මේ වන විට ලංකාවේ පැවති වාර්ගික සිවිල් යුද්ධය නිමව ඇත. ඒත් සමගම ලංකාවේ සුළු ජාතීන් සහ මහ ජාතීන් කියන සංකල්පය ද මියැදුණි. නුමුත් ඒ අඩුව පිරවීම සඳහා ජනාධිපතිතුමා කී දෙකොටසට අමතරව ජාතිවාදීන් හා ජාතිවාදී නොවන කොටස් දෙක කරලියට පැමිණ තිබේ. මේ තත්ත්වයට බලපා ඇති ආසන්තම හේතුව වී ඇත්තේ උතුර නැගෙනහිර දෙපළාත්වලට දේශපාලන විසඳුමක් ලබාදිය යුතුය යන මතවාදය ඉදිරියට පැමිණ තිබීමයි. දැනට මේ සඳහා යෝජනා වී ඇත්තේ ලංකාවේ මේ වන විටත් නීතියක්ව පවතින 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. 13 වැනි සංශෝධනය එපා, 13 වැනි සංශෝධනය අවශ්‍යයි, 13 ට වැඩියෙන් ගිය බලතල බෙදීමක් අවශ්‍යයි (තර්ටීන් ප්ලස්), ඉන්දීය මොඩලය ලබාදිය යුතුයි සහ දෙමළ ජනයාට ස්වයං පාලනය ලබාදිය යුතුය යන මතවාදයන් මේ වන විට ශ්‍රී ලාංකීය කුහක දේශපාලන පොරපිටියේ විවාද වෙමින් පවතී.
ශ්‍රී ලංකාව නියම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස බැලු බැල්මට පෙනේ. ඒ කෙසේද යත් සන්ධාන ආණ්ඩුවේ ඇමතිවරුන්ට වරක් හෝ දෙවරක් තමන්ගේ හා පක්‍ෂයේ මතයන් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම නිසාය. උදාහරන ලෙස හෙළ උරුමය පක්‍ෂය නියෝජනය කරන වත්මන් පරිසර ඇමති පාඨලී චම්පික රණවක මහතා 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට විරුද්ධ බවත් එසේ කළහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවත් එක් වරක් පමණක් පැවසීම පෙන්වාදිය හැකිය. තවදුරටත් ඇමතිකමේ සිටීමට ආශාකරන පාඨලී චම්පික මහතා විසින් නැවත වරක් මෙවැනි ප්‍රකාශයක් සිදුකරාවී යැයි අපි සිහිනෙකින්වත් විස්වාස නොකරමු. ඒ එසේ නොකිරීමට අවශ්‍ය බෙහෙත් ජනාධිපතිතුමා විසින් ලබා දී ඇති නිසා සහ පරිසරය බේරාගැනීමට එතුමාට දැඩි අවශ්‍යතාවයක් පවතින හෙයිනි. විටක එල්ලාවල මේදානන්ද හාමුදුරුවන් පවසන්නේ තමන් කාල තුවක්කුවලට උණ්ඩ දැමීමට ද උදව් වී ඇති බවයි. චම්පික රණවක මහතාට අනුව දෙමළ වැසියන්ට දැන් 13 වැනි සංශෝධනයක් අවශ්‍ය නැති අතර කෑම බීම ඇඳුම් පැලඳුම් හා නිවාස තිබුනොත් සෑහීමකට පත්විය හැකිය. හෙළ උරුමය නම් වූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එක් ජනකොටසකට පමණක් (සිංහල බෞද්ධ) උරුමකම් කියන පක්‍ෂයක් විසින් මෙසේ නොකීවොත් පමණක් අප පුදුම විය යුතු වෙමු.
රත්තරං මුතු මැණික් දෙන්නම් කීවත් පළමුවෙන් විරුද්ධවන ජනතා විමුක්ති පෙරමුණ ද දැනට ඉදිරිපති වී ඇති දේශපාලන විසඳුමට විරුද්ධ ප්‍රධාන ජාතීවාදී දේශපාලන පක්‍ෂයක් ලෙස ඉස්මතුව ඇත. එහි නායක සෝමවංශ අමරසිංහට අනුව 13 වැනි සංශෝධනය මළ මිණියකි. එය ලංකාවේ නීතියක් නොවේ යැයි ද ඔහු කියති. විජිත හේරත් පොලිස් හා ඉඩම් බලතල දීම දකින්නේ රණවිරුවන් දිවි හිමියෙන් බේරාගත් මාතෘභූමිය බෙදුම්වාදීන්ට පාවාදීමක් ලෙසය.
