end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi

එක ගෙදරක මරණයක් සහ මඟුලක්! [උතුර සහ දකුණ එකම දිනයක් සැමරෑ අයුරැ]

[2වන සංස්කරණය]

‛‛මම ගොඩාක් කාලෙකින් මේ ගමට ආවේ. ඒත් ගමට නෙම් මේ පල්ලියට.මගේ ගෙදරට මට යන්න දෙන්නේ නෑ. මම ආපු ගමන් මගේ ගෙදර හිටිය බල්ලා දුවගෙන ඇවිත් මගේ කකුළ ලෙව කෑවා..’’ මන්නාරම, සිලාවතුර, මුල්ලිකුලම් ගමේ මහලු පියෙක් මෙසේ කීවේ කඳුඑ පිරි දෑසින් යුතුවය. ඒ යුද්ධය නිසා ඝාතනයලට ලක් වුනු තම ආදරණීයන් සැමැරීම සඳහා පසුගිය මැයි 19වනදා වසර 5කට පසු මුල්ලිකුලම් පල්ලියේ පැවති අනුමස්මරණ පූජාවක දී ය.

‛‛මුල්ලිකුලම් කියන්නේ සාරවත් ගමක්. එක් පැත්තකින් මුහුදු රස්සාව කරන්නත් පුලුවන්. එහෙම නැතිනම් ගොවිතැන් කරන්නත් පුලුවන්. ඒත් එච්චර හොඳ ගමක් දාලා ඒ මිනිස්සුන්ට යන්න උනා මේ යුද්ධය නිසා. ඒත් දැන් යුද්ධය ඉවරවෙලා අවුරුදු 3ක් ගිහිල්ලත් ඒ ගමේ මිනිස්සුන්ට ගමට යන්න බෑ. නාවික හමුදාව බලෙන් අල්ලන් ඉන්නවා.’’ ‛‛ඔය හරියේ පොටෝ ගන්න එපා’’ එක්වරම ගම ගැන තොරතුරු පවසා සිටි අප මිතුරා ඉදිරියේ ඇති නාවික හමුදා මුර කපොල්ලක් පෙන්වමින් පැවසීය. මන්නාරම, නන්නාටාන් සිට සිලාවතුර දෙසට ගමන් ගන්නා විට පලමුවෙන්ම හමුවෙන මුරපොල එයයි. එය නාවික හමුදා මුර පොළකි. යුද්ධය අවසන් වී වසර 3ක් ගතවුවද, යන්නේ කොහෙද, මොකටද යන්නේ, ඉන්නෙ කවුද යන ප්‍රශ්ණවලට ඕනෑම අයෙකුට සාමයේ නාමයෙන් පිළිතුරු සැපයිය යුතුය.

ඉන් පසු පිවිසින්නේ අලුතින් සකස් කර ඇති තාර නොදැමූ වැලි සහිත මාර්ගයකටය. මාර්ගය දෙපස මිනිසුන් පදිංචි වී සිටි බවට කිසිදු ලක්ෂණයක් නැතිමුත් ස්ථාන කිහිපයක නැවත පදිංචිකිරීම සදහා ඉදිවන නිවාස යෝජනා ක්‍රමයක් ද හමුවෙයි. ‛‛මේ පාර තමයි මන්නාරම ඉදලා කොළඹට තියෙන ලඟම පාර. මෙකේ හවසට අලි ඉන්නවා. ’’ අපත් සමඟ ගමන් ගන්නා මිතුරා නැවතත් පවසවාත් සමඟ අප සියලු දෙනාගේ අස් යොමු උනේ ඝණ කැලෑව දෙසටයි. අදින් වසර 3කට පෙර මේ වනාන්තරය, මේ පොළව කෙසේ නම් සිදු වූ ඝාතනයන් ඉවසා සිටියේ දැයි මට සිතිනි. වසර ගණනක් පුරා දෙමළ ජනයා ජීවත්වූ මේ පොළව මත හෙලු වෙඩි වරුසාවන් නිසා මේ පොළවේ හැම වැලිකැටයක්ම රත්පහැ ගැන්වීමට තරම් ඒ මහා ව්‍යසනය බියකරු විය. අද මෙහි කිසිවෙකුත් නැත. එක වරම වේගයෙන් ආ බස්රථයෙන් ආ දූවිල්ලෙන් නැහි වී ගිය අප වෑන්රිය මදකට නතර කෙරෙුනේ බස් රථ රියදුරාගේ වීනිත රිය පැදවිල්ල නිසා ය. සිලාවතුර කුඩා නගරයට සේන්දු වන විට නාවික සහ යුද හමුදා කඳවුරු 4කට ආසන්න ප්‍රමාණයක් අප නිරීක්ෂණය කර සිටියෙමු.

