[Photo by – www.jdslanka.org]
අවසානයේ ගනේෂන් නිමල රූබන් මරණයට පත් විය. ඔහු වව්නියාව බන්ධනාගාරයේ සිටි දේශපාලන සිරකරුවෙකි. වව්නියාව බන්ධනාගාරය තුළ පසුගියදා සිදු වූ සිදුවීම් ගණනාවක අතරමැද සිදුවීමකදී නිමල රූබන් ඇතුළු තවත් දේශපාලන සිරකරුවන් ගණනාවක් බරපතළ ලෙස තුවාල ලැබීය. අතපය කැඩුණි. ඔළු කටු පැලූණි. නහයෙන් කටින් ලේ පිට වුණි. බරපතළ ලෙස ම තුවාල ලද නිමල රූබන් මහර බන්ධනාගාරයේ යකඩ ඇඳක් මතම අවසන් ගමන් යන ලදී. මරණයට හේතුව ලෙසබන්ධනාගාර ඇමතිවරයා ‘හදෘයාබාධයක්’ ගැන සඳහන් කරන ලදී.
නමුත් නිමල රූබන් එතුමාගේ බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ ප‍්‍රහාරය හේතුවෙන් මාරාන්තික තුවාල ලබා සිටියේය. ඔහු මිය ගියේ එම තුවාලනිසාය. නමුත් ඇමතිවරයා ඔහු හෘදයාබාධයකින් මිය ගිය බව පවසයි. ලෝකයේ ඕනෑම පුද්ගලයකු අවසානයේ මරණයට පත්ව න්නේ ‘හෘදය’ නැවතීම නිසා බව ඇත්තකි. හිසට, මුහුණට, මාරාන්තිකප‍්‍රහාර ලද නිමල රූබන්ගේද අවසානයේ ‘හෘදය’ ක‍්‍රියාත්මක වීම නතර වන්නට ඇත. බන්ධනාගාර ඇමතිවරයා ‘හෘදයේ ආබාධයක්‘ පිළිබඳ සඳහන් කළේ එසේ හෘදය නැවතීම විය හැකිය. නමුත් මේ මාරාන්තික විහළුවලින් ඔබ්බට ගිය මාරාන්තික කතාවක් නිමල රූබන්ගේ මරණයට පිටුපසින් ඇත.
ලංකාවේ දේශපාලන සිරකරුවන් ප‍්‍රධාන ආකාර තුනක් අපට හඳුනා ගත හැකිය. පළමු කොටස නම් කිසිදු චෝදනාවක් හෝ නොමැතිව බන්ධනාගාර ගතව සිටින දේශපාලන සිරකරුවන්ය. මේ අයට ඇත්තේ පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද ‘බී’ වා්රතාවක් පමණි. ඇතැම් විට මේ අයුරින් චෝදනාවක් හෝ නොමැතිව බන්ධනාගාරයේ සිටින කාලය වසර හතක් හෝ අටක් තරම් දීර්ඝ විය හැකිය. අනුරාධපුර බන්ධනාගරයේ මීට මාස හයකට පමණ පෙර සිටි රැඳවියන් 55 දෙනකුගෙන් 39 දෙනකුටම කිසිදු චෝදනාවක් එල්ල කොට නොතිබිණි. එහි ඇතැම් අය වසර 6ක්ම එසේ බන්ධනාගාරයේ සිට තිබිණි. මැගසින් බන්ධනාගාරයේ ඒ ආකාරයේ 10 දෙනකු අපට හමු විය. ඇතැම් අය බන්ධනාගාරයේ සිටි කාලය වසර 8ක් තරම් දීර්ඝ විය. අඩුම තරමේ තමන්ට එරෙහිව ඇති චෝදනාව පිළිබඳව හෝ නොදැන මෙතරම් දීර්ඝ කාලයක් සිරගතව සිටීමට සිදුවීම, කෙතරම් ඛේදවාචකයක්දැයි අප සිතා බැලිය යුතුය.
