Colombo, end of the War, Featured Articles, Features

‘මේ රටේ දෙමළ අයට තියෙන්නෙ වෙන නීතියක්ද?’

දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය දීර්ඝ කාලයක සිට රටේ පවතින ප‍්‍රශ්නයක්. මේක මෑතකදි පටන් ගත්ත ප‍්‍රශ්න නෙමෙයි. ආණ්ඩුව සමහර අවස්ථාවල මාධ්‍ය තුළින් වැරදි තොරතුරු යවන්න හදනවා, වැරදි පණිවිඩ දකුණේ සිංහල ජනතාවට යවන්න හදනවා. අවාසනාවකට වගේ සිංහල සහ ඉංග‍්‍රීසි ජාතික මාධ්‍ය වලින් වැරදි තොරතුරු තමයි සිංහල සහෝදර ජනතාවට යන්නෙ. දෙමළ ප‍්‍රශ්නයක් කියලා කොන් කරලා, කොටි ප‍්‍රශ්නයක් කියලා ආණ්ඩුව පෙන්වන්න හදනවා නම්, ඒක කවදාවත් සාර්ථක වෙන්නෙ නැහැ කියලා ආණ්ඩුවට මම කියනවා. දැනට ආණ්ඩුවට මේක මේ විදිහට පවත්වගෙන යන්න පුළුවන්. නමුත් හිමින් සීරුවෙ මේ ප‍්‍රශ්නයේ ඇත්ත තත්ත්වය මොකක්ද කියලා දකුණෙ ජනතාවට එලි වෙනවා.

මේ සිරකරුවන් ආණ්ඩුව අත්අඩංගුව අරගෙන බන්ධනාගාරයට දාලා තියෙන්නෙ පසුගිය සුමානෙ හෝ පසුගිය දා නෙමෙයි. අවුරුදු 10, 15 පුරා ඒ අය ඇතුළෙ ඉන්නවා. මේ අය අතර කාන්තාවො ඉන්නවා, කාන්තාවන්ට හම්බ වෙච්ච ළමයි යන්න තැනක් නැතිව ඇතුළෙ ඉන්නවා, ලෙඞ්ඩු ඉන්නවා, ක‍්‍රිස්තියානි සහ හින්දු ආගමික නායකවරු ඉන්නවා, වයසට ගිය අය ඉන්නවා, තරුණයො විදිහට ඇතුල් වෙලා අවුරුදු 15ක් ගතවෙලා දැන් වයසට ගිය අය ඉන්නවා, මොළේ නරක් වෙච්ච අය ඉන්නවා, කසාද බැඳලා මාස කිහිපයකින් අත් අඩංගුවට අරගෙන ජීවිත කාලයම ඇතුළෙ ඉන්න අය ඉන්නවා. සමහර අම්මලා තාත්තලාට සලකපු දරුවො ඇතුළෙ ඉන්නවා. ඒ අය ඇතුළෙ ඉන්න නිසා තමන්ගෙ දෙමව්පියන්ට සලකන්න විදිහක් නැතිව ඒ අය පීඩාවට පත්වෙලා ඉන්නවා. ඒ වගේම දෙමව්පියොත් සලකන්න කවුරුවත් නැති නිසා අනාථ වෙලා ඉන්නවා. මේක මානුෂික ප‍්‍රශ්නයක්. මේක ආණ්ඩුවෙ අයට පේනනෙ නැද්ද? මේ රටේ විවිධ ප‍්‍රශ්න ඇතිවෙනවා. ඉසෙඞ් ස්කෝර් ප‍්‍රශ්නය ඇති වුණා, ළමා අපචාර ඇති වෙලා තියෙනවා. මේ වගේ විවිධ ප‍්‍රශ්න දිනපතා ඇතිවෙනවා. මේ සියලූම ප‍්‍රශ්න කෙරෙහි සිංහල ජනතාව උන්නදු වෙනවා. නමුත් ඇයි මේ ප‍්‍රශ්නය ගැන උන්නදු වෙන්නෙ නැත්තෙ? අපි දෙමළ නිසාද? එතකොට දෙමළ අයට වෙන නීතියක්ද මේ රටේ තියෙන්නෙ?