‛‛දැන් ඇයි මෙච්චර හමුදා කඳවුරු, දැන් එල්ටීටීඊ නෑනේ.. මම විමසූවෙමු. ඇත්ත දැන් යුද්ධය නෑ තමයි. එල්ටීටීඊ ත් නෑ තමයි. නමුත් ආණ්ඩුවේ සැළැස්ම තමයි ආමි එකයි, නේවි එකයි පාවිච්චි කරලා මේ පළාතේ හිටිය මිනිසුන්ගේ ඉඩම්වල ඇත්තම අයිතිකරුවන් වෙනත් තැන්වල ‛නැවත චදිංචි’ කිරීම කියන එක යටතේ පදිංචි කරලා, දකුණේ සිංහල මිනිස්සු මේ ඉඩම්වල පදිංචි කරන්න. ඒකේ තියෙන අනිත් කරුණ තමයි එහෙම කළාම මෙ පළාතේ ඇත්ත දෙමළ ජනගහණය වෙනස් වෙනවා. ඇත්තටම ආණ්ඩුවට ඕන කරන්නේ ජනගහන සංයුතිය වෙනස් කරලා දෙමළාව තව තවත් විසිරුණු ජාතියක් බවට පත් කරන්න. ආණ්ඩුව බයයි අපි එකට ඉන්නවට. ඒකයි දැන් මේ වෙන්නේ. බොරුනම් බලන්න අර කට්ටියක් කැලැව සුද්දකරන්නේ. ඒ අය මේ පළාතේ නෙමෙයි. ගොඩක් වෙලාවට එඑවන්කුලම පැත්තේ මිනිස්සු. දෙමළ මිනිහෙක් කැලේ සුද්ද කරලා මොනවා හරි කෙරුවොත් නේවි එකෙන් එළවලා දානවා.

‛‛ස්ථාන කිහිපයක පාර දෙපස කැලැව එලිකර ඇති අයුරු නීරික්ෂනය කළෙමු. එහි එක් තැනක ත්‍රීවිල් දෙකකින් පැමිණි ලොකු කුඩා පිරිසක් කැළැව තව දුරටත් එළි පොහෙළි කරමින් ඇති අයුරු දිස් විය.

මෙතනින් තමයි මුල්ලිකුලමට යන්නේ.. අප මිතුරා පැවසීය. කැමරාව බෑග් එකේ දාගන්න. ඔහු බියකරු ලෙස මා දෙස බලා පැවසීය.

ඇයි…. ඒ…? එයාලා කැමති නෑ පොටෝ ගන්නවාට. ඔහු නැවතත් පැවසීය.

කවුද එයාලා…නැවතත් මා විමසනවාත් සමග.. මාගේ දකුණු පසින් ‛‛විධාන මූලස්ථානය, වයඹ නාවික පෙදෙස’’ යනුවෙන් පුවරුවක් දිසිවිය.

නේවි එක…ඔහු එකවරම මාගේ ප්‍රශ්ණයට පිළිතුරු ලබා දුනි.

එම මාර්ගයේ ටික දුරක් යන විට මාර්ගය ඉහලින් විශාල පුවරුවක් සවි කර ඇති නිරීක්ෂනය වූ ඇතර එහිත් සඳහන්ව තිබුණේ පෙර පුවරවේ තිබූ සටහනමය.

පුවරුවට යාර කිහිපයක් මෙපිටින් වාහනය නතර කළ නාවික හමුදා නිළධාරියා.

‛‛එක්කෙනෙක් ගිහිල්ලා අතන ලියන්න. තව එක්කෙනෙක් බෑග් පෙන්නන්න’’ යැයි සිංහලෙන් කියා ගෙන ගියේ සිංහල පෙදෙසකට පැමිණි සිංහල මිනිසුන්ට අමතනවා මෙන්ය. එම නිසා මා අසල සිටි දෙමළ සියලු දෙනා තුෂ්ණිමිභූතව බලා සිටි හෙයින් නැවත වරක් එය ඉංග්‍රීසියට පෙරලා ඔවුන්ට පැවසීමට අපට සිදුවිය.

