Colombo, end of the War, Featured Articles, Features, Jaffna

“හැම පැත්තම මිලටරීකරණය කරලා තියෙන තැනක ස්වාධීන චිත්‍රපටයක් ගොඩනගන්න පුළුවන්ද?”


[Editors Note] ලංකාවේ දෙමළ භාෂිත සිනමාව සහ එහි චලනයන් මෙන්ම යුද්ධයෙන් පසු දෙමළ සිනමාවේ තත්ත්වයන් පිළිබදව තරැණ සිනමාකරැවෙකුවන ප්‍රදීපන් රවීන්ද්‍රන් ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය දා සාකච්ඡාවක නිරත වූ අතර පහත පළවන්නේ එම සාකච්ඡාවේ සටහනයි.(ප්‍රදීපන් රවීන්ද්‍රන් සහ ඔහුගේ නිර්මාණ පිළිබද දළ අදහසක් ලබැ ගැනීම සදහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න www.exilimage.com)

තරුණ සිනමාකරුවෙක් විදිහට ලංකාවේ දෙමළ භාෂිත සිනමාව පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ලංකාවේ දෙමළ සිනමාවට අද ඊයෙ විතරක් නෙමෙයි පරම්පරා ගණනාවක් පුරා ප්‍රශ්න තිබුණා. සිනමාව පැමිණි කාලයෙ ඉඳලා අපට ප්‍රශ්න තිබුණා. බොහෝ අය දෙමළ චිත්‍රපට කරළා දිග ගමනක් යන්න උත්සාහ කළා. නමුත් ඒවා සාර්ථක වුණේ නැහැ. ඒ නිසා තමයි ලංකාවේ දෙමළ සිනමාවට දිග ගමනක් යන්න බැරි වුණෙ. ඒ ප්‍රශ්නය අදත් තියෙනවා.

ඔබ හිතන්නෙ, ලංකාවේ දෙමළ භාෂිත සිනමාවක් ගොඩනොනැගෙන්න බලපෑවේ මොනවගේ හේතු ද?

මම හිතන්නෙ පළවෙනි කාරණය තමයි ඉන්දියන් දෙමළ සිනමාව. ඒක ලොකු කර්මාන්තයක්. එහෙ එක්ක සංසන්දනය කරලා බලනකොට අපේ වෙළඳපොළ හරි පොඩියි. සිනමාව ආරම්භ වුණු කාලයේ සිටම, දෙමළ භාෂිත චිත්‍රපටි ඉන්දියාවෙ ඉඳලා එනවා. ඉතින් අපේ සමාජය, සංස්කෘතිය ඒ සිනමාවට අනුව හැඩගැහිලා තියෙන්නෙ. අපේ අය සිනමාව කරන්න ගියාම කරපු වැරැද්ද තමයි, ඉන්දියන් දෙමළ සිනමාව අනුකරණය කරන්න උත්සාහ කිරීම. ඒක සාර්ථක වුණෙ නැහැ. ඒ අයගෙ වෙළඳ පොළයි, නිෂ්පාදන පිරිවැයයි හැම දෙයක්ම අපිට වඩා වෙනස්. අපිට ඕනෙ මොනවගේ සිනමාවක්ද කියන එක හොයාගන්න බැරි වුණා කියන එක තමයි මම හිතන්නෙ.

නමුත් කවුරුහරි කිව්වොත් සිංහල සිනමාකරුවන්ට ලැබෙන පහසුකම් වලට වඩා දෙමළ සිනමාකරුවන්ට ලැබෙන පහසුකම් අඩුයි. ඒ වගේම සිංහල සිනමාකරුවන්ට ලැබෙන අවස්ථා, විශේෂයෙන්ම අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දුන් උතුරු-නැගනෙහිර ජීවත් වන සිනමාකරුවන්ට නොලැබීම වගේ දේශපාලන කරුණුත් මේ තත්ත්වය කෙරෙහි බලපෑවා කියලා ඒ ගැන ඔබ මොකද කියන්නෙ?