මේ ආණ්ඩුව දැන් තමුන්ට ඕන ඕනෙ අය තෝරාගෙන ඒ අයට එක්කො පොදු සමාව දෙනවා, නැත්නම් ඒ අය බන්ධනාගාරෙ සිට අරගෙන පුනරුත්තාපන කඳවුරු වලට යවනවා. කරුණා අම්මාන් දැන් ආණ්ඩුවෙ නියෝජ්‍ය ඇමතිවරයෙක් පමණක් නෙමෙයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වරයා. පිල්ලෙයාන් හිටපු මහ ඇමති. දැනුත් එතුුමා තරඟ කරන්න යනවා. කේ.පී ප‍්‍රභාකරන්ගෙ මරණයෙන් පස්සෙ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයා උනා කියලා අපිට ආරංචි වුණා. එතුමාත් දැන් ආණ්ඩුව තුළ ප‍්‍රභූවරයෙක් විදිහට ඉන්නවා කියලා අපිට ආරංචි වුණා. දයා මාස්ටර්ලා, ජෝර්ජ් මාස්ටර්ලා ඉන්නවා. දැන් මේ මෑතකදි කමලනී කියන එල්.ටී.ටී.ඊ සංවිධානයේ කාන්තා අංශයේ නායිකාව වව්නියාවෙ පුනරුත්තාපන කඳවුරට ආණ්ඩුව නීත්‍යාණුකූලව මාරුකරලා පුනරුත්තාපනය ලබා දෙනවලූ. මේ ගැන අපිට කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ඔවුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක හිඳගෙන ඔවුන්ට කැමති දේශපාලනය කරන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. මං අහන්නෙ ඇයි ඒ අවස්ථාව අර පොඩි අයට දෙන්නෙ නැත්තෙ? අණ දුන්න අය එලියෙ වරප‍්‍රසාද ලබාගෙන තනතුරු වල ඉන්නවා. ඒ අයගෙ අණ යටතේ වැඩකරපු අය සහ වැඩ කලා කියලා සැකපිට ඉන්න අය ඇයි මේ බන්ධනාගාර වල ඉඳගෙන තමන්ගෙ පණ දෙන්නෙ? ඒ නිසා මේ අයට පොදු සමාව වහාම ලබා දෙන්න. පොදු සමාව දෙන්න බැරිනම් ඒ අයගෙ කැමැත්ත යටතේ පුනරුත්තාපන කඳවුරු වලට මාරු කරන්න. මාරු කරලා පුනරුත්තාපනය කරලා සමාජගත කරන්න. ආණ්ඩුව අපිව දැන් අන්දවන්න බලනවා. තමුන්ට අවශ්‍ය අය නිදහස් කරලා පුනරුත්තාපන කරනවා. අනිත් අය ඇතුළෙ තියා ගන්නවා. ඒ අය කොටි කියලා ලේබල් ගහනවා.

පසුගිය මැයි මාසයේ 24 වෙනිදා උපවාසයෙ හිටපු අය තම උපවාසය අතහැරියා. විශේෂ අධිකරණ කිහිපයක් අනුරාධපුරයෙ, වව්නියාවෙ සහ මන්නාරමේ ඇති කරනවා කියලා ආණ්ඩුව පාර්ලිමේන්තුවෙ පොරොන්දුවක් දුන්නා. එතකොට අපි එලියෙ කරපු අරගලයත් නවත්තලා ආණ්ඩුවට මාසයක් කල් දුන්නා. නමුත් විශේෂ අධිකරණය තාම නිර්මාණය වෙලා නැහැනෙ. ඒ ගැන කතා කරන්නෙවත් නැහැනෙ. අධිකරණ ඇමති තුමා මේ වෙලාවෙ යොමුවෙලා තියෙන්නෙ නැගෙනහිර ඡුන්දෙ පිළිබඳව. එතුමාට ඒක කරන්න අයිතිය තියෙනවා. නමුත් අපිට ප‍්‍රශ්නය මෙන්න මේකයි. ආණ්ඩුව එක දවසක විශේෂ අධිකරණයක් ගැන කතා කරනවා. එක දවසක පුනරුත්තාපන කඳවුරු වලට යවන්න කැමැත්ත දෙන්න කියලා බන්ධනාගාරයේ හැමෝටම කොළ කෑල්ලක් දීලා අත්සන් අරගෙන තියෙනවා. නමුත් අද නීතිපති දෙපර්තමේන්තුවෙ වැඩබලන නීතිපති තුමා විශේෂ අධිකරණයක් ගැන කතා කරලා තියෙනවා. මොකක්ද ආණ්ඩුව කරන්නෙ? විශේෂ අධිකරණයද? පුනරුත්තාපනයද? පොදු සමාවද? මොකක්ද ආණ්ඩුව කරන්නෙ? ආණ්ඩුව තුළ මේ සම්බන්ධව ස්ථාවර අදහසක් නැහැ.