හිරු මුදුන් වීමට ආසන්න නැතත් හිරුරැස් පොළවට වැටී ඇතිකර තබූ ගිණි රස්නය අවම ලෙසවත් පහකර හරින්නට හුලං පොදක්වත් හමන්නේ නැත. නිරුවත් දෙපා පොළව මත තබා සාමාණ්‍ය ගමනකින් යා නොහැකි මා ඉතාවේගයෙන් දිව ගියේ මහපොලවද ගිණියම් වී ඇති නිසාය. වසර ගණනක් පුරා දෙමළ මිනිසාගේ ලේ හැලු මේ බිම තාමත් හමුදා සපත්තුවට යට වී තිබීම ගැන සොබාදහමත් උරණ වී ඇතැයි මට සිතුනේ දහඩියෙන් තෙත් වූ කමිසය දැකීමෙනි.

කොහෙද යන්නේ..? නැවතත් සුපුරුද ප්‍රශ්ණ ටික නාවික හමුදා නිළධාරියා මගෙන් අසයි.

පල්ලියට..

අයිඩින්ටි කාඩි? මා මාගේ හැඳුනුම්පත දිගු කළෙමි.

ආ… සිංහලද?

ඒ වචනය තුළ මුසුවී ඇති කුමක් දෝ කියා ගත නොහැකි වේදනාවක් නිසා පිළිතුරු නොදී සිටි මට නැවතත් එම ප්‍රශ්ණයම ඔහු විමසීමෙන් මා මගේ නම කීවෙමි.

ඇයි යන්නේ…?නැවතත් සුපුරුදු ලෙසය.

පල්ලියේ උත්සවයට

ක්‍රිස්තියානිද? නැවතත් ඔහු අසයි.

මා නිහඬව සිටිමි.

වෑන් එකේ නොම්මරේ.? කී දෙනෙක් ඉන්නවද? ෆොරිනස්ලා එහෙම ඉන්නවද?

සියලු දේට පිළිතුරු දුන් පසු ඔවුන් මා නිදහස් කළේ ආගමින ස්ථානයක පූජාවකට යන අයෙකු මෙන් නොව හමුදා කඳවුරකට ආයුධ සන්නද්ධව ඇතුලුවීමට උත්සහ කළ අයෙකු මෙනි. දෙපසම ඇත්තේ නාවික හමුදාවට අයත් ගොඩනැගිලිය. පාර දෙපස ආයුධ සන්නද්ධ නාවික සෙබලුන් විශාල පිරිසක් රඳවා ඇත. කැළෑව තුළට වන්නටද බොහෝ ස්ථානවල ආයුධ සන්නද්ධ සෙබලුන් තුවක්කු මානාගෙන සිටින්නේ දැන් කුමක් හෝ ප්‍රහාරයක් එල්ලවේ යැයි සැකයකින් දැයි ඔවුන්ගේ මුහුණුවලින් පෙන්නුම් කරයි. අප පල්ලිය අසලට පැමිණෙන විට විශාල පිරිසක් පල්ලිය තුළ පුජාවට සම්බන්ධ වෙමින් සිටියේ ය.

වාහනයෙන් බැස ගත් අපට අකවරම දක්නට වූයේ පල්ලියේ බිත්තියෙන් අඩි 10කට වන්නට විශාල කම්බි වැටකින් පල්ලිය වට කර ඇති අයුරුය. එපමණක් ද නොවේ එම කම්බි වැටෙන් එපිටත්, මෙපිටත් විශාල නාවික භට පිරිස් රඳවා තිබෙනු දක්නට විය. කිසිදු අයෙකුට පල්ලියේ කම්බි වැටෙන් එළියට යාමට අවසර නැත. තමන්ගේ භූමියේ තමන් රුදී සිටින ස්ථානය නාවික හමුදාව විසින් සළකුනු කර ඇත. මේ දමා ඇති පීඩනය නිසා තවත් කෙදිනක හෝ ඔවුන්ගේ සීමාව සළකුණු කර ගැනිමට ඔවුන් උත්සහා ගතහොත් එයින් ඇතිවිය හැකි ව්‍යසනයට නාවික හමුදාව හෝ ආණ්ඩුව එයට වගකිව යුතු නොවේදැයි මට සිතිනි.

පල්ලියේ කම්බිවැටෙන් මීටර 5ක් පමණ වන්නට ගොඩනැගිලි කිහිපයක් දිස් වූයෙන් අප මිතුරෙකුගෙන් ඒ ගැන විමසූවෙමු.

