Colombo, end of the War, Featured Articles, Features

ගෝඨාගේ ‘සුරක්ෂිත ලංකාවේ’ කේන්ද්‍රීය ගැටලූව ගෝඨාම වීම

Photo – www.bbc.co.uk
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට ද කතාකළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති නිර්මාල්ට දින ගණනක සිට ජීවිත තර්ජන එල්ල වෙමින් පවතී. අසල්වැසියන්ගෙන් ඔහු ගැන තොරතුරු විමසූ පුද්ගලයන් තමන් හඳුන්වාදී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් හැටියටය. නිර්මාල් සිය පොලිස් පැමිණිලිවල හා ජනමාධ්‍ය හමුවේ සඳහන්කර තිබුණේ මේ කාරණයයි. ගෝඨාභය පරලවී නිර්මාල්ට දුරකතනයෙන් කතාකරන්නේ මේ සඳහන් හේතුවෙනි.

ගෝඨාභය කියන්නේ, නිර්මාල් මේ සඳහනෙන් තමන්ගේ ආරක්ෂක අමාත්‍යාංශයට අපකීර්තියක් සිදුකළ බවය. ඔහු වැඩිදුරටත් කියන්නේ තමන් නිර්මාල්ව හරියට දන්නේවත් නැති නිසා නිර්මාල් ගැන තොරතුරු සෙවීමට තමන්ට අවශ්‍යතාවක් නැති බවය. එබැවින් නිර්මාල්ගේ යුතුකම වියයුතුව තිබුණේ සිය අමාත්‍යාංශයේ නිලධාරීන් යයි හඳුන්වාගනිමින් එහි පැමිණියවුන් පොලීසියට අල්ලාදීමය. එමඟින් ගෝඨාභයගේ ආරක්ෂක අමාත්‍යාංශයේ කීර්තිනාමය රැකීමට නිර්මාල්ට හැකිවන අතර, ඒ සඳහා නිර්මාල් බැඳීසිටින්නේ යැයි ගෝඨාභය සිතන බව පෙනේ.

මේ සිදුවීම ඔස්සේ අපට ගෝඨාභයගේ සිතීමේ විලාශය තවත් ටිකක් ගැඹුරට කැණබැලිය හැකිය.

ගෝඨාභයට අනුව කිසිදු පුරවැසියෙක් තමන්ගේ ජීවිත ආරක්ෂාව හෝ වෙන මොනම හේතුවකටවත් ජනමාධ්‍යයට තබා පොලිස් පැමිණිල්ලකවත්, ‘ඔහුගේ’ අමාත්‍යාංශයේ නමක් මෙලෙස සඳහන් නොකළ යුතුය. එය එහි කීර්තිනාමය කෙලෙසීමකි. එපමණක් නොව සිය අමාත්‍යාංශයෙන් යැයි කියමින් එන ව්‍යාජ පුද්ගලයන් අල්ලා පොලීසියට බාරදීම පුරවැසියාගේ පරම යුතුකමක් බව ගෝඨාභය කියයි. මෙය තමන්ගේ ආරක්ෂාව සඳහා නීතිය හා සාමය රැකීමේ නිත්‍ය ආයතනයට යාම වෙනුවට, නීතිය අතට ගෙන කටයුතු කරන්නැයි පුරවැසියාට නියෝග කිරීමකි. නියෝගය එන්නේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගෙන්මය. තමන්ගේ ආරක්ෂාව ගැන රටේ නීතියට අනුව කටයුතු කිරීමට වඩා, හැම පුරවැසියකුම ආරක්ෂක අමාත්‍යාංශයේ කීර්තිනාමය රැකීමට මූලිකත්වය දිය යුතුය.

