සිංහල, Featured Articles, Features

අයුක්තියේ යදම් තුළ කැකෑරෙන අපේ කථාව!



2009 මැයි මස 18 වනදා යුද්ධය අවසන්වු පසු මන්නාරම, මුල්ලිකුලම ගමේ මිනිසුන් හා සංවාදයකට සහභාගී වූ මා හට දැනෙන්නේ, දිර්ඝ කාලින යුද්ධයේ නරකම හා අසාධාරණ ම ප‍්‍රතිඵල භුක්ති විඳින්නන් අතරින් මොව්හු එක් විශේෂිත වු ජන කොට්ඨාශයක් කියාය. මන්ද, යුද්ධය අතරතුර සිදුවු ජිවිත හානි පිළිබඳවත් දේපල හානි පිළිබඳවත් යුද්ධය අනුමත නොකළ ද, අමාරුවෙන් හෝ හිත හදා ගැනීමට හැකිය. එහෙත්, සියල්ලම අවසානවී, සියල්ලම සන්සුන් යැයි කියනා විටකදී, නැවත පදිංචිකරවීම් ද ඉතා සුභදායී ලෙස සිදුකරමින් සිටිනවා යැයි කියනා විටකදී, යුධ ප‍්‍රහාරවලට වඩා දරුණු, බලයේ හා ආධිපත්‍යයේ ප‍්‍රතිපත්තිමය ප‍්‍රහාරවලට නතුවන්නට සැලසී අසාධාරණයේ හා අයුක්තියේ ඉහළම දඬුවමකට ගොඳුරු වි, යුද්ධයෙන් විනාශ නොවු තමන්සතු සියලූ දේපොල, ගේ දොර සහ රැකී රක්‍ෂා බිම් හා ඒ ආම්පන්න පෙනි පෙනී බලෙන් උදුරා ගනිද්දී, ඒ දෙස බලමින් උදේ හවහා හූල්ලමින් අනුන්ගෙන් යැපෙන්නන් බවට, හිඟන්නන් බවට පත්කර තිබීම කෙතරම් අකාරුනික ද ? කෙතරම් අයුක්ති සහගත අසාධාරණ දඬුවමක් ද ? මෛති‍්‍ර, කරුණා, මෙත්තා, මුදිතා සියල්ල කුඩුපට්ටම් කර දැමු ශෝචනීය ඉරණමක් ද ? කියා මට දැනෙයි. එක් පාර්ශවයක ආධිපත්‍යයේ තරම කෙතරම් දුරට තවත් පාර්ශවයකගේ ඉරණම අසාධාරණ ලෙසට තින්දු කරන්නට බලාත්මක වෙනවාද කියා මට සිතෙයි.

මහ මුහුදින් ද ගොඩබිමෙන් ද දේව ආශිර්වාදය ලැබු මුල්ලිකුලම ගමෙහි ජීවත් වුයේ සම්පුර්ණයෙන්ම දෙමළ කතෝලික පවුල් හාරසිය ගණනකි. ධිවර රැකියාවත්, ගොඩමඩ ගොවිතැනත්, සතුන් ඇතිකිරීමත් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග විය. ඒවා ඉතාම සාර්ථක සස්ශ‍්‍රීක හා ලබාදායී වෘත්තීන් විය. ඒ නිසා සියලූම දෙනා සුව සේ මෙන්ම සැප සේ ද සිය ජිවිත ගෙන ගියහ. එමෙන්ම දේව භක්තිය හා නමස්කාරය ද ඉහළින් තිබු අතර දේව නමස්කාරය සඳහා සිය මීසම් පවුල එක්රැස් වුණේ පරලෝකමතා දේවස්ථානයටය. දෙවියන්වහන්සේ විසින් ලබාදුන්න සස්ශ‍්‍රීක මහපොළොව මහන්සියෙන් කොටා ඉඩම් අක්කර 1200 ක සරුසාර කුඹුරු කළ ඔවුනට එය අස්වැද්දීම සඳහා වැසි ජලයෙන් පෝෂණය වන වැව් 05ක් ද ජලාශයක් ද ගම සතුවිය. එහෙත් දශක තුනක කුරිරු යුද්ධයේ අනිටුඵල ඔවුන්ගේ එම සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලනික අයිතින්, වටිනාකම් සහ අස්වැන්න ද මුළුමනින්ම විනාශකර අහිමිකර දමා ඇත.

