සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

මළ මිනියටත් බය වීරයා සහ විරෝධාර ආණ්ඩුව


‘සියළු ඒකාධිපතියන්ගේ දෙපා සැදී ඇත්තේ මැටියෙනි – මා ඕ සේතුං’

ප්‍රාණය නිරුද්ධ වූ 28 හැවිරිදි නිමලරූබන්ගේ සිරුර පසුගිය 04 දා මහර බන්ධනාගාරයෙන් රාගම රෝහලට බාර දුන්නේ අසාධ්‍ය රෝගියකු යැයි ව්‍යාජ සඳහනක් සමගිනි. ඔහුගේ දෙපා බිද තිබු අතර වධහිංසා පැමිණවීමෙන් හටගත් දරුණූ තුවාල සිරුර පුරා සිරුර පුරා දක්නට තිබුණි.

ඔහුගේ අසරණ මා පියෝ වව්නියාවේ සිට සිය පුතු බැලීමට පැමිණෙන විට නිමලරූබන් මළවුන් අතර ය. මරණ පරීක්ෂණ වාර්තාවක් තිබුනේ නැත. ආණ්ඩුව වහ වහා අධිකරණයට දුව ගොස් මේ මළ සිරුර ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යැයි කියා මීගමු බල ප්‍රදේශයෙන් පිටතට එනම් වව්නියාවට මේ සිරුර ගෙන යාමට නොදිය යුතු යැයි අධිකරණ වාරණයක් ගත්තේය.

මහරජාණන්වහන්සේයැයි හඳුන්වනු ලබන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ‘වීරෝධාර’ ආණ්ඩුව මළ මිනියකටත් මෙතරම් බිය වන්නේ මන්ද? රාජ්‍යට විවේචනයක් එල්ල විය හැකි යැයි බිය වන අවමගුල් උළෙල කලමණාකරණය කිරීම දැන් පශ්චාත් යුද්ධ විරෝධාර ආණ්ඩුවේ එක් දේශපාලන කර්තව්‍යක් බවට පත්ව තිබේ. ඒ තරම් භීතියට පත්වන තරමට ම වත්මන් පාලනය ශක්තිමත් ය. නැත්නම් චීන විප්ලවයේ නායක මා ඕ සේතුං කී පරිදි මේ අර්ධ ඒකාධිපතිත්වයේ දෙපා ද මැටියෙන් තැනී ඇති නිසා ද?

රාජපක්ෂවාදී ජනප්‍රවාදයට අනුව ශ්‍රී ලංකාවේ අද පවතින්නේ මේ තාක් බිහි වූ ප්‍රබලතම විරයින්ගෙන් පිරි විරාජමාන ආණ්ඩුව කි. ඒ රාජකීය උණුසුම කොතෙක් ද යත් ඊයේ පෙරේදා යුද්ධයකට මෙන් තාප්පවලින් පැන විත් කුදළා රහස් පොලීසියට ගෙන ගිය ශ්‍රී ලංකා මිරර් සහ ශ්‍රී ලංකා එක්ස් නිව්ස් නම් වෙබ් අඩවි දෙකෙහි ජනමාධ්‍යවේදීන්ට චෝදනා කළේ විරාජමාන රාජෝත්තමයානන්ගේ රාජකීය මහිමයට අපහාස කළැයි කියා ය! අදෝමැයි රාජකීය උණුසුමක බලය!!

ඒත් මේ විරයින් සහ වීරයින්ගේ ආණ්ඩුව නිමලරූබන්ගේ පමණක් නොව වෙනත් මළ මිනීවලටත් බය ය. කොතරම් බිය ද යත් එකී මරණයන්ට රාජ්‍ය වගකිව යුතු යැයි සැක සිතෙන සෑම මරණයකදීම එම මෘත දේහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස අධිකරණය ලවා නම් කරවා ගනු ලැබේ. අනතුරුව එම පුරවැසියන්ගේ අවමගුල් උළෙල පැවැත්වීම රාජ්‍යයේ නීති රීති යටතට ගනු ලැබේ. එනයින් මරා දමනු ලබන පුරවැසියන්ට හිමි අවසාන ගෞරවය දැක්වීම ද උදුරා ගනු ලැබේ.

රාජකීය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ කතාව දෝලාවෙන් නමුත් ගමන යකඩ සපත්තු ලු පයින් බව පසක් වන්නේ මෙවැනි සාමාන්‍ය අවමගුල් උළෙලකටත් එය දක්වන බිය පෙනෙන විට ය.

පසුගිය වසරේ මැයි 30 දින නිදහස් වෙළද කළාප සේවක සාමාකාමී උද්ඝෝෂණයට වෙඩි තබා තිර්ශ්චීන ලෙස රොෂාන් චානක මරා දැමූ රාජපක්ෂ ආණ්ඩුව ඒ අවමගුල් උළෙලටත් තහංචි දැමූයේ පල්ලිය ද මල්ලට දමා ගෙන ය. එම උළෙහි පැවැත්විය යුතු කතා පවා තීරණය කෙරුණේ එම නියෝගය අනුව ය. උද්වේගකර ආණ්ඩු විරෝධී අවස්ථාවක් බවට පත්වීමට ඉරණම් ලබා තිබූ එම අවමගුල භයංකරත්වයේ නිහඩතාවය තුල ගිලී ගියේ ය.