දේශපාලන ප්‍රශ්න තියෙනවා. අවුරුදු 30 අපි දිගට මුහුණ දුන්න ප්‍රශ්නෙත් ලොකු කාරණාවක් හැටියට තිබුණා. අපිට සාමකාමී ජීවිතයක් තිබුණෙ නැහැ. යුද්ධ කාලයෙදි අපි අපේ ජීවිත ගැන හිතුවා. ඒ කාලෙ අපිට සිනමාව ගැන හිතන්න බැරුව ගියා. නමුත් රජයෙන් දෙමළ සිනමාකරුවන්ට දෙන පහසුකම් පිළිබඳ කතා කළොත්, සිංහල සිනමාකරුවන්ටවත් එහෙම පහසුකම් නැහැනෙ. මම කතාකරන්නෙ ශ්‍රී ලාංකික ස්වාධීන දෙමළ සිනමාවක් බිහිවෙන්න ඕනෙ. ඒකට කවදාවත් රජය උදව් කරන්නෙ නැහැ. සිංහල අයට එහෙම අය උදව් කරනවද කියලා මම දන්නෙ නැහැ. නමුත් දෙමළ අයට එහෙම උදව් කරයි කියලා අපිට හිතාගන්නවත් බැහැ. ඒ බලාපොරොත්තුව අපි ගාව නැහැ. උදාහරණයක් විදිහට මම චිත්‍රපට පිළිබඳව ඉගෙන ගන්න ඕනෙ නම්, විශේෂයෙන්ම දෙමළ භාෂාවෙන් ඉගෙන ගන්න පුළුවන් තත්ත්වයක් අද වෙන කම් ඇති වෙලා නැහැ. ඒ වගේ තත්ත්වයක් උඩ තමයි අපිට චිත්‍රපට කරන්න වෙන්නෙ.

ලංකාවේ දෙමළ භාෂිත සිනමාවක් ගොඩනැගුනෙ නැත්තෙ, යුද්ධය නිසා කියලා කිව්වොත් ඔබ ඒක පිළිගන්නවද?

ශ්‍රී ලාංකික දෙමළ සිනමාවක් ආවෙ නැත්තෙ යුද්ධය නිසාම කියලා මට එකඟ වෙන්න බැහැ. යුද්ධයත් එක කාරණවෙක් වෙන්න පුළුවන්. ඒ වුණාට තව තව කාරණා ගොඩක් තියෙනවා. මම හිතන්නෙ ප්‍රධාන කාරණාව ඉන්දියානු දෙමළ සිනමාව. මීට අවුරුදු 30කට පෙරත් දෙමළ සිනමාව ඒ තරම් ලොකුවට ආවෙ නැහැනෙ. අපේ අයට ඒ ආරම්භය ගන්න තිබුණනෙ. මම සම්පූර්ණයෙන්ම නැහැ කියලා කියන්නෙ නැහැ. කිහිප දෙනෙක් උත්සාහ කළා. නමුත් දැන් බලනකොට අපි ගමනක් පටන් අරගෙන නැහැ. ඒකයි මම කියන්නෙ යුද්ධෙ විතරක් නෙමෙයි ඊට පෙරත් ඒ කාරණාව තියෙනවා.

නමුත් ඔබ වැනි සිනමාකරුවො යම් කිසි විදිහකට 2009ට පෙර සිනමාවක් ගොඩනගන්න උත්සාහ ගන්නවා. ඒවා ජාත්‍යන්තරව පවා අගය කිරීමට ලක්වෙනවා. ඒ වගේම එල්.ටී.ටී.ඊ සංවිධානය තමන්ගෙ ප්‍රචාරණ කාර්යය සඳහා හරි යම් සිනමාවක් ගොඩ නගන්න උත්සාහ ගත්තා නේද?

දෙමළ සිනමාවක් කියලා මම කියන්නෙ ස්වාධීන දෙමළ සිනමාවක්. ලංකාවේ ප්‍රධාන ධාරාවේ දෙමළ සිනමාවක් අපට අවශ්‍ය නැහැ. හේතුව අපි අවුරුදු 30ක් යුද්ධයකට මුහුණ දුන්නා. ඉතින් සමාජය ඇතුළෙ ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඒවා ගැන කතා කරනකොට අපිට ප්‍රධාන ධාරාවේ ගිහිල්ලා ඒවා කතා කරන්න බැහැ. අනිත් එක තමයි අපේ සමාජය කෙලින්ම දකුණු ඉන්දියානු සිනමාවෙන් අභිප්‍රේරණය වෙලා තියෙනවා. අපි ඒක අනුකරණය කරන කොට අපිට කතා කරන්න ඕනෙ, ඒවා කතා කරන්න හම්බ වෙන්නෙ නැහැ. ඒකයි මම කියන්නෙ අපි ස්වාධීන මාර්ගයක් තෝරගෙන යන්න ඕනෙ කියලා. ඉතින් අවුරුදු 30ක් ඇතුළෙ ස්වාධීන දෙමළ චිත්‍රපටයක් ලංකාව ඇතුළෙ කරන්න පුළුවන් වුණාද? එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් කරපු චිත්‍රපට ස්වාධීන චිත්‍රපට විදිහට මට ගන්න බැහැ. ඒ අයට ස්වාධීන දෙමළ චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න උවමනාවක් තිබුණෙ නැහැ. තමන්ගෙ ප්‍රචාර කටයුතු සඳහා තමයි ඒ අය තමන්ගෙ චිත්‍රපට භාවිතා කළේ. ඒක දෙමළ සිනමා ව්‍යාපාරයක් කියලා මට බලන්න බැහැ. කවි ලියපු හින්දා එල්.ටී.ටී.ඊ එකෙන් මරලා දමපු අපේ සහෝදර, සහෝදරියන් අපි දැකලා තියෙනවා. දෙමළ ස්වාධීන සිනමාවකට ඒ අය කවදාවත් උදව් කළේ නැහැ. අදටත් පවතින උග්‍ර දෙමළ ජාතිකවාදය විසින් එවැනි ස්වාධීන සිනමාවකට උපකාර කරයි කියලා මම නම් හිතන්නෙ නැහැ.

