Colombo, Democracy, Features, Governance, Healthcare, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

සිවරාම් – දුර්ලභ චින්තකයෙකු වන්නේ ඇයි?


[අත්‍යවශ්‍ය සටහනක්]ධර්මරත්නම් සිවරාම් හෙවත් තරකී ඝාතනය කොට මේ පසුගිය අප්‍රේල් මාසයට හත් වසක් සපිරුණි. දකුණේ සිංහල මිතුරන් ඇසුරේ මීවිත හා සාමිචි අතර වැඩි කාලයක් ගෙවා දැමූ සිවරාම් පිළිබඳ සැමරුම් දැන් යාපනයට හා විදෙස්ගත ක්‍රියාකාරීත්වයන්ට සීමා වී තිබේ. දකුණේ ඔහු දැන සිටි ‛මාධ්‍ය මිතුරන්‛ගේ පුවත්පත්වල ඔහු පිළිබඳ වාර්ෂික ස්මරණ සටහන් දැන් පළ නොවේ. (පසුගිය අප්‍රේල් මාසයේ දී, යම් ලෙසකින් හෝ සිවරාම් සිහිවූයේ නම් ඒ වෙබ් අඩවි කිහිපයකට හා සිංහල එක් පුවත්පතකට පමණි.)

සිවරාම් ඉකුත් දශකය තූළ මරා දැමුණු තවත් මිනිස් පරම්පරාවක අමතකව ගිය එක් පුරුකක් බවට පත්ව ඇති සෙයකි.

ඔහු දිවි ගෙවූ ලංකාව පෙර නොවූ විරූ ගැඹුරු විපරිවර්ථනයන්ට භාජනය වී තිබේ. නමුත් සිවරාම් විසින් කළ ඇතැම් වැදගත් පුරෝකථනයන් ඇතැම්විට ඔහු නොමැති ලංකාව වටහා ගැනීමට කලින්ටත් වඩා වැදගත් වෙතැයි පසක් කරගත්තෝ කොතෙක් වෙත්ද? සිවරාම්ගේ මරණයෙන් මාසයක් ඇවෑමෙන් ‘හිරැ‘ පුවත්පතේ ලියැවුණු මේ ලිපිය අප යළිත් පළකරන්නේ ඒ කල්පනාවන්ට පිටුබල සපයනු පිණිස ය.

සිවරාම් තවමත් නොකිය වූ පොතක් බඳු ය. අන් කවරදාටත් වඩා අවිචාරය හා මුග්ධ අතාර්කිකත්වය විසින් වටලනු ලැබ ඇති අපට ඒ ‛පොත’ තවමත් ගැඹුරු ආලෝචනාවන් සපයයි.


සිවරාම් – දුර්ලභ චින්තකයෙකු වන්නේ ඇයි?

ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ඝාතනය කොට දැන් මාසයකි. ‛කොටි ඔත්තුකරුවෙකු’ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රමෝධජනක ජයඝෝෂා තවමත් ඉදහිට නැගේ. මහමගදී පැහැරගෙන මරා දැමුණේ කෙබඳු විශිෂ්ඨ චින්තයෙකු සහ දීප්තිමත් විශ්ලේෂකයෙකුදැයි සිංහල ජනයා නොදනිති. ඩේලි මිරර් පුවත්පතට ලියන ලද තරකීගේ ලිපි සිංහලට පෙරළා සතිපතා පළ කළ ‛ලංකාදීප’ පුවත්පත පවා ස්වකීය තක්කඩි ළිං මැඩි මාධ්‍ය සම්ප්‍රදාය අනුව යමින් තරකී පිළිබද සිංහල පාඨකයාගේ අවබෝධය පුඑල් කිරීමෙන් වැලකී සිටීමට ප්‍රවේශම් විය. ඉන්දියානු හමුදා ලංකාවේ රැදී සිටි සමයේ ඔත්තු සේවා ප්‍රධානී වශයෙන් කටයුතු කළ ඉන්දියානු නිලධාරියාට අනුව සිවරාම් යනු ‛ලෝකයම දැන සිටි අංක එකේ ලාංකීය මාධ්‍යවේදියා’ වුව ද එය මෙරට බොහෝ වුන් නොදැන සිටිය හ.

කෙසේ හෝ සිවරාම් ඝාතනය කොට හමාරය. ඝාතනයට දැන් මාසයක් පිරේ. ඝාතකයින් පිළිබදව කිසිදු හෙලිදරවුවක් නිළ වශයෙන් මේ වනතුරු අනාවරණය කර නැත. මේ කෙටි සටහන අදාල ‛පරීක්ෂණ’ පිළිබද සොයා බැලීමක් හෝ ගවේශණාත්මක වාර්තාවක් නොවේ.

