සිංහල, Colombo, Democracy, Media

වැඩිහිටියන්ට පමණයි – තහනමේ දේශපාලනය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

මැති ඇමැතිවරු සීරුවෙන් සීරුවෙන්
පෙන්වා දෙති මහ රජුන් හට
ලෙහෙසි නැති පහසු නැති කාරියක් බව
පාලනය ලිඟු
පාලනය ලිඟු

රජුන්ගේ උදහසින් යම් කෙනෙක් සිය බිරිය හා සංසර්ගයේ යෙදුණි නම්
කපා දමනු ඇත පුරුෂ නිමිත්ත – සැක නැත
පාලනය පිණිස රට පාලනය පිණිස රට පාලනය

………

ඩොසන් ප්‍රීති විසින් රචිත මේ කවිපේළි බූන්දි වෙබ් අඩවිය වෙනුවෙන් විද්‍යුත් තැපෑලෙන් ලැබුනේ මේ සතියේ කුමක් ලියමිදෝ යැයි හීතලට සාප කරමින් සිහින සමඟ අඩ නින්දෙන් ගෙවුණු ලංඩන් රැයක් (28.07. 2009) කෙළවර ය. සම්පූර්ණ කවිපෙළ http://www.boondi.lk/ හි ඇති.

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට තහනම මෙන්ම අසැබි යැයි ආණ්ඩුව සළකන වෙබ් අඩවි තහනම පිළිබඳ ලියන්නට මට සිතුනේ එවිට ය. පෙරදා රැයෙහි අප මිතුරු මිතුරියන් දෙතුන් දෙනෙකු අතර මධු විතට බයිට් ලෙස ගැනුණේ වත්මන් ශ්‍රී ලංකාවේ තහනම් දේශපාලනය නොහොත් සදාචාර පොලීසිය යි: මතට තිත සහ ප්‍රසිද්ධ ස්ථානවල මත්පැන් බීම තහනම, ඉරිදා උපකාරක පන්ති තහනම, පාසැල්හි ජංගම දුරකථන තහනම, පුවත් වෙබ් අඩවි තහනම, යුද පුවත් තහනම, සරණාගත කඳවුරු වාර්තා කිරීම තහනම, සරසවි කලා උළෙල එක් දිනකට වඩා තහනම, යුද විරෝධි චිත්‍රපට තහනම, රාජ්‍ය නොවන සංවිධාන තහනම, විදේශ සඟරා තහනම, විදේශ ජනමාධ්‍යවේදීන් තහනම, ලිංගික වෙබ් අඩවි තහනම, තීරුබදු රහිත සංකීරණයේ සිගරට් වෙළදාම තහනම, රාත්‍රි සංගීත සාද තහනම, විදේශ චිත්‍රපට බදු මගින් වක්‍ර තහනම, ???

සංස්කෘතික ඇමැති මෙසේ කී බව ජනමාධ්‍ය වාර්තා කළේ ය: “ මින් පසු වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවලට අවසර දෙනු නොලැබේ. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල පළවන වෙළෙඳ දැන්වීම් රැඟුම්පාලක මණ්ඩලයේ අනුමැතිය ඇතිව ප්‍රචාරය කළ යුතු ය. අසභ්‍ය හා අශ්ශීල ප්‍රකාශන මුද්‍රණය කරන හෝ ලඟ තබා ගන්නා හෝ අලෙවි කරන පුද්ගලයිනට බරපතල දඬුවම් දීමට නව නීති හඳුන්වා දෙමි. ජංගම දුරකථන සඳහා ආගන්තුක තොරතුරු ඇතුලත්වීම එම දුරකථන සමාගම් විසින් වැළක්විය යුතු ය. ප්‍රසිද්ධ රැඟුම් පාලක පණත බලවත් කරනු ඇත” ආණ්ඩුවේ නිල තොරතුරු වෙබ් අඩවිය ඊට පෙර කියා සිටියේ ලිංගික දර්ශණ සහ විඩියෝ ඇතුළත් වෙබ් අඩවි 12ක් තහනම් කළ බව යි.

අපේ පිළිසඳර එක් ප්‍රශ්නයක් වටා කර කැවුණි. එනම් මේ තහනම් සියල්ල හෝ බහුතරය එකම ක්‍රියාදාමයක් ද? නැත්නම් තනි තනි පිස්සු ඇමැතියන්ගේ විකාර කතා සහ වැඩද යන්න යි. එසේත් නැත්නම් මෙම තහනමේ දේශපාලනය කුමක්ද යන්න ය.