‛‛ඒ තමයි මුල්ලිකුලම් වලට තිබුණු ඉස්කෝලේ. දැන් ඒකේ නේවි එක පදිංචිවෙලා’’ ඔහු පැවසීය. පසුගිය කාලයේ ආණ්ඩුව ප්‍රකාශ කළේ සියලු පුද්ගලික සහ පොදු දේපල වලින් හමුදාවන් ඉවත් කර ගන්නා බවය. නමුත් සාමයේ නාමයෙන් ආණ්ඩුව සිදු කරන මුසාවන් වලට හොඳම උදාහරණය මුල්ලිකුලම් ය. මන්නාරමේ සිට කිලෝ මීටර 20ක් 25කට වන්නට ඇති මේ ප්‍රදේශයේ පාසල් වැනි පොදු දේපල වලට තාවමත් අරක්ගෙන සිටින්නේ හමුදාවය. අවම වශයෙන් එම භූමි අයිති ජනයාට තමන්ගේ නිවසට තියා තම ආගමික කටයුතු සිදු කර ගැනීමටවත් නිදහසක් නැත. එයත් මිලිටරීකරණය කර ඇත.

පල්ලිය තුළින් ගීතිකා හඬ රැව් දෙයි. මසේ තම ආදරණීයන් සිහිපත් කරන්නේ මුල්ලිකුලම් ගමේ සිට යුද බියට පලාගොස් සිටි මුල්ලිකුලම් හි මිනිසුන්ය. ගැහැණුන්ය. පාපතර ඝාතකයින්ගේ උණ්ඩයෙන් තම සමීපතමයින් උදුරාගත් වේදනාව යම් පමණකට හෝ සමනය කර ගන්නට මෙසේ දෙවියන් ඉදිරියේ ඔවුන් යාඥා කිරීම ඇතැම් විට බලා සිටිය නොහැකි වේදනාත්මක දසුනක් විය. වසර 5කට පසු පැමිණි ඇතැමෙක් තම දෑස් වසාගෙන දෙවියන් ඉදිරියේ වේදනාව පවසා සිටිනු දැකීම දුෂ්කරම කටයුත්තක් විය.

මුලු පල්ලියම එකම හිස් ගොඩකි. මේ සියලු දෙනාගෙන් අඩුම එක් අයෙක්වත් යුද්ධය නිසා ඝාතනයට ලක් වී ඇත. නැතිනම් අතුරුදහන් කර ඇත. එසේත් නැතිනම් සදාකල්හිම කර කියා ගැනීමට නොහැකි අසරණ රෝගියෙකු බවට පත් කර ඇත. ඒත් තම ගමේදී ඒ සියලු දෙනා නිදහසේ සිහි කරන්නට ‛අලුත් ශ්‍රී ලංකාවේ’ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඔවුන්ට ඉඩ දෙන්නේ නැති සේයකි. දෙවියන් යැදීමට පවා අද ඔවුන්ට සිදු ඇත්තේ දාහක් ප්‍රශ්ණ කිරීම් සහ සෝදිසි කිරීම් වලට යටත්වය. කටු කම්බි වලින් වට කරන ලද පල්ලියක් තුළ සිට ය.
මේ ගමේ මිනිස්සු නැද්ද? අසල වූ නාවික සෙබලාගෙන් විමිසීමි.

නෑ.. ගමක් නෑනේ. ඔහු පැවසී ය.

එතකොට මේ ඉස්කෝලේ, පල්ලිය, තිබුණේ මිනිස්සු නැතුවද? මම පෙරලා ඇසීමි.

නෑ මම ඇවිල්ලා අවුරුද්දක්වත් නෑ. ඔහු ලිස්සා ගියෙන් සිදුව ඇති දේ තවදුරටත් ගැඹුරින් අවබෝධ වෙමින් තිබිණි.

තවමත් සියලු දෙනා පල්ලිය තුළ ගීතිකාවලට සහභාගී වෙමින් සිටී. පල්ලිය වටේ සිටින නාවික සෙබලුන්ගේ දෑස් යොමුව ඇත්තේ පල්ලිය දෙසටය. නිති විරෝධී කටයුත්තක් දෙස බලා සිටින්නාක් මෙන් නාවික සෙබලුන් බලා සිටින්නේ පල්ලියේ දෙවියන් යදින මිනිසුන් දෙසය.

ඔයාල කවුද? නාවික නිළධාරියෙක් අපෙන් විමසුවෙමු.

අප නම් කියු පසු, මෙහෙට ආවේ? මේ අය අඳුරනවද? නැවතත් ඇසීය.

නෑ අපිට ආරාධනාවක් තියෙනවා. යැයි පිළිතුරු දීමෙන් පසු බොහෝ ප්‍රශ්ණ කිරීම්වලට නැවත් අප පත්විය.

