[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]
Photo by – www.dbsjeyaraj.com
පසුගිය සති කිහිපය පුරා මෙරට දෙමළ දේශපාලනයේ ගමන් මඟ කුමක්වනු ඇත්දැයි ඉඟි කැරෙන සිදුවීම් ගනනාවක් වාර්තා විය.
ඉන් එක් වාර්තාවකින් කියැවුනේ දෙමළ දේශපාලන පක්ෂ පහක් ටී.එන්.ඒ. හෙවත් දෙමළ ජාතික සන්ධානයේ ධජය යටතේ කටයුතු කිරීමට ගිවිස ගෙන ඇති බවයි. මෙම පක්ෂ නම් වීරසිංහම් ආනන්දසංගරී නායකත්වයෙන් යුතු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (ටීයූඑල්එෆ් ) ධර්මලිංගම් සිද්ධාර්න් නායකත්වයෙන් යුතු දෙමළ ඊලාම් මහජන විමුක්ති සංවිධානය ( ප්ලොට්), සුරේෂ් ප්‍රේ්මචන්ද්‍රන් නායකත්වයෙන් යුත් ඊළාම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණ ( ඊපීආර්එල්එෆ්), සෙල්වම් අඩෙයිකලනාදන් නායකත්වයෙන් යුතු දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) සහ රාජවරොත්තයම් සම්පනදන් නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය ( ඉලංකෙයි තමිල් අරසු කච්චි නොහොත් අයිටීඒකේ) යන ඒවා ය. මෙම එකතුව දෙමළ සමාජයෙහි ප්‍රධාන දේශපාලන බලවේගය බවට පත්වීම රාජපාක්ෂික දේවාන්නද – කරුනා – පිල්ලෙයාන් – කේ.පී. යන දෙමළ කණ්ඩායම් වලට වැළැක්විය නොහැකි ය.
මෙම පක්ෂ පහ අතුරින් ප්ලොට් සහ ටීඑල්යූඑෆ් යන පක්ෂ යුද්ධය පැවැති කාලයේ දී රාජපක්ෂ ආණ්ඩුවට සහාය දැක්වු ඒවාය. යුද්ධාවසානය විසින් දේශපාලන විසඳුමක් ද දෙමළ ජනයාට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ද නිර්මාණය වනු ඇතැයි ඔව්හු අපේක්ෂා කළහ. දැන් එම පක්ෂ දෙකම රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් සිටින්නේ අපේක්ෂා භංගවය. දෙමළ දේශපාලන පක්ෂයන් හි පුළුල් පෙරමුණකින් තොරව ලංකාණ්ඩුවෙන් සිය අයිතිවාසිකම් දිනා ගත නොහැකිය යන අදහස කරා පසුගිය තෙවසරේ අත්දැකීම් ඔව්හු තල්ලු කරනු ලැබ තිබේ.
රාජපක්ෂ පාලනය අපට කියා සිටින අන්දමට උතුරු – නැගෙනහිර දෙමළ ජනයාට පසුගිය තෙවසර තුළ ආර්ථික සහ සමාජීය යන දෙ අරුතින්ම වඩා යහපත් ජීවන තත්ත්වයක් ලැබුණේ නම් සිදුවිය යුතුව තිබුණේ යුද්ධ කාලයෙහි ආණ්ඩුවට විරුද්ධව සිටි දේශපාලන පක්ෂ කිහිපයක් හෝ අඩුම වශයෙන් මධ්‍යස්ථ ස්ථාවරයක් කරා තල්ලු වීමය. නමුත් සිදුව ඇත්තේ එහි අනෙක් පැත්ත ය.
අන්තර් ජාතික වශයෙන් ද එයම සිදුවිය යුතුව තිබුණි. යුද්ධ කාලයෙහි විදේශගතව සිටිමින් එල්ටීටීඊ විරෝධී සහ ලංකාණ්ඩුවේ යුද උපායන්ට පක්ෂ ප්‍රචාරයන්හි යෙදුනු දෙමළ බුද්ධිමතුන්ගේ කුඩා කණ්ඩායම් අද පුදුමාකර ලෙස නිහඬය. ඒ කිසිවකු අද රාජපක්ෂ ආණ්ඩුවට ප්‍රසිද්ධියේ සහාය දක්වන්නේ නැත. ඒ අතරින් ප්‍රමුඛ එකතුව වූ මානව හිමිකම් සඳහා විශ්ව විද්‍යාල ආචාර්‍යවරු (යාපනය) කණ්ඩායම 2009 දෙසැම්බරයෙන් පසු නිහඬය. ඔවුන්ගේ අවසාන වාර්තාව එල්ටීටීඊයට පමණක් නොව රාජපක්ෂ ආණ්ඩුවට ද එරෙහි දෝෂාභියෝගයක් විය.
