සිංහල, Colombo, Democracy, Governance, Life quips, Media, Peace and reconciliation

‘යුද්ධයෙන් පස්සෙ දෙමළ සමාජය තුළ ඇති විය හැකි වෙනස්කම පිළිබඳව කිසියම් විදිහක ඉවක් අපිට දැනෙනවා’.

“ අපි සිංහලයො හැටියට සිංහල සමාජය සමස්තයක් හැටියට දන්නෙත් නැහැ. හරියට බැලුවොත් ලංකාවේ සිංහල සමාජය හරියටම හඳුනන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.” – අශෝක හඳගම


[Editors Note] ලංකාවේ දෙමළ සිනමාව සහ එහි චලනයන් මෙන්ම යුද්ධයෙන් පසු දෙමළ සිනමාවේ තත්ත්වයන් පිළිබදව ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හදගම ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය දා සාකච්ඡාවක නිරත වූ අතර පහත පළවන්නේ එම සාකච්ඡාවේ සටහනයි.

ලංකාවේ දෙමළ භාෂිත සිනමාවට අවුරුදු 50 ක් පිරෙනවා. එලෙස අවුරුදු 50ක් පිරෙන අවධියේ, දෙමළ භාෂාවෙන් කතා කරන ජනතාව පදනම් කරගෙන චිත්‍රපටියක් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ නිසා මෙම චිත්‍රපටයට, ලංකාවේ දෙමළ සිනමාව සඳහා කිසියම් එකතුවක් කරන්න අවස්ථාවක් ලැබුණා. ලංකාවටම ආවේණික දෙමළ ජනසමාජයක් ලංකාව ඇතුළෙ තියෙනවා. ද්‍රවිඩ සමාජය කියන එක මුළු ලෝකයේම ව්‍යාප්ත වෙලා තිබුණට, ලංකාව තුළ ලංකාවට අනන්‍ය වුණු දෙමළ ප්‍රජාවක් ජීවත් වෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත් වල ඉන්න ද්‍රවිඩ ප්‍රජාව. ඒ ප්‍රජාව මුල් කරගත්ත, ඒ ප්‍රජාව තුළින්ම සිනමාවක් ඇති නොවෙන්න ප්‍රධානම හේතුව තමයි තමිල්නාඩු සිනමාව. තමිල්නාඩුවේ ඉන්න කෝටි ගණක් දෙමළ ජනතාව වෙනුවෙන් වාණිජ වශයෙන් දෙමළ චිත්‍රපට බිහිවෙනවා. ඒ චිත්‍රපට තමයි දෙමළ භාෂාවෙන් හැදෙන චිත්‍රපට ලෙස අපේ අය රස විඳින්නෙ. ඒ නිසා ලංකාවට අනන්‍ය වෙච්ච දෙමළ ජන ජීවිතයක් තිබ්බට ලංකාවට අනන්‍ය වෙච්ච දෙමළ සිනමාවක් ලංකාවේ බිහි වුණේ නැහැ.

අවුරුදු 30 ක් තිබුණු යුද්ධය දැන් කිසියම් විදිහකට අවසන් වෙලා තියෙනවා. යුද්ධයේ අත්දැකීම් එක්ක විවිධ සිනමා අත්දැකීම් අපට හම්බ වෙනවා. ඒවා කෙටි චිත්‍රපටි විදිහට තමයි ගොඩක් දුරට හම්බ වෙන්නෙ. 2003-2005 කාලය තුළ තිබුණ සාම කාලය ඇතුළෙ, විවිධ ද්‍රවිඩ තරුණ සිනමා කරුවන් තමන්ගේ සිනමාවක් බිහි කර ගැනීම සඳහා කිසියම් උත්සාහයක යෙදුන අවස්ථා අපිට හම්බ වෙනවා. අවාසනාවකට යුද්ධයෙන් පස්සෙ ප්‍රමාණවත් සිනමා අභ්‍යාසයක් අපිට ඒ තරුණ සිනමාකරුවන් අතරින් හම්බ වුණේ නැහැ. ලංකාවේ දෙමළ තරුණ සිනමාකරුවන් අතරින්, ප්‍රදීපන් රවීන්ද්‍රන් වගේ සිනමාකරුවෙක් ඇරෙන්න එහෙම මතු වෙලා එන සිනමා අභ්‍යාසයක් අපිට හම්බ වෙන්න නැහැ. ඒ නිසා, අපි කරපු මේ සිනමා කෘතිය, කිසියම් විදිහකට ලංකාවට අනන්‍ය දෙමළ භාෂීය සිනමාවක් මේ පොළොවෙන් බිහි කර ගැනීම සඳහා මැදිහත් වීමක් කරන්න මට අවස්ථාව ලැබුණා කියලා, මම විශ්වාස කරනවා. ඒකෙ අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් මේ කෘතිය කරන්න තාක්ෂණික ශිල්පීන් ඇරුණහම සම්බන්ධ වෙච්ච බොහෝ දෙනෙකු දෙමළ තරුණ තරුණියන්. ඒ නිසා කිසියම් විදිහක බලපෑමක් ඒ තරුණ මනස් තුළ ඇති කරන්න මේ අභ්‍යාසය හරහා අපිට පුළුවන් වුණා කියලා මම හිතනවා.