තමන් නිර්මාල් කවුදැයි නොදන්නා නිසාද, ඔහු ගැන උනන්දුවක්(interest) නැති නිසාද, ඔහු ගැන තොරතුරු සොයන්නට තමන්ට අවශ්‍යතාවක් නැතැයි ගෝඨාභය කියයි. එහි යටි ඇඟවුම නම්, හරියටම දන්නා, තමන් උනන්දු (interested) පුරවැසියන්ගේ තොරතුරු, මෙබඳු නීත්‍යානුකූල නොවන ක්‍රම මඟින් තමන් සොයාබලන බවය.(එවැනි දෑ සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යවල නොව ඒකාධිපති පොලිස් රාජ්‍යවලය)

ඉහත උපදෙස මේ සන්දර්භය තුළ තබා බලනකල පුරවැසියා අමාරුවේ වැටෙන්නට හොඳටම ඉඩ තිබේ. මන්ද යත්, තමන් අයත්වන්නේ ගෝඨාභය දන්නේත් නැති, උනන්දුත් නැති ගොඩටද නැතිනම් උනන්දුවන්නන්ගේ ගොඩටදැයි හරියටම දැනගැනීමට පුරවැසියාට හැකියාවක් නොමැති හෙයිනි. උනන්දු කෙනෙක් පසුපස නම් එන්නේ ගෝඨාභයගේ කට්ටියයි. එවැන්නන් අල්ලා පොලීසියට බාරදෙන්නට ගියොත් වැඩේ ලෙඩේ වෙයි. එහෙත් උනන්දු නැති කෙනෙක් පසුපසනම් එන්නේ, ආරක්ෂක අමාත්‍යාංශයේ යැයි කියාගත්තත්, ගෝඨාගේ කට්ටිය නොවේ. එවැන්නන් අල්ලා දීමෙන් ගෝඨාභයගේ අමාත්‍යාංශයේ කීර්තිනාමය රැකදීමේ පරම යුතුකමට පුරවැසියා සම්මාදම් විය යුතුය. උභතෝකෝටිකය වන්නේ, තමන් ගෝඨාභාය උනන්දුවක් දක්වන්නෙක්ද නැතිදැයි එක් එක් පුරවැසියා කලින් දැනසිටින්නේ කෙසේද යන්නයි.

මේ උභතෝකෝටිකයේ බැරෑරුම්කම උදාහරණ දෙකකින් පැහැදිළි කළහැකිය. එකක් නම් යුද්ධය පැවැති වකවානුවේදී සුඩර්ඔලි කර්තෘ එන් විද්‍යාධරන් අවමංගල්‍යයකට සහභාගී වෙමින් සිටියදී, සුදුවෑන් රියකින් පැහැරගෙන යාමයි. පළමුව ආරක්ෂක අංශ තමන් මීට සම්බන්ධයැයි නැඟුණු චෝදනා ප්‍රතික්ෂේප කළහ. එහි ඇඟවුම නම්, විද්‍යාධරන් තමන් උනන්දු පුද්ගලයකු ලෙස ගෝඨාභය පළමුව නොපිළිගත් බවය. එහෙත් හදිසියේම ”පැහැරගත්තවුන් විසින් මහමඟ දමායන ලද” විද්‍යාධරන් පොලීසියට හමුවූ අතර, ඔහු අත්අඩංගුවට ගැනිණි. ගෝඨාභය දෙස් විදෙස් මාධ්‍යයට ගිරිය පුප්පා කීවේ ‘විද්‍යාධරන් කොළඹට එල්ලවූ එල්ටීටීඊ ගුවන් ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදියෙක්’ බවය. එනම් දැන්, විද්‍යාධරන් තමන් උනන්දු පුද්ගලයෙක් බවය. පොලීසිය මොනවා කීවත්, විද්‍යාධරන් පැහැරගත්තේ ආරක්ෂක අංශවල පිරිස්ම බව මෙයින් තහවුරු විය. තමන් ගෝඨාභය උනන්දු නැතිකෙනෙකැයි සිතා, විද්‍යාධරන් තමන් පැහැරගන්නට ආ අය අල්ලා පොලීසියට බාරදෙන්නට හැදුවේනම් ඉරණම කෙබඳු වෙන්නට ඉඩතිබිණිද?