ජාතික භික්‍ෂු පෙරමුණ මේ දිනවල බෞද්ධ තේවාවන් අතපසු කරගනිමින් ටියුෂන් කාරයින් මෙන් අත්පත්‍රිකා බෙදමින් සිටී. ඒ ලංකාවේ දේශපාලන ගැටළුව විසඳීමට අවශ්‍ය බලය බෙදීමට විරුද්ධව පිටකොටුවේ බෝ ගස යටය. උන් වහන්සේලා විසින් ගෞතම බුදුරජාණන් වහන්සේට බුදු වීමට පිටදුන් හා සෙවන දුන් බෝ ගසට ද නිගා කරමින් ජාතිවාදයට පාර කපමින් සිටිති. උන් වහන්සේලා සිංහල පමණක් උරුමය පෙන්වා දෙති. නමුත් බුද්ධ දේශනාවට අනුව ජාතිවාදයට ඉඩක් නොමැත. උන්වහන්සේලා ඉතිහාසය පුරාවටම දෙමළ ජනතාවගේ අයිතීන් ලබාදීමට උත්සහකරණ සෑම මොහොතකම සෑම රාජ්‍ය නායකයෙකුටම විරුද්ධ වී විශේෂඥ පුහුණුව ලබා සිටී. උදාහරණ ලෙස බණ්ඩාරණායක චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධවීම හා ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධවීම පෙන්වාදිය හැකිය. ඒ අත්දැකීම් මේ වන විටද ප්‍රායෝගිකත්වයට පත්කරමින් සිටි.
විමල් වීරවංශ සහ ඔහුගේ පක්‍ෂ නියෝජිතයො දෙපිටි කාට්ටුවෝ ය. ඔවුහු බලය හා වරප්‍රසාද ලෝබීන් ලෙස ප්‍රකටය. ඒ බව ඔවුන්ගේ වත්මන් දේශපාලන ක්‍රියාකාරීත්වයන්ගෙන් ද පැහැදිලි වේ. මොවුන් ගැන පැවසීමට වචන නාස්ති කිරීමට පවා මේ ලියුම්කරු අකමැතිය.
මංගල සමරවීර මහතා දේශපාලන බංකොලොත් කාරයෙක් බව ඇතැම් ජනමාධ්‍ය පෙන්වා දෙයි. මේ මන්ත්‍රීවරයා පවසන්නේ වත්මන් ආණ්ඩුව රඟදක්වන්නේ නාට්‍යයක් බවයි. රාජිත සේනාරත්නලා, ඩිලාන් පෙරේරලා චම්පිකලා වීරවංශලා කෙහෙළියලා හා ජනමාධ්‍ය ඇමතිවරු රඟ දක්වන්නේ මේ නාට්‍යයේ එක් එක් චරිත බව ඔහු පෙන්වා දෙයි. එවිට මෙය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිෂ්පාදනයක් බව පෙනේ.
ඩිලාන් පෙරේරා සහ රාජිත සේනාරත්න යන ඇමතිවරු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම හරහා බලතල බෙදා හදාගෙන පාලනය කර දෙමළ ජනතාවට සමාජ දේශපාලන, සිවිල් හා සංස්කෘතික අයිතීන් ලබා දීම සඳහා සැදී පැහැදී සිටින අයවලුන් ලෙස පෙනේ. නමුත් ආණ්ඩුවේම ඇතැමුන් මේ සඳහා සෘජු හා වක්‍ර බලපෑම් එල්ල කරණ බව ද නොකියා බැරිය. ජනාධිපතිතුමා ද උතුරේ ප්‍රශ්නය විසඳීම සඳහා සැමටම පිළිගත හැකි දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරණ බව ජනමාධ්‍ය ඇමතිවරු හරහා ප්‍රකාශ කළත් ඍජුවම ඒ විසඳුම කුමක් ද කියා තවම පවසා නැත. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී මහතා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළත් එය තිරසාර විසඳුමක් ලෙස විශ්වාස නොකරණ බව පවසා ඇත. ඒ මේ සංශෝධනය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ හැකි නිසාත් එසේ නොකරාවි යැයි දැනට පවතින පක්‍ෂ මත ගැටුම් පිල් බෙදීම් නිසා සිතිය නොහැකි නිසාත් ය. ඒ මහතාට අවශ්‍යව ඇත්තේ ඉන්දියානු මොඩලයේ බලතල බෙදීමේ නව ෆෙඩරල් සිස්ටම් එකකි. කෙහෙළිය රඹුක්වැල්ල මහතා දක්වන්නේ අපූරු අදහසකි. අවතැන්ව සිටින දෙමළ ජනයා ‛‛ප්‍රජාතන්ත්‍රවාදය’‛ කියන වචනයවත් අඳුනන්නේ නැති බව ඔහු පවසති. දැනට ඔවුන්ගේ ලෝකය සුන්දර නැති බව මේ ඇමතිවරයා පිළිගෙන ඇත. ඔහු උත්සහ කරන්නේ පළමුව මේ ජනතාවගේ ජීවිත සුන්දර කිරීමටත් දෙවනුව දේශපාලන විසඳුමක් ගෙන ඒමටත් ය.
එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට 13 වැනි සංශෝධනය පිළිබඳව ඍජු අදහස් දැක්වීමට කල්මරමින් සිටින බවක් පෙනේ. 1987 දී ජේ. ආර්. ජයවර්ධන මහතා සහ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි විසින් අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමෙන් ජාතක වී උපන් කුළුඳුල් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීමට එක්සත් ජාතික පක්‍ෂයට සදාචාරාත්මක අයිතියක් නොමැති බව නොදන්නා අයවලුන් එම පක්‍ෂයේ සිටී යැයි මා විශ්වාස නොකරමි. කෙසේ වෙතත් එම පක්‍ෂය දක්වන්නේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම් ලෙස ආණ්ඩුව ගෙනෙන යෝජනාව කුමක්ද කියා නොඉවසිල්ලෙන් බලා සිටින බවයි. හොඳ විසඳුමක් වුවහොත් එම පක්‍ෂය ආණ්ඩුවට උදව් කිරීමටද සැදි පැහැදී සිටින බව ද පෙන්වා දී ඇත. නමුත් වගකිව යුතු ශක්තිමත් විපක්‍ෂයක් නම් සිදු කළ යුත්තේ ඉතා ඉක්මනින් මේ ගැටළුවට දේශපාලන විසඳුමක් ගෙන ඒම සඳහා සියලු ජනතාව ද සමගින් ආණුඩුවට බල කිරිමයි. නමුත් ලංකාවේ විපක්‍ෂය ශක්තිමත් නොවීම නිසාත් වගකිවයුතු බවින් මිදි ඇති නිසාත් කප්පරේකටවත් එසේ කරාවී යැයි විශ්වාස කළ නොහැකිය.
මහ ජනාතාව විදියට අප මේ ආණ්ඩුව නිවැරදි මාර්ගයට යොමු කළ යුතුව ඇත. යුද්ධය අවසන් වු පමණින් හෝ මාස දෙක තුනකින් ලක්‍ෂ තුනකට ආසන්න ජනතාවක් යලි පදිංචි කිරීමට හෝ ඔවුන්ව සුකිත මුදිත කිරීමට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා පැමිණියත් කළ නොහැක්කක් බව අප පිළිගත යුතුය. නමුත් මේ ගමන යන ගමන් මේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් හඳුනාගෙන එය ක්‍රියාත්මක කිරිමට ආණ්ඩුව සැදී පැහැදී සිටිය යුතු ය. එල්ටීටීඊ සංවිධානය මුල් කාර්තුවේදී ගොඩ නැගෙන්නේ දෙමළ ජනතාවට සිදු වූ අසාධාරනකම් පිලිබඳව ඉවසා සිටීමට නොහැකි වූ මොහොතේ දි බව මා පිළිගන්නා සත්‍යයකි. පසුකාලීන එල්ටීටීඊ ය පිළිබඳව මාගේ එතරම් විශ්වාසයක් නැතත් දැන් කළ යුත්තේ අහිංසක දෙමළ ජනතාව අතරමං නොකර ඔවුන්ට අහිමි වූ සියලු හිමිකම් ලබා දීමය. සුළුතරය සිංහල ජාතීන් වී දැන් දෙමළ ජනතාවට විඳින්නට වී ඇති ව්‍යවසනයන් සිංහලයින්ට විඳින්නට සිදු වුවහොත් අපි කුමක් කරම් ද? බහුතරය බෞද්ධ ආගම අදහන ජාතියක් වෙසෙන ශ්‍රී ලංකාව එසේ නොසිතන්නේ කවර කරුමයක් නිසාද යන්න නොතේරෙන දෙයකි. මේ සියල්ලම මෙහෙයවන්නේ දේශපාලඥයින්ගේ පෞද්ගලික සිතැඟියාවන් හා මතිමතාන්තර වලට අනුවය. යමෙක් කිසිවකට අකමැති නම් ඔහු යටතේ සිටින සියල්ලන්ම තම මතයට නම්මවා ගැනීමට මේ කපටි දේශපාලඥයාට හැකිය. මැකියාවෙලිගේ අදහසට එහා යමින් ලංකාවේ දේශපාලඥයින් නරියෙකු මෙන් නොව නරි රැලක් මෙන් කපටිව කටයුතු කරණ ආකාරයක් අප අභිමුව පවතින බව අවසන් වශයෙන් සඳහන් කළ හැකිය.
එච්. ජේ. සම්පත්