අප සියලු දෙනාගේ අනන්‍යතාවයන් නැවත වරක් ලියා ගත් ඔවුන් අප කතාකරමින් සිටින්නේ කුමක් දැයි සෙවිමට නාවික හමුදා බුද්ධි අංශ පවා යෙදවීය. සිවිල් ඇඳුමින් සැරසුනු නාවික සෙබලුන් මෙන්ම කුලියට ගත් ඡායාරූප කරුවන් ලවා හොරෙන් අප සියලු දෙනා ඡායාරූප ගැනීමට තරම් ඔවුන්ට අප පල්ලියේ දේව මෙහෙයට පැමිණීම සැක සහිත විය. මේ සියලු දේ සිදුවෙමින් පවතින්නේ පිටු 400ක සහජීවන වාර්තාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ කියවා අවසන්ව සිටියදී ය. එහි මුඛ්‍ය අරමුණ ජාතින් අතර සහජීවනය ඇති කිරීම ලු. මෙන්න..ෟ මන්නාරමේ දෙමළ මිනිසුන්ගේ දේව මෙහෙයකට සහභාගී වෙමින් සිටි සිංහලයන් කිහිප දෙනාට රජයේ නාවික හමුදාව සහජීවනය ඇති කර ගැනීමට උගන්වන ආකාරය ය.
සියලු ප්‍රශ්ණ කිරීම්වලට යටත් වීමෙන් පසු ද බුද්ධි අංශය අප පසු පස ලුහු බදිමින් සිටින්නට විය.

‛‛මෙයාලා මේ ගමේ. දැන් මෙහේ නෑ. පහුගිය කාලේ මෙහෙන් ගියා.’’ වයස අවුරුදු 16ක් පමණ යැයි සිතිය හැකි ගැහැණු ළමුන් දෙදෙනෙකු හඳුන්වා දෙමින් අප මිත්‍රයෙක් පැවසීය.
මුව පුරා සිනහව පුරවා ගත් එම ගැහැණු ළමුන් දෙදෙනා අපත් සමඟ සිනාසෙමින් ‛‛අපිට ටිකක් සිංහල කතා කරන්න පුලුවන්’’ කියමින් අපත් සමඟ කතා කළේ හද පිරි සහෝදරත්වයකින් යැයි මට සිතිනි.

‛‛අපි අද ආවේ ගොඩාක් කාලෙකින්. අපි ඇහුවා නේවි එකේ අයගෙන් අපිට අපේ ගෙදර බලලා එන්න විතරක් යන්න අවසර දෙනවද කියලා. යන්ඩ දෙන්න බෑ කිව්වා’’ පෙර තිබූ සිනහව එම කතාවත් සමඟ අතුරුදහන් වී ගියේය. මහා වේදනාවක් සහ දුකක් ඒ හදවත් වල ගැබ්වී ඇති බව ඔවුන්ගේ ඇස් කීවා ය. සිංහලයන් වූ අපට ඔවුන් දෙස බලා හිදින්ට විනා කිසිවක් කියන්නට වචන ගලපා ගැනීමට නොහැකි විය. ඔවුන්ට කුමක් සිතුනා විය හැකිද? සිංහල අපිට ඒකට උත්තරයක් දෙන්න බැරි උනේ ඇයි, මට සිතිනි.

හිරු මුදුන් වී ඇත. හිරුරැස් දේවාල භූමිය පුරා විහිදී යමින් තිබේ. තැන් තැන්වල ගස්වල සෙවන සොයමින් නාවික සෙබලු ඇස්පිල්ලන් නොගහ තවමත් බලා සිටී. දැන් පෙරට වඩා පල්ලිය තුළ නාවික සෙබලුන් වැඩි කර ඇත. ඒ අන් කිසිවක් නිසා නොව දෙමළාගේ අනුස්මරණ දේව මෙහෙයට පැමිණි සිංහලුන් ගැන ඔවුන්ට සැකයක් ඇති වී ඇති බව දැන් අපට වැටහී ගියේ ය.

ඇයි අපි ආව එකට තරහද ඔයාලා.? විහිඑවට මෙන් නාවික සෙබලෙකුගෙන් විමසූවෙමි.

නෑ… නෑ… එහෙම නෑ. අපි පොඩ්ඩක් බලනවා. දන්නැද්ද ඉතින් තාමත් ප්‍රශ්ණ තියනවා නේ.

මොන ප්‍රශ්ණද දැන් ආණ්ඩුවයි ඔයාලයි දෙගොල්ලොම කියනවා නේ දැන් කිසිම ප්‍රශ්ණයක් නෑ කියලා..අපි විමසූවෙමු.