දෙවැනි කණ්ඩායම නම් චෝදනා එල්ල කොට ඇති නමුත් දීර්ඝ කාලයක් තිස්සේ නිකරුනේ කාල යමින්, එහෙත් නඩුව විභාග වෙමින්, පැවතීම නිසා බන්ධනාගාර ගතව සිටීමට සිදුව ඇති පිරිසයි. මේ අයගේ නඩුව ඇතැම් විට වසර 16ක් තරම් කාලයක් විභාග වෙයි. සිය ගණන් අවස්ථා උසාවි ගොස් විත්ති කූඩුවට නගී. ඛේදවාචකය වන්නේ ඒ මුළු කාල සිමාවම ඔවුන් බන්ධනාගාරයේ සිරකරුවන්ය. වැලිකඩ කාන්තා වාට්ටුවේ සිටින ‘තිරුමගල්’ එසේ වසර 16ක මෙගා නඩු විභාගයට උරුමකම් කිව් භාග්‍යවන්තියකි. ඇය සහ ඇගේ සැමියා ඇතුළු 4 දෙනෙක් බන්ධනාගාර ගත කෙරුණේ 1996දීය.
එදා ඇය සිව් මස් ගැබිණියකව සිටියාය. සිර ගෙදරදීම ඇය දරුවකු ලද අතර අද එම දරුවාටද වයස අවුරුදු 16කි. එසේම එදා සිට අද දක්වා ඇය 429 වතාවක් උසාවි ගොස් ඇත. මෙහිදී අප ආණ්ඩුවෙන් විමසන කරුණ වන්නේ වසර 16ක් තිස්සේ ඇයට උසාවි ගෙන ගොස් 429 වතාවක් විත්ති කූඩුවට නංවා ඇය වරදකරුවකු කිරීමට උත්සාහ දරා අද වන තුරුත් එය නොහැකි වී ඇත් නම් තවත් අවුරුදු කීයක් තවත් අවස්ථා කීයක් ඒ සඳහා උත්සාහ කිරීමට බලාපොරොත්තු වන්නේද යන්නයි. තවත් අවුරුදු 16කින් හා තවත් 429වතාවකින් හෝ එය කළ හැකි යැයි විශ්වාස කළ හැකිද? මෙහිදී බරපතළම කාරණය වන්නේ ඇතැම් විට ඇය කළ වරදට දිය හැකි උපරිම දඬුවම වසර 10ක් පමණ සිර දඬුවමක් විය හැකිය. නමුත් ඇය දැනටමත් වසර 16ක් සිර දඬුවම් විඳ ඇත.
එසේම මේ ආකාරයේ දීර්ඝ නඩු විභාග සඳහා බලපාන හේතු කීපයක්ම ඇත. එක් හේතුවක් නම් රස පරීක්ෂක වාර්තා හා ඇඟිලි සලකුණු වාර්තා වසර ගණනක් ප‍්‍රමාද වීමයි. අපට හමුවූ එක් නඩුවක රස පරීක්ෂක වාර්තාව දැනට වසර 8ක් ගතවී ඇතත් තවමත් ලැබී නැත. ඉන්දියාවේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යවන ලද වාර්තාවක් වුවත් එය රැගෙන පයින් සහ හබල් ගාන බෝට්ටුකින් පැමිණියත් දැන් කල් ඇති බව ඕනෑම අයකුට පැහැදිලිය. නමුත් ඒවා සිදු වන්නේ එසේය.
එමෙන්ම බොහෝ නඩුවල සැකකරුවන් අත්අඩංගුවට පත්වී දැන් දීර්ඝ කාලයක් ගත වී ඇති බැවින් ඒවායේ විමර්ශන නිලධාරීන් හා සාක්ෂිකරුවන් පිළිබඳ ව්‍යාකූල තත්ත්වයන් පැන නැග තිබේ. එම නිසා නඩු ඉදිරියට නොයයි. සැකකරු නැවත බන්ධනාගාරයටම යයි.