පසුගිය 19 දා ප්‍රසිද්ධයට පත් කරන ලද පරිදි මේ තාක් එකිනෙකට පසමිතුරුව ක්‍රියා කළ ප්‍රධාන පෙළේ දෙමළ ඩයස්පෝරා සංවිධාන 2ක ද දැන් පොදු එකඟතාවයකට පැමිණ තිබේ. මෙම සංවිධාන 2ක නම් ගෝලීය දෙමළ සංසදය (මහ ලේකම් -සුරේන් සුරේන්ද්‍රන්) සහ දෙමළ විමුක්ති පාර ජාතික ආණ්ඩුව (ප්‍රධානී – රුද්‍රකුමාරන්) ය. මෙම සංවිධාන 2ක කියා සිටියේ මෙතැන් සිට තම සංවිධාන සම්බන්ධිකරනයකින් යුතුව සිය අරමුණු දිනා ගැනීමට කටයුතු කරන බවයි. එමෙන්ම මෙම සංවිධාන ද්වය ශ්‍රී ලංකාවේ දී දෙමළ ජාතික සන්ධානයට සහාය දක්වයි.
මේ සියල්ලට අමතරව විශේෂයෙන් තමිල්නාඩු දේශපාලනය තුළත් පොදු වශයෙන් ඉන්දීය ජාතික දේශපාලනය තුළත් මෙරට දෙමළ ජනයාගේ අයිතිවාසිකම් පිළිබඳ නව උනන්දුවක් ද රාජපක්ෂ පාලනය පිළිබඳ මහත් අවිශ්වාසයක් ගොඩනැගෙන බව ද දැන් ඹ්නෑවටත් වඩා පැහැදිළි ය.
මෙම වර්ධනයන් විසින් පෙන්නුම් කරන්නේ තෙවසරක අත්දැකීම් විසින් දේශිය සහ අන්තර් ජාතික දේශපාලනය එක් දිශානතියක් කරා ගමන් කරමින් තිබෙන හැටි ය. මේ සඳහා පදනම සකස් කර ඇත්තේ වෙන කිසිවකු නොව රාජපක්ෂ පාලනයම විසිනි.
ශ්‍රී ලංකාණ්ඩුවේ දේශපාලන ප්‍රචාරයන්ට අනුව මෙරට දෙමළ ජනයාට විමුක්තිය උදා කර දී දැන් තෙවසරක් අවසානය. යුද්ධ ජයපානෝත්සව සව්දිය පුරනු ලැබූයේ වෙසෙසින්ම දෙමළ ජනයාට යුක්තිය, සාමය සහ සමෘද්ධිය ඇති කරන බවටය. එමෙන්ම පසුගිය වසර කිහිපය තුළ රාජපක්ෂ පාලනය 13වන සංශෝධනය ක්‍රියාත්මක කොට දේශපාලන විසඳුමක් ඇති කරන බවට අන්තර් ජාතික වශයෙන් අවස්ථා ගණනාවකදීම පොරොන්දු වී තිබේ. 2008 වර්ෂයේ දී සහ 2009 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එම පොරොන්දුව දෙවතාවකදී ලිඛිතවම ලබා දෙන ලදී. ඉන්දියානු ආණ්ඩුවට එම පොරොන්දුව අවස්ථා තුනකදී ලබා දෙන ලදී. එසේ නමුත් අප කව්රුත් දන්නා පරිදි මෙරට දෙමළ ජනයාගේ ප්‍රධාන දේශපාලන ඉල්ලීම වූ තමන් විසින් තමන් පාලනය කර ගැනීම තවමත් පවතින්නේ දුරස්ථ සිහිනයක් ලෙසය. දෙමළ ජනයාට විශේෂ වු ප්‍රශ්ණ කිසිවක් නැතැයි ජනාධිපති රාජපක්ෂ කියන විට ආරක්ෂ ලේකම් රාජපක්ෂ කියන්නේ උතුරු පළාත බහුතර දෙමළ ජනයාගේ ප්‍රදේශයක් නොවන බවය. (එනමුත් සෑම දෙමළ විරෝධී කොලාහලයකින් ම පසු කොළඹ ආණ්ඩුව නැව් ගණනින් සහ දුම්රිය පුරවා ආරක්ෂාව පිණිස දකුණේ දෙමළ ජනයා යවන ලද්දේ උතුරු සහ නැගෙණහිර පළාත්වලට ය).
