නැගෙණහිර මැතිවරණය විසින් පෙන්වාලන අන් කවර හෝ ලක්ෂණයකට වඩා කැපී පෙනෙන ලක්ෂණය නම් මහින්ද රාජපක්ෂ පාලනය සිය බලය ගැන කොතරම් අහංකාරයෙන් කටයුතු කරන්නේ ද යන්න යි. එමෙන්ම ඛෙදා පාලනය කිරීම මගින් සිය බලය වඩා තහවුරු කර ගැනීම එම කොතරම් විචක්ෂන ලෙස කටයුතු කරන්නේ ද යන්න යි. මේ ලක්ෂණ ගැන කතා කිරීම වැදගත් වන්නේ එය හුදෙක් නැගෙණහිර මැතිවරණය පිළිබඳ ප්‍රශ්ණයක් නොව රාජ්‍ය පාලනය පිළිබඳ රාජපක්ෂ දර්ශනයේ කැඩපතක් ද වන නිසා ය.
පාලක සන්ධානය තුළ මහින්ද රාජපක්ෂ මහතාගේ දීර්ඝ කාලීන දේශපාලන මිතුරන් වන්නේ පැරණි වමේ පක්ෂයන් ය. මහින්ද රාජපක්ෂ වැඩකරන ජනයාට පක්ෂපාතී දේශපාලනඥයකු ලෙස සිය ප්‍රතිරූපය ගොඩ නඟා ගත්තේ එකී පක්ෂ පැරණි වමේ පක්ෂ සමඟ හවුල් වෙමිනි. නමුත් ඔහු නැගෙණහිර පළාතේ දී එකී පක්ෂ තුන එක්ව තමන්ට එක් දිසාවකින් එක් අපේකෂකයකු බැගින් පත් කිරීමට ඉඩ දෙන ලෙස කළ ඉල්ලීම කුණු කුඩයට දැම්මේ ය. රාජපක්ෂ දැක්ම විසින් අනාථ කරන ලද මේ පක්ෂ තුන සමාජවාදී සන්ධානය නමින් දැන් නමට පමණක් නැගෙණහිර පළාතේ මැතිවරණයට අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කර තිබේ. එම සමාජවාදී සන්ධානය මුස්ලිම් කොන්ග්‍රසය තනිව තරඟ කිරීමට තීරණය කිරීමෙන් පසු තමන්ට දිසා තුනෙන් අපේක්ෂක ධුර තුනක් ලබා දීම ඉතා පහසුවෙන් කළ හැකිව තිබූ බවට සාධාරණ මැසිවිල්ලක් ද ඉදිරිපත් කළේ ය. සමාජවාදී සන්ධානය පාලක සභාගය වෙත යොමු කළ විවෘත ලිපියකින් කියා තිබුණෙ, නැගෙණහිර මැතිවරණය කර ගෙන යන අන්දම නිසා මූලධර්මවාදී සහ ඛෙදුම්වාදී බලවේග ශක්තිමත් වෙමින් රටෙහි පවත්නා සමාජ ධ්‍රැවීකරණය උග්‍ර වනු ඇති බවයි. එම තත්ත්වයට පොදු පෙරමුණ ද වගකිව යුතු බව තිස්ස විතාරණ, ඩිවි ගූණසේකර සහ වාසුදේව නානායක්කාර යන අයගේ නමින් නිකුත් වූ එම ලිපිය කියා සිටියේ ය.
