Colombo, Yarn

බැංකු කතාවක් බංකු බංකු විසිනි


මම නුවරඑළිය නගරයට යන විට නගරය සීතලෙන් වෙළිලා තිබුණෙ. කාර් එකෙන් බැහැල ඇවිදගෙන යනකොට මට ඇහුණා ළමයෙක් අඬන සද්දයක්. මම වට පිට බලනකොට දැක්කෙ අවුරුදු දහයක් විතර වයස පුංචි පිරිමි ළමයෙක්ව. මේ ළමයා හරිම කෙට්ටුයි. ඒ තරම් වැඩිලත් නැහැ. මේ මහා හීතලේ වුණත් ළමයා ඇඳගෙන හිටියේ පරණ කමිසයක් විතරයි. ජැකට් එකක්වත් තිබුණෙ නැහැ. සීතලට ළමයව වෙවුලනවා. ඒත් පුදුමෙකට වගේ මේ ළමයගෙ අතේ තියෙනව රුපියල් පන්දාහක මුදල් නෝට්ටුවක්.

“මොකද පුතා අඬන්නෙ?” මම ළමය ළඟට පහත් වෙලා ඇහුවා.

එතකොට ළමයා සිහින් හඬින් තමන් අඬන හේතුව මට පැහැදිලි කළා.

“අපි හරිම දුප්පත්. මගේ වයස දැන් අවුරුදු දහයයි. මට නංගිලා තුන් දෙනෙකුයි, මල්ලිලා දෙන්නෙකුයි ඉන්නවා. මට වයස නවයෙදි අපේ තාත්ත හදිසියේ නැති වුණා. අපේ අම්මා එච්චර ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. ඒ නිසා අම්ම ගොඩක් දුක් විඳිනවා අපේ පවුල ජීවත් කරවන්න. අම්මා දවල්ට තේ වත්තෙ දලු කඩනවා. අපේ පුංචි ඉඩමෙ එළවළු වවනවා. රෑටත් අම්ම ගෙදරක උයන්න යනවා. ඒත් අම්ම හම්බ කරන දෙයින් අපි ජීවත් වෙන්නෙ හරිම අමාරුවෙන්.

ඒ වුණත් අම්ම හරිම අමාරුවෙන් රුපියල් දහ දාහක් ඉතිරි කරගෙන තිබුණා. අද අම්ම රෑට උයන්න යන ගමන් මාවත් එක්ක ඇවිල්ල ටවුමෙදි බස් එකෙන් බස්සල කිව්ව මේ රුපියල් දහ දාහ අරගෙන ගිහින්, බස් එකේ ආපහු ගෙදර යන්න සල්ලි ඉතුරු කරගෙන නංගිලාටයි, මල්ලිලාටයි, මටයි සීත කාලෙට අඳින්න ජැකට් අරගන්න කියලා. මම මාකට් එක පැත්තට යන්න හැදුව විතරයි, එක පාරටම කොහෙන්ද ආපු රස්තියාදුකාර කොල්ලෙක් මාව තල්ලු කරල මගේ අතේ තිබුණු පන්දාහෙ නෝට්ටු දෙකෙන් එකක් උදුරගෙන දිව්වා.” මේ අසරණ ළමයා කඳුළු වගුරවමින්, ඉකි ගහමින් කිව්වා.

“ඉතින් පුතා ඔයාට කෑ ගහන්න තිබුණනේ. ඔයා කෑ ගැහුවෙ නැද්ද?” මම ඇහුවා.

“මම කෑ ගැහුවා. ඒ වුණත් කවුරුවත් උදව්වට ආවෙ නැහැ.” ළමයා කිව්වා.

“ඔයා කොච්චර හයියෙන් කෑ ගැහුවද?”

“අනේ මට උදව් කරන්න… කියල මම කෑ ගැහුව.”

මේ ළමය කතා කළේ හරිම හෙමින්. මේ ළමය කෑ ගැහුවට ළඟ ඉන්න කෙනෙකුටවත් ඇහෙන්නෙ නැති බව මට විශ්වාසයි. ඉතින් කොහොමද කිසි කෙනෙක් මෙයාට උදව් කරන්නෙ.
මම දෙපාරක් හිතුවෙ නැහැ. එක පාරටම තීරණයක් ගත්තා.

ළමයගේ අතේ තිබුණ ඉතිරි රුපියල් පන්දාහෙ නෝට්ටුව උදුරගත්ත මම දුවල ගිහින් මගේ කාරෙකට නැගල ඒක ස්ටාට් කරගෙන යන්න ගියා.

(බැංකුකරුවෙකුගේ සටහන් පොතකින් උපුටා ගන්නා ලදී.)

සමබිම වෙබි අඩවියෙනි