‛ධර්මර්ත්නම් සිවරාම් දුර්ලභ චින්තකයෙකු වන්නේ ඇයි?’ මේ ප්‍රශ්නය සිංහල මාධ්‍ය කථිකාවෙන් මඟහැරී යන හා සිතාමතා මඟහරිනු ලබන ප්‍රශ්නයකි. චින්තකයින් වෙනුවට ලිං මැඩියන් ගහණ ක්ෂේත්‍රයක සිවරාම් පිළිබඳ අඩුවෙන් කතා කිරීමට හේතු වටහා ගැනීම දුෂ්කර නැත. නමුත් සිවරාම් පිළිබද අනාගතයේ සිදුකළ යුතුව තිබෙන වඩා පුඑල් ඇගයීමකට පදනම් විය යුතු පෙරවදනක් ලිවීම වැදගත්ය. ඒ සිවරාම් වැන්නෙකු දීර්ඝකාලීන ඓතිහාසික ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙන් විනා පහසුවෙන් නිර්මාණය නොවන නිසාය.

සිවරාම් ඝාතනයට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මැයි 03වනදා (2005) සංවිධානය කරන ලද විරෝධතා උද්ඝෝෂණයට සහභාගී වූ ලංකාවේ ජ්‍යේෂ්ඨතම ඉංග්‍රීසි මාධ්‍යවේදියෙකු වන අජිත් සමරනායක සිවරාම් පිළිබදව වැදගත් සඳහනක් කළේය. ‛‛සිවරාම් දෙමළ ජාතික අරගලයේ භාවිතාව සහ න්‍යාය එක්තැන් කළ කැඩපතකි’’යි අජිත් කීවේ ය. එය හැම අතින්ම සත්‍යයකි. සිවරාම්ගේ විශිෂ්ඨත්වය එයයි. බුද්ධිමය ප්‍රභාව සහ විචක්ෂණභාවයෙන් ද, තියුණූ කාල්පනික ශක්තියෙන්ද, කාර්යක්ෂමතාව සහ නම්‍යශීලී භාවිතාවෙන්ද, යන සියල්ලෙන් සිවරාම් අසම සම විය. හෙතෙම හැම අතින්ම ප්‍රමාණික බුද්ධිමතෙකු විය.

භූ දේශපාලනය හා උපායික අධ්‍යනය ක්ෂේත්‍රයේ සිවරාම්ට ප්‍රමාණිකව සමකළ හැක්කෙක් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව, බුද්ධිම ප්‍රජාව අතරේද දුර්ළභ විය. හමුදා මූලස්ථානයේ පුවත්පත් නිවේදන ඇසුරෙන් ආරක්ෂක විශ්ලේෂකයින් බවට පත් වූ බහුතරයක් දෙනා අතර සිවරාම් අසමසම අයෙක් විණ.

සිවරාම්ගේ සියුම් ලේඛණ හා විග්‍රහයන් යුද විද්‍යාව, නවීණ තාක්ෂණය, දර්ශණවාදය හා දේශපාලන විද්‍යාව පමණක් නොව, භාවිතාමය ඥාණයෙන්ද ඔප් නැංවුණක් විය. කලකදී ගරිල්ලා සටන්කරුවෙකු වශයෙන් ලද සටන් පරිචයත්, බුද්ධිමය ශක්‍යතාවයත් එක්තැන්කල සිවරාම්ගේ විශිෂ්ඨත්වය සැඟව පැවතියේ සරළ හා සුගම ලෙස ගොණුකළ හැකි වූ ඔහුගේ විශ්ලේෂණ හැකියාවේය.