යුද්ධය තියෙන කාලයෙ මේ පිළිබඳව යම් කිසි පිරිස් විවිධ උත්සාහයන් ගන්නවා. ඔබ වැනි අය ගත්තාම උත්සාහ කරනවා. ඒ වගේම ස්ක්‍රිප්-නෙට් වගේ ආයතන විසින් මැදිහත් වෙලා යුද්ධයේ ඛේදවාචකය පිළිබඳව කෙටි චිත්‍රපටි කරනවා. නමුත් යුද්ධය අවසන් වෙලා අවුරුදු 03ක් ගතවෙලත් තවමත් එවැනි උත්සාහයක් දක්නට ලැබෙන්නෙ නැහැ. අඩුගණනෙ සාහිත්‍ය නිර්මාණයක්වත් බිහිවෙන්නෙ නැහැ. මේ තත්ත්වයට හේතුව මොකක්ද?

යුද්ධයට පසුව උතුරු-නැගෙනහිර තිබෙන තත්ත්වය ඔයා දන්නවනෙ. ලංකාවේ දැන් තියෙන තත්ත්වය උඩ අපේ තරුණ පරම්පරාවට සිනමාව ගැන හිතන්න තරම් නිදහසක් තවම හම්බ වෙලා නැහැ. ඉතින් එවැනි නිදහසක් ලැබෙනතුරු, ඒ අය අතරින් ලොකු සිනමා ව්‍යාපාරයක් බිහිවෙයි කියලා හිතන්න බැහැ. සිනමාවක් කරන්න නම් ඒ සඳහා අවකාශයක් තියෙන්න ඕනෙ. අනිත් එක තමයි, වාරණය නැතිවෙන්න ඕනෙ. දෙමළ සිනමාවක් ගොඩනගන්න යන කොට අපේ කතාවල් කොහෙන් හරි යුද්ධය කාලේ අත්දැකීම් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඒ වගේ කතාවල් එක්ක අපි චිත්‍රපටි කරන්න එනකොට අපිට කරන්න පුළුවන්ද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නය. ලංකාවේ තියෙන තත්ත්වය යටතේ, හැම පැත්තම මිලටරීකරණය කරලා තියෙන තැනක ඉඳගෙන තරුණයෙක්ට ස්වාධීන චිත්‍රපටයක් ගොඩනගන්න පුළුවන්ද කියන එක තමයි මගේ ගැටළුව.

යුද්ධයෙන් පස්සෙ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ වගේ සිනමාකරුවන් දෙමළ සිනමාවක් ගොඩනගන්න ගන්න උත්සාහය ඔබ දකින්නේ කොහොමද?

එසේ උත්සාහ කරලා ඒ අයට අපිට වේදිකාවක් හදන්න පුළුවන් නම් ඒක සෑහෙන හොඳයි. ඒක පුළුවන්ද කියන එක ගැන පෞද්ගලිකව සැකයක් තිබුණට ඒ අය පුළුවන් කියලා උත්සාහ කරන එක හොඳයි. අපි චිත්‍රපට කළාට, චිත්‍රපට නිෂ්පාදන සහ බෙදාහැරීම් ක්‍රියාවලිය හරියට සිදුවෙන්නෙ නැහැ. නමුත් සිංහල සිනමාව ඇතුළේ මේ දේ සුළුවට හරි තියෙනවා. අනිත් එක, මේක කරන්න ඕනෙ කොහොමද කියලා හඳගම, ප්‍රසන්න වගේ සිනමාකරුවන් දන්නවා. ඉතින් ඒ අය දෙමළ චිත්‍රපටි කරන එක සාර්ථක වුණොත් ඒක හොඳයි.

විශේෂයෙන් යුද්ධයෙන් පස්සෙ, දෙමළ ජනයා මුහුණ දෙන ප්‍රශ්න සිංහල ඇසකින් බලලා චිත්‍රපට බොහොමයක් නිපදවෙනවා. සමහර නිර්මාණ, යුද්ධය පිළිබඳ අතිශය කෲර අදහස් තවත් එලියට දක්වන උදාහරණ සහිත චිත්‍රපටි. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කොහොමද?