ඉතිහාසයේ පළමුවරට මුල්ලිකුලම් ජනතාව අවතැන්වුයේ 1990 වසරේදීය. එතැන් සිට 2002 වසර තෙක් තැනින් තැනට අවතැන් වෙමින් 2002 වසරේදි රජය හා එල්ටීටීඊ සංවිධානය අතර ඇතිකරගත් සාම ගිවිසුම හේතුවෙන් යළිත් සිය මුල්ලිකුලම ගමට ගොස් ජිවිත ආරම්භ කරන්නට මොවුනට අවකාශ ලැබිණි. නමුත් ඒ අස්වැසිල්ල තුළ ජීවිත්වන්නට ඔවුනට කාලය ලැබුණේ හරියටම වසර පහකි. සියල්ල අතහැර යළිත් වරක් 2007 වසරේ ආරම්භ කළ අවසන් යුද්ධය වෙනුවෙන් අවතැන්වීමේ සුපුරැදු ක‍්‍රියාවලිය හා සරණ යන්නට ඔවුනට සිදුවිය.

”එකපාරටම යුධ හමුදාවෙන් ආවා, ඉන්න හැටියටම ඉක්මනින් ගමෙන් පිටවෙන්න කිව්වා. දවස් තුනකින් ආපහු ගමට එන්න පුළුවන් කියලා, අපේ කිසිම දෙයක් ගෙනියන්න එපා කිව්වා. හමුදාවේ අණට කීකරු වෙච්ච අපි හනිකට ගමෙන් පිටත් වුණා.” එසේ පැවසුවේ 2007 වසරේ සැප්තෑම්බර් මාසේ 07 වෙනිදා හිස් අතින් ගමෙන් පිටවී තැනින් තැනට තම ජීවිත ගාල් කළ මුල්ලිකුලම ගමේ වැඩිහිටි තාත්තලා කිහිපදෙනෙකි. මේ පස්වසර තුළ දී මුල්ලිකුලම ගමේ ජිවත් වු පවුල් 400ක ජනගහණය, තාල්වුපාඩු, වාල්කෛයිපෙට්ට‍්‍රාල්කණ්ඩල්, තෙලෙයිමන්නාරම, නානාට්ටාන් ,මඩුකෙරෙයි සහ මන්නාරම නගරාසන්න ප‍්‍රදේශවල දින තුනකින් ආපසු ගමට යන්නට හැකිය යන බලාපොරොත්තුව කරපින්නාගෙන සිය ජීවිත දියකර හැරියේ දින, සති, මාස අවුරුදු බවට පෙරලෙමින් එල්ලවෙන සියලූ අභියෝග හා දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙමින් ජිවිත හරිහැටි ගතකරමින් නොව, ජීවිත ගැටගසාගෙනය. මෙහිදි කාන්තාවන් තරුණ දූවරුන් හා කුඩාදරුවන් විඳි කරදර අපහසුතා එමටය. එහෙත් ඔවුන්ගේ නිජ බිමට යෑමේ අවශ්‍යතාවය දිනෙන් දින සිහිනයක්ම බවට පත්වුණි. කාලයාගේ ඇවෑමෙන් මුල්ලිකුලම සස්ශ‍්‍රීක ගම නාවික හමුදාවන් අතට පත්විය. ගම්වැසියන්ට එහි යාම් ඊම් සපුරා තහනම් විය.