මෙම බොහෝ පියවරයන් පුරවැසියන්ගේ ජීවිතය පාලනය කිරීම පිණිස ගැනෙනු ලබන ඒවා ය. ඉරිදාට ආගමික කටයුතු හැර ඉගෙනීමේ කටයුතු නොකළ යුතු ය. පාසැල් යන ඉහළ පංතින්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා ජංගම දුරකථන පාචිච්චියෙන් ඉවත් කර තැබිය යුතු ය. මන්ද යත් ඒවා මගින් කොල්ලන් කෙල්ලන් ආදර කතා බස් දොඩන නිසා ය. වැඩිහිටියන් වුව ලිංගික දර්ශන ඇතුළත් චිත්‍රපට නොබැලිය යුතු ය. මන්ද යත් එමගින් වැඩිහිටි අප නරක් වන නිසාය. අනෙක් අතට අපේ දරුදැරියන් ද එම වැඩිහිටි සාහිත්‍ය රසවිඳ තවත් නරක් විය හැකි නිසා ය.

ආණ්ඩුවේ උදවිය අපට කියනු ඇත්තේ මේ සියල්ල “අපේ හොඳට” බව යි. ඊටත් වඩා අපේ දරුවන්ගේ “හොඳට” ගන්නා පියවර බව යි. රටක සාහිත්‍ය දරුවන්ගේ මට්ටමෙහි රඳවා තැබිය යුතු නම් ලොව බිහිවූ ඉතාම අගනා සාහිත්‍ය කෘතීන් ගිනි දෙවියාට පූජාකළ යුතුව තිබුණි. එච්.ඩී ලොරන්ස් විසින් රචිත චැටර්ලි ආර්‍යාවගේ පෙම්වතා කෘතිය තහනම් කළ යුතු ද නැත් ද යන්න පිළිබඳව පැවැති නඩු විභාගයෙහි දී අධිකරණය කියා සිටි පරිදි රටක සාහිත්‍ය වයස 16න් පහළ දරුවන්ට යෝග්‍ය මට්ටමෙහි රැඳවිය යුතු නම් එවැනි රටක නිර්මාණ සාහිත්‍යයක් බිහිවන්නේ නැත. නමුත් දැන් ශ්‍රී ලංකාවේ සාහිත්‍ය අගැයීමට යන්නේ 16න් පහළ දරුවන් ඒවා බැලිය යුතු ද නැත්ද යන මිණුම් දණ්ඩෙනි.

යුද පුවත් වාරණයේ සිට ජංගම දුරකථන තහනම හරහා වැඩිහිටි චිත්‍රපට වාරණය දක්වා අපට දැක ගත හැකි එක් තර්කයක් තිබේ. එනම් රාජ්‍යයේ අධිකාරී බලය පාවිච්චි කිරීම මගින් සමාජය පාලනය කිරීම යි. මෙලෙස බලය මගින් පාලනය සාධාරණ කෙරෙන්නේ රට ජාතිය ආගම රැක ගැනීමේ සිට දරුවන් රැක ගැනීම දක්වා වන සාදාචාරවත් තර්ක විතර්ක මගිනි. සාකච්ඡාව, සංවාදය සහ සම්මුතිය වෙනුවට බලය මගින් පාලනය කිරීම මෙම ක්‍රියාදාමයේ ප්‍රධාන ලක්ෂණය යි. එම ක්‍රියාදාමය පිටුපස ඇත්තේ පුරවැසියාට හොද නරක සියළු දෙය තීරණය කිරීමට අයිතිය ඇත්තේ රජයටය යන තර්කය යි. ඉදිරියේ දී එම බලය සමහර විට මහරජානන්ට සහ යුව රජවරුන්ට පමණක් අයිති විය හැකි ය.

ජංගම දුරකථනය දුර බැහැර සිට පාසැලකට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උපකාරයක් විය හැකි ය. පාසැල අවසන්ව අනෙක් මිතුරු මිතුරියන් සමඟ උපකාරක පංති කරා යාමට සහායක් විය හැකි ය. හදිසි පුවත් දැන ගැනීමේ මාධ්‍යක් විය හැකි ය. එය හොඳක් ලෙස සළකා පංති කාමරයට හානියක් විය නොහැකි පරිදි විසඳුමක් සොයනු වෙනුවට රාජ්‍යයේ අධිකාරී බලය මගින් තහනමක් ගෙන ඒමෙන් පෙන්වන්නේ බලයේ තේජස හැර ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයක් නොවේ. ලිංගික වෙබ් අඩවි දරුවන් බැලීමෙන් ළමා මනස අවුල් විය හැකි බව සැබෑ ය. නමුත් ඒ නිසා වැඩිහිටියන් ද එම වෙබ් අඩවි නොබැලිය යුතු යැයි තීරණය කරන්නට රජයට අයිතියක් දී ඇත්තේ කව්ද? ලිංගිකත්වය අරුමයක් නොවේ. ජීවීතයේ කොටසකි. අවාසනාවකට අප බොහෝ දෙනෙකු සිතීමට කැමැත්තේ ලිංගිකත්වය යනු අඳුර වැටුණු පසු ක්‍රියාත්මක වන දෙයක් කියා ය. අපේ පාසැල් හි ලිංගික අධ්‍යපනයට තැනක් නැත්තේ ද මෙවැනි පසුගාමී මතවාද නිසාය. විසඳුමක් සෙවිය යුතු තැන තහංචි පැණවීම ප්‍රශ්නය විසදීමක් නොව යට ගැසීමකි.

