Colombo, Featured Articles, Features

එජාපයේ 18 වන සංශෝධනය


මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට එක් කරන ලද 18වන සංශෝධනයේ විපාක දැන් පැවැත්වෙන පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය තුළ අපි සියළු දෙනා අත් දකිමින් සිටිමු.

17වන සංශෝධනයෙන් නව වසරක් ද 18වන සංශෝධනයෙන් දෙවසරක් ද ගතවීත් මැතිවරණ කොමිසමක් පත් කර නැත. පොලිස් කොමිසම පුස්සකි. මානව හිමිකම් කොමිසම දවල්ටත් නිදි ය. ඒ එජාපය 1978 දී ඇතිකළ විධායක ජනාධිපතිධුරයේ බලපරාක‍්‍රමය නිසා ය. සියළු කොමාසන් සභා විධායකයට යටත් ය. එජාප ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කියා සිටි පරදි ඔහුගේ ව්‍යවස්ථාව යටතේ ගැහැණියක පිරිමියකු කිරීම හැර වෙනත් ඕනෑම වෙනසක් රටෙහි ඇති කිරීමට බලය ලැබුණි. ජනාධිපති රාජපක්ෂ ඒ බලපරාක‍්‍රමය උච්චස්ථානකට ගෙන යමින් 18වන සංසෝධනය යටතේ සදාකාලික ජනාධිපතිවීමට අවශ්‍ය පූර්ව නිතිමය කොන්දේසි සම්පූර්ණ කර ගත්තේ ය.

මානව හිමිකම් නීතිඥ ජේ.සී. වැලිඅමුණ මෑතදී පළ කළ ලිපියක් මගින් කියා සිටියේ ඔහුගේ අදහස අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රම මගින් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය වෙනස් කිරීමට ඇති අවකාශ සියල්ළ දැන් අහෝසි වී යමින් ඇති බවයි. ඔහු මෙසේ කීවේය:

‘‘17වන සංශෝධනය යටතේ කවර හෝ ජන්ද අපේක්ෂකයකුට වාසියක් හෝ පාඩුවක් වන ලෙස රාජ්‍ය සම්පත් යොදා ගැනීම යම්දුරකට ප‍්‍රායෝගික ලෙස වැළැක්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට අධිකාරයක් තිබුණි. එනමුත් මෙම ප‍්‍රතිපාදනය 18වන සංසෝධනය මගින් දියකර දමන ලදී. ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක ඉතිහාසය පෙන්වන්නේ 18වන සංසෝධනය මගින් මැතිවරණ කොමසාරිස්වරයාගේ බලය සිඳළීමෙහි අරමුණ වූයේ කොමසාරිස්වරයාගෙන් කිසිදු බාධාවකින් තොරව පාලක පක්ෂයේ වාසිය පිණිස රාජ්‍ය සම්පත් සමස්තයක්ම වශයෙන් යොදා ගැනීමේ අවශ්‍යතාවය යි. මගේ අදහස අනුව නම් මෙතැන් සිට විපක්ෂයට කිසිදු සැළකිය යුතු සාමකාමී මැතිවරණ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ඉතා දුෂ්කර ය’’

ජනාධිපති රාජපක්ෂ 18වන සංශෝධනය සම්මත කර ගත්තේ පරාජය කරන ලද එල්ටීටීඊ යේ දේශපාලන සංවිධානාත්මක ව්‍යුහය ආවේශ කර ගැනීමෙනැයි මෙම තීරුවෙහි මම ඒ අවස්ථාවෙහි ලියුවෙමි. දැන් එක්සත් ජාතික පක්ෂය ගැන කියන්නට ඇත්තේ එය සිය 18වන සංසෝධනය සම්මත කර ගෙන ඇත්තේ ජනාධිපති රජපක්ෂගේ අර්ධ ඒකාධිපති දේශපාලනය ආදේශ කරගැනීමෙන් බවයි.

ශ‍්‍රී ලංකා පුරවැසි සමාජය සිය අයිතීන් උදෙසා අනවරත අරගලයන්හි (සරසවි ආචාර්්‍යවරුන්ගේ වැඩ වර්ජනය, උසස් පෙළ සිසුන්ගේ උද්ඝෝෂණ, සිය අයිතීන් උදෙසා දෙමළ ජනතාව යෙදී සිටින උද්ඝෝෂන, මැර දේශපාලනයට එරෙහිව නීති සහ අධිකරන ක්ෂේත‍්‍රයේ නැගිටීම් යනාදී වශයෙන්) විවිධාකාර යෙදී සිටින මෙම ඉතිහාසීය මොහොතෙහි එක්සත් ජාතික පක්ෂය සිය වැදගත්ම කාරිය ලෙස සළකා ඇත්තේ පක්ෂයේ ඉතිරිව තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් පිටමං කිරීම යි. එමගින් පක්ෂය තවත් පටුකර ගැනීම යි.