2002 ඔක්තෝබර් මාසයේදී ‛හිරු’ පුවත්පතට ඔහු විසින් ලියන ලද ‛සීමා කිරීමේ උපායමාර්ගය‛ හෙවත් Strategy of Containment ලිපිය සාම ක්‍රියාදාමය දේශපාලනය හා මිලිටරි උපායික දෘෂ්ටි කෝණයකින් විශ්ලේෂණය කළ විශිෂ්ඨ ලියැවිල්ලකි. වැදගත් ප්‍රතිඵල ජනිත නොකරන දිග්ගැස්සුනු සාකච්ඡා ක්‍රියාමාර්ගයක් තුළ යුද දේශපාලනික සංවිධානයක් කොටු කර තබා ගැනීම හරහා එහි දේශපාලන චලනය අඩස්සිගත කිරීමේ හැකියාව පිළිබදව සිවරාම් විසින් ලියන ලද ලිපිය ජාත්‍යන්තර නිදසුන් සමඟ සංසන්දනයන් සහිතව ලියන ලද්දකි. විශේෂයෙන්ම කොලොම්බියාවේ FARC වාමාංශික ගරිල්ලා සංවිධානයේ හා එල් සැල්වදෝරයේ ෆැරබුන්ටෝ මාටි ජාතික විමුක්ති පෙරමුණේ අත්දැකීම් සිවරාම් විසින් ලාංකීය යථාර්ථයන් හා දීප්තිමත් ලෙස සසඳන ලදි. ඔහු එහි මෙසේ ලීවේ ය.

‛‛සීමාකිරීමේ උපායමාර්ග වූ කලී වියට්නාම් යුද්ධයෙන් පසු එක්සත් ජනපද හමුදාව විසින් සකස්කොට ක්‍රමානුකූලව වර්ධනය කළ සුසමාදර්ශයකි. මෙම සුසමාදර්ශය අනුව යුද බලය යනු හුදෙක් කරැල්ලක අපේක්ෂිත අරමුණ මුදුන්පත් කර ගැනීම වළක්වාලිය හැකි එක් මාර්ගයක් පමණි. ඊසාන දිග ඉන්දියාවේදී මෙන්ම, කාෂ්මීරයේදී ද කැරළි මර්දනය සඳහා ඉන්දියාව විසින් මෙම ප්‍රවේශය තෝරා ගන්නා ලදි. මේ අනුව සාම්ප්‍රදායික යුද සටන් ශක්‍යතාවයන් සහිත රාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් විසින් අත්පත් කරගන්නා ලද තීරණාත්මක යුදමය ගම්‍යතාවක් දුබල කිරීම සඳහා යොදාගත හැකි භාහිර සහ අභ්‍යන්තර බාධක ගණනාවක් ‛සීමා කිරීමේ උපාය මාර්ගය’ තුළ අන්තර්ගත වේ’’ (2002 ඔක්තෝබර්/හිරු පුවත්පත)

ඉන්දු උප මහද්වීපික කලාපීය භූ දේශපාලනයේ සෑම නව චලනයක්ම පිළිබදව සිවරාම් මනා සංවේදීතාවයක් දැක්වීය. ඒකී චලනයන්ට ලංකාවේ අභ්‍යන්තර යථාර්ථයන් සමඟ ඇති දයලෙක්තික සම්බන්ධය ද ඒ සමානවම හෙතෙම දැන සිටියේය. ඒක්සත් ජනපදය කේන්ද්‍රීයව ගෝලිය මිලිටරි අධිකාරී බලයක වර්ධනය පෙරළා ආසියාතික භූ දේශපාලනික යථාර්ථයන් කෙරෙහි දක්වන බලපෑම විශ්ලේෂණය කරමින් ඔහු විසින් ලියන ලද විශ්ලේෂණ ඒ පිළිබදව මේ තාක් ලියැවුනු විශිෂ්ඨම නිබන්ධන ගණයේ ලා සැළකිය හැක.

ලංකාවේ ජාතික ප්‍රශ්ණය කේන්ද්‍රීය සෑම දේශපාලන වර්ධනයක්මත්, චලනයක්මත්, හුදකලා ජාතික යථාර්ථයන් වශයෙන් සළකනු වෙනුවට හෙතෙම හැම විටම අදාල වර්ධනය වඩා පුඑල් කලාපීය සහ ගෝලීය සංදර්භයකට ගෙන ගොස් විශ්ලේෂණය කළේය. 2004 පෙබරවාරියේදී සිවරාම් විසින් ‛හිරු’ පුවත්පත සඳහා ලියූ ‛විමුක්ති කොටි ඉන්දියානු සාගරයේ බලතුළනයේ සාධකයක් වශයෙන්’ ලිපිය සිවරාම්ගේ මෙකී ප්‍රවේශයට අදාල මනා හරස්කඩක් සපයයි.