තෙවන කණ්ඩායම වන්නේ චෝදනා එල්ල කොට නඩු විභාගය අවසන් කර වරදකරුවන් කර ඇති පිරිසයි. පළමු හා දෙවන කණ්ඩායම් සඳහා සිදුව ඇත්තේ බරපතළ අසාධාරණයක් බව ඕනෑම අයකුට වැටහේ. නමුත් මේ තෙවන කණ්ඩායම වරදකරුවන්වී ඇති නිසා ඔවුන් සිර දඬුවම් විඳීම සාධාරණ බව යමෙකුට සිතිය හැකිය. නමුත් ඔවුන්ටද සිදුව අත්තේ අසාධාරණයක් බව ප‍්‍රකාශ කළ යුතුය. ඊට හේතුව වන්නේ ඔවුන් වරදකරුවන් වී ඇත්තේ ඔවුන් පමණක් වගකිව යුතු වරදක් සඳහා නොවීමයි. ‘මුළු රටක්ම – කළ වරදක්, වන්දි ගෙවයි – එක පිරිසක්’ ලෙස අප පසුගියදා පැවති උද්ඝෝෂණයේදී හඬ නැගුවේ ඒ නිසාය.
ලංකාවේ ජාතික ගැටලූව හා ඒ මගින් පැන නැගුණු ‘යුද්ධය’ පුද්ගලයින් කිහිප දෙනකුගේ වරදක් නිසා සිදු වූවක් නොවන බව හා යුද්ධය නිසා සිරගත වූ දේශපාලන සිරකරුවන් පමණක් අද ඒ සඳහා වන්දි ගෙවමින් සිටීම අසාධාරණ බව යම් තරමකින් හෝ අප සමාජයේ සාකච්ඡාවට ලක්වෙමින් තිබීම සතුටට කරුණකි. එසේම වියුක්ත ලෙස ලෙස ඔවුන් පුද්ගලයින් ලෙස සිදු කළ වැරදි පිළිබඳ සලකා ඔවුන් එල්ලූම් ගස් යැවීමෙන් මෙවැනි ‘දේශපාලන ප‍්‍රශ්නයක්’ විසඳිය නොහැකි බව අප තේරුම් ගත යුතුය. දේශපාලන ප‍්‍රශ්නයක් දේශපාලනිකව විසඳීම හැර එම ප‍්‍රශ්නයට මැදි වූ එකෙකු දෙන්නෙකු අල්ලා බෙල්ලෙන් එල්ලීමෙන් අවසන් කළ හැකි යැයි සිතීමද බරපතළ අදේශපාලනික වරදකි.
එසේම ඔවුන් වරදකරුවන් වූ අධිකරණ ක‍්‍රියාවලිය පිළිබඳවද අප නැවත සිතා බැලිය යුතුය. සංයුක්ත ගැටලූවක් ලෙස නොසලකා ‘ත‍්‍රස්තවාදී’ ලේබලය යටතේ නඩු කටයුතු විභාග වීම නිසා එම තීන්දු ලබාදීමේදීද එම මානසිකත්වයෙන්ම කටයුතු කිරීම අනිවාර්යක් බව නොකිව මනාය. එසේම ඔවුන් පිළිබඳ සොයා බැලීමේදී අප හට පෙනී ගිය තවත් ප‍්‍රධාන කරුණක් නම් ඔවුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වී ඇත්තේ සහ පසුව අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉතා අඩු වයස් සීමාවලදී බවයි. එසේම ඒ අයුරින් අඩු වයසේදී අත්අඩංගුවට පත්විම නිසා හා අධිකරණයේ නඩු අසන භාෂාව ‘සිංහල පමණක්’ වීම නිසාද බරපතළ අසාධාරණයන්ට ලක්වීම සිදු වේ.
