Colombo, end of the War, Featured Articles, Features

‛මහින්ද චින්තනය ඇතුළෙ LLRC නෙමෙයි, බල්ලො, පූසන්ටවත් පාරෙ බැහැල යන්න බැරි තත්ත්වයක් තමයි උදාවෙන්නෙ’ – දීප්ති කුමාර ගුණරත්න


2009 මැයි මාසයේ දෙමළ විමුක්ති කොටි සංවිධානය මිලිටරි විදිහට අවසාන කළාට පස්සෙ ශ්‍රී ලංකා රජය එක පැත්තකින් විසඳුමක් ලෙසත්, එහිදී සිදුවුණ කාරණා මොනවද කියලා සොයාබලන්නත් කියමින් විශේෂයෙන් එහි ප්‍රකාශිත අරමුණක් ලෙස, උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුගත කරලා තියෙනවා. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය විදිහට මේ වාර්තාව සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?

එක්සත් ජාතීන් විසින් හදපු දරුස්මාන් වාර්තාවට විරුද්ධව, ඒකට අපි එකඟ නැහැ, ඒ නිසා අපි විසින් ඉදිරිපත් කරන විකල්ප වාර්තාවක්, දේශීය උත්තරයක් විදිහට තමයි ආණ්ඩුව මේ වාර්තාව හැඳින්වුවෙ. මේ වාර්තාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කළාට පස්සෙ ඒක කල් දැම්මා. කලින් තිබුණ ප්‍රශ්නය තමයි දරුස්මාන් වාර්තාව පිළිගන්නෙ නැහැ කියන එක. දැන් අලුත් තත්ත්වය තමයි තමන් විසින් ඉදිරිපත් කරපු වාර්තාව ඇයි ක්‍රියාත්මක කරන්නෙ නැත්තෙ කියන එක. මට හිතනේනෙ මේ එල්.එල්.ආර්.සී වාර්තාව මගින් ඉදිරිපත් කරලා තියෙන නිර්දේශවලින් එක කොටසක් දෙමළ ප්‍රජාවට අයිතිවෙනවා, අනිත් කොටස පොදුවේ සිංහල ප්‍රජාව ඇතුලු අපේ රටේ ආණ්ඩුක්‍රමයට අයිති වෙනවා. මෙතනදි හදිසි ප්‍රශ්නය වන්නේ දෙමළ ප්‍රශ්නය. නමුත් ප්‍රශ්නය වෙලා තියෙන්නෙ මේ හදිසි ප්‍රශ්නය ද්විතීයක ප්‍රශ්නය වෙලා අනිත් ප්‍රශ්න ප්‍රාථමික ප්‍රශ්නය වෙලා තියෙනවා. මට හිතෙන්නෙ අන්තර්ජාතික වශයෙන් පිටතින් පීඩනයක් ආවෙ නැත්නම් , ලංකාවේ තියෙන්නෙ ජාතිවාදී ආණ්ඩුවක් නිසා මේ වාර්තාවෙ තියෙන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමේ දේශපාලන බලඅධිකාරියක් මේ ආණ්ඩුවට තියෙනවා.

දරුස්මාන් වාර්තාව සහ එක්සත් ජාතීන්ගේ යෝජනාවලිය ඒ හරහා මතුවුණු කාරණා හින්දම, මේ වාර්තාව, යම් විදිහකට යුධ අපරාධ වලින් ජාත්‍යන්තර වශයෙන් ගැලවීමේ උපක්‍රමයක් විදිහට භාවිතා කරනවා කියලා සාකච්ඡා වෙනවා. ඔබ මේ සම්බන්ධයෙන් හිතන්නෙ මොකක්ද?