සමහර විට සමාජවාදී සන්ධානය කියා සිටින්නට ඇත්තේ පාලක සභාගයේ අධිකරණ ඇමැතිවරයා විසින් නායකත්වය දෙන ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොන්ග්‍රසය නැගෙණහිර පළාතට තනිව තරඟ කිරීමට තීරණය කිරීමෙන් පසු ඇතිව තිඛෙන තත්ත්වය පිළිබඳව විය හැකි ය. මුස්ලිම් කොන්ග්‍රසය තනිව තරඟ කරන්නේ සිය කැමැත්ත නිසාම නොව රාජපක්ෂ පාලනය විසින් එතැනට තල්ලූ කරන ලද නිසා ය. සියළු මුස්ලිම් පක්ෂ එක්ව පොදු පෙරමුණ යටතේ තරඟ කළේ නම් නැගෙණහිර මුස්ලිම් දේශපාලන බලය ඉස්මතුවීමට හොදටම ඉඩ තිබුණි. ඊට ඉඩ තබනු වෙනුවට මුස්ලිම් පක්ෂ එකිනෙකාට එරෙහිව සටන් කරන තත්ත්වයක් නිර්මාණය කිරීම පොදු පෙරමුණ තුල රාජපක්ෂ බලයට වාසිදායක යැයි නිගමනය කිරීමේ වරදක් නැත.
මුස්ලිම් කොන්ග්‍රසය පොදු පෙරමුණ තුළ සිටිමින් නැගෙණහිර මැතිවරණයට තරඟ කළේ නම් එයට දඹුල්ල මුස්ලිම් දේවස්ථානයට බෞද්ධ භික්ෂුන්ගේ මූලිකත්වයෙන් පහර දීම යනාදී සිදුවීම් දේශපාලන ආයුධ වශයෙන් යොදා ගැනීම දුෂ්කර වන්නට තිබුණි. නමුත් දැන් සිදු වෙමින් ඇත්තේ මුස්ලිම් ජාතිවාදය පණ ගැන්වෙන පරිදි විවිධ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයන් කරගෙන යෑමයි. ඉතා ඉක්මනින් සමාව භජනය කරමින් ඉල්ලා අස්කර ගන්නා ලද නමුත් කහ සිවුරු ත්‍රස්තවාදය පිළිබඳ අමාත්‍ය රවුප් හකීම්ගේ ප්‍රකාශය විසින් පෙන්වන්නේ නැගෙනහිර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයන් කොතරම් ආන්තික වී ඇත්ද යන්න ය. පානම හින්දු කෝවිලක තිබූ පුල්ලෙයාර් දෙවි නොහොත් ගණ දෙවි යන නමින් හැදින්වෙන පිළිමයක් බෞද්ධ භික්ෂුවක් පිරිවර කරගත් දාමරික කණ්ඩායමක් විසින් පැහැර ගැනීම පිළිබඳව ලිපියක් පළ කළ ඩී.බී.එස්. ජෙයරාජ් ආරම්භ කළේ මෙසේ ය: ‘කහ සිව්රු ත්‍රස්තවාදයේ අති විශේෂ ආක්‍රමණික ස්වභාවය පෙන්නුම් කරමින් බෞද්ධ භික්ෂුවක විසින් නායකත්වය දෙන ලද දාමරික රංචුවක් ..‘
පොදු පෙරමුණු ආණ්ඩුවෙහි අධිකරණ ඇමැතිවන නමුත් මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුප් හකීම්ට නිදහසේ සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයන් කර ගෙන යෑමට ආතාවුල්ලා වැනි ආණ්ඩුවේ වඩා විශ්වාශවන්ත මුස්ලිම් ඇමැතිවරු ඉඩ දුන්නේ නැත. ජනාධිපතිවරයාට අර්ධ ඒකාධිපති බලතල පවැරූ 18වන සංශෝධනය සම්මත කර ගැනීමට රාජපක්ෂ පාලනයට හැකි වූයේ රවුප් හකීම් සිය පක්ෂය එජාපයෙන් ඉවතට ගෙන ආණ්ඩුවට හේත්තු කළ නිසා බව මේ අවස්ථාවේ මතකයට නැංවීම සුදුසු ය. නමුත් එම රවුප් හකීම්ට මෙම මැතිවරණයේ දී කිහිප වතාවක්ම සිය ජන්ද ව්‍යාපාරයෙන් ආපසු හැරී යාමට රාජපක්ෂවාදී මුස්ලිම් ඇමැතිවරු බල කළහ. අගොස්තු 18දා කල්මුනෙයිහි මැතිවරණ රැලියක් අමතමින් අධිකරණ ඇමැතිවරයා කියා සිටියේ තම අනුගාමිකයිනට පහර දී අඩකලච්චේනට යමින් සිටි සිය ගමන වැලැක්වීම පිටුපස අමාත්‍ය අතාවුල්ලා සහ අම්පාර ෙජ්ෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රේමලාල් රංගල සිටින බවයි. එමෙන්ම ඔහු කියා සිටියේ මෙයට පෙරද මෙවැනි සිදුවීම් ඇති වු බවත් ඒ පිළිබඳව තමා පොලිස්පතිවරයාට පැමිණිළි කළ බවත් ය. පුදුම නමුත් ඇත්ත ය. අධිකරණ ඇමැතිවරයාගේ පැමිණිල්ල ගැන පොලිස්පතිවරයා කළ දෙයක් දැන ගන්නට නැත. අමාත්‍ය අතාවුල්ලාගේ සැළැස්ම ජන්ද දායකයින් ත්‍රස්ත කිරීම යැයි එම ආණ්ඩුවේම අධිකරණ ඇමැතිවරයා කියා සිටියේ ය.