මට ලංකාවේ සිංහල සමාජයෙන් අහන්න හම්බ වෙන චෝදනාව තමයි, ‛ඔයාට එහෙම සිනමාවක් කරන්න දෙමළ සමාජය පිළිබඳව දැනීමක් තියෙනවද?’ කියන එක. ඒක වැදගත් ප්‍රශ්නයක්. දෙමළ සමාජය පිළිබඳව දැනීම කියන එක සාපේක්ෂයි තමයි. අපිට සමස්ත දෙමළ සමාජය කියවන්න පුළුවන් කමක් නැහැ. අපි සිංහලයො හැටියට සිංහල සමාජය සමස්තයක් හැටියට දන්නෙත් නැහැ. හරියට බැලුවොත් ලංකාවේ සිංහල සමාජය හරියටම හඳුනන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ නිසා සම්පූර්ණ දැනුමක් ඇතිව කිසියම් වැඩකට බහිනවා කියලා එකක් නැහැ. දෙමළ සමාජය පිළිබඳ දැනුමක් නැති වුණාට යුද්ධයෙන් පස්සෙ දෙමළ සමාජය තුළ ඇති විය හැකි වෙනස්කම පිළිබඳව කිසියම් විදිහක ඉවක් අපිට දැනෙනවා. ඒ ඉව අපිට හම්බ වෙන්නෙ, දෙමළ සමාජය පිළිබඳව අපි දැනගත්තෙ නැති වුණාට, ධනවාදයේ හැසිරීම දන්න හින්දා. ධනවාදයේ ප්‍රාග්ධනය හැසිරෙන්න කොහොමද? කියන එක අපි දන්න නිසා, දෙමළ සමාජය යුද්ධයෙන් පස්සෙ මෙන්න මේ ආකාරයේ මාර්ගයක් ඔස්සේ ගමන් කරන්න විභවයන් තියෙනවා කියන එක පිළිබඳව ඉඟියක් කරන්න අපිට හැකිවෙනවා. අන්න ඒ අංශු මාත්‍රය තමයි මේ චිත්‍රපටය ඇතුළෙ අපි මතු කරගන්න උත්සාහ කළේ. මං හිතන්නේ ඒ සමාජ කියවීම අද දෙමළ සමාජයට වැදගත් වෙනවා. යුද්ධය පිළිබඳව අතීතකාමයෙන් කටයුතු කරනවාට වඩා මේ පශ්චාත් යුධ සමාජය හරියට තේරුම් අරගෙන, ඒ තේරුම් ගත්ත සමාජය අවබෝධ කර ගැනීම සඳහා, මිනිස්සුන්ට අවබෝධ කර දීම සඳහා සහ එය කියවා ගැනීම සඳහා කිසියම් විදිහක සිනමාත්මක මැදිහත් වීමක් කිරීම, දෙමළ තරුණ සිනමාකරුවන් වෙන්න බලාගෙන ඉන්න බොහෝ දෙනෙකුගේ අභිලාශය සහ ඉලක්කය විය යුතුයි කියලා මම හිතනවා.