තවද බොහෝ වාර්තා විසින් තහවුරු කර ඇති පරිදි උතුරු නැගෙණහිර ඉතාමත් උග්‍ර මට්ටමේ යුද කරණයක් සිදුවෙමින් ඇති අතර රාජ්‍ය අනුග්‍රහයෙන් කැරෙන සිංහල බෙෘද්ධකරණයක් ද එම ප්‍රදේශයන්හි ව්‍යාප්ත වෙමින් තිබේ. ඒ කොතෙක්ද යත් යුද්දයට බිලි වූ දස දහස් ගණන් සිය ඥාතීන් සැමරීමට පවා එම ජනයාට අවසරයක් නැත. ඊට අමතරව ප්‍රදේශයන්හි හින්දු කෝවිල් කඩා බිද දැමීම පිළිබඳ බොහෝ ජායාරූපමය සාක්ෂි තිබේ. යුද සමයෙහි රජයේ ආරක්ෂ හමුදාවන්ට බාර වූ එනමුත් මේ තාක් කිසිදු තොරතුරක් නැති සිය ගනණාවක් දෙමළ ජන පිරිස් සහ යුද්ධයේ දී ඝාතනය වූ දහස් ගණනාවක් සිවිල් වැසියන් සම්බන්ධයෙන් ආණ්ඩුවෙහි පිළිවෙත ‛ප්‍රතික්ෂේප කිරිම’ පමණි.
යුද්ධයෙන් පීඩාවට පත් වූ දෙමළ ජනයාගේ එදිනෙදා ජීවිතය යහපත් කිරීමට ආණ්ඩුව භයානක ලෙස අසමත් වී තිබේ. සමාජ, ආර්ථික සහ දේශපාලන යන තෙවැදෑරම් ක්ෂෙත්‍රයන්හිම යුද්ධ කලාපයේ ජනයාගේ ජීවිතයෙහි සාධනීය වෙනසක් ඇති කිරිමට පසුගිය වසර තුන තුළ රාජපක්ෂ පාලනය අසමත්ව තිබීම අද පොදුවේ පිළිගැනෙන කරුණකි.
සමස්තයක් වශයෙන් උතුරු නැගෙනහිර දෙමළ ජනයාට සැළකෙන්නේ යටත් කරගත් ප්‍රජාවකට සැළකෙන පරිදි ය. දකුණෙහි දී ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ සාධාරණත්වාදී මෙන්ම සිය වෘත්තීය අයිතීන් උදෙසා දියත් කැරෙන ක්‍රියාකාරිත්වයන් ප්‍රචණ්ඩ බලයේ සිට අධිකරණ ක්‍රියා මාර්ග දක්වා යොදා ගනිමින් මැඩලන ආණ්ඩුව දෙමළ ජනයා අතුරින් පැන නැගෙන එවැනි පියවරයන්ට සළකන්නේ දෙගුණයක් මර්දනකාරි ලෙස ය. එමෙන්ම එම මර්දනකාරී පියවරයන් ගනු ලබන හමුදාව සහ පොලීසිය ස්වරූපයෙන් ද හරයෙන් ද සිංහල වීම නිසාම දෙමළ ජනයාට එවැනි මර්දනයන් ඒත්තු යන්නේ ජාතික පීඩාවක් ද ලෙස ය.
යාපනය සරසවියේ ශිෂ්‍ය නායකයින්ට එරෙහිව දියත් කරනු ලැබ ඇති සැළසුම් සහගත ප්‍රචන්ඩ මර්දනය ඊට එක් උදාහරණයකි. තවත් මැත සිදුවීමක් නම් මන්නාරම අගරදගුරු රායප්පු ජොෂප් හිමිපානන්ට එරෙහිව දියත් කරන ලද බිය ගැන්වීමේ සැළසුමයි. එහිමියන්ට එරෙහිව ඇමැති රිෂාද් බද්යුදීන් විසින් කරන ලද තර්ජනාත්මක ප්‍රකාශයට විරුද්ධත්වය දැක්වීමට සංවිධානය කරන ලද රැස්වීමක් පොලීසිය විසින් තහනම් කරන ලද්දේ ඒ අනුවය.
ඉලංකකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සමුළුව පැවැත්වීමට නියමිත වූ මඩකළපුවෙහි ශාලාවකට ගිනි තබන ලද අතර වෙසක් සමයෙහි යුද හමුදාවේ වෙසක් තොරණකට හරකෙකු විසින් අලාභහානි කළැයි කෝපයට පත් සොල්දාදවකු එම හරක් පට්ටිය දැක්කවමින් සිටි දෙමළ තරුණයාට වෙඩි තබන ලදී. දෙමළ සමාජයේ ගරුත්වයට පත් පුද්ගලයින්ගේ පිළිරූ කඩා බිඳ දැමීම ද මඩකළපුවෙහි නොනවතින ප්‍රචණ්ඩත්වයකි.