මන්නාරම රදගුරු හිමිපාණන් ඇතුළු පූජක පැවිදි කැළ විසින් මෙම වසර 07 පුරාවටම හැකි හැම අවස්ථාවකම හැකි ආකාරයෙන් මුල්ලිකුලම් වැසියන්ට පිළිසරණ විය. ඔවුන් අත්නොහල එඬේරාණන් වු රායප්පු ජෝශප් රදගුරු හිමිපාණන් තමන්ට එල්ලවු කිසිඳු චෝදනාවක් අපහාසයක් සිතට නොගනිමින් සිය පදවියේ පුජක පුතුන් සමඟින් දිගින් දිගටම අසාධාරණව අවතැන් වන සිය බැටළුවන් වෙනුවෙන් බලධාරීන් ඉදිරියේ නොනවතින ආයාචනයක යෙදිනි. උන්වහන්සේගේ ශක්තිය හා පදිවියේ පුජක පුතුන්ගේ ශක්තිය තුළ මුල්ලිකුලම ගම්වැසියෝ ධෛර්යයෙන් යුතුව සිය ගම නැවත ලබාගැනීමෙහිලා ඒකායන බලාපොරොත්තුවෙන් අනේක විධ ක‍්‍රියාමාර්ගයන් හී නිරත විය. ආයාචනා කළේය. පාගමන් ගියේය. විරෝධතාවන් ප‍්‍රකාශ කළේය.

”අපිට ශක්තියක් වුණේ පිහිටක් වුණේ අපේ බිෂොප්තුමායි ෆාදර්ස්ලයි, සිස්ටර්ස්ලයි. බිෂොප්තුමාත්, ෆාදර්ස්ලත්, රජයේ උසස් නිළධාරිනුත් අපි වෙනුවෙන් ගොඩාක් මහන්සිගත්තා අපේ ගම අපට ලබාගන්න. ඒත් පලක් වුණේ නැහැ.” යැයි ඔවුන් පැවසුවේය.