ඒ අතරම තවත් අතිශය බරපතළ කාරණාවක් වන්නේ ඔවුන්ගේ නඩු විභාග බොහෝ විට නීතිඥ සහායක් නොමැතිව සිදුවීමයි. එයෙ බොහෝ විට ‘ඒක පාර්ශ්වික’ නඩු විභාගයක තත්වයට පත්වීම ඒ නිසා සිදු වේ. නොතේරෙන භාෂාවකින් නීතිඥ සහායක්ද නොමැතිව අඩු වයසේ හා අඩු අධ්‍යාපනයක් සහිත පුද්ගලයකුට එරෙහිව චෝදනා එල්ල කර ඔවුන් වරදකරුවන් බවට පත් කිරීම එකල නීතිපති දෙපාර්තමේන්තුවට ‘කජුකන’ තරම් පහසු කටයුත්තක් වී තිබූ බව පැහැදිලිය.
ඒ නිසා අවසන් කළ බොහෝ නඩු විභාග බොහොමයක් මීට වසර ගණනාවකට පෙර අවසන් කළ ඒවාය. එදා මේ රටේ තිබූ තත්වය අනුව පෞද්ගලිකව නීතිඥයින්ට සහ නීති ආධාර ලබා දෙන සංවිධානවලට එල්.ටී.ටී.ඊ. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීම අපහසු කටයුත්තක් විය. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව නිදහසේ ‘පාලූ ගෙයි වළං බිඳින’ ලදී. නමුත් අද තත්ත්වය එසේ නොවේ. අද නීතිඥයන්, නීතිඥ සංවිධාන ඔවුන් වෙනුවෙන් පෙනීසිටී. ඒ නිසා එදා දැමූ ‘සෙල්ලම්’ අද දැමීමට නීතිපති දෙපාර්තමේන්තුවට නොහැක. ඒ නිසා අද නඩු ඔප්පු වී අවසන් වීම සිදු වන්නේ ඉතාම කලාතුරකිනි.
එසේම තවත් මේ අයට සිදුවූ බරපතළ අසාධාරණයක් නම් ලංකාවේ ‘නීති ආධාර කොමිෂන් සභාව’ ප‍්‍රතිපත්තියක් ලෙස එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට නීති ආධාර ලබා නොදීමයි. එය අතිශය බරපතළ වරදකි. මන්ද නීතියේ ප‍්‍රධාන මූලධර්මයක් වන ‘වරදකරුවකු වන තුරු ඕනෑම අයකු නිවැරදිකරුවෙකි’ යන මූලධර්ම එමගින් මුළුමනින්ම උල්ලංඝනය වීමයි.
එසේම මෙම තත්ත්වයන් විසින් නිර්මාණය කර ඇති ඛේදවාචකයන්ද බොහෝය. මැගසින් බන්ධනාගාරයේදී අපට හමු වූ ‘සෙල්ල පිල්ලෙයි මහේන්ද්‍රන්’ එවැනි ඛේදවාචකයක් පිළිබඳ නිදසුනකි. මහේන්ද්‍රන් අත්අඩංගුවට පත් වූයේ 1993දීය. එවිට ඔහුගේ වයස අවුරුදු 16කි. එමෙන්ම ඔහුට එල්.ටී.ටී.ඊ.ය විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් අවි පුහුණුව ලබා දී තිබුණේ වයස 14 දීය. අවුරුදු 16 දී අත්අඩංගුවට පත් ඔහුට ඉන් වසර දෙකකට පමණ පසු නඩු විභාගයන් අවසානයේ දඬුවම් නියම කර බන්ධනාගාරයට දමන ලදී. ඔහුගේ නඩුව විභාග වූයේ සිංහලෙනි. නීතිඥ සහායක්ද නොලැබිණි. ඔහුට මතක ඇති ආකාරයට නඩු දෙකක් සඳහා උසාවි ගෙන ගොස් තිබිණි. නමුත් ඒවාට වූ දෙයක් පිළිබඳ ඔහුට නිශ්චිත අදහසක් නැත. අවසානයේ වසර 10කට දඬුවම් නියම කොට සිරගත කර එවූ බව පමණක් ඔහු දනී.
