සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

ස්වයං නිර්ණය අයිතිය


ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිය සැම විටම දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය සමග සමපාතව සාකච්ඡා කොට තිබේ. ඒ නිසාම ස්වං නිර්ණය අයිතිය දකුණේ සිංහල දේශපාලනික සමාජයට බොහෝ විට අරහං වචනයක් වී තිබේ. සිංහල සමාජයට ස්වං නිර්ණය අයිතිය අපුල අදහසක් වී ඇත්තේ ස්වං නිර්ණය අයිතිය සමග වෙන්වීමේ අයිතිය ද එකට ගැට ගැසී තිබෙන්නේ යයි තිබෙන විශ්වාසය මතය. දෙමළ සමාජය මෙන්ම සිංහල සමාජය ද වැඩිදුරටත් විශ්වාසය තබන්නේ ඓතිහාසික කරුණු මතය. සිංහලයන් විශ්වාස කරන්නේ මෙරට ඔවුන් ඓතිහාසිකව දේශපාලන බලය රැකගෙන පැමිණි ජාතිය වන බවය. ඒ නිසා රට බෙදීම හෝ රට බෙදීමට ප්‍රවණතාවයක් දක්වන අදහසකට හෝ ඉඩදීමට සිංහල සමාජය කැමැත්තක් දක්වන්නේ නැත. ඒ නිසාම ඔවුන්ට ස්වං නිර්ණය අයිතිය යන සංකල්පය වහකඳුරු වී තිබේ. නමුත් සැබැවින්ම ජාතීන්ගේ ස්වං නිර්ණය පිළිබඳ අයිතිය සැමවිටම වෙන්වීමේ අයිතිය පිළිබඳව යෝජනාවක් ගෙන නොඑති. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ද, එක්සත් ජාතින්ගේ ආර්ථික, සමාජීය අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ද එහි මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් ලෙස ස්වයං නිර්ණය අයිතිය පිළිගෙන තිබේ. එසේ පිළිගෙන තිබෙන අයිතිය තුළ ජාතියකට වෙන්වීමට ඇති අයිතිය ඒ තුළින් පිළිගෙන ඇතිබව දැක්වෙන්නේ නැත. එසේ නම් ස්වයං නිර්ණය අයිතිය සමඟ වෙන්වීමේ අයිතිය බද්ධ කොට දෙමළ දේශපාලනික ඉල්ලීම් ගොඩනැඟෙන්නේ කෙසේ ද යන්න මඳක් විමසා බැලිය යුතුව තිබේ.

70 දශකය තුළ දෙමළ ජාතික දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ තරුණ ව්‍යාපාරය ගොඩ නැඟෙන්නේ ප්‍රභවයන් දෙකක් මුල් කොට ගෙනය. එහි එක් ප්‍රභවයක් වූයේ මාක්ස්වාදී දෘෂ්ඨියකින් යුතුව දෙමළ දේශපාලනික අරගලය ඉදිරියට ගෙන යාමට කැපවුන ප්‍රමාණයයි. දෙවැනි ප්‍රභවය වූයේ චෝල අධිරාජ්‍යය ආභාශයට ගනිමින් දෙමළ ජාතික රාජ්‍යයක් බිහි කිරීමට අවධාරණය කරනු ලැබු ප්‍රමාණයයි. ඔවුන්ට අනුව ඉන්දියානු අර්ධ ද්වීපයේ, මොහන්දජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයේ සිට ඉන්දියානු භූමියේ මුල් අයිතිකරුවන් වූයේත්, ඉන්පසුව වින්ධ්‍යා කඳුකරයෙන් දකුණට මහා අධිරාජ්‍යයක් ශ්‍රී ලාංකික භූමිය දක්වා බිහි කළ, යාපනයේ සංගම් සංස්කෘතියේ ආභාශය ලබමින් විශිෂ්ඨ සංස්කෘතික ඉතිහාසයකට හිමි මහා ජාතිකයක දිගුවක් ලෙස මෙරට දෙමළ දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාරය හඳුන්වනු ලැබුහ. එහි දේශපාලනික ප්‍රකාශය වූයේ පෘතුගීසීන් මෙරටට පැමිණෙන කළ යාපනයේ දෙමළ රාජ්‍යයක් පැවති බවත් පෘතුගීසීන් එය යටත් කොට ගෙන, ඉන්පසුව ලන්දේසීන්ට භාරදුන් බවත්, ඉන්පසුව ඉංග්‍රීසීන් යටතට එකී උරුමය භාරගත් බවත්, ඉංග්‍රීසීන් මෙරටට නිදහස ලබාදෙන විට ඇති කරගත් සම්මුතිය මත ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් ශ්‍රී ලාංකික රාජ්‍යයේ දේශපාලනික බල පංගුකාරීත්වය ලබාගත් බවය.