අනෙක් සිද්ධිය යුද්ධය අවසන් වී අවුරුදු තුනකට පසු සිදුවූවකි. කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල අතුරුදන් වූ අවස්ථාවේද ගෝඨාභය කීවේ, ඔවුන් තමන් උනන්දුවක් දක්වන පුද්ගලයන් නොවන බවය. එහෙත් දැඩිව නැඟුණු ජාත්‍යන්තර පීඩනය හමුවේ ගෝඨාටත් නොදැනී බළලා මල්ලෙන් එළියට පැන්ණේය. පසුව රටම පමණක් නොව ලෝකයම දැනගත්තේ, කුමාර් ගුණරත්නම් යනු ගෝඨාභය ඛෙහෙවින් උනන්දු වූ පුද්ගලයකු බවය. ගෝඨාභයගේ උනන්දුව හඳුනාගැනීමේ උභතෝකෝටිකය ඔය ආකාරය.

තමන් සීමිත සම්පත් ප්‍රමාණයකින් රට ආරක්ෂා කිරීම නම් භාරදූර වගකීම කරමින් සිටින බව ගෝඨාභය නිර්මාල්ට කියයි. මේ වටිනා කාර්යභාරයේ රඟ කොයිබඳුද යන්නට අටුවා ටීකා අවශ්‍ය නැතත්, නිදසුනක් දෙකක් ගෙනහැර දක්වමි.

භාරත පක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නම් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල්ට පවා සිය ජීවත්වීමේ අයිතිය මේ ගෝඨාභයගේ ආරක්ෂිත ලංකාවේදී අහිමි වන්නේ, මහදහවල් මහමඟ වෙඩිකෑමට සිදුවීමෙනි. ඊළඟට ඒ ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වියයුතු දුමින්ද සිල්වා වෙනුවෙන් ප්‍රබලවම පෙනී සිටින්නේද, ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වළක්වා, නීතියේ කණෙන් රිංගවා, රටින් පිටකිරීමේ ක්‍රියාවලිය මෙහෙයවන්නේද, අද දක්වාත් මේ ඝාතන සැකකරුවා අධිකරණ ක්‍රියාවලියකින් ඈත්කර තබන්නේද, මේ රට සුරකින ගෝඨාමය. ඔහුගේ සුරක්ෂිත ලංකාවේ ඔහු අකමැති ජනාධිපති උපදේශකයකුටවත් ජීවත් වන්නට බැරි අතර, එවැන්නකුගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවකුට වුව ඔහුගේ සුරතලකු නම් නීතියෙන් බේරී සිටිය හැකිය.

සිය අර්ථසාධක අරමුදල බේරාගන්නට සටන් වැදුණු රොෂේන් චානක වෙඩිකන්නේද, ධීවර රැකියාව කරගැනීම සඳහා සාධාරණ මිලකට භූමිතෙල් බෝතලයක් ඉල්ලන ඇන්තනී වෙඩිකන්නේද, එදා වෙඩිකෑ ‍ජෙසුමරිය කිංස්ලි ඔත්පලව හිඳ සිය පවුල නඩත්තු කළනොහැකි සොවින් ගෙලවැලලාගෙන මියයන්නේද ගෝඨා ආරක්ෂාව සලසන ලංකාවේය. සාමාන්‍ය පුරවැසියකු තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කට අරින්නට යාම මරණයට හේතුවක් වීම, ගෝඨාගේ ආරක්ෂිත ලංකාවේ ආශ්චර්යයයි.