ඉන් නොනැවතුණු රදගුරුතුමා අනෙකුත් රදගුරුතුමන් සමඟින් එකතුවි ජනාධිපතිතුමාගෙන් මෙම අසාධාරණ තත්ත්වය සළකා බලා විසඳුමක් ලබාදෙන්නැයි ඉල්ලා සිටියා. ඒ සඳහා ආරක්‍ෂක ලේකම්තුමාගේ මැදිහත් වීම ලබාදෙන බවට ලබාගත් පොරොන්දුව මත ඉවසීමෙන් සිටිය ද පසු දිනෙක මන්නාරම රදගුරු හිමිපාණන්ගේ නිවහනේදී පැවති සාකච්ජාවකට ආරක්‍ෂක අමාත්‍යංශයෙන් පැමිණි හෙට්ටිආරච්චි නැමති නිළධාරියෙකු දන්වා ඇත්තේ මුල්ලිකුලම ගම අධිආරක්‍ෂිත කළාපයට අයත් වන බැවින් යළි ඒ ගමෙහි පදිංචියට යාමට අවසර නැති බවයි. ඒ වෙනුවට වෙනත් ගමක ඔවුන් පදිංචි කරවන බව ඔහු දන්වා තිබුණි. එහිදි ජනතාවගේ ඉල්ලීම වුයේ මුල්ලිකුලම ගම සියල්ලෙන් අංග සම්පුර්ණව තිබු සස්ශ‍්‍රීක ගමක් බැවින්, නාවික හමුදා කඳවුරක් සෑදිමට අවශ්‍ය යැයි කියන හෙක්ටයාර් 1000ක ප‍්‍රමාණය රැගෙන ගමේ ජනතාවටත් ගමේම ජීවත්වන්නට අවසර දෙන්න කියා ශුභවාදි ඉල්ලීමක් ඉදිරිපත් කිරීමයි. එහෙත් එම ආයාචනය බිහිරි අලින්ට වයනා වීණා වාදනයක් වු තැන, ඔවුන් යළි පදිංචිකරවීමෙහි කිසිඳු සැලැස්මක් ක‍්‍රියාමාර්ගයක් දියත්වනු නොදුටු මුල්ලිකුලම ජනතාව රායප්පු ජෝශප් රදගුරු හිමිපාණන්ගේ මැදිහත් වීමත් සමගින් යළිත් ප‍්‍රාදේශිය රජයේ නායකත්වයන් ආමන්ත‍්‍රණය කරන්නට විය. එහි ප‍්‍රතිඵලයක් ලෙසට මුල්ලිකුලම ගම ආසන්නයේ ඇති මනන්කාඩු නැමති ගමෙහි ඔවුනට නැවත පදිංචි වියහැකි බවත් එහෙත් තාවකාලිකව ඒ ගමට නුදුරින් පිහිටි මරිච්චිකට්ටු නැමති කැලෑවේ පදිංචි විය යුතු බවත් දන්වා තිබුණි. තමන්ගේ හැදුණු වැඩුණු උපන් ගම පෙනෙන නොපෙනෙන මානයේ කැලෑවක තාවකාලිකව යළි පදිංචි වෙන්නැයි කියන ප‍්‍රකාශය, වසර ගණනාවක් සිටම දුකම දරා සිටි ඔවුනගේ වෙහෙසකර හදවත ද නිසි සැලකිල්ලක් නොලත් දුක්විදි ගත ද තව තවත් පෙළන්නට ම විය. එහෙත් හදවත් සැම දැඩිකර ගත් මුල්ලිකුලම් වැසියෝ, පවුල් 80 වක පිරිමි පමණක් 120 දෙනෙක් ජුනි මස 15 වෙනි සිකුරාදා අලි සහ විෂකුර සර්පයින් සිටිනා මෙම ඝන කැලෑවේ තමන්ගේ පවුලට ජිවිතය ආරම්භ කරන්නට අවශ්‍ය ඉඩ ප‍්‍රමාණයන් එළිපෙහෙළි කරගන්නට කැලෑවට පැමිණියේ සිය දරාගත නොහැකි වේදනාවත් සමගය.