ඒ සමහර චිත්‍රපටි මම බැලුවා. නමුත් විනාඩි දහයකට වඩා ඒවා මට බලන්න බැරි තත්ත්වයක් තිබුණා. එල්.ටී.ටී.ඊ කරපු ඝාතන සම්බන්ධයෙන් චිත්‍රපටයක් තිබුණා. එල්.ටී.ටී.ඊ කරපු වැඩ ගැන ඕනෙ තරම් අපි විවේචන කරලා තියෙනවා. නමුත් ඒ චිත්‍රපටයේ ඒක ගැන කතා කරන්න ගියාට ඒකෙ කලාව තිබුණෙ නැහැ කියන එක තමයි මගේ අදහස.

එවැනි චිත්‍රපට තුළින්, යුද්ධයෙන් පස්සෙ පීඩිත දෙමළ ජනයා පිළිබඳව යම් කිසි සානුකම්පිත අදහසක් ඇතිවෙයි කියලා ඔබ විශ්වාස කරනවද?

උග්‍ර සිංහල ජාතිවාදය ගැන චිත්‍රපට එනවා. ඒ වගේම උග්‍ර දෙමළ ජාතිකවාදය පිළිබඳවත් චිත්‍රපට එනවා. ඒ දෙකටම මම කැමති නැහැ. ඒ දෙවර්ගයම අපේ මිනිස්සුන්ට වැරදි ආදර්ශයන් දෙනවා. ඒක දෙපැත්තෙම තියෙනවා. අපි ජීවත්වන විදේශයේ ගත්තාම, උග්‍ර දෙමළ ජාතික වාදය තමයි තියෙන්නෙ. ඒකටත් අපි කැමති නැහැ. ඉතින් ඒ තත්ත්වය කවදාවත් ලංකාවට හොඳ නැති එකක්.

විශේෂයෙන් යුද්ධයෙන් පස්සෙ, ලංකාවේ දෙමළ භාෂිත සිනමාවක් බිහිවෙන්න නම්, අපි සපුරාගන්න ඕනෙ මොන වගේ දේවල්ද?

මම හිතනවා පළමුවෙන්ම, වාරණය නැතිවෙන්න ඕනෙ. උදාහරණයක් විදිහට මම ඇවිල්ලා රූගත කිරීම් කරන කොට, මගෙන් පිටපත ඉල්ලන්න බැහැ. ‛පිටපත කියවලා තමයි රූගත කරන්න අවසර දෙන්නෙ’ කියලා කියන්න බැහැ. අනික් කාරණය තමයි, වාරණයක් නැතිව මට කැමති අයෙකුට මගේ චිත්‍රපටය පෙන්වන්න අයිතිය තියෙන්න ඕනෙ.

විදේශගතව ඉන්න නිර්මාණකරුවෙක් විදිහට ‛ඩයස්පෝරා සිනමාව’ ගැන ඔබගේ අදහස මොකක්ද?

විදේශගතව අපි මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි උග්‍ර දෙමළ ජාතිකවාදය. උදාහරණයක් විදිහට මගේ “Shadows in Silence” චිත්‍රපටය ලෝකය පුරා ගොඩක් රටවල අපි පෙන්නුවා. නමුත් මගේ චිත්‍රපටය බලපු ප්‍රේක්ෂකාගාරයෙන් දෙමළ ප්‍රේක්ෂකයො හිටියෙ සියයට එකක් පමණයි. ඒ තත්ත්වය හරි දුර්වල තත්ත්වයක් හැටියට මම දකිනවා. මගේ චිත්‍රපටය කාන්ස් චිත්‍රපට උළෙලට තේරුණ වෙලාවේ මෙහේ පත්තරවල හුඟක් අය ලිව්වා. ඊළාම් දෙමළ සිනමාකරුවෙක් කාන්ස් චිත්‍රපටි උළෙල නිාේජනය කලා කියලා හරි ඉහළින් කතා කළා. නමුත් එහෙම පත්තර වල ලියපු අයගෙන් බොහෝ අය චිත්‍රපටය බලන්න ආවෙ නැහැ. ඒ අයට ඒක ඕනෙ වෙලා තිබුණෙ නැහැ. අපි දැන් එක පැත්තකටවත් යන්න බැරුව තනිවෙලා ඉන්නෙ. දෙමළ සමාජය ඇතුළෙ ස්වාධීන ලෙස ඉන්න එක හරි අපහසු තත්ත්වයක් වෙලා තියෙනවා.

සිනමාවේදී ප්‍රදීපන් රවීන්ද්‍රන්
(සාකච්ඡාවක් ඇසුරෙනි)