එල්.ටී.ටී.ඊ සංවිධානය ඇයි පරාජය වුණේ කියන කොට තිබෙන ජනප්‍රිය මතය තමයි අපි පරාජය කළා. කියන එක. නමුත් කවුරුත් දන්නවා භූ දේශපාලනික තලයේ සිදුවුණු විශාල වෙනසක් නිසා ඒක සිදු වුණා කියලා. උදාහරණයක් ලෙස, එල්.ටී.ටී.ඊ සංවිධානය තමන්ගෙ යුධ උපක්‍රම යටතේ මුහුණ දෙන්න බලාපොරොත්තු වුණෙ බටහිරට රටවල් වලට, ඉන්දියාවට සහ ලංකාවේ හමුදාවට පමණයි. නමුත් එකපාරටම අපි නොදන්න ඉත්තෙක් ආවා. ඒ තමයි චීනය. මට හිතෙන්නෙ මෙන්න මේ භූ දේශපාලනික යථාර්තය තුළ තමයි, එල්.ටී.ටී.ඊ එකත් සිංහල හමුදාවත් අතර යුධමය වශයෙන් තිබුණ තුලනය බිඳ වැටුණෙ. මේක මේ ජෙනරල් ෆොන්සේකා හරි, වෙන කවුරුහරි කළා කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. ඒව මේ යුද්ධය ගැන සංකල්ප දන්නෙ නැති අය හදපු දේවල්. ජෙනරල් ෆොන්සේකා මේක කළේ දුරකථන දහයක් විතර අරගෙන අණ දෙන නිළධාරීන්ට කුණුහරුපයෙන් බැනලා කියලා සමහරු කියනවා. මම කියන්නෙ, චීනය ආවෙ නැත්නම් කාටවත් මේ දේ කරන්න බැහැ . ඒකෙන් වුණෙ බටහිර අපිට දක්වන තුලනය අවුල් වුණා, ඉන්දියාවටත් මේක අවුල් වුණා. මම හිතන්නෙ යුද්ධය අපිට වාසි වන ආකාරයට තුලනය කරන්න පුළුවන් වුණෙ ගෝලීයකරණය තුළ තිබිච්ච දේශාපාලන හෙජමොනිය ඇමරිකාවෙන් චීනයට මාරු වීම මත. රටවල් වල අභ්‍යන්තරයට ඇඟිලි ගහන්න එපා කියලා චීනය කියනවනෙ. මම කියන්නෙ චීනය ඇගිලි ගහපු නැති රටක් කියන්න කියලා. බොරු කියන්නෙ.තමන්ගෙ වෙළඳ පොල අවශ්‍යතා සඳහා චීනය ඕනෑම රටකට ඇඟිලි ගහනවා. නමුත් අපි තේරුම් ගන්න ඕනෙ දරුස්මාන් වාර්තාව ආවෙ යුරෝපයට ඕනෙ නිසා. මුලදි ඉන්දියාවටත් ඒක වුවමනා වුණේ නැහැ. ඔය යුධ අපරාධ කියන ප්‍රශ්නය ලාංකිකයන්ගෙ ප්‍රශ්නයක් නෙමෙයි. ඇමරිකාවට චීනය පාලනය කරන්න අවශ්‍ය තෙරපුමක් විදිහට තමයි මේ මානුෂික ප්‍රශ්න ඉස්සරහට ගේන්නෙ. මේ වෙලාවෙ සිදුවෙන ගෝලීය දේශපාලනය තුළ මනුෂ්‍ය ප්‍රශ්න වලට, ආත්මීය ප්‍රශ්නවලට තියෙන්නෙ ද්විතියක තැනක්. ප්‍රාථමික තැන තියෙන්නෙ වෙළඳ පොළට සහ වෙළඳ පොළ ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්න වලට.

එල්.එල්.ආර්.සී වාර්තාව මේ වෙන තෙක් ආණ්ඩුවෙ පැත්තෙන් ක්‍රියාත්මක කිරීමේ ඒ තරම් සූදානමක් දක්වන්නෙ නැහැ. එතකොට මාස ගණනාවක් ගිහිල්ලත් මේක ක්‍රියාත්මක කරන්නෙ නැත්තෙ ඇත්තටම උපක්‍රමශීලි වැඩක් කියලා ඔබට හිතෙනවද?