ජුනි මස 18 වෙනිදා මිගමුව ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ හර්මන් කුමාර සහ ෆ‍්‍රැන්සිස් රාජන් ද එළුවන්කුලම පන්සලේ නායක පුජ්‍ය බුද්ධියාගම චන්ද්‍රරතන හිමි ද ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා ද ගරු ටෙරන්ස් ප‍්‍රනාන්දු පියතුමා ද, මා ද, මුල්ලිකුලම් ජනතාව හමුවීමට මරිච්චිකට්ටු කැලැගමට ගියෙමු. කැලෑවේ රූස්ස තුරු සෙවන යට වැලි පොලොව පෙනෙන්නට සුද්ද පවිත‍්‍රකර ගෙන, පලූගස් රිකිලි වලින් සීමාවක් දමාගෙන පදිංචියට සුදානම්වන ඔවුන් දුටු අප හදවත් කම්පාවට පත්විය. හිසට තිබුණේ තුරු සෙවන පමණි. අව්ව නම් නොදැනෙයි එහෙත් වැස්සොත්?? කොහේ කියා දුවන්න ද ? පෙනෙනතෙක් මානයම ඝන කැලෑවමයි. අප හට සිහියට නැගුණේ සීමිත බඩුමුට්ටු ටිකක් සමගින් දින කිහිපයකට වන්දනා ගමනක්, විනෝද චාරිකාවක් ගිය විට අපි සිටිනා ආකාරයයි. එහෙත් මේ ඔවුන් පැමිණ සිටින්නේ විනෝද චාරිකාවක් හෝ වන්දනා ගමනක් නොවෙයි. වසර ගණනාවක් තිස්සේ හෙම්බත්වී සිටිනා සැබෑම වු සිය ජීවිත චාරිකාව යළිත් වෙනත් ස්ථානයක ආරම්භ කරන්නයි. අපි එදා ඔවුන් සමග සාකච්ජා කළෙමු. ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව විමසුවෙමු. දිනපතා බඩගින්න නිවාගැනීම ප‍්‍රධානව එදිනෙදා ජිවිතය ගෙනියන්නට අවශ්‍ය සියල්ල ඔවුනට ලබාදිය යුතුව ඇත. කිසිම කෙනෙකුට අත නොපා සාර්ථකව ජිවිත ගතකරන්නට අවශ්‍ය සියලූම දේ තමන්ගේ ගමේ තිබියදී ගමට යාමේ අවසරය නොමැති තැන මෙසේ අනික් අයට කරදරකරන්නට සිදුවීම ගැන ඔවුන් කතා කළේ දැඩි කණගාටුවකින්. වේදනාවකිනි. සිය ධිවර රැකියාව කරන්නට අවශ්‍ය අවසරයේ සිට රැකියාව කරන්නට අවශ්‍ය ආම්පන්න ඔරු බෝට්ටු, එන්ජින් ද ගොවිතැන් කටයුතු කිරීම සඳහා අවශ්‍ය උපකරණ සියල්ල අවශ්‍ය බව ඔවුන් පැවසුවේය. නාවික හමුදාව විසින් පානිය ජලය දිනපතා සපයන අතර ඉතා හොඳ තත්ත්වයේ වැසිකිළි දෙකක් පමණක් සාදා දි ඇත. වර්ථමානය වන විට පවුල් 213 ක් මරිච්චිකට්ටු කැලෑගමට ඒකරාශී වි ඇති බැවින් එම වැසිකිළි පහසුකම කෙසේවත් ප‍්‍රමාණවත් නොවෙයි, මන්ද පුද්ගලයින් වශයෙන් 700 කදෙනෙක් දැනට ජීවත් වන බැවිනි.

ජුලි මස 12 වෙනිදා යළිත් වරක් අප කණ්ඩාම මරිච්චිකට්ටු කැලැවට ගියේ ඔවුන් වෙනුවෙන් ජාතික ධිවර සහයෝගිතාවය විසින් හා ගරු සරත් සහ ටෙරන්ස් යන පියවරුන් දෙදෙනාත් ගරු ක‍්‍රිස්ටීන් කන්‍යාසොයුරියත් විසින් පුද්ගලික මට්ටමින් එක්රැස් කරගත් රුපියල් ලක්‍ෂ 4කට ආසන්න වියළි සළාක, කිරි පිටි, මඳුරු දැල් ,ලන්තෑරුම්, පැදුරු, ඇඳුම් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සමඟින්ය. එම ද්‍රව්‍ය සියල්ලම ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුකුලව බෙදා දීමට මුල්ලිකුලම මීසම භාර ගරු රාජනායගම් පියතුමා ඇතුළු කමිටුවට භාරදුණි.

මෙදිනම පළමුවරට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් මහතා විසින් ද මුල්ලිකුලම ජනතාව මරිච්චිකට්ටු කැලැ ගමදි හමුවී දිර්ඝ වශයෙන් සාකච්ජා කළ අතර සිය ගම්බිම්වලට ගොස් නැවත පදිංචි වීමට නොහැකි වීම පිළිබඳව ද ඔවුන් වර්ථමානයේදි මුහුණ දෙන අපහසුතා පිළිබඳව ද සිය දැඩි කණගාටුව ප‍්‍රකාශ කළේය. එමෙන්ම මෙම අසාධාරණය පිළිබඳව හැකි විගස ශ‍්‍රි ලංකා රජය සමඟ සාකච්ජා කරන බවට ද අනෙකුත් තානාපතිවරුන් වෙත දන්වා සිටින බවට ද පොරොන්දු විය.

