ඒ අවධානය අත්‍යවශ්‍යය.
ඒ ෆොන්සේකා හිරෙන් එළියට එන්නේ විරුද්ධ පක්ෂ දේශපාලනය මඩ ගොහොරුවක් බවට පත්ව තිබෙන තත්වයක් තුළය. ඔහු එළියට එන ආරංචිය තහවුරු වූ වහාම ‛අපි ෆොන්සේකා ඒකාබද්ධ විපක්ෂයේ නායකයා කර ගන්නවා’ යයි යූ. එන්. පියේ සජිත් පිළේ කටකාරයකු මාධ්‍ය හමුවේ කියා සිටින අයුරු අපි දුටුවෙමු. දැන් ෆොන්සේකා මහතාද විරුද්ධ පක්ෂ සියල්ල එකතු කර මර්ධනයට, දූෂණයට ජනයා පෙළන පියවරයන්ට විරුද්ධව බලවේගයක් ගොඩනැගීමට කැපවෙන බව කියයි.
ජනාධිපති මැතිවරණ අවස්ථාවේදී ශක්තිමත් අපේක්ෂකයකු නැතිව අතරමංව සිටි එක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට සහනයක් වෙමින් පොදු අපේක්ෂකයා වෙන්නට හදිසියේ තීන්දු කළ අයුරින් ක්‍රියා කරන්නට ගියහොත් එයින් ෆොන්සේකා මහතා පමණක් නොව රටද තව තවත් අමාරුවේ වැටෙන බව කිව යුතුය. එදා තිබුණු ජනතා විමුක්ති පෙරමුණ අද නැත. එය දැන් දෙකට කැඩී ගොස්ය. යථාර්ථය නම් එක්සත් ජාතික පක්ෂයද දෙකට වෙන්වී තිබෙන බවය. මේ කෑලි එකතු කර ශක්තිමත් විපක්ෂයක්, ශක්තිමත් බලවේගයක් ගොඩ නැඟිය හැකි නම් මේ මොහොතේ රාජපක්ෂ රෙජිමයට විරුද්ධව ගත හැකි හොඳම පියවර එයයි. එසේ වන්නේ නම් ආණ්ඩුවට විරුද්ධව බලවත් ජනතා නැගිටීමක් නුදුරු අනාගතයේම පෙරදකින්නට පුළුවන. එහෙත් පක්ෂ බෙදී ඇති ස්වරූපය දෙස බලන විට එය යථාර්ථවාදී අපේක්ෂාවක් වන්නේ නැත. ඒ අතර රටේ අනාගතය පැත්තෙන් බලන විට ගොඩනැගෙන ආණ්ඩු විරෝධි බලවේගයක් වෙතොත් එය ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් කුමන ස්ථාවරයක සිටින්නේද යන්න අතිශයින්ම තීරණාත්මකය. ඒ සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක් නොමැතිව ගොඩනැගෙන ඕනෑම ව්‍යාපාරයක් රටේ අනාගතයට කරන්නේ හානියකි.
ෆොන්සේකා නිදහස් කර ගැනීමේ උද්ඝෝෂණ දෙස බලන විට රනිල් පිළ ඒවායින් ඈත් වී සිටි බවත් සජිත් පිළ ඒවාට කැපී පෙනෙන ලෙස සහභාගී වූ බවත්. අපි දුටුවෙමු. පසුගිය මැයි දිනය දා අනෝමා ෆොන්සේකා මහත්මිය ප්‍රේමදාස සමරුවට සහභාගි වූයේ ඒ නිසා විය යුතුය. ඒ අනුව ෆොන්සේකා මහතා වඩා ළංවනු ඇත්තේ රනිල්ලාට නොව සජිත්ලාට බව අනුමාන කළ හැකිය. රණිල් යාපනයට ගොස් පැවැත්වූ මැයි රැළිය කොටි සමඟ යාමක් ලෙස දැක්වූයේ ආණ්ඩුවේ වාචාල ඇමතියන් පමණක් නොවේ. සජිත් පිළේ සමහර නායකයෝද එවැනි කතා කීහ. දෙමළ ජනයාගේ නියෝජිතයන් ලෙස ඡන්දයෙන් පත්වී සිටින දෙමළ ජාතික සංධානය සමඟ එකට වැඩ කිරීම කොටින් හා එකතු වීමක් ලෙස අර්ථ දක්වන්නෝ මෙරට ජාතික ගැටළුව විසඳන්නෝ නොවෙති. දෙමළ ජනයාට දිය යුතු අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගතහොත් සජිත්ලා සිටින්නේ රනිල්ට වඩා ප්‍රතිගාමී තැනකය. ජනතා විමුක්ති පෙරමුණේ සෝමවංශලාද මේ ප්‍රශ්නයේදී සිටින්නේ කැඩී ගිය කණ්ඩායමට වඩා පසුපසිනි.