ජෙනරල් ෆොන්සේකාව එලියට දැම්මෙ උපායකට කියලා සමහරු කියනවා. ජෙනරල් වගේ කෙනෙක් ගත්තාම එයා දේශපාලඥයෙක් නෙමෙයි. මොකද එයා වැඩ කරන්නෙ දේශපාලනයට අනුව නෙමෙයි. එයා වැඩ කරන්නෙ යුධමය වශයෙන්. එයා අනාගතයෙදි වුණත් ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න බලාපොරොත්තු වෙන්නෙ ලෑන්ඩ් රෝවර් ජීප් එකක් අරගෙන. ඒවා ගොන් කතා. ඒක මිථ්‍යාවක්. එල්.එල්.ආර්.සී ප්‍රශ්නය කල් දාන්නෙ ඇයි කියලා ඔබ ඇහුවා. ඒකෙ උපායක් තියෙනවා. ආණ්ඩුව සම්පූර්ණ ජාතිවාදය මත ඉන්නෙ කියලා ආණ්ඩුව දන්නවා. සිංහල ජාතිවාදය මත තමයි මේ ආණ්ඩුව පවතින්නෙ. ඒකෙ වෙන කිසි උපනතියක් නැහැ. එතකොට මේක ක්‍රියාත්මක නොකර ඉන්න කොට ඇමරිකාවටයි, බටහිරටයි පීඩනය යනවනෙ. එතකොට ආණ්ඩුව මොනව හරි කරනවා. උදාහරණයක් හැටියට දැඩි පීඩනයක් ඇමරිකාවෙන් එනතෙක් ආණ්ඩුව බලාගෙන ඉන්නවා. ඊළඟ පියවර මට දැන් කියන්න පුළුවන්. ඊළඟට ඡන්දෙට යනවා. ඡන්දෙට ගිහිල්ලා මේ මුලු ලෝකෙම අපිව ගිල ගන්න ඉන්නෙ අපි ඒකට සටන් කරන්න ඕනෙ කියලා කියපුවම, ආයිත් ඡන්ද ටික හම්බ වෙනවා. ඊට පස්සෙ මුලු ලෝකෙම මාත් එක්ක නැති වුණත්, අපේ ජනතාව මාත් එක්ක ඉන්නවා කියලා කියන්න නියමිතයි. එතනදි ගේන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය කියන කාසිය. එතකොට මොකද ඇමරිකාව කරන්නෙ?මෙන්න මේකයි අභියෝගය.

විශේෂයෙන්ම සිවිල් සමාජයත්, දේශපාලන පක්ෂත් විශාල වශයෙන් මේ එල්.එල්.ආර්.සී නිර්දේශ පිළිබඳව කතා කරනවා. බොහෝ අය යම් සාධනීය ලක්ෂණ මේ නිර්දේශ වල තියෙනවා කියලා කියනවා. ඔබ මොකක්ද මේ නිර්දේශ ගැන හිතන්නෙ?