ඔවුන්ගේ මෙම සාධාරණ ඉල්ලීමට විසඳුම් නොලබා සතුන් මෙන් ගස් යට ජිවත් වන්නට තරම් ඔවුන් කළ වරද කුමක් දැයි එළුවන්කුලමේ පුජ්‍ය බුද්ධියාගම චන්ද්‍රරතන හිමි ප‍්‍රකාශ කළේ,

”මම මහත් සේ කම්පාවට පත්වෙනවා මේ මිනිසුන්ට සිදුවී තිබෙන මේ මහ විනාශය සම්බන්ධයෙන්. මෙය දකින්නට තරම් මමත් පව්කාරයෙක් වුණා. මොවුන් වෙනුවෙන් ඉදිරිපත්වි කටයුතු කිරීමට අපිටත් වගකීමක් තියෙන්නට ඕනෙ, මොකද මේ හැම දෙනාම අපේ සමාජයේ සහෝදර සහෝදරියෝ. අපි ලැජ්ජා වෙන්න ඕනේ අපේම අයට මෙහෙම වෙලා තිබිම ගැන” යැයි පැවසිය.

මුලික පහසුකම් ඇතුලූව අනෙක් සියලූම දේ ගමේ තිබියදි මොවුන්ගේ ගම යළි පදිංචි විම සඳහා නොදෙන්නේ කුමන හේතුවක් පදනම් කරගනිමින් ද යන්න සිතාගන්නවත් නොහැකි යැයි ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප‍්‍රකාශ කළේය.

”අපි කැලෑවල මේ විධියට අසරණ වෙලා ජිවත්වෙන කොට, නාවික හමුදාවට අත්පත්කරගෙන තිබෙන අපේම ගෙවල් දොරවල්වල කොළඹින් එන අය නිවාඩු ගතකරනවා දකින කොට, ඒ ළමයි ගස්වල ඔන්චිල්ලා බැඳගෙන විනෝද වෙන කොට අපේ කුඹුරු නාවික හමුදාවෙන් අස්වද්දා ගන්නකොට අපි කොහොමද මේවා දාරාගෙන ඉන්නේ ”
යැයි මුල්ලිකුලම ගමේ තරුණයෝ වේදනාවෙන් යුතුව ප‍්‍රශ්න කරති.

ඔවුන් මේ නිරික්‍ෂණය කළේ, පුජක දිවියට ඇතුළු වු සිය ගමේ පුජක පුතකුගේ පළමු දිව්‍ය යාගය සිය දේවස්ථානයේ සිදුකරන්නට නාවික හමුදාව විසින් අවසර ලබාදීමෙන් පසුව දිව්‍ය පුජාව සඳහා ගමට පය තැබු දවසේය. ඔවුන්ගේ ගේ දොර, දේපොල තවත් කවුරැත් විනෝදවීම සඳහා සන්තෝෂයෙන් පරිහරණය කරනවා, ඔවුන්ගේ කුඹුරු අස්වැන්න තවත් කවුරුත් භුක්ති විඳිනවා ඔවුන්ගේම දැසින් දකින්නට සිදුවීම කෙතරම් අකාරුණිකද ? කෙතරම් සදාචාර සම්පන්න ද ? කෙතරම් යුක්ති සහගත ද? ඒ අවසානාවන්ත, අසාධාරණ දර්ශන වසර ගණනාවක් දුකම ඉසිලූ, වසර ගණනාවක් දුක් පීඩා දරා සිටි මුල්ලිකුලම ගමේ අහිසංක දමිළ ජනතාවගේ හදවත්වලට කෙසේ නම් දරාගන්න හැකිදෝ යි යන දැඩි කම්පනයෙන් යුතුව අපි එදිනට ඔවුන්ගෙන් සමුගත්තේ යළිත් ඔවුන් බලන්නට මරිච්චිකට්ටු කැලෑ ගමට එනවා කියන ආදරයේ පොරොන්දුව ඔවුන් හදතුළ තබමිනි.


සටහන සහ ජායාරූප මෙලනි මානෙල් පෙරේරා[Melani Manel Perera]

###

More Photos