නෑ…මේකනේ. දැන් මේ ඉස්කොලේ අපේ නෙමේ මිනිසුන්ගේ. මේ ගමේ ගෙවල්. අපි දැන් මේවා අල්ලගෙන ඉන්නවා. ඉතින් මේවා පොටෝ ගහගෙන ගිහිල්ලා කිව්වොත් අපි මේවගේ පදිංචිවෙලා කියලා, ඉවරයි නේ. දැක්කනේ චැනල් 4 වීඩියෝ එක. කොහොමද. ඒක නිසා අපි චෙක් කරනවා. ඔයාලා එළියේ පොටෝ ගන්න එපා. ඇතුළේ ඕන එකක් ගන්න. අනිත් එක, මීඩියා එකෙන් එහෙම ඇවිල්ලා මේවා වීඩියෝ කරොත් අපිත් ඉවරයි. ඔහු උපදෙස් සමඟම කීවේය.

තමන් කරමින් සිටිනා දේ ඔවුන් හොඳින් දනී. තමන් කොල්ලකාරී ලෙස අල්ලාගෙන සිටින්නේ වසර ගණනාවක් දහදිය මහන්සියෙන් ගොඩනගා ගත් සශ්‍රීක පොළවක් බව ඔවුන් හොඳින්ම දනී. එය මුල්ලිකුලම්වලින් පිට සමාජයට, එම නින්දිත ක්‍රියාව පිළිබදව දැනුනොත් ලැබෙන ප්‍රතිචාර එතරම් හොඳ නැති බවත් ඔවුන් හොදින් දනී. එමනිසා යුද්ධයෙන් පසු වුවද සත්‍ය හෙළි වනු දැකීමට ඔවුන් අකමැතිය.

එබැවින් මුල්ලිකුලම් කිසිදු මිනිසෙක්ට තමන්ගේ ගේදොර ඉඩකඩම්වලට යෑම තහනම්ය. දැන් එය නාවික හමුදාව සතුය. පාසල අවට ඇති ගෙවල්වල පදිංචි වී ඇත්තේ නාවික සෙබලුන්ය. ඇතැම් ගෙවල් සති අන්තයේ සිදු කරන ‛නාවික පාටි’ වලට වෙන් කර ඇති බවත් එය උසස් නාවික නිළධාරීන්ගේ ඒ්වාට පමණක් බවත් නාවික සෙබලා කීවේ තරමක තරහකින් යුතුවය. ‛‛2000ක් විතර මේ කෑම්ප් එකේ ඉන්නවා. ඩියුටි ඉවර උන ගමන් එක්කො ඇග්‍රිකල්චර් වැඩ නැතිනම් වෙන මොනව හරි වැඩ. එපා වෙලා ඉන්නේ. පැනලා යන්නත් බෑ පැනලා ගියොත් ආපහු අල්ලන් එනවා’’ ඔහු සත්‍ය කීවේය.

2000ක කඳවුරක්. විශාල බිමි ප්‍රමාණයක්. මේ සියලු ඉදිකිරීම් සහ ඔවුන්ගේ සැළසුම්වලින් පෙනී යන්නේ මේ පළාත කිසිදු ලෙසකින් සාමාන්‍ය ජනයාට නිදහස් කිරීමට සූදානම් නැති බවය. අවශ්‍ය නම් ආණ්ඩුවට හෝ ආරක්ෂක අංශවලට යුද්ධය අවසන් වී වසර 3ක් නික්ම ගොස් තිබියදී සහ විශේෂයෙන් උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ වාර්තාවෙනුත් බරපතල ලෙස පෙන්නුම් කර ඇති මෙවන් මිලිටරිකරණයන් නවතා දැමිය හැකිය. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය නැවත වරක් අලුතින් සකස් කර ගැනීමටත්, ඔවුන්ගේ සංස්කෘතිය අනුව ජීවත්වන්නටත් අවකාශ සළසා දිය හැකිය. නැත. එසේ වේ යැයි සිත්නනටවත් මෙහි කිසිදු සාක්ෂියක් නැත. ඒ සදහා වන කිසිදු වුවමනාවක් මිලිටරිය විසින් පෙන්නුම් කරන්නේ නැත.
එයට තවත් සාක්ෂී පෙර දිනයේදී කිලිනොච්චියේදීත් අපට සම්මුඛ විය.