දැන් එම අපරාධයට වසරක් පිරී හමාරය. එම වෙඩි තැබීමෙන් සහ ප්‍රහාරයෙන් තවත් නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන් 270 තුවාල ලැබූහ. සමහරකු තවමත් අබාධිත ය. එනමුත් එම අපරාධයට වගකිව යුත්තන් සොයා බලා නිසි දඩුවම් පැමිණවීම පිණිස යැයි ආණ්ඩුවෙන්ම පත් කරන ලද මහානාම තිලකරත්න කොමිෂමේ වාර්තාව තවමත් හමස් පෙට්ටියේ ය. එම වාර්තාව ප්‍රසිද්ධ කරන්නැයි ඉල්ලා නිදහස් වෙළද කළාප වෘත්තීය සමිති විසින් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වෙත යවන ලද ලිපියට මේතාක් පිළිතුරක් දීමට තරම්වත් රොෂාන් චානකගේ අවමගුල් උළෙල කප්පාදු කළ ආණ්ඩුවට උනන්දුවක් පෙන්වා නැත. එපමණක් නොව රොෂාන් චානකගේ මාපියන් හට දෙන බවට පොරොන්දු වූ වන්දිය පවා තවම ගෙවා නැත. බිය ගැන්වීම සමඟ රුවටීම ද එකට ගමන් කරයි.

පසුගිය පෙබරවාරි 15 දින රාජපක්ෂ ආණ්ඩුවේ පොලීසිය හලාවත දී ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව සාමකාමි විරෝධයක නිරත වූ දෙරු පියකු වූ 38 හැවිරිදි ඇන්තනි ප්‍රනාන්දුට වෙඩි තබා මරා දමන ලදී. සහගහන අපරාධයක් වූ ඔහුගේ මරණයේ අවමගුල ද වීරයින්ගේ ආණ්ඩුව භීතියට පත් කළේ ය. අධිකරණ නියෝගයක් ලබා ගනිමින් අවමගුල් පෙරහැර කෙටිම මාර්ගයෙන් දේවස්ථානය සහ එතැනින් කනත්ත කරා යා යුතු බවට රාජපක්ෂ පාලනය නියෝග කළේ ය. එදින අවමගුල් පෙරහැර කිසිදු විරෝධතාවයක් බවට පත් නොවිය යුතු බවට ද එම නියෝගයෙන්ම නියම කරන ලදී.

එමෙන්ම මෙම වසරේ ම ජුනි 15 දින කටුවන දී රාජ්‍ය අනුග්‍රහය ලත් මැර පිරිස් විසින් වෙඩි තබා මරා දමන ලද එදිරිමාන්නගේ මාලිනි(38) සහ නිමන්තේ හෂාන්ත(17) යන ජවිපෙ සාමාජික සාමාජිකාවන්ගේ අවමගුල් උළෙල ද රාජපක්ෂ රාජෝත්තමයානන්ගේ රජය බිය ගැන්වීම සමත් විය. එම අවමගුල් උළෙල වෙනුවෙන් කරන ලද සුදු කොඩි සැරසිළි පවා පොලීසියේ දේශපාලන නිලධාරීහු ගලවා දැමූහ. අධිකරණ නියෝගයක් ගනිමින් වීරයින්ගේ ආණ්ඩුව කියා සිටියේ අවමගුලට අදාළව පෙළපාලි යෑම. කොඩි දැමීම, පොස්ටර් ඇලවීම යනාදිය සපුරා තහනම් බවයි. එම අවමගුල් උළෙල දා ජවිපෙ රැස්වීම දා නොතිබූ දැවැන්ත ආරක්ෂක බළ ඇණි කටුවනට කැදවා තිබුණි.

මෙම ඝාතන වැලෙහි සහ මළ මිනියට බිය වීමේ නූතනම පුරුක ගනේෂන් නිමලරූබන් ය. ඔහු වව්නියාවේ සිරගෙදර රඳවා සිටි එල්ටීටීඊ සැකකරුවෙකි. සිරකරුවකු නොවේ. ඔහුට මෙරට පුරවැසියකුට හිමි සැම අයිතියක්ම හිමි ය. වව්නියා සිරගෙදර ඇති වූ වර්ජනයක් සහ නිලධාරීන් අත් අඩංඟුවට ගැනීමක් මර්දනය කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරින් විසින් එහි සිටි එල්ටීටීඊ යැයි සැක කැරෙන සැකකරුවන්ට අමානුෂික වදහිංසා පමුණුවන ලද බව දැන් හෙළිදරව් වී තිබේ. නමලරූබන් මිය ගියේ එම වධහිංසා කරණ කොට ගෙන ය.