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට වාරණය ගැන ගුණසිරි සිල්වා චිත්‍රපට ලෝකයේ විවිධ පිරිස් සමඟ කළ සාකච්ජාවක් ලංකා ඊනිවිස් වෙබ් අඩවියේ කියවූයෙමි. ඉන් බොහෝ දෙනෙකු මෙම තීරණයට විරුද්ධත්වය පා තිබුණි. ජැක්සන් ඇන්තනි කියා තිබුණේ කාමුක චිත්‍රපට තහනමක් අපත් ඉල්ලා සිටියා නමුත් මේ තහනම පමණ ඉක්මවීමක් බව යි. මාලිනි පොන්සේකා කියා තිබුණේ මේ තහනම ඉංග්‍රිසි චිත්‍රපට වලට නිසා කමක් නැති බව යි. තහංචි පටන් ගන්නා විට ඒවාට අවසානයක් ඉල්ලා සිටීමට නොහැකි බව අප සමහරකු තේරුම් ගන්නේ නැත. ඊටත් වඩා මේ තහනම් සදාචාර දේශපාලනයේ පදනම තේරුම් ගැනීමට දැරෙන උත්සාහයක් ඇත්තේ ද නැත.

යුද පුවත් වාරණ තහනම පැණවූයේ යුද්ධ හමුදාවන්හි සටන්කාමි ජිවගුණය දුර්වල වීම වැලැක්වීමට ය කියා ය. අන්තිමේ දී දැන් සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහමුලින්ම වාගේ රාජ්‍ය පිළිවෙතෙහි ස්ත්‍රෝත්‍ර ගායකයින් බවට පත් වීම ය. විවේචනය සහ ගවේශනය වෙනුවට ස්වයං වාරණය ජනමාධ්‍ය පිළිවෙත බවට පත් වීම ය.

“අපේ හොඳට” ආණ්ඩුවකට ගැනීමට අයිතිය ඇති පියවරෙහි සීමාවක් තිබේද? එල්ටීටීඊ ය එයට බලය තිබූ කාලයේ “අපේ හොඳට” ස්ත්‍රින් සඳහා නීති 10ක් පැනවුයේ ය. එහි ඇදුම් අඳින පළදින සැටි පවා නීතියෙන් නියම කර තිබුණි. යම් යම් රටවල මහා ජනයාට පණවා ඇති නීති රීති මගින් ඔවුන්ගේ ඇඳුම් පැළදුම් වල සිට ලිංගික ජීවිතය පවා පාලනය කරන බව අපි දනිමු.

අද මෙරට ද “අපේ හොඳට” සදාචාර පොලීසියක් නිර්මාණය කරමින් සිටින බව පසුගිය කාලය පුරා ක්‍රියාවට නංවන ලද නීති රීති මගින් පෙනේ. අප පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්ණය මෙය යි: පුරවැසියන්ගේ පුද්ගලික ජිවිතයට ඇඟිලි ගැසීමට රාජ්‍යට අයිතියත් ඇත්තේ කුමණ අවස්ථාවන්හි දී ද? රාජ්‍ය එම සීමාව ඉක්මවා යන්නේ කුමණ අපේක්ෂාවන් නිසා ද?

පුරවැසියකුගේ අයිතීන් සීමා කිරිමට රජයකට අයිතිය ඇත්තේ අනෙකෙකුට වන හානිය වැළැක්වීමට පමණි. මෙම තහංචි බොහොමයක් එම සීමාව පසුකරයි. එම සීමාව ඉක්මවා යන්නේ අනෙක් දේශපාලන අපේක්ෂාවන් ඇති විට ය. එනම් නූතන රාජ්‍යයේ පදනම් මූලධර්මය වන ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වනු වෙනුවට සදාචාරවාදී බහුතරයක් ගොඩ නඟා ගැනීම මගින් පාලනය තහවුරු කර ගැනීම පිණිස ය. සදාචාරවාදී (ආගමිකවාදී ජාතිකවාදි) බහුතරයන් සෑම විටම පදනම් වන්නේ බහුත්වවාදය සහ අනෙක් මත ඉවසීම මත නොව අනෙකා යටපත් කිරීම මත ය. එය ඇරඹෙන්නේ අහිංසක ලෙස විය හැකිය. නමුත් අවසානය රජයේ අධිපත්‍යට පුද්ගලයාගේ නිදහස සහමුලින්ම යටපත් කර දැමීමයි.

ඩොසන් ප්‍රිති සිය කවිපෙළ අවසන් කරන්නේ මෙසේ ය:

අලුත් අණ පණත් එන දිනය නම්
නුදුරෙම ය.
ලබ්බටත් අත පුහුලටත් – කජ්ජටත් එයම වනු ඇත ..පාලනය රට ..පාලනය රට
ලෙහෙසි නැත පහසු නැත පාලනය ලිඟු පාලනය
………