ඒ මැයි 18 වනදාය. කිලිනොච්චි නගරයෙන් මදක් ඔබ්බට වන්නට රුද්‍රපුරම් කතෝලික පල්ලියට විශාල සෙනඟක් ඇදෙමින් තිබිණි. ඒ පැමිණෙන සියලු දෙනාගේ දෑස්වල ඇත්තේ කියාගැනීමට නොහැකි මහා වේදනාවක් යැයි සිතිනි.

පල්ලිය ආසන්නයේ අලුතින් තැනූ ස්මාරක දෙකක් මතට මල්මාලා දමමින් සිටි තරුණයෙක් මාදෙස බලා එකවරම කුමක් හෝ මතක් වූ ලෙසින් වෙනතක බලා ගත්තේ ය. මීට වසර 3කට පෙර මේ ප්‍රදේශයට මානුෂික මෙහෙයුම යැයි පවසමින් ඔවුන් මතට එල්ල කල රුදුරු පීඩනයට අපිත් වරදකරුවෝ නොවේදියි එවිට මට සිතිනි. 2009 මැයි මස 19වනදින දකුණේ කිරිබත් කමින් සිංහ කොඩි පොරව ගනිමින් වීථි පුරා දැමූ ජෝගිවලට අප සම්මාදම් වූයේ නැත. නමුත් ඒ වන විට මෙහි අද සිටින මිනිසුන් සහ ගැහැණුන් දිය බිඳක් නොමැතිව සැතපුම් ගණනක් දිවි බෙරා ගන්නට දිව යද්දි, තම සමීපතමයින් තම දෙපාමුලම වෙඩි වැදී ඇද වැටෙද්දි, තම එකම දරුවා තම උකුලෙන් ගිලිහෙද් දී, හෘද සාක්ෂියක් නැති දකුණේ බොහෝ පිරිස් සති ගණන් ජයග්‍රහණය සැමරීය.

නමුත් ඒ අමතක කළ නොහැකි වේදනාත්මක අත්දැකීම් සමඟ වසර 3කට පසුවද මේ සහෝදර ජනයාට යුක්තිය ඉටු වී නැත.

මේ ස්මාරකය මොකද්ද? අසල සිටි පියතුමෙකුගෙන් අපි විමසූවෙමු. ‛‛මේ පියතුමාගේ නම සරාජීවන්. මේ පල්ලියේ තමා යුද්ධය දවස්වල හිටියේ. ඒත් මේ ප්‍රදේශයේ ඉන්න බැරි තරමට යුද්ධය දරුණු වෙනකොට පියතුමාත්, මෙහෙ සිටි අනෙක් මිනිසුනුත් මෙයින් යන්න තීරණය කළා. ඔවුන් යුද්ධයේ අවසන් අදියර පැවති මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් හමුදාවත් සමඟ පිටත් වෙනකොට දැඩි වෙහෙසත්, පීඩනයත් නිසා හෘදයාබාධයකින් මේ පියතුමා මිය ගියා. ඒ පියතුමා ස්මරනය කරන්න තමා ඒක හදලා තියෙන්නේ. යුද්ධයෙන් මිය ගිය සියලු අය සිහිවෙන්න තමා අනිත් ස්මාරකය හදලා තියෙන්නේ. අද මේ මිනිස්සු ඔක්කොම සරාජීවන් පියතුමාව ඇතුලු යුද්ධයෙන් මිය ගිය සියලු දෙනා සමරනවා.’’ ඒත් තවමත් යුද්ධයෙන් මිය ගිය අය සිහි කරන්නවත් නිදහසක් මේ මිනිසුන්ට නෑ. විවිධ තර්ජන එල්ලවෙන අවස්ථාත් තිබෙනවා. ඔහු කීවේ ගැඹුරු වේදනාවකින් යැයි මට සිතිනි.

පල්ලියේ ඝාංඪාරය නද දෙද්දී පල්ලිය තුළින් ඇසුනු ගීතිකා හඬත් සමඟ මිනිසුන්, ගැහැණුන් සහ ළමුන්ගෙන් පල්ලිය පීරි යමින් තිබිණි. ඝාතනය කරන ලද සියලු දෙනා වෙනුවෙන් අනුස්මරණ පූජාව පල්ලිය තුළ ඇරඹෙද්දී ඇතැම් අම්මාවරුන්ගේ ඇස්වලින් කදුඑ කැට කඩා හැලෙන්නට විය. එය බලා සිටීමට අපේ ඇස් ඒ තරම්ම අවාසනාවන්ත විය.
දෙවියන් ඉදිරියේ පොල් ගසා යුක්තිය පැතූ අම්මාවරුන්