නිමලරුබන් අත් අඩංඟුවට ගනු ලැබුනේ යුද බිමේහි දී නොවේ. පසුගිය 2009 නොවැම්බර් මස 05වෙනිදා මිත්‍රයෙක් සමග යතුරු පැදියක ගමන් කරමින් සිටි ඔහු වව්නියාව, වේප්පංකුලම් ප්‍රදේශයේදී සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. පසුගිය තෙවසර ම ඔහු වව්නියාව බන්ධනාගාරයේ රඳවා තැබුණේ කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර ය. අත්අඩංගුවේ සිටි කාලය පුරාම නිමලරුබන් ගේ අම්මා සිය පුතා දැකීමට බන්ධනාගාරයට ගියේ ය. පසුගිය 28 වන බ්‍රහස්පතින්දාත් එනම් මරණයට සතියකට පෙර නිමලරූබන් බැහැදුටු අම්මා ඔහුට ආහාර-පානාදියෙන් සංග්‍රහ කළේ ය. ඒ අවස්ථාවේ දී නිමලරූබන් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසු වූ බවද ඇය කියා සිටියි.

‘පුතාගේ පපුව ප්‍රදේශයේ බොහෝ තුවාල තිඛෙනවා මම දැක්කා. ඔළුවෙ සහ පපුවෙ ලේ ගලලා තිබුණා. අත් සහ කකුල් කඩලා තිබුණා. කකුල් දෙකම ගැට ගහලා තිබුණා. මළ සිරුරෙන් දුර්ගන්ධයක් පිටවුණා. පුතාගෙ ඇ‍ගේ ඇදුම් තිබුණෙ නැහැ. සරමකින් මළ සිරුර වහලා තිබුණා.’යැයි නිමලරූබන්ගේ පියා විරකේසරී පුවත්පතට කියා තිබුණි.

නිමලරුබන්ගේ මා පියෝ අපේ ගෞරවයට සුදුසුකම් ලබමින් රාජපක්ෂ පාලනයේ පොලිස් බිය ගැන්වීම් වලට යට නොවූහ. සිය පුතුගේ මරණය මිනීමැරුමක් බවත් ඊට නිසි පරීක්ෂණයක් අවශ්‍ය බවත් එමෙන්ම සිය පුතුගේ අවමඟුළ ගෞරව සම්පන්නව පැවැත්වීමට අවශ්‍ය බවත් පුතු සෙනෙහෙස අදම්‍ය ධෛර්්‍යක් බවට පරිවර්ථනය කර ගනිමින් රටට ද ලොවට ද කියා සිටිති.

පශ්චාත් යුද්ධ ‘වීරෝදාර’ ආණ්ඩුව දකුණේ දී මරා දැමෙන ඇන්තනිලාගෙත්, රොෂාන්ලාගෙත්, මාලිනීලා සහ නිමන්තලාගේත් මළ මිනියට බියෙන් අධිකරණ නියෝග පිටුපස සැඟවෙන්නේ එම ඝාතනයක් විසින් ඇති කැරෙන කවර හෝ මහජන විරෝධතාවයන්ට ඇති බිය නිසා ය. මහා ජනයා යුදකරණයේ යකඩ සපත්තුවට පාගා සදාකාලික භිතීයෙන් මුසපත් කර තබා ගත හැකි යැයි එය කල්පනා කරන නිසාය. මරණය වෙසෙසින්ම එය දේශපාලන ඝාතනයක් වු කළ විරෝධතා අවේගයන්ට තෝතැන්නක් බවට පත් වෙයි. ඒ තෝතැන්න මත ඒකාධිපතියන්ගේ මැටියෙන් තැනු දෙපා දිය කර හැරෙන දේශපාලන ගිනියම්වීම ඇරඹෙයි. සැම ඒකාධිපතියෙක් ම ඒ බව දනී.

මේ මළමිනී භීතිය සහ අධිකරණ වාරණයන්ට මුවා වීම පාලනයේ ශක්තියක් නොවේ. බියඟුළුකමකි. දුර්වලකමකි.

උතුරේ මේ බියඟුළුකම දර්ශනය වන්නේ දී මරා දැමුණ නිමලරූබන් සම්බන්ධයෙන් පමණක් නොවේ. යුද්ධයේ දී මරා දැමුණූ දහ දහස් ගණනාවක් දෙමළ ජනයා සමබන්ධයෙන් ද අවමඟුල් උළෙලක්, සිහි කිරීමක්, හෝ වන්දනාවක් පැවැත්වීමට තෙවසරක් ගතවීමෙන් පසුද රාජපක්ෂ පාලනය ඉඩ දෙන්නේ නැත.

මේ වනාහී සිය ජනයාගේ මරණය ස්මරණය කිරීමට ඉඩ දීමට බිය ආණ්ඩුවකි. එම බිය පැන නගින්නේ මේ පාලනයේ පදනම් දැක්ම නිදහස සහ මානව ගරුත්වය නොව මර්දනය සහ බිය ගැන්වීම නිසාය.

වහල්බාවයට එරෙහිවීමේ ප්‍රථම කොන්දේසිය තමන් වහලූන් බව තේරුම් ගැනීම යැයි කියනු ලැබේ.

සුනන්ද දේශප්‍රිය[Sunanda Deshapriya]