යුද්ධ කාලයෙහි ජනාධිපති රාජපක්ෂගේ මතවාදී උපදේශකයා හෝ උපදේශකයකු යැයි පිළිගැනීමක් ලබා ගත් අමාත්‍ය චම්පික රණවක පත්ව සිටින්නේ ද එවැනිම අකරතැබ්බයකට ය. තමන් විසින් ලියන ලද ජනප්‍රියතම කෘතිය ලෙස හදුන්වන ‘කොටි විනි විදීම‘ හි මුස්ලිම් අනන්‍යතා දේශපාලනය ඔටු ත්‍රස්තවාදය ලෙස හැදින්වූවා වූත් ‘නැගෙණහිර සිංහල උරුමය‘ නමින් වෙනම පොත් පිංචක් පළකළාවූත් අමාත්‍ය චම්පික රණවක නායකත්වය දෙන හෙළ උරුමය නැගෙණහිර මැතිවරණ සටනට එළඹුනේම නැත. අඩුම වශයෙන් සිංහල ජනයා විශාල වශයෙන් ජීවත්වන දිගාමඩුල්ල (අම්පාර) සහ ත්‍රිකුණාමලය යන දිසාවන්ටවත් එම පක්ෂය සිය අපේක්ෂකයින් ඉදිරිපත් කර නැත. එයට හේතුව ලෙස එම පක්ෂය දක්වන්නේ මෙම අවස්ථාවෙහි මැතිවරණ තැබීම ආර්ථීක කෝණයෙන් අනවශ්‍ය දෙයක් බවයි. නමුත් සැබෑ හේතුව නම් පොදු පෙරමුණ යටතේ තරඟ කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට නොහැකි වීම හෝ ඊට අකැමැතිවීම බව පෙනේ. එමගින් හෙළ උරුමයට සිය මතවාදය වන අන්ත උග්‍ර සිංහල ජාතිකවාදයේ රණ බිමක්වන දිගාමඩුල්ල දිසාවෙන් ඉවතට වී සිටීමට සිදුව තිබේ.
නැගෙණහිර පළාතේ ප්‍රධානතම දෙමළ බහුතර දිසාව වන මඩකළපුවේ දී හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි වන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් පත්ව සිටින තත්ත්වය ද අවුලකි. පසු ගිය සතියෙහි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මූලිකත්වයෙන් මඩකළපුවෙහි දී වක්‍ර මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් ලෙස පවත්වන ලද නාගරික සංවර්ධන අධිකාරියේ රැස්වීමකට ඔහුට ආරාධනයක් තිබුණේ නැත. නමුත් පිල්ලෙයාන්ගේ සතුරු අනෙකා වන කරුණා අම්මාන් මල්මාල දමා එහිදී පිළි ගැනුනි. එමෙන්ම ජනමාධ්‍ය වාර්තා දක්වන්නේ පොදු පෙරමුණට වැඩි බලයක් ලැබුනහොත් මෙවර මහ ඇමැතිවරයා ලෙස පිල්ලෙයාන් පත් නොකෙරන බවයි. 2008 මැතිවරණයේ දී පොදු පෙරමුණ වෙනුවෙන් පපුව දී මැර ජන්දය කළේ ඔහු ය.