මෙතන සාධනීය තැන කියලා කියන්නෙ 17වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අදාල එල්.එල්.ආර්.සී නිර්දේශ. ජනාධිපතිතුමා හමුවෙන්න විපක්ෂ නායක තුමා ගියා. ඒව එකක්වත් ක්‍රියාත්මක කරන්නෙ නැහැ කියලා පළවෙනි අවස්ථාවෙදිම කිව්වා. පළවෙනි වෙලාවෙම එයා කියලා ඉවරයි කොමිසම් ඕනෙ නැහැ කියලා. සිවිල් සමාජය තේරුම් ගන්න මේක ඕනෙ. මම හිතන්නෙ සිවිල් සමාජය වැඩිපුරම සටන් කරන්නෙ 17 වෙනි සංශෝධනය ගේන්න. 17 වෙනි සංශෝධනය නැතුව 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න බැහැ. නිදහස් මැතිවරණ කොමිසමක්, නිදහස් අධිකරණයක් නැතිව 13 ක්‍රියාත්මක කරන්න බැහැ. ඉතින් 17 දෙන්නෙ නැතිව 13 දීලා වැඩක් නැහැනෙ. මොකද ජනාධිපතිට පුලුවන් 13 ක්‍රියාත්මක කිරීමට අදාල නිළධාරීන් පත් කරන්න. අපි මේ ප්‍රශ්නය තේරුම් ගන්න ඕනෙ පරිපාලන ගැටලුවක් විදිහට නෙමෙයි. සිවිල් සමාජයේ බොහෝ බුද්ධිමතුන්ගෙ තියෙන ගැටලුවක් තමයි දෙමළ ප්‍රශ්නය පරිපාලන ගැටලුවක් විදිහට සැලකීම. දෙමළ කතා කරන නිළධාරීන් ටිකක් එහෙට යවපුවහම, දෙමළ තොප්පි ටිකක් යාපනයේ පොලීසියට හැදුවහම හරි මේ ප්‍රශ්නය අවසන් වෙන්නෙ නැහැ. මම කියන්නෙ ප්‍රශ්නය ඒක නෙමෙයි. ප්‍රශ්නය දෙමළ ජනතාව නිදහස ඉල්ලනවා. සරලවම කිව්වොත් දෙමල්ලු නිදහස ඉල්ලනවා. සිංහලයො කරන්න ඕනෙ, ඒ ප්‍රශ්නය තේරුම් අරගෙන ඒ නිදහස පිළිබඳව කතා කරන එක.

නමුත් එක්සත් ජාතික පක්ෂය සහ සිවිල් සමාජය සාකච්ඡා කරන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එකක් තමයි මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් එල්.එල්.ආර්.සී වාර්තාවෙ තිබෙන දේවල්. තවත් විදිහකට විශේෂයෙන් කොමිෂන් ගැන කතා කරනවා. මේවා සාධනීය දේවල් නෙමෙයිද?

සාධනීය දේවල් වුණාට ඒවා කරන්නෙ නැහැ කියල කිව්වනෙ. මේ යුද්ධය සමරන එකම අවුලක්නෙ. ලෝකෙ කොහේවත් තමන්ගෙ රටේ සිවිල් වැසියෝ ඝාතනය කරලා ඒ සිවිල් යුද්ධෙ සමරන්නෙ නැහැ. අපි 89 සමරනවද? නැහැනෙ. ඒ වගේ 2009ත් සමරන්න හොඳ නැහැ. ඉතින් මිල්ටරිහරණය කරන්නෙම නැහැ කියලා කිව්වනෙ. ඒක ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් හින්දා කරන්නෙ නැහැ කියලා කෙලින්ම කිව්වා. අපි සරලව තේරුම් ගන්න ඕනෙ අපේ වගේ චූටි රටක පාලකයා මේ තරම් බලවත් වෙන්නෙ කොහොමද කියලා. මොකද ආර්ථික බලයක් තිබිලද? මිල්ටරි බලයක් තිබිලද? අපේ වගේ රටක් යටත් කරන්න විනාඩි දහයයි යන්නෙ. කොහොමද බලවත් වෙලා තියෙන්නෙ? වෙන බලයක් තියෙන්නෙ ඕනෙ. ඒ තමයි චීනය. මම කියන්නෙ, කවුද මේ පිටිපස්සෙ ඉන්නෙ කියලා, විවෘතව සිවිල් සමාජය කල්පනා කරන්න ඕනෙ. මානව හිමිකම් ගැන කතා කරන්න චීනයට ඕනෙ නැහැ. ඉතින් මේවා කරන්නෙ නැතිව ඉන්න ශක්තිය දෙන්නෙ චීනය. ඒකයි අපි තේරුම් ගන්න ඕනෙ.

පසුගිය දවස්වල යුද ජයග්‍රහණ සැමරුම් උත්සව පවත්වනවා අපි දැක්කා. ඔබ කියන්නෙ මේ සැමරුම් වලින් එල්.එල්.ආර්.සී වාර්තාව හෑල්ලුවකට ලක්කරනවද?