එම නිසා එකී බල පංගුකාරීත්වය මත දෙමළ ජනාවට ස්වයං නිර්ණය අයිතිය හිමිවන බවටත්, අදාළ සම්මුතිය 1972 ජනරජ ව්‍යවස්ථාව මගින් ඒකපාර්ශවිකව උල්ලංඝණය කරනු ලැබු පසු තමන් තවදුරටත් එකී සම්මුතියෙන් බැඳී නොසිටින බවත්, ඒ නිසා තමන්ට වෙන්වී යාමේ අයිතිය පවතින බවත්ය. නමුත් දෙමළ අයිතිවාසිකම් පිළිබඳ වාමාංශික ව්‍යාපාරය ස්වයං නිර්ණය අයිතිය හා වෙන්වීමේ අයිතියට ප්‍රවිශ්ඨ වූයේ වෙනස් කෝණයකිනි. 1976 ’’වඩුකොඩෙයි ප්‍රකාශය’’ බිහිවන විට දෙමළ වාමාංශිකයන් හා දෙමළ දක්‍ෂිනාංශිකයන් අතර වූ මෙකී විභේදනය විශිෂ්ඨ ලෙස ප්‍රකාශ නොවූ වත්, 70 සිට 76 දක්වා වූ විවිධ දෙමළ මූලාශ්‍ර අධ්‍යයනය කිරීමේ දී පෙනෙන්ට තිබෙන්නේ එවැනි වු වෙනස් වූ ප්‍රවිශ්ඨයක් එකී වාමාංශික ව්‍යාපාරය ප්‍රකට කොට තිබුණ බවය. විශේෂයෙන්ම ඊරොස්, ප්ලොට් හා ඊ.පී.ආර්.එෆ්. සංවිධාන වල ලියකියවිලි මෙන්ම, ආරම්භක අවධියේ යාපනයේ ක්‍රියාත්මක වූ සම්ප්‍රදායික වාමාංශික කණ්ඩායම් වල ලියකියවිලි වලින්ද මේ බව තහවුරු වේ. ඒ තුළින් ඔවුන් බලාපොරොත්තු වුයේ මාක්ස්වාදී සමාජ විප්ලවයකි. එසේ සිදුකරන විප්ලවයට, දෙමළ ජාතීයේ ස්වයං නිර්ණය අයිතියත්, වෙන්වීමට ඇති අයිතියත් භාවිතා කළ යුතු බවත්, අවසානයේදී උතුරත්, දකුණත් එක් කළ යුතු මාක්ස්වාදී එක්සත් ශ්‍රී ලංකාවක් බිහිකළ යුතු බව ඔවුන් දැඩිව විශ්වාස කළ බව පෙනේ. ආරම්භයේ දී ස්ටැලින්වාදී මාක්ස්වාදියකු වූ ආචාර්ය බාලසිංහම්ගේ පසුකාලීන අදහස් වලින් ද, එසේම ඔහු ඔස්ලෝ සාකච්ඡා වලදී, ඔස්ලෝ ප්‍රකාශය එළිදැක්වීමට එකඟ වූ කරුණු වල පසුබිම විශ්ලේෂණය කිරීමේ දී ද මෙම තත්ත්වය හොඳින් පැහැදිළි වේ. ඒ හේතුවෙන්ම ඔහු සමග දක්‍ෂිණාංශික මතධාරියකු වූ ප්‍රභාකරන් විරසක වූ බවද මාධ්‍ය වාර්තා කොට තිබුණි.