නිසොල්මන්ව බලා සිටින කිලිනොච්චි අහසත්, පල්ලියේ අනුස්මරණ පූජාවේ සිටි මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ ඇස්වල තිබූ කිව නොහැකි වේදනාවත් සමඟ කිලිනොච්චි කෝවිල, සහෝදර, සහෝදරියන් සහ අම්මාවරුන්ගෙන් පිරී යමිනි තිබිණි. කොවිලේ හඬ දුන් ඝාංඨාර නාදයත්, පල්ලියේ රැව්දුන් ඝාංඪාර නාදයත් එක විට කියා සිටියේ ආගම් පසෙකලා මීට වසර 3කට, ඊටත් පෙර සිට මරා දැමූ දමිළ ආත්මයේ නිදහස සහ යුක්තිය වෙනුවෙන් එක් විට පෙනී සිටින බව යැයි මට හැඟුනේ, එකම දින පල්ලියේත් සිටි, කෝවිලටත් පැමිණ සිටි අතුරුදහන් කරුනු ලැබූ තම සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින පල්ලියේදී අපත් සමඟ කතාකල කාන්තාවකගේ රුව දැකීමෙන් ය.

කෝවිල තුළ යාථිකා හඬත්, පහන්වල තෙල් සුවඳත් ඔවුන්ට ටික වේලාවකට හෝ නිදහස දුන්නා මෙන් ඔවුන් සියලු දෙනා දෙවියන් ඉදිරියේ තමන්ට නිදහස ඉල්ලා සිටියේය. අතුරුදහන්කලවුන් නැවතත් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය. පසුව කෝවිල ඉදිරිපිට පොල් ගෙඩි විශාල ගණනක් ගොඩ ගැසෙමින් තිබිණි. විනාඩි ගණනක් යන්නට පෙර පොල් ගෙඩි සියල්ල දෙවියන් ඉදිරියේ බිඳෙමින් තිබුණේ දින, මාස, වසර ගණනාවක තමන්ගේ සිතු තුළ බුර බුරා නැගුණු වේදනාවත්, ඒ වේදනාවට ගිණිදල්වා සිටි ඝාතකයින්ටත් එරෙහිවය.

යුද්ධයෙන් වසර 3ක් ගෙවී යන මොහොතෙත් ඝාතනය කළ, අතුරුදහන්කළ තම සමිපතමයින් තම කෝවිල තුළ සමරද්දි සිවිල් ඇඳුමින් සැරසුනු බුද්ධි අංශ නිළධාරීන් බලා සිටියේ කෝවිල තුළ සිටියේ වරදකරුවන්ගේත් වරදකරුවන් ලෙසිනි. දැන් ඕනෑම තැනක නිදහස ඇතැයි කියනා බළධාරීන් යුද්ධයේදී ඝාතනයට ලක්වුනු තම සමීපතමයින් සමරන්නට ‛නිදහස’ දෙන්නේ එලෙසය. නමුත් උතුරේ කාන්තාවන් පොල් ගසා යුක්තිය සහ නිදහස දෙවියන් ඉදිරියේ යදින විට ‛ජයග්‍රහණය’ සමරා දකුණේ රණ ගී ගයා, යුද්ධයට භාවිතාකල අවි ආයුධ ‛ඊනියා දේශප්‍රේමයේ’ සඑවෙන් ඔතා ‛කලේ මෙහෙමයි’ කියමින් අලුත් ලංකාවක් පතමින් ඇත. ලංකාවේ එක් කොනක ජිවිත අහිමි කිරීමේ කඳුලුත්, තවත් කොනක ‛අහිමිකිරීම’ ජයග්‍රහණයක් යැයි සිතමින් සවුදිය පුරන විට, යාපනයේ එක් කාන්තාවක් කීවේ ‛ එක ගෙදරක එක් කාමරයක අවමඟුලකි, තවත් කාමරයක උපන්දින සාදයකි.’ කියා ය.

වසර 30කට පසුත් ‛අහිමිකිරීමේ ජයග්‍රහණය’ වෙනුවෙන් වන උපන්දින සාදයට ඉදිරියෙදීත් බොහෝ ලාංකිකයින් සහභාගී වනු ඇත. නමුත් ඒ උපන්දින සාදයේ ඇත්තේ ‛ලේ සුවඳ’ මිස ‛මල් සුවඳ’ නොවේ යැයි කවදා නම් ලාංකිකයන් වටහා ගනු ඇති ද?

සටහන සහ ඡායාරූප –
සම්පත් සමරකෝන්[Sampath Samarakoon

[Published in the print edition of IRURASA, 27 May 2012.]