පැහැදිලිවම ඔව්. මම සිවිල් සමාජයට මෙහෙම දෙයක් කියන්න කැමතියි. සිවිල් සමාජය සටන් කරන්න ඕනෙ පරිපාලන ප්‍රතිසංස්කරණ වලට නෙමෙයි. දේශපාලන ප්‍රතිසංස්කරණ වලට. සිවිල් සමාජයට පුළුල් චිත්‍රයක් තියෙන්න ඕනෙ. මේ වාර්තාව ක්‍රියාත්මක කරනව නම්, අපි මුලින්ම කරන්න ඕනෙ සිංහල මහජනයාව ජාතිවාදීහරණයක් කිරීමයි. ඒකට අවශ්‍ය දේශපාලන අරගලයක්, මතවාදී අරගලයක්, සංකල්පීය අරගලයක් අපි කරන්න ඕනෙ. ඒ අරගලය සංවිධානය කරන එකයි සිවිල් සමාජය කරන්න ඕනෙ. එම අරගලයේ ජයග්‍රහණට තුළ ආණ්ඩු මාරු කිරීමක් කරන්න ඕනෙ. ඊට පස්සෙ තමයි එල්.එල්.ආර්.සී එක ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම කියන්නෙ, මහින්ද චින්තනය ඇතුළෙ එල්.එල්.ආර්.සී නෙමෙයි, බල්ලො, පූසන්ටවත් පාරෙ බැහැල යන්න බැරි තත්ත්වයක් තමයි උදාවෙන්නෙ.

එල්.එල්.ආර්.සී වාර්තාව සහ එහි අඩංගු කරුණු වලින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට ඇත්තම දේශපාලනික පිළිතුරක් සපයනවා කියලා පෙරටුගාමී පක්ෂය හිතනවද?

ඒක අභියෝගාත්මක ප්‍රශ්නයක්. මම හිතන්නෙ, දෙමළ ජනතාව විසින් තමන්ගෙ දේශපාලන අරමුණු දිනාගන්න ඕනෙ නම්, ඒ ජයග්‍රහණ කරා යන්න ඕනෙ කොන්දේසි එල්.එල්.ආර්.සී එකේ නැහැ. මේකෙන් එක දෙයක් ඒ අයට සිදු වෙන්න පුලුවන්. එල්.එල්.ආර්.සී වාර්තාව ක්‍රියාත්මක කළාට පස්සෙ, ඒ අයට අඩු ගානෙ උතුරු – නැගෙනහිර පළාත්වල නිදහසේ ඇවිදින්න පුලුවන් වෙයි. එච්චර තමයි මම හිතන්නෙ එල්.එල්.ආර්.සී එකෙන් වෙන්නෙ. ඒ අයට අවශ්‍ය ස්වයං නිර්ණය වගේ කාරණා සම්බන්ධයෙන් අපිට විශාල දුරක් යන්න වෙනවා. මම කියන්නෙ ඒ සඳහා දරුස්මාන් වාර්තාවටත් වඩා ඉදිරියට යා යුතුයි. ඒ නිසා මම විශ්වාස කරන්නෙ එල්.එල්.ආර්.සී වාර්තාවෙන් පූර්ණ නිදහසක් හෝ මේ ප්‍රශ්නයට සම්පූර්ණ විසඳුමක් ලැබෙන්නෙ නැහැ. නමුත් තාවකාලික වශයෙන් ඒ අයට ප්‍රජාතන්ත්‍රවාදීව හිතන්න සහ වැඩ කරන්න, හුස්ම ගන්න පුළුවන් අවකාශයක් පමණක් ඉතිරි වෙයි.

දීප්ති කුමාර ගුණරත්න
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය
[‘විකල්ප‘ වෙබ් අඩවිය දීප්ති කුමාර ගුණරත්න සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිනි – මෙහි සම්පූර්ණ වීඩියෝව සදහා ‘විකල්ප‘ වෙබ් අඩවියේ වීඩියෝ වෙත පිවිසෙන්න]