’‛හෝර්මූස් සමුද්‍ර සංධිය ආශ්‍රිතව සිදුවන ඕනෑම අහම්බයක් ඉන්දියානු සාගරයේ වයඹ දිග හා නැගෙණහිර කලාප ඔස්සේ විහිදෙන මුහුදු මාර්ග කෙරෙහි සෘජුවම බලපායි. චීනයේ හා ජපානයේ ආර්ථිකයන් රඳා පැවතී තිබෙන්නේ මෙකී මුහුදු මාර්ග මතය. එමෙන්ම පර්ෂියානු ගල්ෆ් කලාපය හා මලක්කා සමුද්‍ර සන්ධිය අතරින් පිහිටි ඉන්දියානු සාගරය තුළ වන උපායික වශයෙන් වැදගත්ම සන්නිවේදන මුහුදු මාර්ගය මත වර්ධනය වන චීනයේ බලපෑම පිළිබඳවද ඉන්දියාව සහ එක්සත් ජනපද – ජපාන සන්ධානය මහත් සේ සැළකිල්ලක් දක්වයි.’’ (2004 පෙබරවාරි/ හිරු පුවත්පත)

සිවරාම්ගේ මේකී විශ්ලේෂනවල දැකිය හැකි වැදගත් ලක්ෂණය නම් හෙතෙම හැම විටම නවතම වර්ධනයන් පිළිබඳ යාවත්කාලීනව සිටීමයි. එක්සත් ජනපද යුද ඇකඩමියේ හා හමුදා පාසැලේ ප්‍රකාශණවල සිට ඉන්දීය හෝ චීන උපායික විශේෂඥයින්ගේ නිබන්ධන දක්වා සෑම නව ලේඛනයක්මත් ඔහු දැඩි උද්යෝගයෙන් පරිශීලනය කළ අතර ග්‍රහණය කර ගන්නා නව අදහස් වහා සෙස්සන් හා බෙදා ගනිමින් පොදු චින්තන සිතිජයන් පුඑල් කරන්නට මැදිහත් විය. පර්ෂියානු ගල්ෆ් කලාපයේ හා මධ්‍යම ආසියානු ප්‍රදේශවල වර්ධනය වන ගෝලීය හා කලාපීය බලයන්ගේ නව භූ දේශපාලන තරඟකාරීත්වය ලංකාවේ අභ්‍යන්තර දේශපාලන වර්ධනයන් කෙරෙහි බලපාන තියුණු ආකාරය සිවරාම් තරම් සාමාන්‍ය පාඨකයාට ග්‍රහණය කර ගත හැකි ආකාරයෙන් විශ්ලේෂණය කර ගන්නට සමත් අයෙක් නොවූ තරම්ය. ගෝලීය බලශක්ති සැපයුම් පිළිබදව වෙනස් වන යථාර්තයන් හා සමුද්‍රාශ්‍රිත භූ දේශපාලන ක්‍රියාකාරීත්වයන් අතර තාර්කික සම්බන්ධය හෙතෙම තියුණු ලෙස නිරාවරණය කළේ ය. සුන් ට් සූ හා ක්ලවුස්විට්ස්ගේ සම්භාව්‍ය යුද ලේඛනවල සිට ජෝන් කීගන් වැනි සම කාලීන යුද ඉතිහාසඥයින්ගේ ලිපි ලේඛන දක්වා සියල්ල හෙතෙම එක ලෙස පරිශීලනය කොට විග්‍රහයන් හීදී ආධාර කොට ගත්තේ ය.

සිවරාම් සතු වැදගත්ම ශක්‍යතාව වූයේ ත්‍රෛ මහද්වීපික කලාප ප්‍රමුඛ පොදුවේ සමකාලීන ලෝක දේශපාලන වර්ධනයන් පිටුපසින් වන ගතිකත්වයන් ක්ෂණිකව ග්‍රහණය කරගනිමින් ඒවා ලාංකීය යථාර්ථයන් හා සංසන්දනාත්මකව විශ්ලේෂණය කිරීමට හෙතෙම දැක්වූ සමත්කමයි. පලස්තීන්-ඊශ්‍රායෙල් සම්මුතිය මෙරට සටන් විරාම ගිවිසුම සමඟත්, බෝගන්වීල්, අයර්ලන්ත හා සුඩාන රාජ්‍යන්හී සාම සාකච්ඡාමය ක්‍රියාදාමයන් මෙරට සාකච්ඡා ක්‍රියාදාමයන් සමඟත් සන්සන්දනාත්මක සංදර්භයක පිහිටුවා සිවරාම් විසින් ලියන ලද ලිපි ලේඛන මීට ගෙන හැර දැක්විය හැකි කදිම නිදසුන්ය.