හැම ගෙදරකටම පොලිස් ආරක්ෂාව දෙන්නට බැරිබවද ගෝඨාභය නිර්මාල්ට කියයි. නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත්වන කිසිදු සාමාන්‍ය පුරවැසියකු තමන්ගේ ගෙදරට පොලිස් ආරක්ෂාවක් බලාපොරොත්තු නොවනවා පමණක් නොව, එය කරදරයක් ලෙස සලකනු ඇත. ප්‍රජාතන්ත්‍රී රටක පුරවැසියා බලාපොරොත්තු වන්නේ ගෙදරට පොලිස් ආරක්ෂාවක් නොව, තමන්ගේ අයිතිවාසිකම් රැකගෙන නිදහසේ ජීවත් වියහැකි පරිසරයකි. ඒ තත්ත්වය අහිමිකර දැමූ ගෝඨාභයම, දැන් හැම ගෙදරකටම පොලිස් ආරක්ෂාව දියනොහැකි බව කීම උත්ප්‍රාසාත්මකය.

ගෝඨාභය රටේවත් නොසිටි සමයේ පටන් දේශපාලනය කළ ආණ්ඩුවේම දේශපාලකයන්ගේද කටවල්වලට, ගෝඨාභය ආරක්ෂා කරන ලංකාවේදී අගුළුවැටී ඇත. සිය සහෝදර දේශපාලනඥ භාරත ලක්ෂ්මන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝක ප්‍රකාශ කරන අවස්ථාවේදී මේ ජ්‍යෙෂ්ට දේශපාලකයන්ට ‘ඝාතනය’ හා ‘දුමින්ද සිල්වා’ යන වචන තහනම් වන්නේ ගෝඨාගේ අනුහසිනි.

ගෝඨාභයට මෙබඳුවූ බලයක් මවන උල්පත් තුනක් හඳුනාගත හැකිය. ඉන් පළමුවැන්න පරවේණි උරුමයයි.

ගෝඨාභය යනු තනතුරින් නම් සියයක් පමණ වන කැබිනට් අමාත්‍යාංශ අතුරින් එකකට පරිපාලන සේවයට බැහැරින් ගොඩබැස්සූ ලේකම්වරයෙකි. එහෙත් ඔහු අනෙක් කිසිදු අමාත්‍යාංශ ලේකම්වරයකු තබා, කැබිනට් ඇමැතිවරයකු හෝ නොදරන බලයක් දරන්නෙකි. මේ බලය එන්නේ ඔහුගේ තනතුර හේතුවෙන් නොව, ඔහු රටේ ජනාධිපතිවරයාගේ බාල සොහොයුරා වීම නිසාය. පාලකයාගේ ලේ උරුමය මත රාජ්‍යය විෂයයෙහි ආධිපත්‍යධාරී බලයක් හිමිකරගැනීම යළිත් නෑකම් කියන්නේ ප්‍රජාතන්ත්‍රීය පාලන ව්‍යූහයකට නොව, රදළ වැඩවසම් හෝ පවුල්වාදී ඒකාධිපතිවාදී පාලන ව්‍යූහයකටය.

දෙවැනි හේතුව දෘශ්ටිවාදාත්මකය. දහසක් ජනතා ප්‍රශ්න හමුවේ, පවත්නා ආණ්ඩුව සිය බලය තවමත් රැකගැනීමේ එකම වාස්තවික තර්කය යුද ජයග්‍රහණයයි. එහි ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියකු ලෙස සැලකුම් ලබන බැවින් ගෝඨා මෙතරම් සර්වබලධාරියකු වෙයි.