රාජපක්ෂ පාලනය දෙමළ සමාජය වෙත සන්නිවේදනය කරන සංඥාව බවට පත්ව ඇති මෙවැනි මර්දනකාරි සිදුවීම් දෙමළ සමාජ දැන් දේශපාලනය ක්‍රියාකාරිත්වයන් මුහුණ දෙන අනිවාර්ය අංග බවට දැන් පත්ව තිබේ. මෙම වර්ධනය සංඛේතවත් කරන ජායාරූපයක් පසුගිය දිනෙක පළ වි තිබුණි. ලංකාණ්ඩුවෙහි යුද හමුදා වීරයින් අනුස්මරණය කිරීම පිනිස පැවැති යාපනයේ රැස්වීමකට බලයෙන් ගෙන්වන ලද ලාබාල යෞවන පාසැල් සිසු පිරිසක් එම ජායාරුපයේ දක්නට ලැබුණි. එම සියළු යෞවනයින්ගේ දෑස්හි ලියැවී තිබුණේ ‛‛ඇයි මේ?’’ යන ප්‍රශ්නාර්ථය පමණි. යුද්ධයේ දී මියගිය සිය මාපියන් මෙන්ම වැඩි මහල් සොයුරු සොයුරියන් සැමැරීම තහනම් කොට ඇති රාජ්‍යයක් විසින් සිය ඥාතීන් ඝාතනයට වගකිව යුතුයැයි චෝදනා ලැබ ඇති හමුදාවකට සුභ පැතීමට කැඳවන ලද මෙම යෞවනයින් අතරින් බහුතරයක් යළි නිවෙස් කරා යන්නට ඇත්තේ වේදනාව මුසු වෛරය කැටි කරගෙන නොවේ ද? අනාගත දෙමළ දේශපාලනයේ ගමන් මඟ ඒ සිත් සතන් තුළ මුල් බැස නොගන්නට ඇත් ද?
දෙමළ දේශපාලනයේ ඉදිරි දිශානතිය පිළිබඳ පැහැදිළි යොමුවක් පෙර කී මඩකළපු සමුළුවට එම පක්ෂයේ නායක ආර්. සම්පන්දන් විසින් කරන ලද දිර්ඝ වූත් තර්කානුකූළවූත් දේශණය විසින් සපයා තිබුණි. කෙටියෙන් එය මෙසේ සාංරාශ කළ හැක:
– අනාගත දෙමළ දේශපාලනය කවර තත්ත්වයක් යටතේවත් ප්‍රචණ්ඩ අරගල මාවත නොගත යුතු ය. එල්ටීටීඊ පරාජයේ එක් පාඩමක් එය යි. ප්‍රචණ්ඩත්වය අන්තර් ජාතික පිළිගැනීම්වලට විරුද්ධව යයි.
– සිංහල බහුතරය මත පදනම් වු ආණ්ඩු දෙමළ ජනයාට අභ්‍යන්තර ස්වයං පාලනයක් ලබා නොදෙන අතර එය ලෝක ප්‍රජාවට ඒත්තු ගැන්වීම අපේ මූලිකත්වය විය යුතු ය.
– දෙමළ දේශපාලනය ඉන්දියාව මිතුරු බලවේගයක් සේ සැළකිය යුතු ය. ඉන්දියාව කිසි විටෙක සිය ලැදියාවන් පරයා යන දේශපාලන විසඳුමකට සහාය නොදෙනු ඇත.
– දේශපාලන විසඳුම ඒකීය රාජ්‍යක් යටතේ ක්‍රියාත්මක කළ නොහැක. දෙමළ ජනයාගේ අහිමි කළ නොහැකි අයිතියක් වන අභ්‍යන්තර ස්වයං පාලනය ක්‍රියාත්මක කළ හැක්කේ එක්සත් ශ්‍රී ලංකාවක් යන සංකල්පය තුළ පමණි.
– දෙමළ දේශපාලනය සිය අරමුණූ සඳහා අන්තර් ජාතික ප්‍රජාවෙහි සහාය පවත්වා ගැනීමට මුලෝපායිකව කටයුතු කළ යුතුය. දෙමළ ජනයාගේ අයිතිවාසිකම් දිනා ගත හැක්කේ අන්තර් ජාතික සහායෙන් පමණි.
– දෙමළ දේශපාලනය ඉවසීමෙන් යුතුව සිය අරමුණූ කරා යා යුතු ය. ඉවසීම ඉතා තීරණාත්මක ය. එනමුත් ඉවසීමට සීමාවක් තිබේ. ඒ සීමාව කරා පැමිණි විට පුළුල් සහයෝගය ගොඩ නඟා අවිහිංසාවාදී අරගලය කරා යොමු විය යුතු ය.
සුනන්ද දේශප්‍රිය[Sunanda Deshapriya]