වසර 10ක් ඔහු සිර දඬුවම් විඳින ලදී. අවසානයේ 2005 වසරේදී සිර දඬුවම අවසන් දිනයේ නිවසට යන බලාපොරොත්තුවෙන් ඔහු බන්ධනාගාරයේ කාර්යාලයට පැමිණෙන ලදී. නමුත් අවාසනාවක මහත! ඔහුගේ ලිපි ලේඛන අවසාන වශයෙන් පරීක්ෂා කිරීමේදී පෙනී ගිය කරුණ නම් එහුට තවත් නඩුවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කොට තිබූබව දැකීමයි.
වයස 28ක කරුණයකු වසර 10ක් සිර දඬුවම් විඳීමෙන් පසුව, අවසානයේ නිවස බලා යාමට පිටත් වූ දිනයේ තමන්ට ජීවිතාන්තය දක්වා දඬුවම් නියම වී ඇතිබ වත් මැරෙන තුරු තමන්ට හිරෙන් එළියට යා නොහැකි බවත් දැන ගැනීමෙන් කෙතරම් කම්පනයකට පත් වේදයි ඔබට සිතා ගත හැකිද? ඔබ සිතුවා නිවැරදිය… ඔහුට එදා ඇති වූ කම්පනය නිසා සිහි විකල් විය. ඔහු අදත් මැගසින් බන්ධනාගාරයේ ‘ජේ’ වාට්ටුවේ බලා ගත් අත බලාගෙන සිටින්නේ ඒ නිසාය.
මෙය එක් සිදුවීමක් පමණි. තවත් මෙවැනි සිදුවීම් අප‍්‍රමාණ ඇත. එසේම මෙවැනි විශේෂ සිදුවීම්වලට අමතරව පොදුවේ බන්ධනාගාරවල සිටින දේශපලන සිරකරුවන්ට අත් විඳින්නට සිදුවන්නේ ඛේදනීය තත්ත්වයකි. ඔවුන්ට බන්ධනාගාර තුළ ලැබෙන්නේ ‘අඩු කුලේ’ සැලකිල්ලකි. බන්ධනාගාරයේ පොදුපහසුකම්, ජලය, ආහාර, ඉඩ පහසුකම් ලැබෙන්නේ අන් අයට පසුව ඉතිරි කොටසිනි. එසේම ඇතැම් බන්ධනාගාර නිලධාරින්ගෙන්ද ඔවුන්ට ලැබෙන්නේ බොහෝ විට රැවුම් ගෙරවුම් සහිත ප‍්‍රතිචාරයන්ය.
මේ නිසා අතිශය අසාධාරණ ්‍ත්ත්වයක් යටතේ සිරගත වී බරපතළ පීඩාවන් ගෙන දෙන පරිසරයක් තුළ වසර 10ක් 15ක් තරම් දීර්ඝ කාලයක් සිටීමට සිදුවීම පිළිබඳව අප සිතා බැලිය යුතු නොවේද?
එසේම ඔවුන්ගේ පවුල්වල අය හා ඇති සබඳතාවන් ඇතැම් විට මුළුමනින්ම ඇන හිට ඇත. යුද්ධය හේතුවෙන් තම බිරින්දෑවරුන් දරුවන් මියගියාද නැද්ද යන්නවත් අඩුම තරමේ ඔවුන් නොදනී. උදාහරණයක් ලෙස මුලතිව්හි තම ගමේ බරපතළ ලෙස යුද ගැටුම් සිදුවූ බව යමෙකු දනී. නමුත් ඔවුන්ගේ පවුල්වලට වූ දෙයක් පිළිබඳව ඔහුට දැන ගැනීමට ක‍්‍රමයක් නැත. එසේම අපට හමු වූ ඇතැම් රැඳවියන් බැලීමට වසර දහයකින් කිසිදු ඥාතියකු හෝ මිතුරකු පැමිණ නැත.