ශ‍්‍රි ලංකාවෙහි නැගී එමින් තිබූ සමාජ සාධාරණ දේශපාලනයට එනම් මුල් කාලීන වාමංශික පක්ෂයන්ට එරෙහිව ධනපති විකල්පය ලෙස 1946 දී බිහිවූ එජාපය ආරම්භයේ දී සිය ව්‍යුහය සකස් කර ගත්තේ බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පක්ෂ විශේෂයෙන්ම බි‍්‍රතාන්‍ය දේශපාලන පක්ෂ අනුකරනය කිරීමෙනි. ඒ අනුව වාර්ශික පක්ෂ සම්මේලනය ප‍්‍රාදේශීය නියෝජිතයින්ගෙන් සැඳුම් ලද අතර පක්ෂ නායකයා තෝරා ගන්නා ලද්දේ නියෝජිත ජන්දයෙනි. එසේ නමුත් 1946 වසරේදී පක්ෂයේ භාණ්ඩාගාරික වූ ජේ. ආර්. ජයවර්ධන 1977 මහා මැතිවරණයට පෙර එහි නායකයා ලෙස එජාපය තමාගේ අධිකාරයට යටත් පක්ෂයක් බවට පත් කැරෙන සංසෝධන ඇතුළු කළේ ය. එමගින් නායකයා පත් කිරීමේ පක්ෂ සාමාජිකයින්ගේ අයිතිය අහෝසි වූ අතර පක්ෂයේ ක‍්‍රියාකාරී කමිටුව පත් කිරීම ද නායකයාගේ අධිකාරය බවට පත් විය. ශ‍්‍රී ලංකාව අද මුහුණදී සිටින බොහෝ ප‍්‍රශ්ණ උග‍්‍ර කරන ලද්දේ එළෙෂ පක්ෂ තුළ ඒකාධිපති බලයක් ලබාගත් ජේ.ආර්. ජයවර්ධන ඒ අන්වම යමින් රටෙහි ඇති කළ 1978 ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය විසිනි.

2012 දී දිගින් දිගටම ලද මැතිවරණ පරාජයන් ගණනාවක විපාකයක් වශයෙන් සිය නායකත්වය විවේචනයට හ අභියෝගයට ලක්ව ඇති රනිල් වික‍්‍රමසිංහ එජාපය දැන් තව දුරටත් නායකයාගේ පුද්ගලික අධිකාරයට යටත් කර තිබේ. ඔහුගේ නායකත්වය යටතේ සම්මත කර ගන්නා ලද පක්ෂ ව්‍යවස්ථා සංසෝධනයන්ට අනුව පක්ෂ නායකයා තෝරා පත් කර ගැනෙන්නේ වසර හයකට වරක් පමණි. එනම් එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙක් පත් කර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ 2018 වසරේදී පමණ ය! මේ නම් ලොව කවර ඒකාධිපති පාලකයකු වුව ඊර්ෂාවට පත්වන තරමේ පුදුමාකාර පක්ෂ සංවිධාන පිළිවෙතකිි.

එපමණක් නොවේ. පක්ෂයේ උප සභාපති, මහ ලේකම් සහ භාණ්ඩාගාරික පත් කැරෙන්නේ කවර හෝ ජන්දයකින් නොව නායකයා වන රනිල් වික‍්‍රමසිංහගේ කැමැත්ත අනුව ය. පක්ෂයේ නායකයා පත් කැරෙන ක‍්‍රියාකාරී කමුටුවේ සාමාජිකයින් පත් කැරෙන්නේ ද නායකයා ම විසිනි. !!

මේ වනාහී එක්සත් ජාතික පක්ෂයේ 18වන සංශෝධනය නොවේ නම් කුමක් ද? මෙම සංශෝධනය විසින් පෙන්නුම් කරන්නේ එජාපයේ ශක්තිය නොව එය මුහුණ දී සිටින අවසානයක් නැති අර්බූදය සහ එම අර්බූදය හමුවෙහි රනිල් වික‍්‍රමසිංහ පත්ව ඇති කණගාටුදායක තත්ත්වය යි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනික ව්‍යුහයේ මූලික කොන්දේසියක් වන බල විභේදනය මෙම සංසෝධනය විසින් කණු බක්කියට යවයි. බල විභේදනයෙන් අදහස් කරන්නේ ප‍්‍රධාන බල ආයතන එකිනෙකින් ස්වාධීන කිරීමත් එමගින් පාලනයේ පාරදෘශ්‍යබව සහ අධිපතිවාදී ප‍්‍රවණතාවයන් පාලනය කිරීමත් ය.