මෙය ආණ්ඩු පක්ෂයේම ජ්‍යෙෂ්ඨයන්ට පවා අභියෝග කළ නොහෙන හේතුවක් ලෙස පෙනුණත්, අපට එය පෙනෙන්නේ අතාර්කික හා ම්ලේච්ඡ හේතුවක් ලෙසටය. යුද්ධයට එරෙහි අපේ ඒ සුළුතරයේ අදහස පසෙකින් තැබුවත්, යුධ ජයග්‍රහණයේ තේජස පවා ගෝඨාභයට රඳවාගන්නට හැකි වන්නේත්, යුද්ධය අවසන් කරනවිට ඊටත් වඩා තේජසක් සහිතව සිටි සරත් ෆොන්සේකාට ඒ තේජස සැනෙකින් තරුපටිද සමඟ අහිමිව යන්නේත්, ඉහතින් කී පාලකයා සමඟ ඇති සබඳතාවේ ප්‍රමාණයට බව පැහැදිළිය. එනම් මේ දෘෂ්ටිවාදාත්මක හේතුවද රඳාපවතින්නේ ඉහත පරවේණිය මතමය.

එහෙත් යුද්ධය ඔස්සේ මැවුණු ගෝඨාභයගේ තේජස දෘෂ්ටිවාදීව පිළිගන්නකුට පවා හෘදය සාක්ෂියක් කියා දෙයක් ඇතිනම්, අදවනවිට ගෝඨාභය තමන් විසින් සුරක්ෂිත කරන ලද්දේයැයි කියන යුද්ධයෙන් තොර ලංකාවේ ඇතිකර තිඛෙන කැලෑනීතිය රජයන, මිනීමරු වාතාවරණය ගැන ඇස්කන් පියාගෙන සිටිය හැකිද යන ප්‍රශ්නය පැනනඟී.

ඒ අනුව අදවනවිට ගෝඨාභයගේ හිසට ඉහළින් කපුටෙක්වත් පියාඹන්නේ නැති සන්දර්භය නිර්මාණය වන්නේ, ඔහුගේ ආධිපත්‍යයට විරුද්ධ වන්නන්ට ඔහු විසින් සුරක්ෂිත කළායයි කියන ලංකාවේ නිදහසේ ජීවත්වීමේ අයිතිය ඔහුම අහිමිකර දමා තිඛෙන නිසාය. ගෝඨාගේ අසාමාන්‍ය බලය ප්‍රභවය ලබන මහපොළොවේ පවත්නා තුන්වැනි හේතුව මෙයයි. ඔහු විසින් සියලූ නීති හා යුක්ති ධර්මයන් උල්ලංඝනය කරමින් හදාවඩන මිනීමරු යාන්ත්‍රණයයි. ආරක්ෂක අමාත්‍යාංශයේ කීර්ති නාමය නමින් ගෝඨා මැණිකක් සේ රකින්නට හදන්නේ, මේ මිනීමරු යන්ත්‍රයට ඇති සුජාතභාවයයි.

එහෙත් ගැටලූව වන්නේ, කිසිවකු හෝ මේ මොහොතේ කුණුවී ගිය සමස්ත පද්ධතියේ කිසියම්ම හෝ වෙනසක් බලාපොරොත්තු වන්නේ නම්, ඒ තැනැත්තාට එහි කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස ගෝඨාභය සාධකය සම්මුඛ වීමයි. ඒ ගමනේ දී අනෙකුත් සියලූ ප්‍රශ්න දේශපාලනික ප්‍රපංචයන් ලෙස මුණගැසෙන්නට ඉඩ ඇතත්, ගෝඨාභය සාධකය සම්මුඛ වන්නේ ප්‍රශ්නකළ නොහැකි මිනීමරු යන්ත්‍රයක මධ්‍යලක්ෂ්‍යය ලෙසිණි.

කොතරම් අපහසු වුවත්, මේ මිනීමරු මධ්‍යලක්ෂ්‍යය සම්බන්ධයෙන් නිර්භීත ස්ථාවරයක් ගැනීමට, ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වන්නන් කොතරම් සූදානම්ද යන්න මත ලංකාව වෙනස්කිරීමට ඇති හැකියාව මේ මොහොතේ රඳාපවතින්නේයැයි සිතමි.

සනත් බාලසූරිය[Sanath Balasooriya]