මෙවන් මානසිකත්වයක් යටතේ සිටින රැඳවියන් අතර යම් යම් නොසන්සුන්කාරී තත්ත්වයන් පැන නැගීම අහම්බයක් නොවේ. පසුගියදා වව්නියාවේදී සිදු වුයේද එවැන්නකි. නමුත් ආණ්ඩුව එය එල්.ටී.ටී.ඊ.යේ තවත් කැරැලලක් ලෙස අර්ථ කථනය කරයි. ඒ සිංහල බෞද්ධ ජනයාගේ ජාතිවාදී හැඟීම් කුළු ගැන්වීමට මිස අනෙකකට නොවේ.
එසේම වව්නියාව සිර ගෙදරදී නිමල රූබන් තුවාල වූයේ පසුගිය 28 වැනිදා සිදු වූ විශේෂ කාර්ය බලකා මෙහෙයුමෙන් නොවේ. එම සිදුවීමෙන් පසු රැඳවියන්ට පහර දෙන ලෙස (දඬුවමක් ලෙබන්ධනාගාර ඉහළ නිලධාරීන් නියෝග කරන ලදී. නමුත් වව්නියාව බන්ධනාගාරයේ සිටින නිලධාරීන් වැඩි පිරිසක් දෙමළ ජාතිකයෝය. ඒ නිසා ඔවුන් එසේ පහරදීම ප‍්‍රතික්ෂේපකරන ලදී. එම නිසා කොළඹින් විශේෂ බන්ධනාගාර පොලිසියේ නිළදාරින් 28 දෙනෙක් වව්නියාවට යවන ලදී. පහර දුන්නේ ඔවුන් විසිනි. ඔවුන් සිරකරුවන්ට මාංචු දමා බිම දණ ගස්වා පහර දෙන ලදී.
රූබන් තුවාල ලැබුවේ එම පහර දීමෙනි. ඔහු ඇතුළු හය දෙනකුගේ අත් පා කැඞී ගිය අතර හිසට බරපතළ තුවාල සිදු විය. ලේ ගලන තුවාල පිටින්ම ඔවුන් මහර බන්ධනාගාරයට රැගෙන එන ලදී. එහිදී ඔවුන්ට ප‍්‍රතිකාර දුන්නේ බන්ධනාගාර රෝහලෙන් පමණි. එය රෝහලක් නොව සංකල්පයකි. වෛද්‍යවරුන් ඉන්නේ උදේ වරුවේ පමණි. පසුගිය තුන් වැනිදා උදේ වරුවේ නිමල රූබන් පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහුට අසාධ්‍ය නිසා වහාම රාගම රෝහලට ඇතුළත් කරන ලෙස නිර්දේශ කර තිබිණි. නමුත් එය ක‍්‍රියාත්මක නොවුණි. අවසානයේ ඔහුව රෝහලට ගෙන යන්නේ 4 වැනිදා උදේ 6.15ටය. ඒ යන්නේත් රෝහලට නොව රෝහලේ මෝචරියටයි. ඒ ඔහුගේ මළ සිරුර බාරදීමටය.
රූබන් මැරුණේ එසේය. ඒ නිසා රූබන්ගේ මරණය ඝාතනයකි. එසේම එය ඛේදවාචකයකි.
එසේම රූබන්ගේ පමණක් නොව තවත් බොහෝ දෙනකුගේ ඛේදවාචක සාකච්ඡාවට හෝ ලක් නොවී බන්ධනාගාර යකඩ ගේට්ටු තුළ සිරවී ඇති බව ද කිව යුතුය.
නීතිඥ උදුල් පේ‍්‍රමරත්න
මානව හිමිකම් සඳහා ක‍්‍රියාකාරිකයෝ සංවිධානය