එක් අතකින් දෙමළ ජාතික අරගලය හා බද්ධ දේශපාලනය පිළිබද සිවරාම් සතු ප්‍රමාණික අවබෝධය තරමටම දකුණේ සිංහල ජාතිකවාදය පිළිබඳව ප්‍රායෝගික අවබෝධයෙන්ද අනෙක් අතින් හෙතෙම සන්නද්ධව සිටියේ ය. සිංහල ජාතිකවාදය පිළිබඳ ජනප්‍රිය මිත්‍යාවන් බිමහෙළා දැමීමේදී හෙතෙම හැම විටම තර්කය පමණක් නොව, විෂයමූළ කරුණු මත දැඩිව පිහිටා විග්‍රහයේ යෙදුණේය. කලාපීයව වර්ධනය වන එක්සත් ජනපද අභිලාෂයන්ට ඒකීය ලංකා රාජ්‍ය ව්‍යුහය සමඟ පවත්නා සබඳතාව පිළිබද විශ්ළේෂණය කරමින් 2003 ජනවාරියේදී ඔහු ‛හිරු’ට ලියූ ‛එක්සත් ජනපදය හා සිංහල ජාතිකවාදය’ ලිපියේ මෙසේ දැක්වේ.

‛‛මෙම කලාපය තුළ උපායිකව ස්ථානගත වීමට අවශ්‍ය වන්නේ නම් ශ්‍රී ලංකා රජය ස්ථාවර කිරීම හා ශක්තිමත් කිරීම එක්සත් ජනපදයට හා එහි සහචරයින්ට අතිශයින් වැදගත් වේ. මෙම තත්ත්වය තුළ කවර මිලක් ගෙවා හෝ ශ්‍රී ලංකා රාජ්‍යයේ නොබෙඳුනු ඒකීය ස්වාභාවය සඳහා වන සිංහල ජාතිකවාදීන්ගේ අවධාරණයට එක්සත් ජනපදය හා එහි පාක්ෂිකයන්ගේ පිටුබලය ලැබීමට හොඳින්ම ඉඩ තිබේ.

‛‛ශ්‍රී ලංකා හමුදාවන් විමුක්ති කොටි සංවිධානය පරාජය කරන්නට සමත්වන්නේ නම් දෙමළ ජනයාගේ ප්‍රශ්නය ඔවුන්ට වැදගත් නොවේ. 2001 අග්නිඛීල මෙහෙයුම මඟින් අලිමංකඩ ශ්‍රී ලංකා හමුදාවන්ට නැවත අත්පත් කර ගැනීමට අවශ්‍ය සූදානම් වීම සඳහා විමුක්ති කොටින්ගේ ඒක පාක්ෂික සටන් විරාමය තුළ ශ්‍රි ලංකා හමුදාවන් වෙනුවෙන් කල් ගැනීමක් ඔවුන් සිදු නොකළේ ද?’’ 2003 ජනවාරි/හිරු

සිවරාම් දුර්ලභ චින්තකයෙකු වන්නේ මේ සියල්ල හේතුවෙනි. මේසා පැතිරුණු ප්‍රමාණික අවබෝධයක් සහිතව ස්වකීය විෂයට ප්‍රවේශවීමේ සමත්කම් සහිත මාධ්‍යකරුවන් මෑතකාලීන ලංකාවේ නොසිටි තරම්ය.

සිවරාම් හුදු මාධ්‍යවේදියෙකුගේ අනන්‍යතාවය ඉක්මවා ගිය බුද්ධිමතෙකු හා ව්‍යවහාරික අත්දැකීම් සහිත ක්‍රියාධරයෙකුගේ මට්ටමේ ලා ගිණිය යුත්තේ මේ දුර්ලභ තාර්කික බුද්ධිමය කුසලතා නිසා ය. මරා දැමුණේ ‛කොටි චරපුරුෂයෙකු’ වශයෙන් නිවට වහසි බස් දොඩන බේබදු කුළී ලියන්නන්ට සිවරාම්ගේ බුද්ධිමය ශක්‍යතාවන් සමඟ ළඟින් හෝ සිට ගැනීමට පවා නොහැක්කේ ද එබැවිනි. ඔහු ජාත්‍යන්තරව හඳුනාගෙන සිටි අංක එකේ ලාංකීය ජනමාධ්‍යකරුවා බව කීම අතිශයෝක්තියක් නොවන්නේද ඒ නිසාය.

මරා දැමුණු සිවරාම් සතු බලය ජීවමාන සිවරාම් ඉක්මවා යන්නක් බවට පෙරළීම නොවැළැක්විය හැකිව ඇත්තේ ඉහත හේතූන් මත ය.

සබැදි සටහන් – [\'සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි\'] සිවරාම් හෙවත් තරාකී ඝාතනය කර වසර 7යි.