ජුනි 29 වෙනිදා වව්නියාවෙ සිදුවීමට අපි එකඟ වෙන්නෙ නැහැ. සිරකරුවො විසින් නිළධාරීන්ව ප‍්‍රාණ ඇපකරුවො විදිහට තියා ගත්ත එක අපි කවදාවත් පිළිගන්නෙ නැහැ. ඒකට අපි විරුද්ධයි. නමුත් ඒකට හේතු වුණු කාරණාවක් තියෙනවා. සරවනන් කියන දේශපාලන සිරකරුවෙක් වව්නියාවෙ සිට අනුරාධපුරයෙ බන්ධනාගාරයට කැඳවලා, එතනදි අනුරාධපුරයෙ අධිකරණයට ගෙනිහින් නඩුවක් ඉදිරිපත් කරලා, ඊට පස්සෙ නඩුව අවසන් වුණාම අනුරාධපුරයටම කැඳවලා වව්නියාවට යවන්න නැතිව තබාගත්තා. අනුරාධපුරයෙ බන්ධනාගාරයෙ තබාගෙනම එතන හිටපු නිළධාරීන් මෙයාට මිලේච්ඡු විදිහට පහර දුන්නා. මොකද එතන ඉන්න නිළධාරීන්ට සරවනන් කියන රැුඳවුම්කරු සමග විවිධ ගැටළු තිබුණා කියලා අපිට ආරංචි වුණා. ඉතින් ඔහුට විශාල වශයෙන් පහර දීලා තියෙනවා. අනෙකුත් සිරකරුවො පාවිච්චි කරලා ඔහුට පහර දීලා තියෙනවා. කූඩුවෙ දාලා එයාගෙ ඇඟට වැසිකිලි වතුරත් වීසි කරලා, නින්දිත ආකාරයට පහර දීලා තියෙනවා. මේක ආරංචි වුණාම තමයි වව්නියාවෙ සිරකරුවන් සරවනන්ව නැවත වව්නියාවටම ගේන්න කියලා උපවාසෙ පටන් ගත්තෙ. සරවන්නට වෙන දේ අනුමත කළා නම් ඉදිරියෙදිත් අනික් අයටත් ඒ දේ වෙනවා කියලා ඒ අය දන්නවා. බන්ධනාගාරවල සිට උපවාස කරන අය නිළධාරීන් හඳුනගෙන ඒ අය තනි තනියෙන් කැඳවලා ඒ අයට පහර දීලා තියෙනවා. මේ උපවාසය තමයි ප‍්‍රාණ ඇපකරුවො අල්ල ගන්න තැනට ගියෙ. උපවාස කරන අයට බලහත්කාරයෙන් කෑම කවන්න ගිය නිළධාරීන්ව සිරකරුවො විසින් ප‍්‍රාණ ඇපකරුවො විදිහට තියා ගත්තා. දැන් ආණ්ඩුව ඒ අයව අනුරාධපුරයට, මහරට සමහර අයව බෝගම්බරට දාලා තියෙනවා. ඒ අයට මිලේච්ඡු විදිහට පහර දීලා තියෙනවා. නිමලරූබන් මැරුණා. තව කීප දෙනෙක් බරපතල තුවාල ලබලා ඉන්නවා.

නිමලරූබන් මැරුණට පස්සෙ තවමත් එයාට අසාධාරණකම් කරගෙන යනවා. එයාගෙ පවුලෙ පිරිසට, දෙමව්පියන්ට, නංගිලාට මිය ගිය තමුන්ගෙ ඥාතියගෙ දේහය වව්නියාවට ගෙනිහිල්ලා, ආගමික වතාවත් කරලා, අවසන් කටයුතු කරන්න ආණ්ඩුව ඉඩ දෙන්නෙ නැහැ. අධිකරණයට ආණ්ඩුව බොරු වාර්තා කරනවා. අපි අධිකරණයට ගරු කරනවා. නමුත් අධිකරණය තීන්දුව දෙන්නෙ ආණ්ඩුවෙ නීතිපති දෙපාර්තමේන්තුව දෙන තොරතුරු පදනම් කොටගෙන. නීතිපති දෙපාර්තමේන්තුව වැරදි තොරතුරු දෙන, බොරු කියන ගුහාවක් වෙලා තියෙනවා. ආණ්ඩුවෙ න්‍යාය පත‍්‍රයට අනුව වැඩකරන ආයතනයක් බවට පත්වෙලා හමාරයි. ආණ්ඩුව නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්නෙ වැරදි කරුවන් ආරක්ෂා කරන්නට, වැරැුද්ද වහලා දාන්න. කොළේ වහලා වැඩ කරන්න තමයි ආණ්ඩුව නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්නෙ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව හැම වෙලේම කරන්නෙ මේකයි. දකුණෙත් කීප දෙනෙක් පොලිස් වෙඩිපහරින් පසුගිය දා මිය ගියා. හැම අවස්ථාවකම ආණ්ඩුව කරන්නෙ මොකද? මේක ජාතික ආරක්ෂාවට හානියක් ඇතිවෙයි කියන පදනම උඩ, අපේ සටන නවත්වන්න අධිකරණය හරහා උත්සාහ කරනවා අපි දැකලා තියෙනවා.

අපි දැන් කැලැන්ඩරේ ප‍්‍රින්ට් කරන කොට ජූලි මාසෙ කළු පාටින් ගහන්න ඕනෙ කියලා හිතනවා. විශේෂයෙන්ම දෙමළ ජනතාව සඳහා. මොකද ජූලි මාසෙ වෙනකොට දෙමළ ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වෙන මාසයක් ලෙස පරිවර්තනය වෙලා හමාරයි. නමුත් මම හිතන්නෙ නැහැ ජූලි මාසෙ පමණක් තමයි අසාධාරණයන් ඇති වෙන්නෙ. අනිත් මාස සියල්ලේම අපි සතුටින් ඉන්නවා කියලා. එහෙම නැහැ. නමුත් ජූලි මාසෙ යම් කිසි සංකේතයක් වෙලා තියෙනවා.


මනෝ ගනේෂන්

ප්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ
(සාකච්ඡාවක් ඇසුරෙනි)

[Photo courtesy: Dinidu de Alwis / Perambara (Flickr)]