වව්නියාවේ සෙටිටිකුලම් ප්‍රදේශයේ පිහිටි සහන ගම්මානයක රඳවා සිටින මගේ දෙමාපියන්, නැගනිය හා ඇයගේ වයස අවුරුදු 10 අඩු දරුවන් සිව්දෙනාත්, අංගවිකල තත්ත්වයෙන් පෙලෙන සහෝදරයාත් බැලීමේ උවමනාවෙන් ජර්මනියේ වෙසෙන මම පසුගිය මැයි මාසේ අවසානයේ ලංකාවට පැමිණියා. ඔවුන් රඳවා සිටින ප්‍රධන කඳවුරු සංකීර්ණයේදී මට අත්විඳින්න ලැබුනේ මිනිස්කමට නොවන කෘර තත්ත්වයක් බව කිව යුතුයි. ඉතා අවම පහසුකම් මැද අමානුෂික ලෙස මිනිසුන් රඳවා තබාගෙන සිටින බව දකින්නට ලැබුනා.
ඔවුන්ව රඳවා ඇති කුඩාරම ඉතා කුඩා එකක්. පලල මීටර් 2.5 පමණ වන, දිග මීටර් 7 හෝ 8 පමණ කූඩාරමක මිනිසුන් 19 දෙනෙකු පමණ රඳවා තිබුණා. මාගේ දෙමාපියන් සිටින කඳවුර රාමනාදන්පුර සහන ගම්මානය වශයෙන් හඳුන්වා තිබුනද එහි කිසිම සහනයක් ඇතිබවක් පෙනෙන්නට තිබුනේ නැහැ. ඔවුන්ව එහි තබාගෙන සිටින්නේ රැඳිවියන් ලෙසයි. එය පැහැදිලිවම රැඳවුම් කඳවුරක් බව කිව යුතුයි. එහි ජීවත්වන මිනිසුන් බොහෝ අසීරුකම් මැද්දෙයි ජීවත්වන්නේ.
උදාහරණයක් ලෙස කියනවනම් බීමට වතුර ටිකක් ගන්න ඔවුන්ට පැය ගනන් පෝලිම් වල ඉන්න සිද්ධවෙනව. වැසිකිලියට යන්න අවම තරමේ පැය පහක්වත් බලා ඉන්න වෙනව. ඔවුන්ට කෑමබීම ලබාගන්න බලා ඉන්න වෙනව, ඔවුන්ට බෙහෙත් ගන්න බලා ඉන්න වෙනව, රෝහලකට යාමට හෝ වෛද්‍යවරයෙකු මුණගැසීමට අවම තරමේ පැය පහක්වත් බලා ඉන්න සිදුවෙනව. අනෙක් නරකම තත්ත්වය නම් හිටිගමන් කිසිදු දැනුම් දීමකින් තොරව වෙනත් කඳවුරු වලට මාරු කිරීමයි.
හදීසියේ පැමිණෙන ආරක්ෂක අංශ වහන අතට අහුවෙන අයව වාහනයේ දමාගෙන යන්නේ කුමක් සඳහා කෙහේ ගෙනියන්නේ ද යන්නවත් නොකියායි. එසේ ගෙනියන අයව අලුතින් ගොඩනගන ලද කලාප අංක 4 හෝ 5 යයි හදුන්වන කඳවුරු තුළ රඳවනු ලබනව.
සාමාන්‍යයෙන් අමුත්තන්ට කඳවුර ඇතුලට යාමට අවසර ලැබෙන්නේ නැහැ. කඳවුරතුළ සිටින ඥාතීන් බැලිමට අවශ්‍ය ඥාතීන් ප්‍රථමයෙන් කඳවුරෙන් එලියේ තිබෙන මිලිටරි පොලිස් මුරපොලේ ලියාපදිංචි විය යුතුයි. ඉන් පසුව තම නම අඬගසන තෙක් පැය කිහිපයක් බලා සිටීමට සිදුවෙනව. තමන් බැලිමට පවුලේ ඥාතීන් පැමිණ එළියේ රැඳී සිටින බව කඳවුර තුළ සිටින ඥාතීන්ට දැනුම් දෙනු ලබන්නේ ඉන් පසුවයි. තමන් බැලීමට ඥාතීන් පැමිණ ඇති බව ඔවුනට ඇසුනොත් ඔවුන් ඥාතීන් බැලිම සඳහා පැමිණෙනව. ඒ සඳහා විනාඩි 30, පැයක් හේ සමහර විට පැය පහක් පමණ බලා සිටීමට සිදුවනවා. සමහර වෙලාවට ඔවුන් පැමිනෙන්නේ නැහැ. වව්නියාවේ හෝ වෙනත් ඕනෑම තැනක සිට ගියත් සමහරවිට ඔබට ඔවුන්ව නොබලා හිස් අතින්ම ආපසු යාමට සිදුවනවා.
ඔබට ඔබේ ඥාතීන් හමුවිමට අවස්ථාව ලැබුනහොත් කටුකම්බි රෝලකට දෙපැත්තේ සිටයි කතා කිරීමට අවස්ථාව ලැබෙන්නෙ. ඒ කියන්නේ ඔවුන් කඳවුර ඇතුලෙ ඔබ කඳවුරෙන් එළියෙ. මුණගැසිමට ලැබෙන කාලය විනාඩි 15 කි. ඔබ වාසනාවන්ත නම් සමහර විට ඔබට ආරක්ෂක අංශය තවත් විනාඩි 15 ලබාදෙනව .
මා කී පරිදි 21 වැනි සියවස වගේ කාලයක මිනිසුන් ලක්ෂ තුනක් පමණ මෙසේ ඉතාම අමානූෂීක හා ප්‍රාථමික තත්ත්වයක් යටතේ තබාගෙන සිටීම ඉතා ඛේදජනක තත්ත්වයක්.
ශ්‍රී ලංකා ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසුව මේ ජනතාව තමන්ගේම පුරවැසියන් බව. එහෙත් ඔවුන්ට සලකන ආකාරයෙන් ඒ බව පෙනෙන්නේ නැහැ. ඔබට විශ්වාස කරන්නත් බැරිවේවි. රාජ්‍ය නායකයා තමන්ගේ යැයි හඳුන්වන ජනතාවකට සලකන ආකාරය.