ලංකාවේ සිනමාව, සිංහල සිනමාවට පමණක් සීමා වුණ කාරණාව තමයි දෙමළ සිනමාවට ලංකාව ඇතුළෙ නිෂ්පාදනය වෙන්න තිබුණ ආර්ථික අවශ්‍යතාවය නැති වීම. ඒ ආර්ථික අවශ්‍යතාවය නැතිවෙන්නෙ දෙමළ සිනමා ඉල්ලුම සපුරාලීමට තරම් ප්‍රමාණවත් සිනමා කෘති ප්‍රමාණයක් ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කෙරෙන නිසා. සිංහල භාෂාව කතා කරන්නෙ අපි විතරයිනෙ. අපිට වෙන කවුරුවත් සිනමා කෘති හදලා දෙන්නෙ නැහැ. ඒ නිසා ලංකාවේ සිංහල සිනමාවට ආර්ථික පැවැත්මක් මුල ඉඳලාම තිබුණා. නමුත් දෙමළ සිනමාව ආනයනය කරන්න පුළුවන් වුණ නිසා, ඒ සඳහා ආර්ථික පැවැත්මක් තිබුාණෙ නැහැ. නමුත් ගැටළුව තියෙන්නෙ තමිල්නාඩු සිනමාව වාණිජ සිනමාවක්. ඒ සිනමාවට හුරුවුණු, ඒ සිනමාව රසවිඳින්න පුරුදු වුණු රසික ප්‍රජාවක් තමයි ලංකාවේ ඉන්නෙ. මේ අය ඒ පුරුද්දෙන් ගලවලා ඊට වඩා වෙනස් සිනමාවක් විඳින්න හුරුකර ගැනීම කියන එක එක්තරා විදිහක අභියෝගයක්. ඒ අභියෝගය ඇත්තටම තියෙන්න සිංහල සිනමාකරුවන් විදිහට ඉන්න අපිට පමණක් නෙමෙයි. ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න ඇත්තටම පුළුවන් කම තියෙන්න ඒ දෙමළ සමාජය තුළින්ම පැන නගින සිනමාකරුවන් ටික දෙනෙකුට. අවාසනවාකට කේසවරාජන් වාගේ සිනමාකරුවෙක් යුද්ධෙ කාලයෙ කිසියම් විදිහක වටිනාකමක් තියෙන චිත්‍රපටි කළාට, මේ වෙන කොට කරන චිත්‍රපටි දෙමළ වාණිජ සිනමාවේම දිගු හැටියට තමයි අපිට හම්බ වෙන්නෙ. ඊට අමතරව ඒ කාලයේ කිසියම් විදිහක වටිනාකමක් ඇති සිනමාවක යෙදිච්ච තරුණ පිරිස් මොනයම්ම හෝ හේතුවක් නිසා එක්කො රටේ නැහැ, එසේත් නැත්නම් ඒ අය සිනමාව කරන එක අතහැරලා තියෙනවා. අළුතින් සිනමා ප්‍රජාවක් බිහිවීම ඒ දෙමළ ප්‍රජාවේ අවශ්‍යතාවක් හැටියට මම දකිනවා. අනිත් සියළු දේවල් වල අනන්‍යතාවයක් ගොඩනගා ගන්න ඒ අයට පුළුවන් වුණා වගේ සිනමාව ඇතුළෙත් කිසියම් විදිහක ස්වාධීන අනන්‍යාතාවයක් මතු කර ගන්න ඒ අයට හැකිවෙයි කියලා මම විශ්වාස කරනවා.

ලංකාවේ භාෂා දෙකක් කතා කරන පිරිස් වෙන් වෙලා ඉන්නවා වගේම, සිනමා ශාලා පවා වෙන්වෙලා තියෙනවා. ලංකාවේ සිනමා ශාලා තියෙන්නෙ චිත්‍රපටි ශාලා අර්ථයෙන්ම නෙමෙයි. උදාහරණයක් හැටියට, ලංකාවේ සිංහල චිත්‍රපටි ශාලා තියෙනවා, දෙමළ චිත්‍රපටි ශාලා තියෙනවා. ඉංග්‍රීසි චිත්‍රපටි ශාලා තියෙනවා. සමහර චිත්‍රපටි ශාලා වලට එන්නෙ සිංහල චිත්‍රපටි විතරයි, සමහර ඒවාට එන්නෙ දෙමළ චිත්‍රපටි විතරයි, සමහර ඒවාට එන්නෙ ඉංග්‍රීසි චිත්‍රපටි විතරයි. භාෂාමය බෙදීමක් එක්ක තමයි ලංකාවේ සිනමාශාලාවල් ටිකත් තියෙන්නෙ. සිනමාව ප්‍රචලිත වීමට ඒක ලොකු අභියෝගයක් වෙයි කියලා මම හිතනවා. ඒක නිසාම තමයි අපේ සිනමා කෘතිය දෙමළ සිනමා කෘතියක් වුණත්, අපි ඒක නිදහස් කරන්නෙ දෙමළ සිනමා කෘතියක් හැටියටම නෙමෙයි. සිනමාකෘතියක් විදිහට අපි ඒක නිදහස් කරනවා. සිංහල උපශීර්ෂ සහිතව දෙමළ සිනමා ශාලා වලත්, සිංහල සිනමා ශාලා වලත් අපි ඒක නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ සමස්ත භූමිය ආවරණය කරන සිනමාවක් බිහිවන්නෙ එවිටයි. සිනමාව භාෂාවෙන් වෙන්කරලා, සිනමා භාෂාව මුල්කරගත්ත සිනමාවක් අපිට හදාගන්න පුළුවන් කම තියෙන්නෙත්, එවන් සිනමාවක් නරඹන්න ප්‍රේක්ෂකයන්ව පොළඹවා ගන්න පුළුවන් කමත් තියෙන්නෙ එවිටයි. නමුත් දැන්, සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි සිනමාව යනුවෙන් කොටස් තුනක් තියෙනවා. මේ කොටස් තුන තිරගත වෙන ශාලා වෙන්වෙලා තියෙනවා. ඒ ශාලාවලට යන පිරිස් භාෂාමය බෙදීමකට ලක්වෙලා තියෙනවා. මේක අභියෝගයක්.