එල්ටීටීයට විරුද්ධ යුද්ධය ප්‍රායෝගිකව මෙහෙයවූ සරත් ෆොන්සේකා සහ එයට අණ දුන් මහින්ද රාජපක්ෂ යන දෙදෙනාගෙන් කෙනෙක් තෝරා ගන්නට සිදුවූ විට උතුරේ දෙමළ ජනයාගෙන් බහුතරයක් තෝරා ගත්තේ සරත් ෆොන්සේකාය. මේ රටට යහපත් අනාගතයක් ගොඩනඟා දෙන්නට කැපවෙනවා යයි කියන විට ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් තමාගේ ස්ථාවරය කුමක්ද යන්න පැහැදිලිව කියන්නට සරත් ෆොන්සේකාට සිදුවෙයි. අද ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ එකට වැඩ කරන්නට සූදානම් නැති පක්ෂයකට රටට යහපත් අනාගතයක් සකසා දෙන්නට පුළුවන් වන්නේ නැත.
ආණ්ඩුව ජනවාර්ගික ගැටලුවට විසඳුමක් නොදෙන බව පැහැදිලිය. එවන් තත්වයක් තුළ ෆොන්සේකා ඒ ගැන දරණ ස්ථාවරය ඔහුගේත් රටේත් අනාගතය කෙරෙහි තීරණාත්මක ලෙස බලපානු ඇත. මේ කරන්නේ අද රටත් ඔහුත් මුහුණ දෙන තීරණාත්මක තත්වය අවධාරණය කරනු මිස සරත් ෆොන්සේකා රනිල් සමඟ එක්විය යුතු බව කීමක් කම් නොවේ.
ෆොන්සේකා මහතාට විරුද්ධව නඩුපිට නඩු පවරමින් ඔහුගේ අයිතිවාසිකම් උදුරා ගනිමින් හිරේ දැමීමෙන් මේ ආණ්ඩුව කළේ අසාධාරණයක් බව මානව අයිතිවාසිකම් සහ මිනිස් නිදහස ගැන සුළුවෙන් හෝ දැනුමක් හැඟීමක් ඇති කවුරුත් පිළි ගනිති. එය කුරිරු පළිගැනීමක් බව පිළි නොගන්නේ අවස්ථාවාදී බඩගෝස්තර වාදීන් පමණි. එවන් තත්වයක් තුළ බුදුන්ගේ දේශය යයි කියන මේ රටේ නායක හිමිවරු බහුතරයක් කළේ සමාව ඉල්ලන්නට ෆෙන්සේකාවත් ෆොන්සේකා පවුලත් තල්ලු කරන්නට උත්සාහ කිරීම මිස ඔහු නිදහස් කරන ලෙස බලකිරීම නොවේ. ඔහු නිදහස් කරන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ මාදුළුවාවේ සෝභිත හිමියන් සහ සංඝයා වහන්සේලා කිහිප දෙනෙකු පමණි. දැන් නිදහස් ව සිටින ෆොන්සේකාගේ දෑත් වැසෙන්නට පිරිත් නූල් බඳින්නට නායක හිමිවරු ඕනෑ තරම් ඉදිරිපත් වනු ඇත.
මේ රටේ දේශපාලන වංචාවට පිරිත් නූලෙන් ලැබෙන පිටිවහල සුළුපටු නැත.
රට තිබෙන්නේ ගිනි ගොඩක් මතය. ජනයාට ඒ ගිනි රස්නය තදින්ම දැනෙමින් තිබේ. විරුද්ධ පක්ෂවල සමහරු ඒ ගින්නෙන් සුරුට්ටු පත්තු කරමින් සිටිති. රටේ තීරණාත්මක ප්‍රශ්නවලට තීරණාත්මක විසඳුම් සොයනවා වෙනුවට බොරු සිංහල බෞද්ධකම ප්‍රදර්ශනය කිරීමෙන් තවත් වටයකින් ජනයා රවටා ගත හැකි වෙතැයි ඔවුන් සිතන බව පෙනේ. තමාත් ඒ තාවකාලික ජනප්‍රිය මාවත තෝරා ගන්නේද නැතහොත් අමිහිරි වුවද සැබෑව වෙනුවෙන් පෙනී සිටින්නේද යන්න ෆොන්සේකා මහතා තෝරා ගත යුතුව ඇත.
ජයතිලක කම්මැල්ලවීර[Jayathilaka Kammallaweera]