මේ පිලිබඳව දීර්ඝ සාකච්ඡාවක් අවශ්‍ය වූවද එය පසෙකට තබා අප සැකවින් ස්වයං නිර්ණය අයිතිය පිළිබඳ න්‍යායික සාකච්ඡාව ආරම්භ කරමු. සැබවින්ම ස්වයං නිර්ණය අයිතිය පිළිබඳ සාකච්ඡාව සරල රේඛීය සාකච්ඡාවක් නොවේ. ඒ සඳහා වන අර්ථ විවරන විවිධත්වයක් දක්වති. එසේම එකම ගුරුකුලය තුළ ද ස්වයං නිර්ණය පිළිබඳ අයිතියේ අදාලත්වය පිළිබඳ පවතින්නේ විවිධත්වයකි. ඒ නිසාම යමෙකු ස්වයං නිර්ණය හා වෙන්වී යාමට ඇති අයිතිය පිළිබඳව දැඩි ස්ථාවරයක් ගන්නේ නම් අපට කියන්නට සිදුවන්නේ මඳකට වට පිට බලන ලෙසටය.

ස්වයං නිර්ණය පිළිබඳ සාකච්ඡා පළමුව බුද්ධිමය සාකච්ඡාවට ලක් වන්නේ මාක්ස්වාදය තුළය. ඒ පිළිබඳව පවතින මාක්ස්ගේ මතය, ලෙනින්ගේ මතය, ට්‍රොට්ස්කිගේ මතය හා ස්ටැලින්ගේ මතය එකිනෙකට යම් තරමක පරස්පරයක් දක්වති. මාක්ස් අයර්ලන්තය පිළිබඳ දැරූ ස්ථාවරයත්, ලෙනින් පින්ලන්තය හා ස්වීඩනය පිළිබඳව දැරූ ස්ථාවරයත්, ස්ටැලින් යුක්රේනය පිළිබඳව දැරූ ස්ථාවරයත් එකිනෙකට වෙනස් මඟක් ගත්තේය. ඒ නිසා ස්වයං නිර්ණය පිළිබඳව ස්ථාවර දැරීමට පෙර ඒ පිළිබඳව ගැඹුරින් විමසා බැලීම වටී. දෙවනුව ජාතීන්ගේ ස්වයං නිර්ණය පිළිබඳව නිශ්චිත මතයක් එළි දකින්නේ 1 ලෝක යුද්ධයෙන් පසුව ජාතික රාජ්‍ය සංකල්පය හඳුන්වා දුන් එවකට ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වූ වුඩ්රෝ විල්සන් විසිනි. එකී ජාතික රාජ්‍ය සංකල්පය තුන්වැනි ලෝකයට ආනයනය කිරීමෙන් පසුව ජාතික රාජ්‍ය තුළ සිටින විවිධ ජාතීන්ගේ ස්වයං නිර්ණය පිළිබඳව ද අප සාකච්ඡා කළ යුතුව තිබේ. එසේම තුන්වැනුව ජාතීන්ගේ ස්වයං නිර්ණය පිළිබඳව කතා කරන්නේ අධිරාජ්‍යවාදී විය ගසින් මිඳීමට ගන්නා ලද උත්සාහය තුළදීය. එදාගත් ස්ථාවරයන් අදටත් වලංගුදැයි නැවත විමසන්නට සිදුවී තිබේ. හතරවනුව ජාතීන්ගේ ස්වයං නිර්ණය අයිතිය පිළිබඳව විමසන්නේ රටවල් තුළ වෙසෙන සුළු ජාතීන්ගේ ස්වයං නිර්ණය අයිතිය පිළිබඳ කෝණයෙන් ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර අධිකරණයයි. ඒ තුලින් ද මෙරට සිදු කෙරෙන ස්වයං නිර්ණය පිළිබඳ විවාදයට ප්‍රබල ආලෝකයක් සපයති. මේ සියල්ලෙන් සන්නද්ධ නොවී අපට මේ පිළිබඳව ස්ථාවරයක් ගත නොහැකිය.

එකී සාකච්ඡාවට ලබන සතියේ සිට අදියරෙන් අදියරට ප්‍රවිශ්ඨ වෙමු.

ශිරාල් ලක්තිලක[Shiral Lakthilaka]
[email protected]