ශ‍්‍රී ලංකාව අද මුහුණ දී සිටින අර්බූදයේ එක් පැතිකඩක් වන්නේ යහ පාලනය සහ නීතියේ පාලනය නැති කමයි. එවැනි රටක බලයට ඒමට කල්පනා කරන පක්ෂයක් තමන්ගේ පැවැත්ම මගින් පෙන්නුම් කළ යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය සහ විවිධ අදහස් සහ ප‍්‍රවණතාවයන් සඳහා අවකාශ සැළසීමට ඇති සූදානම නොවේ ද? නමුත් එජාපය අද පෙන්වන්නේ එය බලයට පැමිණිය හොත් දැනට තිබෙනවාටත් වඩා ඒකාධිකාරී පාලනයකට ඇති කැමැත්තය.

‘‘රනිල් පිරිසිදු දේශපාලනඥයෙක්. ඔහු බලයට ආවහම නියම විදිහට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරාවි’’ යැයි කල්පනා කරන පිරිස් ද සිටින්නට පුළුවන. ඔවුන් ඒ සඳහා බැලිය යුත්තේ මහින්ද රාජපක්ෂ දෙස ය. විපක්ෂයේ සිටිය දී මානව හිමිකම් සහ කම්කරු ප‍්‍රඥාප්ති සිය දේශපාලනය කර ගත් ඔහුට අද ඒ කිසිවක් මතක නැත. අප විශ්වාසය තැබිය යුත්තේ පුද්ගලයින් මත නොව පද්දතීන් මත ය.

නායකයාට පක්ෂය පාලනය කිරීමට සියළුම බලතල සංකේන්ද්‍රණය කර ගැනීම අවශ්‍ය යැයි කල්පනා කරන පක්ෂයක් රට පාලනය කිරීම පිණිස ද එවැනිම ව්‍යුහයක් අවශ්‍ය යැයි නොසිතනු ඇතැයි කල්පනා කළ නොහැකිය. ඇත්ත වශයෙන්ම නම් නායකයා ඒකාධිපතියකු බවට පත් කැරෙන මෙම සංසෝධනය සම්මත කිරීම මගින් එක්සත් ජාතික පක්ෂය අපට පෙන්නුම් කරන්නේ පෙනෙන තෙක් මානයක සි¥ නොවනු ඇති නමුත් එය කවදාක හෝ බලයට පැමිණිය හොත් එම පක්ෂය විසින් රට පාලනය කරනු ඇති අන්දම යි.

සිය ව්‍යුහය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කරන දේශපාලන පක්ෂයක් රට පාලනය කරන ව්‍යුහය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කරනු ඇතැයි සිතීම ? වැටුනු වළේ මහ දවල් වැටීමක් වනු ඇත. මෙම වර්ධනය විසින් යළිත් වතාවක් අපට පෙන්වා දෙන්නේ පාලනයේ වෙනසක් නොව ක‍්‍රමයේ වෙනසක් සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය යි.

ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ බලය තමන් අතැතිව පළාත් සභා මැතිවරණ පැවැත්වීම, ජනාධිපති සහ පළාත් සභා බලය තමන් අතැතිව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම, පළාත් සභා සහ පාර්ලිමේන්තු බලය තමන් අතැතිව ජනාධිපතිවරණය පැවැත්වීම සහ ඒ සෑම අවස්ථාවකදීම රජයේ සම්පත් උපරිම වශයෙන් අනිසි පරිහරණය යනාදී වශයෙන් සකස් වී ඇති ශ‍්‍රී ලංකාවේ දූෂිත මැතිවරණ ක‍්‍රමය සමඟ දැන් එජාපයේ නායකත්වය පත් කර ගැනීමේ ක‍්‍රමය ද ජාඩියට මූඩිය මෙන් ගැලපේ.

මහින්ද රාජපක්ෂ පාලනය 18වන සංශෝධනය මගින් ශ‍්‍රී ලංකාවේ යහ පාලනය වළපල්ලට යැවූ කළ ඊට එරෙහිව කොතෙක් උද්ඝෝෂණ, රුස්වීම්, පැවැත්වුනි ද? කොතෙක් ලිපි, පත‍්‍රිකා, කතුවැකි යනාදිය ලියැවුණි ද? දැන් විකලප ආණ්ඩුව ලෙස සැළකෙන ප‍්‍රධාන විපක්ෂයේ මෙම ඒකාධිපතිවාදී ප‍්‍රවණතාවය සම්බන්ධයෙන් අඩුම වශයෙන් ඉන් සියට එකක හෝ උනන්දුවක් විරෝධයක් නොමැතිවීම කොතරම් අභාග්‍යක් ද?

සුනන්ද දේශප‍්‍රිය[Sunanda Deshapriya]

[Photo by -www.asianmirror.lk]