යුද්ධයෙන් පස්සෙ ලිබරල් ධනවාදය උතුරු ප්‍රදේශවලට ගොස් සමාජය වෙනස් කරන එක පිළිබඳ ඉඟි ඒ පළාත් වලින් අපට හම්බ වෙනවා. ඒක කෙනෙකුට ගිහිල්ලා අධ්‍යනය කරන්න පුළුවන්. යුද්ධය නිසා නැවතිලා තිබුණ ධනවාදයේ ආක්‍රමණය, මේ වෙන කොට ඒ පළාත් වල සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් මං හිතන්නෙ ඒක තරුණයන්ට මුහුණ දෙන්න වෙන අළුත් අභියෝගයක්. සමාජ ව්‍යාපාරයක් එක්ක බැඳෙන්නෙ නැතුව, ඒ අභියෝගය ලේසියෙන් ජයගන්න පුළුවන් එකක් නෙමෙයි කියලා මට හිතෙනවා. දෙමළ ජාතික විමුක්තිය උඩ ආධාර උපකාර හම්බ වුණාට, ධනවාදයට ප්‍රතිරෝධයක් හැටියට මතුවෙන සමාජ ව්‍යාපාරයකට ඒ බලාපොරොත්තු වන ජාත්‍යන්තර සහයෝගය ලැබේවි කියන එක විශ්වාස කරන් අමාරුයි. ඒ නිසා ධනවාදය විසින් ඇති කරන අළුත් අර්බුදයන්ට මුහුණ දීම සඳහා ඒ අයට හුදකලා අරගලයක් මේ භූමිය මත කරන්න සිද්ධ වෙනවා. ඒක කිසියම් විදිහක උතුර සහ දකුණ අතර සහයෝගයක් ඇති වෙන්නෙ හේතු කාරණා වෙයි. බලාපොරොත්තු වෙන සංහිඳියාව කියන එක ඇති වෙනව නම් ඇති වෙන්නෙ, අපේ අරගලයේ උවමනාව මාරු වෙලා, ඒ ඉලක්කය ධනවාදයේ දිසාවට යොමුවුණාම විතරයි.

දෙමළ සමාජය පිළිබඳව කියවීමේ අවබෝධය අල්ප වෙලා තියෙන්නෙ ඒ අවබෝධය හැදෙන්නෙ උවමනාව විසින් නිසා. කෙනෙකුට අවංකව උවමනාවක් තියෙනවද? තමන්ගෙ සහෝදර සමාජය පිළිබඳව කියවීම කියන ගැටළුව එනවා. අපි දෙමළ සමාජය පිළිබඳව දන්නා තරම්වත්, අපේ අය මුස්ලිම් සමාජය පිළිබඳව දන්නෙ නැහැ. ඒ තරම් බොහොම ඈත් වෙච්ච තත්ත්වයක් තමයි තියෙන්නෙ. ඒ සඳහා මේ මාධ්‍ය මුල් කරගත්ත අභ්‍යාස වල යෙදෙන අය තමන්ගෙ කියවීම පුළුල් කරගන්න සිද්ධ වෙනවා. නමුත් දෙමළ සමාජයට සිංහල සමාජය පිළිබඳව කියවීමක් ඇති වෙන්නෙ, දෙමළ සමාජයට සිංහල සමාජයෙන් දිනා ගැනීම සඳහා අරමුණු ටිකක් තිබුණා. සිංහල සමාජය විසින් තමන්ට අහිමි කරන ලද සමහරක් දේවල් දිනා ගැනීමට ඒ සඳහා දැනුවත් වීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඒ අවශ්‍යතාවය විසින් තමයි ඔවුන්ට ඒ දැනුම ලබා දෙන්නෙ. අපිට එහෙම අවශ්‍යතාවයක් තිබුණෙ නැහැ. ඒ නිසා අපේ සමාජය, දැන් සංචාරකයො විදිහට ඒ ප්‍රදේශවල ඇවිදලා ලබා ගන්න දැනුමට එහා ගිය ගැඹුරු විශ්ලේෂණාත්මක දැනුමක් අවශ්‍ය වෙනවා. ඒක අතිශය වැදගත් කාලීන අවශතාවයක් කියලා මම හිතනවා.

අශෝක හඳගම
(සාකච්ඡාවක් ඇසුරෙනි)