නැගෙණහිර මැතිවරණයේ අනෙක් තුවාලකරු නම් පසුගිය මහා මැතිවරණයේ දී ජනාධිපති රාජපක්ෂගේ ලොකු පුතා යන නම්බු නාමයෙන් පුද ලද විමල් වීරවංශ ය. අම්පාර දිසාවෙහි දී ඔහුගේ අපේක්ෂකයින් ඇතුල් කර ගත් නමුත් ජාතික නිදහස් පෙරමුනෙහි ශක්තිමත්ම අපේක්ෂකයා විය හැකි තිබූ ත්‍රිකුණාමලයේ හිටපු ජවිපෙ මංත්‍රී ජයන්ත විෙජ්සේකර සිය ලැයිස්තුවට ඇතුල් කිරීමට රාජපක්ෂ ආණ්ඩුව විරුද්ධ විය. විමල් වීරවංසට ත්‍රිමලයේ දී වෙනම තරඟ කිරීමට සිදු විය. එපමණක් නොවේ. දැන් ඔහුගේ පක්ෂය චෝදනා කරන්නේ පොදු පෙරමුණ සිය පක්ෂ කාර්යාලයන්ට පහර දෙමින් සිටින බවයි. ත්‍රිකුණාමල දිසාවෙහිදී පොදු පෙරමුණු දාමරිකයින් සිය පක්ෂයට එරෙහිව මුදා හැර ඇතැයි ජාතික නිදහස් පෙරමුණ ජනමාධ්‍යට ප්‍රකාශ කළේ ය.
සමාජවාදී සන්ධානය කියා සිටි පරිදි මෙම මැතිවරණය විසින් නැගෙණහිර පළාතේ වාර්ගික ධ්‍රැවීකරණයන් උග්‍රවනු ඇති බව නිසැක ය. ඊට හේතුව නම් නැගෙණහිර පළාතේ ජීවත්වන සුලූතර ප්‍රජාවන්හි අපේක්ෂා සැලකිල්ලට ගනු වෙනුවට ඒවා යටපත් කිරීමේ මූලෝපායක් ක්‍රියාවට නැංවීමයි.
අනෙක් අතට පාලක සභාගය තුළම ඇති වෙනස්කම් තියුණූවීමක් ද මෙම මැතිවරණය විසින් සටහන් කරනු ඇත. එසේ නමුත් එම වෙනස්කම් වරදාන සහ බිය ගැන්වීම මගින් මෙන්ම ඛෙදා පාලනය කිරීමේ උපාය මගින් ද යටපත් කිරීමට රාජපක්ෂ පාලනය බොහෝ දුරටම සමත් වනවා ඇත.
වත්මන් ශ්‍රී ලංකාවෙහි පවත්නා සමාජ ආර්ථීක සහ දේශපාලන අර්බූදයන් රළ පෙළක් බවට පත් කැරෙන මතවාදී නායකත්වයක් දිය හැකි බලවේගයක් තවම නැත. ඉදිරි වසර පුරා පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණ විසින් ද බොහෝ විට 2014 දී පැවැත්වෙනු ඇති ජනාධිපතිවරණයෙන් ද පෙනී යනු ඇති යථාර්ථය එය යි. මෙම තත්ත්වයට අභියෝගයක් දැනෙන ගෙනෙනු ඇත්තේ නැගෙණහිර වැඩි බලයක් ලබා ගැනීමට සහ උතුරු පළාතෙහිදී අති විශාල බහුතරයක් ලබා ගැනීමට දෙමළ සන්ධානය සමත් වුව හොත් පමණි.
සුනන්ද දේශප්‍රිය[Sunanda Deshpriya]
###################################
[Photo:Vikalpa – Batticaloa, Kaladi Bridge]